නව ලෝක ආර්ථිකයක්- නව නොබැඳි ව්‍යාපාරයක්! – යානිස් වරුෆකිස්

පළමු කොටස

 

2023 ජනවාරි මස ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ සම්මේලනය’ නමින් අන්තර්ජාතික සම්මේලනයක් කියුබාවේ හවානා නුවර පැවැත්විණ.  මීට විවිධ රටවල් නියෝජනය කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් සහභාගී වූහ. පහත පලවන්නේ එම සම්මේලනය අමතා, ග්‍රීසියේ හිටපු මුදල් ඇමති, යානිස් වරුෆාකිස් කල කථාවේ සිංහල පරිවර්තනයයි. ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය’ (New international economic order) යනු 1960 ගණන්වල නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් මතු කල සටන් පාඨයකි. අන්තර්ජාතික ආර්ථිකය ගෝලීය උතුරට වාසිදායක ලෙස ව්‍යුහගත වී තිබෙන බවට තර්ක කල අලුත නිදහස් වූ රටවල්, එහි පරිවර්තනයක් ඉල්ලා සිටියහ. 1974 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය’ සම්බන්ධ ප්‍රකාශනය සම්මත කලාය. කෙසේ වුවද, 1980 ගණන්වල මතු වූ නව ලිබරල් ගෝලීයකරණය අබියස මෙම ව්‍යායාමය පරාජය ලැබුවේය. ගෝලීය දකුණේ රටවලට සාධාරණයක් ඉෂ්ට වන ලෙසට ලෝක ආර්ථිකය වෙනස් විය යුතු බවට වූ සාකච්ඡාව පසුගිය කාලය තුල යලිත් අලුත් වටයකින් මතු වී තිබේ. හවානා නුවර පැවැති සමුලුව මෙම ව්‍යායාමයේ එක් වැදගත් අවස්ථාවකි.

යානිස් වරුෆාකිස් 2015 දී බලයට පත් වූ ග්‍රීසියේ වාමාංශික සිරීසා ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විය. යුරෝපීය බලවතුන් ආණ්ඩුව මත පැටවූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලට ආණ්ඩුව යටත් වීම විවේචනය කරමින් හේ ආණ්ඩුවෙන් ඉවත් විය. මේ වනවිට, ඔහු  MeRA25 නම් වූ සාර්ව-යුරෝපීය දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙයි. හේ ‘ප්‍රගතිශීලී ජාත්‍යන්තරය’ (progressive international) නම් අන්තර්ජාතිකයේ  සාමාජිකයෙක් ද වේ.

***

මිත්‍රවරුනි, සහෝදරවරුනි, ප්‍රගතිශීලී ජාත්‍යන්තරයේ නියෝජිතවරුනි,

පුදුම සහගත කරුණක් ලෙස පෙනී යා හැකි වුවත්, මේ මා කියුබාවට පැමිණි පලමු වතාවයි. දශක ගණනාවක් තිස්සේ කියුබාවට ඒම මා ප්‍රතික්ෂේප කලා, මොකද සංචාරකයෙක් විධිහට එන්න මට උවමනාවක් නොතිබූ නිසා. කියුබාව ඊට වඩා වැදගත්. කියුබාවට පැමිණීමේ ප්‍රීතිය අත් විදින්න, කියුබාවට, ඇමරිකානු මහාද්වීපයට, ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට හා කාලයක් තිස්සේ දුක් විදින මගේ රට වන ග්‍රීසියට ඇත්තටම යහපතක් කිරීමට අවශ්‍ය සහෝදරවරුන් සමග වැඩ කිරීමට, මට වයස හැට ගණනක් වෙනකම් බලා සිටින්ට සිදුවූවා. මොකක්ද මේ මොහොත? මේ තමයි දැනට පවතින සූරාකෑම මත පදනම් වූ, ඛේදජනක ලෙස සම්පත් ගසා කන්නා වූ අධිරාජ්‍යවාදී අන්තර්ජාතික ආර්ථික පර්යාය බිඳ දමමින්, ජනතාවට හා මිහිතලයට හුස්ම ගත හැකි, එකට ජීවත් වෙමින් සමෘද්ධිය අත් විඳිය හැකි නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් නිර්මාණය කල හැකි නව නොබැඳි ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙන මොහොත.

මගේ කථාව පටන් ගන්න පෙර, මේ රටට හා මේ රටේ නිර්භීත ජනතාවට මාගේ උපහාරය පුද කල යුතුව තිබේ. අපගේ පක්ෂය වන MeRA25 සංවිධානය මා හවානා නුවර වෙත ඒමට සූදානම් බවට පුවත්පත් නිවේදනයක් නිකුත් කල අවස්ථාවේ අසාමාන්‍ය ආකාරයේ ප්‍රතිචාරයක් ලැබුණා. කොමියුනිස්ට්-විරෝධීන්, රැඩිකල් මාධ්‍යමිකයන් හා තරුණ වියේ විප්ලවවාදී ජවය මේ වනවිට අහිමි කරගෙන සිටින ඇතැම් වාමාංශිකයන් ආදීන් මාව තදබල ලෙස විවේචනය කලා. මේ අයම තමයි අපේ රට පාලනය කරන බලගතු කතිපයාධිකාරයට විරෝධය පෑම නිසා මා ග්‍රීසිය ‘අනතුරේ’ හෙලන බවට මට චෝදනා කලේ. කෙසේ නමුත්, ඔවුන් කොතරම් උත්සාහ කලත්, ඔවුන් තුල පොදුවේ පවතින එක හැගීමක් ඔවුන්ට සගවා ගන්න බැහැ ; ඒ තමයි අකමැත්තෙන් වුණත්, කියුබානු ජනතාව කෙරෙහි පවතින ගරුත්වය.

වර්තමාන ඇතන්ස් නුවරට ගොස් පොඩ්ඩක් බලන්න. එය බොහොම ධනවත්, හවානා නුවරට වඩා ‘සංවර්ධිත’ පෙනුමින් යුක්ත නගරයක්. එහෙත් අපගේ ජනතාවගේ බහුතරය අස්වාමීකරණයට ලක්ව, ලැජ්ජාවට පත් කරනු ලැබ සිටින ජනතාවක්.  ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය විසාල මුසාවක් බවට සනාථ වී තිබෙනවා. ඇයි ඒ? 2015 ජූලි 5 වන දා ග්‍රීසියේ ජනතාව විප්ලවයකට බොහොම ආසන්න තැනකට ආවා ; අතිශය නිර්භීත සියයට 62 ක ජනතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, කොල්ලකාරී බැංකුකරුවන්ට, දේශීය කතිපයාධිකාරී පන්තියට එරෙහිව ‘නැහැ’ යැයි හඩ නගා කීවා. එහෙත් අවාසනාවකට වගේ, එදින රාත්‍රියේම, අපගේ ජනතාව ඔවුන්ගේ නායකත්වය විසින් පාවා දෙනු ලැබූ අතර, විප්ලවය පොඩිපට්ටම් වූවා. කෙසේ වුවත්, යටත් වීම හැර වෙනත් විකල්පයක් නැති බවට කල්පනා කල අය පවා කියුබානු ජනතාව දෙස බලන්නේ යම් ගරුත්වයක් සහිතව – එක්තරා විධිහකට ඊර්ශ්‍යා පරවශ හැගීමකින් යුක්තව. ඇයි ඒ? ඒ කියුබාවේ ජනතාව යටත් වී නොමැති නිසා!

 

ඇතන්ස් ප්‍රකාශනය : නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ නව නොබැඳි  ව්‍යාපාරයක ආරම්භය

ඇතන්ස් නුවර ගැන කථා කරන විට, 2022 මැයි 13 වන දා, අපගේ පක්ෂය සහ ප්‍රගතිශීලී ජාත්‍යන්තරය නියෝජනය කරමින් මා, ජෙරමි කෝබින් හා එසෙ ටෙමල්කුරාන් යන අය එකතුව ඇතන්ස් ප්‍රකාශනය එලි දැක්වූවා. පෙර නොවූ විරූ ආකාරයේ යුද උන්මාදයක පසුබිමක් තුල, අපි ඇතන්ස් ප්‍රකාශනය එලි දැක්වූවේ යුක්‍රේනයේ භයංකර යුද්ධයට ප්‍රතිචාරයක් විධිහට. නව නොබැඳි ව්‍යාපාරයක් සඳහා කල පලමු කැඳවුම තමයි මේ ප්‍රකාශනය. ඉන් උපුටා ගත් කොටස් කීපයක් කියවන්ට මට අවසර දෙන්න :

  • ආක්‍රමණයට, අවතැන් කිරීමට හා පහරදීමට ලක් වූ සියලු ජනතාව සමග අපි එක්ව සිටගනිමු.
  • සෑම ගැටුමක් සම්බන්ධයෙන්ම, ක්ෂණික සටන් විරාමයක් සඳහා කැඳවුම් කරන අපි, එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සාර්වත්‍රික සාමයක් ඇති කරගත යුතු බවට හා සියලු ආක්‍රමණික හමුදා ඉවත් විය යුතු බවට කියා සිටිමු.
  • මිලිටරිවාදය, අධි-නවීන ජන සංහාරක අවි සඳහා ආයෝජනය කරන, තරගකාරී බල හවුල් අතර ලෝකය බෙදාගැනීමට මෙන්ම නව සීතල යුද්ධයට ද අප එරෙහිය.
  • කල්පවතින සාමයක් ඇති කරගත හැක්කේ මිලිටරි බල හවුල් වෙනුවට, ආතතීන් සමනය කල හැකි ආකාරයට සියලු දෙනා ඇතුලත් කරගනු ලබන, අන්තර්ජාතික ආරක්ෂක පද්ධතියකටය. එබඳු පද්ධතියක් විසින් නිදහස පලල් කල යුතුය, දරිද්‍රතාවයට එරෙහිව සටන් කල යුතුය, සූරාකෑම සීමා කල යුතුය, සමාජ හා පාරිසරික යුක්තිය හඹා යා යුතුය, එක් රටක් විසින් තවත් රටක් මත ආධිපත්‍යය පැතිරවීම අවසන් කල යුතුය.
  • මෙම අදහස් සහිත මනසින් යුක්තව, චිරකාලීන සාමය හා ගෝලීය වශයෙන් පොදු වූ සමෘද්ධිය අත්පත් කරගනු උදෙසා නව නොබැඳි ව්‍යාපාරයක් ලෙස එක්සත් වන ලෙසට අපි සියලු ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ඉල්ලා සිටිමු.

මේක තමයි අපේ යෝජනාව ; මුල් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් නිර්මාණය කිරීම සඳහා කල අරගලයට වසර පනහකට පසුව, අප යලිත් එම මංසන්ධිය වෙත පැමිණ සිටිනවා. ඊයේ ඇතන්ස් නුවර, අද දවසේ හවානා නුවර අපි හමුවන්නේ ඒ අදහස සහිතව. වාසනාවකට, අලුතින් කථා ලිවීමක් අපට අවශ්‍ය නැහැ. 1979 ඔක්තොම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා ෆිදෙල් කී පහත වචන අපි මතක් කර ගනිමු : ‘අන්තර්ජාතික තලය මත අප දකින අවි ආයුධවලයයාම‍ෙ, තර්ජන ගර්ජනවල සහ අහංකාරකම්වල ඝෝෂාව නතර විය යුතුය’. ‘බෝම්බවලට සා ගිනි ජනයා, රෝගී ජනයා හා අකුරු නූගත් ජනයා මරා දැමිය හැක ; එහෙත් සාගින්න, රෝබිය හෝ නූගත්කම තුරන් කල නොහැක’. ‘අද දවසේ රජයන අන්තර්ජාතික මූල්‍ය ක්‍රමය බංකොලොත්භාවයට පත්ව තිබේ. එය වහාම විස්ථාපනය කල යුතුය’.

අප පටන් ගත් තැනටම ආපහු ඇවිත් තිබෙනවා යැයි විස්සෝප වීම අවශ්‍ය නැහැ. එකම කථා යලි කීමට සිදුවීම ගැන හෝ එකම සටන යලි කරන්ට සිදුවීම ගැන දුක් විය යුතු නැහැ. මතක තබාගන්න : සෑම පරම්පරාවක්ම, එකම සටන යලි සිදුකිරීමට ඉරණම් ලැබ සිටී! යලිත්, යලි යලිත්. සෑම විටෙකම පෙරට වඩා අවධානයෙන් යුක්තව. සෑම විටම, පූර්ව පරම්පරාව කල වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන.

මේ අනුව, නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් නිර්මාණය කිරීමේ අරමුණ මත නව නොබැඳි ව්‍යාපාරයක් යලි පටන් ගැනීම සම්බන්ධව කථා කරන විට, අප අපෙන් අසාගත යුතු ප්‍රශ්නය තමයි ; පසුගිය වතාවේ අපි පැරදුණේ ඇයි? 1980 හා 1990 ගණන්වල අප මුලුමනින්ම පරාජය වූයේ ඇයි? නව අධිරාජ්‍යවාදයේ උච්චතම ආකාරය වන මූල්‍යකරණය වූ ධනවාදී ගෝලීයකරණයේ උගුලට මුල් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය හසුවූයේ කොහොමද?

 

ගෝලීයකරණයේ හරය සහ නව අධිරාජ්‍යවාදයේ ජයග්‍රහණයට හේතුව

කෙටි පිලිතුර මේකයි ; ව්‍යවහාරයේ දී, තමුන් අපිට වඩා හොඳ ජාත්‍යන්තරවාදීන් බව ධනපතීන් ඔප්පු කලා. ගෝලීය පන්ති අරගලයේ ස්වභාවය ඔවුන් හොඳින් වටහා ගත්තා, ඒ අනුව ඔවුන් ජය ලැබුවා.

ඔවුන් අපට වඩා හොඳින් තේරුම් ගත්තේ මොකක්ද? අප අද අත්දකින, නව සාහසික අධිරාජ්‍යවාදය උපත ලබන්නේ 1971 දී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය බිඳ වැටීමත් සමග. ඇමරිකානු ඩොලරය තවදුරටත් ඇමරිකානු රත්‍රං බවට හැරවිය නොහැකි තැන ; නික්සන් විදෙස් ධනපතීන් හා ආණ්ඩුවලට දැනුම් දුන්නා ඩොලරය දැන් තොපේ ප්‍රශ්නය බව. නික්සන් හරි. ඇමරිකාවේ වෙලඳ ශේෂය අහස උසට වැඩි වෙන කොට, ගංවතුර ගලන්නා වාගේ ඩොලර් ලෝකය පුරා ගලන්ට පටන් ගත් විට, ඇමරිකාවෙන් පිටත මහ බැංකුවලට තම මුදල් ඒකකවල වටිනාකම ආරක්ෂා කරගැන්ම සඳහා රත්‍රං වෙනුවට ඩොලර් පාවිච්චි කිරීම හැර වෙනත් විකල්පයක් නැති වූවා. වෙලඳ හිගයක් තිබෙන රටක් වුණත්, වෙලඳ ශේෂ හිඟකමින් පෙලෙන අනිත් රටවල් වගේ නෙමෙයි ඇමරිකාව. ආජන්ටිනාව, ප්‍රංශය, ග්‍රීසිය හෝ ඉන්දියාවට වගේ තමන්ගේ මුදල් ඒකකය ආරක්ෂා කරගැනීමට ඩොලර් ණයට ගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැහැ. ඒ වගේම, දේශීයව මුදල් පිටට ගලා යාම පාලනය කරන්ට පොලී අනුපාතික ඉහල දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතාම ඉක්මනින්, ලෝකයේ සෑම ධනපතියෙක්ම පාහේ ඇමරිකානු පොලීකාරයන් හා ධනපතීන් වෙත මූල්‍ය සම්පාදනය කරන්ට යොමු වූවා.

ඒක වෙන්නෙ මෙහෙමයි : ජපානය, ජර්මනිය හා පසුව චීනය බඳු වෙලද ශේෂයේ අතිරික්තයක් තිබෙන රටවල් ඇමරිකාවේ වෙලඳ ශේෂ හිඟය දුටුවේ ගැලවුම්කරුවෙක් විධිහට. ස්වකීය අපනයන ගිල දැමිය හැකි ලොකු වැකියුම් ක්ලීනරයක් විධිහට. එතකොට ජපානයේ, ජර්මනියේ හා පසුව චීනයේ ධනපතීන් තමුන් සතුව පැවැති ඩොලර් වලට මොකක්ද කලේ? තමුන්ට කුලී ආදායම් ගත හැකි ලෙසට, ඔවුන් මෙම ඩොලර් ආපසු ඇමරිකානු වෙලඳපොල තුල ආයෝජනය කලා ; දේපල වෙලඳාම් ක්ෂේත්‍රය තුල, ඇමරිකානු ආණ්ඩුවේ බැඳුම්කරවල, සහ වොෂිංටන් ආණ්ඩුව විදෙස් ධනපතීන් අයිති කරගැන්මට ඉඩ හැර තිබූ සමාගම් කිහිපය මත මෙම මුදල් ආයෝජනය කලා.

ගෝලීය දකුණේ රටවල් – ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ වෙලඳ ශේෂ හිඟයෙන් පෙලෙන රටවල් අඛණ්ඩ ලෙස ඩොලර් හිඟකමට මුහුණ දුන් අතර, ඖෂධ, බලශක්තිය හා තමන්ගේ අපනයන නිෂ්පාදනය කරන්ට අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වෝල් වීදියෙන් ඩොලර් ණයට ගන්නට වුණා. මේ අපනයන ආදායමින් තමයි වෝල් වීදියට ආපසු ඩොලර් ණය ගෙවුවේ. නොවැලැක්විය හැකි ලෙස, වරින් වර, ගෝලීය දකුණේ රටවල්වලට ඩොලර් හිගකමේ ප්‍රශ්නය මතු වූ අතර, වෝල් වීදියේ බැංකුකරුවන්ට ආපසු ණය ගෙවිය නොහැකි තත්වයන් මතු වූවා.  එතකොට බටහිර රටවල් සිය ඇපකරු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම රටවල් වෙත යවනවා. ඒ හිඟ වෙලා තිබෙන ඩොලර් ප්‍රමාණය ණයට දෙන්ට. ඒ ණයගැති රට තමුන්ගේ ඉඩම්, ජල සම්පත, වරාය, ගුවන් තොටුපොල, විදුලිබල හා දුරකථන ජාලා, පාසල් හා ඉස්පිරිතාල දේශීය තැරැව්කාර ධනපතීන්ට පවරා දිය යුතු බවට වූ කොන්දේසියට යටත්ව. මෙම සමාගම් හා වත්කම් දේශීය තැරැව්කාර ධනපතීන් අතට පත් වූ විට, ස්වකීය ආදායම් ආපසු වෝල් වීදිය වෙත හැරවීම හැර ඔවුන්ටත් විකල්පයක් නැත.

වෙනත් වචනවලින් කියනවා නම්, මීට කලින් පැවැති අධිරාජ්‍යයන්ට හුදු සිහිනයක් පමණක් වූ මැජික් සූත්‍රය වොෂිංටනය සොයාගත්තා ; පොහොසත් හා දුප්පත් රටවල සිටින ධනවත් විදේශිකයන්ට, සෑම විදේශ මහ බැංකුවකටම, නාවික හමුදාවේ හෝ පාබල හමුදාවක බලහත්කාරයෙන් තොරව, ස්වේච්ඡාවෙන්, ස්වකීය අධිරාජ්‍යෙය් ආණ්ඩුව හා එහි ආනයන සඳහා මූල්‍ය සපයන්ට සිද්ධ වෙන තත්වයක් ඇති කරන්නේ කොහොමද! චීන රාජ්‍ය නිලධාරියෙක් වරක් මා සමග පැවසුවේ ගෝලීයකරණය පසුපස පවතින අන්ධකාර සම්මුතිය මෙය වන බවයි. ඇයි ඒක අඳුරු? මන්ද යත්, මෙම සම්මුතිය ගොඩනැගී තිබෙන්නේ ඇමරිකාවේ පාලක පන්තිය හා විදේශ ධනපතීන් හා කුලීකාරයන් අතර වන අඳුරු, අප්‍රකාශිත, ව්‍යංග එකඟතාවයක් මත. මා වෙනස් ආකාරයකට මෙය පැහැදිලි කරන්නම් : බොත්තමක් ඔබලා එක්සත් ජනපද හෙජමොනිය අවසන් කල හැකි යැයි උපකල්පනය කරන්න. ඔබ එය එබීමෙන් වැලැක්වීමට පෙරට එන්නේ කවුද? එක්සත් ජනපද ආණ්ඩුව, හමුදාව, වෝල් වීදිය, ඇමරිකානු කුලීකාර පන්තිය, ධනපතීන් – මේ සියල්ලන් පසෙක සිටිය දී, ඉස්සෙල්ලාම මේකට විරුද්ධව ඉස්සරහට එන ඇමරිකානු නොවන රොත්තක් සිටිනවා ; ජර්මානු කර්මාන්තකරුවන්, සෞදියේ ෂීක්වරු, යුරෝපීය බැංකුකරුවන් සහ ඔවු, චීනයේ ධනපතීන්.

කෙටියෙන් කියනවා නම්, ඩොලරයේ ආධිපත්‍යය සේවය කරන්නේ එක්සත් ජනපද කුලීකාර පන්තියට පමණක් නෙවෙයි ; ජර්මානු, ආජන්ටිනියානු, නයිජිරියානු, කොරියානු හා චීන ධනපතීන් ද ඉන් වාසි ලබනවා. ඩොලරය හා ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය නොවන්නට, චීන, ජපාන, කොරියානු හෝ ජර්මානු ධනපතීන්ට ස්වකීය කම්කරුවන් වෙතින් අති මහත් අතිරික්ත වටිනාකමක් උදුරා ගෙන, ඇමරිකාවේ කුලීකාර ආර්ථිකය වෙත යොමු කරන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආජන්ටිනාවේ, ග්‍රීසියේ, රුසියාවේ, යුක්‍රේනයේ හා ඉන්දියාවේ දේශීය කතිපයාධිකාරී පන්තියට, තම රටවල පොදු දේපොල මංකොල්ල කාලා, සොරකම් කල ධනය ඩෙලවෙයාර් හෝ කේමන් දූපත්වල යම් ඩොලර් සංචිතයක් තුල සගවා තබන්ට අවස්ථාව ලැබෙන්නෙ නැහැ මේ ආධිපත්‍යය නොවී නම්.

අපට මින් උගත හැකි පාඩම බොහොම සරලයි ; ගෝලීය දකුණේ රටවල : එහෙම නැතිනම් වෙලඳ ශේෂ හිගයෙන් පරිපීඩිත රටවල ප්‍රභූන් වොෂිංටනය හෝ යුරෝපීය සංගමයට අභියෝග කිරීම සඳහා පෙරට එනු ඇති බවත්, එම පදනම මත නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් ගොඩනැගිය හැකි වනු ඇති බවටත් විශ්වාස කිරීමේ අත්වරද අපි යලි සිදු නොකල යුතුයි.

අපගේ අරමුණ හුදෙක් G-77 රටවල් හෝ බ්‍රික්ස් සමූහය බටහිර එරෙහිව පිහිටුවීමට පටු කරනවා නම්, අපගේ නව නොබැඳි  ව්‍යාපාරය අසාර්ථක වනු ඇති. අප පරිස්සම් විය යුත්තේ වොෂිංටනයේ, ලන්ඩනයේ හා බ්‍රසල්ස් නුවර නිලධාරීන්ගෙන් පමණක් නෙවි ; චීනය ඇතුලු ගෝලීය දකුණේ ධනපතීන්ගේ සාක්කුවේ සිටින ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් ද අප ප්‍රවේශම් විය යුතු වෙමු. මෙම ධනපතීන් තමයි තම රට හා ජනතාව සූරාකෑමට ලක්කොට, ඩොලර් බවට හැරවූ අතිරික්ත වටිනාකම වෝල් වීදියේ හෝ ලන්ඩන් කොටස් හුවමාරුවේ ගබඩා කරන්ට කටයුතු කරන්නේ.

අපට සැබෑ ජාත්‍යන්තරවාදීන් වන්ට උවමනාද? එහෙම නම්, ඇමරිකානු නව යටත්විජිතවාදය අහෝසි කිරීමෙන් ප්‍රතිලාභ ලැබියහැකි එක් වැදගත් ජනතාවක් අපි අමතක නොකල යුතුයි. ඒ තමයි, වැඩකරන පන්තියට අයිති ඇමරිකානු ජනතාව. කාර්මිකහරණය වූ ප්‍රදේශවල දශක ගණනාවක් තිස්සේ දුක්ඛිතභාවය තුල ගිලී සිටින්ට මේ ජනතාවට සිද්ධ වී තිබෙනවා. අධිරාජ්‍යවාදයේ ගොදුරු බවට පත් වූ අය යටත් විජිතවල වගේම අධිරාජ්‍යයේ මධ්‍ය ප්‍රදේශය තුලත් සිටින බව අපි අමතක නොකල යුතුයි. වත්මන් අන්තර්ජාතික ආර්ථික පර්යාය ලොව විවිධ තැන්වල සිටින කම්කරුවන් මත, විවිධාකාර වූ ලෙස දුක්ඛිතභාවය පටවා තිබේ.

  • අඩු-ආයෝජනය හා කාර්මිකහරණය නිසා ගෝලීයකරණය ඇමරිකානු කම්කරුවන් දුගීභාවයට පත් කොට තිබෙනවා. ඇමරිකාවේ හා යුරෝපයේ කාර්මික හදබිම් මතට ගෝලීය දකුණේ ඌණ සංවර්ධිත කලාප සංක්‍රමණය වූවා හා සමාන තත්වයක් මේ.
  • ගෝලීයකරණය විසින් චීනයේ කම්කරුවන් චීනයේ සීඝ්‍ර ලෙස කාර්මිකකරණය වෙමින් තිබෙන වෙරලබඩ නගර වෙත කේන්ද්‍ර ගත කොට තිබෙන අතර, අධි-ආයෝජනය හා බැඳුණු උමතු සහගත සූරාකෑමේ ගොදුරක් බවට පත් කොට තිබෙනවා. මේක හරියට අධි-ආයෝජන සහිත, ගෝලීය උතුරේ සමහර කලාප ගෝලීය දකුණේ කම්කරුවන් වැටුප් හා සමාජ ප්‍රතිලාභ සඳහා පොර බදිමින් සිටින චීනයේ නාගරික කේන්ද්‍රයන් වෙතට සංක්‍රමණය වූවා හා සමාන තත්වයක්. විඳවීම විවිධාකාරයි ; නමුත් ඒ විඳවීම ගෙනැවිත් තිබෙන්නේ ධනවාදී ජාත්‍යන්තරය විසින්, දේශීයව උද්ධරණය කරනු ලබන වටිනාකම් ගෝලීය වශයෙන් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය විසින්.

 

පරිවර්තනය – රමිදු පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *