ප්‍රචණ්ඩ ජනතාව හා අහිංසක නාමල්

ප්‍රචණ්ඩත්වය පිලිබද කතාව මේ දින වල දිග හැරෙන්නේ මැයි 9 වෙනිදා සිදුවීම පාදක කරගනිමිනි. විශේෂයෙන් රජයේ මාධ්‍ය පුවත්වල මේ දිනවල ප්‍රධාන පුවත් අංගයක් වී ඇත්තේ මන්ත්‍රීවරු තමන්ගේ ගිනිගත් නිවාස බැලීමට යාම්ය. රූපවාහිනියෙ දේශපාලන සාකච්ඡා වලදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පැමිනෙන කථිකයින් සෑම දෙනාම කතාව පටන් ගන්නේ එම සිද්දි වල කෘරත්වය ගැන ඇඩෙන කතාවලිනි. අභිනව ජනමාධ්‍ය ඇමතිතුමාද ඒ අනුයමින් මුල් මාධ්‍ය හමුව පටන්ගත්තේද, ” අපි වගේ මන්ත්‍රීවරුන්ටවත් බිය සැකයකින් තොරව නිවසට වී සිටිය නොහැකි තත්වයක් තිබේ නම් මේ රටේ සාමාන්‍ය ජනතාව කොහොම ඇද්ද?” වැනි කිඹුල් දුක් ආලාපයන්ගෙනි. එහිදී ඔහු දෛවෝපගත ලෙස “තම අසල්වැසියා දෙමල අයෙක් නම් දෙමල වීම නිසා ඔහු පීඩාවට පත්වේනම් එය කොතරම් වැරදිද?” යැයි මිනිසුන්ගෙන් අසයි.

 

ඔව් මේ හැමෝම ප්‍රචණ්ඩත්වය ගැන අද අසන්නේ මිනිසුන්ගෙනි. ඇයි ඔයාලට තේරෙන් නැද්ද? ගෝල්ෆේස් එකට ගහපු එක වැරදි තමයි. ඒත් ඒකට අපේ ගෙවල් ගිනි තැබීම හරිද? කව්රු කරත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයම නොවේදැයි අසයි….

 

ඔව්, මේ ගෙවල් වලට ගිනිතියපු හැමෝම කෙලින්ම මේවට සම්බන්ද නෑ. මෙතන රැල්ලට ගිය අයත් ඉන්නවා. මුල් අයට දඩුවම් දෙවනි අයට පුනරුත්ථාපනය ඒ උත්තරේ අහිංසක නාමල් රාජපක්ෂ ගෙනි.

 

ඔව් ඔවුන් මිනිසුන්ගෙන් අහනවා මැයි 9දා ප්‍රචණ්ඩත්වය සාධාරණද? මානුෂික ද? ඒ ආදරයේ අරගලයද? වගේ ප්‍රශ්න…

 

පිළිතුර

 

ඒ ප්‍රශ්නයට අපට පිළිතුරු දෙන්නෙ ප්‍රති ප්‍රශ්නයකිනි. බුදුහාමුදුරුවො ත් සමහර ප්‍රශ්න වලට කෙලින්ම උත්තර දුන්නෙ නෑ. ඒ වෙනුවට අනුගමනය කල ක්‍රමයක් තමයි ප්‍රතිප්‍රශ්න ඇසීම.

 

මිනිසුන්ගේ ප්‍රශ්නය

 

ගෑස් නැතිව, තෙල් නැතිව, දරුවට කිරිපිටි නැතිව, විදුලිය නැතිව, මිනිස්සු අපා දුක් විදිද්දි, ඒ කිසිවකට විසදුම් නොදී, දිවයින පුරා ගොවියො පොහොර නැතිව වගා කරගත නොහැකිව ජනාධිපති, අගමැතිගෙ පඹයො පුච්චන තැනට පත් වෙලා තියෙද්දි, ඒ කිසිවක් කනට නොගෙන, ව්‍යවස්ථා වගන්ති අස්සෙ හැංගිලා, අපි තමයි හොදටම කරේ යැයි වහසිබස් දොඩපු, ඔය උද්ඝෝෂණ කරන උන් මට්ටු කරන්න එක කාක්කෙක් මැරුවනම් හරි කියපු ඇමතිලා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෙලා හිටපු රටක, මේ ඔක්කොමත් වෙලා කිසිදු හිංසනයකින් තොරව මාසයක් ගෝල්ෆේස් එකේ අවුවෙ පිච්චෙමින් වැස්සෙ තෙමීගෙන වහා ආණ්ඩුව ඉල්ලා අස්වෙනු ජනාධිපති ඉවත්වනු කියද්දි ඒ කිසිවක් කනට නොගෙන මැරයො දාල පහරදීපුවාම, කලින් කියපු විදියෙ යුක්තියක් නැති රටක මිනිස්සුන්ට අන්තිමට කරන්න ඉතිරිවෙන්නෙ මොනවද? මිනිස්සුන්ගෙ කිසිදු සාධාරණ ඉල්ලීමකට කන් නොදී. බැංකු හොරු රකිමින්, පාස්කු ප්‍රහාරයෙ වගඋත්තරකරුවන් රකිමින්, සීනි බදු වංචා වලට ඉනිමං බදිමින්, ගජ මිතුරන් ට කෝටි ගනන් බදු සහන දෙමින්, හාල් මෝල් මාෆියාව රකිමින්, හැම දේටම හමුදාව ඉස්සරහට දමමින් මිනිස්සු තගෙන් පාලනය කරපු යුක්තියක් ගෑවිලාවත් නැති පාලනයක් ඉස්සරහා ඒ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ඉස්සරහ මිනිස්සු න්ට තියෙන විකල්පෙ මොකද්ද? තමන් වෙනුවෙන් සටන් කරපු උන් වෙනුවෙන්? මැයි 9 කියන්නෙ එන්න ඒ ප්‍රශ්නෙ ආපු දවසක්? ඒ නිසා ඒ ප්‍රචණ්ඩත්වය නෙවෙයි…ප්‍රතිචාරයක්…ඔව් ප්‍රචණ්ඩත්වය නිසා ඇති වූ ප්‍රතිචාරයක්. මතක්කරගන්න. ඒක නැවැත්තුවේ ත් ප්‍රතිචාරය දැක්වූවන්මයි. එක තැනකින් එහාට ඒක කලු ජූලිය පන්නයේ රාජ්‍ය කුමන්ත්‍රණයකට තල්ලු කරන්න වුනා පාලකයොම. ඒක තේරෙනකොටම මිනිස්සු නිවුනා. මිනිසුන්ගෙ පුනරුත්ථාපනය වෙන්න දෙයක් නෑ. මිනිස්සු තමන්ට පුලුවන් සීමාවෙ ප්‍රතිචාරය නවත්වගත්තා. ඇත්තටම ඒකට මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්නයි ඕන.

 

පසු සටහන

 

භගත් සිං චිත්‍රපටයෙ එක තැනක ප්‍රචණ්ඩත්වය ගැන පාඩමක් තියෙනවා. සතුරන්ට පහරදෙන්න තමන්ගෙ රසායනික විද්‍යා දැණුම භාවිතා කරන්න බෑ කියපු විද්‍යාඥයෙක් හමුවෙන්න ගියපු භගත් සිං ඔහුට වචන වලින් පැහැදිලි කරලා වැඩේ තේරුම් ගත්තෙ නැති නිසා. ලග තිබුන බෝතලයක් කඩල අරගෙන අර විද්‍යාඥයාට අනින්න යනව වගේ ඇක්ට් කරනවා. අර අවිහිංසාවාදී විද්‍යාඥයා ඒ වෙලාවෙ භගත් සිංට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරනවා..එතනදි භගත් සිං අහනවා දැන් ඔයා මොකක්ද කියන්නෙ කියලා. ඔහු කිව්වෙ “එහෙම කරන්න උනේ ආත්මාරක්ෂාවට”….

 

සටහන – නිශාන්ත බණ්ඩාර

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *