සමාජ වෙළඳපොල ආර්ථිකයේ උභතෝකෝටිකය – නැගෙනහිර ආසියානු සංවර්ධන අත්දැකීම ඇසුරින් (දෙවන කොටස)

ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය මූලික ප්‍රවේශයක් වන “සංවර්ධනීය රාජ්‍යවාදය” (developmental statism) නැගෙනහිර ආසියාවේ කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර නිදහස් වෙළඳපල ධනවාදය සමාජ සුභසාධන ප්‍රතිපත්ති සමඟ ඒකාබද්ධ කරන, සමාජ වෙළඳපල ආර්ථිකය හරහා බොහෝ විට ඌන සංවර්ධිත රටවල ඒ හා සමාන සාර්ථකත්වයක් අත්කර ගැනීමට අසමත් වී ඇති බව පෙනී යයි . මෙම රචනය “සංවර්ධනීය රාජ්‍යවාදය” ඉදිරිදර්ශනය හරහා නැගෙනහිර ආසියානු ආර්ථිකයේ සාර්ථකත්වයන් ගවේෂණය කරන අතර ඌන සංවර්ධිත සන්දර්භයන් තුළ සංසන්දනාත්මක ප්‍රගතියක් ඇති කර ගැනීමේදී, සමාජ වෙළඳපල ආර්ථිකයේ සීමාවන් විමර්ශනය කෙරේ.

 

සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ වෙළෙඳපොළ ආර්ථිකයේ සීමාවන්

බටහිර යුරෝපයේ ප්‍රචලිත වන සමාජ වෙළඳපල ආර්ථික ආකෘතිය, අසමානතා ආමන්ත්‍රණය කිරීමට සහ ආන්තික කණ්ඩායම්වලට සහාය දැක්වීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් සමඟ නිදහස් වෙළඳපල යාන්ත්‍රණයන් අවධාරනය කරයි. අත්‍යවශ්‍යයෙන්ම, එය ක්‍රියාත්මක වන්නේ නව ලිබරල්වාදයේ මූලධර්ම මත වන අතර, එය වෙළඳපොලේ අවම රාජ්‍ය මැදිහත්වීමක් වෙනුවෙන් පෙනී සිටින අතර, වෙළඳපොල බලවේගයන්ට ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවීමට ඉඩ සලසනු ලැබේ. වෙළඳපොළ මත පදනම් වූ ප්‍රවේශය අසමානතාවයන්ට තුඩු දෙන අතර ජනගහනයේ ඇතැම් කොටස් අවදානමට ලක්වන විට, සමාජ වෙළඳපල ආර්ථිකය නව ලිබරල්වාදය හරහා ඇතිවන අසමානතාවය තුළින් බිහිවෙන සමාජයේ පහළ ස්ථරයේ කොටස් සඳහා සමාජ ආරක්ෂණ දැල් භාවිතා කරති.

මෙම ආකෘතිය බටහිර යුරෝපයේ ස්ථාවර සහ ධනවත් ආර්ථිකයන් තුළ ඵලදායී බව යම්තාක් දුරකට පෙනී යන නමුත්, එය සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට අදාළව ගත්කළ සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙති. මෙම සන්දර්භය තුළ, පුළුල් සමාජ සුබසාධන පද්ධති සඳහා සහාය වීමට අවශ්‍ය ආයතනික රාමු සහ සම්පත් සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ විට හිඟ වේ. තවද, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව බෙදී නොයෑමට ඉඩ ඇති බැවින්, නිදහස් වෙළඳපොල යාන්ත්‍රණයන් කෙරෙහි අවධාරණය කිරීම පවතින අසමානතාවයන් තීව්‍ර කළ හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආර්ථික ප්‍රගතිය දිරිමත් කිරීමට සහ සමාජ අසමානතා ආමන්ත්‍රණය කිරීමට “සංවර්ධනීය රාජ්‍යවාදය” වැනි රාජ්‍ය මූලික ප්‍රවේශයන් වඩාත් යෝග්‍ය වන අතර ඌන සංවර්ධිත රටවල තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමට සමාජ වෙළෙඳපොළ ආර්ථික ආකෘතියට නොහැකි වී ඇත.

නව ලිබරල්වාදයේ, අවම රාජ්‍ය මැදිහත්වීම සහ නිදහස් වෙලඳපොල යාන්ත්‍රණයන් කෙරෙහි කරන අවධාරනය සමග, විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ දැල භාවිතා කිරීම තුළින්, වැඩෙන අසමානතාවයේ ගැටලුව විසඳීමට අසමත්වේ. දෘෂ්ටිවාදාත්මකව බලන කල්හි ආර්ථික ලිබරල්කරණය, නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණයට ප්‍රමුඛත්වය ලබා දීම මෙන්ම, වෙළඳපොලේ අදෘශ්‍යමාන හස්තය හරහා කාර්යක්ෂමව සම්පත් වෙන් කර එය සංවර්ධනයට හේතු වනු ඇතැයි විශ්වාස කරයි. නමුත්, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව බෙදී නොයන බැවින්, මෙම ප්‍රවේශය බොහෝ විට ධනයේ සහ ආදායමේ සැලකිය යුතු විෂමතා ඇති කරයි. රාජ්‍ය වියදම් සහ ණය අඩු කිරීම පිළිබඳ නව ලිබරල්වාදී අවධාරනය, ඵලදායි සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයන්ට ඇති හැකියාව තවදුරටත් සිමා කෙරේ.

තෝමස් පිකෙටි වැනි ආර්ථික විද්‍යාඥයන් මෙම ප්‍රවණතාවය අවම කිරීම සඳහා විශ්ව ධන බදු හෝ ප්‍රගතිශීලී බදුකරණය වැනි විසඳුම් යෝජනා කරමින්, වැඩෙන අසමානතාවයේ විශාලත්වය අඩු කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත. මෙම නිර්දේශ ශක්තිමත් ආනුභවික පර්යේෂණ මත පදනම් වී ඇති අතර ධනය වඩාත් සාධාරණ ලෙස යලි බෙදා හැරීම අරමුණු කර ගෙන ඇති නමුත්, ධනේශ්වර රාමුවක් තුළ ඒවා ක්‍රියාත්මක කිරීම අතිශයින් අභියෝගාත්මක ය. සමීර් අමීන් පෙන්වා දෙන පරිදි, ප්‍රගතිශීලී බදුකරණය පිළිබඳ හුදු යෝජනාවට බොහෝ විට ප්‍රතිරෝධය එල්ල වන්නේ බලයේ ලීවර පාලනය කරන සහ පවතින තත්ත්වයෙන් උපරිම ප්‍රතිලාභ ලබන අධිපති පංතිවලිනි. අමීන් තර්ක කරන්නේ, ප්‍රගතිශීලී බදුකරණය, ප්‍රයෝජනවත් වුවද, පුළුල් ආර්ථික ප්‍රතිපත්ති වෙනස්කම් සමඟ මිස, එහි සාර්ථකත්වය සීමා සහිත බවය. “ඒකාධිකාරී ප්‍රාග්ධනය නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ සලසන ලිබරල් ප්‍රතිපත්තියක් සමඟින් ප්‍රගතිශීලී බදු පැනවීමෙන් ලැබෙන්නේ ඍණාත්මක ප්‍රතිඵල පමණි.” මෙය සැලකිය යුතු ලෙස අතිරික්තය යලි බෙදාහැරීම වලක්වන සහ අසමානතාවය පවත්වා ගෙන යන නව ලිබරල් ධනවාදය තුල ව්‍යුහාත්මක සීමාවන් අනාවරණය කරයි.

ගෝලීය අසමානතාවයට යටින් පවතින ගැඹුරු පද්ධතිමය ගැටළු විසඳීමට අසමත් වූ පිකෙටි වැනි ලිබරල් ආර්ථික විද්‍යාඥයින්ගේ සීමිත විෂය පථය අමීන් තවදුරටත් විවේචනය කරයි. අමීන්ට අනුව, මෙම ආර්ථික විද්‍යාඥයින් ඔවුන්ගේ විශ්ලේෂණයන් සීමාකෙරෙන මූලික විශ්වාස දෙකක් පවතියි. ඒවානම්,

 

  • රජය විසින් වෙළඳපොල හැකිතාක් අඩුවෙන් නියාමනය කරනු ලබන විවෘත නිදහස් වෙළඳපොල කෙරෙහි ඔවුන් තබන විශ්වාසය
  • රටවල් අතර ප්‍රාග්ධනයේ නිදහස් සංචලනය සක්‍රීය කරන විවෘත ගෝලීයකරණය ගෝලීය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව ඔවුහු තර්ක කරති. මේ ආකාරයේ ගෝලීයකරණය හරහා අවසානයේ දිළිඳු රටවලට ධනවත් රටවල් තරමට පැමිණීමට උපකාර වනු ඇතැයි ඔවුහු විශ්වාස කිරීම දෙවැන්නය. මෙම විද්වතුන් අතර කැපී පෙනෙන්නේ බොහෝ විට ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ජෝසප් ස්ටිග්ලිට්ස් වැනි “ප්‍රතිසංස්කරණ”’ වාදීන්ය.

 

සමීර් අමීන් පවසන පරිදි, ධනවාදයේ අඛණ්ඩ හා ගැඹුරු වන අසමාන වර්ධනයේ සියවස් පහක ඉතිහාසය අවම වශයෙන් මෙම උපකල්පනය ප්‍රශ්න කිරීමට ඔවුන්ව යොමු කළ යුතුය.

 

සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ වෙළෙඳපොළ ආර්ථිකයේ සීමාවන්ට හේතු

දුර්වල ආයතනික රාමු:සංවර්ධනය වෙමින් පවතින රටවල දුර්වල ආයතනික රාමුව පිළිබද ප්‍රශ්නය දකුණු කොරියානු ආර්ථික විද්‍යාඥයෙකු පෙන්වා දෙයි.  ඔහු තර්ක කරන්නේ ඵලදායී නීති පද්ධති, විනිවිදභාවයෙන් යුතු පාලනයක් සහ ශක්තිමත් නියාමන ආයතන වැනි ආයතන පද්ධතියක් නොමැතිකම මෙම රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනයට සැලකිය යුතු ලෙස බාධාවක් වන බවයි. දූෂණය, දුර්වල නීතියේ ආධිපත්‍යය සහ සීමිත පරිපාලන හැකියාවන් තිබීම ප්‍රධාන බාධාවන් බව චැන්ග් මෙහිදී අවධාරණය කරයි. මෙම සාධක සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් සාර්ථකව ක්‍රියාවට නැගීම සඳහා අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිනම් සමාජ ප්‍රතිපත්ති සහ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම අඩපන කෙරේ. විශ්වසනීය ආයතන නොමැතිව, කොන්ත්රාත්තු බලාත්මක කිරීම, දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සාධාරණ තරඟකාරිත්වය සහතික කිරීම අභියෝගාත්මක වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වන අතර සමාජ අසමානතාවයන් උග්‍ර වේ. මෙම ආයතනික දුර්වලතා වෙනස් කළ නොහැකි ඒවා නොවන බව ද චෑන්ග් පෙන්වා දෙයි. ඊට අදාල සාර්ථක යෝග්‍ය ප්‍රතිපත්ති සහ බාහිර සහාය ඇතිව, සංවර්ධනය වෙමින් පවතින රටවලට කාලයත් සමඟ ශක්තිමත් ආයතන ගොඩනගා ගත හැකි බව ඔහුගේ අදහස ය. එමෙන්ම මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ අප්‍රිකාවේ මෙන්ම ආසියාවේ මෙකි ආයතනයන් යටත්විජිත කාලයේ ඊට ඔබින ලෙස පිහිටවූ ඒවා වීමය. යුරෝපයේ සහ නැඟෙනහිර ආසියාවේ බොහෝ රටවල් ඇතුළුව දැන් දියුණු රටවල්, වරක් මේ හා සමාන ආයතනික අභියෝගවලට මුහුණ දුන් නමුත් නියාමනයන් සහිතව සහ තිරසාර උත්සාහයන් තුළින් ඒවා ජය ගැනීමට සමත් වූ ආකාරය පෙන්වා දීමට ඓතිහාසික උදාහරණ සපයනු ලැබේ. සමස්තයක් වශයෙන්, චෑන්ග් ගේ විශ්ලේෂණයෙන් ඇඟවෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ වෙළඳපල ආර්ථිකයක සාර්ථක ක්‍රියාකාරිත්වය සඳහා ශක්තිමත් ආයතනවල ඇති වැදගත්කම වේ.

 

ප්රමාණවත් කාර්මික පදනමක් නොමැතිවීම: බටහිර යුරෝපයේ සංවර්ධිත ආර්ථිකයන් මෙන් නොව, බොහෝ ඌන සංවර්ධිත ජාතීන්ට විවිධාංගීකරණය වූ කාර්මික පදනමක් නොමැත. “සමාජ වෙලඳපොල ආර්ථිකයක්” මෙම මූලික ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන්නේ අල්ප වශයෙනි, නමුත් “සංවර්ධනීය රාජ්‍යවාදය” කාර්මීකරණය සක්‍රීයව ප්‍රවර්ධනය කරයි.

  • “සංවර්ධනීය රාජ්‍යවාදයේ” දී, කාර්මීකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර, බොහෝ විට ජාත්‍යන්තර තරඟකාරීත්වයෙන් ළදරු කර්මාන්ත ආරක්ෂා කිරීමේ අත්‍යාවශ්‍යභාවය පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙම ආරක්ෂණය සාමාන්‍යයෙන් දේශීය සමාගම් සංවර්ධනයේ මුල් අවධියේදී ආරක්ෂා කිරීම සඳහා තීරුබදු ආරක්ෂණය සහ විවිධ තීරුබදු නොවන බාධක ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මෙම ප්‍රවේශය පිටුපස ඇති තාර්කිකත්වය නම් නව කර්මාන්තවලට ගෝලීය පරිමාණයෙන් වර්ධනය වීමට, ඉගෙනීමට සහ අවසානයේ තරඟකාරී වීමට හා ඒ හරහා පෝෂණය වීමට පරිසරයක් අවශ්‍ය වීමයි. නැඟෙනහිර ආසියාවේ, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් මෙම උපාය මාර්ග සාර්ථකව භාවිතා කර ඇත. ඔවුන්ගේ රජයන් රාජ්‍ය අනුග්‍රහය ලැබූ කර්මාන්ත දැඩි ලෙස නියාමනය කර පාලනය කළේය. මෙම කර්මාන්ත සඳහා ලබා දී ඇති සහනාධාර සහ ආරක්ෂාවන් සැබෑ කාර්මික වර්ධනයක් සහ ඉහළ ඵලදායිතාවයක් ඇති කිරීමට හේතුවී තිබේ. ජාත්‍යන්තර තරඟකාරිත්වය සඳහා අවශ්‍ය පරිමාණයේ ආර්ථිකයන් සාක්ෂාත් කර ගැනීම සඳහා තීරනාත්මක වූ ප්‍රධාන කර්මාන්තවල ප්‍රවේශය සහ ධාරිතා ප්‍රසාරණය නියාමනය කිරීමට, සුඛෝපභෝගී පරිභෝජනය පාලනය කිරීමට, ප්‍රාග්ධන සමුච්චනයට ප්‍රමුඛත්වය දීමට මෙම රටවල් සමත් විය.
  • නව ලිබරල්වාදයේ විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති බොහෝ විට ළදරු කර්මාන්ත දියුණු කිරීමට අවශ්‍ය ආරක්‍ෂාව සහ ආධාර සැපයීමෙන් රජයන්ට බාධා කරයි. ගෝලීය තරඟකාරීත්වයෙන් තම ළදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් නොමැතිව, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම අංශවල දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. නිදසුනක් වශයෙන්, නැඟෙනහිර ආසියාතික රටවල් තරඟකාරී කර්මාන්ත ගොඩනැගීම සඳහා වෙළඳපල ප්‍රවේශය සහ ධාරිතා ප්‍රසාරණය ඵලදායී ලෙස හසුරුවනු ලබන අතර, නව ලිබරල් පාලන තන්ත්‍රයන් යටතේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ඒ හා සමාන සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකිවී ඇත. විවෘත වෙලඳපොල ප්‍රතිපත්තිය තුළ ප්‍රාග්ධන ප්‍රවාහය නිදහසේ ගලායන හෙයින් දිගු කාලීන කාර්මික සංවර්ධනයට වඩා කෙටි කාලීන ආයෝජනයන්ට ප්‍රමුඛත්වය දෙන හෙයින් ශක්තිමත් කාර්මික පදනමක් ගොඩනැගීමට මෙම ජාතීන්ට නොහැකිවී ඇත.
  • එපමණක් නොව, සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන උභතෝකෝටිකය නම්, පරිමානානුකුල ඵල සහිත ආර්ථිකයක් ළඟා කර ගැනීමට නොහැකි වීමය. මක්නිසා ද යත් ගෝලීය වශයෙන් තරඟකාරී වීමට නම් එවැනි කර්මාන්ත තෝරාගත යුතුව ඇත. කෙසේ වෙතත්, මෙම කර්මාන්තවලට බොහෝ විට ඔවුන්ගේ ඵලදායිතාවය ගොඩනැගීමට මූලික ආරක්ෂාව සහ සහාය නොමැතිවීම නිසා ජාත්‍යන්තර වෙළඳපල තුළ තරඟ කිරීමට නොහැකි වී ඇත. නැගෙනහිර ආසියාවේ අත්දැකීම් පෙන්නුම් කරන්නේ කාර්මික සංවර්ධනයේ මුල් අවධියේදී රාජ්‍ය මැදිහත්වීම සහ නියාමනය ඉතා වැදගත් බව ඉහතින් පෙන්වා දී ඇත.

 

උදාහරණ ලෙස වඩා මෑතකදී සිදු වූ රාජ්‍ය මැදිහත්වීමක් පෙන්වා දිය හැකි ය. තායිවානය සාම්ප්‍රදායික සීනි අපනයන කරුවෙකි. නමුත් ජාත්‍යන්තර මිල ගණන් පහළ යාම හේතුකොටගෙන සහ වෙනත් අභියෝග හේතුවෙන් මෑතකදී පීඩාවට පත් කර්මාන්තයක් ලෙස සීනි අපනයනය හැදින්විය හැකිය. ඊට ප්‍රතිචාර වශයෙන්, තායිවාන රජය ලෝක මට්ටමේ උඩවැඩියා කර්මාන්තයක් දියුණු කිරීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇත. මෙම උපායමාර්ගික මැදිහත්වීමට ජාන විද්‍යාගාරයක්, නිරෝධායන අඩවියක්, නැව්ගත කිරීමේ සහ ඇසුරුම් කරන ප්‍රදේශ, පුද්ගලිකව අයිති හරිතාගාර සඳහා නව මාර්ග, ජලය සහ විදුලි සම්බන්ධක සහ ප්‍රදර්ශන ශාලාවක් සඳහා අරමුදල් ඇතුළත් විය – අත්‍යවශ්‍යයෙන්ම හරිතාගාරවල පිරිවැය හැර අනෙකුත් සියල්ල රජය විසින් ආවරණය කිරීම මෙහිදී සිදු කරයි. මීට අමතරව, මෙම හරිතාගාර ඉදිකිරීම සඳහා ගොවීන්ට රජය අඩු පොලී ණය ලබා දෙයි. මෙම විස්තීරණ සහය ආර්ථික විවිධාංගීකරණය සහ නවෝත්පාදනය මෙහෙයවීම සඳහා රාජ්‍ය මැදිහත්වීමේ තීරණාත්මක කාර්යභාරය පෙන්නුම් කරයි. අවම වෙළඳපල මැදිහත්වීමක් වෙනුවෙන් පෙනී සිටින වොෂින්ටන් සම්මුතියේ අවම ප්‍රවේශය මෙන් නොව, තායිවානයේ ආන්ඩුව නව, සාම්ප්‍රදායික නොවන ක්‍රියාකාරකම්වල විභව ලාභදායිතාවය හඳුනා ගැනීමට වෙලඳපොලවල් බොහෝ විට අසමත් වන බව පිළිගත්තේය. යටිතල පහසුකම්, පර්යේෂණ සහ මූල්‍ය ආධාර සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමෙන්, වෙළඳපල අසාර්ථකත්වයන් ජය ගැනීම සහ ආර්ථික පරිවර්තනය දිරිමත් කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමේ වැදගත්කම ඉස්මතු කරමින් උඩවැඩියා කර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය කොන්දේසි රජය විසින් නිර්මාණය කරයි.

ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ඩැනී රොඩ්රික් තර්ක කරන්නේ, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. රොඩ්රික්ට අනුව, වොෂින්ටන් සම්මුතිය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, අවම වෙළඳපල මැදිහත්වීම් සහ වෙළඳ ලිබරල්කරණය කෙරෙහි අවධානය යොමු කරමින්, ආර්ථික විවිධාංගීකරණයට තුඩු දෙන ව්‍යවසායක ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පරිසරය සැපයීමට අසමත් වේ. අද්විතීය අභියෝගවලට සහ ව්‍යුහාත්මක සීමාවන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට බොහෝ විට නව කර්මාන්ත සහ ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සඳහා රජයේ උපකාරය අවශ්‍ය වේ. තායිවානයේ ඕකිඩ් කර්මාන්තයේ උපායමාර්ගික ආයෝජන පෙන්නුම් කරන්නේ රජයේ ක්‍රියාමාර්ග මගින් වෙළඳපල පමණක් උත්පාදනය නොකරන නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ හැකි ආකාරයයි. අවශ්‍ය යටිතල පහසුකම්, පර්යේෂණ පහසුකම් සහ මූල්‍ය ආධාර සැපයීමෙන්, තායිවාන රජය පහත වැටෙමින් පවතින උක් අංශය ප්‍රතිස්ථාපනය කළ හැකි නව තරඟකාරී කර්මාන්තයක් වර්ධනය කිරීමට පහසුකම් සැලසීය.

 

බාහිර කම්පනවලට ගොදුරු වීමේ අවදානම: භාණ්ඩ මිල උච්චාවචනයන් සහ ගෝලීය මූල්‍ය අර්බුද වැනි බාහිර ආර්ථික කම්පනවලට සංවර්ධනය වෙමින් පවතින ජාතීන් වඩාත් ගොදුරු වේ. සමාජ වෙළඳපල ආර්ථිකයක් වෙළඳපල යාන්ත්‍රණයන් මත යැපීම මෙම අවදානම් උග්‍ර කළ හැකි ය. ඊට ප්‍රතිවිරුද්ධව, නැගෙනහිර ආසියාවේ රාජ්‍ය මැදිහත්වීමේ භූමිකාව බාහිර කම්පන කාලවලදී බොහෝ විට ස්ථාවර බලපෑමක් ලබා දී ඇත. නිදසුනක් වශයෙන්, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට චීනය දැක්වූ ප්‍රතිචාරය, බාහිර කැලඹීම්වලින් ආර්ථිකය සමනය කිරීමේ ක්‍රියාශීලී රජයේ ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ පෙන්නුම් කළේය. චීන රජය, යටිතල පහසුකම් ව්‍යාපෘති, නිවාස සහ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් දළ වශයෙන් ඩොලර් බිලියන 586ක් වටිනා දැවැන්ත උත්තේජක පැකේජයක් දියත් කළේය. මෙම රාජ්‍ය ප්‍රමුඛ මැදිහත්වීම දේශීය ඉල්ලුම පවත්වා ගැනීමටත්, රැකියා උත්පාදනය කිරීමටත්, ආර්ථිකය ස්ථාවර කිරීමටත් උපකාරී වූ අතර, ගෝලීය පසුබෑම නොතකා චීනයට සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි විය. ඒ හා සමානව, 1997 මූල්‍ය අර්බුදයට දකුනු කොරියාවේ ප්‍රතිචාරය සැලකිය යුතු රාජ්‍ය මැදිහත්වීමකි. කොරියානු රජය, ජාත්‍යන්තර ආධාර සමඟින්, විස්තීරණ මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවා, ආයතනික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රධාන කර්මාන්ත සඳහා සහාය ලබා දුන්නේය. මෙම ක්‍රියාමාර්ග විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට, මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා මග පෑදීමට උපකාරී විය. ජපානයේ පශ්චාත් දෙවන ලෝක සංග්‍රාමයේ ආර්ථික සංවර්ධනය, බාහිර කම්පන අවම කිරීම සහ ඔරොත්තු දීමේ වර්ධනයක් ඇති කිරීම සඳහා ඵලදායී රාජ්‍ය මැදිහත්වීම පිළිබඳ තවත් උචිත උදාහරණයක් සපයයි. ජපාන රජය, ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (MITI) වැනි ආයතන හරහා කාර්මික ප්‍රතිපත්ති මඟ පෙන්වීම, ප්‍රධාන අංශවලට සහාය වීම සහ බාහිර තරඟකාරීත්වයෙන් ළදරු කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. 1970 ගණන්වල තෙල් කම්පන අතරතුර, ජපානයේ උපායමාර්ගික රාජ්‍ය මැදිහත්වීම් නව ආර්ථික පරිසරයට රට අනුවර්තනය වීමට උපකාරී විය. රජය බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම, විවිධාංගීකරණය වූ බලශක්ති ප්‍රභවයන් සහ තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීම, ගෝලීය බාධා කිරීම් මධ්‍යයේ වුවද ජපානයට සිය ආර්ථික වේගය පවත්වා ගැනීමට හැකි විය. නැඟෙනහිර ආසියාවේ මෙම උදාහරණවලින් පෙන්නුම් කරන්නේ වෙළඳපල යාන්ත්‍රණයන්ට දැඩි ලෙස අනුගත වීම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම, සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට බාහිර කම්පන කළමනාකරණය කිරීමට, ඔවුන්ගේ ආර්ථිකයන් ස්ථාවර කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උපකාර වන ආකාරයයි.

