ලූලා ද සිල්වා : වාමාංශික ජනතාවාදියාගේ යලි පැමිණීම

බ්‍රසීල කම්කරු පක්ෂ නායක ලූලා ද සිල්වා (ලුවිස් ඉනාසියෝ ද සිල්වා) බ්‍රසීලයේ පැවැති ජනාධිපතිවරණය ජය ගෙන තිබේ. ඒ හිටපු ජනාධිපති, අන්ත දක්ෂිණාංශික ජේ බොල්සොනාරෝව පරාජයට පත් කරමිනි. ලූලා ද සිල්වා පලමුවරට බ්‍රසීලයේ ජනාධිපති ධූරයට පත්වූයේ මීට හරියටම වසර විස්සකට පෙරය. වෘත්තීයෙන් හිටපු කාර්මික කම්කරුවෙක් වූ ලූලා බ්‍රසීලය ඒකාධිපති පාලනයකට නතු වී තිබූ 1980 ගණන්වල ආඥාදායක පාලනයට එරෙහිව සටන් කල සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් විය.

 

2002 වර්ෂයේ දී ඔහු බලයට පත්වීම ‘ලූලාවාදය’ (Lulismo) නමින් ප්‍රචලිත සමාජ-දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක වීමෙහිලා උපස්ථම්භක විය. දෙවරක් ජනාධිපති ධූරය සාර්ථක ලෙස ඉසිලූ ලූලා 2010 දී ඉවත් වූයේ අනුප්‍රාප්තික ලෙස ඩිල්මා රූසෙෆ් වැඩ භාර ගැනීමත් සමගය. කෙසේ වුවත්, රූසෙෆ්ගේ පාලන සමය තුල කම්කරු පක්ෂයේ පාලනයට එරෙහි විශාල දක්ෂිණාංශික ප්‍රහාරයක් ඇති වූ අතර විශ්වාසභංගයක් පරාජය වීමත් සමග රූසෙෆ්ට ඉල්ලා අස්වන්ට සිදුවිය. දූෂණ චෝදනා මත ලූලා ව සිරගත කෙරුණි. මෙම දක්ෂිණාංශික ප්‍රවාහය එහි කූටප්‍රාප්තියට පත්වූයේ 2018 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේ දී උග්‍ර දක්ෂිණාංශිකයෙක් වන ජේ බොල්සොනාරෝ බලයට පත්වීමත් සමගය.

 

බොල්සොනාරෝව 2022 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කිරීමට සමත් වීමත් සමග 2015 වර්ෂයේ ආරම්භ වූ ප්‍රතිගාමී ප්‍රවාහය ආපසු හරවන්ට ලූලා ද සිල්වා සමත් වී තිබේ. මෙම අවස්ථාව ලූලා විසින් නියෝජිත දේශපාලන ව්‍යාපෘතියේ සුවිශේෂීතාවය හා තුන්වන ලෝකයේ වෙනත් රටවලට එහි වන සාපේක්ෂ අදාලත්වය නැවත විමසා බැලීම සඳහා නිමිති සපයයි.

 

2002ට පෙර බ්‍රසීලය

දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍යය වන බ්‍රසීලය මිලියන 217 ක ජනගහණයකින් සමන්විතය.‍ එරට ජනගහණයෙන් සියයට 47 ක් සුදු ජාතිකයන්ගෙන් ද, සියයට 43 ක් ‘මිශ්‍ර’ ජාතිකයන්ගෙන් ද යුක්තය. සියයට 8 ක පමණ කලු ජනගහණයක් සිටී. අතීතයේ පෘතුගාල යටත් විජිතයක් ලෙස පැවැති බ්‍රසීලය ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සෙසු බොහෝ දකුණු ඇමරිකානු රටවල් මෙන් සංවර්ධනය පිලිබඳ ප්‍රශ්නය සමග පොර බැදුවේ ස්වාධීන ආර්ථිකයක් නිර්මාණය කරගැනීමේ අභියෝගය නිසාවෙනි. දේශපාලන වශයෙන් ගත්කල, බ්‍රසීලයේ ස්වාධීන ඉතිහාසය ඒකාධිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය, වාමාංශය හා දක්ෂිණාංශය, අධිරාජ්‍ය ගැතිකම හා අධිරාජ්‍ය විරෝධය බඳු වූ ප්‍රතිවිරෝධතා ගණනාවකින් බහුල වූ ඉතිහාසයකි. ලතින් ඇමරිකානු රටවල් බොහොමයක සිදු වූ ලෙසට, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලද හමුදා ආණ්ඩුවක් 1964 දී බ්‍රසීලයේ පිහිටුවන ලද්දේ ජනප්‍රියවාදී සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටි ජොආඕ ගොලාට් ජනාධිපතිධූරයෙන් පහ කරමිනි. එතැන් සිට 1985 දක්වා එරට පාලනය කලේ එක්සත් ජනපදයට හිතෛශී මිලිටරි ජුන්ටාවක් විසිනි.

 

ලූලා ද සිල්වා නායකත්වය දරන කම්කරු පක්ෂයේ මුල් පවතින්නේ මෙම මිලිටරි ජුන්ටාවට එරෙහිව ඇති වූ කම්කරු සටන් තුලය. 1960-70 කාලය තුල අති දැවැන්ත කාර්මික සංවර්ධනයක් බ්‍රසීලය තුල ඇති විය. මෙය විශාල නාගරිකකරණ ක්‍රියාවලියක් සමග අත්වැල් බැඳගත් අතර, මෙහි ප්‍රතිඵල ලෙස විශාල කම්කරු පන්තියක් සම්භවය විය. 1950 මිලියන 17 වූ වැටුප් ලබන සේවක පන්තිය 1980 වන විට මිලියන 50 දක්වා වැඩී තිබුණි. 1980 දී බ්‍රසීල කම්කරු පක්ෂය පිහිටවනු ලැබුවේ වෘත්තීය සමිති ක්‍රියාධරයන්, වාමාංශික බුද්ධිමතුන් හා විමුක්ති දේව ධර්මයේ ආභාෂය ලැබූ කතෝලික ක්‍රියාකාරීන් විසිනි. ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී’ පක්ෂයක් ලෙස තමුන්ව හඳුන්වා ගත් කම්කරු පක්ෂය මුල සිටම සැලකිය යුතු බහුජන සහයෝගය ලද පක්ෂයක් විය. එහි ශ්‍රේණීන් තුල කොමියුනිස්ට් ක්‍රියාධරයන්ගේ සිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් දක්වා වූ බහුවිධ ප්‍රවණතා ක්‍රියාත්මක වූයේය.

 

1985 දී මිලිටරි ජුන්ටාව බිද වැටීමෙන් ඉක්බිති මැතිවරණ දේශපාලනයට සහභාගී වූ කම්කරු පක්ෂය පලමු වරට ජනාධිපතිවරණයකට තරග වැදුණේ 1989 දීය. එම මැතිවරණයේ දෙවන වටයට තේරී පත් වූ නමුදු ලූලා ගේ වාමාංශික නැඹුරුව අභියස දක්ෂිණාංශික හා මාධ්‍යමික කොටස් එක්සත් වීම නිසා දෙවන ව‍ටයේ හේ ෆර්නැන්ඩො කොලර් අභියස පරාජය ලැබුවේය. 1994 මැතිවරණයේ දීද මෙලෙසම ඔහු දෙවන වටයේ දී එන්රිකෙ කොර්ඩොසෝ හමුවේ පරාජයට පත්විය. මේ වනවිට දකුණු ඇමරිකාවේ වෙනත් රටවල මෙන් ප්‍රහාරාත්මක ලෙස නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බ්‍රසීලය තුල ද ක්‍රියාත්මක වෙමින් පැවැතිණ. අධිරාජ්‍යවාදය සම්බන්ධ විවේචනයක් ලෙස මතු වූ පරායක්තතා ගුරුකුලයේ ප්‍රකට න්‍යායධරයෙක් වූ කොර්ඩොසෝගේ ජනාධිපති ධූරය යටතේ නව ලිබරල් ප්‍රතිපත්ති කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වූයේ උත්ප්‍රාසාත්මක ලෙසටය. 1998 දී පැවැති මැතිවරණය කො‍ර්ඩොසෝ ජයගත්තේ පලමු වටයෙන්ම ලූලා ව පරාජය කරමිනි.

 

ලූලාවාදය

ලූලාවාදය ලෙස නම් කල හැකි දේශපාලන ව්‍යාපෘතියේ මුල මෙම මැතිවරණ පරාජයන් පෙල තුල සෙවිය යුතුය. බහුජන වශයෙන් ජනප්‍රිය පක්ෂයක් ලෙස තිබියි දී වුව, කම්කරු පක්ෂය මැතිවරණය පරාජයට වීම සදහා හේතු දෙකක් බලපෑවේය. පලමුව, ලූලා සතුව වූ රැඩිකල් ප්‍රතිරූපය පිලිබද එරට සංස්ථාපිත ආර්ථික ප්‍රභූ තන්ත්‍රය භීතිය දැක්වීය. තමා භුක්ති විදින ආර්ථික වරප්‍රසාදවලට ලූලා බලය ගතහොත්, හානි වේ යැයි බිය වූ ඔවුන් ලූලා පරාජය කිරීම පිණිස තමා සතු ධනබලය, මාධ්‍ය බලය ඈ සියල්ල විශාල ලෙස පොම්ප කලේය. දෙවනුව, ලූලාට මුහුණ දෙන්ට වූ බලවත්ම අර්බුදය දේශපාලන විශ්ලේෂක අන්ද්‍රෙ සිංගර් ‘උතුරුදිග ප්‍රශ්නය’ ලෙස හැදින්වූ සුවිශේෂී ගැටලුවයි. බ්‍රසීලියේ උතුරු හා ඊසාන දිග ප්‍රදේශ රටේ සෙසු පලාත්වලට සාපේක්ෂව ඌන සංවර්ධිත පලාත් විය. මෙම ප්‍රදේශවල දුගී ජනයා යට කී සියලු මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කලේ ලූලාට එරෙහිවය. සංවර්ධිත නාගරික ප්‍රදේශවල සංවිධිත කම්කරු පන්තියේ හා සබුද්ධික මධ්‍යම පන්තික කොටස්වල සහය ලූලාට ලැබුණත්, නොදියුණු ප්‍රදේශවල දුගී ජනයා දක්ෂිණාංශයට නැඹුරුව දැක්වූහ. සංවර්ධිත නගරවල වුව, පැල්පත් ජනාවාසවල හා මුඩුක්කුවල ජීවත් වන ජනතාව බඳු බෙහෙවින් දරිද්‍ර ජන කොටස් දක්ෂිණාංශයට සහයෝගය පෑමේ නැඹුරුවක් දැක්වූහ. මේ බොහෝ ජනයා උතුරු හා ඊසාන ප්‍රදේශවල සිට නගරවලට සංක්‍රමණය වූ අය වූහ.

 

මෙම ජනතාව වාමාංශයට එරෙහිව දක්ෂිණාංශය සමග පෙල ගැසුණේ මන්ද? එක් හේතුවක් නම්, ‘සමාජ ගැටුම්’ පිලිබඳ ඔවුන් දැක්වූ ගතානුගතික සැකයයි. සිවිල් යුද්ධය වේවා, පන්ති අරගලය වේවා ― ‘ස්ථාවරත්වයට’ රැඩිකල් ලෙස අභියෝග කරන ව්‍යාපෘතීන් සම්බන්ධව චිරාගතව මෙම ජනයා සංශයසහගතව බලන්ට පුරුදු වී සිටියහ. ලූලා ‘පෙරලිකාර කොමියුනිස්ට්කාරයෙක්’ ලෙසට චිත්‍රණය කිරීම මගින් මෙම සංශයසහගත ආකල්පය සිය වාසියට හරවා ගැන්මට දක්ෂිණාංශය සමත්විය.

 

2002 දී සිවුවන වතාවට ජනාධිපතිවරණයට ලූලා තරග වදින්නේ යට කී අභියෝගය පිලිබඳ තක්සේරුවක් සහිතවය. මේ අනුව වඩා ‘මාධ්‍යමික’ වාමාංශිකයෙක් ලෙස තමුන්ව ස්ථානගත කරගැන්මට ලූලා වෑයම් කලේය. 1990 ගණන්වල රැඩිකල් වෘත්තීය සමිති නායකයෙක් ලෙස අපිලිවෙලට ඇදුම් පැලදුම් කල ඔහු 2002 වන විට පිලිවෙලට අදින්ට පටන් ගෙන සිටියේය. ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු ඉදිරිපත් කලේ ‘ප්‍රාග්ධනයට අභියෝග නොකොට දුගී ජනයා වෙනුවෙන් සේවය කිරීම’ පිලිබද වැඩපිලිවෙලකි. මෙය කම්කරු පක්ෂය තුල මෙන්ම ඊට පිටින් සිටි වාමාංශික කොටස්වල විවේචනයට පාත්‍ර වූයේ දකුණට තල්ලු වීමක් හා ප්‍රාග්ධනයේ බලය අබියස සම්මුතිගත වීමක් ලෙසය. පසු‍කලෙක සිය ප්‍රතිපත්ති පාවා දුන්නේදැ’යි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ලූලා ප්‍රකාශ කලේ ‘පාවාදීම’ යනු යම් දෙන ලද තත්වයක් තුල කල හැකි දෙයක් චේතාන්විතව නොකර සිටීම බවත්, දෙන ලද තත්වයන් තුල කල හැකිව තිබූ කිසිවක් තමුන් නොකර හැරියේ නැති බවත්ය.

 

දුබල ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රබල ප්‍රතිසංස්කරණවාදය

2002 ජනාධිපතිවරණය ජයගත් ලූල ඉක්බිති 2006 ජනාධිපතිවරණය ද ජයගනී. ඔහුගේ මුල් ධූර කාලය හා දෙවන ධූර කාලය අතර යම් වෙනසක් සලකුණු කල හැක. ලූලා පලමු ධූර කාලය තුල සමාජයේ පවතින බල සම්බන්ධතා රාමුව අභියෝග නොකිරීමට ප්‍රවේශම් විය. ඔහුට පූර්වයේ සිටි ආණ්ඩු ක්‍රියාත්මක කල නව ලිබරල් වැඩපිලිවෙලේ අංග වූ ඉහල පොලී අනුපාතික පවත්වා ගැනීම සහ නම්‍යශීලී හුවමාරු අනුපාතිකයක් රඳවා ගැනීම ආදී වූ ප්‍රතිපත්තිවල තීරණාත්මක වෙනස්කම් සිදු නොවීය. එහෙත් මෙම  කාලය තුල ඔහු යට කී සංවිධිත කම්කරු පන්තියට අයත් නොවූ වැඩ කරන ජනතාව දිනාගැනීම සඳහා මහා පරිමාණ දිලිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලේය. ලූලා විසින් හදුන්වා දුන් දිලිඳු සහන වැඩපිලිවෙලක් වූ බොල්සා ෆැමිලියා වැඩසටහන දුගී පවුල් ඉලක්ක කරගත් මුදල් ආධාර ව්‍යාපෘතියක් විය. මෙය අතිශය සාර්ථක වූ අතර අවම වැටුප් ඉහල නැංවීම බඳු තීරණ සමග බ්‍රසීල දේශපාලනය තුල ඓතිහාසික තැන් මාරුවක් සිදුවීම ආරම්භ විය ; ගතානුගතිකව දක්ෂිණාංශයට හිතවත්ව සිටි කම්කරු පන්තික නොවන දුගී ජනයා ― සිංගර්ගේ වචනයෙන් කිවහොත් ‘අර්ධ නිර්ධන පන්තික ජනයා’ ― මහා පරිමාණයෙන් කම්කරු පක්ෂය වෙත ආකර්ෂණය වන්ට වූහ. තම දිලිදුකම පිටුදැකීමේ වැඩපිලිවෙල යටතේ මිලියන 40 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදවාලීමට ලූලාගේ ආණ්ඩුව සමත් විය.

 

මෙම තැන්මාරුව හොදින්ම ප්‍රදර්ශනය වූයේ ලූලා තරග කල දෙවන ජනාධිපතිවරණය වූ 2006 මැතිවරණයේදීය. පලමු වාරය තුල ලූලාට මුහුණ දෙන්ට වූ ප්‍රබල බාධකයක් වූයේ එරට ව්‍යවස්ථාදායකය තුල ඔහුගේ පක්ෂයට බහුතරයක් න‍ොමැතිකමය. පහල මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 513 අතුරින් ලූලාගේ පක්ෂයට වූයේ මන්ත්‍රීධූර 91 ක් පමණකි. සෙනෙට් සභාවේ 81 ක් අතුරින් 14 කි. ලූලා පසුකාලීනව පැවැසූ ලෙස, සියලු දේ රදා පවතින්නේ බලවේග අතර පවතින බලතුලනය මතය. තම යෝජනාවලට කොංග්‍රසයේ බහුතරය ලබාගැනීම සදහා කම්කරු පක්ෂය විසින් මුදල් වියදම් කොට මන්ත්‍රීවරුන් නම්මා ගැනීම සිදු කරන බවට පසුව අනාවරණයක් සිදුවිය. මේ සමග ලූලාට එරෙහි විශාල ව්‍යාපාරයක් මාධ්‍ය විසින් ගෙන යනු ලැබිණ. මෙම ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙස 2002 දී ලූලාට සහය දැක්වූ මධ්‍යම පන්තික කොටස් ආණ්ඩුවෙන් ඈත් වන්ට පටන් ගත්තේය. එහෙත් ඒ වනවිට ඉන් පාඩුවක් ඇති නොවෙන ලෙසට ලූලා අර්ධ නිර්ධන පන්තියේ ප්‍රජාවන් අතර ශක්තිමත් ලෙස තහවුරු වී සිටියේය. මධ්‍යම පන්තික කොටස්වල දුරස්වීම තිබියදී, 2006 මැතිවරණය හේ මූලික වශයෙන් ජය ගත්තේ මෙන්න ‍මේ පහල පාන්තික ජනතාවගේ අති විශාල සහයෝගයේ ප්‍රතිඵලයක් ලෙසටය. එම මැතිවරණයේ මුල් වටයෙන්ම සියයට 50 ඉක්මවූ ඔහු දෙවන වටයක අවශ්‍යතාවයක් නොතබාම ජය ගත්තේය.

 

බල තුලනයේ වූ මෙම තැන් මාරුව සමග නව ලිබරල්වාදයේ මූලික ශික්ෂාවන්ට යම් පරස්පර ප්‍රතිපත්තීන් නව ආණ්ඩුව අනුගමනය කලේය. බ්‍රසීල වාමාංශයේ දිගුකාලීන විවේචනයක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නිර්දේශ අනුව ඉහල‍ පොලී අනුපාතිකයන් පවත්වා ගෙන යාම නිසා ආර්ථික වර්ධනයට බාධා ඇති වී තිබෙන බවයි. ආර්ථික වර්ධනයක් නොමැති තත්වයක් තුල, ආදායම් ප්‍රතිව්‍යාප්තිය සදහා වූ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අසීරුව ඇති බවයි. ලූලාගේ දෙවන ධූර කාලයේ දී රජයේ වියදම් මත වූ සීමා යම් පමණකට ඉවත් කල අතර, පොලී අනුපාතික අඩු කිරීමට හා විනිමය අනුපාතික පිලිවෙත සංශෝධනය කිරීමටත් උත්සාහ ගනු ලැබුණි. මේ වන විට ලතින් ඇමරිකාව තුල ‘රෝස රැල්ල’ (Pink tide) නමින් හැදින් වූ ප්‍රවණතාවය ; එනම් වාම නැඹුරුවක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කලාපය පුරාවට බිහිවීම එහි උපරිම අවධියේ පසුවිය. නව ලිබරල් මොඩලයට පටහැණි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට මෙම ආණ්ඩු කටයුතු කලේය. වෙනිසියුවේලාව, ආජන්ටිනාව, බොලිවියාව යන රටවල අධිරාජ්‍ය විරෝධී-නව ලිබරල් විරෝධී ආණ්ඩු බිහි වී තිබුණි. බ්‍රසීලය තුල ලූලාගේ දෙවන ධූර කාලය මෙම කලාපීය ප්‍රවණතාවයේ ප්‍රකාශමාන වීමක් ලෙසට සැලකිය හැක. ලූලා විසින් මුල පිරූ සංවර්ධනවාදී පිලිවෙත ඔහුට පසුව බලයට පත් වූ ඩිල්මා රුසෙෆ් විසින් වඩා ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යන ලදී.

 

විදේශ ප්‍රතිපත්තිය

ලූලාගේ පාලනයේ පැවැති අනෙක් කැපී පෙනෙන ලක්ෂණය නම් ඔහු අනුගමනය කල විදේශ ප්‍රතිපත්තියයි. වෙනිසියුවේලාවේ චාවේස්ගේ ආණ්ඩුව මෙන් හේ ප්‍රකට ලෙස එක්සත් ජනපද හෙජමොනියට අභියෝග කලේ නැත. එක්සත් ජනපද ආණ්ඩුව සමග ගැටුම් ඇති නොකරගෙන සිටීමට ඔහු ප්‍රවේශම් විය. නමුත් අනෙක් අතට, එක්සත් ජනපද හෙජමොනියට විරුද්ධව ගොඩනැගෙන ප්‍රවණතාවලට ඔහු සක්‍රීයව දායක වූයේය. මේ අතර ප්‍රමුඛතම සම්මාදම නම් බ්‍රසීලය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා රුසියාව යන නැගී එන රටවල්වලින් සමන්විත බ්‍රික්ස්  හවුල සදහා ඔහු කල දායකත්වයයි. බ්‍රික්ස් හවුලේ එක් අරමුණක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අධිකාරිය හෙබවූ ගෝලීය මූල්‍ය පද්ධතියට එරෙහි විකල්පයක් නිර්මාණය කිරීමයි.

 

අනෙක් අතට එක්සත් ජනපදයේ ක්‍රෝධයට ගොදුරු වී සිටි කලාපීය අධිරාජ්‍ය විරෝධී වාමාංශික ආණ්ඩු පැවැති කියුබාව, වෙනිසුවේලාව, බොලිවියාව බඳු රටවල් සමග ලූලා අඛණ්ඩව මිත්‍ර සම්බන්ධතා පවත්වා ගත්තේය. කියුබාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක දැඩි ලෙස හෙලා දුටුවේය. ඔහු අද දක්වාම මෙම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන බව පෙනේ. නිදසුන් ලෙස, චීනයට එරෙහිව එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ගෝලීය වටලෑමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන පසුබිමක, ලූලා චීනය පසුගිය දිනෙක හදුන්වා දී තිබුණේ බ්‍රසීලය සමග පොදු අභිලාෂයන් බෙදාගන්නා ජාතියක් ලෙසටය. චීනය සමග බ්‍රසීලය උපායමාර්ගික සන්ධානයක් ඇති කරගත යුතු බවට හේ ප්‍රකාශ කොට තිබුණි. රුසියානු-යුක්‍රේන යුද්ධය සම්බන්ධව පුටින් සේම නේටෝව ව්‍යාප්ත කරන්ට දායක වීම නිසා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එක සේ වග කිව යුතු බවට ඔහු මෑතක දී කල ප්‍රකාශය බටහිර මාධ්‍යවල දැඩි විවේචනයට පාත්‍ර විය.

 

දක්ෂිණාංශික ප්‍රතිප්‍රහාරය

2010 දී ඉතා සාර්ථක ලෙස ලූලා තම ජනාධිපති ධූර කාලය අවසන් කලද ඉක්බිති කම්කරු පක්ෂයට අභිමුඛ වූයේ අභියෝගාත්මක යුගයකි. ලූලාගෙන් පසුව බලයට පත්වූ ඩිල්මා රුසෙෆ් අතීතයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව සටන් කල ගරිල්ලා සටන්කාරියකි. සංවර්ධනවාදී නැඹුරුව ඉදිරියට ගෙන යාම සඳහා 2012 වර්ෂයේ දී පොලී අනුපාතික පහල දැමීමට තීරණය කල රූසෙෆ්, පලමු වතාවට මහ බැංකුවේ සභාපතිධූරය සදහා මූල්‍ය වෙලදපොල පසුබිමකින් නොව, මහ බැංකු නිලධාරී ශ්‍රේණීන් තුලින් මතු වූ අයෙක් පත් කලාය. අනෙක් අතට, බ්‍රසීලයේ කර්මාන්තවලට වාසිදායක වන ලෙසට ආනයන සීමා කිරීම හා අපනයන ධෛර්යයමත් කිරීම අරමුණු කරගනිමින්, විදේශ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ද වෙනස් කලාය. ඇය ගත් අනෙක් ප්‍රධාන ක්‍රියාමාර්ගය වූයේ විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමයි. අධික විදුලිය ගාස්තු අඩු කරන්ට කටයුතු කල ඇය, අනෙක් අතට ගෑස් ක්ෂේත්‍රය ද ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කලාය. මෙම ක්‍රියාමාර්ග දේශීය හා අන්තර්ජාතික ප්‍රාග්ධනයේ ඇතැම් කොටස් කුපිත කිරීමෙහිලා හේතු විය.

 

2013 දී පොදු ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමට එරෙහි විශාල මහජන විරෝධතා රට තුල ඇති වූ අතර, කම්කරු පක්ෂ ආණ්ඩුවට එරෙහි දක්ෂිණාංශික ප්‍රතිප්‍රහාරයක් වර්ධනය වෙමින් පැවැතිණ. අල්ලස් ගැනීමේ චෝදනාවක් මත හිටපු ජනාධිපති ලූලාට එරෙහිව සර්ජි මොරෝ නම් නඩුකාරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ විය. මෙම වැඩපිලිවෙලේ අරමුණ වූයේ ලූලා සතුව පැවැති කීර්ති නාමය විනාශ කොට දැමීමය. මේ සමග කොංග්‍රසය තුල ඩිල්මා රුසෙෆ්ට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණි. 2016 දී රුසෙෆ්ව ධූරයෙන් පහ කෙරුණු අතර, 2018 දී ― බෙහෙවින් ප්‍රශ්නසහගත නඩු පටිපාටියකින් පසුව ― වසර දොලහක සිර දඩුවමක් ලූලාට නියම කෙරුණි. පසුව සිරගෙයින් නිදහස් වීම සදහා ඔහුට උපකාරී වූයේ පටිපාටියේ වූ එම ප්‍රශ්නගත ස්වරූපය සාර්ථක ලෙස මතු කිරීමයි. පසුකාලීනව, කම්කරු පක්ෂ ආණ්ඩුවට එරෙහි ප්‍රහාරයට එක්සත් ජනපදය සෘජුව ආධාර කලේ යැයි ලූලා චෝදනා කලේය. තෙල් කර්මාන්තය තමා සතු කරගැනීමේ අදහසින් එක්සත් ජනපදය මෙම දක්ෂිණාංශික ප්‍රතික්‍රියාවට සහයෝගය දැක්වූ බවට හේ චෝදනා නැගුවේය. මෙම ප්‍රතිප්‍රහාරය බ්‍රසීලයේ බිහි වූ අතිශය දක්ෂිණාංශික, වර්ගවාදී, පරිසර විරෝධී ජනාධිපතිවරයෙක් වූ ජේ බොල්සොනාරෝ නම් හිටපු හමුදා නිලධාරියා බලයට ගෙන ඒමෙන් කූටප්‍රාප්තියට පත්විය.

 

රෝස රැල්ල 2.0

2022 ජනාධිපතිවරණයෙන් ලූලා යලි ජය ගැනීමත් සමග කලාපීයව සිදුවන දේශපාලන විපර්යාසයක සලකුණු ප්‍රකටව පෙනෙන්ට පටන් ගෙන තිබේ. 1990-2000 ගණන් වල පලමු රෝස රැල්ලට පසුව කලාපය තුල පොදුවේ දක්ෂිණාංශික ප්‍රතිප්‍රහාරයක් දක්නට ලැබුණි. බ්‍රසීලයේ සිදු වූ ලෙසට, රෝස රැල්ලට අයත් ආණ්ඩු වෙනුවට දක්ෂිණාංශික ආණ්ඩු බලයට ඒමේ ප්‍රවණතාවයක් 2010 න් පසුව දක්නට ලැබුණි. එහෙත් මේ වනවිට, රෝස රැල්ල යලිත් පුනර්ජීවනයට ලක්වෙමින් තිබෙන ආකාරයක් දැකගත හැක. 2018 මෙක්සිකානු ජනාධිපතිවරණය මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදොර් ජය ගැනීම, 2019 ආජන්ටිනාවේ මැතිවරණය මධ්‍ය-වාමාංශික අපේක්ෂක ඇල්බර්ටෝ ෆර්නැන්දෙස් විසින් ජය ගැනීම හා 2020 බොලිවියාවේ මැතිවරණය තුල ‘සමාජවාදය සදහා වූ ව්‍යාපාරය’ අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීම මෙම පුනරුදයේ ආරම්භක සලකුණු විය.

 

මේ වනවිට පෙරු, හොන්ඩුරාස්, චිලී හා කොලොම්බියාව යන රටවල  වාමාංශික හෝ වාමාංශයට නැඹුරු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බලයට පත්ව තිබේ. මේ ප්‍රවණතාවයට අලුතින්ම එකතු වන රට කලාපයේ විශාලතම රාජ්‍යය වන බ්‍රසීලයයි. දෙවන රෝස රැල්ල නැගෙමින් තිබෙන්නේ ‍2000 ගණන්වල මැද භාගයේ මෙන් නොව, ගෝලීය වශයෙන් නව ලිබරල්වාදය අර්බුදයට ගොස් තිබෙන පසුබිමක් තුලය. අනෙක් අතට, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ගෝලීය ආධිපත්‍යය අභියෝගයට ලක්ව තිබෙන, නව බහු-ධ්‍රැවීය ලෝක රටාවක විය හැකියාව අන් කවරදාටත් වඩා පැහැදිලි වෙමින් පවතින තතු යටතේය. බහුධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමෙහිලා ගෝලීය දකුණේ ශක්තිමත් රාජ්‍යයන් වන බ්‍රසීලය බදු රටවලට කල හැකි දායකත්වය අති විශාලය. මේ නිසා ලූලා ගේ පුනරාගමනය බ්‍රසීලයට පමණක් නොව පොදුවේ ගෝලීය දකුණේ රටවල දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ද බෙහෙවින් වැදගත් වන්නා වූ සංසිද්ධියක් ලෙස සැලැකිය යුතුය.

 

රමිඳු පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *