බහුධ්‍රැවීය ලෝක නිමේෂයක එළැඹුම

I

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය 1970 වර්ෂයේ එම සංවිධානයට වසර විසි පහක් පිරුණු අවස්ථාවේ දී ‘රාජ්‍යයන් අතර මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාවය පිළිබඳ අන්තර්ජාතික නීතියේ මූලධර්ම පිළිබඳ ප්‍රකාශනය‘ සම්මත කරන ලදී. මෙම ප්‍රකාශනය සම්මත කරගැන්ම සඳහා පුරෝගාමී වූයේ ඒ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික සංයුතිය වෙනස් කිරීමෙහිලා හේතු වී තිබූ අලුත නිදහස් වූ ආසියානු හා අප්‍රිකානු රටවල් ප්‍රමුඛ තුන්වන ලෝකයේ රටවල්ය. සියලුම ජාතීන්ගේ සමානාත්මතාවය හා ස්වයං නිර්ණය අයිතිය පිලිගන්නා බවට ප්‍රකාශ කළ මෙම ප්‍රකාශනය, මතු දැක්වෙන මූලධර්මය ද සම්මත කළේ ය :

 

‘ස්වකීය දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ක්‍රමය වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීමෙන් තොරව, ස්වාධීනව තීරණය කිරීමට සෑම රාජ්‍යයකටම අනන්‍ය වූ අයිතිවාසිකමක් තිබේ′.

 

මෙම මූලධර්මය ප්‍රකාශ කිරීම සඳහා බලපෑ හේතුව කුමක්ද? දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, පැරණි යටත් විජිත අධිරාජ්‍යයන් බිඳ වැටීමෙන් ඉක්බිති ආසියාවේ හා අප්‍රිකාවේ අලුතින් නිදහස් වූ රාජ්‍යයන් ගණනාවක් පැන නැංග නමුත් මේ රටවලට අදාළව පැරණි යටත් විජිත හිමි රටවල් විසින් හෙබවූ අධිකාරිය අහෝසි වූයේ නැත. මෙලෙස නිදහස් වූ රටවල් ගණනාවක්, යටත් විජිත රටවල් සමග වූ ආර්ථික පරාධීනතාවයෙන් ගොඩ එනු පිණිස ස්වාධීන ආර්ථික සංවර්ධනයක් ඇති කරගැන්ම සඳහා විවිධ උත්සාහ ගන්නා ලදී.

 

එහෙත් තම ආර්ථික ආධිපත්‍යය අහිමි වනු දැක්මට අකමැති වූ පැරණි යටත් විජිත හිමි රටවල් ඒ උත්සාහයන්ට බාධා කළ අතර තම බසට සවන් නොදෙන, ස්වාධීන මනසැ′ති තෙවන ලොව රටවල ආණ්ඩු බිඳ දැමීම සඳහා ඔවුහු විවිධ මැදිහත්වීම් සිදු කළ හ. 1953 දී ඉරානයේ තෙල් ජනසතු කිරීමට උත්සාහ කළ මොසඩෙග්ගේ ආණ්ඩුව කුමන්ත්‍රණයක් මගින් පෙරලා දැමීමේ සිට, සූවස් ඇළ ජනසතු කළ අබ්දුල් ගමල් නසාර්ගේ ඊජිප්තුව ආක්‍රමණය කිරීම දක්වා ; වියට්නාම් ආක්‍රමණයේ සිට, ලතින් ඇමරිකාවේ ප්‍රගතිශීලී නැඹුරුව සහිත ආණ්ඩු පෙරලා දැමීමට ඇටවූ නිමක් නොමැති හමුදා කුමන්ත්‍රණ දක්වා මෙම මැදිහත් වීම් දිව ය යි.

 

මෙම මැදිහත්වීම්වලට එරෙහිව තෙවන ලොව රටවල් කළ සටනේ ප්‍රතිඵලයකි යට කී මිත්‍රශීලී සබඳතා පිළිබඳ ප්‍රකාශනය. රටක් අනුගමනය කරන දේශපාලන අර්ථ ක්‍රමය කුමක්දැ′යි තීරණය කළ යුත්තේ එම රටේ ජනතාව බවත්, බාහිර බලවේග ඒ සම්බන්ධව බලපෑම් නොකළ යුතු බවත් ඉන් කියැවිණ. රටක අනුගමනය කළ යුත්තේ ධනවාදයට නැඹුරු මාවතක්ද, සමාජවාදයට නැඹුරු මාවතක් ද යන්න ඒ ඒ රට තීන්දු කරනු ඇත. මෙය පිලිගැනීමෙහි තිබූ වැදගත්කම නම්, පැරණි යටත් විජිත හිමි රටවල් අනුදත් මාවත වූ ධනවාදී මාවතට වෙනස් විකල්ප මාවතක් අනුගමනය කරන්ට අවශ්‍ය නම් තෙවන ලොව රටවලට අයිතියක් තිබේ යැයි පිලිගැනීම යි.

 

මෙලෙස විකල්ප මාවතක් ගැන පරිකල්පනය කිරීමට තුන්වන ලෝකයේ රටවල ආණ්ඩුවල හැකියාවක් ලැබුණේ එකල පැවැති සමාජවාදී කඳවුර නිසා ය. එබඳු විකල්ප කඳවුරක් වූ තතු තුළ, පැරණි යටත් විජිත හිමි රටවල සානුකම්පාව මත පරායක්ත වනු වෙනුවට, අලුත් ආර්ථික සබඳතා ඇති කරගනිමින් ඉදිරියට යාමක් ගැන කල්පනා කිරීමේ හැකියාව පැවතිණ. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නම් වූ අදහසට අර්ථයක් ලැබුණු විෂයමූල පරිසරය වූයේ ලෝකය අධිරාජ්‍යවාදී හා සමාජවාදී කඳවුරු ලෙස බෙදී පැවැති නිරවි යුද දේශපාලන සන්දර්භය යි.

 

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග එම යුගය අවසන් විය. එම යුගය අවසාන වී මේ වනවිට, දශක තුනක් ගත වී තිබේ.

 

II

 

මීට දවස් කිහිපයකට පෙර, යුරෝපීය මධ්‍යම බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩ් නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජනපදයේ විදේශ සබඳතා කවුන්සිලයේ සැසිවාරයක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා සහභාගි වූවා ය. යුරෝපීය මධ්‍යම බැංකුව යනු යුරෝපා සංගමයේ අතිශය බලගතු මූල්‍ය ආයතනයයි. 2011 සිට 2019 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ලෙස කටයුතු කළේ ද ලැගාඩ්ය. ඇයගේ දේශනයට වස්තු විෂය වී තිබුණේ ගෝලීය ආර්ථිකය තුළ සිදු වෙමින් පවත්නා මෑතකාලීන වර්ධනයන්ය. මේ වනවිට ඛණ්ඩිත, ‘බහුධ්‍රැවීය′ ලෝක ආර්ථිකයක් මතු වෙමින් තිබේ යැයි හමුව ඇමතූ ලැගාඩ් පැවසුවා ය.

 

‘ලෝක ආර්ථිකය තරඟකාරී බල හවුල් අනුව ඛණ්ඩනය වෙමින් තිබෙන, එක් එක් බල හවුල තමන්ගේ උපායමාර්ගික අරමුණු හා පොදු ඇගයුම් අනුව ලෝකයේ අනෙක් රටවල් තමා වෙතට ඇද ගැනීමට වෑයම් කරන තත්ත්වයක් අපි අත්දකිමින් සිටිමු. මෙම ඛණ්ඩනය ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක විසින් නායකත්වය දෙන හවුල් දෙකක් වටා ඒකරාශී වනු ඇතැයි සිතිය හැක′.

 

චීනයේ ආර්ථිකමය නැගීම සමග සිදු වෙමින් පවතින පරිවර්තනය ගැනය, ලැගාඩ් මෙහි දී කථා කරන්නේ. මෙලෙස බහුධ්‍රැවීය තත්ත්වයක් ඇති වීම අයහපත් වර්ධනයක් ලෙස ඇය දකී. 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීම ලිබරල් අන්තර්ජාතීකවාදීන් දුටුවේ ලිබරල්වාදය මත පදනම් වූ ඒකීය ලෝක ක්‍රමයක් ඇති වීමේ පළමු පියවර ලෙසටය. නිදහස් වෙළෙඳපොල හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයේ පරම නිර්ණායකය ලෙස පිළිගැන්මට ලක්වේ යැයි ඔවුහු අපේක්ෂා කළ හ. පැරණි සමාජවාදී රටවල් ධනවාදීකරණයට ලක්වීම හා තුන්වන ලෝකයේ රටවල් ආර්ථික ස්වාධීනතාවය හා අධිරාජ්‍ය විරෝධය පිළිබඳ සටන් පාඨ යල් පිනූ ඒවා ලෙස පසෙක ලා ලෝක ධනවාදී පද්ධතියට අවශෝෂණය වීම මෙම ලිබරල් අන්තර්ජාතිකවාදී දැක්මේ සාර්ථකත්වයේ සංකේතයන් බඳු විය.

 

චීනය ස්වකීය ආර්ථිකය විවෘත කොට, ධනවාදී ලෝක ආර්ථිකයට ඒකාබද්ධ වීම සමග සාර්ථකත්වය පිළිබඳ මෙම අදහස උපරිමය වෙත පිවිසියේ ය.

 

ලැගාඩ් මෙසේ කියයි :

 

‘සීතල යුද්ධයෙන් පසුව, විශිෂ්ට ලෙස වාසිදායක වූ භූ දේශපාලනික පරිසරයක වාසිය ලෝකය වෙත උදා විය. එක්සත් ජනපදයේ හෙජමොනික නායකත්වය යටතේ, නීති-මූලික අන්තර්ජාතික ආයතන බැබලුණු අතර, ගෝලීය වෙළෙඳාම පුලුල් විය. ගෝලීය වටිනාකම් ජාල ගැඹුරු වීමෙහිලා මෙය හේතු වූ අතර, චීනය ලෝක ආර්ථිකයට සම්බන්ධ වීමත් සමග, ගෝලීය ශ්‍රම සැපයුමේ දැවැන්ත වැඩි වීමක් ඇති විය.′

 

කෙසේ වුවද, ලිබරල් අන්තර්ජාතිකවාදයේ මෙම ස්වර්ණමය අවධිය 2009 ගෝලීය ආර්ථික අර්බුදයත් සමග අවසානයට පැමිණියේ ය. මේ සඳහා බල පෑ එක් වැදගත් හේතුවක් වූයේ අපේක්ෂා කළ ලෙස කීකරු අනුගාමිකයෙක් වනු වෙනුවට, තමාගේම වූ ගමනක් චීනය විසින් ආරම්භ කිරීමයි. 2009 ආර්ථික අර්බුදය විසින් නිදහස් වෙළෙඳපොලවාදයේ සීමාව මොනවට හෙලිදරවු කළේ ය. එම ප්‍රතිපත්තිවලට එරෙහිව සංවර්ධිත රටවල පහළ පාන්තික ජනයාගේ විරෝධය ඇතැම් තැනෙක වාමාංශික ජනතාවාදී ව්‍යාපාර ලෙසත්, තවත් තැනෙක අන්ත-දක්ෂිණාංශික විරෝධතා ලෙසත් ප්‍රකාශමාන විය. බටහිර රටවල් ආර්ථික අවපාතයේ ගිලී යන විට, නිදහස් වෙළෙඳපොලවාදය වෙනුවට රාජ්‍ය-කේන්ද්‍රිය ආර්ථික මොඩලයක් අනුගමනය කළ චීනය තම තත්ත්වය තහවුරු කර ගනිමින් සිටියේ ය.

 

ලැගාඩ් පැවැසූ ලෙස බටහිර රටවලට චීනය වැදගත් වූයේ එහි වූ අති දැවැන්ත ශ්‍රම සැපයුම නිසා ය. චීනයට ලෝක ධනවාදී පද්ධතිය සමග බද්ධ වීම වැදගත් වූයේ ආර්ථිකය නූතනකරණය සඳහා ඇවැසි වූ තාක්ෂණය ලබා ගැනීමේ අරමුණ නිසා ය. අති දුෂ්කර කොන්දේසි යටතේ අඩු පඩියට වැඩ කරන කම්කරුවන් සහිත රටක සිට, අති නවීන තාක්ෂණික නිෂ්පාදන සඳහා ආයෝජනය කරන රටක් ලෙසට චීනය වර්ධනය වන හැටි දුටු එක්සත් ජනපදය ඉතා ඉක්මනින් තම මතය සාවද්‍ය බව වටහා ගත්තේ ය. චීනය සමග උපායමාර්ගික ලෙස ‘සම්මුඛ වීමේ’ (engagement) සිට චීනය ‘හීලෑ කිරීම′ (containment) දක්වා චීනය සම්බන්ධයෙන් වූ එක්සත් ජනපද ප්‍රතිපත්තිය වෙනස් විය.

 

තම කථාවේ දී ලැගාඩ් බිය පල කළ අනෙක් කරුණ වූයේ අන්තර්ජාතික වශයෙන් ඩොලර් මුදල් ඒකකයට එරෙහිව මතු වෙමින් ඇති ප්‍රවණතාවය යි :

 

‘නිල නිවේදන ඇතුලු බොහෝ සාක්ෂි මගින් ඇතැම් රටවල් අන්තර්ජාතික වෙළෙඳාම සඳහා මෙතෙක් පිළි ගත් ප්‍රධාන පෙලේ සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට, චීන රෙන්මින්බි හා ඉන්දීය රුපියල බඳු වූ විකල්ප කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට පෙනී යයි. තව ද චීනය හා රුසියාව සමග සමීප භූ දේශපාලනික බැඳීමක් සහිත රටවල් විසින් විදේශ සංචිත රැස් කිරීමේ මාධ්‍යයක් ලෙස රත්‍රං සංචිත තබා ගැන්ම දෙස යොමු වී සිටී.’

 

ලැගාඩ් මේ සඳහන් කරන්නේ ඩොලර්හරණය (de-dollarization) නමින් මතුව තිබෙන ප්‍රවණතාවය වෙතය. 1972 දී රන් සම්මතය මත වූ ලෝක මූල්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් ඉක්බිති, මෙතෙක් කල් ලෝක ආර්ථිකය තුළ පැවැතුණේ ඇමරිකානු ඩොලරයේ අධිකාරිය සහිත ආර්ථික රටාවකි. ඩොලර්හරණය යන්නෙන් අදහස් වන්නේ මෙම ආධිපත්‍යෙයන් මිදීම සඳහා විකල්ප මුදල් ඒකක ශක්තිමත් කිරීම දෙස වූ යොමුවයි. 2011 වර්ෂයේ සිට චීනය වැඩි වැඩියෙන් තම මුදල් ඒකකයෙන් වෙළෙඳ කටයුතු කිරීම සඳහා යොමු වූ අතර, 2018 දී රන් මගින් සවිබල ගැන්වූ යුආන් ඒකකය හරහා තෙල් මිල දී ගැන්ම කෙරෙහි යොමු විය. සෞදි අරාබියේ තෙල් හා ගෑස් යුආන් ඒකකයෙන් හුවමාරු කර ගැනීම සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී ඇතැයි පසුගිය කාලයේ වාර්තා පල විය.

 

මේ අතර බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවලට හවුල (BRICS හවුල) තුළ ද විකල්ප මුදල් ඒකකයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇති වී තිබේ. ගෝලීය දකුණේ සාපේක්ෂ ව විශාලතම රටවල සමාරම්භකත්වයෙන් ආරම්භ වූ බ්‍රික්ස් හවුලට සම්බන්ධ වීම සඳහා මේ වනවිට සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජධානිය, ඊජිප්තුව, ඇල්ජීරියාව, ආජන්ටිනාව, මෙක්සිකෝව හා නයිජිරියාව බඳු රටවල් කීපයක් කැමැත්ත පළ කොට තිබේ. ඩොලර් ඒකකයට තිබෙන ආධිපත්‍යය බිඳ දැමීම සඳහා විකල්ප මුදල් ඒකකයක් පිළිබඳ අදහසට වැඩි අවධානයක් ලැබී තිබෙන්නේ මෙම තතු තුළ ය. 

 

බ්‍රික්ස් හවුල විසින් දියත් කොට තිබෙන අනෙක් වැදගත් ව්‍යාපෘතිය වන්නේ නව සංවර්ධන බැංකුව (New Development Bank) නම් වූ සංවර්ධනය වන රටවලට සංවර්ධන මූල්‍ය සපයන නව ව්‍යුහයක් නිර්මාණය කිරීම ය. මෙය ලෝක බැංකුව විසින් අනුගමනය කරන නව ලිබරල් කොන්දේසිවලින් යුක්ත සංවර්ධන මූල්‍ය මොඩලයට වෙනස් මොඩලයක් වර්ධනය කිරීමේ ආධ්‍යාශයෙන් පිහිටුවන ලද්දකි. 2012 දී ඉන්දියාව කල යෝජනාවක් අනුව පිහිටවූ මෙම බැංකුවේ මූලස්ථානය චීනයේ ශැංහයි නුවර පිහිටා තිබෙන අතර, මේ වනවිට එහි ප්‍රධානත්වය දරන්නේ බ්‍රසීලයේ හිටපු වාමාංශික නායිකාවක වන ඩිල්මා රුසෙෆ් ය.

 

මේ අතර උත්සන්න වෙමින් තිබෙන ඇමරිකානු-චීන ආතතිය හමුවේ ආසියානු මූල්‍ය අරමුදලක් පිළිබඳ යෝජනාව ද යළි කරළියට පිවිස තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප වූ ආසියානු මූල්‍ය අරමුදලක් පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් වූයේ 1997 ආසියානු ආර්ථික අර්බුදය අවස්ථාවේ ය. එම අවස්ථාවේ ජා.මූ. අරමුදල දැඩි කොන්දේසි සහිතව අර්බුදයට පත් රටවල් මත පැනැවූ ණය පැකේජ බොහෝ නැගෙනහිර ආසියානු රටවල විවේචනය හසු විය. ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම ගැන මුලින්ම ජපානය යෝජනා කළ නමුත්, ඇමරිකාවේ දැඩි විරෝධය හමුවේ එම අදහස හකුලා ගැනුණි. මෙම අදහස යළි මතු කරගැනීමේ වැදගත්කම ගැන සඳහන් කරමින්, පසුගිය දිනෙක තායිලන්තයේ සංචාරයක යෙදුණු මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් ප්‍රකාශ කොට තිබුණේ ‘තවදුරටත් පිටස්තරයන්ට ජාත්‍යන්තර යටිතල ව්‍යුහය තීරණය කරන්ට ඉඩ නොදිය යුතු බවකි′.

 

මෙම පසුබිම හමුවේ ක්‍රිස්ටීන් ලැගාඩ් ඉදිරිපත් කරන යෝජනාව කුමක්ද?

 

‘භූ දේශපාලනය ගෝලීය ආර්ථිකයේ ඛණ්ඩනය සඳහා මගපාදමින් තිබෙන අවස්ථාවක, ප්‍රතිපත්තිවල දැඩි සමීපත්වයක් අවශ්‍ය වී තිබේ. ස්වාධීනත්වය කැප නොකරමින්, නමුත් ප්‍රතිපත්තිවල අන්තර්-රැඳියාව වටහා ගනිමින්, උපායමාර්ගික අරමුණක් පසුපස ස්ථිරව පිහිටාගත් විට එම ඉලක්ක දෙකම සාක්ෂාත් කරගන්නේ කෙසේදැ′යි අවබෝධ කරගත යුතු ය′.

 

මෙහි තේරුම නම්, නැගී එන බහුධ්‍රැවීයතාවය නම් වූ අභියෝගය හමුවේ බලවත් බටහිර රටවල් වැඩි වැඩියෙන් සමීපව කටයුතු කළ යුතු බවය. යුරෝපයේ සිට නිව්යෝර්ක් බලා යන ලැගාඩ් බටහිර රටවල දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට කරන අනතුරු හැඟවීම පැහැදිලිය : ඔබේ බලය අනතුරේ. වහා ක්‍රියාත්මක වනු!′.

 

III

 

ලෝක දේශපාලන පර්යාය ඒකධ්‍රැවීය පිලිවෙලක සිට බහුධ්‍රැවීයත්වය දක්වා සංක්‍රමණය වෙමින් තිබීම සමකාලීනව සිදු වෙමින් තිබෙන විශාලතම දේශපාලන පරිවර්තනය යි.  මෙම බහුධ්‍රැවීයත්වය සඳහා මාවත සකස් කරමින්, ඒකීය ලිබරල් ලෝක රටාවක් පිලිබඳ බටහිර බලවතුන්ගේ සිහිනය අවුල් කරමින් සිටින ප්‍රබලතම සාධකය මහජන චීන සමූහාණ්ඩුවේ නැගීම බව පැහැදිලි ය.

 

චීන විදේශ ප්‍රතිපත්තිය යනු සිත්ගන්නා සුලු අධ්‍යයන විෂයකි. 1949 චීන විප්ලවයෙන් ඉක්බිති, තෙවන ලොව යටත් විජිත විරෝධී අරගලයන්ගේ ආධාරකරුවෙක් ලෙසට චීනය සිය අන්තර්ජාතික භූමිකාව නිර්වචනය කළේ ය. මා ඕ සේතුංගේ ‘ත්‍රිත්ව ලෝක න්‍යාය’ (Three worlds theory) මගින් ඉගැන්වූයේ ලෝකය අධිරාජ්‍යවාදී රටවල්, ‘සමාජ’ අධිරාජ්‍යවාදී රටවල් ( හේ මෙනමින් නම් කලේ සෝවියට් සංගමයයි) හා තෙවන ලොව රටවල් ලෙසට බෙදී ඇති බවත්, චීනයේ අනාගතය පවතින්නේ තුන්වන ලෝකයේ රටවල් සමග වන සන්ධානය තුළ බවත් ය. මෙම ආස්ථානය මත පිහිටා තුන්වන ලෝකයේ රටවල අධිරාජ්‍ය විරෝධී ආණ්ඩු සමග කිට්ටු සම්බන්ධකම් ඇති කරගැනීමට මා ඕ යුගයේ චීනය යොමු විය. මෙකල චීන විදේශ ප්‍රතිපත්තිය දැඩි අධිරාජ්‍ය විරෝධී අලංකාරෝක්තීන්ගෙන් පිරී පැවැතිණ.

 

1970 ගණන්වල අග ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්ට වූ තැන් පටන් මෙම පිලිවෙත තීරණාත්මක වෙනසකට බඳුන් විය. චීන ආර්ථික ප්‍රතිසංස්කරණවල අරමුණ වූ ආර්ථිකය නූතනකරණය සඳහා එක්සත් ජනපදය සමග ප්‍රතිරෝධතා ඇති කරගැන්ම බාධාකාරී විය. සෝවියට් සංගමය සමග වූ විරෝධතාවය නම් ‘පොදු සාධකය′ විසින් චීනය හා ඇමරිකාව අතර යම් අවබෝධයක් ද නිර්මාණය වී තිබූ අතර, මෙම අවබෝධය කඩා ගැන්මට චීන දේශපාලන නායකත්වය රිසි නොවීය. එකල චීනය විසින් අනුගමනය කළ යුතු විදෙස් පිලිවෙත ඩෙං ෂියා ඕ පෙංග් පහත වචනයෙන් විස්තර කළේ ය:

 

‘අවධානයෙන් බලා ඉන්න; චීනයේ තැන රැකගන්න; අභියෝගවලට සන්සුන්ව මුහුණ දෙන්න; චීනයේ ශක්තිය සගවා ගන්න, ඇති තරම් කාලය ගන්න; අප්‍රකට භූමිකාවක පිහිටන්න; කවදාවත් නායකත්වය ඉල්ලන්න එපා′ 

 

මෙහි අදහස වූයේ එක්සත් ජනපදය ප්‍රකෝප නොවන ලෙසට හැසිරීමය. කෙසේ වුවද, 1970 ගණන්වල සිට අනුගමනය කළ ආර්ථික නූතනකරණය ඉලක්ක කොට ගත් ප්‍රතිපත්තිය සාක්ෂාත් වීමෙන් ඉක්බිති මේ වනවිට චීන විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙමින් තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ වූ යුගයේ චීන ප්‍රතිපත්තිය ‘චතුර්විධ නූතනකරණය′ (four modernizations) ලෙස හැඳින්විණ. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ආරක්ෂක අංශය හා විද්‍යාව සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර නූතනකරණයට ලක්කිරීම ඉන් අදහස් විය. ඉන් අපේක්ෂා කළේ ‘මධ්‍යස්ථ ලෙස සමෘද්ධිමත් රටක්′ බවට චීනය පත් කිරීම ය. මේ වනවිට, විශේෂයෙන්ම චීනය තුළ අන්ත දරිද්‍රතාවය මුලිනුපුටා දැමීමේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමත් සමග, එම අරමුණ සාක්ෂාත් කරගත් ලෙසට සැලකෙන අතර, චීනයේ දෙවන සාංවත්සරික ඉලක්කය ලෙස ‘ශ්‍රේෂ්ඨ, නූතන, සමාජවාදී රටක්′ ලෙස එරට ගොඩනැගීම ප්‍රකාශිත වී තිබේ. මේ සමග පෙර අනුගමනය කළ ආරක්ෂිතවාදී ප්‍රතිපත්තියෙන් බැහැරව, එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය සම්බන්ධ වඩා විවේචනාත්මක ස්ථාවරයක් වෙත චීනය පිවිස සිටී.

 

මීට සමගාමීව චීනයට එරෙහිව එක්සත් ජනපදයේ ප්‍රහාරය එන්න එන්නම තීව්‍ර ස්වභාවයක් ගෙන ඇත. ‘නීති-පාදක අන්තර්ජාතික රටාවට′ (rule-based international order) එරෙහි වූ තර්ජකයෙක් ලෙසට චීනය එක්සත් ජනපදය විසින් හඳුන්වනු ලබන අතර, චීනය ආර්ථික හා දේශපාලනමය ලෙස ඇද වැට්ටවීම එක්සත් ජනපදයේ ප්‍රධාන ඉලක්කයකි.

 

කෙසේ වුවද, මෙම වටලෑම නොතකා ජාත්‍යන්තර සබඳතා විෂයෙහි කැපී පෙනෙන භූමිකාවක් චීනය විසින් එන්න එන්නම අත් කරගනිමින් සිටී. මේ සම්බන්ධයෙන් මෑතක වූ වැදගත්ම වර්ධනය නම්, ඓතිහාසික ප්‍රතිමල්ලවයන් වූ සෞදි අරාබිය හා ඉරානය අතර එකඟතා ගිවිසුමක් ඇති කිරීම අරභයා චීනය කළ මැදිහත්වීම යි. ලෝක සාමය සඳහා මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කිරීම යනු චීනය මෙතෙක් කල් සිදු කළ දෙයක් නොවේ. සෞදි අරාබිය යනු මැද පෙරදිග කලාපය තුළ සිටින එක්සත් ජනපදයේ ප්‍රධානතම සහයකයෙකි. ඉරානය සමග එකඟතාවය ඇති කරගැනීමේ දී සෞදිය එක්සත් ජනපදයේ බලවත්ම සතුරා වන චීනය මැදිහත්කරු ලෙස පිලිගැනීම එක්තරා ආකාරයක ඓතිහාසික සංසිද්ධියකි.

 

මේ අතර යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ද සමථකරුවෙක් ලෙස ක්‍රියා කරන්ට තමුන් සූදානම් බව චීනය ප්‍රකාශ කොට තිබේ. මීට සති කීපයකට පෙර, ජනාධිපති ශී ජිං පිංග් කළ රුසියානු සංචාරයේ දී සාමය සඳහා සිය යෝජනා රුසියානු ජනාධිපති පුටින් වෙත ඉදිරිපත් කළේ ය. මේ සම්බන්ධව කැපී පෙනෙන තවත් වර්ධනයක් වූයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පසුව සිදුකළ චීන සංචාරයක දී චීනය රුසියානු- යුක්‍රේන යුද්ධය සම්බන්ධ මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීම හොඳ දෙයක් ලෙස ප්‍රකාශ කිරීමයි. චීන සාම සැලැස්ම රුසියානු ආක්‍රමණය සාධාරණීකරණය කිරීමේ තැතක් ලෙස එක්සත් ජනපදය විසින් හෙලා දැක තිබෙන පසුබිමක, ප්‍රංශ ජනාධිපති චීනයට එලෙස ආරාධනා කිරීම උත්ප්‍රාසාත්මක සිදුවීමක් විය. තව ද, තායිවානය අරභයා සිදුවන කුපිත කිරීම් හෙලා දකිමින්, තමුන් ‘එක චීනයක්′ ප්‍රතිපත්තියට දැඩිව ගරු කරන බවටත් මැක්‍රොන් බීජිං හිදී ප්‍රකාශ කොට තිබුණි. 

 

වත්මන් ලෝක ආධිපත්‍යය හොබවන එක්සත් ජනපද-යුරෝපා සංගම් බල හවුල තුළ යුරෝපයේ රටවලට හිමිව තිබෙන්නේ කණිෂ්ඨ භූමිකාවකි. ප්‍රංශ ජනාධිපතිගේ හැසිරීම එක්තරා ආකාරයකින් මෙම කණිෂ්ඨ තත්ත්වය තුළින් මතු වූ අතෘප්තිය ප්‍රකාශමාන වීමක් ලෙස සැලැකිය හැකිය.

 

IV

 

අප යළිත් මෙම සටහනේ ආරම්භයේ සඳහන් කළ ‘රාජ්‍යයන් අතර මිත්‍රශීලී සබඳතා′ පිළිබඳ ප්‍රකාශනය වෙත එමු. තමුන් කැමති සංවර්ධන මාවතක් තෝරා ගැන්මට දුබල රටවලට අයිතිය තිබේ යැයි කීමේ අර්ථය කුමක්ද?

 

මෙය අර්ථවත් ප්‍රකාශකයන් වන්නේ විකල්ප වූ මාවත් ගැන සිතීමේ විය හැකියාව පවතී නම් පමණකි. ක්‍රිස්ටීන් ලැගාඩ් ‘ස්වර්ණමය යුගයක්′ ලෙස දකින සීතල යුද්ධයට පසු යුගය යනු විකල්ප සංවර්ධන මාවතක් පිළිබඳ අදහස අහෝසි කළ යුගයකි. ධනවාදී ගෝලීයකරණයට සම්බන්ධ වීම හැර අන් විකල්පයක් නැති බව තෙවන ලොව රටවලට පිලිගැන්මට සිදුවිය. ලෝකයේ ආර්ථික, මූල්‍ය, දේශපාලන ඈ සියලු ශක්තිය කේන්ද්‍ර ගත වී තිබුණේ එක් කඳවුරක් වටා ය. එම කඳවුර කියන දේ සිදු කරනු හැර, අන් විකල්පයක් කේවල් කිරීමේ හැකියාව අතින් දුර්වල රටවල් ඉදිරියේ නොවී ය.

 

මෙම පසුබිම තුල පශ්චාත්-සීතල යුද කාලීන ඒකීය ලිබරල් ලෝක රටාව ඛණ්ඩනය වෙමින් පැවැතීම යන්න තුන්වන ලෝකයේ රටවලට බලපාන්නේ කෙසේද? ඒකධ්‍රැවීය ලෝක රටාව බිඳ වැටීමේ ප්‍රබලතම වාසිය නම්, එක් කඳවුරක් මත පරායක්තව සිටීමේ ඉරණමින් නිදහස් වීම සඳහා අදාල විෂයමූලික පසුබිම තුන්වන ලෝකයේ රටවල් වෙත විවෘත වීමයි.

 

නිදසුන් ලෙස මේ වනවිට ලංකාව පත්ව තිබෙන ඉරණම සලකා බලමු. ලංකාව යනු මේ වනවිට, කෝවිඩ් 19 වසංගත තත්වයෙන් ඉක්බිති ස්වෛරීත්ව ණය අර්බුදයකට ලක්ව තිබෙන ගෝලීය දකුණේ රටවල් ගණනාව අතරින් එකකි.

 

මෙම අර්බුදය සඳහා දේශීය ආණ්ඩුවල අදූරදර්ශී ප්‍රතිපත්ති බල පෑ බව සැබෑ නමුත් අර්බුදය හුදෙක් දේශීය සාධකවලට ලඝු කළ නොහේ. සංවර්ධනය වන රටවලට සංවර්ධන මූල්‍ය සඳහා තිරසාර ව්‍ය්‍රහයක් නොමැති වීම නිසා බටහිර රටවල පෞද්ගලික ණය හිමියන්ගේ විශාල පොලියට ණය ගැනීමට සිදු වීම, කෝවිඩ් 19 වසංගතය අවස්ථාවේ අපගේ ආර්ථිකය බඳු දුබල ආර්ථික පසු බැස්ස විට පවා ණය සහන දීම සඳහා අන්තර්ජාතික වශයෙන් වැඩපිලිවෙලක් නොවීම – මේ නිසා කෝවිඩ් නිසා විශාල පසුබැස්මකට ලක්ව තිබෙන පසුබිමක වුව අරමුදල් විශාල වශයෙන් ණය ලෙස ගෙවීමට සිදුවීම ආදිය වත්මන් අර්බුදයට පසුබිම් වූ කරුණු වේ. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තිබෙන ‘එකම′ විකල්පය ලෙස ඉදිරිපත් වන්නේ ද අපගේ ආර්ථිකයන් තවදුරටත් සංකෝචනය කිරීමෙහිලා හේතු වන කොන්දේසි සමග ණය ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බඳු ආයතන වෙත හැරීමය. අපගේ ආර්ථික පිලිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තීරණය කරන පසුබිමක් තුළ, ‘තම රටේ ආර්ථික ප්‍රතිපත්තිය තමුන් තීරණය කළ යුතුය′ බඳු අදහස් වැදගැම්මකට නැති ඒවා බවට පත්ව තිබේ.

 

අන්තර්ජාතික පර්යාය බහුධ්‍රැවීයකරණය වීමත් සමග ඉදිරිපත් වන ඩොලර්හරණය, නව සංවර්ධන බැංකුව, ආසියානු මූල්‍ය අරමුදල ආදී වූ විකල්ප ආයතනික ව්‍යුහ පිළිබඳ යෝජනා ආදිය ණයගැතිභාවය ලක්ව සිටින තුන්වන ලොව රටවල් වෙත සාධනීය විකල්පයක් ගැන අදහසක් ඉදිරිපත් කරයි. ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය දේශපාලනයේ අධිනිශ්චය වන්ට නියමිත ප්‍රතිවිරෝධතාවය වන්නේ නැගී එන බහුධ්‍රැවීය නැඹුරුව හා පවත්නා ඒකධ්‍රැවීය පර්යාය පවත්වාගෙන යන්නට බටහිර රටවල් දරන උත්සාහය අතර වන ප්‍රතිවිරෝධතාවයයි. ලංකාව බඳු රටවල්වලට ස්වාධීනත්වය සහිත අනාගතයක් ගැන පරිකල්පනය කළ හැකි වන්නේ බහුධ්‍රැවීයතාවය ශක්තිමත් වන තරමට සහ බහුධ්‍රැවීයතාවය හරහා ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාවය (south-south cooperation) වඩා තහවුරු වන තරමට ය. මෙන්න මේ ප්‍රතිවිරෝධතාවය ගැන සවිඥානිකව අන්තර්ජාතික පර්යාය ගැන අදහසක් ඇති කරගැනීම, දේශීය වශයෙන් අප පිහිටිය යුතු ආස්ථානයන් තීරණය කිරීමෙහි ලා දේශපාලන ව්‍යාපාරවලට බෙහෙවින් තීරණාත්මක ය.

 

සටහන – රමිඳු පෙරේරා

 

Comments (2)

Yugan says:

👍👍👍

Hansi says:

අගනා සටහනක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *