මුදල්, හා මායාකාරී ප්‍රාග්ධනය හමුවේ සැබෑ ආර්ථික වර්ධනයක් සඳහා ප්‍රවේශයක්

මුදල්, එහි ක්‍රියාකාරීත්වය, මායාකාරී  ප්‍රාග්ධනය ආර්ථිකය හා බැදී ඇති ආකාරය පිලිබඳ මූලික විග්‍රහයක් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මුදල් යනු කුමක්ද? සරලව එය වෙළඳාමට අදාළව භාණ්ඩ හා සේවා  හුවමාරු මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි වුවද වර්තමානය වන විට  එය වෙළඳ භාණ්ඩයක් (Commodity) ලෙසද ක්‍රියා කරයි. මුදල් භාවිත කිරීම සඳහා ගෙවන මිල පොලියයි (Interest). අතීතයේදී  රත්තරන්, රිදී  හා වෙනත් ලෝහ වර්ග මුදල් ලෙස භාවිත කළ අතර අද වන විට තාක්ෂණය විසින් හසුරවන අත්‍යතය (virtual/digital currencies) මුදල් දක්වා එය වර්ධනය වී ඇත.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් ඒවා විවිධ වෙළඳපළවල් හරහා බෙදාහැරීමේ ක්‍රියාවලියත් ආර්ථිකයක් සරලව නිර්වචනය කල හැක. මූලික අවධියේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් අවශ්‍ය වූයේ නැත. ශ්‍රමය මූලික කරගෙන පළමුවෙන් නිෂ්පාදනය සිදු වූ අතර නිෂ්පාදනයෙන් වැඩි කොටසක්  දේපළ හිමියන් හා හාමු පුතුන් අතට පත්විය. මුදල් භාවිතයත් සමග තමන්ට හිමි නිෂ්පාදන පංගුව මුදල් බවට හැරවීමේ හැකියාව ලැබුණි.

නිෂ්පාදන පංගුව මුදල් බවට හැරවු පසු එය තමන්ට අවශ්‍ය ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව (capacity to buy) බවට පත්වේ. වෙනම භාණ්ඩයක් ලෙස  ගත් කල මුදල් වලට මිනිස් අවශ්‍යතා ඉටු කිරීමේදී කල හැකි දෙයක්  නොමැති අතර,  එහි වටිනාකම අවසානයේදී  රැඳී ඇත්තේ  මුදලෙහි ඇති භාණ්ඩ හා සේවා බවට පත්කිරීමේ හැකියාව මතයි.

ඒ  අනුව වැඩි නිෂ්පාදන පංගුවක් ලැබූ තැනැත්තාට වැඩි මුදලකුත් අඩු නිෂ්පාදන පංගුවක් ලද තැනැත්තාට අඩු මුදල් ප්‍රමාණයකුත් ලැබෙන බව පැහැදිලිය. වැඩි නිෂ්පාදන පංගුව අත්පත් කරගත් කණ්ඩායමට තම මිලදී ගැනීමේ අවශ්‍යතා සඳහා වියදම් කළ පසු විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබේ. මෙම හැකියාව  ක්‍රමයෙන් වැඩි වූ අතර එම අතිරික්ත වටිනාකම ඔවුන්ගේ ඉතිරි කිරීම්, දේපොළ හා ධනය බවට පත්විය.

නිෂ්පාදනයෙන් ආරම්භ වී මුදල් වලින් අවසාන වූ නිෂ්පාදන ක්‍රියාවලිය දැන් පළමුව මුදල් යෙදවීමෙන් ආරම්භ වී නිෂ්පාදනයෙන් අවසාන වන වර්තමානයේ පවතින  නිෂ්පාදන ක්‍රියාවලිය බවට පත්විය.  මුදල් යෙදවීම පළමුව සිදු කිරීම  මඟින්  නිෂ්පාදන ක්‍රියාවලිය  වේගවත් කිරීම හා කාර්යක්ෂමතාව වැඩි කිරීමට හැකියාව ලැබේ. ඒ අනුව ව්‍යාපාර හා නිෂ්පාදනය ආරම්භ කිරීමට හා පවත්වා ගැනීමට, හිමිකාරත්ව ප්‍රාග්ධනය (Equity capital) හා  ණය ප්‍රාග්ධනය (debt capital) ලෙස පැමිණෙන මුදල් (money/finance) අත්‍යවශ්‍ය විය. අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට, ඉඩම් හා ගොඩනැගිලි අත්පත් කර ගැනීමට හෝ ඒ සඳහා කුලී (Rent) ගෙවීමට,  ශ්‍රමය හා අනෙකුත් සේවා සඳහා ගෙවීමට මෙම මුදල් යොදා යොදාගැනීම සිදු වේ. නිෂ්පාදනය පුළුල් වීමත් සමග බැංකු පද්ධතිය  නිර්මාණය වීම, ණය දීමේ හා ණය ලබා ගැනීමේ ක්‍රියාවලියද වර්ධනය විය. එමඟින්  නිෂ්පාදනය තව තවත් කාර්යක්ෂම වීම හා ප්‍රසාරණය වීම සිදුවිය.

