පහත පලවන්නේ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදිත ලිපියකි. ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පසුගිය මෑත අතීතයේ භාවිතාව – විශේෂයෙන්, ඔවුන් පොදුජන පෙරමුණ සමග කල සභාග දේශපාලනය සම්බන්ධයෙන් අප බරපතල ලෙස විවේචනාත්මකය. කෙසේ වුවද, මෙම ලිපිය මගින් ඔවුන් මතු කරන අදහස, එනම් ප්රගතිශීලී දේශපාලනය මේ යුගයේ නිර්වචනය වන්නේ නව ලිබරල්වාදයට තිබෙන විරෝධය, හා බහුධ්රැවීය ලෝකයක් කෙරෙහි වූ පක්ෂපාතීත්වය මතය යන්න සංවාදයට බඳුන් විය යුත්තක් ලෙස සලකමු. අපට ඒ සමබ්න්ධව කරන්ට තිබෙන එකතු කිරීම නම්, ජනවාර්ගික කොටස්වල සම අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ද ප්රගතිශීලී දේශපාලනයේ අත්හල නොහෙන නිර්ණායකයක් වන බවය.
– සංස්කාරක –
***
ශ්‍රී ලංකාව එහි “නිදහසෙහි” සිට ම මුහුණ පෑ දරුණුම ආර්ථික අර්බුදයට දැන් ලක් වී සිටියි. මෙරට පාර්ලිමේන්තු දේශපාලනය ද අර්බුදයකට ඇද දමමින් රටේ ආර්ථික අර්බුදය දේශපාලන අවකාශයට පිටාර ගලා ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පතුරු ගැලවී ඇත. ඉදිරියටත් එසේ වන බව පෙනෙන්නටද ඇත. මේ දේශපාලන කට්ටි ගැසීම් ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිණිස දරන හිස ගිනි ගත් වෑයමකි. එහෙත් ඒ දේශපාලන ආස්ථාන, මෙහි පවතින ආර්ථික අර්බුදයේ නාඩියට අනුකූල නොවේ. අප ඉදිරියෙහි ඇති චංචල දේශපාලන වාතාවරණයට හසුව මේ තදියම්කාර දේශපාලන සම්මුති අතු ගෑවී යනු ඇත. තවද, ඉබේ එළැවෙතැයි සිතන කෙටි කාලීන දේශපාලනය ඉදිරියෙහිදී යල් පනිනු ඇත. ඊට හේතු දෙකක් වෙයි. එක් අතෙකින්, අප රටෙහි දැන් ඇති ආර්ථික අර්බුදය කෙළි සෙල්ලමට නොගෙන ඊට මැදිහත් වීමේ පිළිවෙතක් වුවමනාය. දෙවනුව සැළැකිය යුත්තේ ලෝක ආර්ථිකය නව ප්‍රගතිශීලී සුසමාදර්ශ වෙනසකට එළැඹෙමින් ඇති බවයි.
ලෝකය ඒක ධ්‍රැවීයතාවයක සිට බහු ධ්‍රැවීයතාවයක් දක්වා ගමන් කරමින් සිටියි. එබැවින් බහු ධ්‍රැව ලෝකයක ස්ථානගත විය හැක්කේ කෙසේදැයි අපට පැහැදිලි වැටහීමක් තිබිය යුතුය. ලෝක පාර්ශවකරුවන්ට ස්ථානගත විය හැක්කේ කෙසේද; ඔවුන් ස්ථානගත විය යුත්තේ කෙසේද යන ප්‍රශ්නවල වැදගත්කම මෝර්ගන් ස්ටැන්ලි නොබෝ දා පළ කළ පර්යේෂණ ලිපියෙන් හුවා දක්වයි.
ප්‍රගතිශීලී දේශපාලන පෙරමුණක් බිහි කිරීමට නම් අවම පොදු කොන්දේසි හෝ සැපිරිය යුතුය. අවම කොන්දේසි තීරණය කිරීමට නම් අපේ ආර්ථික තත්ත්වය වටහා ගත යුතුය. අප මේ අර්බුදයට ඇද වැටී සිටින්නේ 1977 හි සිටම අනුගමනය කරන ලද නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස අපරිණත නිර්- කාර්මිකරණයක් (Premature deindustrialization) සිදු විය. මේ නිර්- කාර්මිකරණය රටට ඉතිරි කළේ නිදන්ගත ගෙවුම් ශේෂ (Chronic balance of payment)අර්බුදයකි. නව ලිබරල් මග ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බව පැහැදිලි විය යුතුය. එබැවින් ප්‍රගතිශීලී දේශපාලන සංධානයක පළමු කොන්දේසිය විය යුත්තේ නව ලිබරල් විරෝධී ආර්ථික පිළිවෙතකි.
බටහිර ආර්ථිකයන්හි මෙන්ම චීනය, ජපානය වැනි නැගෙනහිර ආසියානු ආර්ථිකයන්හි භාවිතයන් වෙතින් අපට වැටහිය යුතු කරුණ නම්, සංවර්ධනයේ සහ දිළිඳුකම තුරන් කිරීමේ මාවත වැටී ඇත්තේ කාර්මිකරණය ඔස්සේ බවයි. 1977 හි වෙළඳපොළ ප්‍රතිසංස්කරණම අනුගමනය කරමින් ශ්‍රී ලංකාව පහසුවෙන් අමතක කළේ, අපට ඇති එකම තිරසාර මග ඇත්තේ කාර්මිකරණය දෙසට බවයි. නව ලිබරල් සහ නව යටත් විජිතවාදී බලපෑම් නිසාත් අපේ දේශපාලනයට කා වැදී තිබෙන, ළඟ පමණක් බැලීමේ සිරිත නිසාත්, 2020 හි දී අර්බුදය උච්ඡතම අවස්ථාවට එන තෙක්ම අපි රෝග නිධානය වටහා නොගතිමු.
ප්‍රගතිශීලී ව්‍යාපාරයක් සඳහා දෙවැනි අවශ්‍යතාවය නම් බහු ධ්‍රැවීයත්වයි. බහු ධ්‍රැවීය ව්‍යාපාරවල සිටින ප්‍රගතිශීලීන් යටත් විජිත විරෝධීන් බව සැබෑවකි. තම තමන්ගේ මතවාදවල වෙනස්කම් වෙනම තිබියදී දිළිඳු ලෝකයේ සියලු ප්‍රගතිශීලීහු බහු ධ්‍රැවීයත්ව මාවත තෝරා ගනිති. එහෙත් අප බහු ධ්‍රැවීයත්වයට නැඹුරු විය යුතු මූලික හේතුව එය නොව, බහු ධ්‍රැවීයත්වය විසින් අප රටටද ඇතුළු සමස්ත ගෝලීය දකුණටම ප්‍රතිලාභ ලැබෙන නව ලෝක රටාවක් ගොඩ නඟනු ලැබීමයි. එකකුගේ පාඩුවෙන් අනෙකා ප්‍රතිලාභ ලබන ආකාරයේම විනිමය හුවමරු මත රඳා නොපවතින විකල්ප සංවර්ධන මාවත් ඉන් අප රටට විවර වනු ඇත. බහු ධ්‍රැවීයත්වය වඩා සම තැනක සිට ගණුදෙනු කිරීමේ විකල්ප ක්‍රම සපයා දෙයි. මැද පෙරදිග රටවල් වෙළඳාම සහ වෙනත් අරමුණු සඳහා එකමුතු වෙමින් සිටියි. අප කළාපයේ රටවල් 15 ක් අත්සන් කළ Regional Comprehensive Economic Partnership (RCEP) ලෝකයේ ලොකුම වෙළඳ ගිවිසුමයි.
ලෝකයේ සියලු රටවල්, ඒක ධ්‍රැවීයත්වයට නැඹුරු රටවල් පවා, මේ නව තත්ත්වය යටතේ තම තමන් ස්ථානගත වන අයුරු ගැන සිතයි. අප විශ්වාස කරන්නේ මේ නව ලෝක තත්ත්වයෙහි වාසිය අප ලබා ගත යුතු බවයි. නොබැඳි ව්‍යාපාර ගැන සිතන කල, අප රට පෙරමුණෙහි ම විය. අවාසනාවකට, අප කළාපයෙහි නව බහු ධ්‍රැවීය ව්‍යාපාරයක් ගොඩ නැගෙමින් තිබුනද, ඊට සම්බන්ධ වී අපේ මූලෝපායික අවශ්‍යතා ඉටු කර ගැනීම කෙරෙහි අපි තවමත් සිත යොමු කර හෝ නොසිටිමු.
පෙර කී පරිදි අපි නව ලිබරල් ප්‍රතිපත්ති නිසා විඳවූ තෙවැනි ලොව රටක් වෙමු. නව ලිබරල් ප්‍රතිපත්තිවලට එදිරිව කාර්මිකරණය පදනම් කර ගත් ආර්ථික ආකෘතියක් අපට අවශ්‍ය බව අපි වටහා ගත යුතු වෙමු. එවැනි සංවර්ධන ආකෘතියක යථාර්ථය නම් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය ද අප සපයා ගත යුතු බවයි. මෙහි යථා ස්වභාවය දකින කවරකුට වුවත් පෙනී යන්නේ ඒක ධ්‍රැවීය ආයෝජන රුචිකත්වය තෙවැනි ලොව සංවර්ධන වුවමනාවන්ට අනුකූල නොවන බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් ඔවුන්ගේම සංවර්ධන ආයතන පිහිටුවීමට උත්සුක වුයේ එබැවිනි. BRICS ජාතීන්ගේ නව සංවර්ධන බැංකුව (New Development Bank) එවැන්නකි. අපටද තිරසාර කාර්මික වර්ධනයක් අවශ්‍ය නම්, අපිද උපායශීලී ව බහු ධ්‍රැවීය ලෝකය සමග අත්වැල් බැඳ ගත යුතු වෙමු.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය – අධ්‍යාපන අංශය
Comments (0)