 

ආනුභවික සාධක: සංවර්ධනය පිලිබඳ සන්දර්භයකදී සමාජ වෙළඳපල ආර්ථිකයන්හි අසාර්ථකත්වය

සමාජ වෙළෙඳපොළ ආර්ථික මූලධර්ම අනුගමනය කළ සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේදී දුෂ්කරතාවයන්ට මුහුණපා ඇත. නිදසුනක් වශයෙන්, ලතින් ඇමරිකානු ජාතීන්, නැගෙනහිර ආසියාවේ දක්නට ලැබෙන වේගවත් කාර්මීකරණය සාක්ෂාත් කර නොගෙන, නව ලිබරල් සහ සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්ති අතර නිතර දෝලනය වී ඇත. ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල සමාජ වෙලඳපොල ආර්ථිකයන් ක්‍රියාවට නැංවීමේ උත්සාහයන් බොහෝ විට ආර්ථික අස්ථාවරත්වයට හා එකතැන පල්වීමට හේතු වී ඇත.

1990 ගණන්වල ආර්ජන්ටිනාව ජනාධිපති කාලෝස් මෙනෙම්ගේ පාලනය යටතේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ මාලාවකට භාජනය විය. මෙම ප්‍රතිසංස්කරණ ආර්ථිකය ලිබරල්කරණය කිරීම, ව්‍යවසායන් පුද්ගලීකරනය, රාජ්‍යයේ කාර්යභාරය අඩු කිරීම සහ ආර්ජන්ටිනාව ගෝලීය වෙළඳපොළට ඒකාබද්ධ කිරීම අරමුණු කර ගෙන ඇත.

මෙම නව ලිබරල් උත්සාහයන් නොතකා, ආර්ජන්ටිනාව දශකයේ අගභාගයේදී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නේය. ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්ති ගෝලීය වශයෙන් තරඟ කළ හැකි ශක්තිමත් කාර්මික පදනමක් නිර්මාණය කළේ නැත. ඒ වෙනුවට කාර්මික විවිධාංගීකරණයේ සහ තරඟකාරීත්වයේ ඌනතාවය පැහැදිලි විය. 1999 වන විට ආර්ජන්ටිනාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය -3.4% දක්වා පහත වැටී ඇත, එය ගැඹුරු අවපාතයක (ලෝක බැංකුව) ආරම්භය සනිටුහන් කළේය. විරැකියා අනුපාතය ඉහළ ගොස් සමාජ අසමානතාවයන් උග්‍ර කළ අතර 2001 වන විට රට ව්‍යසනකාරී ආර්ථික බිඳවැටීමකට මුහුණ දුන්නේය. 2001 දී (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ​​දළ දේශීය නිෂ්පාදිතයෙන් 62%කට ආසන්න ප්‍රමාණයකට ළඟා වූ රාජ්‍ය ණය අහස උසට නැග්ගේය. විදේශ ප්‍රාග්ධනය මත අධික ලෙස රඳා පැවතීම සහ දෘඩ මුදල් ඒකකය තිරසාර නොවන බව ඔප්පු වූ අතර, දළ වශයෙන් ඩොලර් බිලියන 93ක ස්වෛරී ණය මත දැවැන්ත පැහැර හැරීමකට තුඩු දුන් අතර එය ඉතිහාසයේ විශාලතම ණය ප්‍රමාණයක් විය.

ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය 2001-2002 දී එහි උච්චතම අවස්ථාවට ළඟා වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල නව ලිබරල් ආකෘතියේ තීරනාත්මක දුර්වලතා හෙලිදරව් කරමිනි. කඩා වැටීම අවම කිරීම සඳහා හඳුන්වා දුන් සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්ති ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් අකාර්යක්ෂම විය. ශක්තිමත් කාර්මික පදනමක් නොමැතිකම නිසා ආර්ථිකයට කම්පන අවශෝෂණය කර ගැනීමට හෝ තිරසාර වර්ධනයක් උත්පාදනය කිරීමට නොහැකි විය. පුලුල්ව පැතිරුනු දූෂණය සහ ප්‍රමාණවත් නොවන නියාමන රාමු ඇතුළු ආයතනික දුර්වලතා, ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට තවදුරටත් බාධාවක් විය. 2002 දී විරැකියා අනුපාතය 21.5% දක්වා සහ දරිද්‍රතා අනුපාත 50% (ලෝක බැංකුව) ඉක්මවීමත් සමඟ දැඩි ආර්ථික පසුබෑම පුලුල්ව පැතිරුනු සමාජ නොසන්සුන්තාවයට හේතු විය. ආර්ජන්ටිනාවේ ඉතිහාසයේ මෙම කාල පරිච්ජේදය, ශක්තිමත් කාර්මික සහ ආයතනික පදනම් නොමැතිව නව ලිබරල් ප්‍රතිපත්ති, පොරොන්දු වූ වර්ධනයට හා සංවර්ධනයට වඩා ආර්ථික අස්ථාවරත්වයට සහ සමාජ අර්බුදයකට තුඩු දිය හැකි ආකාරය ඉස්මතු කරයි.

 

නිගමනය

නැඟෙනහිර ආසියාවේ ආර්ථික සාර්ථකත්වයේ කතාන්දරය අවධාරනය කරන්නේ ඌන සංවර්ධිත ජාතීන් සඳහා ආදර්ශයක් ලෙස “සංවර්ධනීය රජ්‍යවාදයේ” ඇති විභවය වේ. ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ සිංගප්පූරුව යන රටවල අත්දැකීම් පෙන්නුම් කරන්නේ ක්‍රියාකාරී රාජ්‍ය මැදිහත්වීම, උපාය මාර්ගික කාර්මික ප්‍රතිපත්ති සහ මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය වේගවත් කාර්මිකකරණය සහ ආර්ථික වර්ධනයට හේතු විය හැකි බවයි. ඊට වෙනස්ව, සමාජ වෙළෙඳපොළ ආර්ථිකය, සංවර්ධිත සන්දර්භයන් තුළ ඵලදායී වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අද්විතීය අභියෝග ආමන්ත්‍රණය කිරීමේදී බොහෝ විට දුෂ්කරතාවයන්ට මුහුණ දෙයි.

නැඟෙනහිර ආසියානු සාර්ථකත්වය අනුකරණය කිරීමට උත්සාහ කරන ඌන සංවර්ධිත ජාතීන් සඳහා, “සංවර්ධනීය රජ්‍යවාදය” අනුගමනය කිරීම හොඳ මාවතක් සපයයි. උපායමාර්ගික කාර්මික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, අධ්‍යාපනය සහ කුසලතා සඳහා ආයෝජනය කිරීම, ශක්තිමත් ආයතන ගොඩනැගීම සහ රාජ්‍ය මැදිහත්වීම සමඟ වෙළඳපල බලවේග තුලනය කිරීම මගින් මෙම රටවලට තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කර ආර්ථික නවීකරණයක් ළඟා කරගත හැකි බව පෙන්වා දී ඇත.

සංවර්ධනය වන සන්දර්භයන් තුළ සමාජ වෙළඳපල ආර්ථිකයේ සීමාවන් ආර්ථික සංවර්ධනය සඳහා වඩාත් ක්‍රියාශීලී සහ උපායමාර්ගික ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කරයි. සමාජ ප්‍රතිපත්ති වැදගත් වන අතරම, ඒවා විවිධාංගීකරණය වූ සහ තරඟකාරී කාර්මික පදනමක් ගොඩනැගීම සඳහා ශක්තිමත් කාර්මික ප්‍රතිපත්ති සහ රාජ්‍ය මැදිහත්වීමකින් අනුපූරක විය යුතුය.

අවසාන වශයෙන්, “සංවර්ධනීය රාජ්‍යවාදය”  ආර්ථික පරිවර්තනයක් සඳහා වෙහෙසෙන ඌන සංවර්ධිත ජාතීන් සඳහා ශක්‍ය සහ ඔප්පු කළ ආදර්ශයක් ඉදිරිපත් කරයි.

 

මිගාර රත්නායක

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *