ඉසබෙලා වෙබර් යනු මැසචුසෙට්ස් විශ්වවිද්යාලයේ ආර්ථික විද්යාව පිළිබද සහකාර මහාචාර්යවරියකි. How China Escaped Shock Therapy නම් ග්රන්ථයේ කතුවරිය වන්නේ ද ඇය යි. පහතින් දැක්වෙන්නේ ඇය විසින් The Guardian වෙබ් අඩවියට 2021 වසරේ දි ලියු “Could strategic price controls help fight inflation?” නම් ලිපියේ සිංහල අනුවාදය යි. මෙය කොවිඩ් 19 වසංගත සමයේ දී ගෝලීය උද්ධමනය ඉහළ යාම පසුබිම් කර ගනිමින් එය පසුපස පැවති එක් තීරණාත්මක නමුත් කිසිවෙකුගේ අවධානයට යොමු නොවුණු සාධකයක් වන ව්යාපාරිකයන්ගේ ලාභය අධික ලෙස ඉහළ යාම සහ උද්ධමනය පාලනය සදහා මිල පාලනය යොදා ගත හැකි ද යන්න පිළිබඳ ව විමසා බැලු ලිපියකි. ලංකාව ඇතුලු ලෝකයේ බොහෝ ආර්ථිකයන් මේ වන විටත් මුහුණ දෙන උද්ධමනකාරී තත්ත්වයට ද මෙම ලිපිය විසින් එල්ල කරනු ලබන ආලෝකය වලංගු වන බව අපගේ අදහස යි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු උද්ධමනය වළක්වා ගැනීමට ඇමරිකාවේ ප්රමුඛ ආර්ථික විද්යාඥයින් විසින් උපායමාර්ගික මිල පාලනය නිර්දේශ කරන ලදී. එය අදටත් යොදා ගැනීමට හැකියාවක් ඇත් ද?
උද්ධමනය වසර 40 කට පසුව එහි ඉහළ ම අගය වාර්තා කිරීමට ආසන්න ය. ලොව පුරා මධ්යම බැංකු විසින් මෙයට මැදිහත් වීමට පොරොන්දු ලබා දී ඇත. කෙසේ නමුත් මිල ගණන් ඉහළ යාමට බලපෑ තීරණාත්මක සාධකයක් කෙරෙහි අවධානය විශාල වශයෙන් මග හැරෙමින් පවතී. විශාල ලෙස ලාභ ඉහළ යාම එම තීරණාත්මක සාධකය යි. 2021 වසරේදි එක්සත් ජනපද මූල්ය නොවන ලාබ අන්තරය දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතව පැමිණි වසරවල්වල දී පවා නොදුටු අන්දමේ ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. මෙය අහම්බයක් නොවේ. යුද්ධය අවසාන වීම විසින් නිෂ්පාදන ප්රතිව්යුහගතකරණයක් හදිසියේ ඉල්ලා සිටියේ ය. එමගින් අවහිරතාවයන් (bottlenecks) ඇති වූ අතර එය කොවිඩ් වසංගත කාලයේ ඇති වූ අවහිරතාවයන්ට සමාන ය. එදා මෙන්ම අද ද වෙළෙඳපොළ බලය සහිත විශාල සමාගම් සැපයුම් දාමයේ ගැටලු මිල ගණන් ඉහළ නැංවීමට සහ විශාල ලෙස ලාභ ගරා ගැනීමට භාවිතා කරයි. ඇ.එ.ජ. ෆෙඩරල් රිස(ර්)වය විසින් දැඩි තීරණ ගනු ලැබුව ද මූල්යමය උත්තේජක කපා දැමීම තුළින් සැපයුම් දාම ගැටලු විසඳෙන්නේ නැත. ඒ වෙනුවට අපට අවශ්ය වන්නේ යුද්ධයෙන් පසු කාලයේ මෙන් උපායමාර්ගික මිල පාලනය පිළිබද බැරෑරුම් සාකච්ඡාවක් ආරම්භ කිරීම යි.
උද්ධමනය පිළිබද ගැටලුව සම්බන්ධයෙන් අද දවසේ ආර්ථික විද්යාඥයින් කඳවුරු දෙකකට බෙදී ඇත. අස්ථායි (Transitory) කඳවුර තර්ක කරනුයේ අප උද්ධමනය පිළිබදව එතරම් වද නොවිය යුතු බව යි; එය ඉක්මනින්ම පහව යනු ඇති බව යි. දීර්ඝ කාලයක් පවතින උද්ධමනය හා ආර්ථිකය එක තැන පල් වීම පිළිබද අදහස් දක්වන (Stagflation) කඳවුර ෆිස්කල් ප්රතිපත්ති පාලනය සහ පොලි අනුපාත ඉහළ නැංවීම අවධාරණය කරනු ලබයි. නමුත් තෙවන විකල්පයක් ද පවති: ඒ අනුව ආර්ථික අවපාතයකට ගමන් කිරීමේ අවදානම ඇති කප්පාදු පිළිවෙත්වලට යොමු වීම වෙනුවට උද්ධමනය ඇති කරනු ලබන සුවිශේෂි මිල ගණන් ඉලක්ක කිරීමට රජයකට හැකියාව පවති.
උපමාවකින් පැහැදිලි කරන්නේ නම් මොහොතකට සිතන්න ඔබගේ නිවස ගින්නකට හසු වී ඇති බව. ඔබ කිසි විටෙක ගින්න අවසානයේ නිවි යනු ඇතැයි සිතා කල් මරමින් නොසිටුනු ඇත. එමෙන්ම ගංවතුරක් වැනි විශාල ජල කඳක් නිවස මත හෙළා නිවස විනාශ කිරීමටද ඔබ නොසිතනු ඇත. දක්ෂතා පරිපූර්ණ ගිනි නිවන බටයෙකු නම් කරනු ඇත්තේ ගිනි ගන්නා කොටස් නිවා දමමින් ගින්න පැතිරීම පාලනය කරමින් නිවස බේරා ගැනීමයි. ඉතිහාසය විසින් අප හට උගන්වන්නේ එවැනි ඉලක්කගත ප්රවේශයක් මිල ගණන් ඉහළ යාම කෙරෙහි ද යොදා ගත හැකි බව යි.
ධවල මන්දිර ආර්ථික උපදේශකයින්ගේ කවුන්සිලය විසින් අද දවසේ උද්ධමනය සදහා වන සුදුසුම ඓතිහාසික සාම්යය ලෙස යෝජනා කරනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති කාලය යි. එදා මෙන්ම අදද ගෘහස්ථ ඉතිරිකිරීම් වලට ස්තූති වන්නට සීමා කරන ලද ඉල්ලුමක් පැවතුණි. යුද්ධය අතරතුර දී නම් එය ආදායම් සහ සලාකකරණය ඉහළ යාමේ ප්රතිඵලයකි; කොවිඩ් 19 අතරතුර දී නම් රජය විසින් ජනතාවට සිය මිල දී ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට, ආර්ථික කටයුතු වේගවත් කිරීමට ලබා දුන් ගෙවීම් (Stimulus checks) සහ ලොක්ඩවුන් කිරීම් වල ප්රතිඵලයකි. එම අවස්ථාවන් දෙකේදිම සැපයුම් දාම වලට බාධාවන් ඇති විය. මෙය ධවල මන්දිර උපදේශකයින් විසින් මෙම අවස්ථාවන් දෙක සමාන්තරව ගමන් ගන්නා ආකාරය පිළිබද ඔවුන්ගේ අර්ථනිරූපණයට සීමා වුවත් ඔවුන් විසින් අපට නොකියන කරුණ වන්නේ යුද්ධයෙන් පසුව ඇති වූ උද්ධමනය විකල්පයක් නොතිබුණු තත්ත්වයක් නොවන බවයි.
දෙවන ලෝක යුධ සමයේ දී රූස්වේල්ට් පරිපාලනය විසින් දැඩි මිල පාලනයන් ක්රියාත්මක කරනු ලැබූ අතර මිල පරිපාලන කාර්යාලයක් ද පිහිටුවනු ලැබීය. පළමු ලෝක යුද්ධයට සාපේක්ෂව මිල ගණන් ඉහළ යාම පහළ මට්ටමක පැවිතුණි, යෙදවුම් ඉහළ දැමීම පරිකලපනය කළ හැකි සීමාවද ඉක්මවූවේ ය. යුද්ධයෙන් පසුව ඇති වූ ප්රශ්නය වන්නේ මිල පාලනයට කුමක් කරන්නේ ද යන්නයි. දකුණු ප්රාන්තවල ඩිමොක්රටික්වරුන්, රිපබ්ලිකන්වරු සහ විශාල ව්යාපාර අවධාරණය කරන අයුරින් මිල පාලනය ක්ෂණිකව අත්හැර දැමිය යුතු ද? නැතිනම් පශ්චාත් යුධ ආර්ථිකයකට සංක්රමණය වීමේදි මිල පාලනයට රැඟිය හැකි භූමිකාවක් පවතින්නේ ද?
20 වෙනි සියවසේ විශිෂ්ටතම ඇමරිකානු ආර්ථික විද්යාඥයින් කිහිප දෙනෙකු විසින් මිල පාලනය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට ලියමින් ඉල්ලීම් කර තිබුණි. පෝල් සැමුවල්සන්, අර්වින් ෆිෂර්, ෆ්රැන්ක් නයිට්, සයිමන් කුෂ්නෙට්ස්, පෝල් ස්වීසි සහ වෙස්ලි මිචෙල් මෙන්ම ඇමරිකානු ආර්ථික විද්යා සංගමයේ හිටපු සභාපතිවරුන් 11 දෙනෙකු ඊට ඇතුලත්ය. මිල පාලනය සම්බන්ධයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ හේතු දැක්වීම අද දවසේ අපගේ තත්ත්වයට ද අදාළ වේ.
ඔවුන් විසින් තර්ක කරනු ලැබුවේ අවහිරතාවයන් (bottlenecks) පවතින තාක් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වනු ඇති බවත් මිල ගණන් ඉහළ යාම වළක්වා ගැනීමට වැදගත් භාණ්ඩ කෙරෙහි මිල පාලනය කිරීම අඛණ්ඩව පවත්වා ගත යුතු බවත් ය. යුධ සමයේ මිල පාලනය සම්බන්ධයෙන් ඉහළතම අදහස් දක්වන්නෙක් වූ ජෝන් කෙනත් ගල්බ්රෙයිත් ද මෙම ඉල්ලීමට එකතු විය. ඔහු පැහැදිලි කරනු ලැබුවේ මිල පාලනයේ භූමිකාව උපායමාර්ගික එකක් වනු ඇති බව යි. ඔහු තවදුරටත් ප්රකාශ කළේ ආර්ථික විද්යාඥයින් විසින් කිසිම විටෙක දි එමගින් උද්ධමනය නතර කර ගත හැකි වනු යැයි නොසිතනු ඇති බව යි. නමුත් එමගින් උද්ධමනය නතර කර ගැනීම සිදු කරන ක්රියාමාර්ග ගැනීම සදහා පදනම සපයමින් කාල වේලාව ලබා දෙනු ඇති බව හෙතෙම අවධාරණය කරන ලදී.
ජනාධිපති ටෘමන් හට මිල පාලනය අවසන් කිරීමේ අවදානම පිළිබද අවබෝධයක් පැවතුණි. 1945 ඔක්තෝබර් 30 වන දින ඔහු අනතුරු අඟවනු ලැබුවේ පළමු ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය විසින් ස්ථාපිත කර තිබු සුලු ප්රමාණයක පාලනයන් පවා සරලව අවසන් කර දැමු බවත් ස්වභාවධර්මයට අනුව තත්ත්වය හැඩගැස්වීමට අවකාශය සැලසු බවත් ය. එහි ප්රතිඵලය අප සැම පාඩමක් ලෙස හදුනාගත යුත බව හෙතෙම පවසන ලදී. වැටුප් සහ ජීවන වියදම මංමුලා වූ ලෙස වේගයෙන් ඉහළ යාම අවසන් වූයේ 1920 කාලය කඩා වට්ටවමිනි. එම කඩා වැටීම ඇමරිකාව පුරා බංකොලොත්භාවය, ව්යාපාර වැසී යාම් සහ විරැකියාව පැතිරවීමට සමත් විය. එතකුදු නොව 1946 දි මිල පාලනය ඉවත් කිරීමත් සමඟ නැවත උද්ධමනය ඇවිස්සී වර්ධනය අඩාල වන චක්රයක් ඇති වීමට පටන් ගැණුනි.
මිල මට්ටම් ඉහළ යවනු ලබන අධික ලෙස ලාභ රැස් කිරීම ඉවසා දරා සිටීම හෝ තෝරාගත් මිල ගණන්වලට කල්පනාකාරීව සහ සැලසුම්සහගතව පාලනයක් යෙදීම අතර වන තෝරා ගැනීම් අතරින් එකක් තේරීමට අවකාශය අද දවසේදී ද උදා වී ඇත. මිල පාලනය විසින් වසංගතය පවතින තාක් කල් පැවතීමට නියමිත අවහිරතාවයන් සමග ගනුදෙනු කිරීමට අපට කාලය සපයා දෙනු ඇත. උපායමාර්ගික මිල පාලනය විසින් ආර්ථික ප්රතිසංස්කරණය, දේශගුණික විපර්යාස සමනය කිරීම සහ කාබන් උදාසීනත්වය ඇති කිරීමේ දිශාවට පොදු ආයෝජන මෙහෙයවීම සදහා අවශ්ය කරන මූල්ය ස්ථායිතාවය ඇති කිරීමට දායක වනු ඇත. උද්ධමනය පහව යන තුරු බලා සිටීමේ පිරිවැය අධික එකකි. කප්පාදු පිළිවෙත් ක්රියාවට නැංවීම ඊටත් වඩා හානිකර ය; එමගින් දීර්ඝ කාලයක් පවතින උද්ධමනය හා ආර්ථිකය එක තැන පල් වීමක් ඇති කරනු ලබයි.
බලා හිදීම හෝ කප්පාදු පිළිවෙත් හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති බව අඟවමින් සිටිනවා වෙනුවට උපායමාර්ගික මිල පාලනය විශාල සාර්ව ආර්ථික අභියෝගයන්ට පුලුල් ප්රතිපත්තිමය ප්රතිචාරයක් දැක්වීමේ මෙවලමක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පද්ධතිගත සැලකිලිමත් සිතා බැලීමක් අපට අවශ්ය වේ.
අනුවාදය – ඉෂාන් චාමර
Comments (0)