අවිධිමත් ශ්‍රමික පන්තිය : ජූලි නමය නැගිටීමේ ගාමක බලය ලෙස

2022 ජූලි 9 වන දින ලංකාවේ ඉතිහාසය නැවත ලියැවිණ. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිධූරයෙන්ද රනිල් වික්‍රමසිංහට අගමැති ධූරයෙන්ද ඉල්ලා අස් වන ලෙස බල කරමින් මහා ජනතාවක් කොළඹට රැස් විය. ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා අගමැතිගේ නිල නිවස වන අරලියගහ මන්දිරයට කඩා වැදුණු දහස් ගණනක් ජනතාව ඉල්ලා සිටියේ ජනාධිපති හා අගමැතිගේ ඉල්ලා අස්වීමයි. උද්ඝෝෂණකරුවන්ට බාධක කිහිපයක් කඩා බිද දැමීමට හා නොනවත්වා එල්ල කර ලද කදුලු ගෑස් හා වතුර ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු විය. ජනාධිපති මන්දිරය ඉදිරිපිට අවසාන බාධකය පෙරලමින් ඔවුන් ඉදිරියට ඇදෙන විට ආරක්ෂක හමුදා ඔවුන්ට වෙඩි තැබීමට පටන් ගත්තේය. නමුත් උද්ඝෝෂකයින්ගේ අධිෂ්ඨානය කඩා නොවැටුණු අතර සිය දහස් ගණනක් ජනතාව ඉදිරියේ කිසිවක් කර කියා ගත නොහැකි වූ ආරක්ෂක හමුදාවට මන්දිරය ආරක්ෂා කිරීමෙන් පසු බෑමට සිදු විය. එය ඉතිහාසගත වන මොහොතකි. විප්ලව නිර්මාණය කරන මොහොතකි.

 

ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ අයෝමය බලය පෙන්වමින් දේශපාලන තන්ත්‍රය භීතියට පත් කරන ලද පලමු දිනය ජූලි 09 වන දින නොවේ. මින් පෙර මැයි 9 වන දිනයේදී ගාලු මුවදොර හි වාඩි ලා සිටි සාමකාමී උද්ඝෝෂකයින්ට අමානුෂික ලෙස පහර දුන් අවස්ථාවේදීද මුලු රටම ඔවුන්ගේ ආරක්ෂාව සදහා ඉදිරියට ආවේය. කොළඹ වතු වල සිටින නාගරික දුගීන්, කම්කරු පාංතික ජනතාව හා වෘත්තිකයින් ගාලු මුවදොරට දුව එන ලදී. ජනතාවට පහර දෙන ලද මහින්ද රාජපක්ෂගේ මැරයින්ට ගාලු මුවදොරදී පහර දී පලවා හරින ලද අතර ඔවුන් රැගෙන නැවතත් ගම්වලට යන ලද බස් රථවලටද රට පුරා පහර දෙන ලදි. ප්‍රභූ තන්ත්‍රයට එරෙහි කෝපය පුපුරා යමින් ජනතාව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට ගිනි තබන ලදි. ජනතාව ලබා දුන් පණිවිඩය ඉතා පැහැදිලි විය. ගාලු මුවදොර උද්ඝෝෂනයට කිසිවෙකුට පහර දිය නොහැකි බව එම පණිවිඩයයි.

 

අවස්ථා දෙකේදීම ගාලු මුවදොර වාඩි ලා සිටින අපි නම් දන්නා ක්‍රියාකාරීන්ට වඩා අරගලය ඉදිරියට තල්ලු කරන ලද්දේ අපි නම් නොදන්නා මහජනතාවකි. මැයි 9 වන දින අගමැති මහින්ද රාජපක්ෂට තම ජීවිතය බේරා ගැනීම සදහා ත්‍රිකුණාමලයේ නාවික කදවුරකට පලා යෑමට සිදු වන ලද අතර ජූලි 9 වන දින ගෝඨාභය රාජපක්ෂටද අත් වූයේ එවැනිම ඉරණමකි. කලකදී ජනතාවගේ ආදරයට පත්ව සිටි රාජපක්ෂවරුන් දෙදෙනාවම ධූරයෙන් පහ කරන ලද්දේ එම ජනතාව විසින්ම ඇති කරන ලද භීතියයි.

 

නමුත් සියල්ල අවසානයේදි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට අභිමුඛ වෙමින් අරගලට ඉදිරියට තල්ලු කරන ලද නමක් නොමැති විප්ලවවාදීන් ප්‍රචණ්ඩ උද්ඝෝෂකයින්, නැතිනම් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම අරඹා ඇත. ලිබරල්වාදීන් හා මධ්‍යම පාංතිකයින් මෙම ජනතාව හෙලා දැක ඔවුන්ගේ පහසුව තකා විරෝධය සාමාකාමී යැයි නම් කිරීමට ඉතාමත් යුහුසුලු වේ. නමුත් ප්‍රතික්ෂේප කල නොහැකි කාරණය නම් වෙඩි උණ්ඩවලට මුහුණ දී බැරියර් පෙරලන ලද දහස් සංඛ්‍යාත ජනතාව නොවේ නම් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරා බලයෙන් පහ කිරීම කිසිවිටකත් කල හැකිව තිබුණු දෙයක් නොවන බවයි. අරගලයේ ජයග්‍රහණය දක්වා එය තල්ලු කරන ලද්දේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින් අරගලය අත් නොහරින ලද ඒ ජනතාවගේ ධෛර්ය විසිනි.

 

නිර්ධනීන්: ලෝකය වෙනස් කරන ජනතාව

 

19 වන සියවසේ මැද භාගයේදී විප්ලවවාදී දේශාපලන හා ආර්ථික චින්තකයෙක් වූ කාල් මාක්ස් පුරෝකථනය කරන ලද්දේ යුරෝපයේ කාර්මික කම්කරු පංතිය ධනවාදය අවසන් කරනා දේශපාලන නැගිටීමට නායකත්වය දෙනු ඇති බවයි. ඔහු න්‍යායගත කරන ලද්දේ ධනවාදය අවසන් කරනා එහි ප්‍රතිවිරෝධය ධනවාදය විසින්ම නිර්මාණය කරන ලද බවයි. ලෝකයේ වැඩ කරන ජනතාවට අහිමි වීමට කිසිවක් නොමැති බව මාක්ස් ප්‍රකාශ කලේය. අධික ලෙස වැඩ කරමින්, අඩු පඩි ලබමින්, බඩගින්නේ සූරා කෑමට ලක් වන ලද, කිසිදු සමාජ ප්‍රගමනයක් අහිමි මෙම ජනතාව ජීවත් වූයේ නාගරික මුඩුක්කු වලයි. එකල යුරෝපයේ වැඩ කරන ජනතාවට ඇත්ත වශයෙන්ම අහිමි වීම සදහා කිසිවක් තිබුණේ නැත. හොදින් කා බී, ඉස්තරම් ලෙස ඇද පැලද ලෝක සාහිත්‍ය හා විශිෂ්ට සංගීතය ඇසුරු කරමින් සිට චතුර ලෙස කතා කරනා නීතිඥවරන් සමාජ සංශෝධකයින්, කර්මානත්කරුවන් හා ධනවත් මධ්‍යම පන්තිය හා සසදන විට කිසිදු සංස්කෘතියක් නොතිබූ දුප්පත් කම්කරුවන් ලෝකය වෙනස් කිරීමට සූදානම් පිරිසක් ලෙස කිසි සේත්ම සැලකිය නොහැකි විය. නමුත් කාල් මාක්ස් විශ්වාස කලේ ලෝකය වෙනස් කරන්නේ ප්‍රභූන් නොව ධනවාදය විසින් බැහැර කරන ලද කම්කරු ජනතාව බවයි.

 

ඇත්ත වශයෙන්ම ඔහු විශ්වාස කරන ලද ආකාරයෙන්ම 20 වන සියවසේ දේශපාලන ඉරණම තීරණය කරන ලද්දේ කම්කරු ජනතාව විසින්ය. 19 වන සියවසේ පීඩිතබවට වෙනස්ව 20 වන සියවසේ ලෝකය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි හා සාමානාත්මතාවාදී විය. ධනවාදයේ අස්ථායීබව නිසා ඇති කරන ලද යුද්ධ හා විප්ලවයන් පාලනය කිරීමට දේශපාලන තන්ත්‍රයට ධනවාදය පාලනය කිරීමට හා නියාමනය කිරීමට සිදු විය. මේ අතර ධනවාදයට අභිමුඛ වන ලද බරපතලය තර්ජනය වූයේ 1917 සෝවියට් විප්ලවයයි. බලය සෝවියට් සභාවලට යන බැනරය යටතේ සාර්වාදී පරමාධිකාරය බිද හෙලන ලද ලෝකයේ පලමු කම්කරු විප්ලවය වුයේ රුසියානු විප්ලවයයි.

 

පසු යටත් විජිතවාදී ලංකාවේ රාජ්‍ය ධනවාදය

 

ලංකාව 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන ලද අතර 1972 දී ජනරජයක් බවට පත් විය. නූතන ලංකාව බිහි වූයේ යුරෝපයේ යුද්ධ හා විප්ලවයන්ට පසුව වූ අතර ඒ නිසාවෙන්ම ලංකාවේ පසු යටත්විජිතවාදී ඉතිහාසය හැඩ ගන්වනු ලැබූයේ පශ්චාත් යුධ ගෝලීය දේශපාලනය විසිනි. අලුත් ලෝකය අපාලිත ධනවාදය විසින් සිදු කල හැකි හානිය පිලිබදව දැනුවත් ව සිටියේය. ඒ නිසාම එම යුගයේ ධනවාදයේ ආකෘතිය වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. නිදහසින් පසු වසර 30 ක පමණ කාලයක් ලංකාවද අනුගමනය කරන ලද්දේ බටහිර රටවල හා අනෙකුත් තුන්වන ලෝකයේ රටවල පැවති ජාතිකවාදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ලදරු ලංකා ජනරජයේ අත්දැකීම බවට පත් වූයේ රජය මැදිහත් වී කර්මාන්තකරණය හා ශ්‍රමය මෙන්ම ප්‍රාග්ධනයද නියාමනය කරමින් ආර්ථීකය දිශාගත කිරීමයි. මේ පදනම මතම ඉතාමත් සක්‍රීය වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලංකාවේ ඇති විය. රජයේ සේවකයින් හා රජයට අයත් සමාගම්වල සේවකයින් වෘත්තීය සමිතිගත කම්කරු පංතියේ විශාල කොටසක් විය. පෞද්ගලික අංශය පවා වෘත්තීය සමිතිගත ව සිටි අතර සාමූහික ගිිවිසුම් මගින් පාලනය විය.

 

ග්‍රාමීය ආර්ථිකයේ බහුතර කොටසක් කෘෂිකර්මාන්තය හා අවිධිමත් ආර්ථිකයේ නියැලී සිටියද ශ්‍රමික ජනතාවගේ දේශපාලන ව්‍යාපාර හැඩ ගන්වන ලද්දේ වෘත්තීය සමිති හා වාමාංශික දේශපාලනික පක්ෂ විසිනි. ග්‍රාමීය ආර්ථිකය පවා ධීවර හා කෘෂි කර්මාන්ත සමූපකාර හා සමිති සම්මේලන හරහා ආයතනගතව හා සංවිධිතව පැවිතිණි. කෙසේ වෙතත් යටත්විජිත ආර්ථීකයක්ව පැවති ලංකාවේ කාර්මිකරණයක් සිදු නොවීම හේතුවෙන් විරැකියාව දිගින් දිගටම දේශපාලනිකව බලපෑම සහගත විය. 1971 දී විරැකියාවෙන් හා ඉඩම් අහිමි වීම නිසාවෙන් පීඩාවට පත් තරුණයින් විසින් එවකට පැවති සමගි පෙරමුණු රජයට එරෙහිව දියත් කරන ලද කැරැල්ල මීට උදාහරණයකි.

 

එසේ වුවද අපට පොදුවේ දක්නට ලැබෙන්නේ වෘත්තිය සමිති ව්‍යාපාරයට හා වාමාංශික පක්ෂවලට නතු කර ගත හැකි ජනතාවක් පශ්චාත් යටත් විජිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය විසින් ඇති කර තිබුනු බවයි.

 

කාර්මිකහරණය හා නියාමනහරණය

 

1977 දී බලයට පත්වූ නව ලිබරල්වාදී ජේ ආර් ජයවර්ධන රජය විසින් එතෙක් ලංකාව ගමන් කරමින් සිටි කාර්මිකරණයේ දිශාව වෙනස් කරමින් කාර්මිකහරණ නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදි. රජයට අයත්ව පැවති කර්මාන්ත අකර්මණ්‍ය කර පෞද්ගලීකරණය කරන ලදි. වෘත්තීය සමිති ව්‍යාපාරය දේශපාලනිකව පරාජය කරන ලදි. ලංකාව තුල ඉතිරි වූ එකම කර්මාන්තය වුයේ ඇමරිකාව හා යුරෝපය සදහා ඇගලුම් නිශ්පාදනය කිරීමට ඇති කරන ලද නිදහස් වෙලද කලාපයි. මේවායේ කම්කරුවන්ට ඔවුන්ට පෙර පරම්පරාවේ කම්කරුවන්ට මෙන් සංවිධානය වීමේ අයිතිය හිමි නොවන ලද අතර තාවකාලික කම්කරු ප්‍රජාවක් ලෙස ඔවුන්ව නිරන්තරයෙන්ම පවත්වාගෙන යන ලදි. තරුණ සංක්‍රමණික ස්ත්‍රී ශ්‍රමය සූරා කමින් සකස් කරන ලද නිදහස් වෙලද කලාප කිසිදු ආකාරයකින් දීර්ඝ කාලීනව රැකියාවක් කිරීම සම්බන්ධයෙන් වූ අදහස ප්‍රවර්ධනය කලේ නැත.

 

ඒ වන විට ඉතාමත් ශක්තිමත්ව පැවති කම්කරු නීතිය ප්‍රතිසංස්කරණය කරමින් ශ්‍රමය නම්‍යශීලි කිරීමට ජයවර්ධනය රජය කරන ලද උත්සාහයන් පරාජය කිරීමට හැකි වුවද නීතිය ක්‍රියාත්මක නොකිරීම හරහා හා කාර්මිකහරණය විසින් ඇති කරන ලද බාහිර පීඩනය නිසාවෙන් (විරැකියාව) කම්කරු නීති ක්‍රියාත්මක කිරීම වