වධ කඳවුරු නීත්යානුකූල කරන පුනරුත්ථාපන පනත් කෙටුම්පත

ස්වස්තිකා ආරුලිංගම් සහ පසන් ජයසිංහ විසින් ඉංග්‍රීසි බසින් රචිත Legalising torture centres with the Rehabilitation Bill යන ලිපියේ සිංහල අනුවාදය.

 

ඉදිරි සති කීපය තුළ පාර්ලිමේන්තුව විසින් පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ලෙස හඳුන්වන පනත් කෙටුම්පතක් විවාදයට ගනු ඇත. මෙම පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ “නොමග ගිය සටන්කරුවන්“, “අන්තගාමී හෝ විනාශකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත තැනැත්තන්“ සහ ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. මෙම පනත් කෙටුම්පත වධ කඳවුරු නීත්‍යානුකූල කරන භයානක නීතියකි.  මෙයින් විශාල භීතියක් ඇති කළ හැකි බවට පෙන්නුම් වන අතර, පනත් කෙටුම්පත කියවීම තුළින් වගන්තියෙන් වගන්තියට අනාවරණය වන්නේ මෙය මගින් වධ හිංසාව යටතට වැටෙන පුලුල් වපසරියක් පුරා දිවෙන අයුතු සැලකිම්වලට නෛතික ආරක්ෂාව ලබා දෙන බවයි.

 

වධහිංසාවට ඉඩ ලබා දෙන පුනරුත්ථාපනයෙහි නෛතික සැලැස්ම

 

මෙම පනත් කෙටුම්පත මගින් ඇති කරනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළින් අපේක්ෂා කරනුයේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූ පුද්ගලයන්ද ඇතුලුව හිටපු සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කිරිමට අවශ්‍ය වෙනත් ඕනෑම පුද්ගල කණ්ඩායමක් රඳවා තැබීම සහ පුනරුත්ථාපනය කිරීමයි. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මේ වන විටත් 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත නමින් නීතියක් පවතිද්දි මෙම පුනරුත්ථාපන පනත් කෙටුම්පතට එම පුද්ගලයින්වද ඇතුළත් කිරීම ප්‍රශ්න සහගතය.

‍පුනරුත්ථාපන මධ්‍යස්ථාන කළමණාකරණය කරනු ලබන්නේ පාලක සභාවක් සහ ආරක්ෂක ඇමතිවරයාගේ නිර්දේශය මත පත්වන ප්‍රධාන විධායක නිළධාරියෙකු විසින් මෙහෙයවනු ලබන පුනරුත්ථාපන කාර්යාංශයක් විසිනි (15 වන වගන්තිය).  ආරක්ෂක ඇමතිවරයාට පුනරුත්ථාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙවැනි නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇති නෛතික බලය කෙතරම්ද යන්න තවමත් ප්‍රශ්නසහගතය. එමෙන්ම ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක මෙම කාර්යාංශයේ සහ ‍පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල කාර්යන් සදහා සන්නද්ධ හමුදා කැඳවීමට හැකියාව පවතී (17 වන වගන්තිය).

පනත් කෙටුම්පත විසින් මෙවැනි පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ වධ හිංසාව සදහා නෛතික පදනමක් නිර්මාණය කරනු ලබන්නේ මෙම පදනම මත සිටිමිනි. පුනරුත්ථාපනය යටතේ සිටින යම් තැනැත්තකුට සාධාරණ හේතුවක් නොමැතිව පහර දෙන, තුවාල සිදුකරන, වෙනස්කම් කරන හෝ හිතාමතාම නොසලකා හරින පුනරුත්ථාපන මධ්‍යස්ථාන සේවකයෙකු මෙම පනත යටතේ වරදක් කරයි යනුවෙන් 26 වන වගන්තිය සඳහන් කරයි. මෙමගින් ව්‍යංගව ප්‍රකාශ වන්නේ පැහැදිලිවම සාධාරණ හේතුවක් මත ඉහත සදහන් කළ ආකාරයේ සැලකීම් සිදු කළ හැකි බවයි. ඊට සමානව පනත් කෙටුම්පතෙහි 28 (2) වගන්තිය මගින් රැඳවියන්ව අවනත කර ගැනීම සදහා අවම බලය භාවිතා කිරීමට පුනරුත්ථාපන මධ්‍යස්ථාන සේවකයන් වෙත බලය ලබා දේ. අවසාන වශයෙන් මෙම පනත් කෙටුම්පත මගින් අන්තරාදායක ඖෂධ, මාදක ඖෂධ සහ මනෝ වර්තක අධිකාරි බලයක් සහිතව හදුන්වා දීමට අවකාශය නිර්මාණය කර ඇත. එමෙන්ම 4 (ඈ) වගන්තියට අනුව රැඳවියන්ව බලෙන් වැඩ ගැනීමට යටත් කළ හැකිය.

වධ හිංසාව සහ අපහරණයන් නීත්‍යානුකූල කරන මෙවැනි ප්‍රතිපාදනයන්ට අමතරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් පිටවීම පලා යාමක් ලෙස හඳුන්වන ප්‍රතිපාදනද මෙම පනත් කෙටුම්පත තුළ පවතී. “පලා යන“ රැඳවියන්ව බලහත්කාරයෙන් නැවත මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට ඕනෑම සන්නද්ධ හමුදා සාමජිකයෙකුට සහ පොලිසියට 28 වන වගන්තිය යටතේ බලතල හිමි වේ. මෙමගින් වධ හිංසාවට සහ අපහරණයට ලක්වීමට එරෙහිව ආත්ම ආරක්ෂාව පෑම අපරාධයක් බවට පත් කරයි. ඊට අමතරව පනත් කෙටුම්පත විසින් කාර්යංශයේ සාමාජිකයන්ට සහ සේවකයන්ට රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ප්‍රකාශ අත්සන් කිරීමටද යෝජනා කරයි.  රහස්‍යභාවය පවත්වාගෙන යාමේ වගන්තිය විසින් රැඳවියන් වෙත ලබා දුන් ප්‍රතිකාර පිළිබද තොරතුරු ඇතුළත් වාර්තා සහ රැඳවියන්ගේ අනෙකුත් වාර්තා සම්පූර්ණයෙන්ම රහසිගත තොරතුරු බවට පත් කරන අතර, එවැනි තොරතුරක් හෙළිදරව් කිරීම වරදක් බවටද පත් කර ඇත (25 වන වගන්තිය).

ඒ අනුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන යන්න තේරුම් ගත හැක්කේ ඖෂධවලට ඇබ්බැහි වූවන්, හිටපු සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් වැනි දෝෂාරෝපණයන්ට ලක් වූ අනේකවිද පුද්ගලයන්ව නිශ්චිත නොවන කාල සීමාවකට රඳවා තැබිය හැකි මිලිටරිකරණය වූ කඳවුරු ලෙසයි. රහසිගතව ක්‍රියාත්මක වන සහ රැඳවියන්ට පිටවීමට අවකාශය නොසපයන මෙම කදවුරු තුළ වධහිංසාවන් සහ අවමන් සහගත සැළකීම් ඉතාමත් ආරක්ෂාකාරීව යහමින් සිදු වෙනු ඇත.

 

පුනරුත්ථාපනයේ සැබෑ අරමුණු

 

පුනරුත්ථාපනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතෙහි ඇති ඉබාගාත ප්‍රවේශය මගින් පැහැදිලි වනුයේ රජය විසින් සැබෑ ලෙසම පුනරුත්ථාපනය වන එය අවශ්‍ය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් හෝ සැලකිලිමත් වී නොමැති බවයි. එ් අනුව මෙම පුනරුත්ථාපන පනත් කෙටුම්පත යනු වෙනකක් නොව රජයට එරෙහිව විසම්මුතික අදහස් දරන තැනැත්තන්ව මහ දවාලයේ ඉලක්ක කරන, රඳවා තබන සහ වධහිංසාවට ලක් කරන රජයේ උත්සාහයේ නග්න ප්‍රකාශනයයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වූ අවස්ථාවේ සිට අනීතික අත්අඩංගුවට ගනිමින්, රඳවා තබා ගනිමින්, දහස් ගණන් විරෝධතාකරුවන්ට අඩන්තේට්ටම් කරමින්, රාජ්‍ය බලය යොදා විරෝධතා මර්දනය කරමින් අරගලය පොඩිපට්ටම් කිරීමේ කුරුස යුද්ධයකට උර තබා ඇත. පුනරුත්ථාපන පනත් කෙටුම්පත යනු මෙම මර්දනයේ කුරුස යුද්ධයේදි පොදු ජනයා බුරුතු පිටින් රඳවා තැබීමට නිර්මාණය කර ඇති නවතම  යාන්ත්‍රණයයි.

ශ්‍රී ලංකාවේ වධකඳවුරුවල ඉතිහාසය බොහෝ ඈතට දිව යන්නක්. ඒ සියල්ලක්ම පාහේ එක්කෝ නීතියට පිටින් හෝ නීතියේ අපහැදිලි කලාප තුළ ක්‍රියාත්මක විය. මෙම පනත් කෙටුම්පත යනු එවැනි කෲරතර ක්‍රියාවන් හට නීතියේ සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමට ඉඩකඩ සැලසීමේ නග්න උත්සාහයකි. මෙය සිදු වන්නේ වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය පරම අයිතියක් ලෙස අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා හඳුනාගෙන ඇති තත්ත්වයක්ද තුළය. අතීතයේ බටලන්ද රැඳවුම් මධ්‍යස්ථානය වැනි සමූහ වධ කඳවුරු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශ්වාසදායි සම්බන්දයක් ඇති ජනාධිපතිවරයෙක් යටතේ මෙවැන්නක් සිදු වීම යනු එසේ මෙසේ උත්ප්‍රාසයක්ද නොවේ.

කැබිනට් ඇමතිවරුන් ලෙස සිටින මිනිසුන් විසි දෙනෙකු විසින් ජනතාව රඳවා තැබීමටත් වධහිංසාවට ලක් කිරීමටත් ඉඩ සලසන නීතියක් සම්මත කිරීමට අනුමැතිය ලබා දී ඇත. අපගේ අපරාධ යුක්ති පද්ධතිය මගින් ජනතාව වෙත සලසා දී ඇති ආරක්ෂාව සහ මූලික අයිතිවාසිකම් ඛාදනයට ලක් කරන මෙම භයංකාර පනත් කෙටුම්පතට විරෝධය දැක්වීම දැන් ශ්‍රී ලංකාවේ ජනතාව සතු වේ.

 

පරිවර්තනය – ඉෂාන් චාමර

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *