මහාචාර්ය නීලිකා මලවිගේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥවරියක් වන අතර ඇය දශකයකට වැඩි කාලයක් ඩෙංගු රෝගය පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ එය ඇයගේ වැඩකටයුතුවලට බලපාන ආකාරය පිළිබඳව The Nature සමඟ දැක්වූ අදහස්වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.
“ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ සංචිතයක් ශ්‍රී ලංකාව සතුව නොමැති අතර එය සෑම අංශයකටම බලපා තිබෙනවා. පාසල් දින නියමයක් නොමැතිව වසා දමනවා. අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සඳහා සිකුරාදා දින නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. රෝගීන්ට රෝහල් වෙත යාමට නොහැකි අතර වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයටද යා නොහැකි තත්ත්වයන් ඇතිව තිබෙනවා. අපිට අවශ්‍ය අත්යවශ්ය ඖෂධ ඉවරයි, දිනපතා පැය තුනකට වඩා විදුලිය ඇනහිටිනවා.”
“2021 මැයි මාසයේදී රසායනික පොහොර සඳහා රටපුරා තහනමක් පැනවීමට රජය ගත් තීරණය නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය දැඩි ලෙස කප්පාදු වී ප්‍රමාණවත් පරිදි ආහාර නොමැතිව සහල් සහ එළවළු වැනි ප්‍රධාන ආහාරවල මිල ඉහළ නැංවීමට එම තීරණය හේතු වෙලා තියෙනවා. වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයක් වන මාළු ඇල්ලීමට ධීවර බෝට්ටුවලට අවශ්‍ය ඩීසල් හෝ භූමිතෙල් නොමැති වෙලා තියෙනවා. උද්ධමනය 50% ඉක්මවන අතර, බොහෝ මිනිසුන් දිනකට තුන්වේල කන්නට නොහැකි තත්ත්වයකට තල්ලු කරලා තියෙනවා.”
“ගිය අවුරුද්දේ කරන්න තිබ්බ ඒත් අපිට කරන්න නොහැකිවුන දේවල් ගොඩක් ඉතිරිවෙලා තියෙනවා. ඉන්ධන නොමැතිකම නිසා අපගේ රසායනාගාරයේ සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි රෝහලෙන් පර්යේෂණ සඳහා සහභාගිවන්නන් බඳවා ගැනීම සහ සාම්පල එකතු කිරීම මේ වන විට දුෂ්කර වී තිබෙනවා. මා ද ඇතුළුව බොහෝ දෙනෙක් රාජකාරි සඳහා පාපැදියෙන් ගමන් කිරීම ආරම්භ කර ඇතත් 33 °C ට වැඩි උෂ්ණත්වයකදී, 80-90% ආර්ද්‍රතාවය සහිත, දැවෙන හිරු යටතේ, උදේ 8 සිට සවස 4 දක්වා බයිසිකල් පැදීම බියකරු සිහිනයකට සමානයි.”
“විදුලිය විසන්ධි කිරීම සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් අවම වශයෙන් පැය 24 ක් අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු අපගේ Illumina genomic-sequencing යන්ත්‍රය වැනි උපකරණ භාවිත කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ වෙනුවට අපි බැටරි බලය මගින් ක්‍රියාත්මක කළ හැකි Nanopore sequencing යන්ත්‍රය මගින් අධ්‍යයන කටයුතු සිදුකරනවා . නමුත් මේ මාසයේ Covid රෝගීන් සෙමෙන් ඉහළ යාමට පටන් ගෙන ඇති බැවින් දුෂ්කරතා මධ්‍යයේ වුවත් කෙසේ හෝ SARS-CoV-2 සාම්පල කිහිපයක් පරීක්ෂණයට ලක් කිරීමට අප සමත් උනා.”
“මේ වසරේ ඩෙංගු රෝගීන් 41,000 කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු අප සතුව ඇති අතර එය පසුගිය වසරේ මුළු කාලය තුළම අප සතුව තිබූ සංඛ්‍යාව ඉක්මවනවා. විදේශ සංචිත අර්බුදය හේතුවෙන්, අපගේ සමහර ඩෙංගු පරීක්ෂණ සඳහා ප්‍රතික්‍රියාකාරක මිලදී ගත නොහැකි බැවින්, ප්‍රතික්‍රියාකාරක ලබාගන්නා තෙක් එම සාම්පල ශීතාගාරවල තැන්පත් කර තිබෙනවා. නමුත් මාර්තු මාසයේදී අපට පැය 13ක් දක්වා විදුලිය විසන්ධි වූ නිසා අපගේ අධිශීතකරණවල ගබඩා කර තිබූ ඇතැම් සාම්පල පවා අපට අහිමි උනා. flow cytometry වැනි සමහර ක්‍රියා පටිපාටි නැවුම් සාම්පල මත සිදු කළ යුතු අතර, විදුලි කප්පාදුව සහ විශ්වවිද්‍යාලය විවෘතව පවතින සීමා සහිත වේලාවන් මත වැඩ කිරීමට අපට සිදුවෙනවා. ඒක හරිම අභියෝගාත්මකයි. පර්යේෂණ කටයුතුවලට වඩා වැඩි කාලයක් දෝශ නිරාකරණයට වෙන් කිරීමට සිදුව තිබෙනවා.”
“බොහෝ අත්‍යවශ්‍ය රසායනාගාර අයිතමවල මිල ඉහළ ගොස් තිබෙනවා. උදාහරණයක් ලෙස, අප භාවිත කරන cell-culture මාධ්‍යය බෝතලයක් 2021 දී ශ්‍රී ලංකා රුපියල් 4,000 (වර්තමාන පරිවර්තන ගාස්තු අනුව ඇමරිකානු ඩොලර් 11) වූ අතර දැන් එය රුපියල් 36,000 කි. මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේදැයි නිරන්තරයෙන් මම කල්පනා කරමින් ඉන්නවා. චීනයේ නිෂ්පාදකයන්ගෙන් අඩු මිලට මාධ්‍යය ලබා ගත හැකිද යන්න සොයා බලමින් ඉන්නවා. නමුත් ප්‍රතිශක්තිකරණ සෛල ඉතා සංවේදී බැවින් ඒවා එම මාධ්‍යයේ වර්ධනය නොවිය හැකි තත්වයන්ද ඇතිවිය හැකියි.”
“ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල නිසා අපේ කාර්ය මණ්ඩලයත් දැඩි පීඩාවට පත්වෙලා. 2020 දී බිත්තරයක මිල රුපියල් 17 පමණ වුවත් දැන් එය රුපියල් 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සහල්, පරිප්පු සහ පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇතිබෙනවා. මගේ පර්යේෂණ සහායකයින් සහ ආචාර්ය උපාධිධාරීන් ඇත්තටම ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරනවා.”
සටහන – Smriti Mallapaty
සිංහල අනුවාදය – රාජිත පෙරේරා
Comments (0)