වර්තමාන මුල්‍ය හා බැංකු පද්ධතිය තුළ පවතින මුදල් ප්‍රමාණය රටක ව්‍යවහාර  වන භෞතික මුදල් නෝට්ටු හා කාසි  ප්‍රමාණයට පමණක් සීමා නොවේ. බැංකු පද්ධතිය (banking system) සතු  මුදල් මැවීමේ හැකියාව මත නිර්මාණය වන බැංකු මුදල් (bank money) අති විශාලය.  2023 වර්ෂය අග වනවිට එය භෞතික මුදල් ප්‍රමාණය මෙන් 11 ගුණය ඉක්මවා තිබුණි. පුළුල් මුදල් සැපයුම ලෙස හඳුන්වන්නේ එයයි.  එය නිෂ්පාදනය තව තවත් වේගවත් හා කාර්යක්ෂම කරගැනීම සඳහා යොදා ගැනීමේ හැකියාව  රටක් සතුව ඇත.  මෙම හැකියාවන් නිසි ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට  මුසුකරගත් කාර්මික  ප්‍රතිපත්තියක් ්‍රී ලංකාවට නොතිබුනු හෙයින් විශේෂයෙන්ම කාර්මික විප්ලවයෙන් පසු ලෝකය අත්පත් කරගත් නිෂ්පාදනයේ ප්‍රසාරණයන් හා ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට අපට නොහැකි විය.

නිෂ්පාදනය පනගැන්වීම සඳහා, ඉහත දැක්වූ ආකාරයට මුල්‍ය ප්‍රාග්ධනය නිෂ්පාදන ක්‍රියාවලියට දායකවී එය ප්‍රසාරණය කරමින් ජනනය කරන වටිනාකමින් කොටසක් මුල්‍ය ප්‍රාග්ධනය  සඳහා ලබා ගන්නවා වෙනුවට, එය වෙනමම වෙළඳ භාණ්ඩයක් (commodity) ලෙස මූල්‍ය වෙළඳපළ තුළ ක්‍රියාත්මක වෙමින් ඉතා කෙටි කාලයක් තුළ  විශාල ලෙස ලාබ උපයා ගැනීමේ ක්‍රමවේදයට තල්ලු වීම නව ලිබරල්වාදයේ  නැග්මත් සමග සිදු විය. ආර්ථිකය තුළ ක්‍රමයෙන් ව්‍යාජ මූල්‍ය වත්කම් (fictitious financial assets) නිර්මාණය වීමද මෙයට සමගාමීව සිදු විය. මූල්‍ය වෙළඳපළ තුළ  පවතින තොරතුරු ගලා යෑමේ අසමතුලිතතාවය, (information  asymmetry), මුල්‍ය වෙළදපොල තුල ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාර්ශ්ව අතර සිදුවන ගනුදෙනු හා තොරතුරු හුවමාරු වීම්, (insider  trading) පොලී අනුපාතයේ  සිදුවන විචලතාවයන් (interest rate volatility), සැබෑ වටිනාකම් උත්පාදනය නොකර හුවමාරු වන මූල්‍ය වියුත්පන්න උපකරණ (financial derivatives) වැනි තත්ත්වයන් නිසා  අසාමාන්‍ය ලාබ ඉපයීමේ හැකියාව මූල්‍ය වෙළෙඳපොළ තුළ වේගයෙන් වර්ධනය වීම සිදුවේ. පසුගිය අවුරුදු කිහිපය තුල ශ්‍රී ලංකාවේ  පොලි අනුපාත වේගයෙන් ඉහල පහල යාම තුල හා අසාමාන්‍ය ලෙස මුදල් අච්චු ගැසීම නිසා සිදු වූ මුදල් සැපයුමේ  වැඩිවීම මගින්, මුල්‍ය වෙළද පොලේ ක්‍රියාත්මක මහා පරිමාණ ආයෝජකයින්ට අසාමාන්‍ය ලාභ  උපයාගැනීමේ අවස්ථාව නිර්මාණය කර දෙනලදී.

නිෂ්පාදනය ක්‍රමයෙන් කඩා වැටෙන විට , නිෂ්පාදන සමාගම් පාඩු ලබන විට රැකීරක්ෂා අහිමිවන විට, මුල්‍ය ක්ෂේත්‍රයේ තැරව්කාර මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ, ආණ්ඩුව තම වගකීම නිසිලෙස ඉටු නොකරන නිසාත්, ඔවුන් දුෂණයට සම්බන්ධ වන නිසාත්ය. අසීමිත ලෙස ඉතා පහසුවෙන් ලාභ ඉපයීමේ හැකියාව   මුල්‍ය  වෙළඳ පොළ තුල පවතින නිසා, එම මුදල් වැඩි අවදානම් සහිත සැබෑ නිෂ්පාදනයට දායක වීම අතාර්කික වේ. ඒ වෙනුවට ප්‍රාග්ධන හිමිකරුවන් හා  බැංකු පද්ධතිය හරහා අවශ්‍ය පරිදි ණය  ලබාගත හැකි  පුද්ගලයන් තම ආයෝජන සැබෑ නිෂ්පාදනය (real production) මගහැර මුල්‍ය වෙළද පොළ තුල   පමණක් ක්‍රියාත්මක වීම, පුද්ගල ප්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණ සමග සමපාත වන අතර  එය වඩාත් තාර්කිකද වේ. ඒ අනුව ඔවුන් වැඩි කැමැත්ත දක්වන්නේ ූල්‍ය අංශයේ ආයෝජනය කිරීමටයි. ලංකාවේ පවතින ්‍රධාන නිෂ්පාදන ආයතන විශේෂයෙන් 1980 න් පසු තම ව්‍යාපාර සමූහය තුළ වෙනමම මූල්‍ය අංශයක් හෝ බැංකු ක්ෂේත්‍රක් ආරම්භ කරන්නේ මෙම හේතුව නිසයි. ඒ අනුව සාම්ප්‍රදායික නිෂ්පාදන ව්‍යාපාර වෙනුවට තම ආයෝජන ක්‍රමයෙන් මූල්‍ය වෙළඳපළ ට යොමු කිරීමේ ප්‍රවණතාවය වැඩි විය. මූල්‍ය වෙළඳපලක  පැවතිය හැකි මෙම විකෘති තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කොට මුදල් හා ඉතිරි කිරීම් සැබෑ ආර්ථිකය (real economy) දෙසට යොමු කිරීමේ වගකීම හා හැකියාව ඇත්තේ ආණ්ඩුවටයි.   ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක් අත්පත් කර නොගැනීම, නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය නොවීම හා නව කාර්මීකරණ වැඩපිළිවෙළක් දෙසට ශ්‍රී ලංකාව යොමු නොකිරීම වැනි කාරණාවලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ලංකාවේ ආණ්ඩු මෙම වගකීම හා කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමයි. මහ බැංකුවේ දත්ත හා තොරතුරු ඇසුරින් ව්‍යවහාරයේ පවතින මුදල් (physical Money or currency in circulation) හා බැංකු පද්ධතිය සතු දේශීය හා විදේශීය ශුද්ධ වත්කම් වල එකතුව (පුළුල් මුදල් සැපයුම) සංසන්දනය කිරීම මගින් බැංකු මුදල් ( Bank Money) කාලයත් සමඟ  ප්‍රසාරණය වූ ආකාරය අවබෝධ කරගත හැක. 2023 දෙසැම්බර් අග වන විට මහජනතාව හා බැංකු පද්ධතිය සතුව ව්‍යවහාරයේ පැවැති සත්‍ය මුදල් ප්‍රමාණය  රුපියල් බිලියන 1,187 පමණක් වූ අතර  පුළුල් මුදල් සැපයුම (M2b) රුපියල් බිලියන 13,189 ක් විය. එය ව්‍යවහාරික මුදල් ප්‍රමාණය මෙන් 11 ගුණයකට වඩා වැඩිය.

1970 දී හා 1980 දී මෙම ගුණක අගයන් පිළිවෙලින් 2.35 ක් හා 3.16 වූ අතර, 1990, 2000 හා 2010 දසකවල සාමාන්‍ය ගුණක අගයන් පිළිවලින් 5.31 ක්, 7.55ක් හා 9.72 ක් ලෙස ක්‍රමයෙන් වර්ධනය වී ඇත. 2020 සිට  මෙම අගය දසගුණය ඉක්මවා පවතී.

කෙසේ නමුත් රට තුළ  ප්‍රමාණවත් ආර්ථිකය වර්ධනයක් අත්පත් කර නොගැනීම තුළින් පෙන්වන්නේ බැංකු මුදල්  හා මූල්‍යකරණය වර්ධනය වීම මගින් නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වා නොමැති බවයි. ආර්ථික වෘද්ධිය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ප්‍රමාණාත්මක හා තිරසාර ආර්ථික වර්ධනයනක් පවත්වා ගැනීමට ආණ්ඩු අපොහොසත් වී ඇති බවයි.

2012 දී  ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ආර්ථික වර්ධනය වන 9.1% , 2013 දී එකවර 3.4% දක්වා පහත වැටීම හා ඉන් අනතුරුව ඉහළ පහළ යෑම් සහිතව වාර්තා වූ ආර්ථික වර්ධනයන් 2019 වර්ෂය අවසාන වන විට ඍණ 0.2% දක්වා පහත වැටීම කෙසේ,  කුමන හේතූන් නිසා සිදුවූයේද යන්න ගැඹුරින් ප්‍රශ්න කළ යුතුය. එමෙන්ම 2020, 2022 හා 2023 දීද  පිලිවෙලින්  – 4.6%, -7.8%  හා -2.3% ක වර්ධනයන් පෙන්නෙම් කරයි.

ආර්ථිකය බිඳවැට්ටුවීමට දූෂිත දේශපාලන යාන්ත්‍රණය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආර්ථික ක්‍රමවේදය විශාල වශයෙන්  දායක වී ඇති බව ප්‍රත්‍යක්ෂ කරුණක් වේ. කෙසේ නමුත් විශාල වශයෙන් ලබාගත් ණය හා බැංකු මුදල් ප්‍රසාරණය වීම සැබෑ ආර්ථිකය වර්ධනය කිරීමට යෙදවී නැත්තේ ඇයිද යන්න පිළිබඳ ප්‍රමාණාත්මක හා පුළුල් සාකච්ඡාවක් සිදුවී නැත. විශේෂයෙන්ම අද අපේ රට මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදවාගෙන නව යුගයකට පරිවර්තනය කිරීමේ කාර්යයේදී, නවකාර්මීකරණයක් සහිතව නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා ව්‍යවහාර මුදල් හා ඉතිරිකිරීම් ඇතුළත් බැංකු මුදල් වලට විශාල කාර්යභාරයක් කළ හැක. එය සිදු කිරීමේ අවශ්‍යතාවය ආණ්ඩුවකට තිබිය යුතුය. මූල්‍ය ක්ෂේත්‍රය උපාය මාර්ගික වශයෙන් වැදගත් අංශයක් ලෙස ජාතික ජන බලවේගය අවධාරණය කරන්නේ එම නිසාය. මුදල් නිසි පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය වෙත යොමු කිරීම හා මග පෙන්වීම සිදු කිරීමට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක පංගුවක් රාජ්‍ය අංශය සතුවිය යුතුයි. පවතින  රාජ්‍ය බැංකු පද්ධතියේ ඇති අකාර්යක්ෂමතා හා පරිපාලන ගැටළු ඉවත් කරමින් ඉවත් කරමින්, කාර්යක්ෂතාව වැඩි කරන නව පරිපාලන ව්‍යුහයන් හා ක්‍රමවේද හදුන්වාදෙමින්, නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා නව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම මඟින් මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කරමින්, නිෂ්පාදනයට අවශ්‍ය මුල්‍ය, සම්පාදනය කිරීමේ වගකීම රාජ්‍ය බැංකු පද්ධතිය ඉටු කල යුතුයි.

අනවශ්‍ය විචලතාවයන් (volatility) සිදු නොවන ආකාරයට විධිමත්ව පොලී අනුපාතය හා විදේශ විනිමය අනුපාතය පවත්වා ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යයක් වන මූල්‍ය පද්ධතිය හා ආර්ථිකය ස්ථායි කර ගැනීම සඳහා ඉතා වැදගත්වේ. තාක්ෂණයේ දියුණුවත් සමග දැනටමත් අත්දකින අත්‍යත්ය මුදල් භාවිතයේ ප්‍රවණතාවය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන අතර නිසි රාජ්‍ය මැදිහත්වීම මත එම තත්ත්වයන් හා මුදල් භාවිතය වෙළඳපොළ කාර්යක්ෂම කර ගැනීමටත්, නිෂ්පාදනය වර්ධනය කිරීමටත් ප්‍රශස්ත ලෙස යොදා ගැනීම ජාතික ජන බලවේගයේ වැඩ පිළිවෙළ තුළ ඇතුලත් වන්නේ ඒ නිසාය.

 

මහාචාර්ය අනිල් ජයන්ත

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ සභාපති

 

 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *