ඊනියා පොත් අනුරාගය හා වරප්‍රසාදිත ප්‍රභූ දේශපාලනය

මෙරට ඉතිහාසයේ බහුජනයා විසින් සිදුකළ, සිදුකරමින් සිටින ඓතිහාසික අරගලයක මධ්‍යයෙහි අපි දැන් සිටිමු. මින් එහා දිනාගත යුතු ජයග්‍රහණ රාශියක් ඇතිමුත් මේ දක්වා ලබාගත් සියලු ජයග්‍රහණ සඳහා දායකත්වය දැක්වූ ලක්ශ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවක් සිටී. නිර්ප්‍රභූ ආඛ්‍යාන බිහිවෙමින් පවතී. වසර ගණනාවක් තිස්සේ මෙරට මුහුණ දෙමින් සිටින ආර්ථික, දේශපාලන දුර්භාග්‍ය වූ කලී ආකාස්මික යමක් නොවන අතරම ඒ හා එකට ගැටගැසී පවුල් වාදය, දූෂණය වංචාව, වර්ගවාදය, ජාතිවාදය අමතක කළ නොහැක. එනිසාම මෙකී දේශපාලන ආර්ථික අර්බුධය මෙන්ම මෙකී ජන අරගලය අප විසින් වටහා ගත යුත්තේ මෙම සංයුක්ත සංදර්භය තුළදී ය.

 

මාස ගණනාවක් තිස්සේ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී තිබේ. මිනිසුන් එදා වේල හම්බකරගෙන කෑමට නොහැකි තැනට පත්වී තිබේ. එහෙත් මේ වසර ගණනාවක් ඔබ අප විඳි නිර්ප්‍රභූ දිවියේ දරාගත නොහැකි මට්ටමකට ඔවුන් අපව ලඟා කිරීමක් මිස අලුතෙන්ම බිහිවූ යමක් නොවන වගද අප සිහිතබා ගත යුතුය. ඒ වටපිටාව තුළ ඊයේ දින මෙරට ඉතිහාසයේ හැරවුම් ලක්ශයක් සනිටුහන් කරමින් මහ ජන ගඟක් පයින්, වාහනවල නැගී තමාට හැකි පමණනින් අරගලයට ශක්තියක් වීමට පැමිණි අතරම මේ සියලු මිනිසුන් මේ අරගලයේ එක හා සමාන කොටස් කරුවෝ වෙති. අනෙක් අතින් රාජ්‍ය හමුදා හා පොලීසි යොදාගෙන නිරායුධ සිවිල් වැසියන්, මාධ්‍යවේදීන් හට ඉතා නිර්ලජ්ජිත ආකරයෙන් ප්‍රහාර එල්ල කිරීමට මේ පාළනය ඉතා දැනුවත්ව අණ ලබා දී තිබිණි. වෙඩි කෑ සාමාන්‍ය නිර්ප්‍රභූ තරුණයින්, ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදීන් තවමත් රෝහල්ගතව සිටී. පෝළිම්වල මැරී වැටුණු, පීඩාව හා කලහව නිසා නිකරුණේ මැරී ගිය ජීවිත සංඛ්‍යාව අති මහත්‍ ය. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවාසය ගිණි තැබීමේ සිද්ධියක් වාර්ථාවන අතරම ගිණි තැබුවේ කවුද යන්න තවමත් ප්‍රෙහෙලිකාවක් වී තිබේ. එයට දඩුවම් ලැබිය යුතු බවද, ප්‍රචණ්ඩත්වය මේ අරගලයේ මූලධාර්මික හරය සමඟ කිසිසේත් සමපාත නොවන බවද අපි ඉතා දැඩිව සටහන් කරමු. එහෙත් මෙතෙක් කල් මෙන්ම ඊයේ දින සිදුවූ සියලු ආකාරයේ සිද්ධීන් වැසීමේ සවිංඥානික කූඨ කුමන්ත්‍රණයක මෙන්ම අවිංඥාණික රෝමාන්තික නොමග යාමක තල දෙකක් මෙහිදී හඳුනා ගත හැකි ය.

 

පළමුව ඉතා දැනුවත් වශයෙන් මේ අරගලයේ වටිනාකම රනිල් වික්‍රමසිංහගේ නිවස ගිණි ගැනීමෙන් අවප්‍රමාණය කිරීමේ ඉතා දැනුවත් මජර ක්‍රියාවලියක් සිදු වෙමින් පවතී. මෙතෙක් අරගලය විසින් සිදු කළ සියලු යහපත් දේ කොන්දේසි විරහිත වශයෙන් ඉවත දමමින් රනිල්ගේ නිවස ඉස්මතු කිරීම මේ අන්තය තුළදී සිදු වේ.

 

දෙවනුව පොත්, චිත්‍ර හා සංස්කෘතික ජීවිතය හා බද්ධ බූර්ශුවා වටිනාකම් සමඟින් රනිල්ගේ පොත් හා පෞද්ගලික පුස්තකාලය මෙන්ම ඉතා වටිනා සිතුවම් එකතුව සම්බන්ධ අදෝනා සිව් දෙසින් දැකගත හැකිය. පොත් යනු අන් සියල්ලට ඉහළින් රෝමාන්තීකරණය වෙමින් අරගලය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන මිනිසුන්ගේ කැපකිරීම් අවප්‍රමාණය මෙනයින් සිදුවේ.

 

මේ අන්ත දෙකම මේ අරගලයේ මූලධාර්මික පදනම හා සම්බන්ධ කොට අප විසින් වටහා ගත යුතුය. පොත් යනු නිශ්කර්ෂකව උත්කර්ෂයට නැංවිය යුතු දෙයක් නොවේ. ඒවාට අර්ථ දෙන්නට හැකි ඔබටය. ලෝක ඉතිහාසයේ ඉතා දරුණු පාළකයෙකු ව සිටි හිට්ලර්ද පොත් කියවූ චිත්‍ර රසවිඳි මිනිසෙකි. යම් නිවසක පොත් විශාල ගණනක් තිබූ පමණින් එය “මාර” එකක් වන්නෙ නැත. අනෙක් අතින් සාමාන්‍ය ජනයාගේ ගෙදර නොමැති පොත් කන්දරාවක් සහිත එවැනි පෞද්ගලික පුස්තකාල යනු වික්‍රමසිංහලා, ජයවර්ධනලා වැනි මේ පවුල් විසින් සිය ප්‍රභූත්වය වර්ධනය සඳහා දියත්කළ එක්තරා දේශපාලනික ව්‍යාපෘතියක කොටසකි.  එය පැහැදිලි වශයෙන් “වරප්‍රසාදිත” තත්වයකි. මේ රටේ මහජන ඡන්දෙයෙන් පත්වී, මහජන දේපළ භුක්තිවිදි රනිල් වික්‍රමංසිහ ඒ පොත් කියවා මේ රටේ සාමාන්‍ය ජනයාට සිදු කළ සේවය කුමක්ද යන ප්‍රශ්නය වෙන කවරදාටත් වඩා සෘජු හා ස්ථිරසාර හඬින් ඇසිය යුතු වටපිටාවක දැන් අපි සිටිමු. අපේ රටේ සාමාන්‍ය පවුල්වල ළමුන්ට පාසල් පොත් ලැයිස්තුව ගැනීමටවත් හැකියාවක් නොමැති වටපිටාවක ඔවුන් නඩත්තු කරන ඒ පෞද්ගලික පුස්තකාල යනු ” දේශපාලන ප්‍රභූත්වයේ” එක්තරා පැතිකඩකි. ඇත්තෙන්ම සංස්කෘතික ජීවිතය යනු සෑම මිනිසෙකුටම හිමි විය යුත්තක් උවත් ඒ ඊනියා බුද්ධිමත් මජර ප්‍රභූන් විසින් ඔබෙන් හා අපෙන් ඒ සංස්කෘතික ජීවිතය ඉතා සූක්ශම ආකාරයෙන් උදුරාගෙන තිබේ. ඔබ වැඩබිමේ, ගොවිබිමේ, පොදු ප්‍රවාහනයේ අනවශ්‍ය ප්‍රමාණයට ශ්‍රමය වගුරුවා බඳු ගෙවා ඔවුන් නඩත්තු කරන විට ඔවුන් මිළ අධික කෝපී කෝප්පයක් බොමින් පොතක් කියවමින් ඊනියා බුද්ධිමතුන්, ඔබට වෙනස් අභ්‍යවකාශගත වූ ඔබට ලඟා විය නොහැකි මිනිසුන් බවට පත්වෙමින් තිබේ. එහෙත් පොත් හා දැනුම යනු සාපේක්ශව සමාජ දේශපාලන ආර්ථික වටපිටාව වෙතින් නිශ්පාදනය වන්නක් වන අතරම ඒවයේ වටිනාකම ගණනය කළ යුතු වන්නේ එමගින් මානව සමාජයේ ප්‍රගමනය කෙරෙහි දක්වා ඇති හෝ දක්වන්නට නියමිත දායකත්වය මඟිනි. රනිල් වික්‍රමසිංහ සිය පාසල වන රාජකීය විද්‍යාලයට මේ පෞද්ගලික පුස්තකාලය පිරිනමන්නට කටයුතු කිරීම කිසිසේත් අවංක, බුද්ධිමත් ජනතාවාදී දේශපාලකයෙකුගේ භාවිතයක් නොවන අතර එය හුදෙක්ම සිය පාංතික අනන්‍යතාවය, පාසල් ගෝත්‍රවාදය නඩත්තු කිරීම වෙනුවෙන් තබන්නට තිබූ දිගුකාලීන පියවරකි. එහෙත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා කළ යුතුව තිබුනේ පාසල් පද්ධතිය තුළ ගහණව පවතින විෂමතා වෙනුවෙන් දැනුවත් වැඩ පිළිවෙලක් සකස් කිරීමය. තමන් කියවන රස විඳින පොත් මේ රටේ සාමාන්‍ය පුරවැසියාට ඔවුනගේ දරුවන්ට ද කියවන්නට හැකිවන වාතාවරණය වෙනුවෙන් දේශපාලනිකව මැදිහත් වීමය. එහෙත් වසර ගණනාවක් පුරා ඒ සියලු ප්‍රභූවරුන් කළේ ඔබේ නිර්ප්‍රභූ ජීවිතය හා ඔවුනගේ ප්‍රභූ ජීවිතය අතර පවතීන සීමා තව දුරටත් දෘඩ ආකාරයෙන් පුළුල් කිරීමය.

 

මේ තත්ත්වය තුළ අප විසින් මේ අරගලයේම බුද්ධිමය පැතිකඩක් ලෙස මේ නිර්ප්‍රභූ දේශපාලන දැක්ම ඇති කර ගත යුතුය. හුදෙක් රනිල්ලා , ගෝඨලා ගෙදර ගැවීමෙන් ඔබ්බට ඔබගේ නිර්ප්‍රභූ ආඛ්‍යානය මෙන්ම ඒ ආඛ්‍යානය ගැඩගස්වන ප්‍රභූන්ගේ දැනුවත් බලය පරාජය කළ නොහැකිය. එසේ නොමැතිව මෙතෙක් ප්‍රභූන් අප වෙනුවෙන් සෞන්දර්‍යකරණය කොට දෘශ්ටිවාදී තලය මඟින් සිදුකළ ඒ ඔවුනගේ ප්‍රභූත්වය නඩත්තු කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය අපට පරාජය කළ නොහැක. අප අද මේ මුහුණ දෙමින් සිටින ජීවිතය ඒ දිගුකාලීන නොමග යාම්වල ඉතා පැහැදිලි ප්‍රතිඵලයකි. ගෝත්‍රවාදී, පාසල්වාදී, පාංතික සංස්කෘතික ජීවිතයක් වෙනුවට පොදුජන සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් එක්ව සටන් වදිමු. ඔවුනට හිමි ඔබට අහිමි ඒ වරප්‍රසාදිත තත්තවය තවදුරටත් නඩත්තු කිරීමට ඊනියා “පොත් අනුරාගයකට” ඉඩ නොතබා සැබෑ මිනිසුන්ගේ සංස්කෘතික, දේශපාලන සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිමු.

 

නිර්ප්‍රභූ ඔබට ඇති එකම අවිය වන්නේ නිර්භය, අවංක දැනුවත් දේශපාලන සටන්කාමීත්වය පමණි. තවදුරටත් ඔවුනගේ දෘශ්ටිවාදී ව්‍යාපෘතිවල ගොදුරක් නොවී මේ අරගලය ජයග්‍රහණය කරමු. සියලු ජනතාවට ගුණාත්මක දිවියක් ලබා ගැනීම වෙනුවෙන් එක්ව සටන් වදිමු.

 

සටහන – හර්ෂණී ප්‍රනාන්දු 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *