ලංකාවේ දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය හමුවේ බරපතල ලෙස අර්බුදයට ලක්ව සිටින පක්ෂයක් වන්නේ ප්‍රධාන නිල විපක්ෂය වන සමගි ජන බලවේගයයි. බොහෝ විචාරකයන් ආණ්ඩුව හොබවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුහුණ පා සිටින අර්බුදය පිලිබඳ අදහස් දැක්වූවත්, සමගි ජන බලවේගය මුහුණ දී සිටින අර්බුදය පිලිබඳ වැඩිපුර කථා කරනු දක්නට නොලැබේ. එලියට පෙනෙන කඩු හරඹ එතරම් සුලභ නොවූවද, අපට අනුව, මෙම දේශපාලන සංධිස්ථානයේ දී වඩාත්ම බලගතු උභතෝකෝටිකයට මුහුණ දී සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හඳුනාගත හැකිය.
මෙම අර්බුදය පහත පරිදි සාරාංශගත කල හැක ; ආණ්ඩුව බලවත් ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව සිටින මොහොතක එම අප්‍රසාදයේ ස්වභාවික වාසිය යා යුත්තේ ප්‍රධාන විපක්ෂයටය. එහෙත්, මේ මොහොතේ තිබෙන ආණ්ඩු විරෝධය හුදු ආණ්ඩු විරෝධය ඉක්මවූ — සමස්ත දේශපාලන පන්තියට එරෙහි විරෝධයක් ලෙස ප්‍රකාශමාන වීමේ විභවයක් පවතී. මෙම විභවය සාම්ප්‍රදායික පක්ෂයක් ලෙස සැලකෙන සජබට අවාසි සහගතය. දෙවනුව, ආණ්ඩුව අපකීර්තියට පත්වන්ට ප්‍රධානතම හේතුවක් වන එය අනුගමනය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල ආණ්ඩුවටත් වඩා උන්නතිකාමයකින් යුක්තව ආරක්ෂා කරන්නේ සමගි ජන බලවේගයයි. මෙම තතු තුල, ආණ්ඩුවේ තීරණ නිසා විගලිතභාවයට පත්වන ජනයා සංවිධානය කිරීමේ නෛසර්ගික නොහැකියාවකින් සමගි ජන බලවේගය පෙලෙයි. පවතින තත්වයට එරෙහි අසහනය නියෝජනය කරන්ට සජබ අසමත් වීම විසින් එහි වලංගුතාවය පිලිබඳ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇත.
සමගි ජන බලවේගය යනු කවරේදැ’යි වටහා ගැන්මට නම්, එක්සත් ජාතික පක්ෂය නම් එය බිහි වූ ගර්භාෂය දෙස අප අවධානය යොමු කල යුතු වෙමු. එක්සත් ජාතික පක්ෂය යනු ඓතිහාසිකව යටත්විජිත යුගය තුල පෝෂණය වූ ප්‍රභූ ධනපති-ව්‍යාපාරික පන්තියේ දේශපාලන පක්ෂය ලෙස නිර්මාණය වූවකි. ලංකාව තුල ඉන්දියාවේ මෙන් ස්වදේශික කාර්මික ධනපති පන්තියක් නොවූ අතර, යටත් විජිත ආර්ථිකය මත පරායක්ත වූ තැරැව්කාර ධනපති පන්තියක් ලෙසය මෙරට ධනපති පන්තිය වර්ධනය වූයේ. ආචාර්ය නිවුටන් ගුණසිංහ පෙන්වා දෙන ආකාරයට 1956 වන තෙක් මෙරට දේශපාලන ආධිපත්‍යය ඉසිලූයේ මෙම තැරැව්කාර ධනපති පන්තිය හා ග්‍රාමීය ඉඩම් හිමි වංශාධිපති පන්තිය අතර වූ බල හවුලක් විසිනි. එක්සත් ජාතික පක්ෂය මෙම හවුලේ ඓන්ද්‍රීය නියෝජිතයා වූ අතර නව යටත් විජිත ආර්ථිකය සමග මෙම හවුල දැක්වූ සම්බන්ධතාවය මත දැඩි අධිරාජ්‍ය-හිතවාදී ගති ස්වභාවයක් ද එම පක්ෂය විසින් නියෝජනය කෙරුණි.
කෙසේ වුවද, 1956 න් පසුව මෙරට තුල ඇති වූ නව දේශපාලන චලිතය — විශේෂයෙන්ම ගම්බද හා නාගරික ප්‍රදේශවල අතරමැද සමාජ පන්තීන් වඩා ස්වාධීන භූමිකාවක් අත්පත් කරගැනීම, ගැමි ගොවි ජනයා මත සාම්ප්‍රදායික වලවුකාර පන්තිය ඉසිලූ ආධිපත්‍යය බිඳ වැටීම හමුවේ ප්‍රතිසංස්කරණය වීමට එජාපය වෙත බල කෙරුණි. ඩඩ්ලි සේනානායකගෙන් පසුව එජාප නායකත්වයට පත් ජේ.ආර්. ජයවර්ධන මෙම ප්‍රතිසංස්කරණයට මුල පිරීය. මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ වූයේ 1956 ට පසුව මෙරට දේශපාලනය තුල ඇති වූ ජනතාවාදී නැඹුරුව කොලඹ කේන්ද්‍රීය ධනපති-ව්‍යාපාරික සංස්ථාවේ අධිකාරිය සහිත දේශපාලන ව්‍යාපෘතියක් වෙත අවශෝෂණය කරගැනීමය. සමාජයේ පහල පන්තීන් වෙත එජාපය ආකර්ෂණීය පක්ෂයක් බවට පත් කිරීමෙහිලා සැලකිය යුතු වැඩ කොටසක් රණසිංහ ප්‍රේමදාස විසින් නියෝජිත දේශපාලන ප්‍රවණතාවය වෙතින් සිදුවිය.
1980 ගණන්වල ජයග්‍රාහී ලෙස මතු වූ දක්ෂිණාංශික එජාපය යනු මේ අනුව ප්‍රවණතා දෙකකින් යුක්ත වූවකි. පක්ෂයේ මහා සම්ප්‍රදාය වූයේ ප්‍රභූ-ධනපති පන්තියේ ආධිපත්‍යයයයි. ජේ.ආර්, ජයවර්ධන, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදීහු එහි ප්‍රකාශකයෝ වූහ. පක්ෂයේ සැබෑ බලය තිබුණේ මෙම කවය අතය. වෙනස් පන්තිමය හා කුල පසුබිමකින් පැමිණි රණසිංහ ප්‍රේමදාස විසින් නියෝජිත ප්‍රවාහය මෙම ප්‍රභූ ආධිපත්‍යය සහිත පක්ෂය තුලට පොදුජනයා ගොනු කිරීමෙහි ලා ඉවහල් විය. ජනසවිය, ගම් උදාව, ගම්වල ඇගලුම් කම්හල් ඇති කිරීම, නාගරික දුගීන් සඳහා නිවාස යෝජනා ක්‍රම ආදී ක්‍රියාමාර්ග මෙම ප්‍රවණතාවයේ ප්‍රතිපත්තිමය පරාවර්තනයන්ය. 1977ට පසුව යලි බලවත් වූ තැරැව්කාර ප්‍රභූ-ධනපති පන්තියට වාසි ගෙන දුන් විවෘත ආර්ථිකයේ රාමුව තුල, යම් සුබසාධනවාදී වේෂයක් සහිතව මෙම වැඩසටහන් ක්‍රියාත්මක විය.
ප්‍රේමදාස කෙසේ වුවද සෑම විටම ද්විතීක සම්ප්‍රදායක් විය. ඊට පැවැත්මක් තිබුණේ එය ප්‍රභූ-ධනපති කවයේ අධිකාරියට යටත්ව ක්‍රියාත්මක වෙන තාක් දුරට පමණි. රණසිංහ ප්‍රේමදාස ඉතිහාසයේ අහඹුවකින් ජනාධිපති වූ විට, ඔහුට එරෙහිව සාම්ප්‍රදායික ප්‍රභූ ස්ථරය වෙතින් ආ ප්‍රතිරෝධය විසින් පෙන්නුම් කරන්නේ එජාපයට කවදාවත් ‘ප්‍රේමදාසකරණය’ විය නොහැකි බවයි.
මෙම පසුබිම තුල සිට බලන විට, රනිල් වික්‍රමසිංහ-සජිත් ප්‍රේමදාස ගැටුමේ සම්භවය කවරේදැ’යි පැහැදිලි වෙයි. නව ලිබරල් ආර්ථික රාමුව තුල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අනුයන පක්ෂයකට මුණ ගැසෙන නෛසර්ගික ප්‍රතිවිරෝධයක් ඇත. නව ලිබරල්වාදය දැඩි ලෙස පන්ති පක්ෂපාතීය ; එය සමාජයේ ඇති නැති පරතරය වැඩි කිරීමට, ධනවත් සමාජ කොටස් වල ආර්ථික, දේශපාලන හා සමාජ බලය තහවුරු කිරීමට හා දුගී ජන කොටස් අස්වාමිකකරණයට හේතු වන්නකි. නමුත් මැතිවරණ දේශපාලනය ක්‍රියාත්මක වන රටක, බලය පවත්වා ගෙන යාමට නම්, පොදු ජන කොටස්වල ඡන්දය අවශ්‍ය වේ. මේ නිසා නව ලිබරල් මතවාදයට එතරම් අනුකූල නොවූවද, යම් යම් සුබසාධන කටයුතු පවත්වාගෙන යාමට ආර්ථික වශයෙන් අතිශය දක්ෂිණාංශික පක්ෂයට වුව ද සිදු වේ. එසේ නොකලොත් වඩාත්ම නරක දෙය වන, බලයෙන් විසි වී යාම සිදු වනු ඇත.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එජාපය ප්‍රබල ලෙස නව ලිබරල් මතවාදය වෙත තල්ලු වීම සිදුවිය. 2001 ගෝලීය බලවතුන්ගේ ආශිර්වාදය සහිතව බලයට පත් එජාප රජය තුල වූ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ශේෂ මතවාදයක් ලෙස හෝ එම පක්ෂ කතිකාවේ වූ සුබසාධනවාදී ආමන්ත්‍රණය අතිශය දුර්වල කිරීමය. නව ලිබරල් අදහස් එහි පදගත අර්ථයෙන්ම ක්‍රියාවට නැංවීමේ උත්සාහයක් ඒ තුල විය. මෙම තල්ලු වීමේ වාසිය ලැබුණේ රාජපක්ෂවාදයටය. 2005 න් පසුව දකුණු ලංකාව තුල බලවත් වූ රාජපක්ෂවාදය — 2022 ආර්ථික අර්බුදය විසින් බිඳ දමනු ලබන තෙක්ම — ජනතාව අතර සිය සුජාතභාවය සාදා ගත්තේ රනිල් වික්‍රමසිංහගේ එජාපය අනෙකා ලෙස දැක්වීම මගිනි. මෙරට බොහෝ ලිබරල් විචාරකයන් කරන වරදක් නම්, රාජපක්ෂ ව්‍යාපෘතිය හුදු සිංහල ජාතිකවාදයේ ප්‍රකාශනයක් ලෙස පමණක් දැකීමය. එය පැහැදිලිවම සුලු ජාතීන් ගැන සිංහල ජනයා අතර තිබෙන සැකය මත පෝෂණය වූ වාර්ගික-ජාතිකවාදී ව්‍යාපෘතියක් බව සැබැවි; හැබැයි ඒ අතරම අධිපති නව ලිබරල් කතිකාව විසින් බැහැර කරනු ලැබූ — විශේෂයෙන්ම ගම්බද පහල හා අතරමැද පන්තික තීරු අතර වූ අසහනය ද එය දේශපාලන වශයෙන් ආමන්ත්‍රණය කලේය. (පොහොර සහනාධාරය, ගම නැගුම, දිවි නැගුම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකිරීම ආදී ලෙස).
සජිත් ප්‍රේමදාසගේ කැරැල්ල මතු වන්නේ මෙන්න මේ පසුබිම තුල එජාපය දිගින් දිගටම මැතිවරණ පරාජය වීම නිසාය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ, 2019 ජනාධිපතිවරණයෙන් පසුව සමගි ජන බලවේගය බිහිවීමය. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අලංකාරෝක්තිය දෙස බලන විට, සජබ යනු එජාපය නොවන බව කීමට හේ මහත් උත්සාහයක් ගනී. සජබ උපදේශකයන් වන දයාන් ජයතිලක වැනි අය ද සජබ යනු නව ලිබරල් එජාපය නොව ; අඩු තරමින් සජිත් ප්‍රේමදාස විසින් නියෝජිත ප්‍රබල ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදී’ පාර්ශවයක් සහිත වෙනස් දේශපාලන සැකැස්මක් ලෙස සංකල්පගත කිරීමේ උත්සාහයක යෙදී සිටී. දයාන් ජයතිලකට අනුව, සජබ යනු මෙම ප්‍රේමදාසවාදී ප්‍රවණතාවයේ හා හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් ආදීන් විසින් නියෝජිත ගතානුගතික නව ලිබරල් පාර්ශවයේ සංකලනයකි.
සජිත් ප්‍රේමදාස තුල දැඩි නව ලිබරල්වාදයෙන් වෙනස්, යම් ආකාරයක මාධ්‍යමික දේශපාලනයක් සඳහා උනන්දුවක් තිබෙන බව ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නැත. එහෙත් ප්‍රශ්නය එය නොවේ ; සමගි ජන බලවේගය ලෙස මේ නිශ්චිත මොහොතේ සංවිධානය වී තිබෙන සැකැස්මේ පොදු දිශානතිය කුමක්ද?
මේ බව වටහා ගැනීමට නම්, බැලිය යුත්තේ තැනින් තැන අහුලාගන්නා උද්ධෘත දෙස නොව, පක්ෂයේ නිල ස්ථාවරය දෙසය. සමගි ජන බලවේගය වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සිය වැඩසටහන 2002 අගෝස්තු මස ප්‍රකාශයට පත්කල අතර, මෙම වසර මුල එහි යාවත්කාලීන සංස්කරණයක් යලිදු ජනගත කලේය (The Blueprint 2.0). හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න මෙම ලියැවිල්ල සකස් කල බවත්, ආර්ථික විද්‍යාඥ ප්‍රේමචන්ද්‍ර අතුකෝරාල ඒ සඳහා උපදෙස් සැපයූ බවත්, සජබ නායක සජිත් ප්‍රේමදාසගේ අනුමැතිය සහිතව එය ප්‍රකාශයට පත් කෙරෙන බවත් ලියැවිල්ල සඳහන් කරයි.
හරයාත්මක ලෙස ගත් කල, සජබ ආර්ථික වැඩසටහන සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල අතර කිසිදු වෙනසක් නැත. රනිල් වික්‍රමසිංහට ඇත්තටම වැඩපිලිවෙලක් නැත ; ඔහු කරන්නේ ලංකාවට අදාලව ජා.මූ. අරමුදලේ නිර්දේශ පදගත ලෙස ක්‍රියාත්මක කිරීමකි. සජබ වැඩසටහන ද ඉන් වෙනස් නොවේ. ලෝක බැංකුව, ජා.මූ. අරමුදල බඳු ආයතනවල මූලධාරාව විසින් ලංකාව බඳු රටවල සංවර්ධනය සඳහා යැයි නිර්දේශිත යම් ප්‍රතිපත්ති මාලාවක් පවතී. වෙලඳාම ලිහිල්කරණය, ආර්ථිකය ලිබරල්කරණය, පෞද්ගලීකරණය, රජයේ ආර්ථික භූමිකාව නියාමනය වෙත සීමා කිරීම ආදී වූ ලෙස යම් වට්ටෝරුවකින් මෙය සමන්විතය. ලංකාව බඳු රටවල ආර්ථික විද්‍යාඥයන් කරන්නේ මෙන්න මේ වට්ටෝරුව දේශීය කොන්දේසි සමග ගලපා නැවත කීමය. හර්ෂ ද සිල්වා බඳු අය කරන්නේ මෙම වට්ටෝරුව සිංහලෙන් කීමය. මේ අය සතුව කිසිදු ස්වීය චින්තනයක් නැත. ඔවුන්ගේ විශේෂඥතාවය නම්, කොපි පේස්ට් කිරීමේ හා පරිවර්තනය කිරීමේ හැකියාවය.
සජබ ආර්ථික වැඩසටහන සහ රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ අතර සමානකම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්ට මෙහි ඉඩ නැත. කෙසේ වුවද, එය එතරම් හබයට ලක් වූ කරුණක් ද නොවේ. බොහෝ සජබ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කියන්නේ අයිඑම්එෆ් යන ලෙස මුලින්ම කීවේ තමුන් බවයි ; රනිල් මේ කරන්නේ තමුන් දිගින් දිගටම කරන ලෙස ඉල්ලා සිටි දෙයම බවයි. මේ නිසා සජිත් ප්‍රේමදාස සාධකය විශාලනය කොට පෙන්වමින්, සජබ යනු එජාපයට වඩා බෙහෙවින් වෙනස්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙනත් එකක් ලෙස චිත්‍රණය කරන්ට දැරෙන උත්සාහය බොහොම දුර්වල එකකි. එජාපයේ මෙන්ම සජබයේ ද අත්‍යාසන්න පන්තිමය පදනම කොලඹ කේන්ද්‍රීය ප්‍රභූ ධනපති-ව්‍යාපාරික පන්තියයි. මේ බව කාටත් වඩා හොඳින් සජිත් ප්‍රේමදාස දනී. 1980 ගණන්වල න්‍යාය අදටත් අදාලය ; මෙම ධනපති-ව්‍යාපාරික සැකැස්ම තුල, ‘ජනතාවාදයට’ උපරිම වසයෙන් පැවැතිය හැක්කේ ද්විතීක, ශේෂ ප්‍රවණතාවයක් ලෙසටය. ඊට කවදාවත් මහා සම්ප්‍රදාය විය නොහැකිය. එලෙස වීමට එම පක්ෂයේ අත්‍යාසන්න පන්තිමය පසුබිම කිසි විටෙක ඉඩ තබන්නේ නැත.
මේ නිසා සජිත් ප්‍රේමදාසගේ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට’ යා හැකි උපරිම දුර නම්, හර්ෂ ඩි සිල්වා කියන ඕනෑම දේකට ඔලුව වැනීම හා ඒ අතර පන්සලක ලයිට් බිල ගෙවීම හෝ පාසලකට බස් රියක් පරිත්‍යාග කිරීම බඳු ‘සුබසාධන’ වැඩක් කොට ෆොටෝ එකක් ගසා ගැනීමය.
මෙම පසුබිම තුල සමගි ජන බලවේගයේ අනාගතය කෙබඳුද? මේ මොහොතේ ලංකාවේ දේශපාලන බෙදුම් ඉර මූලික වශයෙන් ඇදෙමින් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක සමාජ-ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයට පක්ෂ ද විපක්ෂ ද යන අක්ෂය ඔස්සේය. මෙම ප්‍රතිව්‍යුහගතකරණය නිසා වාසි ලබන ප්‍රධාන කොටස විදෙස් ණය හිමියන්ය. දේශීය වශයෙන් ගත් කල, වෙලඳ හා මූල්‍ය ධනපති පන්තියකින් සමන්විත දේශීය ව්‍යාපාරික-ධනපති පන්තිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙත සහයෝගය දැක්වීමේ නැඹුරුවක පසුවෙයි. විරෝධතා උද්ඝෝෂණ සිදු කොට, ආර්ථිකයට බාධා කරන්න එපා යැයි ලංකා වාණිජ මණ්ඩලය බඳු ආයතන නිවේදන පවා නිකුත් කරන තත්වයක් ඇතිව තිබෙන්නේ මේ අනුවය. මෙම සමාජ-ආර්ථික වැඩපිලිවෙල ආර්ථික හා භූ-දේශපාලනික හේතු නිසා ඇමරිකාව ප්‍රමුඛ බලවත් බටහිර රටවල ද අනුග්‍රහය ලබයි.
අනෙක් අතට, වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා එන්න එන්නම මහා ජනකායක් ඉවතට තල්ලු කරනු ලැබේ. ආර්ථිකය සංකෝචනය කිරීමෙහිලා හේතුවන ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දැනටමත් මහ විසාල මානුෂවාදී ඛේදවාචකයක් රට තුල නිර්මාණය වී ඇත ; ලක්ෂ ගණනක් ජනයා විරැකියාවට ඇද වැටී ඇත, සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විනාශමුඛයට ගොස් ඇත, දිලිඳුකම බරපතල ලෙස වැඩි වී ඇත, වෘත්තීකයන් රට අත් හැර යමින් සිටිති, පොදු ජනතාවගේ අධ්‍යාපනය, සුබසාධනය හා සෞඛ්‍යය මට්ටම පෙර නුවූ විරූ ලෙසට ඛාදනය වෙමින් තිබේ. ආණ්ඩුවම කියන විධිහට ඔවුන් ගන්නේ ‘ජනප්‍රිය නොවන’ තීන්දුය. ජනප්‍රිය-නොවන තීන්දු සවිඥානිකව ගන්නා ආණ්ඩුවක් සිටින විට, සාමාන්‍ය තත්වයන් යටතේ, එහි ස්වභාවික වාසිය යන්නේ විපක්ෂයටය.
නමුත් ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කිසිවක් කියා ගත නොහී බක් බක් ගාමින් සිටියි. මෙම වැඩසටහනට විරුද්ධ වීම යනු න්‍යාය විරෝධයකි ; රනිල් කරන්නේ සජබ කියන දේමය. ඊට විරුද්ධ වීම යනු, එක අතකින් තමාටම විරුද්ධ වී ගැනීමකි. කෙසේ වුවද, ආණ්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධව සජබ විශාල විරෝධතාවයක් ගොනු නොකරන්නේ තමාටම විරුද්ධ වී ගැනීමේ සදාචාරය ගැන සිතාම නොව, එම පක්ෂයේ අත්‍යාසන්න සහයෝගී-පන්ති තීරුව වන මෙරට ධනපති-ව්‍යාපාරික පන්තිය මේ මොහොතේ ගෙන තිබෙන ආස්ථානය නිසාය. එම සමාජ තීරුවට අවශ්‍ය රනිල් වික්‍රමසිංහ-සජබ ප්‍රතිවිරෝධයක් නොව, රනිල් වික්‍රමසිංහ-සජබ සන්ධානයකි. බලයේ සිටීම සඳහා අත්‍යවශ්‍ය යැයි සජබ බඳු පක්ෂයක් සලකන අනෙක් සාධකය වන බටහිර බලවතුන්ගේ ආස්ථානය ද එබඳුය — ඔවුන් රනිල්ට ආශිර්වාද කරති, සජබට වඩා යථාර්තවාදී රනිල් සමග අනුගත වීම මිස රනිල්ට විරුද්ධව යාම නොවේ.
මේ නිසා විශේෂයෙන්ම එලැඹෙන මැතිවරණ වර්ෂය තුල රනිල් වික්‍රමසිංහ සමග එක්සත් වීමක් සඳහා බලවත් තෙරපුමක් සජබ නායකත්වය වෙත එනු ඇතැයි අපේක්ෂා කල හැක. මේ සඳහා කැමැත්ත පල කරන සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් සජබ ශ්‍රේණීන් තුල සිටී. රනිල් කරන්නේ තමුන් කියපු දේම නම්, රනිල්ට පදනම් වීමට ලොකු පක්ෂයක් ද නැති තතු තුල, ඔහු සමග සන්ධානයකට නොයන්නේ ඇයි? මේ සඳහා කරන්ට වන එකම කැපකිරීම, රනිල් ගැන මෙතෙක් කල් කළ විවේචන හකුලා ගැනීම පමණකි. එය එතරම් දෙයක් නොවන බව මේ වනවිට මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු බඳු අය ඔප්පු කරමින් සිටිති.
කෙසේ වුවද එබඳු සන්ධානයක දේශපාලන ප්‍රතිවිපාකය කුමක්ද? රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ පවතින තත්වයයි (status-quo). ඊලග මැතිවරණයක දී පවතින සංස්ථාපිතයේ නියෝජිතයා බවට රනිල් වික්‍රමසිංහ පත්වනු ඇත. රනිල් වික්‍රමසිංහ සමග එකගතාවයකට සජබ පැමිණීම යනු එය සිය විපාක්ෂික භූමිකාව අත් හැර, පවතින තත්වය ආරක්ෂා කරන භූමිකාවකට මාරු වීමය. අර්බුද අවස්ථාවක් යනු සංස්ථාපිත විරෝධී හැගීම් මහජනයා අතර ප්‍රබල වන කාලයකි. එබඳු අවස්ථාවක, පවතින තත්වය ආරක්ෂා කරන්ට යාම යනු, දේශපාලනික වශයෙන් අතිශය හානිකර විය හැකි ස්ථාවරයකි. මෙය දේශපාලනයේ අයනු ආයනු තරම් සරල පාඩමක් වේ.
සමගි ජන බලවේගය සිර වී සිටින්නේ මෙන්න මේ උභතෝකෝටිකය තුලය. ස්වාධීන පක්ෂයක් ලෙස වර්ධනය වීමට එම පක්ෂයේ අත්‍යාසන්න පන්ති පදනම හා එහි ආර්ථික දර්ශනය ඊට ඉඩ තබන්නේ නැත. අනෙක් අතට, ආණ්ඩුව සමග යම් අවබෝධයක් ඇති කරගැනීම ආණ්ඩුව කෙරෙහි ජනතාව අතර පවතින අප්‍රසාදය ඉල්ලාගෙන තමුන්ගේ ඇගේ ද ගා ගැනීමකි. සජබ මුහුණ දෙන ප්‍රශ්නය සරල නැත ; එය පැවැත්ම පිලිබඳ භවසත්තාත්මක ප්‍රශ්නයකි.
සටහන
රමිඳු පෙරේරා
Comments (0)