මරුමුස් රනිල් සහ ‘අහිංසක’ IMF

ගාලු මුවදොර පිටිය ඇතුලු කොලඹ නගරයේ කේන්ද්‍රීය ස්ථාන ලෙස සැලකිය හැකි තැන් කීපයක් අධි ආරක්ෂිත කලාප ලෙසට නම් කරමින් ආණ්ඩුව විසින් රෙගුලාසියක් නිකුත් කොට තිබේ. මේ රෙගුලාසිය නිකුත් කොට තිබෙන්නේ රාජ්‍ය රහස් පනත නම්, මේ වෙන තෙක් එතරම් කථා බහට ලක් නොවූ, ප්‍රකට නොවූ නීතියක් අනුව පනවන රෙගුලාසියක් ආකාරයෙනි. මෙම ස්ථාන අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමේ අර්ථය නම්, එම ප්‍රදේශවල උද්ඝෝෂණ හෝ පෙලපාලි පැවැත්වීම නීති විරෝධී බවට පත්කිරීමය. මේ අනුව නගරයේ ප්‍රකට ස්ථානවල සාමකාමී ලෙස විරෝධය දැක්වීම අපරාධ වරදක් බවට ප්‍රකාශ කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.

 

මහජන විරෝධතා සම්බන්ධයෙන් වූ මෙම අතිශය මර්දනීය හැසිරීම උක්ත රෙගුලාසියට සීමා නොවන්නකි. ජූලි 09 වන දාට පසුව අප විසින් අත් දකිමින් සිටින, මහජන විරෝධය මැඩීමේ ප්‍රතිවිප්ලවීය ක්‍රියාදාමයේ තවත් එක් අවස්ථාවක් පමණකි එය. මේ සම්බන්ධයෙන් කුප්‍රකටම අවස්ථාවක් වූයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු ශිෂ්‍යයන් තිදෙනෙක් සිරගත කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීමයි. සාමාන්‍ය සම්මතය අනුව ත්‍රස්තවාදය ලෙස අදහස් වන්නේ පොදු ජනයා බිය ගැන්වීමෙන් තම අරමුණු ඉටු කරගැනීම සඳහා සන්නද්ධ ක්‍රියාකාරීත්වය භාවිතා කිරීමයි. මොන විධිහකට බැලුවත්, විරෝධතා උද්ඝෝෂණ හරහා සිය ඉල්ලීම් ඉදිරිපත් කරන අවිශිබම බඳු සංවිධානයක් ‘ත්‍රස්තවාදී’ ලෙස නම් කල නොහේ.

 

අනෙක් අතට, අතිශය සාමකාමී විරෝධතාවයක් වුව පැවැත්වීම නීති විරෝධී බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන ආකාරය අපට පෙනී යයි. පොලිස් ආඥා පනතේ 77 වන වගන්තිය නම් වූ යල් පැන ගිය නීතියක් පාවිච්චි කරමින්, කිසිදු ආන්දෝලනාත්මක ක්‍රියාවකට තුඩු නොදෙන, අතිශය සාමකාමී විරෝධය පෑම් කරන පිරිස් අත්අඩංගුවට ගැන්මට, අදාල පෙලපාලි විසුරුවා හැරීමට ආණ්ඩුව උල් දත් නියවා ගෙන පැන තිබෙන්නේ වෘක සෙයියාවෙනි. අවිශිබම විසින් කල විරෝධතා කීපයක් මෙන්ම, ඊයේ දින (24) සමාජවාදී තරුණ සංගමය කල පෙලපාලියක් ද මෙලෙස විසුරුවා හරිනු ලැබිණ. පොදු ජන වහර තුල සාමාන්‍යයෙන් අවිශිබම බඳු සංවිධානවල විරෝධතා ‘හිංසනීය’ බව කියා පෑම සඳහා අධිපති ජනමාධ්‍ය විසින් යොදාගන්නා කරුණ වන්නේ විරෝධතාවල දී පනවනු ලබන මාර්ග බාධක ආදිය පෙරලා ඉස්සරහට ගමන් කරන්ට සිසුන් කටයුතු කිරීම ආදී වූ සිදුවීම්ය. පසුගිය විරෝධතා කිහිපය දෙස බලන විට පෙනී යන්නේ අවම වශයෙන් මාර්ග බාධක කැඩීමක් හෝ එකී උද්ඝෝෂණ නිසා සිදු නොවූ බවය. මේවා බොහොම සාමකාමී, නිර්ප්‍රචණ්ඩ පුරවැසි විරෝධතාවයන්ය. අවම වශයෙන් එවැන්නකට හෝ ඉඩ නොදීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවය රජයේ සාහසික හැසිරීම තුලින් පෙනී යන්නේ.

 

ආණ්ඩුවේ චර්යාව තුලින් පෙනී යන්නේ ‘ව්‍යතිරේඛී තත්වයක්’ (state of exception) ; එනම් මහජන පරිමණ්ඩලයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අදාල වන පුරවැසි අයිතිවාසිකම්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හා විසම්මුතියේ අයිතිය ආදී වූ සම්මතයන් බල නොපවත්වන විශේෂී තත්වයක් ලෙසට ලංකාවේ දැනට පවතින පසුබිම සැලකීමට ආණ්ඩුව තීරණය කොට තිබෙන බවය. මෙම ව්‍යතිරේඛී තත්වය තුල හුදු සාමූහික විරෝධය පෑම නම් වූ ක්‍රියාවම අපරාධකරණයට ලක්කොට තිබේ.

 

මෙන්න මේ ආකාරයේ ව්‍යතිරේඛී තත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ දේශපාලන ආර්ථිකය කුමක්ද? අප විසින් මේ අවස්ථාවේ නැගිය යුතු, මර්දනයට විරුද්ධ සමහර අයත් ඇතුලුව, බොහෝ අය කථා කිරීමට මැලිවන ප්‍රශ්නය මෙයයි. හුදු විරෝධය පෑම පවා මහා බරපතල අපරාධයක් ලෙස හංවඩු ගසන, ෆැසිස්ට් පන්නයේ භාවිතාවක් වෙත ගමන් කරන්ට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ ඇයි?

 

මීට පිලිතුර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සති කීපයකට පෙර නිවේදනය කලේය. ‘තිත්ත බෙහෙත්’ බීමට ජනතාව සූදානම් විය යුතු බවට හේ අනතුරු හැගවීය. තිත්ත බෙහෙත් යනුවෙන් හේ අදහස් කලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය සහිතව, ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදෙන සෙයියාවෙන් රට තුල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මහා පරිමාණ කප්පාදු වැඩපිලිවෙලය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල් වට්ටෝරුවට අනුව, ලංකාවේ සකල විධ ආර්ථික ව්‍යාධිවලට හේතුව විශාල රජයක් පැවැතීමය. මේ නිසා රජය කුඩා කල යුතුය. සුබසාධන ක්ෂේත්‍රයෙන් රජය පුලුවන් තරම් ඉවත් විය යුතුය. සහනාධාර දීම නතර කල යුතුය. තෙල් මිල හා විදුලි බිල අහස උසට ගියත් රජය මැදිහත් විය යුතු නොවේ. රජයේ ව්‍යවසායන්; ලාභ ලබන ඉන්ෂුවරන් සංස්ථාව වගේ ඒවා පවා දේශීය හා විදේශීය මුදලාලිලාට විකුණා දැමිය යුතුය. කම්කරු නීති සංශෝධනය කොට, කැමති වෙලාවකට සේවකයන් දොට්ට දැමීමේ ‘අයිතිය’ ව්‍යාපාරික පන්තිය වෙත ලබා දිය යුතුය.

 

වත්මන් ලංකාව යනු මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුව අත් හදා බැලෙමින් පවතින තැනකි. ආණ්ඩුව මේ කරන්නේ එකී ආයතනය ඇතුලු, ගෝලීය ධනවාදයේ බලවත් පාර්ශව විසින් නියම කරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමය. මේ ඊනියා තිත්ත බෙහෙත් ක්‍රියාත්මක කරන විට සිදුවන්නේ කුමක්ද? ආර්ථික අර්බුදයේ බර දැනටමත් පීඩාවට පත්ව සිටින පහල පාන්තික ජන කොටස් මත පැටවීම ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවල ඇත්ත අර්ථයයි. බදු වංචා කරන, රටේ සම්පත් වලින් ඉපැයූ ධනය විදේශ ගිණුම්වල සගවාගෙන සිටින, විවිධ උපමාරු මාර්ගයෙන් තම ලාභ අරමුණ උදෙසා රටින් ඩොලර් පිටමං කරන මහා පරිමාණ ව්‍යාපාරික පන්තියට ‘තිත්ත බෙහෙත්’ බොන්ට යැයි කියා ජා.මූ. අරමුදල හෝ එම අරමුදලේ රූකඩයක් බවට මේ වනවිට පත්ව සිටින ආණ්ඩුව කියන්නේ නැත. මෙම ඉසුරුමතුන් නොව, අර්බුදයේ බර දරාගත යුතු බවට ඔවුන් සලකන්නේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාවය ; ගොවියාය ; සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාය.

 

මෙබඳු තිත්ත බෙහෙත් නියම වන විට ජනයා කෝප වන බව, කෝප වූ ජනයා විරෝධය පල කරන බව ආණ්ඩුව දනී. මේ විරෝධය කල් දැක, ඊට එරෙහිව යුද ප්‍රකාශ කිරීමකි ආණ්ඩුව මේ වනවිට සිදු කොට තිබෙන්නේ. සිවිල් යුද්ධ කාලයේ පැවැති අධි ආරක්ෂිත කලාප බඳු මිලිටරි මෙවලම් යලි කැඳවීම මෙම යුදමය මනෝභාවයේ ප්‍රකාශනයකි. නගරයේ වැදගත් ස්ථානවලට විරෝධතාත්මක ලෙස ඇතුලු වීම ආණ්ඩුව සිය රටේ පුරවැසියන්ට තහනම් කොට තිබේ. ආණ්ඩුවක් තමාගේම රටේ ජනතාවට එරෙහිව යුද ප්‍රකාශ කොට තිබෙන්නේ එලෙසය.

 

වැදගත්ම ප්‍රශ්නය නම්, ආණ්ඩුව එලෙස කරන විට, ආණ්ඩුවට මේ මොහොතේ සුජාතභාවය සපයමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බඳු ආයතන කුමක් කරන්නේද යන්නය. ජා.මූ. අරමුදලබඳු බටහිර බලවතුන්ගේ අතෙහි නැටවෙන රූකඩ සංවිධාන යනු ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් නිදහස අගය කරන අම්මට සිරි ආයතන බවට සිතන, මල් මල් පාට ලිබරල්වාදීන් අහිනක් අප රටේ සිටිති. මේ උදවිය හිතන්නේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ අවකල් වැඩ ගැන දැනුවත් කල විට, ප්‍රජාතන්ත්‍රවාදයේ හා භාෂණයේ නිදහසේ නාමයෙන් මෙකී ආයතන ආණ්ඩුවට ගර්ජනය කොට, මානව හිමිකම් නොරකින්නේ නම් ‘අපි තොපට ආධාර නොකරමු’ බඳු දැඩි ආස්ථානයක් ගනු ඇති බවයි. ආණ්ඩුවට සුජාතභාවයක් නැති හිංදා ජා.මූ. අරමුදල අපට ණය දෙන්නේ නැහැ කියමින් පසුගිය කාලයේ සමහර වාම ලිබරල්වාදීන් හඩා වැටෙන ආකාරය ද අපි දුටිමු.

 

එහෙත් සිදු වූයේ කුමක්ද? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජූලි 9 වන දාට පසුව ගෙන යමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී චර්යාව ජා.මූ. අරමුදලට සත පහක වැදගැම්මක් ඇති යමක් නොවීය. උද්ඝෝෂණකරුවන් දස අතේ හඹා යමින්, සිරගෙට ගනිමින් සිටියදීය ජා.මූ. අරමුදල ආණ්ඩුව සමග එකගතාවයකට ආ බව නිවේදනය වූයේ. යටත් විජිත මනසකින් හෙබි මල් මල් ලිබරල්වාදීන් ස්වකීය ස්වාමියා පිලිබඳ මනස්ගාත විශ්වාසයන්ගේ පසුවුවත්, ස්වාමියා ගේ ස්ථාවරයේ කිසිදු අපැහැදිලිකමක් නොමැත. 1970 ගණන්වල චිලී දේශයේ පලමු වරට නව ලිබරල් ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කල තැන් පටන් ; ‘ස්වාමියා’ පැහැදිලිවම දන්නා එක් කරුණක් තිබේ. එනම් ඊනියා ලිබරල් ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය මර්දනය යනු අඹ යහලුවන් බවයි. එකක් නැතිව අනෙකට පැවැත්මක් නැති බවයි.

 

විරෝධය අපරාධකරණය කිරීම ජා.මූ. අරමුදලේ මෙහෙයවීමෙන් මෙරට තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන ඊනියා ප්‍රතිව්‍යුහගතකරණයේ අනිවාර්යය තාර්කික ප්‍රතිඵලයකි. ආණ්ඩුව මර්දනය කැඳවන විට, ත්‍රස්තවාදී නීති යොදා සිවිල් විරෝධතාකරුවන් දින නියමයක් නොමැතිව සිරගත කරන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස සිටි මිශෙල් බැචලේ බඳු අය – නිවැරදි ලෙසට – එකී ක්‍රියා හෙලා දුටු බව සැබැවි. නමුත් ඔවුන් දැනුවත්ව සැගවූ කරුණ නම්, මෙම මර්දනීය ක්‍රියා හුදෙක් ආණ්ඩුවේ හිතුවක්කාරකමක් ලෙස මතු වූවක් නොව, ජා.මූ. අරමුදලේ අනුග්‍රාහයකත්වය යටතේ දියත් වෙමින් තිබෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දේශපාලන ආනුශංගයක් ලෙසට නිර්මාණය වූවක් බවයි. ස්වදේශික පාලකයන් හෙලා දකින්ට නැවෙන යුරෝපීය දිවවල්, ජා.මූ. අරමුදලේ ‘සුදු’ හමැ’ති ප්‍රභූන්ගේ ක්‍රියාකලාපය හෙලා දැකීම සඳහා නොනැමෙන්නේ එලෙසය.

 

අවසාන අර්ථයෙන් ප්‍රශ්නය පැහැදිලිය ; ආර්ථික අර්බුදය මුවාවෙන්, දේශීය හා විදේශීය ජාවාරම්කාර ධනවත් පන්තියක අභිවෘද්ධිය සඳහා අර්බුදය යොදාගැනීමේ අරමුණින්, මෙරට ස්වදේශික ජනයාට එරෙහි අති දැවැන්ත යුද්ධයක් ආණ්ඩුව විසින් ජා.මූ. අරමුදලේ සහයෝගය සහිතව නිවේදනය කොට තිබේ. ‘දේශපාලන’ මර්දනය ‘ආර්ථික’ ප්‍රතිව්‍යුහගතකරණයේ ක්‍රියාවලියෙන් මුක්ත වූවක් නොවේ. දේශපාලනය සහ ආර්ථිකය වෙන් කිරීමේ ලිබරල් ප්‍රවේශයට වෙනස්ව, මේ අතර අන්තර් සම්බන්ධය යලි යලි වර නැගීම අවශ්‍යව තිබෙන්නේ, ජනතා විරෝධය නිවැරදි අතකට දිශාගත කිරීම සඳහා මෙම විවේචනය බෙහෙවින් අවශ්‍ය වන බැවිනි.

 

 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *