පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 06) ජිනීවා හිදි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීමත් සමග රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රලාපයන්ගේ දිග පළල පිළිබද උපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලයන් තුළ වෛරල් වීමට පටන් ගැණුනි. මෙය එක්තරා ආකාරයක නව ප්‍රවණතාවයක් ලෙසද හදුනාගත හැකිය. මෙම ප්‍රවණතාවයේ ආරම්භය ලෙස රනිල් වික්‍රමසිංහ විසින් දෙවන එලිසබෙත් රැජිණගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් නම් කිරීමත් මහත් උනන්දුවකින් එකී අවමංගල උත්සවයට සහභාගී වීමත් ගත හැකිය. ඉන් නොනැවති ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය කරා පිටත් වීමේ පුවතද මෙම නව ප්‍රහසන රැල්ලට එක් කළ පිදුරු ගොඩකි. මලගෙවල් වල රැය පහන් කරමින් පාලු මකන්නෙකුගේ සිට ශෝකයට පත් ඥාතීන්ගෙන් අතමාරුවක් ඉල්ලන කරදරකාරයෙක් දක්වා වන වපසරියක දේශපාලන උපහාසයන්ගෙන් එම කාලය පිරි පැවතුණි. මෙම උපහාස රැල්ලේ පරිසමාප්තිය රනිල් වික්‍රමසිංහගේ ජිනිවා පරාජයෙන් සලකුණු විණි යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.
මෙම උපහාසයන්ගෙන් පෙනෙන්නේ පොදු ජන මනස තුළ 2020 මහ මැතිවරණයෙන් මාරාන්තික පරාජයක් ලබා තම පක්ෂයට හිමි වු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණ උග්‍ර වෙමින් පැවති ආර්ථික අර්බුදය හමුවේ දොකොන් ගැට ගැසී සිටි පොහොට්ටු ආණ්ඩුවට කන්ද උඩ දේශනා පවත්වමින් බැසිල් රාජපක්ෂගෙන් IMF ඩ්‍රාෆ්ට් එක ඉල්ලා සිටි; මැයි 9 වනදා මහින්ද රාජපක්ෂව ජනතාව විසින් අගමැති තනතුරින් පලවා හැරීමෙන් පසු සය වෙනි වරටත් අගමැති තනතුරට පත්ව ජුලි 20 වෙනිදා පොහොට්ටුවේ මන්ත්‍රීන් 134 කගේ ඡන්දයෙන් ජනාධිපති තනතුරටද පත් වූ රනිල් වික්‍රමසිංහ සහ ඔක්තෝබර් 06 ජිනීවා සටනින් පැරදුණු රනිල් වික්‍රමසිංහ අතර කණ්ඩනයක් නිර්මාණය වී ඇති බවයි. ලංකාවේ පොදු ජන දේශපාලන මනස තුළ රනිල් වික්‍රමසිංහව වරනැගෙන්නේ ජාත්‍යන්තරය දන්නා ස්මාර්ට් දේශපාලනඥයෙකු ලෙසයි. මෙලෙස උපහාසයන්ගෙන් අර්බුදයට යන්නේ ගිරිවාපත්තුවේ වෙල් යායකින් ලියද්දෙන් ලියද්දට නියර දිගේ අවුදින් වක්කඩින් මුහුණ කට සෝදා කුරහන් සාටකය දා ගත් මහින්ද රාජපක්ෂට පසමිතුරුව නිර්මාණය වු එම අදහස් පද්ධතියයි. උපහාසය කැටි කර ගත් මෙම නව දේශපාලන තත්ත්වය විසින් අප වෙත නවමු කලාපයකට දොරටුවක් විවෘත කරද්දි අප දෑස් ඉදිරිපිට ඇති තවත් කලාපයක් බොද කර හරියි.
මෙලෙස බොද කර හරින කලාපය කුමක්ද? එය අනෙකක් නොව රනිල් වික්‍රමසිංහ විසින් පවතින ගෝලීය දේශාපාලන පර්යාය තුළ ශ්‍රී ලංකාව ස්ථාන ගත කරන්නේ කොතැනද යන ගැටලුවයි. 1990 සෝවියට් සංගමය බිද වැටීමත් සමග ලෝකය තුළ ඒකධ්‍රැවීය බල රටාවක් නිර්මාණය වූ අතර ඇමරිකාව ප්‍රමුඛ ගෝලීය උතුරේ රටවල් එහි ආධිපත්‍ය හොබවන ලදි. 2008 දි ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදයත් සමග මෙම ඒකධ්‍රැවීය ලෝකය දෙදරුම් කෑමටකට ලක් වූ අතර චීනයේ නැගි සිටීම සමග ඇමරිකාව ප්‍රමුඛ ගෝලීය උතුරේ රටවල් ඇති කර ගෙන තිබෙන ආතතිසහගත තත්ත්වය හමුවේ ඒකධ්‍රැවීය ලෝක පර්යාය බරපතල ලෙස විපර්යාසකරණයකට ලක් වෙමින් පවති. එනම් මේ මොහොතේ අප ජීවත් වන ලෝකය යනු අනූව දශකය අවසානයේ මෙන් ඝණිභූත වූ ඒකධ්‍රැවීය බල රටාවක් සහිත එකක් නොව බහුධ්‍රැවීය ලෝක දේශපාලන පර්යායක පැහැදිලි සෙවනැලි පෙනෙන යුග මොහොතකි. රනිල් වික්‍රමසිංහගේ අවමංගල චාරිකාවන් අපට වැදගත් වන්නේ එම නිසාය. එමගින් පැහැදිලිව සංඥා කරනුයේ රනිල් වික්‍රමසිංහ විසින් වත්මන් ගෝලීය බල දේශපාලන තරගය තුළ ශ්‍රී ලංකාව ගෝලීය උතුරට පක්ෂපාතිව චීනයට පසමිතුරු අක්ෂයක ස්ථානගත කරන බවයි. පරිධියේ පවතින තුන්වන ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් ලෙස තවදුරටත් කේන්ද්‍රයේ රටවල් මත පරායත්ත්ව සිටීමෙන් අපට ළගා කර ගත හැකි ආර්ථික ස්වාධීනත්වය කුමක්ද?
ජාත්‍යන්තරය හදුනන IMF වැනි අන්තර්ජාතික සංවිධාන සමග කතා කළ හැකි භාෂාව උගත් ස්මාර්ට් දේශපාලනඥයෙකු යන කඩතුරාවට වහන් වී සිටි රනිල් වික්‍රමසිංහගේ ජිනීවා පරාජයත් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමට අපොහසත් වීම මගිනුත් විවෘත කෙරෙන නව දොරටුව වන්නේ විකල්ප දේශපාලන බලවේගයකට ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසියකි. එනම් ශ්‍රී ලංකාව මේ මොහතේ මුහුණ දෙමින් සිටින ආර්ථික දේශපාලන සහ සමාජ අර්බුදයෙන් ගොඩ ඒම සදහා අවශ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා යනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල සුහච කීකරු ගෝලයෙකු ලෙස සිටිමින් ගෝලීය ධනේෂ්වර පන්තියේ ඕනෑ එපාකම් අකුරට ඉටු කරන රනිල් වික්‍රමසිංහ පන්නයේ සම්බන්ධතා නොවේය යන්නයි.
– ඉෂාන් චාමර
Comments (0)