QUAD සන්ධානයේ අලුත්ම ඉත්තා ලංකාවද?

“මිත්‍රශීලි සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියක්” ලෙස නම් කල ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ප්‍රතිපත්තියට මහජන අනුමැතිය ලැබී වසර දෙකක් ඉක්මවී ඇත. බටහිර රටවල් විසින් “නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපය” ලෙස නම් කර ඇති භූ-දේශපාලනික කලාපයක පිහිටි ශ්‍රී ලංකාවට ගතවූ පසුගිය වසර දෙක තුල මෙම මිත්‍රශීලි සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගැනීමට හැකිවි තිබේද? නොහැකිවී තිබේද? ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව සෑහෙන කාලයක් ගතව තිබෙන පසුබිමක් තුල මෙම ප්‍රශ්නය සංවාදයට ගැනීම වැදගත් වනු ඇත.

 

විදෙස් ප්‍රතිපත්ති පුරාණය

 

ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ප්‍රතිපත්තිය පිලිබඳ සාකච්ඡාව ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමය සහ රනිල්-මෛත්‍රී පාලන සමයෙන් විතැන්ව සාකච්චා කල නොහැක. විශේෂයෙන්ම යුද්ධය අවසන් කාලයේදී ඇතිවූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ චීන හිතවාදී නැඹුරුව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කෙරේ ආතතියක් ඇති කළේය. මෙම ආතතියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා සහ යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට බටහිර රටවල් පැත්තෙන් යොමුවීමක් ඇති විය. 2015 ජනාධිපතිවරණ සමයේදී බටහිර තානාපති කාර්යාලවල කාර්යභාරය කැපී පෙනුන අතර ඒවායේ සහය මහින්ද රාජපක්ෂට විරුද්ධ කඳවුර වූ රනිල්-මෛත්‍රී කඳවුරට හිමිවිය. එවන් පසුබිමක 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්කරමින් මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය.

 

ඉන්පසු බලයට පැමිණි රනිල්-මෛත්‍රී ආණ්ඩු කාලය තුලදී අහිමිව තිබූ GSP සහනය නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතරම ඇමෙරිකා එක්සත් ජනපදය සමග ACSA, SOFA වැනි ආරක්ෂක සහයෝගිතා ගිවිසුම්වලට එළඹීම පවා සිදුවිය. මේවා චීන විරෝධී මුහුණුවරක් ඉසිලූ අතර MCC වැනි ගිවිසුම්වලින් පවා තහවුරු වූයේ එම රජයේ පැවති බටහිර කෙරේ වූ නැඹුරුවයි. නමුත් MCC වැනි ගිවිසුම්වලට ගොනුකළ මහජන විරෝධතා නිසා 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම මැතිවරණ වේදිකාවල එම ගිවිසුම් ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දු ඉදිරිපත් විය. එවන් පසුබිමක 2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරදා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේය.

 

ඉන්ඩියා ෆස්ට්

 

2019 වසරේ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ තම පළමු නිල සංචාරය ලෙස තෝරාගත්තේ ඉන්දියාවයි. චීන හිතවාදී රාජ්‍ය නායකයෙකු ලෙස හඳුනාගෙන සිටි සහෝදර මහින්ද රාජපක්ෂගේ උපායමාර්ගවලට වඩා වෙනසක් එමගින් ප්‍රකාශ විය. ශ්‍රී ලංකාව විසින් “India-first” ප්‍රතිපත්තිය අනුගමනය කරන බව විදේශ ලේකම්වරයා පවා එකල තහවුරු කළේය. මෙම ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර ලෙස කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භයේදී පටන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලබා දීමට ඉන්දියාව කටයුතු කල අතර විශේෂයෙන් AstraZeneca එන්නත ප්‍රදානය කෙරුණි. නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීමත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිකරගන්නා ලද ගිවිසුම් කඩකිරීම නිසාත් ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධය දුරස් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාවලියේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීම මගින් මෙම සම්බන්ධය දුරස්වීම ප්‍රකාශමාන විය.

 

හිටපු එක්සත් ජනපද පුරවැසියෙකු ජනාධිපති ලෙස පත්වීමත් සමග එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සබදතා වර්ධනය වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. නමුත් ඩොලර් මිලියන 480ක වටිනාකමකින් යුත් MCC ප්‍රදානය වෙත දුර්වල සහ උනන්දු නොවන ආකාරයේ ප්‍රතිචාරය නිසා එම ප්‍රදානය ඉවත්කරගැනීම මගින් ක්‍රමයෙන් එක්සත් ජනපදය සමග ඇති සම්බධයද දුරස් විය. ශ්‍රී ලංකාවට එරෙහි නව මානව හිමිකම් යෝජනාවක් සඳහා එක්සත් ජනපදයේ සහාය හිමිවිමෙන්ද මෙම සම්බන්ධය දුරස්වීම ප්‍රකාශමාන විය. නමුත් කොවිඩ් වසංගත කාලය තුල ඩොලර් මිලියන 5කට වැඩි අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ එන්නත් ලබාදීමට එක්සත් ජනපදය කටයුතු කළේය.

 

මෙලෙස ඉන්දියාව සහ එක්සත් ජනපදය සමග සබදතා දුරස්වත්ම ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය නැවත චීනය දෙසට නැඹුරු වීමක් ද දක්නට ලැබුණි. කොවිඩ් වසංගත කාලය තුලදී ඩොලර් බිලියන 2කට වැඩි ණය සහ මුදල් හුවමාරු ක්‍රම මගින් මුල්‍යමය වශයෙන්ද Sinopharm එන්නත් මිලියනයක් ආධාර ලෙස සහ තවත් මිලියන 6ක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු අවම කරගැනීමට චීනය සහාය ලබාදුනි. චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇතිවූ සාකච්චා මගින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේදී චීනය ශ්‍රී ලංකාවට සහාය පළ කිරීම මගින්ද චීනය සමග සබදතා අලුත් විය.

 

ප්‍රතිපත්තියේ හැරවුමක්?

 

කෙසේ වුවද මීට මාස කිහිපයකට පෙර සිට, නිශ්චිතවම ගත් විට බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස පත්වීම සමග ශ්‍රී ලංකාවේ වි‍දේශ ප්‍රතිපත්තියේ තවත් හැරවුමක් සලකුණු වෙමින් තිබෙන ආකාරය දැකගත හැක. චීන සමාගමක් විසින් අපනයනය කල පොහොර නැව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව, චීනය උතුරු පලාතේ කිරීමට නියමිතව සිටි ව්‍යාපෘති ප්‍රමාණයක් අවලංගු වීම ආදිය මෙම හැරවුමේ සංඥාවන් විය. මේ වනවිට මෙම හැරවුම වඩාත් පැහැදිලි තැනකට පැමිණ තිබේ. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා නොගන්නා බවට මුලින් ගෙන සිටි ස්ථාවරය වෙනස් කිරීම, බටහිර හිතවාදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම ආදී සිදුවීම් මෙම දිශාවට පෙල ගැසුණු ඒවාය.

 

වික්‍රමසිංහ අගමැති බවට පත්ව තවමත් මසක් ඉක්මවා නැත. නමුත් ශ්‍රී ලංකාව දැන් දැන් බැලූ බැල්මටම ඉන්දියාව මත යැපෙන රටක් බවට පත්ව ඇත. අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ සඳහා බටහිර රටවල් මතම යැපීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවට හොඳම සාක්ෂියක් වන්නේ රුසියානු තෙල් සමාගමක් ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රජය එම ඉදිරිපත් වීම පවා නොසලකා හැර තිබීමෙනි. මෙම තත්වය ඉදිරියට ගියහොත් 2015-19 කාලයේ සංවාදයට තුඩු දුන් MCC ගිවිසුම හා ඇමරිකාව සමග අත්සන් කිරීමට අපේක්ෂා කල ආරක්ෂක ගිවිසුම් පිලිබද කථාව යලි කරලියට ඒමට ඉඩ තිබේ. මෙහි යටි පෙල නම්, ඉන්දු පැසිෆික් කලාපය තුල ඇමරිකාව ප්‍රමුඛ QUAD සන්ධානය (ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය මෙහි අනෙක් පාර්ශවකරුවන්ය) චීනයට එරෙහිව දියත් කොට තිබෙන වටලෑමේ ඉත්තෙක් බවට ලංකාව පත්වීමේ අවදානමක් ඇති වීමයි. ලංකාවේ ආර්ථික අර්බුදය අධිරාජ්‍යවාදී QUAD ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම සදහා භාවිතා වෙමින් තිබෙන්නේ ඒ ආකාරයටය.

 

මෙම තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නිෂ්ක්‍රිය විදෙස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට ලබා දුන් පොරොන්දුව කඩකිරීමකි. QUAD සන්ධානයේ තුරුලට ලංකාව ගෙන යමින් සිටින්නේ MCC ගිවිසුම අත්සන් නොකරන බවට ප්‍රතිඥා දී බලය ගත් ආණ්ඩුවකි. උත්ප්‍රාසාත්මක කාරණාව වන්නේ පසුගිය කාලයේ චීන හිතවාදී නැඹුරුවක් ලංකාව පෙන්වන විට, ඒ සම්බන්ධ විශාල හා හූවක් ඇති කල ලිබරල් සිවිල් සමාජය ඇතුලු විවිධ පාර්ශව ලංකාව QUAD සන්ධානයේ ගැත්තෙක් බවට වත්මන් ආණ්ඩුව පත් කරමින් සිටින ආකාරය පිලිබද කිසිවක් නොපැවසීමය. ඔවුන් පසුගිය කාලයේ දැක්වූ චීන විරෝධය යනු ඇමරිකානු ගැතිකමේ ප්‍රකාශනයක් ද යන සාධාරණ ප්‍රශ්නය මෙම තත්වය තුල මතු වීම වැලැක්විය නොහැක.

 

සටහන – රජිත අනුරාධ පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *