සජිත් ප්‍රේමදාසගේ උතුරු කොරියාව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැති ජන හමුවක දී අදහස් දක්වමින්, ලංකාවට විදේශ ආයෝජන ගෙන්වා ගත හැක්කේ තමුන්ට පමණක් බවත් ජාතික ජන බලවේගයේ ‘රතු සහෝදරවරුන්’ බලය ගත හොත් මෙරට උතුරු කොරියාවක් හෝ කියුබාවක් වනු ඇති බවත් ප්‍රකාශ කලේය. මේ රටවල් ගැන – විශේෂයෙන් උතුරු කොරියාව ගැන නිර්මාණය වී තිබෙන අධිපති චිත්‍රය වන්නේ ලෝකයෙන් හුදෙකලා වූ, සාගතයෙන් පෙලෙන රටක් බවට වූ අදහසයි. හරි හෝ වැරදි කියුබාව ගැන ද නිර්මාණය කොට තිබෙන්නේ ඒ වගේ අදහසකි. ජාතික ජන බලවේගය ආණ්ඩුවක් සැදීම රට උතුරු කොරියාවක් වීම හා සමාන කිරීම තුලින් සජිත් ප්‍රේමදාස උත්සාහ කරන්නේ වාමාංශික ආණ්ඩුවක් රට තුල නිර්මාණය වූ විට රට ලෝකයෙන් හුදෙකලා වූ මුඩු බිමක් බවට පත්වන බව කියා පෑමටය.

 

සජිත් ප්‍රේමදාසගේ මේ කථාව ගැන අපට කීමට තිබෙන්නේ කුමක්ද? වාමාංශික ආණ්ඩු බලයට පත්වීම යනු ගෝලීය දකුණේ රටවල අමුතු අත්දැකීමක් නොවේ. එබඳු ආණ්ඩු තිබෙන්නේ කියුබාවේ හෝ උතුරු කොරියාවේ පමණක් ද නොවේ. වාම නැඹුරුවක් තිබෙන ආණ්ඩු තිබෙන විට රට ලෝකයෙන් හුදෙකලා වන බවට වූ අදහස පට්ටපල් බොරුවකි. මේ බව සාධනය කිරීම සඳහා ඉදිරිපත් කල හැකි රටවල් විශේෂ දෙකකි.

 

පලමු විශේෂය, කොමියුනිස්ට් පක්ෂ දිගුකාලයක් තිස්සේ බලය හොබවන ආසියානු රටවල අත්දැකීමයි. චීනය, වියට්නාමය හා ලාඕසය යනු එලෙස කොමියුනිස්ට් පක්ෂ විසින් දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු බලය හොබවන රටවල් වෙති. මේ රටවල්, සජිත් ප්‍රේමදාස කියන විධිහට, විදේශ ආයෝජකයන් එන්නේ නැති, නිරුදක කාන්තාර බවට පත්වූ රටවල්ද? චීනය යනු මේ වනවිට ලෝකයේ දෙවන ආර්ථික බලවතාය. වියට්නාමය යනු ආසියානු කලාපය තුල සීඝ්‍රයෙන් නැගී එන ආර්ථිකයකි. මේ රටවල් සාමාන්‍ය ධනවාදී රටවලට වෙනස් බව සැබෑවකි. පක්ෂ-රාජ්‍යය (party-state) චීනය හා වියට්නාමය බඳු රටවල අතිශය බලවත්ය. ගෝලීයකරණය සමග මේ රටවල් සම්බන්ධ වී තිබෙන නමුත්, එම සම්බන්ධ වීම සිදුව තිබෙන්නේ රට තුල නිෂ්පාදන ආර්ථිකයක් සංවර්ධනය කිරීම නම් වූ රාජ්‍ය ඉලක්කයට යටත්ව, එම ඉලක්කයේ රාමුව තුල වෙලඳපොල භාවිතා කිරීමේ අරමුණ සහිතවය.

 

නව ලිබරල්වාදය අනුයන, මේ වනවිට හොම්බෙන් යන්නට සිදුව තිබෙන වෙනත් තෙවන ලොව රටවලට සාපේක්ෂව මේ රටවල් විශේෂ වන්නේ ඒ රටවල රාජ්‍ය-නියාමක (state-led) ආර්ථික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වීම නිසාය. වෙලඳපොල නියාමක නව ලිබරල් ක්‍රමයට වඩා මෙම රාජ්‍ය නියාමක ආර්ථික මොඩලය වෙනස් එකකි. සජිත් ප්‍රේමදාස සිතන විධිහට, විදේශ ආයෝජන ඇතුලු වෙලඳපොල සාධක ප්‍රතික්ෂේප කිරීමක් වෙනුවට, සමාජයේ පොදු සංවර්ධනය සඳහා නිර්මාණශීලී ලෙස වෙලඳපොල යොදාගැනීමක් ඒ තුල සිදුව තිබේ. විශේෂයෙන්ම වියට්නාමය බදු රටක් ගතහොත්, විදේශ ආයෝජන හා වාමාංශික ආණ්ඩු ගැන සජිත් ප්‍රේමදාස කියන කථාව මොන තරම් බොරුවක් දැ’යි සනාථ කරන සජීවි උදාහරණයකි එම රට. සමාජවාදයට නැඹුරු වෙලඳපොල ආර්ථිකයක් (socialist oriented market economy) ලෙස තම සංවර්ධන මොඩලය හඳුන්වා ගන්නා වියට්නාමය ඉතාම සාර්ථක ලෙස සමාජවාදී එලැඹුමක රාමුවක් යටතේ විදේශ ආයෝජන ඇතුලු වෙලඳපොල ආර්ථිකයේ ලක්ෂණ අනුයුක්ත කරගැන්මට සමත් වී තිබේ.

 

චීනය හා වියට්නාමය තනි පක්ෂ රටවල්ය. ලංකාව බඳු බහු පක්ෂ ක්‍රමයක් තිබෙන රටකට මේ රටවල උදාහරණය නොගැලපේ යැයි මෙහි දී යමෙක් විසින් තර්කයක් මතු කල හැක. එය සාධාරණ ප්‍රශ්නයකි. අප විසින් ගෙන හැර දක්වන දෙවන රටවල් විශේෂය වන වාමාංශික නැඹුරුව සහිත ආණ්ඩු තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ද සහිත ලතින් ඇමරිකානු රටවල් වැදගත් වන්නේ මෙතැනදීය.

 

ලතින් ඇමරිකාව යනු නව ලිබරල් ධනවාදයේ තිප්පොලය. 1970 ගණන්වල සිට නව ලිබරල් වෙලඳපොල ප්‍රතිසංස්කරණ එහි උච්චතම ස්වරයෙන් ක්‍රියාවට නැංවූයේ ලතින් ඇමරිකාවේ රටවලය. මේ බොහෝ රටවල නව ලිබරල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපද සහය ලද මිලිටරි ජුන්ටාවල අනුග්‍රහය සහිතවය. මේ දවස්වල හර්ෂ ඩි සිල්වා බඳු ආර්ථික ඔස්තාද්ලා විසින් උත්කර්ශයට නංවන වෙලඳපොල මූලික ප්‍රතිපත්ති – පෞද්ගලිකකරණය, නියාමණහරණය, සුබසාධනය ඉවත් කිරීම, කම්කරු නීති කප්පාදු කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා වෙලඳපොල මූලධර්ම අනුව ප්‍රතිසංවිධානය කිරීම ආදී වූ ප්‍රතිසංස්කරණ මේ රටවල දශක කීපයක් තිස්සේ ක්‍රියාත්මක විය. මේ නිසා සමාජයේ ඇති නැති පරතරය ඉහල ගියේය. ආර්ථිකය ධනවත් පවුල් කීපයකින් යුක්ත කාටලයක් විසින් පාලනය කරන්නක් බවට පත්විය. සමාජයේ පහල පන්තිවල ජනතාව පැත්තකට විසි විය – නව ‘සමාජ ප්‍රශ්නයක්’ ආර්ථික ලිබරල්කරණය නිසා මේ රටවල උද්ගත විය.

 

ලතින් ඇමරිකාවේ ‘රෝස ප්‍රවාහය’ (pink tide) ලෙස හැඳින්වෙන ප්‍රවණතාවය 2000 ගණන්වල මතු වූයේ නව ලිබරල්වාදය විසින් මේ රටවල කල ව්‍යසනයට ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ලෙසටය. වෙලඳපොල විසින් යටපත් කල සමාජ සංරචකය යලි පිහිටුවීම රෝස ප්‍රවාහයේ තේමාව විය. මේ යටතේ බහු පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වූ රටවල් ගණනාවක එක පෙලට බහුජන ඡන්දයෙන් වාමාංශික හෝ වාමාංශික නැඹුරුව සහිත ආණ්ඩු බලයට පත්විය. බ්‍රසීලයේ ලූලා ද සිල්වා, වෙනිසියුවේලාවේ හියුගො චාවේස්, බොලිවියාවේ ඊවො මොරාලේස්, ආජන්ටිනාවේ කිච්නර් ආදී අයගේ ආණ්ඩු මෙම ප්‍රවණතාවයට අයත් විය. රෝස ප්‍රවාහයේ අත්දැකීම ගැන වැඩිදුර විශ්ලේෂණ කිරීමට මෙතැන ඉඩ නැත. කෙසේ වුවද, 2000 ගණන්වල ආරම්භ වූ රෝස ප්‍රවාහය විවිධ හේතු මත 2010 දශකය මුල වනවිට පසුබෑමට ලක්විය. මේ රටවල වාමාංශික ආණ්ඩු වෙනුවට ගතානුගතිකවාදී ආණ්ඩු බලයට පත්වීම සිදුවිය. මෙහි කුප්‍රකටම අවස්ථාව වූයේ එක්සත් ජනපදයේ අනුග්‍රහය ලද කුමන්ත්‍රණයක් තුලින් බ්‍රසීලයේ කම්කරු පක්ෂ ආණ්ඩුවේ ජනාධිපති 2015 දී ඉවත් කොට දැමීමය.

 

එහෙත් මීට වසර දෙක තුනකට පෙර සිට, අප යලිත් රෝස ප්‍රවාහයේ නව පිබිදීමක් අත් දකිමින් සිටිමු. 2018 දී පැවැති මැතිවරණයෙන් මෙක්සිකෝවේ මධ්‍ය-වාමාංශික ‘ජාතික පුනර්ජීවන ව්‍යාපාරය’ බලයට පත්වීම සමග මෙම නව පුනරුදය වෙත මුල පිරුණි. එතැන් සිට ලතින් ඇමරිකානු රටවල් ගණනාවක වාමාංශික නැඹුරුව සහිත ආණ්ඩු බලයට පත්ව තිබේ. එම තතු පහත පරිදිය –

 

2019 ආජන්ටිනාවේ මැතිවරණයෙන් වාමාංශික ජනතාවාදී නායකයෙක් ලෙස සැලකෙන ඇල්බර්ටෝ ෆර්නැන්ඩෙස් බලයට පත්වීම

 

2020 බොලිවියාවේ ජනාධිපතිවරණයෙන් ‘සමාජවාදය සඳහා ව්‍යාපාරයේ’ අපේක්ෂක ලුයිස් ආර්ස් ජය ගැනීම. බොලිවියාවේ ඊට කලින් පැවැති මොරාලෙස්ගේ වාමාංශික රජය කුමන්ත්‍රණයක් මගින් ඉවත් කල අතර, ඊට එරෙහිව මතු වූ මහජන උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස පැවැති මැතිවරණයෙන් මොරාලෙස්ගේ පක්ෂය නියෝජනය කල ආර්ස් මෙලෙස ජයගත්තේ.

 

2021 පෙරුවියානු මැතිවරණයෙන් වාමාංශික ‘නිදහස් පෙරු දේශය’ පක්ෂයේ පෙද්‍රො කැස්ටිලො බලයට පත්වීම.

 

2021 හොන්ඩුරාස් හි මැතිවරණයෙන් ‘ජාතික ජනතා විරෝධතා පෙරමුණ’ නම් වූ සමාජ ව්‍යාපාරවලින් සමන්විත පෙරමුණෙහි අපේක්ෂිකා සියොමාරා කැස්ත්‍රො බලය ලබාගැනීම.

 

2021 චිලී හි ජනාධිපතිවරණයේන වාමාංශික අපේක්ෂක, හිටපු ශිෂ්‍ය නායක ගෙබ්‍රියෙල් බොරික් ජය ලබා ගැනීම.

 

2022 කොලොම්බියා ජනාධිපතිවරණයේ දී එරට ඉතිහාසයේ පලමු වතාවට වාමාංශික අපේක්ෂකයෙක් (ගුස්ටාවො පෙට්‍රො) ජය ගැනීම.

 

අවසාන වශයෙන්, 2022 බ්‍රසීල ජනාධිපතිවරණයෙන් වාමාංශික අපේක්ෂක ලූලා ද සිල්වා යලි ජනාධිපති ධූරයට පත්වීම.

 

මේ අනුව, ලතින් ඇමරිකානු කලාපයේ රටවල් අති විශාල ප්‍රමාණයක මේ වනවිට තිබෙන්නේ වාමාංශික හෝ වාමාංශයට නැඹුරු ආණ්ඩුය. මේ රටවල් නව ලිබරල්වාදය දශක ගානක් අත්හදා බැලූ රටවල්ය. වාමාංශික ආණ්ඩු 2000 ගණන්වල පත්කොට, යලි පහ කල රටවල්ය. ඉක්බිති ගතානුගතිකවාදී ආර්ථික ප්‍රතිපත්ති යම් කාලයකට අභ්‍යාස කොට, යලි වාමාංශික ආණ්ඩු බලයට පත්වීම යෙහෙකි යැයි තේරුම් ගත් රටවල්ය. මේ රටවල ආණ්ඩු පුලුල් අර්ථයෙන් ගත්කල වාමාංශික ධාරාවට අයිතිය ; ප්‍රගතිශීලීය, අධිරාජ්‍ය විරෝධීය. මේ බොහෝ ආණ්ඩු සමාජ ආර්ථික සාධාරණත්වය පිලිබඳ කතිකාව සමග ස්ත්‍රී අයිතිවාසිකම්, සමලිංගික අයිතිවාසිකම්, ස්වදේශීය ජනයාගේ අයිතිවාසිකම්, පරිසරවාදය ආදී ලෙස පසුගිය කාලයේ නැගී ආ නව සමාජ ව්‍යාපාරවල ඉල්ලීම් සාර්ථක ලෙස බද්ධ කිරීමට සමත් වූ ව්‍යාපාර වෙති.

 

ය‍ට කී ලැයිස්තුව අප ගෙන හැර දැක්වූයේ, ‘වාමාංශය’ කීවාම සජිත් ප්‍රේමදාසට මතක් වන්නේ උතුරු කොරියාව වුවද, වාමාංශය යනු සමකාලීන ලෝක දේශපාලනය තුල – විශේෂයෙන්ම ගෝලීය දකුණේ රටවල බොහොම සජීවී, සමකාලීන දෙයක් බවට පෙන්වා දීමටය. සජිත් ප්‍රේමදාස උතුරු කොරියාව ගැන සැඳහුම් කරමින් කරන්නේ විකටරූප මැවීමකි. යට කී කිසිදු ලතින් ඇමරිකානු රටක් ලෝකයෙන් හුදෙකලා වූ රටවල් නොවේ. සමාජවාදී හා ප්‍රගතිශීලී නැඹුරුවක් සහිත රාමුවක් තුල සිට, වෙලඳපොල, ගෝලීයකරණය බඳු ප්‍රපංච සමග ගනුදෙනු කිරීමට එම ආණ්ඩු යොමු වී සිටිති.

 

1940 ගණන්වල එවකට බලවත් ලෙස නැගී එමින් සිටි සමසමාජ පක්ෂය ඇතුලු වමේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අබියස තැතිගත් එක්සත් ජාතික පක්ෂයේ ගතානුගතික නායකයෝ සමසමාජය ගැන විිවධ කට කථා පැතිරවීය. ඔවුන් රට පුරා ඇලවූ එක් පෝස්ටරයක දැක්වූයේ ගිනි ගෙන දැවෙන වෙහෙරකි. සමසමාජය බලය ගතහොත්, බුද්ධාගම විනාශ කරනු ඇති බවට කියමින් ඔවුන් ජනයා තැති ගැන්වූහ. ජාතික ජන බලවේගයේ නැගීම හමුවේ සජිත් ප්‍රේමදාස ඇතුලු දක්ෂිණාංශික විපක්ෂය ‘රට උතුරු කොරියාවක් වෙනවා’ යැයි කියමින් ජනයා අතර බිය සැක පතුරුවන්ට කටයුතු කරමින් සිටිති. සජිත් මහතාට අනුකම්පා කොට, අප කිව යුත්තේ වාමාංශික ආණ්ඩු බලයට පත්වීම යනු 20 වන සියවසට අයත් පරණ දෙයක් නොව, විසි එක් වන සියවස තුල මේ දැන් අපි කථා කරමින් සිටින මොහොත තුල පවා ලොව පුරා සිදුවන සාමාන්‍ය සංසිද්ධියක් බවයි. ජාතික ජන බලවේගය ලංකාව තුල සාර්ථක වීම යනු, ලතින් ඇමරිකානු රටවල ප්‍රකාශිත ගෝලීය දකුණේ රටවල ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර බලවත් වීමේ සංසිද්ධිය හා අඩු වැඩි ලෙස සමාන්තර සන්තතියක් ලංකාවේ තත්වයන් තුල ප්‍රකාශිත වීමකි. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙත යලි බැඳී හෝ මේ ප්‍රවණතා ගැන දැනගන්නේ නම් සජිත් ප්‍රේමදාසගේ දැනුමට එය වැදගත් වනු ඇත.

 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *