සමාජ වෙළඳපොල ආර්ථිකයේ උභතෝකෝටිකය – නැගෙනහිර ආසියානු සංවර්ධන අත්දැකීම ඇසුරින් විවේචනයක් (පළමු කොටස)

පූර්විකාව

ශ්‍රී ලංකාව සිරවී ඇති ණය උගුලෙන් ගැලවී රට තිරසාර සංවර්ධනයේ දිසාවට සේන්දු කිරීම සඳහා සමගි ජන බලවේගය නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. සමාජ වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්තිය ලෙස නාමකරණය කරන ලද මෙම ආර්ථික ප්‍රතිපත්තිය මුලික වශයෙන් 1970 දශකයේ එක්සත් ජාතික පක්ෂය මෙරටට හදුන්වාදුන් නිර්බාධිකරණ ආර්ථික ප්‍රතිපත්තියම (නව ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙල) වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමක් මිස වෙනත් යමක් නොවේ. ඔවුන් විශ්වාස කරන ආකාරයට ප්‍රමාද නොවී පරිපුර්ණ ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබුණේ නම්, රටට මෙවන්වූ විනාශයක් සිදුවන්නේ නැත.

කෙසේ නමුත් මේ වනවිට රටක් ලෙස ශ්‍රී ලංකාව බංකලොත් වී ඇති බව ප්‍රකාශයට පත්කර තිබේ. එම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අර්බුදය කළමනාකරණය කරගැනීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමේ සාකච්ජා මේ වනවිට ආරම්භ කර තිබේ. මිට අමතරව අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගතානුගතික ප්‍රඥාවට අනුව ෆිස්කල් හැඩගැසුම (බදු පැනවීම සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීම) සහ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ (රාජ්‍යය දේපොළ විකිණීම හෙවත් පෞද්ගලීකරණය) සමඟ ඒකාබද්ධ කෙරුණු සාර්ව ආර්ථික ක්‍රියාදාමයක් ආරම්භ කර ඇත. මෙයින් අපේක්ෂා කරන්නේ ගෙවුම්ශේෂ තත්ත්වය බිදවැටීමට ඉඩ නොදීම සහ උද්ධමනය පාලනය කරගැනීමය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පොදු මහත් ජනතාව මේ වනවිට අර්බුදය කළමනාකරණයට ගත් මෙම පියවරයන් වල ප්‍රතිවිපාක භුක්ති විදිමින් සිටිති. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අර්බුදය සාර්ථකව කළමනාකරණය කළ බව ඒත්තු ගැන්වීමට (ගෝටා පාලනයේ පෝලිම් සහ භාණ්ඩ හිඟයට සාපේක්ෂව) කිසියම් ප්‍රමාණයකට සමත්ව ඇති බව පෙනෙන නමුත් උක්ත කළමනාකරණ ප්‍රතිවිපාක තවදුරටත් භුක්තිවිදීමට ජනතාව සූදානම් නැත.

එහෙයින් අර්බුදය කළමනාකරණය කරගැනීමෙන් පසු මෙයට ඇති එකම විසදුම වන්නේ අපනයන වැඩි කරන නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තියකට අනුව රටේ ආර්ථික සංවර්ධන මාවතකට කේන්ද්‍රකර ගැනීමය. එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජනබලවේගය ආර්ථික විවාදය ආරම්භ වන්නේ මෙතැනදී ය.

 

සංවර්ධන උපායමාර්ගයේ උභතෝකෝටිකය

පෙර කියන ලද පරිදි එ.ජා.ප රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ සහ සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති අතර කිසිදු වෙනසක් නැත. 1977 සිට ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ මේ රට තුල ක්‍රියාත්මක වන නව ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙල සුදානම් වී තිබෙන්නේ එම ආර්ථික ප්‍රතිපත්තිය මතය. 20 වෙනි ශතවර්ෂයේ වැඩි කාලයක් පුරාවට ලෝකයේ අධිපත්‍යය දරු මාක්ස්වාදී සහ නිව් ඩීල් ප්‍රතිපත්තිය හරහා ක්‍රියාවට නංවනු ලැබූ කෙන්සියානු ආර්ථික චින්තනය (තවත් ධනවාදී සංස්කරණයක්) සුභසාධන රාජ්‍යයවාදී ප්‍රතිපත්ති වේ. සෝවියට් මධ්‍යගත සැලසුම් ආර්ථිකයේ වේගවත් සංවර්ධනයත් ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී ලෝකයේ ස්වර්ණමය යුගය ලෙස සටහන්ව ඇති එම යුගය අප රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය පොදු ප්‍රවාහනය, පැය 8 වැඩ දිනය සහ කම්කරු අයිතිවසිමක් ඇතුළු බොහොමයක් සුභාසාධනයන් පොදු ජනතාව භුක්ති වින්දෝය.  පසුගිය වසර 74 තුළ යම් සංවර්ධනයක් ශ්‍රී ලංකාව අත්පත්කරගෙන ඇතිනම් එහි කීර්තියෙන් වැඩි පංගුවක් එම ආර්ථික ප්‍රතිපත්තියට හිමි විය යුතුය.

කෙසේ නමුත් මේ යුගයේ එනම් 70 කාර්මික තාක්‍ෂණික අංශයේ සිදුවූ වේගවත් වෙනස්කම් සහ ප්‍රවාහනය, පණිවුඩ හුවමාරු ක්‍රම හා තොරතුරු තාක්ෂණයේ ඇතිවූ සීඝ්‍ර වෙනස්කම් හේතුකොටගෙන ජාතික රාජ්‍යය දේශ සිමා හරහා යන නිෂ්පාදන සමාගම් බහු ජාතික සමාගම් විසින් පිහිටුවනු ලැබීය. 70 ගණන්වල මැදභාගය වනවිට එක්සත් රාජධානියේ බලයට පත් දක්ෂිණාංශික මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව ප්‍රථමයෙන් සහ දෙවනියට එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන්ගේ රිපබ්ලික් ආණ්ඩුව, රාජ්‍යයේ පංගුව කුඩා කොට, පෞද්ගලික අංශයට ආර්ථිකය තුල අවකාශය සලසා දීම සඳහා, වෙළඳපොල නිර්බාධකරණයත්, පෞද්ගලීකරණයත් මෙම අංශවල මූලික අංග බවට පත්කර ගත්තේය. ආර්ථික න්‍යාය අතින් නිර්බාධිකරණය හුවා දැක්වුනු “මුදල් ප්‍රමාණවාදය” නව සම්භ්වයය ආර්ථික ප්‍රවාහය තුළ ජයග්‍රහණය කළේ ය. මුදල් ප්‍රමාණවාදය යනු සරලව ගතහොත් සමස්ත ආර්ථිකය මුල්‍ය විසින් හැසිරවීමට ඉඩ හැරීමය.

ශ්‍රී ලංකාව යනු ජේ.ආර් ජයවර්ධනගේ නායකත්වය යටතේ 1977දී මෙම ප්‍රතිපත්තිය කලින්ම වැළදගත් රටකි. 1966දී පැවතී විධ්‍යාභිවර්ධන වාර්ෂික රැස්වීමේදී දේශනයක් කළ ජේ.ආර් ජයවර්ධන විද්‍යාවේ දියුණුවක් සමඟ රට කාර්මීකරණය කළයුතු බවත්, ආර්ථිකයේ කළයුතු එම වෙනස්කම් කිරීම පිණිස ශක්තිමත් විධායකයක් අවශ්‍ය බවත් අවධාරණය කළේය. එ.ජා.ප නායකයා බවට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කල මෙම ප්‍රතිපත්තිය දියුණු ධනේශ්වර රටකට කෙසේ වෙතත් ඌණ සංවර්ධිත රටක් දියුණු කිරීමට නොගැළපෙන බව දැන් මොනවට පැහැදිළිය. සමාජ වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්තිය යන ලේබලය යටතේ සමගි ජනබලවේගය එළියට දමා ඇත්තේ එ.ජා.ප යේ එම ප්‍රතිපත්තියම මිස වෙන යමක් නොවේ.

ජේ.ආර් ගේ ඊනියා කාර්මික ප්‍රතිපත්තියේ ශේෂ පත්‍රයට අනුව පසුගිය 43 වසර තුළ එතෙක් පැවති කාර්මීකරණය වලපල්ලට ගියා පමණක් නොව අපනයන ඉපැයීම මැදපෙරදිගට යවන නොපුහුණු කාන්තා ශ්‍රම බලකාය, ඇගලුම් කර්මාන්තයේ කාන්තා ශ්‍රම බලකාය සහ වතුකරයේ තේ දළු නෙලන කාන්තා ශ්‍රම බලකායට අමතරව සංචාරක කර්මාන්තය මත පදනම්වී ඇත.

 

ආසියාවේ නැගීම (නව කාර්මික රටවල්)

ආසියාවේ නව කාර්මික රටවල පළවෙනි ස්ථරය ලෙස ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, හොංකොං (ඇතැමෙකු හොංකොං ද ඇතුලත් කරයි) වර්ගීකරණය කර තිබේ. දෙවැනි ස්ථරයේ රටවල් ලෙස මැලේසියාව තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය දැක්විය හැකිය.

නව කාර්මික රටවලට අයත්වන ඇතැම් නැගෙනහිර ආසියාතික රටවල, විශේෂයෙන්ම ජපානය, කොරියාව සහ තායිවානයෙහි කැපී පෙනෙන ආර්ථික කාර්ය සාධනය, නැගෙනහිර ආසියාතික ආර්ථික ආකෘතිය ලෙස පොදුවේ හඳුන්වනු ලබයි.  පශ්චාත් යුධ කාලපරිච්ඡේදය තුළ, මෙම රටවල් පෙර නොවූ විරූ ආර්ථික වර්ධන වේගයක් අත්කර ගෙන ඇති අතර, ඒක පුද්ගල වශයෙන් වසරකට 6%ක පමණ සාමාන්‍යයක් ලබාගෙන ඇත. මෙම වේගවත් ආර්ථික පරිවර්තනය කාර්මික විප්ලවයේ (1-1.5% වසරකට) පළමු කාර්මික රටවල වර්ධන වාර්තා මෙන්ම ධනේශ්වරයේ ස්වර්ණමය යුගයේ (3% වසරකට) දක්නට ලැබුණු අනුපාත ඉක්මවා යයි.

ඇන්ග්ලෝ-සැක්සන් ආර්ථිකයන් හා සසඳන විට එකී ආයතනවල සහ ප්‍රතිපත්තිවල පිළිගත් වෙනස්කම් සහිත නැගෙනහිර ආසියාතික ආකෘතිය ඊට වෙනස් සාර්ථක විකල්පයක් ලෙස නිරීක්ෂකයෝ බොහෝ විට දකිති. නැඟෙනහිර ආසියානු ආකෘතිය  තිරසාර බව සහ බාහිර ආර්ථික කම්පනයන්ට අනුවර්තනය වීමේ දී, එය ආර්ථික සංවර්ධනය සඳහා සාර්ථක ප්‍රවේශයක් නියෝජනය කරන බවට බොහෝ දෙනා පිළිගන්නා කරුණකි.

නැගෙනහිර ආසියාවේ සාර්ථකත්වය හුදෙක් ඇන්ග්ලෝ-සැක්සන් ආකෘතියට සමාන නිදහස් වෙළඳපල ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බව යෝජනා කරන්නේ නම් එය සම්පුර්ණයෙන්ම වැරදි ය.  මෙකී නැගෙනහිර ආසියාතික රටවල ප්‍රතිපත්තිමය වශයෙන් එනම් ජපානය, කොරියාව සහ තායිවානය අතර ඒකාබද්ධ ආකෘතියක් හඳුනා ගැනීමට අවශ්‍ය තරම් පොදු කරුණු පවතී.මෙම පොදු ලක්ෂණ වලට ඇතුළත් වන්නේ,

 

  • ශක්තිමත් රාජ්‍ය මැදිහත්වීම
  • අපනයන-අභිමුඛ කාර්මිකකරණය සහ
  • ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් උපායමාර්ගික රාජ්‍ය ප්‍රතිපත්තීන් ය.

 

ලෝක බැංකුව විසින් නැගෙනහිර ආසියානු (නව කාර්මික රටවල) ආකෘති දෙකක්, එනම් එකක් ඊසානදිග ආසියාව සඳහා සහ අනික අග්නිදිග ආසියාව සඳහා වර්ගීකරණය කිරීම සිදුකර ඇති අතර, මේ හරහා ආර්ථික සංවර්ධනය සඳහා විවිධ කලාපීය උපාය මාර්ග පවතින බව ඉස්මතු කරයි. කෙසේ වෙතත්, ජපානය, කොරියාව සහ තායිවානයේ සාර්ථක අත්දැකීම් ප්‍රධාන වශයෙන් ඇතුළත් වන පුළුල් නැගෙනහිර ආසියානු ආකෘතිය නොසලකා හැරීම මෙහිදී සිදු නොකළ යුතු ය.

එහිදී මෙකී රටවල සමානතාවයන් අපට මෙලෙස වර්ගීකරණය කරගත හැකිය.

  • ජපානය: සමීප රාජ්‍ය-ව්‍යාපාර සහයෝගීතාව සහ දිගුකාලීන කාර්මික සැලසුම්කරණය අවධාරණය කරන ලදී.
  • දකුණු කොරියාව: ආර්ථිකයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බර කර්මාන්ත සහ චේබෝල් (chaebols) නමින් හැඳින්වෙන, විශාල පවුල් පාලිත සමූහ ව්‍යාපාර(large family-controlled conglomerates)) කෙරෙහි අවධානය යොමු කර ඇත.
  • තායිවානය: මුලදී ශ්‍රම-මූලික නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කළ නමුත් පසුව අධි තාක්‍ෂණික කර්මාන්ත වෙත සංක්‍රමණය විය.

නැඟෙනහිර ආසියානු ආකෘතිය තුළ ඇති මෙම ලක්ෂණ පෞද්ගලික අංශය සහ රජය අතර උපායමාර්ගික සහයෝගීතාවයේ වටිනාකම ඉස්මතු කරයි.

මෙකී ආර්ථික සාර්ථකත්වය පෙන්නුම් කරන්නේ රජය සහ ව්‍යාපාර අතර සාමූහික ක්‍රියාකාරිත්වය ආර්ථික වර්ධනයට බලපාන බවයි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඩැනි රොඩ්රික් මෙම අදහස විශ්වාස කළේය. ඔහු මෙය හදුන්වන්නේ පෞද්ගලික අංශය සහ රජය අතර උපායමාර්ගික සහයෝගීතාවය (strategic collaboration between the private sector and the government) ලෙස ය. ජපානය, දකුණු කොරියාව සහ තායිවානය යන සෑම රටක්ම තරමක් වෙනස් ලෙස කළ නමුත් ඔවුන් සියල්ලන්ම පෞද්ගලික අංශය සමඟ සමීපව කටයුතු කිරීමෙන් සාර්ථක විය.

ජපානයේ උදාහරණය රොඩ්රික්ගේ අදහස මනාව විදහා දක්වයි. MITI (ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය) වැනි රාජ්‍ය ආයතන වැදගත් කර්මාන්ත හඳුනා ගැනීමට සහ ඒවායේ සංවර්ධනයට සහාය වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මෙම සහයෝගීතාවය මුල්‍යමය සහයෝගය මත පමණක් කටයුතු කිරීම ඉක්මවා ගිය එකක් විය; එයට ඒකාබද්ධ පර්යේෂණ, කර්මාන්ත අවශ්‍යතාවලට ගැලපෙන යටිතල පහසුකම් ගොඩනැගීම සහ ව්‍යාපාර දියුණුවට උපකාර වන රෙගුලාසි නිර්මාණය කිරීම ඇතුළත් විය.

එලෙසම, දකුණු කොරියාවේ පවුල් පාලිත විශාල ව්‍යාපාර සමඟ ඇති සාර්ථකත්වය තුල මෙම දෘෂ්ටිකෝණයම දැකගත හැකිය. රජය මෙම විශාල සමූහ ව්‍යාපාරවල නැඟීම සක්‍රීයව පෝෂණය කළ අතර, ඔවුන්ට මූල්‍ය ආධාර සැපයීම සහ උපායමාර්ගික සැලසුම් සඳහා සහයෝගීව කටයුතු කිරීම සිදු කළේය . චේබෝල් ක්‍රමය, විවේචනවලට මුහුණ දී තිබියදීත්, රජය සහ ව්‍යාපාර අතර ශක්තිමත් සබඳතා කාර්මික වර්ධනයට හේතු විය හැකි ආකාරය පැහැදිලිව පෙන්නුම් කරයි.

තායිවානය ශ්‍රම තීව්‍රතාවයෙන් උසස් තාක්‍ෂණික කර්මාන්ත වෙත මාරුවීම පවා මෙම සහයෝගීතාවය පිළිබිඹු කරයි. අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා රජයේ ආයෝජන, තාක්ෂණික සමාගම් සඳහා ඉලක්කගත දිරිගැන්වීම් සමඟින් නවෝත්පාදන සඳහා සාරවත් බිමක් නිර්මාණය විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර විවෘත සන්නිවේදනයක් සහ පොදු දැක්මක් නොමැතිව මෙය කළ නොහැකි වනු ඇත.

 

ආර්ථික වර්ධනයේ රහස තරගකාරිත්වය ද?

සමගි ජන බලවේගය ක්‍රියාවට නැංවීමට අදහස් කරන්නේ ඊනියා සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකයකි. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා තරඟකාරීත්වය යොදා ගැනීමට අදහස් කරගෙන සිටින බව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලි වේ. එහිදී ඔවුන් මෙසේ පවසයි –

‘…තීරු බදු ප්‍රතිසංස්කරණවලට අමතරව, මිල පාලනය, ඇතැම් ආනයන සම්බන්ධව රජයට තිබෙන ඒකාධිකාරී බලය (උදා- ආහාර කොමසාරිස් සතුව තිබෙන ආනයන ඒකාධිකාරය) ආදී වූ විවිධ, දිගුකාලීනව නඩත්තු කල නොහැකි, සීමා කිරීම් ඉවත් කිරීම වැදගත් වෙයි. රජයේ ඒකාධිකාරවල තරගකාරීත්වය, ආණ්ඩුවේ අදාල සැපයුම් අංශය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් වෙනස් කල හැක. පෞද්ගලික අංශයේ කතිපයාධිකාරයන් (උදා-සහල් වෙලඳපොල) සංගත විරෝධී නීති හඳුන්වාදීම තුලින් පාලනය කළ හැක. රජය දේශීය වෙලඳ ක්ෂේත්‍රය තුල මැදිහත් විය යුත්තේ හුදෙක් සාධාරණත්වයේ අරමුණු සඳා පමණි. එය ද තරගකාරී පදනමක් මතය. පෞද්ගලික අංශයට තරග කිරීමට නිදහස පවතින තත්වයක් තුළය. තරගකාරීත්වය අඩුකම නිසා ආණ්ඩුවේ ප්‍රසම්පාදන හා සේවා සම්පාදන ක්‍රියාවලිය තුල අකාර්යක්ෂමතා සහ දූෂණය හටගෙන ඇත. නව සැපයුම් දාම නිර්මාණය කිරීම හා දැනට පවත්නා සැපයුම් දාමවල පවතින සීමා ඉවත් කිරීම තුලින් තරගකාරීත්වය ඇති වනු ඇති අතර, මෙමගින් සැපයුම වර්ධනය වී, අවසාන අර්ථයෙන්, මිල ගණන් අඩු වනු ඇත.[…] සැපයුම් ජාලවල කාර්යක්ෂමතාවය සීමා කරන අවහිරතා ආමන්ත්‍රණය කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබා දිය යුතු වෙයි‘.

නමුත් තරගකාරිත්වය යනු සෑම විටම, ඕනෑම තත්වයක් යටතේ ආර්ථිකය දියුණු කිරීම සඳහා යොදාගත හැකි සාර්ථක උපක්‍රමයක් නොවේ. මේ බව පැහැදිලි වන්නේ  විශේෂයෙන් නැගෙනහිර ආසියා රටවල් ආර්ථිකය දියුණු කිරීම සඳහා යොදාගත් උපායමාර්ගයන් සලකා බලන විටය. සරලව පවසන්නේ නම් අප අවධානය යොමු කරන්නේ ආර්ථික වර්ධනයට මිස තරගකාරිත්වයට නොවේ. එහිදී  වැඩිවන පරිමානාණුකූල ඵල (economies of scale) ඇති කරන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, තරගකාරිත්වය සැමවිටම ආර්ථික වෘධියට හේතුවන බවට අධානග්‍රාහී විශ්වාසයක් නොවීය. එය පහත පරිදි වේ.

කුඩා අභ්‍යන්තර වෙළඳපොළක් සහිත, සංවර්ධනයේ ප්‍රමාදයක්  ඇති රටවල, ප්‍රතිපත්ති සම්පාදකයින්, සමාගම්වලට විශාල ලෙස වර්ධනය වීමට ඉඩ හැරීම හරහා එක් එක් කර්මාන්තයේ සිටින නිෂ්පාදකයින් සංඛ්‍යාව සීමා කළ හැකිය. නමුත් මේ හරහා විශාල ගැටලුවක් ඇති විය හැකිය: සමහර සමාගම් වලට තමා සිටිනා වෙළඳපල මත පුර්ණ ඒකාධිකාරයක් හා ඒ හරහා එකී වෙළඳපොලේ සම්පූර්ණ පාලනයක් තිබිය හැකිය. කර්මාන්තයක සමාගම් වැඩි ප්‍රමාණයක් තිබීම හරහා එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අතර දැඩි තරඟයක් පවතිනු ඇතැයි අදහස් කිරීම නිරවද්‍ය නොවේ. සමහර විට, විශාල සමාගම් කිහිපයක් සමඟ වුවද, නැඟෙනහිර ආසියාවේ සමහර ප්‍රදේශවල අපට පෙනෙන පරිදි, දැඩි තරඟයක් පැවතිය හැකිය. තරඟකාරී ප්‍රතිපත්ති සම්පාදකයින් බොහෝ විට කනස්සල්ලට පත්වන්නේ විශාල සමාගම්වලට ඕනෑවට වඩා බලයක් තිබීමෙන් වෙළඳපල අඩු කාර්යක්ෂමතාවයක් ඇතිවන බවය. ඔවුන් සාමාන්‍යයෙන් මෙම ගැටලුව විසඳීමට ඇමරිකාවේ මෙන් ශක්තිමත් සංගත විරෝධී නීති භාවිතා කිරීමට යෝජනා කරයි. (සංගත විරෝධී ප්‍රතිපත්ති යනු විශාල සමාගම් වෙළඳපොලක් ඕනෑවට වඩා පාලනය කිරීම නැවැත්වීමට රජය විසින් සාදන ලද නීති වේ. තරඟකාරිත්වය සාධාරණව තබා ගැනීමට සහ පාරිභෝගිකයින්ට තේරීම් ඇති බව සහතික කිරීම සංගත විරෝධී නීතිවල අරමුණයි.) මීට සාමාන්‍යයෙන් වැඩි රාජ්‍ය මැදිහත්වීමකට සහාය දෙන පුද්ගලයින් පවා එකඟ වන්නේ රජය මැදිහත් වී ක්‍රියාවට නංවන නීති හරහා තරඟකාරිත්වය පිළිබඳ නීති සකස් කිරීම වැදගත් බවයි.

මගේ තර්කය මෙසේ ය. නැගෙනහිර ආසියාතික ආන්ඩු හිතාමතාම කතිපයධිකාරී හෝ ඒකාධිකාරී වෙළඳපල ව්‍යුහයන් නිර්මාණය කර ඇත්තේ යම් වෙළඳපොලක ඇති අදාළ කර්මාන්තයේ පරිමනානුකූල ඵල වලින් (economy of scale) හැකිතාක් වාසි ලබාගැනීමටය. බොහෝ ආර්ථික විද්‍යාඥයන් මෙම අදහස කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරන නමුත් දකුණු කොරියානු ආර්ථික විද්‍යාඥයෙකු වන හා-ජූන්-චැන්ග් පෙන්වා දෙන පරිදි වැඩි තරගයක් නොමැති වෙළඳපොළවල් ඇති අතර ඒ හරහා කෙතරම් කාර්යක්ෂමතාවයක් නැතිවී යනවාද යන්න සොයා බැලීමේදී පෙනී යන්නේ එය ඇතැමුන් සිතන තරම් විශාල නොවන බවයි. අනෙක් අතට, බොහෝ කර්මාන්තවල නිවැරදි පරිමාණයෙන් දේවල් නිෂ්පාදනය නොකිරීමෙන් ලැබෙන පිරිවැය බොහෝ විට තරමක් ඉහළ ය. එය වෙනස් ලෙස දැක්වීමට, නැගෙනහිර ආසියානු තරඟකාරී ප්‍රතිපත්ති තන්ත්‍රය තුළ වෙළඳපල බලය සලකා බැලීම්වලට වඩා වැඩිවන පරිමානනුකුල ඵල සලකා බැලීම් සඳහා පැහැදිලි ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.

දෙවනුව, නැගෙනහිර ආසියානු ආණ්ඩු අධික නාස්තිකාර හෝ විනාශකාරී තරඟකාරීත්වය ගැන ගැඹුරින් සැලකිලිමත් වී ඇත. ඕනෑවට වඩා තරඟකාරිත්වය ගැන කනස්සල්ලට පත්වීම, එකී තරගය පිළිබඳව හෝඩුවාවක් නැති රජයේ නිලධාරීන්ගේ අඥාන බියක් පමණක් බව නවලිබරල්වාදීහු කියති. නමුත් නවීන කර්මාන්තවල භෞතික හා මානව යන දෙඅංශයෙන්ම ඇති නිශ්චිත වත්කම්, එකී කර්මාන්තය වර්ධනය වීම සඳහා කෙතරම් තීරනාත්මක දැයි අප වටහා ගන්නා විට, අධික තරඟකාරිත්වය එයට විශාල ගැටලුවක් විය හැක්කේ මන්ද යන්න පැහැදිලි වේ. බොහෝ ව්‍යාපාර වෙළඳපොළකට ඇතුළු වීමට උත්සාහ කරන විට, විශේෂයෙන් ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවා සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් නොමැති විට, එය අවසන් වන්නේ සම්පත් නාස්තියකිනි . මක්නිසාද යත් ඔවුන් එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන ලද දේවල් ඇතැම්විට වෙනත් කිසිම කර්මාන්තයකට ප්‍රයෝජනවත් නොවිය හැකි වීමය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, නැගෙනහිර ආසියාතික ආණ්ඩු ආයෝජන සම්බන්ධීකරණය කිරීමට සහ කාරකයන් අධික ලෙස වෙළඳපොළට ඇතුල්වීම වැළැක්වීමට උත්සාහ කර ඇත. බොහෝ ව්‍යාපාර අත්වැරදීමකින් හෝ අනපේක්ෂිත වෙනස්කම් නිසා, වැරදි අනාවැකි හෝ ගෝලීය වෙළඳපොලේ හදිසි මාරුවීම් නිසා වෙළඳපලකට ඇතුළු වූ විට, රජය බොහෝවිට එය නිවැරදි කිරීමට පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරයි. මෙහිදී එයට ප්‍රතිචාරයක් ලෙස රජයේ මගපෙන්වීම යටතේ නිෂ්පාදනය අඩු කිරීමට සාකච්ඡා කිරීම, සමාගම් ඒකාබද්ධ කිරීම හෝ වෙළඳපල බෙදාගැනීම වැනි ක්‍රියා සිදු කිරීම ද  මෙයට ඇතුළත් වේ. මේ හරහා නාස්තිකාර තරඟය වැළැක්වීමට මෙය උපකාරී වේ.

තෙවනුව, නැඟෙනහිර ආසියාවේ රජයන් විසින් එකට වැඩ කරන සමාගම්වලට එරෙහිව පියවර ගැනීම වෙනුවට ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සිදු කර ඇත. ඔවුන් එසේ කරන්නේ තරඟය තාවකාලිකව නැවැත්වීම හරහා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහාය. නිදසුනක් වශයෙන්, ජපාන රජය බොහෝ විට සමාගම් අතර විවිධ ආකාරයේ ගිවිසුම් වලට ඉඩ දී ඒවාට සක්‍රීයව සහාය ලබා දී ඇත. ඔවුන් මෙය සිදුකර ඇත්තේ ආර්ථික පසුබෑම් පාලනය කිරීමට, නිෂ්පාදනය කරන ප්‍රමාණය සැලසුම් කිරීමට, එකී කර්මාන්තය දියුණු කිරීම සඳහා සිදුකරන පර්යේෂණ  වැඩි කිරීමට, විදේශ වෙළඳපලවල මිල ගණන් වලට එකඟ වීමට, වෙළඳපොලේ පවතින කුඩා සමාගම්වල තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට සහ සාර්ථක ලෙස ක්‍රියා නොකරන කර්මාන්ත වසා දැමීමට ය.

නිදසුන් ලෙස, කොරියාවේ, 1981 වන තෙක් ප්‍රති-සංගත නීති තිබුණේ නැත. ඉන් පසුව පවා, වර්ධනය සඳහා විභවයක් පෙන්නුම් කරන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීමට, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට සහ වඩාත් කාර්යක්ෂම වීමට අවශ්‍යනම් එකී කර්මාන්තවලට එකට වැඩ කිරීමට සමාගම්වලට රජය අවසර දෙන ලදී. ඒ හා සමානව, දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටි සහ එම කර්මාන්තවල ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට අවශ්‍ය වූ විට, එකී සමාගම්වලට සහයෝගයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලදී. සමහර රටවල, ප්‍රති-සංගත නීති මගින් සංගත වර්ධනය වීම නැවැත්වූ විට එකී වෙළඳපොලේ ඇති කර්මාන්ත එකතැන පල් විය, නමුත් නැගෙනහිර ආසියානු රටවල මෙය එසේ නොවීය. මෙහිදී, දේවල් වඩාත් ඵලදායී බවට පත් කිරීම සඳහා නිශ්චිත ඉලක්ක කරා ළඟා වීමට කෙටිකාලීන විසඳුමක් ලෙස තරඟකාරිත්වය නතර කිරීම ඔවුන් විසදුමක් ලෙස දුටුවේය.

මෙම විරාමය යම් කාලයක් පැවතිය හැකි වුවද, තරඟය සම්පූර්ණයෙන්ම නතර කළ බව එයින් අදහස් නොවේ. නැගෙනහිර ආසියාතික රජයන් ප්‍රති-සංගත ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම ගැන ඇතැම් අය විවේචනය කර ඇත. ඔවුන් මෙය දකින්නේ මහා ව්‍යාපාරිකයන් සමඟ ආන්ඩුව ඉතා සුහදශීලීව සිටින බවට සාක්ෂියක් ලෙසයි, එය ඔවුන් හඳුන්වන්නේ “ගජ මිතුරු ධනවාදය” (crony capitalism) ලෙසිනි. නමුත් අප කතා කළ දේ පෙන්නුම් කරන්නේ නැගෙනහිර ආසියානු ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තරඟකාරිත්වය දෙස බලන ආකාරය නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන්  අනුගමනය කරන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින්ට වඩා වෙනස් ලෙස දකින බවය. ඔවුන්ගේ තරඟකාරී ප්‍රතිපත්තියේ අවධානය යොමු වූයේ නැගී එන කර්මාන්තවල ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ අධික තරඟකාරීත්වය නිසා ඇතිවන අකාර්යක්ෂමතාවයෙන් තොරව පිරිහෙමින් පවතින කර්මාන්ත වලින් වෙනත් කර්මාන්තයකට සම්පත් සංක්‍රමණය වීමට පහසුකම් සැලසීමයි. අවශ්‍ය නම්, ප්‍රධාන කාරකයින් කිහිප දෙනෙකු විසින් ආධිපත්‍යය දරන වෙළඳපොලවල් වල මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩු නව කාරකයින්ට (actors) ඇතුල්වීම සහ එකී කාරකයින්ගේ ව්‍යාප්තිය සීමා කළේය. ඔවුන් සමාගම් අතර සහයෝගීතාවයට ද අවසර දී ඇත, නමුත් ඒ නිශ්චිත ඵලදායිතා ඉලක්ක සහ නිශ්චිත කාල රාමු තුළ පමණි.

මිගාර රත්නායක විසිනි.

Comments (1)

සුමනසිරි ලියනගේ says:

මේ ලිපිය කියවීමේ දී මට හැගී ගියේ මෙහි කතුවරයා නැගෙනහිර ආසියාතික අත්දැකීම් ඇසුරෙන් ප්‍රාග්ධන සමුච්චනයම මෝසස් සහ අනාගත වක්තෘ වන ධනේශ්වර මාවතක් එලිකර ගන්නට ය. ගෝලීය දකුණේ රටවලට ධනේශ්වර වර්ධනයක් ඇතිකර ගත හැක. ඩැනී රොඩ්රික් industrial policy ලෙස යෝජනා කරන්නේ ඒ මාවත ය. මගේ ප්‍රශ්නය අප ඒ මාවතම යෝජනා කරන්නේද? වෘධ්දි වේගය, පලදායිතාව, පරිමානානුකූල ඵ්ල, වැනි චින්තනයේ ම හිරවී වෘද්ධි මාවතක් හොයන්නේද? ඒ කුලකයන්හි හිර නොවුන මාවතක් හොයා ගත නොහැකිද? පටන්ගත යුත්තේ අපි ශ්‍රීලංකාව දකුණු කොරියාවක් හෝ සිංගප්පූරුව ක් කිරීමට විරුද්ධ වෙමු කියන තැනිනි. නැත්නම් අප හිරවන්නේ ඩැනී රොඩ්‍රික්, හෝවාර්ඩ් නිකොලස් ගේ කාර්මික ප්‍රතිපත්ති මාවතේ ය. එවන් මාවතක් ඇර ගත හැක. අපි ඒ ඇර ගැන්මට එරෙහි විය යුතු වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *