චීන අත්දැකීම තේරුම් ගැනීම : වෙලඳපොල සමාජවාදය (II)

චීන ආර්ථිකයේ ස්වභාවය පිලිබඳ විමර්ශනය කෙරෙන මෙම ලිපි පෙලෙහි පලමු කොටස සඳහා මෙතැනින් පිවිසෙන්න.


රාජ්‍ය ව්‍යවසාය, පොදු සේවා හා සැලසුම්කරණය

චීනය තුල රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ සාධාරණීකරනය කරුණු තුනක් මත මතු වන්නකි : රජයේ ව්‍යවසායන්ට තම සේවකයන්ට ලාභයේ වැඩි පංගුවක් බෙදා හල හැක, ආයතනයේ කලණාකරන විධික්‍රම  — විශේෂයෙන්ම වැටුප් ආදී වූ කාරණා සම්බන්ධව තීරණය කිරීමේ වැඩි බලයක් රජයට තිබේ, සහ අවසාන වශයෙන් මෙබඳු ව්‍යාපාර පහසුවෙන් රාජ්‍ය ව්‍යාපෘති සඳහා යොදාගත හැක. සමාජවාදී ආදර්ශය අනුගමනය කරමින් රාජ්‍ය ව්‍යසායන් සඳහා විශේෂ ආධාර ලබාදීම සඳහා අරමුදලක් රජය විසින් නඩත්තු කරන අතර, රාජ්‍ය ව්‍යසායන් ණය පහසුකම් හා පොලී අනුපාතික ප්‍රතිපත්තියේ ද සහයෝගය ලබයි.

 

රාජ්‍ය ව්‍යවසායන්ගේ ශක්තිය ගලා එන එක් ප්‍රභවයක් වන්නේ ඒවා පාලනය කෙරෙන්නේ බටහිර රටවල පෞද්ගලික සමාගම් පාලනය කෙරෙන ආකාරයට නොවීම යන කාරණාවයි. බටහිර පෞද්ලික සමාගම් සාමාන්‍යයෙන් කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කොට තිබෙන අතර, ඒවායේ අරමුණ කොටස් හිමිකරුවන්ට උපරිම ලාභය ගෙන දීමයි. උප කොන්ත්‍රාත්කරුවන් මත පීඩනය යෙදීම තුලින්‍ ආයෝජනය සඳහා උපරිම ප්‍රතිලාභ ලැබීමට මෙම ව්‍යවසායන් අපේක්ෂා කරයි. චීන රාජ්‍ය සමාගම් මෙලෙස ක්‍රියාත්මක වී නම්, එය දේශීය කාර්මික කැන්වසය අවුල් කිරීමෙහිලා හේතු වනු ඇත. එවැනි තත්වයක් ඇති වී නම්, ‘රාජ්‍ය ධනවාදයේ’ අතිශය ම්ලේච්ඡ රූපාකාරයක් ඇති වනු ඇති අතර, ගතික ආර්ථික වර්ධනයක් ගැන සිතීම අපහසු වනු ඇත. බොහෝ චීන රාජ්‍ය ව්‍යවසායන් ලාභදායී වී තිබෙන්නේ කොටස්හිමිකරුවන්ගේ ලාභය උපරිම කිරීම සඳහා ඒවා ක්‍රියාත්මක වීම නිසා නොව, ආයෝජන නිෂ්පාදජනක ක්ෂේත්‍රවලට යොමු කිරීම හා පාරිභෝගිකයන් වෙත ඒවා සපයන සේවා හේතු කොට ගෙනය. මෙම ආයතනවල ලාභ බටහිර සමාගම්වලට වඩා අඩු මට්ටමක පැවැතීම ගැටලුවක් නැත ; ඔවුන්ගේ අරමුණ ආර්ථිකය තුල පොදු වශයෙන් උද්දීපනයක් ජනිත කිරීමය.

 

රාජ්‍ය ව්‍යවසායවල තිබෙන එක් සුවිශේෂී ලක්ෂනයක් වන්නේ ඔවුන් රජය නම් වූ කොටස් හිමිකරු වෙත ලබා දෙන ප්‍රතිලාභය සියයට දහයක් පමණ වූ සුලු අගයක පැවැතීමය. මේ වනවිට බොහෝ විදේශ විශේෂඥයන් මෙම අගය ඉහල දැමිය යුතු බවට උපදෙස් දෙමින් සිටී. සුරැකුම්පත් නියාමන කොමිසම ඒ සම්බන්ධව යම් නම්‍යශීලීත්වයක් ද දක්වන බව පෙනී යයි. බටහිර රටවල ධනවාදී භාවිතාව අනුව ලබා දෙන මෙම උපදෙස චීනයේ රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ගැලපෙන්නේ නැත. මෙම පිලිවෙත අනුගමනය කලහොත් ලෝකයේ ප්‍රධාන පෙලේ මූල්‍ය කතිපයාධිකාරයන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ලෙසට සිදුවනු ඇත්තේ රජයේ පාලනය යටතේ වුව පෞද්ගලික කොටස් හිමියන්ගේ උවමනා වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසායන් අවභාවිතා වීමයි. ඒවෙනුවට වඩා යෝග්‍ය පිලිවෙත වන්නේ දේපොල සැපයුම සඳහා වූ කුලියක් ලෙස ප්‍රාග්ධනය මත බද්දක් පැනවීමය. මෙම පිලිවෙත අනුගමනය කලේ නම්, ලාභ උපයන රාජ්‍ය ව්‍යවසායන්ට තම ලාභයේ සැලකිය යුතු පංගුවක් වැඩිදුර ආයෝජනය සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදාගැන්මට ඉඩ ලැබෙනු ඇත. 

 

චීනයේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික සමාගම් ලෙස කලමණාකරනය විය යුතු ආයතන නොවේ. ‘චීන නැඹුරුව සහිත වෙලඳපොල සමාජවාදය’ යන්නේ අදහස ශක්තිමත් රාජ්‍ය අංශයකට ආර්ථිකය තුල උපාය මාර්ගික භූමිකාවක් පවතින බවය. චීන ආර්ථිකයේ සාර්ථකත්වයට බලපෑවේ මෙම ක්‍රියාකාරීත්වය බව සිතීමට උවමනාවටත් වඩා සාධක පවතී. මෙම සාර්ථකත්වය පාර්ශවීය වශයෙන් රාජ්‍ය ව්‍යවසායන්ගේ ප්‍රමාණය සමගත් සම්බන්ධය. දැවැන්ත රාජ්‍ය ව්‍යවසායන් ලබන සාර්ථකත්වය ආර්ථිකයේ සෑම තලයකම වියදම අඩු කිරීමෙහිලා හේතු වේ. මේ තුල අතිශය පුලුල් වූ කුඩා හා මධ්‍යම ව්‍යවසායන් සමුදායක් වෙත ලාභ මිලකට නිෂ්පාදන යෙදෙවුම් සැපයෙන අතර, වෙලඳපොල තුල තරගකාරී නිෂ්පාදන තත්වයක් පවත්වා ගැන්මෙහිලා උපකාරී වේ.

 

චීන රාජ්‍ය ව්‍යවසායවල තිබෙන සීමිත නමුත් එක් සාධනීය ගති ලක්ෂණයක් වන්නේ අධීක්ෂණ මණ්ඩල හා සේවක සභාවල සහභාගි වන නියෝජිතයන් හරහා සේවකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමය.. මෙය කොටස්හිමිකාරීත්ව තර්කනයට ප්‍රතිවිරුද්ධ වූවකි. අනෙක් වාසිය නම්, සැලසුම්කරණ අභිමතාර්ථයන් සාක්ෂාත් කරගැන්මෙහිලා රාජ්‍ය ව්‍යවසායන්ට පහසුවෙන් සම්මාදම් විය හැකි වීමය. ව්‍යවසායන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කල හැකි ලෙස දේශපාලන අරමුණු ඉදිරියට ගැන්මක් මින් අදහස් නොවේ. මෙහි අර්ථය ව්‍යවසායන්ගේ ප්‍රධානීන් පත් කිරීමේ බලය තබා ගැනීම හරහා පොදු සේවා සැපයීමේ දී මෙන්ම වෙලඳපොල අංශවලදීද සැලසුම්කරණයට අනුව අදාල ආයතන ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සම්බන්ධයෙන් රජයට බලය තිබෙන බවයි. සහනාධාර සැපයුම හා බදු ප්‍රතිපත්තිය යන උපකරණ මගින් රජය මෙය ක්‍රියාත්මක කරයි.

 

චීනය තුල අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව හා විශ්‍රාම වැටුප් බඳු වූ සමාජ සේවාවන් සම්පූර්ණයෙන්ම හෝ ප්‍රධාන වශයෙන් රජය විසින් පාලනය කරනු ලැබේ. මධ්‍යම රජය හෝ බොහෝ අවස්ථාවල පලාත් පාලන ආයතන මේ සම්බන්ධ වගකීම උසුලයි. මෙකී සේවාවන් පෞද්ගලික අංශය විසින් සපයනු ලබන භාණ්ඩ වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. දේශපාලන, සමාජ හා ආර්ථික විෂයන් ලෙසට කේවල පුද්ගලයන්ට පරිසමාප්තිය ලැබීමට ඉවහල් වන සමාජ භාණ්ඩ ලෙස මෙම සේවා පවත්වා ගැන්ම රජයේ අරමුණයි. මේ තුල යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම, රැකියා සඳහා ප්‍රවේශය තහවුරු කිරීම, පොදු ප්‍රවාහනය හොඳ මට්ටමක තබා ගැනීම හා පුරවැසියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම අපේක්ෂිතය. අනෙක් අතට, පොදු සේවා උපාය මාර්ගික වශයෙන් වැදගත් භාණ්ඩ ලෙස සැලක්නේනේ ආර්ථිකයේ සෙසු අංශ වන බලශක්තිය, යටිතල පහසුකම්, මූලික අමුද්‍රව්‍ය, බැංකු හා පර්යේෂණය බඳු ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය වූ අත්‍යවශ්‍ය යෙදවුම් එමගින් සැපයෙන නිසාය. මෙම ක්ෂේත්‍රවල පෞද්ගලික අංශය අනුපූරක හෝ උත්තේජනය සපයන ඒකක ලෙස පිලිගනු ලැබුවත්, රජය පැහැදිලිවම තරගකාරීත්වය පවත්වා ගැනීමේ දී රාජ්‍ය අංශයට වරප්‍රසාදිත තත්වයක් ලබා දී තිබේ. චීන ආර්ථිකයේ ප්‍රබලතම ශක්තියක් වන්නේ ‘උපාය මාර්ගික’ භාණ්ඩ පිලිබඳ මෙම පුලුල් සංකල්පනයයි. විශාල පරිමාණයේ පොදු සේවා පවත්වා ගෙන යාම පිලිබඳව තිබෙන මෙම අවධාරණය තුල ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම පිලිබඳ අවධානය ද පවතී.

 

චීනයේ දේශපාලන හා ආර්ථික ක්‍රමයේ තිබෙන එක් විශිෂ්ට ලක්ෂණයක් වන්නේ ප්‍රබල සැලසුම්කරණයක පැවැත්මය. පසුගිය දශක කිහිපය තුල සැලසුම්කරණයේ අරමුණු හා ඒ සඳහා යොදා ගන්නා උපාංගවල වෙනසක් සිදුව තිබුණත්, සැලසුම්කරණයට තිබෙන වැදගත්කම හීන වී නොමැත. සෑම වර්ෂයකම ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාරවලට ප්‍රථම චීන නායකයන් පවත්වන කථා දෙස බලන විට, ඔවුන්ගේ අවධානය යොමු වන්නේ පස් අවුරුදු සැලසුම තුල නිශ්චිත කල ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගෙන තිබේ ද යන කාරණාව කෙරෙහිය. අවිනිශ්චිතතාවය රජය අනාගත ලෝකයේ පසුබිම තුල සිට බලන විට, සැලසුම්කරණය පිලිබඳ මෙම නැඹුරුව තුල නියෝජනය වන්නේ සාමූහික වරණයන් හා පොදු අභිමතයයි. මේ තුල පොදු ජාතික ඉරණම ප්‍රකාශමාන වේ. පරිභෝජනයේ සිට නිවාස දක්වා ජීවිතයේ විවිධ වූ ක්ෂේත්‍රවල ස්වාමීත්වය සම්බන්ධව මහජනයා තුල තිබෙන අභිලාෂයට මේ තුල ප්‍රකාශනය සැපයේ. මෙම වරණ සම්බන්ධ තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විසිනි. ජනතා අදහස් ලබාගැනීම නම් වූ මූලධර්මය මේ ක්‍රියාවලිය තුල එන්න එන්නම අත්‍යවශ්‍ය සංරචකයක් වී තිබේ. සහන මිල ගණන්, මිල පාලනය, පොදුජන ආඥා යනා දී ක්‍රමවේද වලින් සමන්විත නූතන විධික්‍රමයන්ගෙන් යුක්ත මෙම ශක්තිමත් උපායාමර්ගික සැලසුම්කරණය සමාජවාදී ක්‍රමයේ සුවිශේෂී ලක්ෂණයක් වේ.

 

කෙසේ වුවද, අප අද අත් දකින්නේ සමාජවාදයේ සමානාත්මතාවාදී පරමාදර්ශයට බෙහෙවින් වෙනස් යථාර්තයකි. චීනය යනු අති විශාල සමාජ අසමානතාවයන්ගෙන් යුක්ත රටකි. සමානාත්මතාවාදය පිලිබඳ පරමාදර්ශය අතීතයේ දී ආර්ථික වර්ධනය උද්දීපනය කිරීමේ නාමයෙන් — රුසියාවේ නව ආර්ථික වැඩපිලිවෙල ක්‍රියාත්මක වූ කාලයේ යොදාගත් ‘පොහොසත් වෙයල්ලා’ ආදර්ශ පාඨය හා සමගාමී ලෙසකට ද්විතීක කරනු ලැබිණ. කෙසේ වුවද, පසුගිය කාලය තුල මෙම පරමාදර්ශය සමාජ සාධාරණත්වය පිලිබඳ තේමා යලි ඉදිරියට ගැන්ම සමග පෙරට අවුත් තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් ‘සමාජවාදී සදාචාරය’ පිලිබඳ කථා කරන විට, චීනය තුල වන පරිභෝජනවාදය, සුඛෝපභෝගය පිලිබඳ ලාලාසාව හා දූෂණයේ තරම ගැන දන්නා අයට යම් සැකයක් ඇති වීම ස්වභාවිකය. කෙසේ වුවද, මෙම සදාචාරත්මක වැහැරීම පිලිබඳ චීන රාජ්‍යය නම්‍යශීලී ආකල්පයක් දක්වන බව සරල ලෙස නිගමනය කිරීම සදෝශීය. සමාජවාදී වටිනාකම් අඛණ්ඩව පවත්වා ගෙන යාම පිලිබඳ අවධාරණයක් පැහැදිලිව දැකගත හැක. කම්කරුවන්ට කලමණාකාරීත්වයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙන රාජ්‍ය අංශය තුලය සමාජ අසමානතාවය තුනී කිරීම සඳහා වූ යතුර ගැබ්ව තිබෙන්නේ. ‘සමාජ ඇංජිම්’ ලෙස රාජ්‍ය ව්‍යවසායන් ක්‍රියාත්මක විය යුතු බවට අපේක්ෂා කෙරේ. අසමානතාවය තුරන් කිරීමේ අරමුණ රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් ලෙසට පැවැතිය යුතු බවට පක්ෂව ඉදිරිිපත් කල හැකි තවත් තර්කයකි.

 

බැංකු පද්ධතිය පාලනය කිරීම හා මූල්‍ය වෙලඳපොල

චීනයේ වර්තමාන මූල්‍ය පද්ධතිය යල් පැන ගිය එකක් ලෙස සලකන බොහෝ ආර්ථික විද්‍යාඥයන් එය නූතණකරනය විය යුතු බවත්, එය ව්‍යාප්ත වූ බාහිර මූල්‍ය වෙලඳපොලවල් සමග අනුබද්ධ විය යුතු බවත් සලකති. 2005 සිට ක්‍රියාත්මක මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ දිශාගත වී තිබෙන්නේ රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනය විවෘත කිරීම හා නව කොටස් හුවමාරු නිර්මාණය කිරීම දෙසටය. මෙම ප්‍රතිසංස්කරණ මූලික වශයෙන් රාජ්‍ය ව්‍යසාය ක්ෂේත්‍රය තුල මීට පෙර අනුගමනය කල ප්‍රතිසංස්කරණ පරාවර්තනය කරයි. රාජ්‍ය බැංකුවලට පස් අවුරුදු සැලසුම්වලට අදාලව තීන්දු ක්‍රියාත්මක කිරීමට වැඩි නිදහසක් ලබාදීම, ඒකාබද්ධ කොටස් සමාගම් බවට පත්වීම, වෙලඳපොල හිතවාදී කලමණාකාරීත්ව නිර්ණායක වර්ධනය කිරීම හා විදෙස් ආයෝජකයන් සමග ඒකාබද්ධතාවයන් ගොඩනගා ගැනීම මේ තුල ඉලක්ක කෙරෙයි. මේ අනුව චීනයේ විශාලතම බැංකු වන බෑංක් ඔෆ් චයිනා, ඉන්ඩස්ට්‍රියල් ඇන්ඩ් කොමර්ෂල් බෑන්ක් ඔෆ් චයිනා සහ චයිනා කන්ස්ට්‍රක්ෂන් බෑන්ක් යන ආයතන තම ප්‍රාග්ධනය විවෘත කල අතර, මේ සමග ගෝල්ඩ්මන් සැච්, යූබීඑස් හා බෑංක් ඔෆ් ඇමරිකා ආදී වූ විදේශ ආයතන චීනයට ඇතුලු වූ අතර, සමාගම් කලමණාකාරීත්ව විධික්‍රම උකහා ගැනීම සඳහා මේ තුල පහසුකම් සැලසුණි. කෙසේ වුවද, චීන ආර්ථිකයේ මූල්‍ය පද්ධතිය තවමත් පදනම්ව තිබෙන්නේ බැංකු අතරමැදීත්ව සිද්ධාන්තය මතය. මූල්‍ය වෙලඳපොල හා බැංකු ණය දීම් අතර තුලනයක් ඇති කල යුතු බවට වූ පදනම මත දේශපාලන අධිකාරීන් ක්‍රියාත්මක වේ.

 

කෙසේ වුවද, මෙම ක්ෂේත්‍රය තුල නූතනකරණය සඳහා දරනු ලබන ප්‍රයත්නය මුලුමනින්ම ධනවාදී විධික්‍රමය යොදාගැන්මක් ලෙසට පටලවා නොගැනීමට අප ප්‍රවේශම් විය යුතුය. මූල්‍ය පද්ධතියට තුලට මූල්‍ය අධිකාරිය කරන මැදිහත්වීම අතිශය ප්‍රබල මට්ටමක පවතින අතර, ඔවුන්ගේ ප්‍රවේශය බෙහෙවින් ප්‍රායෝගිකවාදීය. රට ගෝලීය කරණය සමග සම්බන්ධ වීම නිසා ඇති වන ප්‍රගමනයන් සේම පසුබැසීම් ද චීන රාජ්‍ය අධිකාරිය අත්දකිමින් සිටී. විශේෂයෙන්ම 2008 ආර්ථික අවපාතයෙන් පසුව උදා වූ අවධියේ දී මෙය පැහැදිලිව දක්නට ලැබුණි. මූල්‍ය පද්ධතියේ අරාජකත්වය නිවැරදි කිරීම සඳහා බැංකු ණය දීම් මගින් ආර්ථිකය උද්දීපනය කිරීම සිදුවිය. 1990 ගණන්වල දී, විශේෂයෙන් 1990-91 අර්බුදයෙන් ඉක්බිති, එතෙක් රක්ෂණය හා දේපල වෙලඳාම බඳු අත්හදා බැලීම්වල යෙදෙමින් සිටි බැංකුවලට 1992-1995 කාලය තුල එලෙස කිරීම තහනම් කෙරුණි. මෑතකදී, 2008 න් පසුව, ගෝලීය ආර්ථිකය විසින් සමාජය මත කරන අස්ථාවර කිරීමේ බලපෑම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට චීන අධිකාරියට බල කෙරුණි. පවතින ආයතනික රාමුව සංශෝධනය කරමින්, බලගතු පාලන උපාංග යොදාගනිමින්, තම සංවර්ධන උපාය මාර්ගය ශක්තිමත් කරගැනීමට ඔවුන්ට සිදුවිය.

 

බැංකු අතරමැදීත්වයේ ප්‍රතිලාභ පිලිබඳ චීන දේශපාලන නායකයන් සවිඥානිකය. මූල්‍ය වෙලඳපොලවල්වල තිබෙන ගැටලුකාරීත්වය පිලිබඳ බැරෑරුම් අවබෝධයක් සහිත ඔවුන් ලෝක මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය විය යුතු බවට අඛණ්ඩව ඉල්ලුම් කරයි. බැංකු පද්ධතිය රාජ්‍ය පාලනය යටතේ තබාගැන්මට ඔවුන් නැඹුරුව දක්වයි. ‘විශ්වීය බැංකුකරණ’ මොඩලය අත්හැරීමට මැලිකමක් දක්වයි. මිශ්‍ර මෙහෙයුම්වලට ඔවුන් යොමු වන විට, ඒවා පවා සිදු කරන්නේ විශේෂීකරණය වූ අනු ආයතන හරහාය. මෙම ආයතන සෙසු රාජ්‍ය සමාගම්වලින් වෙන් කොට පවත්වා ගැනෙන අතර, බැංකු නියාමන කොමිසමේ දැඩි අධීක්ෂණයට යටත්ය.

 

තවද, පොලී අනුපාත ප්‍රතිපත්තිය විශාල වශයෙන් අධීක්ෂණයට යටත්ය. පොලී අනුපාතිකය තීරණය වීම ලිහිල්කරණය වන අවස්ථාවල, මහ බැංකුව සංචිත අවශ්‍යතා නියම කිරීම මගින් ණය සැපයුම දැඩි ලෙස පාලනය කරයි.

 

චීන ආර්ථිකය තුල තිබෙන එක් සුවිශේෂීතාවයක් හා ශක්තියක් වන්නේ නිෂ්පාදන සාධක මිල දක්වන ස්වෙච්ඡාවාදී චලිතයයි. මිල තීරණය කිරීමේ දී ‘නිදහස්ව’ ක්‍රියාත්මක වන්ට වෙලඳපොලට ඉඩ නොදීම සම්බන්ධව ආණ්ඩුව නිවැරදිය.  ආර්ථිකය තුල ඇති විය හැකි අවදානම් පිලිබඳ මහේක්ෂ දැක්මක් සහිත රජයට පමණි ආර්ථිකය සැලැස්මකට අනුව මෙහෙයවිය හැක්කේ. පරිපාලනයට ලක්කල පොලී අනුපාත ප්‍රතිපත්තිය කුටුම්භ ඉතුරුම් හා ආර්ථිකයේ මූල්‍ය අවශ්‍යතා අතර කාලීනව සිදුවිය යුතු සීරු මාරු වීම් සඳහා අවසරය නොදෙන නිසා පොලී අනුපාතික ප්‍රතිපත්තිය අර්ධ වශයෙන් පරිපාලනයට ලක් කොට තිබේ. මේ තුල ණය සැපයුම සඳහා උපරිම සීමාවක් පනවනු ලබන අතර, ඉතුරුම්වලට ලැබෙන පාරිතෝෂිකය සඳහා අවම සීමාවක් පනවා තිබේ. මේ නිසා පොලී අනුපාතික පිලිබඳ විවාදය යම් පරිමාණයක පාලනයක් දෙසට නැඹුරු වූවකි.

 

පෞද්ගලික අංශය ව්‍යාප්ත වීම තර්කානුකූලව කොටස් වෙලඳපොලේ නැග්මක් කෙරෙහි හේතු වේ. කෙසේ වුවද, කොටස් වෙලඳපොල යම් සීමාවක් තුල පැවැතිය යුතුය. පෞද්ගලික අංශය සඳහා කොටස් වෙලඳපොල ප්‍රයෝජනවත් වුවත්, රාජ්‍ය ව්‍යවසායන් ඒ මත රඳා පැවැතිය යුත්තේ අඩුවෙනි. අරමුදල් සම්පාදනය ස්වයංව සිදුකරගැන්මේ ශක්‍යතාවය ඔවුන් විසින් වඩවා ගත යුතු වේ. ප්‍රාග්ධනය නංවා ගැනීම සඳහා රජයට පවතින අරමුදල්වලට දායක විය යුතුය. මේ වනවිට, විදේශ ආයෝජකයන් වෙත සුරැකුම්පත් වෙලඳපොල විවෘත කිරීම සිදුව තිබෙන්නේ තෝරාගත් තරගකරුවන් සම්බන්ධව පමණි. සමපේක්ෂණ කටයුතු පිලිබඳ සැකයෙන් පසුවන බලධාරීන් දේශීය වෙලඳපොල තුල යූආන්වලින් කොටස් නිකුත් කිරීම විදේශ සමාගම්වලට තහනම් කොට තිබේ. මෙම සීමා කිරීම් ඉවත් කිරීම හා යූආන් මුදල වෙත මුලුමනින්ම පරිවර්තනය වීමට අවසරය දීම තුල සැබැවින්ම සිදුවනු ඇත්තේ බලගතු මූල්‍ය කතිපයාධිකාරීන් — විශේෂයෙන්ම එක්සත් ජනපද සමාගම්වලට යටත් වීමය. කොටස් වෙලදපොල භාවිතය හැකි තාක් සීමිත ලෙස පැවතිය යුතු අතර, කොටස් හිමිකාරීත්ව වටිනාකම් මොඩලය අනුගමනය කිරීම කෙරෙහි හේතු නොවිය යුතු වේ. දේශීය ආයෝජකයන් තුලින් ඒකරාශී කරගැන්මට තරම් ප්‍රමාණවත් ඉතුරුම් ප්‍රමාණයක් චීනය සතුව පවතී. මෙය ලාභදායීතාවය මත වූ සීමාවන්ට විෂය කල හැක.

 

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *