අරගලයේ ආරම්භය, මගහැරීම්, මර්දනය, සහ ඉදිරි ගමන

රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව විසින් සැප්තැම්බර් මස 1 වන දා පවත්වන ලද  ‘නොනිමි අරගලයේ ඉදිරිමග’ සම්මන්ත්‍රණයේදී ආචාර්ය දිලීප විතාරණ විසින් සිදු කල අදහස් දැක්වීම.

 

අරගලයේ ආරම්භය – ‘අරගලය පත්තු වුණ හැටි’

 

අරගලයේ ආරම්භය ගෝල්ෆේස් කේන්ද්‍ර වු දෙයක් බවට සරල අදහසක් තිබුණද, එය ඊට වඩා සංකීර්ණ දෙයකි. අරගලයේ අනාගතය පුරෝකථනය කිරීමට නම් අරගලයේ ආරම්භය ඇත්ත වශයෙන්ම සිදු වූයේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. අරගලය ආරම්භ වීමට හේතුව නම් කාරණා 4ක් එක මත එක සමපාත වීමයි. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩල 3ක් පලවා හැරිමට තරම් ප්‍රබල දැවැන්ත රැල්ලක් ලෙස අරගලය පැන නැගුනේ කාරණ හතරක් එක විට සිදු වූ විටයි. 

 

  1. දූෂණය ගැන කතිකාව.

 

සමාජය තුළ දැනටමත් එක් එක් මට්ටමින් ගොඩ නැගී තිබුණු දූෂණය ගැන කතිකාව අරගලයේ ආරම්භයට හේතු වූ මුල්ම කාරණයකි. මහින්ද රාජපක්ෂ යුගයේ දූෂණ සිද්ධි, යහපාලන යුගයේ දූෂණ සිද්ධි, ගෝඨාභය සමයේ සිදු වූ දූෂණ වංචා ආදිය ගැන කතිකාවක් සමාජය තුළ ඒ වන විටත් තිබුණි. එම සිද්ධි පදනම් කරගෙන ලංකාව කෙතරම් දූෂිතද යන්න ගැන කතිකාවක් ඇතිවෙමින් තිබුණි. මේ සාකච්ඡාව ගෙන යාමට මැදිහත් වූ කණ්ඩායම් ගණනාවකි. මහින්ද රාජපක්ෂ යුගයේ දූෂණ සිද්ධි විපක්ෂයේ සියලු කණ්ඩායම් විසින් ඉස්මතු කොට සමාජගත කරන ලදී. එම සමයේදී එජාප සහ වාමාංශික පක්ෂ මැදිහත් වී එම කතිකාව ගොඩ නගන ලදී. යහපාලන සමයේ දූෂණ සිද්ධි සම්බන්ධව එලෙසම කතිකාවක් ශ්‍රී ලංකා, පොහොට්ටු, සහ වාමාංශික පක්ෂ විසින් මැදිහත් වී ගොඩ නගන ලදී. මෙයම ගෝඨාභය සමයේදී ද සිදු විය. මේ කතිකාවන්  ‘සිද්ධි’ පදනම් කරගෙන දූෂණය සම්බන්ධව සෑදුනු අදහස්ය. මීට අමතරව දූෂණය සම්බන්ධව ‘පොදු’ කතිකාවක්ද පහුගිය කාලය තුළ ඇති වුණි. ඒ පොදු කතිකාව තුළ ලංකාවේ ප්‍රධාන දේශපාලන සංස්කෘතියම අන්ත දූෂිත බව කියැවුනි. එය සිද්ධිවලට සීමා නොවූ පොදුවේ බිහි වුනු විශාල කතිකාවකි. 74 ඉලක්කම කරළියට එන්නේ එම කතිකාව සමඟයි. නිදහසෙන් පසු ලංකාව පාලනය කරපු ප්‍රධාන දේශපාලන බලවේග දෙක සම සමව මැදිහත් වී අන්ත දූෂිත දේශපාලන සංස්කෘතියක් සාදන ලදී.

 

ඒ සංස්කෘතියේ ලක්ෂණ කීපයකි. එකක් නම්, මෙම කණ්ඩායම් විශාල පොරොන්දු ලබා දී බලය ඉල්ලා බලයට පත් වූ පසු ඒ සියල්ල උල්ලංඝනය කරයි. තවත් ලක්ෂණයක් නම්, ඒ ආණ්ඩු පවතින්නේ තමන් වටේ සාදා ගත් කුඩා කොල්ල කල්ලියක්, එනම් දූෂිත කළු ව්‍යාපාරිකයින් සහ මැරවරයන් කණ්ඩායමක් මැදිහත් කරගෙන වීමයි. කැබිනට් මණ්ඩල ආදිය තිබුණද බලය ඇත්තේ එම කල්ලියටයි. මේ දූෂිත සංස්කෘතිය පවත්වා ගන්නේ ඔවුන් ය. මෙහිම තව කොටසක් වන්නේ මේ සියලු ආණ්ඩු විසින් ජනතාව  රවටන සංවර්ධන සිහිනය. අවුරුදු 74 ක කාලයක් තිස්සේ කළ සංවර්ධනයෙන් අවසානයේදී ඇත්තටම සිදු වූයේ රට බංකොලොත් රාජ්‍යක් බවට පත් වීමයි. සංවර්ධනය නාමයෙන් සිදු වූ ප්‍රධානම දේ වන්නේ දූෂණයයි. සංවර්ධනය කිරීමට වැඩ තෝරා ගැනීම සිදු වන්නේම කොපමණ කොමිස් ලැබෙනවාද යන්න මතයි. ඒ ව්‍යාපෘති සිදු වන්නේ සංවර්ධන දැක්මක් මත නොව කොමිස් මතයි. මෙලෙස කොල්ල කාපු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් එම දූෂිත කල්ලිය විසින් රටින් එළියට ඇද, පුද්ගලික දේපොළ ගැනීම, බැංකු ගිණුම් වල දැමීම ආදිය ලෙස නොයෙක් තැන් වල ආයෝජනය කර ඇත. මේවා සමාජගත වීමත් සමග සිද්ධි මත පදනම් වූ කතිකාව මෙන්ම පොදුවේ ලංකාවේ දේශපාලන සංස්කෘතියේ අන්ත දූෂිත බව ගැන කතිකාව ද සමාජයේ ගොඩ නැගී තිබුණි. අරගලයේ ආරම්භයට හේතු වුණු  ඉතුරු කොන්දේසි තුන පැමිණෙන විට මෙය දැනටමත් සමාජය තුල හොඳින් ස්ථානගත වී තිබුණි.

 

  1. ‘ගෝඨා ෆේල්’ කතිකාව

 

ගෝඨාභය 2019 වසරේ බලයට එන්නේ ‘වැඩකාරයෙක්’ ලෙසටය. දේශපාලනයට සමබන්ධයක් නැති වෘත්තිකයෙක් ලෙසටයි. නමුත් වසර දෙකක් ඇතුළත ඔහුව ලේබල් වුනේ අසාර්ථක පාලකයෙක් ලෙසටයි. ‘ගෝඨා ෆේල්’ ලේබල් එක පැමිණියේ එය තුළයි. එයට හේතු වූයේ ගෝඨාභයගේම මැදිහත්වීමෙන් සෑදුන අර්බුද කීපයකි. මුලින්ම දැවැන්ත පරිසර විනාශයක් ගැන ප්‍රශ්නයක් පැන නැගුණු අතර කැලෑ කැපීම, ඉඩම් කොල්ලකෑම් ආදිය පිළිබඳ විශාල අර්බුදයක් හට ගැනුණි. පරිසරවාදීන් මැදිහත් වී ඒ වෙනුවෙන් විශාල අරගලයක් දියත් කෙරුණි. ඒ තුළ ගෝඨාභය පාලනය වැඩ කරන්නේ ඔහු ලබා දුන් හරිත රටක් ගොඩ නැගීමේ පොරොන්දු ප්‍රතිපත්ති වලට පටහැනිව බව සමාජගත විය. අනෙක් විශාලතම අර්බුදය නම් එක රැයින් කාබනික ගොවිතැනට මාරු වීමට යෑමයි. මෙහිදී ලංකාවේ තවත් විශාල ජන පදාසයක් අරගලයට අද දැමුණි. ගොවීන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත අරගල, උද්ඝෝෂණ ව්‍යාපාර බිහි වුණි. මෙය ‘ගෝටා ෆේල්’ ව්‍යාපෘතියේ එක මුල්ගලක්. ගුරු අරගලය පැමිණියේ ඉන් පසුයි. එයද මාස ගණනාවක් ඇදුනි. එය තුළත් ආණ්ඩුවට විරුද්ධව විශාල සමාජ කතිකාවක් ගොඩ නැගුනි. තවද, ගෝඨාභයගේ ව්‍යාපාරික කල්ලිය විසින් කොරෝනා කටයුතු මෙහෙයවීම පිළිබඳවත් විශාල විවේචනයක් ඇති වුණි.

 

මේ සියල්ලම ‘ගෝඨා ෆේල්’ අදහස සමාජගත කරන්නට හේතු විය.ඉහත කී දූෂණය පිළිබඳ කතිකාව එක් පසෙකින් තිබියදී ‘ගෝඨා ෆේල්’  කතිකාව අනෙක් පසින් ගොඩ නැගුණි. එම ගෝඨා ෆේල් කතිකාව සෑදුනේ නැතිනම් දූෂණය පිළිබඳ කතිකාවෙන් ගැලවෙන්න ගෝඨාභයට යම් ඉඩක් තිබුණි.

 

  1. ඩොලර් අර්බුදය

 

අරගලය බිහි වීමට ප්‍රධානම කාර්යය කළේ ඩොලර් අර්බුදයයි. එය කාලයක් තිස්සේ පැවතුණු අර්බුදයක් වුවද, මෑතකදී එය එහි උච්චතම තැනකට පැමිණුනි. එය තුළ ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ඇති විය. ජීවන වියදම ඉහළ ගියේය. මෙය අරගලයේ ද්‍රව්‍යාත්මක පදනමයි. කලින් කී කාරණා අරගලය පත්තු වීමට හේතු වූ කතිකාමය දායකත්වයන් නම් ඩොලර් අර්බුදය යනු එහි ද්‍රව්‍යාත්මක දායකත්වයයි. ඩොලර් නැති වී සමාජයම බිඳ වැටීම තුළ අතිශය විශාල ජනතාවක් පන්ති බේදයකින් තොරව නැගී සිටියහ.

 

  1. ගෝල්ෆේස් කැඳවීම.

 

ගෝල්ෆේස් යනු අරගලයේ සංඛේතාත්මක කේන්ද්‍රයයි. ෆේස්බුක් සංවාද කරමින් සිටියා ඇති බවටත් අප දැන් පාරට බැසිය යුතු බවටත් ෆේස්බුක් හරහා කැඳවීමක් සිදු වූයේ අප්‍රේල් නමය ගෝල්ෆේස් භූමියට රැස් වීමටයි. අහඹු ලෙස සිදු වුනු, විසිරුණු අසංවිධානාත්මක ස්වභාවයක් ගත් කැඳවීමක් වුවද එය සාර්ථක විය. අප්‍රේල් 9 පටන් ගෝල්ෆේස් භූමිය සටන් බිම බවට පත් විය.

 

ඉහත කී කොන්දේසි හතරම එක විට මුණ ගැසුණු  මොහොතේ අරගලය පත්තු විය. දූෂණය කතිකාව නැතිව අනෙක් කොන්දේසි තුන පමණක් තිබුණි නම්, එය එසේ නොවී ගෝඨාභය ඇතුළු ආණ්ඩුවට ගැලවෙන්නට ඉඩක් තිබුණි. අරගලයේ සටන් පාඨ සලකා බලන විටද මෙය සිතා ගැනීමට හැක. ‘ගෝටා හොරා’, ‘මයිනා හොරා’, ‘බැසිල් හොරා’ යනු අරගලයේ ඉහලින්ම තිබුණු සටන් පාඨයි. ‘අයියා සුනාමි මල්ලි කොරෝනා’ තවත් ජනප්‍රිය සටන් පාඨයකි. ඒවා සියල්ල දූෂණය හා සම්බන්ධ සටන් පාඨ වේ. ඒ මොහොත තුළ පැමිණි ද්‍රව්‍යාත්මක තත්වයන් සමග පැමිණි අර්බුදය, හොරකම හා දූෂණය සමග නොවලහා සම්බන්ධ කිරීමට ජනතාවට හැකි විය. එය කිරීමට ඔවුන්ට හැකි වුයේ ඒ කතිකාව දැනටමත් ගොඩ නැගී තිබුණු නිසායි. විශේෂයෙන්ම  74 වසරකම දේශපාලන සංස්කෘතිය දූෂිතයි යන කතිකාව සෑදීමට වාමාංශික ව්‍යාපාර ලොකු මැදිහත්වීමක් සිදු කළේය. ඇත්තෙන්ම එම කතිකාව ගොඩ නැගුවේ වාමාංශික ව්‍යාපාරයි. එක් එක් සිද්ධි සම්බන්ධව ප්‍රධාන විපක්ෂය කතා කළද පොදු දේශපාලන සංස්කෘතියේ දූෂිත බවට කතිකාව ගොඩ නැගුවේ වාමාංශික ව්‍යාපාරයි. හොරු පන්නමු, හිරේ දාමු, හොරා කාපු ධනය නැවත ලබා ගනිමු ලෙස තවත් සටන් පාඨ බිහි වූයේ ඒ අනුවයි. ගෝල්ෆේස් තුල ඇසෙන්නට ලැබුනේ මේ සටන් පාඨයි. එයින් කියවෙන්නේ පවත්නා අර්බුදය මේ දූෂිත පාලන ක්‍රමයත් එක්ක ඍජුව සම්බන්ධ කිරීමට ජනතාවට හැකියාව ලැබී තිබූ බවයි.

 

අරගලයේ ආරම්භය එයයි. ‘අරගලය’ කියූ පමණින් එය ගෝල්ෆේස් එකට ලඝු කිරීමේ ජනප්‍රිය අදහසක් තිබුණද එය නිවැරදි නොවේ. ගෝල්ෆේස් යනු අරගලයේ සංඛේතාත්මක කේන්ද්‍රයයි. නමුත් අරගලය ‘පත්තු වෙන්නේ’ ඉහත කාරණා සතර එක මත එක පතිත වූ මොහොතකයි.

 

 

මගහැරීම් – ‘දෙවන වටයක දී සිදු නොවිය යුතු දේ’

 

අරගලය නියෝජනය කරන කණ්ඩායම් වලින් මේ දින වල ඇසෙන දෙයක් නම් අරගලයේ මුල් වටය අවසන් බවත් අප දෙවන වටයකට යා යුතු බවත්ය. එසේ නම්, අරගලයේ මුල් වටයේ දී සිදු වුනේ කුමක්ද, එය අවසානයේ යම් කඩා වැටීමක් සිදු වූයේ ඇයිද යන්න සොයා බැලීම වැදගත් වේ. දැන් ගෝල්ෆේස් එක නැත. අරගලය ද මර්දනය නිසා පසු බැස ඇත. මෙතරම් සාර්ථක අරගලයක්, ජනාධිපතිවරයෙක්, ඔහුගේ සහෝදරයා සහ ප්‍රබලම දේශපාලකයෙක් වන අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩල 3ක් ඡන්ද වලින් නොව මහජන බලයෙන් ගෙදර යැවිය හැකි වූ අරගලයක් මෙතෙන්ට ආවේ ඇයිද යන්න ගැන විමසීමේ දී  කාරණා දෙකක් ගැන සිතිය හැක. ශ්‍රී ලංකාවේ මේ අරගලය ලෝක ඉතිහාසයේ අරගල සම්බන්ධයෙන් විශිෂ්ටම උදාහරණයක්. අතිශය අවම හිංසනයක් ඇතුව මෙතරම් දැවැන්ත විප්ලවයක් කිරීමට හැකි වූ  අරගල ලෝකයේ බොහොමයක් තිබුණා විය නොහැක. එයට එම ගෞරවය ලැබිය යුතුය. එම නිසා ඒවා අපට වැරදුණු තැන් ලෙස නොව අපට මගහැරුණු තැන් ලෙස සලකා ඒවා ගැන සිතා බැලිය යුතුය.

 

 

  1. අරගලයේ මුල අදියර නිසි ලෙස සංකල්පනය කර නොගැනීම.

 

අරගලය යන දිශාව සහ එහි අවසාන ඉලක්කය ගැන අප නිශ්චිත අදහසක් ඇති කර ගත්තේ නැත. එය අවසන් වෙන්නේ කොතනින්ද යන්න සිතුවේ නැත. අරගලය ගැන පැහැදිලි සංකල්පයක් නිර්මාණය කිරීම කළ යුතුව තිබුණු වැඩකි. අරගලයේ තිබුණු ජනප්‍රියම ඉලක්කය වුනේ ගෝඨා පැන්නීමයි. ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය සහ ගෝටාගෝගම බිහිවුනේ ගෝඨා පැන්නීමේ සංඛේතයක් ලෙසටය. ගෝල්ෆේස්හි දී  රු.100 ට ‘ගෝටා ගෝ හෝම්’ හෙඩ් බෑන්ඩ්  පවා මිලට ගැනීමට තිබුණි. ජනප්‍රිය ඉලක්කය වූයේ මෙයයි. නමුත් මේ තුළ තවත් ඉලක්ක ගැබ්ව තිබුණි. රාජපක්ෂවරු පැන්නීම සහ ආණ්ඩුව පැන්නීම තවත් එවැනි ඉලක්ක වේ. තවද 74 අවුරුද්දක සාපය අවසන් කිරීමක් ගැන ඉස්මතු විය. එය ගෝඨා හෝ රාජපක්ෂවරු හෝ ආණ්ඩුව පැන්නීමට වඩා පුළුල් එකකි. ‘74 අවුරුද්ද’ කතිකාව තුල තිබුණේ මේ පොදු දූෂිත දේශපාලන සංස්කෘතියම අවසන් කිරීමක් ගැනයි. එනමුත් අරගලය විසින් උඩටම ඔසවා තැබුවේ ගෝටා පැන්නීමේ ඉලක්කයයි. අවසානයේදී අප සම්පූර්ණ බර යොදා ගෝටා පැන්නීමේ උච්චතම අවස්ථාවට පැමිණ අවසන් වූ විගස අප ඊළඟට කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් පැන්නීම, රනිල්ගෙන් පසු දිනේෂ් පැන්නීම, ඔහුගෙන් පසු තව එකෙක් පැන්නීම ලෙස  පැන්නීමේ වැලක් බිහිවීමේ ඉඩක් ඇති විය. වැලක් විදිහට එක එකා පැන්නීම වෙනුවට එහි මූලය ම අහෝසි කරන්නේ කෙසේද යන්න ගැන අප සිතුවේ නැත. ආණ්ඩුව අවසන් කිරීම වැනි දෙයක් අපේ ඉලක්කය වීමට තිබුණි. එය කරන ක්‍රමය නම් පාර්ලමේන්තුව විසුරුවා හැරීමයි. අප බල කර යුතුව තිබුනේ එයටයි. නමුත් එම ඉලක්කය අරගලයට ආදේශ වූයේ නැත. අරගලයේ මුල අදියරේ සිදු වුණේ ඉලක්ක තේරීම පිළිබඳ ප්‍රශ්නයකි. ගෝටා පන්නීමෙන් පසුවයි අපි ඊළඟ ඉලක්කය ගැන සිතුවේ. සාර්ථකව මුල් ඉලක්කය සපුරා ගත් පසු අරගලය යම් තරමකට විතැන් වීමක් සිදු වූයේ ඒ නිසයි.

 

  1. විවෘත අරගලයක් නොවීම.

 

අරගලයේ මුල් අදියර සියලු දෙනාටම සම්බන්ධ විය හැකි අරගලයක් විය යුතුව තිබුණි. නමුත් යම් කණ්ඩායම් බැහැර කිරීමක් සිදු වීම මුල් අදියරේ සිදු වුනු එක් අඩුපාඩුවකි.

එය විශේෂයෙන් ආවේ නිර්පාක්ෂික කණ්ඩායමෙන්. දේශපාලන කණ්ඩායම් සම්බන්ධයෙන් ඇලජි ගතියක් පෙනෙන්නට තිබුණි. නමුත් දූෂිත දේශපාලන සිස්ටම් එක වෙනස් කරනවා යනු අතිශය දේශපාලනික ව්‍යාපෘතියකි. සියලු දේශපාලන කණ්ඩායම් බැහැර කර දේශපාලනික ව්‍යාපෘතියක් කළ හැකිද? අරගලයේ මුල් අදියරේ ‘225ම එපා’ සටන් පාඨය ආවේ එතැනින්.

 

ඉහත කී කරුණු 2 අරගලයේ මුල් වටයේ සිදු වූ, දෙවන වටයක දී සිදු නොවිය යුතු මගහැරීම් වේ. 

 

මර්දනය – ‘ජනතා මතය පරම මතයයි’

 

මේ වන විට අරගලකරුවන් ඉලක්ක කරමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක වෙමින් පවතී. නමුත් මේ මර්දනය කරන්නට මේ ආණ්ඩුවට හෝ රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැත. එක් හේතුවක් නම් රනිල් යනු කිසිදු දේශපාලන සුජාතභාවයක් ඇතුව ජනාධිපති බවට පත් වූ අයෙක් නොවේ. ඔහු අහම්බෙන් පිනට කඩා වදින අයෙකි. එයට පසුබිම සෑදුවේ ද මේ වනවිට පොළොවේ දේශපාලන අදහසට කොහෙත්ම නොගැළපෙන පාර්ලිමේන්තුවකිනි. පාර්ලිමේන්තුවේ සංයුතිය පොළොවේ ජනමතයේ ප්‍රතිබිම්භයක් විය යුතුයි. නමුත් එය තවමත් අතිශය විශාල පොහොට්ටුවකි. පොළොවේ පොහොට්ටු දේශපාලන ව්‍යාපෘතිය මේ වන විට සෑහෙන කඩා වැටීමකට ලක් වී ඇත. ඔවුනට මේ මර්දනය කර ගෙන යාමට කිසිදු අයිතියක් නැත. ඔවුන් ජනමතය නියෝජනය කරන්නේ නැත. ඔවුන් මේ මර්දනය ක්‍රියාත්මක කරනුයේ බලහත්කාරයෙන් බලයේ රැඳී සිටිමිනි. 

 

අනෙක් කාරණය නම්, අරගලය යනු ජනතා නැගිටීමකි. ජුලි නමය යනු මිලියන ගණනක් ජනතාව සහභාගී වූ මොහොතකි. ලෝකයේ එවැනි ජනතා නැගිටීම් සිදු වන අතර, එම ජනතා නැගිටීම් පරීක්ෂා කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. ජනතා පරමාධිපත්‍යය යනු එයයි. අවසාන විග්‍රහයේදී මූලික වන්නේ ජනතාව පමණයි. ජනතා මතය පරම මතයයි. ජනතා නැගිටීමක් වූ මොහොතක් පරීක්ෂා කරන්න කිසිවෙකුට අයිතියක් නැත. එය ලෝක ඉතිහාසයේද එසේය. ලෝක ඉතිහාසයේ මෙවන් ජනතා නැගිටීම් සිදු වූ කාල වකවානු ගලවා පසෙකින් තැබීමක් සිදු කරනු ලැබේ. එයට ඇඟිලි ගැසීමක්, අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමක් සිදු වන්නේ නැත. CIDය හෝ පොලිසිය එවන්නේ නැත. එය ජනතා පරමාධිපත්‍යය බලාත්මක වන එක මොහොතකි. එවැනි මොහොතක් පරීක්ෂා කරන්නට ඒ ජනතා නැගිටීමේ ඉලක්කය වුනු පිරිසට කොහෙත්ම අයිතියක් නැත.

 

ඉදිරි ගමන – ‘මුල් අදියර සුළි සුළඟක් නම් දෙවන අදියර සුනාමියක් විය හැක’

 

අරගලයේ මුල් අදියර අවසානයි. ඉදිරිය කෙසේ විය යුතුද? අරගලය ඕනෑම මොහොතක නැවත පත්තු වීමට ඉඩක් ඇත. මේ සඳහා ඉහත දැක්වූ අරගලයේ ආරම්භයට හේතු වූ කොන්දේසි සතර නැවතත් එක මත එක පතිත විය යුතුයි. මුල් අදියරට ආරම්භයක් දීමට විශාල කාර්යභාරයක් ඉටු කළ දූෂණය පිළිබඳ ප්‍රශ්නය සහ ඒ කතිකාව තවමත් වලංගු වේ. නමුත් දැන් චරිත මාරු වී ඇත. දැන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් ගේ දූෂණ පිලිබඳ කතිකාවද මහ බැංකු කොල්ලය හෙළි වීමත් සමඟ දැනටමත් සමාජගත වී ඇත. එපමණක් නොව රනිල් මේ වන විට පොහොට්ටුවේ ප්‍රාණ ඇපකාරයෙකි. ඔහුගේ පැවැත්ම තීරණය වන්නේ පොහොට්ටුව සහ රාජපක්ෂ පවුල තෘප්තිමත් කිරීම මතයි. පොහොට්ටුවේ සහ රාජපක්ෂලාගේ දූෂණයත් තවමත් හොඳින්ම වලංගු සමාජ කතිකාවකි. එසේ නම් අරගලය යළි ආරම්භ වීමට අවශ්‍ය එක් සාධකයක් දැනටමත් පවතී.

 

අනෙක ගෝල්ෆේස් සාධකයයි. දැන් ගෝල්ෆේස් නැත. එනමුදු ගෝල්ෆේස් දැන් සංඛේතාත්මකව සමාජයේ මුල් බැස අවසන් ය. ගෝල්ෆේස් සටන් බිම් දැන් භෞතික වශයෙන් පවතින්නේ නැති වුවද, එය සංඛේතාත්මකව සමාජය තුල පවතී. අරගලය යන වචනය දැන් සමාජයේ මුල් බැස අවසන්.

 

ඒ අතර දැන් අනාගත ජනතා නැගිටීමක් දිරිගැන්විය හැකි අලුත් සාධකයක් ද බිහි වී ඇත. එය නම් රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මර්දනයයි. මේ මර්දනයට එරෙහිව තවමත් එළියට පුපුරා නොගිය විරෝධයක් සමාජය තුල ගොඩ නැගී ඇත.

 

අරගලය නැවත පත්තු වෙන්න සම්පූර්ණ වීමට ඇත්තේ තව එක සාධකයයි. එය නම් ඩොලර් අර්බුදය විසින් ඇති කළ පෝලිම් සහ පැවැත්ම පිළිබඳ දුෂ්කරතායි. එය යම් පමණකට සමනය වී ඇති බවක කෙනෙකුට සිතෙන්නට හැකි වූවත්, තවමත් ඉන්ධන සහ ගෑස් ආනයනයට මුදල් සොයා ගැනීම මාසෙන් මාසෙට ගැටගහගන්නා වැඩකි. IMF විසින් ණය ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි ගත් කළ ඒ මැදිහත් වීමද ගැටළු සහගතය. එනම් අරගලයේ මුල් වටයට ද්‍රව්‍යාත්මක පදනම සැපයූ සාධක නැවත කරළියට පැමිණීමට ඉඩ ඇත. මේ සාධකයද සම්පූර්ණ වීමත් සමග යළි ජනතා නැගිටීමක් ඇති විය හැක.

 

අරගලයේ දෙවන අදියරේ ඉදිරිය තීරණය කිරීම සඳහා අපට ප්‍රධාන කාර්යයන් දෙකක් ඇත. දැනට ජනතාව නිරුත්සාහයෙන් පාරට නොඑන නිසා මෙම කාර්යයන්වල ප්‍රධානම වගකීම වැටෙන්නේ සංවිධානාත්මක බලවේග වලටයි.

 

මුල් කාර්යය නම් අරගලය නිවැරදිව දිශාගත කිරීමයි. එනම් එය නිවැරදිව ඉලක්කගත කර ගැනීමයි. තවදුරටත් තනි තනි පුද්ගලයන් ඉලක්කගත කර ගැනීමේ උගුලෙන් අප ගැලවිය යුතුයි. රටේ ජන මතයට කිසිසේත්ම නොගැලපෙන මේ ආණ්ඩුව පලවා හරිය යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. නමුත් ආණ්ඩුව මෙය සිදු නොකරන නිසා පාරේ සටනකින් අපට එය දිනා ගැනීමට සිදු වේ. එම පාරේ සටන සමග අපට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡාවකට යා හැක. මේ සඳහා විවිධ ක්‍රම ඇත. පාර්ලිමේන්තුවේ බලතල පළාත් සභා, ප්‍රාදේශීය සභා, සිට ගම්සභා දක්වා යටට අදින විදි ගැන අප සිතිය යුතුයි. ඒ අතර පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට මහජනයාට මැදිහත් විය හැකි විදි ගැනත් අපට සිතිය හැකියි. එයට එක් ක්‍රමවේදයක් නොව ක්‍රම ගණනාවක් තිබිය හැක.

 

දෙවන කාර්යය නම් දැනට ක්‍රියාත්මක මර්දනයට එරෙහිව තීරණාත්මකව මැදිහත්වීමයි.

 

පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසිරුවා හැරීමේ කාර්යය සහ මර්ධනයට එරෙහිව තීරණාත්මක ලෙස මැදිහත් වීම එක වර කළ යුතු කාර්යයන් දෙකකි. එය අරගලයේ ඉදිරි ගමනට අවශ්‍ය පසුබිම සකසනු ඇත. එවිට, කලින් කී කොන්දේසි 4 සමපාත වන යම් අනාගත මොහොතක අරගලය නැවත පත්තු වන විට අරගලයේ මුල් වටයට වඩා හොඳ සූදානමකින්  ජයග්‍රහණය කරා යාමට අපට හැකි වනු ඇත.

 

අරගලයට ජය!

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *