ජාතික ජන බලවේගය සහ විකටරූපී විවේචන

මේ වනවිට දක්නට ලැබෙන තත්වය අනුව, බොහෝ විට වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට උපකල්පනය කළ හැක. මෙම පසුබිම තුල, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර තීව්‍ර ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙන ආකාරයක් දැකගැනීමට පුලුවන. සමගි ජන බලවේගය විසින්, විශේෂයෙන් එහි ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ඩි සිල්වා හා එරාන් වික්‍රමරත්න වැනි අයගේ පාර්ශවයෙන් මේ වනවිට ජාතික ජන බලවේගයට එරෙහි දැඩි ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මෙම වාග් ප්‍රහාරයේ දැකිය හැකි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ‘සමාජවාදය’, ‘මාක්ස්වාදය’ ආදිය ගැන කෙරෙන සැඳහුම් කිරීම්ය. පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් අමතමින්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළ හර්ෂ ඩි සිල්වා ප්‍රකාශ කලේ ඔවුන්ට විවාද කල නොහැකි නම්, මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ පින්තූර තුනක් සමග ගාලු මුවදොර පිටියේ විවාදයක් කිරීමට සජබ ආර්ථික කමිටුවේ සාමාජිකයන් තිදෙනා සූදානම් බවයි.

මෙම ප්‍රහාරය සමග සෝවියට් සංගමය බිඳ වැටීම සහ චීනය වෙලඳපොල ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කිරීම සමාජවාදයේ අසාර්ථකත්වය පෙන්වන සංසිද්ධීන් ලෙස පෙන්වා දෙනු ලැබේ. මේ සියල්ල යට තිබෙන හැගවුම නම්, ජාතික ජන බලවේගය සෝවියට් සමාජවාදී ආකෘතිය තුල සිර වී සිටින බවත්, නූතන ලෝකය තුල ආණ්ඩුකරනය සඳහා නුසුදුසු බවත් කියා පෑමය.

විකටරූපයට තඩි බෑම

සමගි ජන බලවේගයේ මෙම විවේචනය අතිශය වංචනික එකක් ලෙස පෙනී යන බව පලමුව කිව යුතුය. ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට, ජාතික ජන බලවේගය ආර්ථිකය පිලිබඳ ස්ථාවරය අවස්ථා දෙකක දී එලි දක්වා තිබේ ; ඒ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල සහ ඉන්පසුව, ආර්ථික අර්බුදය මතු වූ මුල ප්‍රකාශයට පත්කළ අර්බුදය සඳහා කඩිනම් විසඳුම් ඉදිරිපත් කල යෝජනාවලිය තුලය. ජාතික ජන බලවේගය සෝවියට් සමාජවාදය ලංකාවට යෝජනා කරන බවට ඉගියකු’දු මෙම ප්‍රකාශනවලින් සොයාගත නොහැක. මීට අමතරව එම පක්ෂයේ නායකයන්, ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රකාශකයන් දිනපතා රැස්වීම්වල හා මාධ්‍ය හමුවල විවිධ අදහස් පල කරති. මේ කිසිදු අවස්ථාවක ඔවුන් සෝවියට් පන්නයේ ආර්ථිකයක් ලංකාවට යෝජනා කොට නැත.

එම පක්ෂය ඉදිරිපත් කරන ආර්ථික අදහස් අපට පහත ආකාරයට සාරාංශගත කල හැක;

පලමුව, ජාතික සංවර්ධනය සඳහා නිෂ්පාදනය මූලික කොට ගත් ආර්ථිකයක් අවශ්‍ය වී තිබේ. නිෂ්පාදන-කේන්ද්‍රීය ආර්ථිකයක් ලෙස මෙහි දී අදහස් කරන්නේ, නිෂ්පාදනීය නොවන, මූල්‍ය හා සේවා අංශ අධිනිශ්චය වූ වත්මන් ආර්ථික සැකැස්මට වෙනස්ව, මූර්ත නිෂ්පාදනය දෙස නැඹුරු වූ ආර්ථිකයක් බවට ලංකාව පත් කරන බවය.

දෙවනුව, මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයෙන් සිදු වන්නකි. ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රධාන පංගුව සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද ඇතුලත් පෞද්ගලික අංශය විසින් සිදු කරයි. එහෙත් පෞද්ගලික අංශය ඒ දෙසට යොමු කිරීම සඳහා රජය හුදු නියාමනයෙන් ඔබ්බට ගොස්, වගකීම්සහගතව මැදිහත් වේ. ඒ අනුව රජයට ආර්ථිකය තුල වැදගත් කාර්යභාරයක් හිමි වේ.

තෙවනුව, මෙලෙස වර්ධනය වන ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජන කොටස් අතර සාධාරණ ලෙස බෙදී යා යුතු වේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය බඳු වූ ප්‍රතිපත්ති මගින් සංලක්ෂිත ශක්තිමත් සුබසාධන රාජ්‍යයක් තුලින් සමාජ විෂමතා අඩු කිරීමට කටයුතු සිදු වේ.

මෙම ආර්ථික දර්ශනය ඒක රේඛීය දෘෂ්ටිවාදයකට වඩා, බහුවිධ මූලාශ්‍රයන්ගෙන් ආභාෂය ලැබූ එකක් බව අපට කිව හැක. නිෂ්පාදන-කේන්ද්‍රීය ආර්ථිකය සහ එහි දී රජය කරනු ලබන පුරෝගාමී වැඩ කොටස පිලිබඳ අදහස නැගෙනහිර ආසියාතික රටවල් කාර්මිකකරණය වන විට අනුගමනය කළ සංවර්ධනවාදී රාජ්‍යය (developmentalist state) පිලිබඳ සංකල්පය සිහි ගන්වන්නකි. ශක්තිමත් සුබසාධක රාජ්‍යයක් පිලිබඳ අදහස සමාජවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වල ආභාෂය පෙන්වයි. මේ අනුව ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්ම වාම නැඹුරුවක් සහිත, සංවර්ධනවාදයක් ලෙස සැලකීම සදොස් නොවේ.

හැබැයි සියලු නිෂ්පාදන සම්පත් රජය සතු විය යුතු බව හෝ සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුමකට අනුව ආර්ථිකය සංවිධානය කල යුතු බව හෝ මේ කිසිදු අදහසක කියැවෙන්නේ නැත. යමෙක් ඉදිරිපත් කරන අදහසට අභිමුඛ නොවී, එම පුද්ගලයා පිලිබඳ මවනු ලබන අගති සහගත විකට රූපයකට (strawman) පහර දීම තර්ක විද්‍යාව තුල සැලකෙන්නේ දක්ෂතාවයක් ලෙස නොව දුර්වලතාවයක් ලෙසටය. ප්‍රධාන විපක්ෂයේ බුද්ධිමත්ම ප්‍රකාශකයන් යැයි කියන අය එබඳු බංකොලොත් තත්වයකට ඇද වැටී සිටීම කණගාටුදායක කරුණකි.

2009ට පෙර ලෝකය

සමගි ජන බලවේගය සමාජවාදය නමැති වචනයට දෙන ගර්හා සහගත අර්ථය විසින් තවත් වැදගත් ප්‍රශ්නයක් මතු වෙයි. එනම්, සමාජවාදය නම් වූ අදහසට තිබෙන සමකාලීන වැදගත්කම කවරේද යන්නය. බටහිර යුරෝපීය රටවල සමාජවාදය නමැති අදහස දහ නම වන ශතවර්ෂය තුල මතු වූයේ එවකට නැගී එමින් තිබුණු ධනවාදී සමාජය විසින් ඇති කළ අසහනයන්ට ප්‍රතිචාරයක් ලෙසටය. 1917 රුසියානු විප්ලවයෙන් පසුව, විසි වන සියවස තුල සමාජවාදය පිලිබඳ අදහස බහුල වශයෙන් සෝවියට් සංගමය සමග අනන්‍ය වී තිබුණි.

කෙසේ වුවද, විසි වන සියවස තුල පවා සමාජවාදය සෝවියට් සංගමය සමග අනන්‍ය කිරීම කරුණුමය වශයෙන් නිවැරදි නැත. ධනවාදී සමාජයේ වඩාත්ම අසාධාරණ ප්‍රතිඵල සමනය කරන මාධ්‍යයක්, එනම් ධනවාදය මෙල්ල කරන මෙවලමක් ලෙස සමාජ ප්‍රතිසංස්කරණ යොදාගත් යුරෝපීය රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ද සමාජවාදී ධාරාව තුලින් පැන නැංග දේශපාලන සම්ප්‍රදායකි. ඉහල සමාජ සංවර්ධන මට්ටමක් තිබෙන රටවල් ලෙස අදටත් සැලකෙන ස්වීඩනය, නෝර්වේ බඳු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගත්කල, මෙම රටවල ශක්තිමත් සුබසාධන රාජ්‍යයන් විසිවන සියවස තුල ගොඩනංවනු ලැබුවේ සමාජවාදයට නැඹුරු අදහස් පිලිගත් කම්කරු පක්ෂ ආණ්ඩු විසිනි.

1990 දී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග ලෝකය තුල මතු වූ ප්‍රබල නව ලිබරල්වාදී ප්‍රවාහය අබියස සමාජවාදය නම් අදහසට තිබුණු ප්‍රභාව යම් කාලයකට දුර්වල විය. එහෙත් 2009 ගෝලීය ආර්ථික අර්බුදයත් සමග නව ලිබරල්වාදය අර්බුදයට ගිය අතර, මේ නිසා සමාජවාදය නම් අදහස ගැන අලුත් සාකච්ඡාවක් මතු වී තිබෙන ආකාරය අපට දැකගත හැක. ප්‍රංශ ජාතික ආර්ථික විද්‍යාඥයෙක් වන තෝමස් පිකටි 2013 දී ‘විසි එක් වන සියවසේ ප්‍රාග්ධනය’ (Capital in the twenty first century) නමින් පළ කල කෘතිය තුල පෙන්වා දුන්නේ නව ලිබරල් යුගය තුල සමාජ අසමානතාවය දහනම වන සියවසේ වික්ටෝරියානු යුගයේ පැවැති අසමානතාවයට ද වඩා දරුණු එකක් බවයි. ධනවත් සියයට එකක් විසින් සියයට අනූ නමයක් වන පොදු ජනතාව පාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධය ගැන බලවත් සාකච්ඡාවක් 2009 ට පසුව බටහිර රටවල ද ඇති විය. අපාලිත ධනවාදය තුලනය කිරීමේ මෙවලමක් ලෙස සමාජවාදී අදහස්වල තිබෙන වැදගත්කම මේ සමග අවධානයට හසුව ඇත.

සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් සමාජවාදී අදහස් ගැන දක්වන සමච්චල් සහගත ආකල්පය තුල පෙනෙන්නේ මෙන්න මේ වර්ධනයන් පිලිබඳ ඔවුන් තුල තිබෙන නොදැනුමයි. 1980 ගණන්වලට පසුව කවුරුත් රාජ්‍ය ව්‍යවසායන් ගැන කථා නොකරන බව එරාන් වික්‍රමරත්න කියන විට, ඔහු නොදන්නා කරුණ වන්නේ බ්‍රිතාන්‍යය බඳු රටක පෞද්ගලීකරණයේ රන් සංකේතයක් ලෙස සැලකුණු දුම්රිය පුද්ගලීකරණය බරපතල ලෙස අසාර්ථක වී ඇති බවත්, එය නැවත ජනසතු කිරීම පිලිබඳ ජනප්‍රිය සාකච්ඡාවක් ඇති වී තිබෙන බවත්ය. ශිෂ්‍ය ණය නිසා බලවත් ලෙස පීඩාවට පත්ව සිටින ඇමරිකානු තරුණ තරුණියන් අතර නිදහස් අධ්‍යාපනය බඳු අදහස් බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබෙන බවය. එරාන් වික්‍රමරත්න වැනි අය ජීවත් වන්නේ 2009 ට පෙර ලෝකයේය ; ආර්ථිකය ගැන සාකච්ඡාව එම අවධිය පසු කොට, සැලකිය යුතු දුරක් ඉදිරියට පැමිණ ඇත.

සමාජවාදයේ සමකාලීනත්වය

සමකාලීන ලෝකය තුල සමාජවාදී අදහස් දේශපාලන ව්‍යාපෘති ලෙස ප්‍රකාශමාන වන ප්‍රවණතා තුනක් හඳුනාගත හැක. පලමු ප්‍රවණතාවය, චීනය, වියට්නාමය, ලාඕසය යන රටවල ක්‍රියාත්මක ‘සමාජවාදී වෙලඳපොල’ නම් දේශපාලන-ආර්ථික මොඩලයයි. නව ලිබරල් ආර්ථිකයේ ආධාරකරුවන් චීනය බඳු රටක් නිදහස් වෙලඳපොලේ සාර්ථකත්වය සම්බන්ධ නිදසුනක් ලෙස දැක්වූවද, චීනයේ ආර්ථික නැඹුරුතාවය සංකීර්ණ ස්වභාවයක් උසුලයි. ඇල්බර්ටෝ ගැබ්‍රියෙල් සහ එලියාස් ජැබර් යන ශාස්ත්‍රඥයන් දෙපොළ 2022 දී ප්‍රකාශයට පත්කළ ‘විසි එක් වන සියවසේ සමාජවාදී සංවර්ධනය’ (Socialist economic development in the twenty first century) කෘතිය තුල ඔවුන් පෙන්වා දෙන්නේ චීනය, වියට්නාමය බඳු රටවල සමාජ-ආර්ථික සැකැස්ම සෝවියට් දේශයේ පැවැති රාජ්‍ය සමාජවාදයෙන් මෙන්ම, නව ලිබරල් නිදහස් වෙලඳපොල ආකෘතියෙන් ද වෙනස් වූ එකක් ලෙස හඳුනාගත හැකි බවයි.

ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම සඳහා සහ නව තාක්ෂණය කැඳවා ගැනීම සඳහා මෙම රටවල් ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වුවද, ඒ සඳහා වෙලඳපොල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල ද, කොමියුනිස්ට් පක්ෂය විසින් පාලිත රජය මෙම රටවල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. චීනය බඳු රටක විශාලතම සමාගම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් රජය සතු ව්‍යවසායන් වන අතර, මෙකී ව්‍යවසායන් දල දේශීය නිෂ්පාදිතයේ සියයට 30-35 අතර ප්‍රමාණයකට දායක වෙයි. මෙම ආර්ථික මොඩලය එරාන් වික්‍රමරත්න විශ්වාස කරන, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් තොර ඊනියා නිදහස් මොඩලයට සැලකිය යුතු ලෙසකට වෙනස් වූවකි.

තම රටේ සංවර්ධන මට්ටම අනුව, යෝග්‍ය පරිදි සමාජවාදී ප්‍රතිපත්ති සමග වෙලඳපොල ප්‍රතිපත්තීන් නිර්මාණාත්මක ලෙස සුසර කොට යොදාගනු ලබන චීනය මෙම හේතුව නිසාම සිය ආකෘතිය ‘සමාජවාදී වෙලඳපොල’ ක්‍රමය ලෙස හඳුන්වයි. වෙලඳපොල ප්‍රතිසංස්කරණ නිසා චීනය බඳු රටක පසුගිය දශක කිහිපය තුල වර්ධනය වූ ආර්ථික අසමානතාවය, පරිසර විනාශය බඳු ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම කෙරෙහි මේ වනවිට චීන කොමියුනිස්ට් පක්ෂයේ අවධානය යොමුව තිබෙන අතර, ‘සියලුම අංශවලින් ශ්‍රේෂ්ඨ වූ නවීන, සමාජවාදී රටක්’ (A great modern socialist country in all aspects) බවට චීනය පත් කිරීම සිය දෙවන සාංවත්සරික අරමුණ ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

රෝස රැල්ල 2.0

දෙවන ප්‍රවණතාවය, ලතින් ඇමරිකානු රටවල මතු වූ ‘රෝස රැල්ල’ (pink tide) ලෙස හඳුන්වන ධාරාවයි. මෙනමින් හැඳින්වූයේ, 1990 ගණන්වල අග භාගයේ සිට, දකුණු ඇමරිකානු රටවල් සිසාරා මතු වූ වාමාංශික හෝ වාමාංශයට නැඹුරු ආණ්ඩු බලයට පත් වීමේ උපනතියයි. වෙනිසියුවේලාව, බොලිවියාව, බ්‍රසීලය, නිකරගුවාව, ආජන්ටීනාව බඳු රටවල් ගණනක මෙලෙස වාමාංශික ආණ්ඩු මැතිවරණ මාර්ගයෙන් බලයට පත්වූයේ 1980 ගණන්වල සිට මේ රටවල ක්‍රියාත්මක වූ නව ලිබරල් ප්‍රතිපත්තීන් විසින් ඇති කල සමාජ ප්‍රශ්න නිසා ඇති වී තිබුණු පොදුජන අතෘප්තිය මතිනි. 2010 ට පමණ පසුව, යම් පසුබෑමක් පෙන්නුම් කලද, මෑතකාලීනව රෝස රැල්ලේ පිබිදීමක් දක්නට ලැබේ.

2018 දී මෙක්සිකානු ජනාධිපතිවරණය වාමාංශික අපේක්ෂක මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදොර් විසින් ජය ගැනීම, 2020 බොලිවියාවේ මැතිවරණය තුල ‘සමාජවාදය සදහා වූ ව්‍යාපාරය’ අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීම මෙම පුනරුදයේ ආරම්භක සලකුණු විය. මේ වනවිට පෙරු, හොන්ඩුරාස්, චිලී හා කොලොම්බියාව යන රටවල  වාමාංශික හෝ වාමාංශයට නැඹුරු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බලයට පත්ව තිබේ. 2022 වර්ෂයේ දී බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජේ බොල්සොනාරෝව පරාජය කරමින්, වාමාංශික නායක ලූලා ද සිල්වා යලි ජනාධිපති බවට පත්වීම මෙම ප්‍රවණතාවය ලද අලුත්ම ජයග්‍රහණයයි.

චීනය හා වියට්නාමය බඳු රටවල්වලට වඩා වෙනස් ඉතිහාසයක් තිබෙන ලතින් ඇමරිකානු රටවල වාමගාමී ආණ්ඩු කටයුතු කරන්නේ මැතිවරණ පැවැත්වෙන, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්නා රාමුවක් තුලය. බටහිර රටවල් කීපයක් ලෝකය මත පවත්වාගෙන යන ආධිපත්‍යය සම්බන්ධව විවේචනාත්මක මෙම ආණ්ඩු චීනයේ නැගීම සමග ලෝකය තුල ඇති වෙමින් තිබෙන බහුධ්‍රැවීය තත්වය සංවර්ධනය වන රටවලට යහපත් තත්වයක් ලෙස දකී. 2021 දී චිලී දේශයේ බලයට පත් වූ තරුණ වාමාංශික නායකයෙක් වූ ගෙබ්‍රියෙල් බොරික් සිය දිවුරුම් දීමේ උත්සවයේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ‘නව ලිබරල්වාදය උපත ලැබූ චිලී දේශය තුල එය පරාජය කිරීම’ සිය අභිප්‍රාය බවයි.

රතු පාට මහත් භයානක දෙයක් ලෙස පෙන්වා දෙන්ට සමගි ජන බලවේගය සහ ඊට හිතවත් බුද්ධිමය කොටස් උත්සාහ කළ ද, ලතින් ඇමරිකානු රෝස රැල්ලේ යලි පිබිදීම විසින් පෙන්නුම් කරන්නේ වාමාංශික නැඹුරුවක් තිබෙන ආණ්ඩු බලය ගැනීම ලෝකයේ අමුතු දෙයක් නොවන බවය.

සමාජවාදී අදහස ප්‍රකාශමාන වන තෙවන දේශපාලන ප්‍රවණතාවය නම් බටහිර රටවල සමාජවාදී දේශපාලනයයි. පෙර කී ලෙස, 2009 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව, වාමාංශික අදහස් පිලිබඳ නව උනන්දුවක් බටහිර රටවල හටගත් අතර, ඒ වනවිට නව ලිබරල්වාදය සමග සම්මුතිගතව සිටි සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට පිටතින්, ‘රැඩිකල් වම’ ලෙස හැඳින්විය හැකි නව දේශපාලන ව්‍යාපාරවල නැගීමක් සිදුවිය. කෙසේ වුවද, ආණ්ඩු බලය ගන්නා තැනට වර්ධනය වීමට මේ බොහොමයක් ව්‍යාපාර තවමත් සමත්ව නැත. යුරෝපයේ පැන නැගී තිබෙන සංක්‍රමණ විරෝධී, ස්වොත්තමවාදී, දක්ෂිණාංශික ජනතාවාදය අබියස මෙකී ව්‍යාපාර යම් පසුබෑමකට ලක්ව ඇති බව පෙනේ.

කවර විවාදයක්ද?

ඉහත සාකච්ඡාවෙන් පෙන්නුම් කෙරෙන්නේ සමාජවාදය පිලිබද අදහස සමගි ජන බලවේගය සිතනවාට වඩා සජීවී අදහසක් ලෙස සමකාලීන ලෝකය තුල පවතින ආකාරයයි. විසි වන සියවසේ සෝවියට් රුසියාවේ පැවැතියේ සමාජවාදය පිලිබඳ යම් ආකාරයක ආකෘතියකි. එය අපට ‘රාජ්‍ය සමාජවාදය’ ලෙස නම් කළ හැක. විසි එක් වන සියවසේ සමාජවාදය අවශ්‍යයෙන්ම සෝවියට් අච්චුව විය යුතු නැත. ඉහත අප සාකච්ඡා කල සියලු උදාහරණ විසින් පෙන්නුම් කරන්නේ ඒ ඒ රටවල ඓතිහාසික, සමාජ, දේශපාලන පසුබිම තුල, සමාජවාදී මූලධර්ම මත පදනම් වූ ප්‍රායෝගික ආකෘතීන් ගොඩනගා ගැනීමට ඒ රටවල දේශපාලන ව්‍යාපාර සමත්ව තිබෙන ආකාරයයි. මෙන්න මේ විවෘත විය හැකියාව ජාතික ජන බලවේගය වෙත පමණක් නැති යැයි අප සිතිය යුතුද?

ලෝකය කලු හා සුදු යන පැහැයන් දෙකෙන් පමණක් යුක්ත, පැතලි යමක් නොවේ. එකම විකල්පය, සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අනුදකින් නව ලිබරල්වාදය, එසේ නැතිනම් සෝවියට් සමාජවාදය නොවේ. පසුගිය සියවස තුල, ඌන සංවර්ධිත තත්වයක සිට, යම් හෝ සංවර්ධනයක් අත් කරගත් රටවල් පෙන්වා දෙන අත්දැකීම නම්, නිදහස් වෙලදපොලට ඉඩ දී, රජය හුදු නියාමනයට සිය භූමිකාව ලඝු කර ගැනීම සංවර්ධනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි. දකුණු කොරියාව, තායිවානය බඳු ධනවාදී මාවතක් ඔස්සේ සංවර්ධනය වූ රටවල් ද, චීනය, වියට්නාමය බඳු කොමියුනිස්ට් පාලනයක් යටතේ කාර්මිකකරණය වූ රටවල් ද පෙන්නුම් කරන පොදු පාඩම නම් අප වැනි රටවල ආර්ථික සංවර්ධනය සඳහා නියාමනයෙන් ඔබ්බට ගිය වැඩ කොටසක් රජය විසින් ඉටු කල යුතු බවයි.

මේ නිසා, ඇත්ත විවාදය නව ලිබරල්වාදය සහ සෝවියට් සමාජවාදය අතර නොවේ. මෙය සැබෑ ප්‍රශ්නය මග හැරීම සඳහා භාවිතා කරන වෙස් මුලාවකි. ලංකාවේ අප කළ යුතු සැබෑ විවාදය, ආර්ථිකය තුල රජයේ භූමිකාව කවරේද යන්න ගැනය ; සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් යෝජනා කරන ආකාරයට හැකිලුණු රජයක් ද, ආර්ථිකය අනාගතාවදී ලෙස මෙහෙයවිය හැකි සක්‍රීය රජයක් ද යන්න පිලිබඳවය. තරමක න්‍යායික භාෂාවෙන් කියන්නේ නම්, සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ නව ලිබරල්වාදය සහ ජාතික ජන බලවේගයේ වාම-සංවර්ධනවාදය අතර විවාදයක්ය.

රමිඳු පෙරේරා

Comments (1)

ජනක බණ්ඩාර පවසයි:

රටේ බුද්ධිමය වාමාංශික ස්තර අතර මේ මට්ටමේ සංවාදයක් ඇති විය යුතුය. අවාසනාවට nppයට සම්බන්ධ බොහෝ web අඩවි වැඩි හරියට තවමත් ඉතා ප්‍රාථමික මට්ටමේ විහිළු වලට පමණක් සීමා වී ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *