අනාගත කොමියුනිස්ට් සමාජයක් තුල පෞද්ගලික දේපොල අහෝසි කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ 1979 දී සම්මත කරගත් වැඩපිලිවෙලේ තිබුණු අංගයක් උපුටා ගෙන මේ දවස්වල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු බොහෝ දෙනා වැදි නැටුමක් නටමින් සිටිනවා. අසංග වැලිකල කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයාගේ සිට ආර්ථික විද්‍යාඥ හර්ෂ ඩි සිල්වා දක්වා නොයෙක් ආකාරයේ බුද්ධිමතුන් මේ ඕයේ ඔජායේ නැටුමට මේ වෙනකොට එකතු වෙලා. ප්‍රාදේශීයව තිබෙන රැස්වීම් අමතමින්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලය ගතහොත් ගම් වැසියන්ට ඔවුන්ගේ ඉඩ කඩම්, ගේ දොර, හරකා බාන ආණ්ඩුවට බාර දෙන්නට වේ යැයි සජිත් ප්‍රේමදාස මහතා භීතිය පතුරුවන්න පටන් ගෙන. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව තුල පෞද්ගලික දේපොල අහෝසි කිරීම ගැන කිසිදු සඳහනක් නැහැ. එහෙම තත්වයක් තුල, මේ ඕයේ ඔජායේ නැටුම නටන්නේ වැඩි දේශපාලන අදහසක් නැති පිරිස් අතර ජාතික ජන බලවේගය ගැන බිල්ලෙක් මවන්ට බව පැහැදිලියි.
කොහොම කොහොම හරි, පෞද්ගලික දේපොල ගැන මෙහෙම සංවාදයක් ඇති වෙලා තියෙන වෙලාවේ, ‘පෞද්ගලික දේපොල අහෝසි කිරීම’ කියලා සම්භාව්‍ය මාක්ස්වාදී සාහිත්‍යයේ එන අදහස මොකක්ද කියන එක නිරවුල්ව සටහන් කල යුතුව තිබෙන බව අපි සිතනවා. මොකද පෞද්ගලික දේපොල නම් වූ ශුද්ධ වස්තුව වටා සජිත් ප්‍රේමදාසගේ සිට ධනනාත් ප්‍රනාන්දු දක්වා අය නටන වැදි නැටුම දිහා බැලුවහම, පෞද්ගලික දේපොල කියන්නෙ විවේචනයට පාත්‍ර නොවිය යුතු පාරිශුද්ධ යමක් වගේ අදහසක් ගම්‍ය වන නිසා. අනාගත කොමියුනිස්ට් සමාජයක් තුල, පෞද්ගලික දේපොල අහෝසි වන බව සාමාන්‍යයෙන් මාක්ස්වාදය පිලිගන්න වාමාංශික පක්ෂ පොදුවේ පිලිගත් අදහසක්. මේ අදහස ඇති වූයේ ඇයි? ඊට හේතු සාධක වූ කරුණු කාරණා මොනවාද?
මේ සාකච්ඡාව ඉස්සරහට කරගෙන යන්න කලින්, අප විසින් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ‘පෞද්ගලික දේපොල’ කීවහම, අපිට සාමාන්‍ය පොදු ජන වහර තුල මතක් වෙන්නෙ අපිට තියෙන ගෙදර, ඉඩම, ලැප් ටොප් එක, කුස්සියේ තිබෙන ගෑස් ලිප වගේ දේවල්. නමුත් ‘පෞද්ගලික දේපොල’ යන්නට මාක්ස්වාදී කතිකාව තුල නිශ්චිත තේරුමක් තිබෙනවා.
මේක නිරවුල් කරගන්න මාක්ස්ගෙන්ම උපුටමු :
‘…කොමියුනිස්ට්වාදයේ අනන්‍ය ලක්ෂණය පොදුවේ ගත්කල දේපොල අහෝසි කිරීම නොව, ධනපති දේපොල අහෝසි කිරීමය. නූතන ධනපති පෞද්ගලික දේපොල යනු නිෂ්පාදිතයන් නිෂ්පාදනය කිරීම හා අත්පත් කරගැනීම සම්බන්ධ වූ ක්‍රමයක වඩාත්ම පරිපූර්ණ ප්‍රකාශනය වන අතර, පන්ති පසමිතුරුතාවය මත පදනම් වූ මෙම ක්‍රමය, කීප දෙනෙක් විසින් බහුතරයක් සූරාකෑම මත පදනම් වූ එකකි. මේ අරුතින් ගත්කල, කොමියුනිස්ට්වාදයේ න්‍යාය තනි වාක්‍යයකින් මෙලෙස සාරාංශගත කල හැක : ‘පෞද්ගලික දේපොල අහෝසි කිරීම’. (කොමියුනිස්ට් ප්‍රකාශනය, 1848)
ඉහත උද්ධෘතය පැහැදිලි කරන ලෙස, පෞද්ගලික දේපොල කියලා මාක්ස්වාදයේ අදහස් කරන්නේ ‘ධනපති දේපොල’. මාක්ස්වාදය තුල private property (පෞද්ගලික දේපොල) සහ personal property (තනි පුද්ගල දේපොල) අතර වෙනසක් සලකුණු කෙරෙනවා. අප දෛනිකව පරිභෝජනය කරන පාරිභෝගික භාණ්ඩ – දත් මදින දත් බුරුසුව, වොෂිං මෙෂින් යන්ත්‍රය, ත්‍රී පීස් කැසට් ධාවකය, යතුරු පැදිය හෝ ගෙදර තිබෙන අල්මාරිය අයිති වන්නේ තනි පුද්ගල දේපොල ගණයට. පෞද්ගලික දේපොල කියල අදහස් කරන්නෙ පෞද්ගලික පරිභෝජනය සඳහා වූ එබඳු භාණ්ඩ නෙමෙයි – නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන, ඉඩකඩම්, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්ත ශාලා, පතල් ආදී වූ නිෂ්පාදනීය සම්පත්. මේවාට ‘නිෂ්පාදන මාධ්‍ය’ කියලා කියනවා.
පෞද්ගලික දේපොල අහෝසි කල යුතු බවට මුල්කාලීන මාක්ස්වාදීන් කියන කොට, ඉන් අදහස් කලේ කම්කරුවන් සතුව තිබෙන දත් බුරුසුව ආණ්ඩුවට පවරා ගැනීම නෙමෙයි, ධනපතීන් කීප දෙනෙක් අත වූ මහා පරිමාණ නිෂ්පාදන මාධ්‍යවල අයිතිය සමාජය සන්තක කිරීම. කොටින්ම කියනවා නම්, පෞද්ගලික දේපොල අහෝසි කල යුතු බව මුල්කාලීන මාක්ස්වාදීන් කියන කොට, ගම්වල සුලු ගොවීන්, හස්ත කර්මාන්ත ශිල්පීන්, නගරවල සුලු වෙලෙන්දන් ආදී පිරිස් සතුව පැවැති සුලු නිෂ්පාදනය ජනසතු කල යුතු බවට හෝ ඔවුන් අදහස් කලේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ මහා පරිමාණ නිෂ්පාදන මාධ්‍ය – එනම් විශාල ධන කුවේරයන්, ඉඩම් හිමියන් ස්වල්පයක් අත වූ මහා පරිමාණ පෞද්ගලික දේපොල සමාජ සන්තක කල යුතු බව. එහෙම නැතිව, යම්තම් ව්‍යාපාරයක් අටවා ගත්ත සුලු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක්ගේ පෞද්ගලික දේපොල සමාජ සන්තක කල යුතු බවට ඉන් අදහස් වූයේ නැහැ. නිදසුන් ලෙස, නිෂ්පාදන මාධ්‍ය ජනසතු කලහොත්, සුලු පරිමාණ නිෂ්පාදකයන්ට මොකද වෙන්නෙ කියලා අහපු ප්‍රශ්නයකට මාක්ස් ඒ කාලයේ දුන්න පිලිතුර මෙයාකාරයි :
‘…මිනිසාගේ ශ්‍රමයේ ප්‍රතිඵල ලෙස පෞද්ගලිකව දේපොල අත්පත් කරගැනීමට තිබෙන අයිතිය අහෝසි කිරීමට කොමියුනිස්ට්වාදීන් කටයුතු කරන බවට චෝදනා එල්ල වේ. මෙම දේපොල සියලුම අකාරයේ පෞද්ගලික නිදහසේ, ක්‍රියාකාරීත්වයේ හා ස්වාධීනත්වයේ තිඹිරි ගෙය යැයි පවසනු ලැබේ.
අමාරුවෙන් උපයා ගත්, ස්වයංව සාක්ෂාත් කරගනු ලැබූ, ස්වොත්සාහයෙන් උපයා ගත් දේපොල! ඔබ මින් අදහස් කරන්නේ ධනපති දේපොලට පූර්වයෙන් පැවැති සුලු පරිමාණ හස්ත කර්මාන්ත ශිල්පියාගේ හෝ කුඩා ගොවියාගේ දේපොලද? ඒවා අහෝසි කිරීමේ අමුතු අවශ්‍යතාවයක් නැත ; කර්මාන්තයේ සංවර්ධනය විසින් විශාල පරිමාණයකින් ඒවා දැනටමත් විනාශ කොට ඇති අතර, දිනපතා ඒවා විනාශමුඛයට යැවෙමින් පවතී. (කොමියුනිස්ට් ප්‍රකාශනය, 1848)
‘පෞද්ගලික දේපොල ජනසතු කිරීම’ යනුවෙන් මාකස්වාදී සාහිත්‍යය තුල අදහස් වූයේ මහා පරිමාණ නිෂ්පාදන මාධ්‍යවල අයිතිය සමාජ සන්තක කිරීම බව මේ අනුව පැහැදිලි විය යුතුයි.
නිෂ්පාදන මාධ්‍යයන්ගේ මහා පරිමාණ පෞද්ගලික අයිතිය අහෝසි කල යුතු බවට මාක්ස්වාදීන් අදහස් කලේ ඇයි?
මේ සඳහා බලපාන හේතු දෙකක් තිබෙනවා.
පලමුව, නිෂ්පාදනීය සම්පත් පෞද්ගලිකව අයිති කරගැනීමේ ක්‍රමයක් තිබෙන කොට, එබඳු සමාජයක බලවත් ඇති නැති පරතරයක් ඇති වීම වැලැක්විය නොහැකියි. නූතන සමාජවල නිෂ්පාදනය සමාජයීයයි – ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි, සාමූහික ශ්‍රමයක් නිසා තමයි නූතන සමාජවල නිෂ්පාදනය දුවන්නේ. අපි උදාහරණයක් විධිහට ඉතාම මොඩර්න් ධනපති ව්‍යවසායක් ලෙස සැලකිය හැකි Amazon සමාගම සලකමු. අනෙකුත් වැඩ අතර, පොත් පත් නිෂ්පාදනය හා අලෙවිය මේ සමාගම විසින් සිදු කරනවා. මෙම පොත් පත් නිෂ්පාදන ක්‍රියාවලිය තුල අති විශාල ශ්‍රමික පිරිසකගේ දායකත්වය අන්තර්ගතයි – කඩදාසි සඳහා අදාල ගස් හදන අය, පොත් ලියන කර්තෘවරුන්, මුද්‍රණ කටයුතු, පොත් බැඳීම, බෙදාහැරීම ආදී කටයුතු වල නියුක්ත ශ්‍රමිකයන්. මේ පිරිස් මෙහෙම මහන්සි වෙන කොට, අදාල සමාගමේ අයිතිකාරයා වන ජෙෆ් බෙසොස් මොකද කරන්නෙ? ඔහු කරන දෙය වන ව්‍යවසායකත්ව ශ්‍රමය ශ්‍රමයේ එක් ආකාරයක් තමයි. හැබැයි ඔහු උපයන ආදායම මෙම ක්‍රියාවලිය තුල සේවා නියුක්ත අනෙක් අය උපයන ආදායමට වඩා දහස් ගුණයකින් ඉහලයි.
නිදසුන් ලෙස, 2018 වාර්තා දක්වන විධිහට, Amazon සමාගමේ සාමාන්‍ය ශ්‍රමිකයෙක් වසරකට උපයන සාමාන්‍ය ආදායම ඉපැයීමට ජෙෆ් බෙසොෆ්ට ගත වෙන්නේ තත්පර නමයයි. නිෂ්පාදනය කියන්නේ දහස් ගණනක ශ්‍රමය අන්තර්ගත සංකීර්ණ සමාජයීය ක්‍රියාවලියක්. හැබැයි නිෂ්පාදන මාධ්‍යයේ අයිතිය තනි පුද්ගලයෙක් සතුව තිබෙන නිසා, එම සාමූහික ශ්‍රමයේ ප්‍රතිලාභය මේ තනි පුද්ගලයා අත සංකේන්ද්‍රණය වෙනවා. නිෂ්පාදනය සමාජයීය වන නමුත්, අයිතිකාරීත්වය පෞද්ගලික නිසා නිෂ්පාදකයා හා අයිතිකාරයා අතර දැවැන්ත වෙනසක් නිර්මාණය වෙනවා. Amazon සමාගමේ සාමාන්‍ය ශ්‍රමිකයා සාමාන්‍ය ආදායමක් සහිතව, ජීවිතය ගැට ගහගන්න උත්සාහ කරන කොට, අයිතිකාරයා ලෝකයේ ධනවත්ම පුද්ගලයෙක් ලෙස සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා, ඒ සම්බන්ධව පම්පෝරි ද ගසනවා.
දෙවනුව, නිෂ්පාදනීය සම්පත් පෞද්ගලිකව අයිති කරගැනීම ආර්ථිකයක සමස්ත ඵලදායීතාව කෙරෙහි අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. උදාහරණ ලෙස, එංගලන්තයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂය 2017 වසරේ දී ‘නිෂ්පාදන හිමිකාරීත්වයේ විකල්ප ප්‍රභේද’ යන මැයෙන් වාර්තාවක් එලි දැක්වූවා. මේ වාර්තාව තුල ඔවුන් කදිම ලෙස පෙන්වා දෙනවා, ආර්ථිකය තුල පෞද්ගලික දේපොල අධිකතර වීම නිසා ආර්ථිකයට සිදුවී තිබෙන හානිය. පෞද්ගලික දේපොල හිමිකාරීත්වය යටතේ සලකා බැලෙන්නේ කෙටිකාලීන ලාභය පමණයි. කෙටිකාලීන ලාභය සඳහා අනුචිත විය හැකි වුවත්, දිගුකාලීන ඵලදායීත්වය සඳහා අවශ්‍ය ආයෝජන සිදු කිරීම සඳහා එබඳු තත්වයක් යටතේ සානුබල සැපයීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලාභ ශ්‍රමය තුලින් ලාභ ලැබිය හැකි තත්වයක් පවතී නම්, විද්‍යාව හා තාක්ෂණය මත ආයෝජනය කරමින්, නවෝත්පාදනය හරහා ඵලදායීතාවය වර්ධනය කිරීම සඳහා යොමුවක් පවතින්නේ නැහැ.
මේකට හොඳම උදාහරණයක් තමයි ලංකාවේ තේ වතු ක්ෂේත්‍රය. තේ වතු ක්ෂේත්‍රය යාන්ත්‍රිකකරණයට (mechanization) ලක්ව තිබෙන්නේ ඉතාම අඩු වශයෙන්. වතු හිමියන්ගේ අවධානය තිබෙන්නේ කෙටි කාලය තුල ඔවුන්ට ලැබෙන ලාභය සම්බන්ධව මිස ; වතු වගාව වසර දහයක හෝ විස්සක අනාගතය තුල අත්පත් කරගත යුතු ස්වභාවය සම්බන්ධ දර්ශනයක් මත නොවේ. මේ හින්දා තාක්ෂණය හා විද්‍යාව වගේ දේවලට යොදලා තිබෙන අවධානය ඉතාම සීමිතයි, දෛනික ලාභය ගැන තමා වැඩිදුර අවධානය යොමුව තිබෙන්නේ. පෞද්ගලික ප්‍රාග්ධනයේ අකාර්යක්ෂමතාවයට අනෙක් උදාහරණය තමයි ලංකාව තුල සේවා හා මූල්‍ය අංශවල කටයුතු අධිනිශ්චය වෙලා, සැබෑ වටිනාකම් උත්පාදනය කිරීමේ ආර්ථිකය දුර්වල වීම. පෞද්ගලික ප්‍රාග්ධනය සොයන්නේ කෙටිකාලීන පහසු ලාභය පමණක් වන නිසා, ණය දීම, මූල්‍ය සේවා ආදී වූ ක්ෂණික ලාභ ලැබෙන – එහෙත් සැබෑ වටිනාකම් නිර්මාණය නොවෙන අංශවලට ආයෝජනය කිරීම ලාභදායී නවෝත්පාදනය අවශ්‍ය වෙන, දිගුකාලීන නිෂ්පාදජනක අංශවලට ප්‍රාග්ධනය යොමු කරනවාට සාපේක්ෂව. හැබැයි මේ විධිහට සැබෑ වටිනාකම් නිර්මාණය කෙරෙන ආර්ථිකය වෙනුවට, මූල්‍ය හා සේවා අංශ අසමානුපාතික විධිහට වර්ධනය වීම සමාජයේ පොදු යහපත පැත්තෙන් ගත්තහම ප්‍රශ්නකාරීයි.
අවසන් වශයෙන් තවත් එක් උදාහරණයක් සලකුණු කරමු. ලංකාවේ ආනයන-අපනයන වෙලඳාමේ නියුක්ත මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමුන් උපයන විදේශ විනිමය ලංකාවට ගෙන එන්නේ නැතිව විදේශවල අක්වෙරළ සමාගම්වල දැවැන්ත පරිමාණයෙන් තැන්පත් කරන බවට පහුගිය කාලයේ අනාවරණය වූවා. විදේශ විනිමය හිගකම නිසා ඇති වූ ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාව මේ වෙනකොට ඉන්නේ බොහොම අමාරු තත්වයක. රට බංකොලොත් වෙලා, කර කියා ගත නොහැකි තත්වයකට පත්වෙලා. අපනයන කර්මාන්තවලට රජය විශාල වශයෙන් පහසුකම් ලබා දෙනවා, විදුලිය, යටිතල පහසුකම් ආදිය සහන මිලට සපයනවා. මේ සියල්ලල භාවිතා කොට උපයන ලාභය අපනයනකරුවන් ලංකාවට ගෙන එන්නෙ නැහැ. මොකද ඔවුන්ගේ හැසිරීම තීරණය වන්නේ කෙටිකාලීන ලාභ අලාභ ගණනය මත. ඒ දෘෂ්ටියෙන් බැලුවහම, මේ වෙලාවේ විදේශ මුදල් ලංකාවට ගෙන එන එක ඔවුන්ට පාඩුයි. හැබැයි සමස්ත රටේ යහපැවැත්ම දෘෂ්ටියෙන් බැලුවහම, රට විසින් සහන දී ඉපයූ එම ආදායම නැවත රටට ලැබීම බෙහෙවින් තීරණාත්මකයි. අපනයන අංශය තුල පෞද්ගලික දේපොල අධිකතර වීම නිසා, පොදු යහපත වෙනුවට කෙටිකාලීන පෞද්ගලික ලාභයට තමයි මේ විධිහට මුල් තැන ලැබී තිබෙන්නේ. ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තුල චීනයේ මෙන් රජයට අයත් ව්‍යාවසායක් වී නම්, ඩොලර් හිගකමක් තිබෙන වෙලාවක ආත්මාර්ථකාමී ලෙස ඩොලර් විදේශවල හංගනු වෙනුවට, එය යලි රට තුලට ගෙන ඒමට තිබෙන සම්භවාවිතාවය ඉහලයි.
මෙහෙම බලන කොට, සමාජ සාධාරණත්වය අතින් වගේ ආර්ථික ඵලදායීතාවය අතින් ගත්තමත්, පෞද්ගලික දේපොල ක්‍රමයේ සුජාතභාවය ප්‍රශ්න කල හැකි පදනම් තිබෙන බව දැකගත හැකියි. රටක මහා පරිමාණ නිෂ්පාදන මාධ්‍ය පුද්ගලයන් කීප දෙනෙක්ගේ බූදලයක් උනහම, ඒ රටේ ආර්ථික ජීවිතය හැසිරවීමේ බලය ඔවුන් කීප දෙනාට ලැබෙනවා. හරියට, සහල් මිල දී ගැනීමේ කතිපයාධිකාරිය හිමි ඩඩ්ලි සිරිසේන ඇතුලු ධනවතුන් කීප දෙනෙක් සමස්ත ජනතාවකගේ ආහාර වේල කවරක්දැ’යි තීරණය කරන අයුරින්. ලංකාව වගේ ‘ගොඩේ’ රටවල පමණක් නෙමෙයි, ඇමරිකාව වගේ ‘පොෂ්’ රටවල පවා බලශක්ති ක්ෂේත්‍රය, ඖෂධ ක්ෂේත්‍රය, බැංකු හා ඉන්ෂුවරන්ස් කෂේත්‍රය වගේ ඒවා දිහා බැලුවහම – කීප දෙනෙක්ගේ අයිතිය සහිත සංගත විසින් මේවා මෙහෙයවෙන ආකාරය අපිට දකින්න පුලුවන්. මෙන්න මේ ඒකාධිකාර තත්වය තුල තමයි, ‘පෞද්ගලික දේපොල’ ගැන කෙරෙන විවේචනය අපිට පැහැදිලි ලෙස අවබෝධ කරගත හැකි වන්නේ.
මේ නිසා,’පෞද්ගලික දේපොල’ කියන නම ඇහිච්ච ගමන්, වලං කඩේට පැන්න ගොනා වගේ දගර නැටුම් නොදා, පෞද්ගලික දේපොලවල සීමාව මොකක්ද කියන එක ගැන සාකච්ඡාවක් ගන්න එක තමයි අප විසින් කල යුතු. සජිත් ප්‍රේමදාස, අසංග වැලිකල ආදී වූ සුධීමතුන් මහත් හරසරෙන් පිලිගනු ලබන එංගලන්තය බඳු රකට පවා පෞද්ගලික දේපොල අධිකතර වීමේ ගැටලුව ගැන සාකච්ඡාව බරපතල ලෙස මතු වෙමින් පවතින මොහොතක, ජවිපෙ වැඩපිලිවෙල ගැන විහිලු කිරීම නොව, එම සීමාව කවරක් ද යන්න ගැන අර්ථාන්විත සංවාදයකට ඒමය මේ මොහොතේ අවශ්‍ය වී තිබෙන්නේ. එලැඹෙන ඊලග පැයේ දී පෞද්ගලික දේපොල සමාජ සන්තක කල යුතු බව අපි ද නොසිතමු. නිෂ්පාදනයේ සමාජයීය ස්වරූපයට අනුරූපීවම හිමිකාරීත්වයේ සමාජයීය ස්වරූපය තහවුරු වීම ඇතැම් විට දශක ගණනාවක් ගත විය හැකි පලල් සංක්‍රමණීය ක්‍රියා පිලිවෙතකි. එය එසේ වුව, පෞද්ගලික දේපොල ක්‍රමයේ ශුද්ධත්වය පිලිබඳ දෘෂ්ටිවාදය ප්‍රශ්න කිරීමෙන් අප වැලැකිය යුතු නොවේ.
Comments (0)