ලංකාව පෞද්ගලිකකරණ පෙරහැරක් අබියස

1961 වර්ෂයේ දී එතෙක් බහුජාතික සමාගම් කීපයක් අත පැවැති ඛණිජ තෙල් ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ වෙලඳාම ජනසතු කොට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවීමෙන් සිරිමා බණ්ඩාරනායක බරපතල වරදක් කල බව තෙල් ඇමති කංචන විජේසේකර පසුගිය දා ප්‍රකාශ කලේය. මෙම ප්‍රකාශයට සමගාමීව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් පෞද්ගලිකකරණය කිරීමටත්, ලංකාවට තෙල් ගෙන්වීම හා බෙදාහැරීම පෞද්ගලික අංශයට විවෘත කිරීමටත් අදාල යෝජනාවක් කැබිනට් මණ්ඩලය සම්මත කලේය. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගියහොත්, ලංකාවට තෙල් ගෙන්වීම හා බෙදාහැරීම විදේශ සමාගම් අතලොස්සක කතිපයාධිකාරියක් විසින් පාලනය කෙරෙන, 1961 ට පෙර වූ තත්වය වෙත ලංකාව ගමන් කිරීම හුදෙක් කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇත.

 

තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කිරීම හුදෙකලා සිදුවීමක් නොවේ. ලංකා විදුලි බල මණ්ඩලය කැබැලි හතරකට වෙන් කොට, ‘ස්වාධීන’ ලෙස උනුන් සමග තරග කරන ආයතන බවට ඒවා පත් කිරීම සදහා වූ යෝජනා දැනටමත් ඉදිරිපත් වී තිබේ. 2002 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ ‘ශ්‍රී ලංකාව යලි අත්පත් කරගැනීම’ (regaining sri lanka) වැඩසටහන යටතේ විදුලි බල මණ්ඩලය අරභයා මේ හා සමාන යෝජනාවක් ඉදිරිපත් විය. එහි අදහස වූයේ විදුලි බල සැපයුම සම්බන්ධව විදුලි බල මණ්ඩලයට තිබෙන ඒකාධිකාර අයිතිය අහෝසි කොට, විදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලික අංශය වෙත විවෘත කිරීමය.

 

පෞද්ගලිකකරණ පුරාණය

 

මේ පෙලගැසීම් විසින් අපට ලබා දෙන සංඥාව කුමක්ද? ඒ මහා පරිමාණ පෞද්ගලිකකරණ පෙරහැරක් වෙත ලංකාව අවතීර්ණය වී සිටින බවයි. ලංකාවේ පෞද්ගලිකකරණය සම්බන්ධ ඉතිහාසය 1978 වර්ෂය දක්වා දිව යයි. එකල ලංකාව සතුව විවිධ රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් විය. මෙම ව්‍යවසායන් අතර වාණිජ පදනමක් මත ක්‍රියාත්මක වූ ආයතන ගණනාවක් ද විය. සුබසාධන පදනමක් සහිත සේවා පවත්වාගෙන යාමට අදාල ආර්ථික අතිරික්තය වාණිජ පදනමක් මත ක්‍රියාත්මක වූ සංස්ථාවලින් ලබා ගැනීම එකල පැවැති අරමුණකි.

 

1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන පාලන සමය තුල රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණයට වඩා අවධානය යොමු වූයේ එතෙක් රජයේ අධිකාරිය යටතේ වූ ක්ෂේත්‍ර පෞද්ගලිකකරණයට ලක්කරමින්, එම ක්ෂේත්‍රවලට ඇතුලු වීමට පෞද්ගලික සමාගම්වලට අවසරය දීමය. මෙය ලංකාවේ පෞද්ගලිකකරණ ක්‍රියාවලියේ පලමු අදියර ලෙස නම් කල හැක. වෙලඳාම ලිහිල්කරණය ආදී ප්‍රතිපත්ති ප්‍රමුඛ ලෙසට ගත් ජයවර්ධන රජය ව්‍යවසාය පෞද්ගලිකකරණය දෙස බර තැබුවේ සාපේක්ෂව අවම වශයෙනි.

 

1980 ගණන්වල අගභාගයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ සම්මත කල පනත් දෙකක් මගින් එතෙක් වූ රාජ්‍ය ව්‍යවසායන්ගේ කොටස් විවෘත වෙලඳපොලේ මිල දී ගැනීම හරහා ඒවාවල අයිතිය තමුන් සතු කරගැනීමට පෞද්ගලික අංශයට අවසරය හිමි විය. මෙය ලංකාවේ පෞද්ගලිකකරණයේ දෙවන ප්‍රවාහය ලෙස නම් කල හැක. මෙකල ජනතා විරෝධය අවම කිරීම සඳහා මෙම ක්‍රියාවලිය හඳුන්වන ලද්දේ ‘ජනතාකරණය’ නමිනි.

 

මෙලෙස පෞද්ගලිකකරණය කල බොහෝ ආයතන ආණ්ඩුව සමග හිතවත්කම් පැවැත්වූ ව්‍යාපාරිකයන් විසින් කුනු කොල්ලයට මිල දී ගනු ලැබිණ. වර්තමානය වන විට ප්‍රමුඛ පෙලේ ධනපතියෙක් ලෙසට සැලකෙන හැරී ජයවර්ධන විසින් මත්පැන් නිෂ්පාදනය සම්බන්ධව ක්‍රියාකල රාජ්‍ය ස්කාගාර සංස්ථාව මිල දී ගැනීම මේ සම්බන්ධ කැපී පෙනෙන උදාහරණයකි. රජයට අයත් වත්කම් යනු පොදු සමාජයට අයත් වත්කම්ය. හැරී ජයවර්ධන බඳු පරපුටු ව්‍යාපාරිකයන් ධනවත් කිරීමෙහිලා පොදු සම්පත් පෞද්ගලික පුද්ගලයන්ගේ අයිතිය වෙත පැවැරීම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලේය.

 

ලංකාව තුල පෞද්ගලිකකරණයේ තෙවන ප්‍රවාහය ඇති වූයේ 1994 දී බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේය. 1996 දී ස්ථාපිත කල පොදු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ සුවිශාල පෞද්ගලිකකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිඵල ලෙස රාජ්‍ය ව්‍යවසායන් 98 ක් පෞද්ගලිකකරණය කෙරුණි. පලමු වතාවට, මහජන උපයෝගීතා සේවා ලෙස සැලකිය හැකි විදුලි සංදේශ ක්ෂේත්‍රය හා ගෑස් සැපයුම පෞද්ගලිකකරණය කෙරුණි. ඉක්බිති 2002 දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙම පෞද්ගලිකකරණ ක්‍රියාවලිය සමස්ත ආර්ථිකය නව ලිබරල් දර්ශක අනුව මහා පරිමාණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සමග බද්ධ කලේය. ඔහු විසින් කල පෞද්ගලිකකරණ ප්‍රයත්නයන් දෙකක් ; එනම් ඛණිජ තෙල් සංස්ථාවට අනුබද්ධව පැවැති මැරයින් සර්විසස් ලංකා ආයතනය ජෝන් කීල්ස් සමාගමට පැවරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කිරීම නීති විරෝධී බවට පසුකාලීනව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නේ පොදු යහපත පිණිස රජයට තිබෙන බැඳියාව උල්ලංඝණය කල බවට වූ පදනම මතය.

 

අර්බුදය ‘අවස්ථාවක්’ කරගැනීම

 

වර්තමාන ආර්ථික අර්බුදය සමග අප දකින්නේ මහා පරිමාණ පෞද්ගලිකකරණයේ අලුත්ම රැල්ල බව කිව හැක. පවතින ආර්ථික අර්බුදය පොදු සම්පත් පෞද්ගලිකකරණය කිරීම සදහා ‘අවස්ථාවක්’ බවට පත්කරගැනීමට කටයුතු යෙදමින් තිබෙන බව පැහැදිලිය. මෙවර ඉලක්කය වී තිබෙන්නේ ඉතිරිව තිබෙන රාජ්‍ය ව්‍යවසායන් කීපයයි. කලින් උපාය මාර්ගික හේතු නිසා අත නොතැබූ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ඒ අතර ඉදිරියෙන්ම සිටී.

 

මහජන උපයෝගීතා සේවාවන් රාජ්‍යය විසින් සේවාවක් ලෙසට පවත්වා ගෙන යා යුතු බවට වූ අදහස ආර්ථික සංවිධානය පිලිබඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහසකි. ගෝලීය දකුණේ රටවල් සම්බන්ධව ගත්කල, ඊට සංවර්ධනාභිමුඛ මානයක් ද පැවැතිණ. නිදසුනක් ලෙස, 1961 දී බහුජාතික සමාගම් කීපයක් අත වූ මෙරට තෙල් වෙලඳාම රජයට පවරා ගත්තේ ලාභ ලෙස පිටරට ඇදී යන අති විශාල ධනය රට තුල රඳවා ගෙන, රටේ ආර්ථික සංවර්ධන කටයුතු වෙත යොමු කිරීමේ අදහස ඇතිවය. තෙල්, විදුලිය බඳු බලශක්ති ක්ෂේත්‍රයට අදාල සේවාවන් සමස්ත ආර්ථිකය කෙරෙහි බලපායි. කර්මාන්ත, ගොවිතැන ආදී වූ ආර්ථික ක්‍රියාකාරකම් සමුදායක් කෙරෙහි මෙකී සේවාවන් බලපායි. මෙම සේවාවල මිල වැඩි වීම ආර්ථික පර්යාය පුරාවට කම්පන තරංග යැවීමෙහිලා සමර්ථය.

 

මේ නිසා මෙම සේවාවල මිල නියම කිරීමේ දී හුදෙක් ලාභ අරමුණට පමණක් ලඝු නොවී, යම් සුබසාධනමය මානයක් ද මිල නියම කිරීමේ දී සැලකිල්ලට ගත යුතු බවට අදහස පැන නගින්නේ දරාගත නොහෙන අගයක මෙම සේවාවල මිල තැබුවහොත්, අති විශාල ජනතාවකගේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එය නිශේධනීය ලෙස බලපෑ හැකි බැවිනි. බලශක්ති සේවාවල මිල ‘වෙලඳපොල මිල පිලිබිඹු’ වන ලෙසට නිර්ණය කල යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා දක්ෂිණාංශික ආර්ථික විද්‍යාඥයන් ලබා දෙන උපදෙස මේ වනවිට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින අතර ; මෙහි ප්‍රතිඵල ලෙස අති විශාල ජනගහණයක ජීවන මට්ටම බරපතල ලෙස පහත වැටෙන ආකාරය අපට ඉදිරියේ දී දැක බලා ගත හැකි වනු ඇත. කර්මාන්ත බිඳ වැටීම නිසා රැකියා නැතිවීම, ගොවීන්ට හා ධීවරයන්ට ඉන්ධන මිල දී ගත නොහැකිව ඔවුන්ගේ ජීවනෝපාය බිඳ වැටීම ආදිය හුදෙක් සමාජ සාධාරණත්වය පිලිබඳ ප්‍රශ්න පමණක් නොවේ. ආර්ථික සංවර්ධනයේ මානයෙන් ද මෙම ප්‍රශ්න වැදගත්ය.

 

බලශක්ති කර්මාන්තය නිසි ලෙස හසුරුවන්නේ නම් දැවැන්ත ලෙස ලාභ ඉපැයිය හැකි ක්ෂේත්‍රයකි. ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය ආදී ආයතනවල වත්කම් දෙස ඇස ගසා ගෙන සිටින අය බොහොමයකි ; බහුජාතික සමාගම්වල සිට දේශීය තැරැව්කාර ධනපතීන් දක්වා බොහෝ අය මෙම ලැයිස්තුවේ සිටිති. වර්තමානයේ මෙම ව්‍යවසායන් ඇද වැටී තිබෙන ශෝකජනක ඉරණම දශක ගණනාවක් තිස්සේ සිදුවූ දුබල කලමණාකාරීත්වයේ සහ දේශපාලන ප්‍රභූ-නිලධාරී තන්ත්‍රය දූෂිත ලෙස මෙම ආයතන සිය වාසිය සඳහා පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයකි.

 

මෙම අසමත්වීම නිදහසට කරුණු ලෙස දක්වමින්, ශ්‍රී ලංකාවේ සුබසාධක රාජ්‍යයේ ශේෂ වී පවත්නා ආයතන හා සේවාවන්ට එරෙහිව දියත් වන බරපතල ප්‍රහාරයකි අප මේ අත් දකිමින් සිටින්නේ. මෙය සුබසාධන රාජ්‍ය ආකෘතිය තුල මෙරට ජනතාව අත්පත් කරගත් යම් සමාජ අයිතිවාසිකමක් හෝ වේ නම්, ඒවා අහෝසි කිරීම සඳහා ප්‍රාග්ධනය විසින් දියත් කොට තිබෙන ප්‍රතිවිප්ලවයකි. ජනතා අවශ්‍යතා සඳහා ඇතිකල ආයතන ස්වල්ප දෙනෙක්ගේ ආර්ථික ලාභය සඳහා විකුණා දැමීමකි.

 

ශ්‍රීලනිප ගමනක අවසානය

 

මෙම සටහන අවසන් කිරීමට පෙර සඳහන් කල යුතු උත්ප්‍රාසාත්මක කරුණක් ද ඇත. 1961 දී තෙල් සංස්ථාව ඇති කිරීමට සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ගත් තීන්දුව මෙරට දේශපාලන ඉතිහාසය තුල ගනු ලැබූ විශිෂ්ටතම තීරණයක් ලෙස සැලකිය හැක. රට තුල වූ විදේශ සමාගම් ජනසතු නොකරන ලෙසට එකල එම ආණ්ඩුවට බටහිර රටවලින් තදබල බලපෑමක් එල්ල වූ අතර, මෙම තීරණයේ ප්‍රතිඵල ලෙසට ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර අත්හිටුවීමට පවා එක්සත් ජනපදය කටයුතු කලේය. ගෝලීය බලවතුන් වෙතින් එල්ල වූ මෙම බලවත් පීඩනය අබියස යටත් නොවී තෙල් ජනසතු කිරීමට ගත් තීන්දුව පශ්චාත් යටත් විජිත රටක් ස්වාධීන සංවර්ධනයක් ඇති කරගැන්මට කල උත්සාහයක පෞරුෂමත් පිලිබිඹුවකි. 1960 ගණන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකල වාමාංශික පක්ෂ විසින් යම් අධිරාජ්‍ය විරෝධී නැඹුරුවක් සහිත පක්ෂයක් ලෙස සලකන ලද්දේ මෙබඳු ක්‍රියාමාර්ගවලට අත ගැසීමේ යොමුවක් එය විසින් පෙන්වූ බැවිනි.

 

දෛවයේ සරදම නම්, එම පක්ෂයේ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් අද එම තීරණය ඉතිහාසයේ ගත් සාවද්‍ය තීන්දුවක් ලෙස හෙලා දැකීමය. අනෙක් අතට, ශ්‍රීලනිප ආණ්ඩුවක් ඉතිහාසයේ ගත් රැඩිකල්ම තීන්දුව දෝෂසහගත එකක් බව අද ප්‍රකාශ කරන්නේ, ශ්‍රීලනිපය අවශ්‍ය පමණට රැඩිකල් නොවූ නිසා 1971 දී එම පක්ෂ-ආණ්ඩුවකට එරෙහි කැරැල්ලකට නායකත්වය දුන් මහින්ද විජේසේකරගේ පුත්‍රයා වීම ඊටත් වඩා ඉරණම්සහගත සිදුවීමකි.

 

සටහන – රමිඳු පෙරේරා 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *