ශ්‍රී ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලි කිරීමට මහා න්‍යායික පර්යාලෝක අවශ්‍ය නොවේ. 2022 වසරේ මුල සිට ඉන්ධන අර්බුදය, ඩොලර් හිගය, රුපියල අවප්‍රමාණය වීම, විදුලිය කප්පාදුව ආදී දුෂ්කරතා රැසකට මහජනයා මුහුණ දෙමින් සිටිති. මෙම අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක් නොව එකිනෙක ගැට ගැසී ඇති විශාල දේශපාලන, මෙන්ම සමාජීය-සංස්කෘතික අර්බුදයක්ද වේ. එනයින් මෙම අර්බුදය විසින් අපගේ සමාජය දේහය තුළ ජනනය කොට ඇති බහුමානීය සමාජීය ප්‍රතිඵල සම්බන්ධව විමසා බැලීම මෙම ලිපිය මගින් සිදු වේ.
මෙම ආර්ථික අර්බුදය විසින් තනි පුද්ගලයා, මෙන්ම කුටුම්භ සහ ප්‍රජාවන්හි මෙතෙක් පැවතී මුදල්මය සහ මුදල්මය නොවන ඉතුරුම් ඉතා සීඝ්‍රයෙන් ක්ෂය කිරීම සිදු කොට තිබේ. ඊට හේතුව වන්නේ භාණ්ඩ මිළ ඉහළ යාමට සාපේක්ෂව වැටුප් වැඩි නොවීම නිසා, මෙතෙක් හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට සුරක්ෂිත කර තිබු ඉතුරුම් එදිනෙදා පරිභෝජනයට ගැනීමට ජනයාට සිදු විමයි. එය හුදෙක් ආර්ථික සූත්‍රයකින් පමණක් වටහා ගත හැකි යමක් නොවේ. ඕනෑම ජන සමාජයක, පුද්ගලයා මුහුණ දෙන හදිසි සහ පෙර නොවූ විරු අවස්ථා සඳහා විවිධාකාරයේ ඉතුරුම් සුරක්ෂිත කිරීම සිදු වන්නකි. එය මුදල්, ආහාර පාන වෙනත් කුමන හෝ දෙයක් විය හැකිය. එමගින් පුද්ගලයා වෙත “ආරක්‍ෂිත බව පිළිබඳ හැඟීමක්” ජනිත කෙරේ. එහෙත් මෙම අර්බුදය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙතින් තම ඉතුරුම් ක්‍රමානුකුලව ක්ෂය කිරීම හරහා පැහැර ගන්නේ හුදෙක් එම ඉතුරුම් පමණක් නොව අදාළ ඉතුරුම් මගින් ඔවුන් වෙත ළඟා වී තිබු ආරක්‍ෂිත බව පිළිබඳ හැඟීමයි. අනෙක් අතින් හදිසි අවස්ථාවලදී ඉතුරුම් නොමැති වීම නිසාම විවිධාකාරයේ ආර්ථික උගුල් වන ක්ශ්‍රද්‍ර මූල්‍ය ණය වැනි මර උගුල් කෙරෙහි ජනයා ආකර්ෂණය වීම වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත් වේ. එනිසාම මෙම ඉතුරුම් ක්ෂය වීම යනු එකිනෙක ගැට ගැසී ඇති සංකීර්ණ ප්‍රතිඵල ළඟා කළ හැකි දාමයකි.
අනෙක් අතින් මෙතෙක් ඉතා ගෞරවාන්විත ජිවිතයක් ගත කළ මිනිසුන් පවා සිය අසීරු අවස්ථාවල “සොරුන් බවට” පත් කිරීමේ වියහැකියාව මෙම අර්බුදය විසින් ඉහළ නංවා තිබේ. බෙහෙත් ගැනීමට සොරකම් කළ මිනිසුන්, කන්න නැති කම නිසා සොරකම් කළ මිනිසුන් වැනි මිනිසුන් ගැන ප්‍රවෘත්ති යළි යළිත් අප සවනත වැකීම ඉතා වේගයෙන් වැඩි වෙමින් ඇත්තේ මේ නිසාය. එහෙත් මෙම තත්වය අප වෙත ඇති කළ පාලකයින්ගේ ඉතුරුම් හෝ ධනය ක්ෂය වෙමින් යනවා යැයි ඔබ සිතනවද?
මිනිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම යනු හුදෙක් ජීව විද්‍යාත්මක යමක් පමණක් නොවන අතර, තනි පුද්ගල සෞඛ්‍ය සහ පෝෂණය වනාහි ජන සමාජයක යහපැවැත්ම කෙරෙහි සෘජුව ගැටගැසී ඇති යමකි. ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින උද්ධමනය නිසාම අධික මිලකට ආහාර ගැනීමට සාමාන්‍ය ජනතාවට සිදුව තිබේ. සමහර අවස්ථාවල ගණන් සාදා බැලීමේදී මසකට ගෘහයට යන ආහාර පරිභෝජන වියදම සමස්ත ගෘහයෙහි ආදායමට වඩා ඉහළ යාම සිදුවී ඇත. එමගින් අත්‍යවශ්‍ය පෝෂක කොටස් සහිත ආහාර වන කිරි, මස්, මාළු බිත්තර මෙන්ම ගුණාත්මක එළවලු සහ පලතුරු මිලදී ගැනීම ඉතා අසීරු තත්වයකට පත්ව ඇති අතරම, කුසගිනි නිවීමට සරිලන කුමන හෝ යමක් ආහාරයට ගැනීමට සාමාන්‍ය ජනතාවට පෙළබි ඇත. ලංකාවේ සතර දිග්භායේ පර්යේෂණවල නිරත වන අවස්ථාවල ගුරුවරුන්ගෙන් අසන්නට ලැබෙන්නේ උදෑසන ආහාර නොගැනීම නිසා කලාන්තය සෑදෙන ළමුන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බවය. ඊට ඉතා කෙටි කාලින විසඳුමක් ලෙස සමහර පාසල්වල ගුරුවරුන් හෝ ප්‍රදේශවාසින් එකතුව ළමුන්ට කැඳ වර්ග හෝ ආහාර ලබා දීම සිදු කළත් එය අඛණ්ඩව සිදු කරගෙන යා නොහැකි කාර්යයකි.
මෙතෙක් වේල් තුනක් ආහාරය ගත් බොහෝ කුටුම්භ මෙන්ම තනි පුද්ගලයින්ටද ආහාර වේල් ප්‍රමාණය මෙන්ම එක වේලකදී ඔවුන් ආහාරයට එක් කරගන්නා ආහාරවල ගුණාත්මකභාවය පහත හෙලීමට මෙම ආර්ථික අර්බුදය විසින් අනිවාර්ය කොට තිබේ. එමඟින් මන්දපෝෂණය, පෝෂණ ඌණතා බහුල සමාජයක් අප ඉදිරියේ වර්ධනය වෙමින් පවතී. අනෙක් අතින් සෞඛ්‍ය සේවය දිනෙන් දින අර්බුදයට යමින් පවතින අතරම ප්‍රමාණවත් තරම් රෝහල් පහසුකම්, බෙහෙත් සහ වෙනත් අවශ්‍ය උපකරණ නොමැතිකම නිසාම සමාජයක් ලෙස අප “අවධානම්සහගත” තත්වයක් වෙත පැමිණ ඇත. තවද අවශ්‍ය නිසි පෝෂණය නොලැබී යාම නිසාම පුද්ගලයාගේ එදිනෙදා වැඩකටයුතුවලට අවශ්‍ය ජවය හීනවීම නිරායාසයෙන් සිදු වන්නකි. එහි වඩාම අවාසිසහගත තත්වයට මුහුණ දෙන්නෝ හැදෙන වයසේ කුඩා ළමුන්ය.
එසේම මෙම ආර්ථික දේශපාලන අර්බුදය විසින් පෙර නොවූ විරු ආකාරයේ බියක්, අවිනිශ්චිතභාවයක් මෙන්ම දුක්ඛිතභාවයට මහජනයා ඇද දමා තිබේ. ඉදිනෙදා මහ මග, කාර්යාලයේ, පොදු ප්‍රවාහනයේ දැකගත හැක්කේ ඉතා නොසන්සුන්, අනාගතය සම්බන්ධව මෙන්ම හෙට දවස ගෙවීම සම්බන්ධව පවා ඉතා බිය වෙමින් සිටින සාමාන්‍ය ජනයාය. මිනිසුන්ට මේ පාලකයින් කතා කිරීමට ඉතුරු කොට තිබෙන්නේ භාණ්ඩ මිළ ඉහළ යාම, චිදුලි කප්පාදුව, ඉන්ධන හිඟ වීම, හිතවතුන් රට හැර යාම වැනි ඉතා කනගාටුදායක, අවිනිශ්චිත කතාය. සතුට පිළිබඳ හැගීම මිනිසුන් වෙතින් ඉතා ක්‍රමානුකුලව මේ පාලකයින් උදුරාගෙන ඇති අතරම “ව්‍යාජ සතුටෙහි ආකාර” නිර්මාණය කිරීමද ඊට සමගාමීව සිදු වන්නකි. වරක් ක්ෂේත්‍ර පර්යේෂණයකදී මුණගැසුණු “ගොවියෙකු” මේ ව්‍යාජ සතුට සම්බන්ධව අපුරු කතාවක් පැවසිය.
“ඩිසල් රුපියල් 200කින් විතර වැඩි කරලා මාසෙකට විතර පස්සේ රුපියල් 10කින් අඩු කරනවා. අනේ ඉතින් අපේ උන්ට හරි සතුටුයි. ඇයි ඩීසල් අඩු උනානේ”
පෝලිම් යුගය තුළ මේ ව්‍යාජ සතුට ගොඩනැගුනේ පෝලිමේ සිට කෙසේ හෝ තෙල් ගසා ගෙන ඒම ජයග්‍රහණයක් ලෙස නිර්වචනය කිරීමෙනි. මිනිසුන්ගේ එදිනෙදා ජන ජීවිතය ඉතා අසීරුකොට ඒ අසීරුතා මැද එදිනෙදා වැඩ කරගැනීමට හැකිවීම අපගේ සතුට බවට පාලකයින් අපට අභ්‍යන්තරීකරණය කරමින් තිබේ. එහෙත් එය පැහැදිලි වශයෙන් දේශපාලන ව්‍යාපෘතියක කොටසකි. එමගින් මේ අර්බුදය තුළ පවා පාලක පැලැන්තියට සිය සුඛවිහරණය වෙනුවෙන් ජනතා මුදල් කොල්ලකෑමට, ජනයාට නොමැති සුඛෝපබෝගී ජිවිතයක් ගත කිරීමට ඇති හැකියාව සුරක්ෂිත වේ.
මිනිසුන් සිය එදිනෙදා ජීවිතය තුළ මුහුණ දෙන මේ දුක්ඛිතභාවය මානව යහපැවැත්ම කෙරෙහි ඉතා සෘජු වශයෙන් බද්ධ වන අතරම මානසික සෞඛ්‍ය කෙරෙහි එමගින් ඇති කරන්නේ ඉතා අනිසි බලපෑමකි. මෙහි හාස්‍යජනකම කරුණ වන්නේ මානසික සහ ශාරීරික වශයෙන් රෝගී වූ සමාජයක් අප ඉදිරියේ නිර්මාණය කළ පාලකයින් විසින් “අපව බලා ගනීවි, අපගේ සමාජ පර්යාය හොඳින් පාලනය කරාවි” යන විශ්වාසයෙන් ඔවුනගේ නඩත්තුව සඳහා සමාජයක් ලෙස අප රෝගීවී සිටියදීද ඔවුන්ට බදු ගෙවීමයි.
මේ ආර්ථික දේශපාලන අර්බුදය හේතුවෙන් සෘජු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය අර්බුදයට යමින් පවතී. දරුවන් පාසල් එවීමට ප්‍රමාණවත් ආර්ථික පහසුකමක් නොමැති වීම නිසාම ළමුන් අධ්‍යාපනයෙන් සෘජුව බැහැර වීම හෝ වක්‍රාකාරව බැහැර වීම සිදුවෙමින් තිබේ. විශේෂයෙන් දිනකට පාසල් ඒමේ දින ගණන අඩු වීම මෙම වක්‍රාකාරව බැහැර වීමට හොඳ නිදසුනකි. එමගින් අධ්‍යාපනයෙන් ලබාගත යුතු සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීමේ නොහැකියාව ඇති වේ. ඇත්තෙන්ම එමගින් වඩා අවාසිදායක තත්වයට පත්වන්නේ පහළ පාන්තික ජනයා වන නුමුත් ඔවුන් මේ අසමත් රාජ්‍ය නඩත්තුවට ඔවුන් මිලදී ගන්නා සීනි සීයේ, පරිප්පු සීයේ සිට බදු ගෙවා තිබේ. පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වෙනුවට පාසල් නොයන ළමුන් සොයා නිවෙස්වලට යාමට, ළමුන්ට ආහාර දීමට කාලය ශ්‍රමය මෙන්ම මුදල් යෙදවීමට ගුරුවරුන්ට සිදුව තිබේ. රජය හැර අනෙක් සියල්ලෝ මෙම අවනඩුවේ විත්තිකරුවන් මෙන්ම වින්දිතයන්ද යන ද්විත භූමිකාධරයන් ව ඇත.
අනෙක් අතින් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සීග්‍රයෙන් අර්ධ කාලින රැකියාවල නිරතවීමට සිදුව ඇත්තේ පෞද්ගලික නේවාසිකාගාර පහසුකම්, ආහාර ආදී අනෙකුත් සියලු වියදම් දෙමාපියනට පමණක් දරාගත නොහැකි හෙයිනි. එමගින් සිසුන් දේශන සඳහා සහභාගී වීමේ ප්‍රවණතාවය අඩු විය හැකි අතරම අධ්‍යාපනය, අමතර කියවීම් වැනි දේ සඳහා යෙදවිය යුතු කාලය ඔවුන්ගෙන් අහිමි වී යාම සිදුවෙමින් තිබේ. නිදහස් අධ්‍යාපනය විසින් සුරක්ෂිත විය යුතු සමාන ඉගෙනුම් අයිතිය පවා මෙමගින් වක්‍රාකාරව උල්ලංඝනය වන අතරම නිදහස් අධ්‍යාපනයේ සමාන ප්‍රයෝජන ලබා ගැනීමට සමාජයේ පහළ ආර්ථික මට්ටම්වලින් පැමිණෙන සිසුන්ට නොහැකිවීම මේ හරහා ගොඩනැගෙන ඛේදයකි.
තත්වය මෙසේ තිබියදීද අපගේ ජනරජයේ ජනතාවගේ ජනවරමක් නොමැති “පාන්තික සේවක ජනපති” රාජකීය විද්‍යාලයේ සිසුන්ගෙන් අධ්‍යාපනයේ ගැටළු සම්බන්ධව විමසීම අපට ලැබිය හැකි අනාගත විසදුම් ගැන ඉතා පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ මවයි. පාසලට ඇතුළුවන මාර්ගය වැසි දිනවල ජලයෙන් යටවන නිසා පාසල් යාමට නොහැකි ළමුන් සිටින රටක, උදෑසන කන්නට නොමැතිකම නිසා කලාන්තය සෑදෙන ළමුන් සිටින රටක අපගේ ජනපති සිය “පන්තියේ සුරක්ෂිතයාගේ භූමිකාව” පමණක් ඉතා හොඳින් ඉටු කරමින් සිටි.
මේ අර්බුදයට සාර්ථකව මුහුණ දීමට ජනයාට පලාකයින් විසින් නිල හා නොනිල වශයෙන් යොජනා කරන අපුර්ව විසදුම් ගණනාවක් තිබේ. ඉන් කිහිපයක් වන්නේ අරපරිස්සමින් ජිවත් වීම, ගෙවතු වගාව, දරා ගැනීම වැනි දේයි. මෙම අරපිරිමැස්ම සම්බන්ධ යෝජනාව අප ඉතා සියුම්ව හා තියුණුව විසංයෝජනය කළ යුතු යමකි. මේ අරපිරිමැස්ම අපට යෝජනා කරන්නේ කුමක්ද? ඔබ දිනපතා මස් හෝ මාළු ආහාරයට ගත්තානම් අරපිරිමසින පුරවැසියෙකු ලෙස එය ආහාර වේලෙන් කප්පාදු කිරීමට ඔබට සිදුව තිබේ. ඔබ මසකට වරක් චිත්‍රපටයක් බැලුවානම්, පොතක් මිලදී ගත්තානම් අරපිරිමසින පුරවසියෙකු ලෙස ඒ සංස්කෘතික ජීවිතය කප්පාදු කිරීමට ඔබට සිදුව තිබේ. මේ අරපිරිමැස්මෙහි කතිකාව ඔබටද නොදැනෙන ස්වාභාවික යමක් ලෙස, ඔබ පිළිපැදිය යුතු යමක් ලෙස ඔබ වෙත නිරායාසයෙන් යෝජනා කිරීමට මේ පාලකයින් සමත් වී තිබේ. එහෙත් ගුණාත්මක ජිවිතයක් ගත කිරීම සහ අධි පරිභෝජිත ජිවිතයක් ගත කිරීම අන්ත දෙකක පවතින දෙය. ඇත්තෙන්ම සිදුවෙමින් පවතින්නේ පාලකයින්ගේ අසමත්, අදුරදර්ශී පාලනහි අසමත්භාවය වඩා ගැනීමට පුරවැසියන්ගේ ගුණාත්මක ජීවිතය “අරපිරිමැසීම යන කතිකාවෙන්” වසන් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් දියත් වීමය. රටෙහි ආහාර සුරක්ෂිතතාවයට කිසිසේත් සාර්ථක විසදුමක් නොවන ගෙවතු වගාව සම්බන්ධ ඊනියා අනුරාගයක් වර්ධනය කොට එය අපගේ පැරණි සංස්කෘතික වටිනාකම් හා සමපතා කරමින් මේ ආණ්ඩුව ගෙනයන මතවාදීමය දේශපාලන ව්‍යාපෘතිය අහිංසක යමක් නොවේ. මිනිසුන් සිය විවේකි කාලය ගෙවතු වගාව සඳහා යෙදවීම හෝ නිවසෙහි පරිභෝජනයට කැමතිනම් පමණක් ආහාර වගා කිරීම සහ රටෙහි ආහාර අර්බුදයට විසදුම් ලෙස රජයක් ලෙස ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම යනු එකිනෙක සපුරා වෙනස් ක්‍රියාදාමයන් දෙකකි. එහෙත් මේ දෙක එකක් ලෙස අප ඉදිරියෙහි චිත්‍රණය කරන මේ ආණ්ඩුව එමගින් සිය අසමත්භාවය මෙන්ම මේ අර්බුදයෙහි ඔවුන්ගේ දායකත්වය අපගෙන් වසන් කරයි. අර්බුදයට මුහුණ දීම සඳහා තනි පුද්ගලයින් ලෙස, තනි කුටුම්භ ලෙස සුදානම් වීම දිරිමත් කරන මේ පාලකයින් මිනිසුන් දේශපාලනිකව අවදිවීමේ වියහැකියාවද මෙම කතිකා මගින් ඉතා ක්‍රමානුකුලව නිලීන කරයි.
මෙම අර්බුදය කිසිසේත් ආර්ථික අර්බුදයක් පමණක් නොවන අතරම එමඟින් ඇතිකරන බලපෑම ද හුදෙක් ආර්ථිකමය කරුණක් පමණක් නොවේ. එනිසාම මෙම අර්බුදයෙහි ගැඹුර වටහා ගැනීම මෙන්ම එහි නිර්මාපකයින් පැහැදිලිව කියවා ගැනීම අද අප ඉදිරියේ පවතින අභියෝගයකි. එනයින් පුරවැසියන් ලෙස අප මේ ගත කරන දුක්ඛිත ජීවිතය කිසිසේත් “සාමාන්‍ය යමක්” නොවන බවත්, මේ ක්‍රමය අප වෙනස් කළ යුතු බවත් වටහා ගැනීම පවා අද දවසේ අපවෙත තිබෙන වඩාත්ම ප්‍රගතිශීලි දේශපාලන කාර්යවලින් එකකි.
හර්ෂණී වාසනා ප්‍රනාන්දු
Comments (0)