2024 දේශපාලනය : ‘ස්ථාවරත්වය’ හා ‘විපර්යාසය’ අතර ගැටුමක් ලෙස

අර්බුද අවස්ථාවක් යනු විශේෂිත අවස්ථාවකි. අර්බුදයක් යනු, කලින් හුරුපුරුදුව පැවැති සාමාන්‍ය ආකාරයට තවදුරටත් දේවල් සිදු නොවන තත්වයකි. විශේෂිත අවස්ථාවල විශේෂිත හැඩගැසීම් සිදු වෙයි. සාමාන්‍ය කාලයක වෙතැ’යි අපේක්ෂා නොකල හැකිව තිබූ ‘අසාමාන්‍ය’ දේවල් හදිසියේම යථාර්තයන් ලෙස මුණ ගැසෙයි.

2024 වර්ෂයේ ලංකාවේ දේශපාලනය කවරක් විය හැකිද යන ප්‍රශ්නයට අපට ප්‍රවේශ වන්ට සිද්ධ වන්නේ අර්බුදයක පවතින මෙම පෙරලිකාරී විභවය ගැන අවබෝධයක් සහිතවය. 2022 දී මතු වූ ආර්ථික අර්බුදය, 2009 ට පසුව ඇති වූ ලංකාවේ දේශපාලන ගමන් පථයේ තීරණාත්මක ඛණ්ඩනීය මොහොතක් ලෙස සැලකිය හැක. ආර්ථික අර්බුදය සහ ඊට ප්‍රතිචාර ලෙස ඇති වූ 2022 මාර්තු-ජූලි ජනතා උද්ඝෝෂණ පෙල විසින් සිදුකල විශාලතම වෙනස නම් 2009 ට පසුව දකුණු ලංකාවේ අනබිබවනීය දේශපාලන ව්‍යාපෘතිය ලෙස ස්ථාපිත වී තිබූ රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ අධිකාරිය අවසාන කිරීමයි. රාජපක්ෂවාදී ව්‍යාපෘතිය යනු මෙරට සිංහල සමාජයේ පොදුජන අනුමැතිය විවිධ ක්‍රමවේද තුලින් සාක්ෂාත් කරගත්, බෙහෙවින් ප්‍රබලව පැවැති කතිකාවකි. එය මේ වනවිට බරපතල ලෙස අර්බුදයට ගොස් ඇත ; මේ අර්බුදය නිසා ජනිත වූ දේශපාලන සංක්‍රමණීය යුගයකට ලංකාව පිවිස ඇත. මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති 2024 වර්ෂය යනු මෙම සංක්‍රමණය කවර අතකට සිදුවේදැ’යි තීරණය කෙරෙන සංධිස්ථානාත්මක මොහොතක් වීමට නියමිත එකකි.

ආර්ථික අර්බුදය හා කම්පන ප්‍රතිකර්මය

2022 ආර්ථික අර්බුදයත් සමග ඊට විසඳුම ලෙස මතු වී ආවේ ‘IMF දෘෂ්ටිවාදය’ ලෙස නම් කල හැකි, තවදුරටත් ලංකාවේ ආර්ථිකය ලිබරල්කරණය කිරීම මිස මීට විසඳුමක් නැති බවට වූ මතවාදයයි. මහජන උද්ඝෝෂණවල නියුක්තව සිටි ඇතැම් මධ්‍යම පන්තික කණ්ඩායම් අතරින්ම එකල අර්බුදයට විසඳුම වහ වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බවට වූ ඉල්ලීම මතු විය.

මේ අනුව ලංකාවේ ආණ්ඩුව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කොට, සහයෝගය පිණිස ජා.මූ. අරමුදල වෙත හැරුණි. මෙබඳු අවස්ථාවල ජා.මූ. අරමුදල ඔවුන් අනුදකින නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ රාමුව තුල නිර්දේශ කරන කප්පාදු පිලිවෙත් නිසා වෙනත් රටවල ඇති වූ සමාජ අර්බුදයන් ද සැලකිල්ලට ගෙන, එවකට සුලුතරයක් වූ විසම්මුතික මතධාරීන් යෝජනා කලේ ආර්ථිකය සංකෝචනය කරන්ට හේතු වන කප්පාදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය තවත් අර්බුදයට යාමට නියමිත බවත්, විශේෂයෙන් සමාජයේ පහල පාන්තික ජනතාව මත බරපතල ලෙස පීඩනයක් ඇති වීමට හේතු වනු ඇති බවත්ය.

2024 වර්ෂය එලැඹෙන්නේ තවදුරටත් ජා.මූ. අරමුදලේ කප්පාදු පිලිවෙත හුදු සංකල්පයක් නොව, මෙරට පොදු ජනතාව මුහුණ දෙන දෛනික යථාර්තයක් බවට පත්ව තිබෙන තත්වයක් යටතේය. ජා.මූ. අරමුදලේ නිර්දේශ අනුව ‘කම්පන ප්‍රතිකර්මයකට’ 2023 වර්ෂය පුරාවට ලාංකීය සමාජය ගොදුරු විය. මෙම ප්‍රතිකර්මයේ කම්පනය ද දරාගෙනය 2024 වර්ෂය එලැඹ තිබෙන්නේ. නව වසර ආරම්භ වූයේ එකතු කල අගය මත බද්ද ඉහල නැංවීමේ තීරණයත් සමගය. 2022 වර්ෂයේ දී සියයට 8 ක් වූ වැට් බද්ද, 2022 වර්ෂය තුල සියයට 12 සහ පසුව 15 දක්වා ඉහල නංවන ලද අතර, දැන් එය 18 දක්වා නංවා ඇත.

ජා.මූ. අරමුදලේ තවත් නිර්දේශයක් වූ කවර තත්වයක් යටතේ හෝ තෙල් හෝ විදුලිය සඳහා සහනාධාර නොදිය යුතුය යන්න ද පසුගිය කාලයේ ක්‍රියාත්මක විය. මේ අනුව විදුලි බිල 2022 අගෝස්තු මස සියයට 75 කින් ද, 20223 පෙබරවාරි මස සියයට 66 කින් ද, යලිත් වරක් 2023 ඔක්තොම්බර් මස සියයට 18 කින් ද ඉහල නංවන ලදී. විදුලි බල මණ්ඩලයේම වාර්තා පවසන ආකාරයට, විදුලි බිල නොගෙවීම නිසා 2023 වර්ෂයේ මුල් මාස දහය තුල විසන්ධි කරන ලද සම්බන්ධතා ගණන ලක්ෂ පහ ඉක්මවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කල සමීක්ෂණයක් අනුව ලංකාවේ සෑම දහ දෙනෙක්ගෙන් හය දෙනෙක්ම, බහුමානීය අස්ථායීතාවයන්ට (multi-dimensional vulnerabilities)  මුහුණ දී සිටිති. 2021 දී සියයට 11 ක් වූ දරිද්‍රතා අනුපාතය, 2022 දී සියයට 25 දක්වා ඉහල නැංග අතර, 2023 දී තවත් ඉහල ගොස් ඇති බවට ගණනය වී ඇත.

කෙසේ වුවද, ආර්ථික කම්පන ප්‍රතිකර්මයේ විපාක සමාජයේ විවිධ සමාජ කණ්ඩායම් භාර ගෙන තිබෙන්නේ විවිධාකාර බවට ද පෙනෙන්ට තිබේ. දුගී ජන කොටස් තවත් ආන්තික කිරීමට සහ පහල මධ්‍යම පන්තිය දුගීකරණයට ලක් වීමට මෙම කම්පන ප්‍රතිකර්මය හේතු වී තිබුණත්, සමාජයේ ඇතැම් ධනවත් ස්ථර හා ඉහල මධ්‍යම පන්තියේ ඇතැම් කොටස් ආර්ථිකය තුල සිදුවෙමින් තිබෙන වෙනස්කම් දෙස යම් සුබවාදී ඇසකින් බලන බවක් පෙනෙයි. 2022 නොවැම්බර් මස, රජයේ මර්දන ප්‍රතිපත්තිවලට එරෙහිව මෙරට සිවිල් සමාජ කණ්ඩායම් හා ඇතැම් වෘත්තීය සමිති උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට තැත් කල අවස්ථාවේ, නිවේදනයක් නිකුත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය කියා සිටියේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙමින් පවතින මොහොතක එබදු විරෝධතා කිරීම නොහොබිනා බවයි. මෙය එක්තරා සමාජ තීරුවක සිතීම පිලිබඳ කදිම නිදර්ශනයක් වෙයි.

ස්ථාවරත්වයේ තර්කය හා විපර්යාසයේ තර්කය

මෙම පසුබිම තුල, නව වසරේ දේශපාලනය තීරණය කෙරෙන ප්‍රධාන ප්‍රතිවිරෝධය ආර්ථික ප්‍රශ්නය බවට පත්ව තිබෙන බව පැහැදිලිය. පසුගිය කාලයේ මෙම ආර්ථික අර්බුදයෙන් ජනතා අවධානය වෙනතක යොමු කිරීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම භාවිතා කලහ ; කුරුන්දි විහාරය ආශ්‍රිතව ගැටුම් අවුලන්ට, නතාශා එදිරිසූරිය ආදී අය සම්බන්ධ කරගෙන ජාතිමාමක හැගීම් මත කැම්පේන් සංවිධානය කරන්ට නොයෙක් උපමාරු යෙදූහ. මේ දිනවල රග දැක්වෙමින් තිබෙන ඊනියා මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය ද එබඳු තවත් ව්‍යාපාරයකි. මේ කිසිවකට ආර්ථික අර්බුදය නිසා බහුජනයා මුහුණ දෙන අති මහත් පීඩනයෙන් අවධානය වෙනතක හැරවීමට නොහැකි වී ඇත.

දේශපාලනය භ්‍රමණය වන්ට නියමිත ආර්ථික ප්‍රශ්නය වටා නම්, ඒ ආශ්‍රිතව ඇති විය හැකි පෙලගැසීම්වල ස්වරූපය කවරේද? නව වසර සම්බන්ධව පුරෝකථනය කිරීමට නම්, වත්මන් දේශපාලන තත්වය ඇති වීම කෙරෙහි බල පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය වූ 2022 මහජන උද්ඝෝෂණ පෙළ හා එ් තුල වූ ප්‍රතිවිරෝධතා දෙස අවධානය යොමු කල යුතුය. වත්මන් දේශපාලන පෙලගැසීම්වල මුල එම මහජන උද්ඝෝෂණවල වූ ප්‍රතිවිරෝධයන් තුල ගැබ් ව තිබෙන බව මෙම ලියුම්කරුගේ යෝජනාවයි.

2022 මාර්තු-ජූලි උද්ඝෝෂණ තුල මනෝභාවයන් දෙකක් සමාන්තර ලෙස අන්තර්ගතව පැවැති බව සැලකිල්ලෙන් බලන විට හඳුනාගත හැක.

පලමු මනෝභාවය, ජනතාවට මුහුණ දෙන්ට වූ අත්‍යාසන්න ආර්ථික දුෂ්කරතා වන භාණ්ඩ හිගය, විදුලිය කැපීම, ගෑස් නැතිවීම හා තෙල් පෝලිම් නිසා මතු වූ ක්ෂණික කෝපයයි. මෙය නාගරික මධ්‍යම පන්තික කොටස් අතර තරමක ප්‍රබල ලෙස පැවැති මනෝභාවයකි. 2022 වන තෙක් ජීවිතය ‘සාමාන්‍ය’ ලෙස ගත විය. තෙල් ගන්ට පෝලිම් වල ටැග් ගැසීමට උවමනා නොවීය, විදුලිය පැය විසි හතරේම ලැබුණි. ක්ෂණිකව මුහුණ දෙන්ට සිදු වූ ජන ජීවිතයේ බිද වැටීම අබියස ‘ස්ථාවරත්වය’ සම්බන්ධව ඉල්ලීමක් සමාජය තුල විය. මෙය අප ස්ථාවරත්වයේ තර්කය ලෙස නම් කරමු.

දෙවන මනෝභාවය, ස්ථාවරත්වය පිලිබඳ අත්‍යාසන්න වැටහුමෙන් ඔබ්බට ගිය එකකි. අපට මෙලෙස සිදු වූයේ ඇයිද? යන ප්‍රශ්නය ද ආර්ථික අමාරුකම්වලට සමගාමීව ජනයා අතර මතු විය. එතෙක් කල් පෙනී ගියේ අප ජීවත් වූ ආකාරය එතරම් ගැටලු සහගත නොවන බවය. එහෙත් නොසිතූ විරූ ලෙස, ලංකාවේ ආර්ථිකය නතර විය. මෙන්න මේ භවසත්තාමය නිමේෂය අබියස, මෙබඳු ඉරණමකට අප ගොදුරු වූයේ ඇයි යන තරමක බැරැරූම් ප්‍රශ්නය ද පොදු ජන මනස තුල වර නැගුණි. මේ සඳහා ලැබුණු ජනප්‍රියවාදී පිලිතුර නම් ‘පාලක පන්තියේ දූෂිත චර්යාව නිසා’ පොදු ජනයා දුක්ඛිත ඉරණමකට මුහුණ දුන් බවයි.

ජනතාව අතර මතු වූ භවසත්තාවාදීමය සාංකාවට ආසන්න පිලිතුර සපයනු ලැබුවේ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව අතර ජනප්‍රිය කරමින් සිටි කතිකාව ; එනම් මෙරට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙකම දූෂිතයන් හා හොරු බවත්, ඔවුන්ගේ අවකල් චර්යාව නිසා ජනතාව දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වූ බවත් යන කතිකාව විසිනි. ‘සොරා කාපු සල්ලි දියවු’ බඳු වූ සටන් පාඨ මහජන උද්ඝෝෂණ අතරට පිවිසියේ මහජන අතෘප්තිය සහ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ දූෂිත චර්යාව පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ එවකට ගොඩ නගා තිබූ ජනප්‍රිය සාකච්ඡාව අතර සිදු වූ මෙම සන්ධි වීමේ ප්‍රතිඵලයක් ලෙසටය.

මෙම මනෝභාවය විසින් මේ නිසා යම් ‘වෙනසක්’ ; මෙතෙක් කල් රට පාලනය කල ආකාරයේ පරිවර්තනයක් ඉල්ලා සිටියේය. මෙය අපට විපර්යාසයේ තර්කය ලෙස නම් කල හැක.

2022 මහජන උද්ඝෝෂණ තුල මෙම තර්කයන් දෙකම ; එනම් ස්ථාවරත්වයේ තර්කය හා විපර්යාසයේ තර්කය යන දෙකම ක්‍රියාත්මක වෙන ආකාරය අපට දැකගත හැක. ජනතාවට ස්ථාවරත්වයක් අවශ්‍ය විය, තෙල් පෝලිම්වල නොලගින, ලයිට් නොකපන, ආර්ථික වශයෙන් තෘප්තිමත් ජීිවතයක් ගත කලහැකි වටපිටාවක් අවශ්‍ය විය. ඒ වාගේම, රට අයහපත් ඉරණමකට ඇද දැමූ පිරිස් වෙත දඩුවම් පමුණුවන්ට, එවැන්නක් යලි ඇති නොවන ලෙස රට වෙනස් කරන්ට, වඩා හොඳ දේශපාලනයක් රට තුල ඇති කරන්ට ආදී වූ ලෙස ද ජනයා අතර අභිලාෂයක් මතු විය.

අරගල සමය තුල එකට වෙලී තිබූ මෙම තර්කනයන් දෙක, 2022 ජූලි මාසයෙන් පසුව එකිනෙක වෙන් වී, වෙන් වූ තර්කයන් දෙකක් ලෙස විරුද්ධ දිශාවන් වෙත වර්ධනය වෙමින් තිබෙන ආකාරය අපිට දැකගැන්මට පුලුවන. ස්ථාවරත්වය නියෝජනය කරන අය රටට කියන්නේ 2022 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක ආර්ථික වැඩපිලිවෙල රට ස්ථාවර කරන එකම මාර්ගය බවත්, එය කඩාකප්පල් නොකිරීමට ප්‍රවේශම් විය යුතු බවත්ය. ජන ජීවිතයේ ප්‍රකටව පෙනෙන්ට සිදු වූ බිඳ වැටීම් වන තෙල් පෝලිම්, විදුලිය කැපීම් ආදිය නතර වී තිබෙන නිසා ස්ථාවරත්වය වෙත රට යමින් තිබෙන බවට වූ අදහසට යම් පිලිගැනීමක් ද යම් යම් සමාජ තීරු අතර ලැබී තිබේ.

දේශපාලන පෙලගැසීම

ස්ථාවරත්වයේ තර්කය සඳහා අදාල දේශපාලන ප්‍රකාශනය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් බව පැහැදිලිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වනවිට තමාගේම වූ ස්වාධීන භූමිකාවක් නොමැත. විවිධ පැමිණිලි කරමින් වුව ස්ථාවරත්වය පිලිබඳ තර්කයේම එල්ලී සිටීමේ තත්වයට ඔවුන්ගේ භූමිකාව ලඝු වී තිබේ. කෙසේ වුවද, මෙම දේශපාලන තර්කයට මුහුණ දෙන්ට සිදුව තිබෙන විසාලතම අභියෝගය නම්, ස්ථාවරත්වය පිලිබඳ ඔවුන් ඉදිරිපත් කරන අදහසේ තිබෙන පාර්ශවීයත්වයයි; නැතහොත් අසම්පූර්ණත්වයයි. මෙම ලිපිය ආරම්භයේ සඳහන් කල ලෙස, ස්ථාවරත්වය තමන්ගේ දෛනික ජීවන අත්දැකීමක් ලෙස බහුතරයක් වූ ජනතාවට දැනෙන්නේ නැත. ව්‍යාපාරික පන්තියේ ඇතැම් කොටස්වලට හා ඉහල මධ්‍යම පන්තියේ සමහර ශ්‍රේණිවලට මෙම ආඛ්‍යානය ඒත්තු ගැන්වෙන සුලු එකක් වුවත්, විදුලි බිල විසන්ධි වීමට, සමෘද්ධිය කැපීමට, බඩු මිල ඉහල යාම නිසා සිදු වූ සියලු ආකාරවල ආර්ථික පීඩනයන්ට ගොදුරුව සිටින පහල පාන්තික හා පහල මධ්‍යම පාන්තික ජනතාවට එය ආකර්ෂණීය තර්කයක් ලෙස දිස් වන්ට ඇත්තේ අඩු සම්භාවිතාවයකි.

මෙන්න මේ අසහනකාරී වාතාවරණය විපර්යාසයේ තර්කයේ වැඩීම සඳහා සරු පසක් සපයා ඇත. එම තර්කයේ දේශපාලන නියෝජනය බවට මේ මොහොතේ පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බව පැහැදිලිය. මෙතෙක් කල් ලාංකීය දේශපාලනයේ අප්‍රධාන බලවේගයක් ලෙස සිටි එම බලවේගය, එක් වරම විසාල සමාජ ආකර්ෂණයක් සහිත නැගී එන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්ට බල පා ඇති හේතුව වන්නේ එය විසින් විපර්යාසයේ ; එනම් වෙනසක හා පරිවර්තනයක මනෝභාවය නියෝජනය කරන නිසාය. දේවල් සාමාන්‍ය විධිහට සිද්ධ වෙන කාලයේ ජනතාවට වෙනසක් හෝ පරිවර්තනයක් සඳහා ඉල්ලීම එතරම් ගෝචර වන්නේ නැත. එහෙත් බිත්තියටම හේත්තු වී, අසරණ වී සිටින මොහොතක පරිවර්තනයක් සඳහා වූ ආයාචනය ක්‍රියාත්මක වීම සඳහා බෙහෙවින් ප්‍රබල උත්තේජනයක් සලසයි. දැනට ක්‍රියාත්මක ආර්ථික කම්පන ප්‍රතිකර්මය කෙරෙහි විවේචනාත්මක ඔවුන්, දුර දිග යන දේශපාලන ප්‍රතිසංස්කරණවල ඉල්ලීම සමග ආර්ථික ප්‍රශ්නය සහසම්බන්ධ කරති.

මෙම පෙලගැසීම තුල ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ස්ථානගතව තිබෙන්නේ කොතැනද? මාගේ තර්කය නම්, ලංකාවේ දේශපාලන පක්ෂ අතුරින් බලවත්ම උභතෝකෝටිකයට මේ මොහොතේ මුහුණ දී සිටින්නේ සමගි ජන බලවේගය බවයි. මෙම උභතෝකෝටිකය පැන නගින්නේ සමගි ජන බලවේගයේ දේශපාලන-දෘෂ්ටිවාදීමය ආමන්ත්‍රණයේ තිබෙන විපරිත ස්වභාවය තුලින්ය. ආණ්ඩුවක් අප්‍රසාදයට පත්වන විට, සාමාන්‍යෙයන් විපක්ෂයේ පක්ෂයක් කරන්නේ ජනතාව අතර ඇති වන විරෝධාකල්පීය මනෝභාවයට ආමන්ත්‍රණය කිරීමය. ඒ ඔස්සේ ජනතාව සංවිධානය කිරීමය. මේ අනුව, විපක්ෂයේ පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාවගේ විරෝධාකල්පික මනෝභාවය වෙත ආයාචනා කල යුතුය.

නමුත් අනිත් අතට, දේශපාලන-දෘෂ්ටිවාදය සම්බන්ධව ගත්කල, සමගි ජන බලවේගය ස්ථානගත වන්නේ වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන නව ලිබරල් කම්පන ප්‍රතිකර්මයේ රාමුව තුලය. එම පක්ෂයේ ආර්ථික විශේෂඥයන් වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යනාදීහු මේ ගැන කිසිදු හෝ සැකයක් ඉතිරි කොට නැත ; රනිල් කරන දේ මූලධාර්මිකව නිවැරදි බව ඔවුහු අදහති. විසංවාදයක් ඇත් නම්, ඒ එක් හෝ තවත් ප්‍රතිපත්තියක තාක්ෂණික කරුණු සම්බන්ධවය.

2024 වර්ෂය ගැන අදහස් දක්වමින් මෑතක දී හර්ෂ ද සිල්වා පවසා තිබුණේ මෙම වසරේ දේශපාලනය ‘අදහස් අතර ගැටුමක්’ බවට පත්වීමට නියමිත බවයි. ජාතික ජන බලවේගය යල්පිනූ, වාමාංශික, රාජ්‍යවාදී අදහසක් නියෝජනය කරන බවත්, ලෝකයට විවෘත වූ මතවාදය නියෝජනය කරන්නේ තමුන් බවත් ඔහු පවසයි. ප්‍රශ්නය නම්, හර්ෂ ද සිල්වා කියන මේ දේ අලුත් දෙයක් නොවීමයි ; රනිල් වික්‍රමසිංහ ද කියන්නේ එයමය. රනිල් සමග තමුන්ට ඇති ප්‍රශ්නය ඔහු පොහොට්ටුව සමග සන්ධානගතව සිටීම බව හේ තවත් තැනක ප්‍රකාශ කොට තිබුණි. සියලු දෙනාට පෙර ජා.මූ. අරමුදල වෙත යා යුතු බව කීවේ තමුන් බව සජබ දේශපාලකයන් තවමත් කියන්නේ මහත් අභිමානයෙනි.

දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ආර්ථිකය බවට පත්ව තිබෙන පසුබිමක, ආණ්ඩුවේ කම්පන ප්‍රතිකර්මයට මතවාදීමය ලෙස පක්ෂ බලවේගයකට — තමුන්ගේ ප්‍රතිපත්තිය ද එම කම්පන ප්‍රතිකර්මයම වේ යැයි කියා සිටින පක්ෂයකට, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා අසහනයට පත්ව සිටින ජනතාවගේ විරෝධාකල්පීය මනසට කථා කල හැකිද? නව ලිබරල් ආර්ථික චින්තනයට දෘෂ්ටිවාදීමය ලෙස ඇලී සිටීම නිසා සමගි ජන බලවේගයට විපර්යාසයේ තර්කය නියෝජනය කිරීමට නොහැකි වී තිබේ. අනෙක් අතට, එය ආණ්ඩු පක්ෂය නොවන නිසා ස්ථාවරත්වයේ තර්කය ද හරියට නියෝජනය කරන්ට නොහැකි වී ඇත. දෙලොවක් අතර සිර වී සිටින එම පක්ෂය, එම උභතෝකෝටිකයෙන් ගැලවීමට ඉදිරියේදී කවරක් කරනු ඇද්ද යන්න බලා සිටීම සිත් ගන්නා සුලු නිරීක්ෂණයක් වනු ඇත.

 

රමිඳු පෙරේරා

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *