නව සමාජ පරිවර්තනයක් උදෙසා නිෂ්පාදන ආර්ථිකයක්

ආර්ථිකය අර්බුදයක ඇති බවත්, එයින් ගොඩයාමට සැබෑ ආර්ථික පරිවර්තයක් අවශ්‍ය බවත්, නව කාර්මීකරණයකට යොමු වූ නිෂ්පාදන ආර්ථික දැක්මක අවශ්‍යතාව හා නිෂ්පාදන ආර්ථිකයක් යනු කුමක්ද යන්න පිලිබඳවත්  විවිද කතා බහ නිර්මාණය  වී ඇති පරිසරයක,  ඒ  පිලිබඳ යම් විග්‍රහයක් කිරීමත් එම තත්වයන් හමුවේ ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්මේ මුලික හරය කුමක්ද යන්නත් පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.

 

ආර්ථිකය (economy) යනු කුමක්ද?  නිෂ්පාදනය  හා එය පරිභෝජනය සඳහා බෙදාහැරීමේ ක්‍රියාවලිය ආර්ථිකයක් ලෙස සරලව හැඳින්විය හැක. නිෂ්පාදනය භාණ්ඩ හා සේවා (goods and services) යන අංශ දෙකෙන්ම සමන්විත වේ.

 

නිෂ්පාදනය මගින් මිනිස් අවශ්‍යතා ඉටු කරන අතර සිදු කරනු ලබන නිෂ්පාදන මොනවාද, කොපමණ ප්‍රමාණයකින් ඒවා නිෂ්පාදනය කරනවද, කුමන ආකාරයෙන් එය සිදු කරනවාද යන්න බොහෝ දුරට රඳාපවතින්නේ ඒ ඒ රට අනුගමනය කරන ආර්ථික හා දේශපාලන දැක්ම, අමුද්‍රව්‍ය සුලබතාවය හා ඒවා ලබා ගැනීමේ හැකියාව, නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, නිෂ්පාදනය යොදා ගනු ලබන තාක්ෂණය, සමාජය සතු දැනුම හා මානව සම්පත යන කරුණු මතය.    නිෂ්පාදනය බෙදා හැරීමේ කාර්යයේදී ඇසුරුම්කරණය ගබඩාකරණය ප්‍රවාහනය, රක්ෂණය, ප්‍රචාරණය, හා  වෙළඳපළ  වැනි දෑ අපට හමුවේ.

 

ඒ අනුව ආර්ථිකය යන විෂය පථය තුළට භාණ්ඩ හා සේවා, දළ දේශීය නිෂ්පාදිතය, දළ ජාතික නිෂ්පාදිතය, ආදායම, ශ්‍රම වෙළඳපොළ හා රැකියා නියුක්තිය, මිල හා වෙළඳපළ , ආනයන හා අපනයන, මූල්‍ය හා බැංකු, උද්ධමනය වැනි විෂයයන් ඇතුළත්වේ.

 

රටක නිෂ්පාදනයේ ප්‍රමාණය, සංයුතිය හා තිරසාර බව මගින් එම රටේ ආර්ථික ශක්තිය පිළිබිඹු කරයි. රටක් තුළ  නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල  මූල්‍ය වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය (Gross domestic product – GDP) ලෙස හඳුන්වයි. කෙසේ නමුත් රටේ නිෂ්පාදනයෙන් අපනයනය කරන කොටස ජනතාවට පාරිභෝජනය කිරීමට නොලැබෙන අතර  ආනයන නිසා රට තුළට ගලා  එන භාණ්ඩා හා සේවා පාරිභෝජනය කිරීමට ජනතාවට අවස්ථාව  ලැබේ. රටක අපනයන ඉක්මවා ආනයනය කිරීමට ණය යොදා ගත හැකි බැවින් ආනයන හා අපනයන ගලපන ලද පාරිභෝජන හැකියාව රටක ආර්ථික ශක්තිය නිසි පරිදි නොපෙන්වීමේ ඉඩකඩක් ඇත. ඒ නිසා, රටක ආර්ථික හැකියාව හා වර්ධනය මැනීම සඳහා යොදා ගන්නේ දළ දේශීය නිෂ්පාදිතයයි.

 

නමුත් රටවල් අතර ඇති භූමි ප්‍රමාණයේ හා ජනගහනයේ ඇති වෙනස්කම් නිසා ද.දේ.නි. වෙනුවට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (per capita GDP) සංසන්දනාත්මක මිනුම් දණ්ඩක් ලෙස ජාත්‍යන්තරව යොදා ගනියි.

 

මහ බැංකු වාර්තා අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. 3830 ක් විය. ඩොලරයට රුපියල් 300ක් යයි උපකල්පනය කළ විට හතර දෙනෙක්ගෙන් යුත් සාමාන්‍ය පවුලකට  රු. 383,000ක මාසික ආදායමක් ලැබෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වය නියෝජනය කරයි. ඔබේ  පවුලේ මාසික ආදායම කොපමණද, ඒ අනුව  ඔබේ ආර්ථික ශක්තිය කුමක්ද යන්න ඔබේ සත්‍ය ආදායම ඇසුරින් සංසන්දනය කර බලන්න. ලෝකයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය  නිෂ්පාදිතය ඇත්තේ ලක්සම්බර්ග් රාජ්‍යයේය. එය ලංකාවේ මෙන්  තිස්පස් ගුණයක් තරම් විශාල ය. රටක නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩිවීම මගින් රටේ හා එහි ජීවත් වෙන මිසුන්ගේ ආර්ථික ශක්තිය වැඩි වේ.

 

රටක දළ දේශීය නිෂ්පාදිතය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය,  කර්මාන්ත හා සේවා ලෙස වර්ග කෙරේ. දළ දේශීය නිෂ්පාදිතයට එක් එක් අංශයේ ඇති දායකත්වය රටින් රටට වෙනස් වේ. රටේ භූ දේශපාලනික පිහිටීම සම්පත් ලබා ගැනීමේ හැකියාව, ලෝක පරිමාණයෙන් අප්පත් කරගෙන ඇති විද්‍යාවේ හා තාක්ෂණය දියුණුව, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ නව ප්‍රවණතා, ඒ ඒ රටට ආවේණික වූ දක්ෂතා,  හැකියා, හා ශිෂ්ටාචාරය, ලෝක දේශපාලන බලගැටුම් හා තුලනයන්, රාජ්‍යතාන්ත්‍රික සබඳතා යන කරුණු සලකා බලා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් තිරසාර ආර්ථික වර්ධනයක් හා ප්‍රශස්ත නිෂ්පාදන සංයුතියක් සකස් කර ගැනීමේ හැකියාව රටකට ඇත.

 

කෙසේ  නමුත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතය ප්‍රමාණාත්මක ලෙස වර්ධනය නොවූවා සේම එහි සංයුතියද ගැටලු සහිත වේ. 1950 සිට මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී ඇති ආකාරය හා එහි සංයුතිය දෙස බැලීමේ දී මේ බව පැහැදිලි වේ.

 

1950 දී 46%ක් වූ  දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික පංගුව 2023 වන විට 8% දක්වා පහත වැටී ඇත. කර්මාන්ත අංශයේ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවී නැත.  2023 දී සේවා අංශයේ දායකත්වය 60% ක් වේ. ඉන් 23% ක් තොග හා සිල්ලර වෙළඳාමෙන් ද, 22%ක් ප්‍රවාහන සේවා මහින්ද ලැබේ. බැංකු හා මූල සේවා වල දායකත්වය 11%කි. තාක්ෂණික හා පරිගණක ආශ්‍රිත සේවා වලින් ලැබෙන්නේ 2%ක් පමණි. සේවා අංශයේ වැදගත්කම පිළිබඳ  විවිධ තර්ක හා මත පලකල ද, එහි සාපේක්ෂ දායකත්වය විශාල වුවද එමගින් රටේ ආර්ථික වර්ධනයට ප්‍රමාණාත්මක ලෙස දායක වී නොමැති බව පැහැදිලි වේ. මහ බැංකුවේ තොරතුරු ඇසුරින් සකස් කල පහත වගුවේ ද.දේ. නිෂ්පාදිතයට  ඒ ඒ අංශයන්හි ඇති  ප්‍රතිශතාත්මක දායකත්වය දැක්වේ.

 

වර්ෂය කෘෂිකර්මාන්තය කර්මාන්ත සේවා සහනාධාර අඩුකළ පසු බදු
1950 46.3 19.6 36.9
1960 37.8 16.8 45.4
1970 28.3 23.8 47.9
1980 27.6 29.6 42.8
1990 26.3 26 47.7
2000 19.9 27.3 52.8
2010 8.5 26.6 54.6 10.2
2020 8.2 28.2 57.7 5.8
2021 8.8 30 55.6 5.6
2022 8.7 30.3 56.1 4.9
2023 8.3 25.6 59.9 6.2

 

තත්ත්වය එසේ වුවද, ශ්‍රී ලංකාව සතු විභවතාවයන් සැලකිල්ලට ගත් විට නව සමාජය පරිවර්තනයක් සඳහා අවශ්‍යය සවිමත්, හා තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමේ හැකියාව ඇත. ඒ සඳහා පළමුකොටම දේශපාලන අවශ්‍යතාවයක් (political will) තිබිය යුතු අතර අදාළ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හා දැක්මක්ද ඒ සඳහා කැපවුණු මානව සම්පතක්ද අවශ්‍ය වේ. මෙම සියලු තත්ත්වයන් සලකා බලා, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ප්‍රමාණාත්මක හා තිරසාර ලෙස වැඩි කර ගැනීම සඳහා යෝජිත ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ ඇතුළත් ප්‍රධාන උපාය මාර්ගික ප්‍රවේශයන් කිහිපයක් ඉදිරිපත් කරමු.

විද්‍යාත්මක පදනමකින් තොරව හා තනි තනි පුද්ගල හැකියාවන් හා  අවස්ථා මත නිෂ්පාදනයේ නියැලෙනවා වෙනුවට නිසි දත්ත, තොරතුරු හා හැකියාවන් මත නිෂ්පාදනය වර්ධනය කර ගැනීම,  ඵලදායීතාව හා  කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, හා නව නිෂ්පාදනයන් හඳුන්වා දීම ඉලක්ක කර ගනිමින්  විධිමත් හා ක්‍රියාකාරී  රාජ්‍ය  පර්යේෂණ හා සංවර්ධන  ඒකකයක් පිහිටුවීම මගින් නිෂ්පාදනයට මගපෙන්වීම හා පහසුකම් සැලසීම. මීට අදාළ ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළැඹෙන ජුනි 29 දා කොළඹදී එළිදැක්වේ.

සෑම පුරවැසියෙක්ටම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය ආහාර ඉහළ ගුණත්වයෙන්,  අඛණ්ඩව, හා ප්‍රමාණාත්මකව ලබාගත හැකි ආහාර සුරක්ෂිතතාවය පදනම් වූ නවීන කෘෂිකර්මාන්තයකට යොමු වීම. මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීම, මානව සම්පත සංවර්ධනය කිරීම, ප්‍රශස්ත ඉඩම් පරිහරණය පිළිබඳ සැලසුම ක්‍රියාත්මක කිරීම, නිෂ්පාදන ඵලදායිතාව වැඩි කිරීමේ නවීන ක්‍රම  භාවිත කිරීම, නව බීජ හා බෝග හඳුන්වාදීම, පසු අස්වනු  නාස්තිය අවම කිරීම, ආහාර කල් තබා ගැනීමේ නවීන ක්‍රම හා විධි හඳුන්වාදීම හා  යටිතල පහසුකම් ලබාදීම ප්‍රමුඛතා කාර්යයන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීම.

 

ඛනිජ සම්පත් පාදක නව නිෂ්පාදන කර්මාන්ත (mineral based industries) , වටිනාකම් එකතු කරන කෘෂි පාදක කර්මාන්ත (agro based industries), කර්මාන්ත හා අනෙකුත් අංශවලට අවශ්‍ය  මූලික යෙදවුම් හා උපකරණ  නිෂ්පාදන කර්මාන්ත (input industries), තොරතුරු තාක්ෂණය හා ඒ ආශ්‍රිත සේවා  සම්බන්ධ කර්මාන්ත (IT & IT Allied Services), ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කර්මාන්ත ( MSMEs) හා අපනයනාභිමුඛ කර්මාන්ත, ප්‍රවර්ධනය කරනු ලබන නව කර්මීකරණයකට රට යොමු කිරීම.

 

ගෝලීය සැපයුම් දාමයේ ප්‍රවණතාවයන් හා පවතින අවස්ථාවන්   අධ්‍යයනය කරමින් විදේශීය අංශය (external sector) ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රමාණාත්මක විදේශ වෙළඳපංගුවක් අත්පත් කර ගැනීම සඳහා අපනයන දිරි ගැන්වීම හා ප්‍රවර්ධනය කරන කර්මාන්ත හා සේවා වෙත යොමුවීම.

 

නිෂ්පාදනය හා අනයෝන්‍ය වශයෙන් බැඳුණු කාර්යක්ෂම සේවා පද්ධතියක් මෙන්ම ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ඉපයීමට හැකි නාවුක සේවා, ගුවන් සේවා, IT ආශ්‍රිත සේවා, සංචාරක සේවා ඇතුළු සේවා කර්මාන්ත  දියුණු කිරීම.

 

එමෙන්ම සේවා කර්මාන්තය දියුණු කිරීමේදී ඒවා භාණ්ඩ නිෂ්පාදනය සමග ඇති සම්බන්ධතාවය ද සලකා බැලීම වැදගත් වේ. උදාහරණයක් ලෙස තොග හා සිල්ලර වෙළදාම යන සේවා අංශය රට තුළ භාණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනය නොකර පවත්වා ගැනීමට උත්සුක වුවහොත් වෙළදාම අනිවාර්යයෙන්ම සිදු වන්නේ ආනයනය කරන භාණ්ඩ මතය. ආනයන වෙළඳාම සිදුවන අතරම  ප්‍රමුඛත්වය දිය යුත්තේ භාණ්ඩ නිෂ්පාදනය තුළින් තොග හා සිල්ලර වෙළඳ සේවය දියුණු කිරීමයි. එසේම සංචාරක සේවා කර්මාන්තය තුළද විශාල වශයෙන්  ආහාර පාන ඇතුළු දේශීය භාණ්ඩ  නිෂ්පාදනය කොට  ආදායම් ඉපයීමේ හැකියාව ඇත. ප්‍රවාහනය හා සන්නිවේදන සේවා ද ඒ ආකාරයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය හා සම්බන්ධව පවතී. රක්ෂණය වැනි ක්ෂේත්‍රයක් වුවද නිෂ්පාදනයෙන් හා සමාජ ක්‍රියාකාරීත්වයෙන් වියුක්තව බිය හා අවදානම සමාජගත කරමින් ලාභය පමණක්ම ඉපයීමට මුල්වුවහොත් එය තිරසාර සේවා කර්මාන්තයක් වන්නේ නැත.

 

අනෙක් අතට බැංකු හා මූල්‍ය සේවා ද  නිෂ්පාදනය සඳහා දායක නොවී හුදු වෙළඳ භාණ්ඩයක් (commodity) ලෙස පමණක් ක්‍රියාත්මක වුවහොත් සිදුවන්නේ මායාකාරී මූල්‍ය ප්‍රාග්ධනය (Fictitious financial Capital ) අසාමාන්‍ය ලෙස ගොඩනැගීමත් එමඟින් ඇතිවන ආර්ථික බුබුළු (economic bubbles)  පුපුරා යාමත්ය. එම නිසා ආර්ථිකයක මූල්‍ය පද්ධතිය අවබෝධයෙන් හා අරමුණු සහගතව පවත්වා ගැනීම, මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම, ඉතිරි කිරීම් හා බැංකු මුදල් ඇතුළු මූල්‍ය ප්‍රාග්ධනය සැබෑ නිෂ්පාදන ක්‍රියාවලිය  වෙත යොමු කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ ආණ්ඩුව වෙතය.

 

ශ්‍රී ලංකාවේ තත්වය සලකා බැලීමේදී, භූමිය, එහි ඇති සම්පත්, රට වටා පිහිටි මුහුද, මානව සම්පතේ ඇති හැකියාව, තාක්ෂණය අත්පත් කර ගැනීමේ හැකියාව, නව ලෝක ප්‍රවණතා, ශ්‍රී ලංකාවේ පිහිටීම, අපගේ ශිෂ්ටාචාරය විසින් අත්පත් කරගත්  ආවේනික දැනුම හා අත්දැකීම් මත ආර්ථිකයේ තීරණාත්මක පංගුවක් භාණ්ඩ නිෂ්පාදනයෙන් සමන්විත වන, භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු කාර්යක්ෂම සේවා අංශයන් මෙන්ම වෙනමම ආදායම් ඉපයිය හැකි නවීන සේවා අංශද ඇතුළත්ව  මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තබන පුනරුද යුගයකට අඩිතාලම යොදන නව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම  අපගේ අරමුණයි. එය සිදු විය යුත්තේ  අප රටේ හැකියාවන්,  දැක්ම හා බැඳුනු  අපට අවේනික වැඩ පිළිවෙලක් හා ක්‍රියාමාර්ග තුල මිස පරිබාහිරව ගෙන එන ජනප්‍රිය හෝ අපිට අදාල නොවෙන පරිබාහිරින් ඔබ්බවන ලද වෙනත් පාර්ශ්වවල පොදු ආර්ථික විමුක්ති මාර්ගයකින් නොවේ.

 

ඒ අනුව ශ්‍රී ලංකාව මේ මොහොත වන විට ඇද දමා ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් තනි තනි පුද්ගලික අරමුණු ග්‍රහණය කිරීම හා ඕනෑම ක්‍රියාකාරකමක යෙදෙමින් හුදු ලාභයට පමණක්ම මුල් තැන දෙන ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවට පුද්ගලික හැකියාවන් සහ දක්ෂතාවයන් පොදු අරමුණක් වෙත යොමු කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ හා එම ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදා ගැනීමේ ප්‍රතිපත්තියක් සඳහා අපි සියලු දෙනාම උපරිම දායකත්වයෙන් හා කැපවීමෙන් බලාපොරොත්තු සහගතව කටයුතු කළ යුතුය. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය යන්නෙන් පුළුල්ව අදහස් කරන්නේ එයයි.

මහාචාර්ය අනිල් ජයන්ත

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ සභාපති

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *