විදේශ සමාගම් තුනකට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු බව ඛනිජ තෙල් ඇමති කංචන විජේරත්න පවසා තිබේ. ඒ අනුව මෙම සමාගම් තුනට ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමට, ගබඩා කිරීමට බෙදා හැරීමට සහ විකිණීමට වසර 20ක බලපත්‍රයකට යටත්ව අවස්ථාව හිමි වෙනු ඇත. චීන රජයේ සමාගමක් වන Sinopec, United Petroleum of Australia සහ ඇ.එ. ජනපද සමාගමක් වන RM Parks එම සමාගම් තුනයි. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ 80% ක පමණ හිමිකාරිත්වයක් පවතින්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ය. 20% ක පමණ ඉතිරි කොටස ඉන්දියානු රාජ්‍ය සමාගමක් වන IOC සමාගම සතු වේ. මේ තීරණයත් සමග ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ ඛනිජ තෙල් සංස්ථාවට හිමි ඒකාධිකාරය අහිමිව යනු ඇත. පළමු වටයේ දී ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන ඉන්ධන අලෙවිසැල් 450ක් මෙම සමාගම් තුන වෙත බෙදා දීමට නියමිතය.
මෙම පුවත සමාජ මාධ්‍ය ජාලා තුළ පළ වීමත් සමඟ ඊට ලැබුණු ප්‍රතිචාරයන් මගින් පෙනි යන්නේ කොළඹ සහ අනෙකුත් නාගරික තදාසන්න ප්‍රදේශ වල ජීවත් වෙන යම් මධ්‍යම පාන්තික ජීවිතයක් භුක්ති විඳින සහ කෙදිනක හෝ තමන්ටද මධ්‍යම පාන්තික ජීවන තත්ත්වයක් ළඟා කර ගත හැකි වෙනු ඇතැයි සිහින දකින සමාජ තීරුව මෙම පුවතින් අමන්දානන්දයට පත්ව ඇති බවයි. ඔවුන් ජනාධිපතිවරයාට පොහොට්ටු ආණ්ඩුවට සහ කංචන විජේරත්න ඇමතිවරයා හට සුබ පතමින් පමා වී හෝ ගනු ලැබූ ඔවුන්ගේ මෙම දුරදක්නා තීරණයට ප්‍රශස්ති ලියමින් සිටියි. පසුගිය අවුරුද්දේ ගෝල්ෆේස් කේන්ද්‍ර කරගනිමින් සංවිධානය වූ ජනතා අරගලයේද කැපි පෙනන භූමිකාවක් ඉටු කරනු ලැබූවේ මෙම සමාජ තීරුව විසින් බව අමතක නොකළ යුතුය. කොළඹ අගනගරය සහ සෙසු නාගරික ප්‍රදේශ වල ජනයා ඒක රාශි වෙමින් වීදිවලට බැස සිදු කළ උද්ඝෝෂණයන් වෙත සිය සුඛෝපභෝගී වාහනවල නලා හඬවමින් සහය දැක්වූයේ ඔවුන්ය. ඔවුනට අවශ්‍ය වූයේ කුමන මිලකට හෝ සිය රථයට ඉන්ධන සහ නිවසට අඛණ්ඩ විදුලියයි. ලංකා ඉතිහාසයේ දැවැන්තම ජනතා අරගලය සිදු කළ අවවරප්‍රසාදිත ජනයා විධායක ජනාධිපතිවරයෙකු පන්නා දැමුණු අරගලයකිනුත් පසුව සිදු වූයේ කුමක්දැයි යන්න සිතමින් තක්කු මුක්කු වී සිටින’තර ඔවුන්ගේ ගෘහ්ස්ථ විදුලි බිල පස් ගුණයකින් ඉහළ දමා ඇති අතර, ආහාර ඇතුලු ඉන්ධන මිල පෙර ලෙසම අහස උසට නැඟ ඇත. වීදිවලට බැස උද්ඝෝෂණය කරද්දි නලා හඬවමින් සෙනෙහේ පෑ මධ්‍යම පාන්තික අරගලකරුවන් තමන් එදා විරුද්ධ වූ දූෂිත දේශපාලන සංස්කෘතියේ නියමුවන්ට සහය දක්වමින් රජයෙන් යමක් ලැබෙන තෙක් සිටින දුප්පතාගේ අලසකමත්, කාලකණ්ණිකමත්, රජය ව්‍යාපාර නොකළ යුතුයි යන සිල්පදය කැඩීමෙහි ආදීනවත් පවතින ආර්ථික අර්බුදයේ කේන්ද්‍රයට කෙතරම් සම්බන්ධද යන්න කෙස් පැලෙන ලොමු ඩැහැගැන්වෙන තර්ක ඉදිරිපත් කරමින් සාධනය කිරීමට උත්සහ ගනිමින් සිටියි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ පවතින රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කර එය පුද්ගලික අංශයට විවෘත කර තරඟකාරිත්වයක් ඇති කරමින් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබද කිසිදු අධ්‍යයනයක් හෝ සොයා බැලීමක් සිදු නොකර ‘පුද්ගලීකරණය නම් හොදයි’ යන ආදානග්‍රාහි අදහස මත සිටිමින් ඇතැම් දෙනා අදහස් දක්වන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව මෙහි සැබැ තත්ත්වය කුමක්දැයි පෙන්වා දීම කළ යුත්තකි. (ප්‍රතිවාද අප විසින් පුද්ගලීකරණයේ මිත්‍යාව සම්බන්ධයෙන් කුඩා පොත් පිංචක් විකුණමුද ගොඩයමුද? නමින් සකස් කර ඇති අතර එය මෙම වෙබ් අඩවියෙන් ebook එකක් ලෙස කියවීමටද හැකිය.) ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් පවතින මිත්‍යා අදහස් කිහිපයක් ඇත. මේවා පුද්ගලීකරණයට පක්ෂ පිරිස් නිතර නිතර පුනරුච්චාරණය කරනු ලබයි.
පළමු මිත්‍යාවට දිය හැකි පිළිතුර නම් පසුගිය වසරේ තෙල් හිඟයකට මුහුණ පෑමට සිදු වූයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත කඩා වැටීම නිසා මිස ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව හෝ අකාර්යක්ෂමතාවය නිසා නොවන බවයි. එය එසේ නොවේ යැයි යමෙක් කියන්නේ නම් අප අසන්නේ එක් දෙයකි. ලාබ ලබන IOC සමාගම විසින් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කර අලෙවි කළා ද යන්නයි.
දෙවනි මිත්‍යාව දේවභාෂිතයක් මෙන් අදහන්නන් ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ ස්වභාවය හෝ භාණ්ඩයක් ලෙස ඛනිජ තෙල් වල පවතින සුවිශේෂිත්වය හෝ හදුනා ගෙන නැත. ආණ්ඩුව තීරණය කර ඇති පරිදි තරගකරුවන් කිහිප දෙනෙකුට වෙළෙඳපොළ විවෘත කිරීමෙන් ලංකාවේ පාරිභෝගිකයාට හෝ ආර්ථිකයට අමතර වාසියක් අත් වෙනවද?
වෙළෙඳපොළක තරගකරුවන්ට තරග කරන්න නම් ඔවුන් අතර වෙනස්කම් පැවතිය යුතුයි. භාණ්ඩයේ, භාණ්ඩය ලබා දීමේ ක්‍රියාවලියේ, මිල මට්ටම් වල වෙනස්කම් පැවතුනොත් ඔවුන්ට තරග කළ හැකියි. එහෙම නම් තරගකාරී ආයතන දෙකක් අතර පෙට්‍රල් ඔක්ටේන් 92 කියන භාණ්ඩයේ වෙනස්කම් පැවතිය හැකිද? අඩු මිලට අඩු ගුණාත්මක තත්ත්වයේ ඔක්ටේන් 92 ඉන්ධන සහ වැඩි මිලට වැඩි ගුණත්මක තත්ත්වයේ ඔක්ටේන් 92 ඉන්ධන ලෙස වර්ග දෙකක් තිබිය නොහැකියි. එනම් ඛනිජ තෙල් වෙළෙඳපොළේ පැවතිය හැක්කේ එක් නියමිත ප්‍රමිතියකට ඉන්ධන පමණයි. භාණ්ඩයේ සමජාතීත්වය නිසා තරඟකරුවන්ට තරඟයේ වාසිය ගැනීම සදහා භාණ්ඩයේ ගුණාත්මකභාවය වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කළ නොහැකියි.
මෙවැනි තත්ත්වයක් තුළ තරගකරුවන්ට තරග කරන්න සිදු වන්නේ බෙදාහැරීම හරහා හෝ අධික ප්‍රචාරණය හරහාය. එක් තරගකරුවෙක්ට වඩා තරගයේ වාසිය ගැනීමට නම් අනෙක් තරගකරුට සිදු වෙනවා පුළුල් බෙදා හැරීමේ ජාලයක් පවත්වාගෙන යාමට. ශ්‍රී ලංකාව තුළ දැනටමත් පැතිරුණු බෙදාහැරීමේ ජාලයක් පවතින නිසා මෙයත් සිදු වන්නේ නැත.
තරගය පවත්වාගෙන යා හැකි තවත් ක්‍රමයක් වන්නේ අඩු මිලට භාණ්ඩ අලෙවියයි. නමුත් අප හොදින්ම දන්නා කරුණ නම් ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ අඩු පංගුවක් අත් කරගෙන සිටින IOC සමාගම කිසිදු අවස්ථාවක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීම මගින් සිය වෙළෙඳපොළ පංගුව ප්‍රසාරණය කර ගැනීමට කටයුතු නොකළ බවයි.
එවැනි තත්ත්වයක් තුළ වෙනත් සමාගමක් එවැන්නක් සිදු කරයිද?
මේ අනුව පැහැදිලි වෙන්නේ ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ ප්‍රසාරණය නොවන, වෙළෙඳපොළ තුළ පරිභෝජනය ඉහළ දැමිය නොහැකි, දැනටමත් පුලුල් බෙදාහැරීමේ ජාලයක් පවතින නිසා එම වාසියද ලබා ගත නොහැකි තත්ත්වයක් තුළ තරගකරුවන්ට තම ලාභය උපරිම කර ගැනීමට ඇති එකම විකල්පය වන්නේ අනෙක් තරගකාරි ආයතන මිලදි ගැනීම පමණක් වන බවයි. අවසානයේ දී සිදු වන්නේ රාජ්‍ය ඒකාධිකාරය අවසන් කිරීමට ගොස් පුද්ගලික ඒකාධිකාරයකට පාර කැපීමයි. පුද්ගලික ඒකාධිකාරයක් වෙළෙඳපොළ මෙහෙය වන්නේ ලාභය අරමුණු කරගෙන පමණක් වන නිසා අධික මිල ගණන් වලට භාණ්ඩ මිලදි ගැනීමට අවසානයේදි පාරිභෝගිකයාට සිදු වෙනු ඇත. IOC සහ අලුත් සමාගම් තුනකට ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ විවෘත කිරීමෙන් අවසානයේ සිදු වන්නේ මෙයයි. රජය ක්‍රමයෙන් වෙළෙඳපොළ තුළ සිය පංගුව අත් හැර දමමින් එය විදේශ සමාගම් වලට කුණු කොල්ලයට විකුණා දමනු ඇති අතර විකිණීමේ ක්‍රියාවලියට හවුල් වන දේශපාලනඥයින් සහ රජ්‍ය නිලධාරීන් කොමිස් කුට්ටි ගනන් බෙදා ගනු ඇත.
තුන්වෙනි මිත්‍යාව සම්බන්ධයෙන් කිව හැක්කේ ඛනිජ තෙල් සංස්ථාවේ ඊනියා අලාභයට වගකිව යුත්තේ සේවක වැටුප් හෝ සහනාධාර මිලට තෙල් අලෙවි කිරීම නොවන බවයි. 2019 වසරේ ඛනිජ තෙල් සංස්ථාවේ සමස්ත ආයතන සහ පරිපාලන වියදම රු.බි. 5.9 ක් වෙද්දි ආදායම රු.බි. 613ක් විය. මේ අනුව සමස්ත ආදායමෙන් 0.93% ක ප්‍රමාණයක් පමණයි සේවක වැටුප් සහ අනෙක් පරිපාලන වියදම් වලට යොදවා ඇත්තේ. ඒ අනුව සේවක වැටුප් සංස්ථාවේ පාඩුවට සෘජු බලපෑමක් සිදු නොකරයි. සංස්ථාව සිය ඊනියා අලාභය ලබන්නේ ලංකා රජයේ ආර්ථික කළමනාකරණයේ සහ සංස්ථාවේ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවය නිසාවෙනි. සංස්ථාවේ අලාභයට වැඩිම දායකත්වයක් සපයන්නේ විදේශ විනිමය අනුපාත වෙනස් වීම් නිසා ඇති වන අලාභයයි. කොටින්ම සහනාධාර මිලට තෙල් අලෙවි කළත් සංස්ථාව මෙහෙයුම් පාඩු ලබන්නේ නැත. 2014 සිට 2019 දක්වා විනිමය අනුපාත මත ඇති වූ පාඩුව නැතිනම් සංස්ථාව රු.මි. 58,675 ක ලාභයක් ලබයි.
අප අමතක නොකළ යුතු අනෙක් කරුණ වන්නේ ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට පැමිණෙන මේ සමාගම් කවුද යන්නයි. ඉන්දියානු රජයේ සහ චීන රජයේ සෘජු මැදිහත් වීමක් සහිත සමාගම් දෙකකුත් ඇමරිකානු සමාගමකුත් මේ අනුව වෙළෙඳපොළට පැමිණෙනු ඇත. ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ අත්පත් කර ගැනීම මින් පසු හුදෙක්ම පුද්ගලික සමාගමක ව්‍යාපාර තීරණයන්ගේ වපසරියෙන් ඉවතට ගොස් කලාපීය සහ ගෝලීය බල දේශපාලන වුවමනාවන් මත සිදු වන්නක් වීමට ඇති ඉඩ කඩ අපට බැහැර කළ හැකිද? අවසානයේදි අඩු මිලට ඉන්ධන බලාපොරොත්තු වීම කෙසේ වෙතත් ලෝක බලවතුන්ගේ පොර පිටියක කිසිවක් කරකියාගත නොහැකි බෙලහීන ඉත්තෙකු වීමේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදු වෙනු ඇත.
සටහන – ඉෂාන් චාමර
Comments (1)
👍