මොකක්ද මේ QUAD?

ශ්‍රී ලංකාවට සහය වීම සඳහා විදේශ ආධාර සමූහයක් පිහිටුවීමේ මූලිකත්වය ගැනීමට QUAD සාමාජිකයින්ට ඉදිරිපත් කල යෝජනාවට ඉන්දියාව සහ ජපානය යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මස 27 වනදා පවසා තිබුණි. ලංකාවේ ප්‍රධාන පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් QUAD හවුලේ නම නිල පණිවුඩයක සදහන් කල පලමු අවස්ථාව මෙයයි. අප විසින් මීට පෙර ලිපියක පෙන්වා දුන් ලෙසට, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති එකක් ලෙස වේගයෙන් රූපාන්තරණය වෙමින් තිබේ. මෙම ලිපියේ දී අප උත්සාහ කරන්නේ QUAD හවුලේ ස්වභාවය පිලිබද තවදුරටත් විභාග කොට බැලීමටයි. 

 

QUAD පසුබිම

 

‘චතුර් පාර්ශවීය ආරක්ෂක සංවාදය’, QUAD යනු එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල් හතරකින් සමන්විත වන, නිදහස්, විවෘත, සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් නිර්මාණය කරගැනීම අරමුණුකරගත් අවිධිමත් උපායමාර්ගික සංසදයකි. 2007 වසරේදී ජපාන අගමැති ෂින්සෝ අබේ ඉදිරිපත් කල යෝජනාව මූලික කරගෙන පිහිටුවා ගත් QUAD සංසදය එම වසරේදී ASEAN හිදී පළමුවරට රැස්විය. සාමාජික රටවල් අතර රැස්වීම්, සමුළු, තොරතුරු හුවමාරු කිරීම් සහ හමුදා අභ්‍යාස මගින් QUAD සංසදය ක්‍රියාකාරීව පවත්වාගෙන යනු ලබයි. ඉන්දු-පැසිෆික් කලාපය කිසිඳු මිලිටරි හෝ දේශපාලන බලපෑමකින් තොරව තබාගැනීම නමැති මුලධර්මය QUAD විසින් ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීම තුලින් ඔවුන් වක්‍රාකාරව ඉන්දු-පැසිෆික් කලාපය තුල චීන ආධිපත්‍ය අඩු කිරීම සඳහා උපායමාර්ග තෝරනු ලබන සංසදයක් ලෙස ඉස්මතුවෙමින් පවතී.

 

පසුගිය මාර්තු මස 12 වනදා රැස්වූ QUAD රටවල නායකයින් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය. කරුණු පහකින් සමන්විතවූ මෙම ප්‍රකාශයේ මූලික අදහස් පහත පරිදි සාකච්ඡා කල හැකිය.

2004 වසරේ සිදුවූ ජාත්‍යන්තර ඛේදවාචකයක් වන සුනාමි තත්ත්වය මගින් පැනනගින ලද කලාපීය සහයෝගීතාවය පිලිබඳ උත්සාහයන්වලට මුලිකත්වය දෙමින්, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ඇතිකරගැනීම සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර QUAD කැපවන බව පළමු කරුණෙන් පවසයි. 

මෙහි දෙවන කරුණ මගින් නීතියේ ආධිපත්‍යය, නාවික ගමනාගමනය, ගුවන්ගමන් නිදහස, ආරවුල් සාමකාමිව විසඳීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ භෞමික අඛණ්ඩතාවය සඳහා සහාය දෙන බවත් ඉන්දු-පැසිෆික් කලාපය පිලිබඳ ASEAN සමග සහයෝගීතාව ප්‍රබලව ලබා දෙන බව පවසයි. 

හදිසි ගෝලීය අවශ්‍යතා ලෙස පැනනගින ආර්ථික හා සෞඛ්‍ය බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම මෙන්ම දේශගුණික විපර්යාස, සයිබර් අවකාශය පිලිබඳ ගැටලු, තාක්ෂණික ගැටලු, ත්‍රස්තවාදය, ගුණාත්මක යටිතල පහසුකම්, මානුෂීය ආධාර, ආපදා වැනි පොදු අභියෝගවලට මුහුණදීම පිළිබඳව මෙහි තෙවන කරුණ මගින් විස්තර කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බහු පාර්ශවික සංවිධාන සමග සම්බන්ධිකරණය ඇතිකරගනිමින්, ඉන්දු-පැසිෆික් කලාපය තුල සාධාරණ එන්නත් ප්‍රවේශයක් ඇති කරවීමටත්, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිලිබඳ සම්මුති පරිදි නැගෙනහිර සහ දකුණු චීන මුහුද ද ඇතුලත්ව සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරන බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට අනුකූලව උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවිහරණය කිරීම සඳහා කැපවන බවත්, ජපාන පැහැරගැනීම්වලට ලක්වූවන්ගේ ප්‍රශ්නය වහා විසඳීමේ අවශ්‍යතාවයද තහවුරු කරන බවත් හතරවන කරුණ මගින් පවසයි. 

මෙම ඉලක්ක සපුරාලීම සඳහා QUAD කැපවීම තව වැඩිකරන බවටත් ලෝකයේ වඩාත්ම ගතික කලාපයේ ඇති අර්බුදවලට පිළියම් සෙවීම මගින් සියලු දෙනා ප්‍රාර්ථනා කරන නිදහස්, විවෘත, ප්‍රවේශ විය හැකි සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපය නිර්මාණය කරගත හැකි බවත් පස්වන මෙන්ම අවසාන කරුණෙන් දක්වා ඇත.

 

චීන සාධකය 

 

QUAD ප්‍රකාශනයේ සඳහන්ව ඇති කරුණු පිලිබඳව සැලකීමේදී ඒවා කාණ්ඩ තුනකට අයත්වන පරිදි බෙදා දැක්විය හැකිය.

1. චීනය යනු වලක්වා ගත යුතු අභියෝගයක් ලෙස වක්‍රව සිදුකරන ප්‍රකාශ

2. චීනය සමග සම්බන්ධ යැයි සැලකෙන අනෙකුත් අභියෝග

3. චීනය සම්බන්ධ නොවන ගැටලු

 

ඉන්දු-පැසිෆික් කලාපයේ රීති වෙත ඉදිරිපත් කරන QUAD යෝජනාවල ඍජුවම චීනය ගැන සඳහන්ව නැතත්, එම යෝජනා චීනය යන වචනය සඟවමින්, චීන ආර්ථිකයේ බලපෑම සමග තරඟ කිරීම සඳහා QUAD විසින් ගනු ලැබූ තීරණ බව බැලූ බැල්මටම පෙනීයයි. එම නිසා QUAD හි පොදු අභියෝගය සහ පොදු ආමන්ත්‍රණය ලෙස චීනය පවතී. QUAD රටවල් චීනය හැර අනෙකුත් රටවල් පිලිබඳව කුමන ආකල්පයක් දැරුවද චීනය පිලිබඳව එකම ආකල්පය එනම් චීනය ඔවුන් කෙරෙහි අභියෝගයක් ලෙස සලකයි. 

 

COVID-19 වසංගතයට චීන තාක්ෂණයෙන් බැහැරව ඒකාබද්ධව සටන්කිරීම වැනි උපායමාර්ග මගින් මෙන්ම ASEAN සංවිධානයෙහි එකමුතුකම ශක්තිමත්ව ගොඩනැංවීමට සහයෝගය ලබාදීම වැනි ක්‍රියාමාර්ග මගින් චීනය සම්බන්ධ යැයි සැලකෙන අභියෝග බැහැර කිරීමට QUAD උත්සාහ දරමින් සිටියි. දේශගුණික අර්බුදයට මුහුණ දීම, පැසිෆික් දූපත් සංසදය සඳහා සහාය, අභ්‍යවකාශ ගවේෂණය, ඉන්දු-පැසිෆික් කලාපය තුල මානුෂීය ආධාර සහ ආපදා සහන, ඇෆ්ගනිස්ථානය කෙරෙහි මානව හිමිකම් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීම වැනි චීනය සම්බන්ධ නොවන ගැටලු පිලිබඳව ද QUAD සාකච්ඡා කරයි. නමුත් මෙම විශේෂිත අභියෝගවලට මුහුණ දීම සඳහා මෙම රටවල් හතරට පමණක් එවැනි කණ්ඩායමක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ මන්දැයි ඔවුන් පැහැදිලි නොකරයි.

 

රටවල් 4ක චතුරස්‍ර සන්ධානයක් ලෙස පැවතියද භූ දේශපාලනය තුල නිත්‍ය දේශපාලන කණ්ඩායමක් ලෙස තහවුරු වීමට වසර ගණනාවක සිටම QUAD උත්සාහ දැරීය. QUAD සතිපතා රැස්වීමට දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තයේ නියෝජිතයන් ඇතුළත් කර ගැනීම මගින් සහ COVID-19 සඳහා ගෝලීය ප්‍රතිචාරයක් සාකච්ඡා කිරීම සඳහා බ්‍රසීලය, ඊශ්‍රායලය සහ දකුණු කොරියාව ඇතුළත් Quad ජාතීන්ගේ රැස්වීමක් එක්සත් ජනපදය විසින් පවත්වන ලද විට QUAD Plus ආකෘතියේ අභිප්‍රාය තවදුරටත් ශක්තිමත් විය. නමුත් චීනය සමග ඇති පැහැදිලි තරඟය මත ගනු ලබන ප්‍රධාන තීරණ, වෙනත් කණ්ඩායම් මෙම සන්ධානය සමග  සම්බන්ධ වීම කෙරෙහි ඍණාත්මකව බලපානු ඇත. 

 

පුරාණ ග්‍රීක ඉතිහාසඥ තුසිඩිඩීස් පැහැදිලි කල පරිදි “ඇතැන්ස් හි නැගීම ගැන ස්පාටා තුල ඇතිකළ භීතිය නිසා යුද්ධය ඇතිවීම නොවැලක්විය හැකිය”. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරත් චීනය සහ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර කඳවුරත් අතර මතු දිනෙක ඇතිවිය හැකි මහා බලගැටුමක දී එයට මුහුණ දීම සඳහා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනු වෙනුවට ශ්‍රී ලංකාව QUAD හි ගැත්තෙක් බවට වේගයෙන් පත්වෙමින් ඇත.

 

සටහන – රාජිත අනුරාධ පෙරේරා

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.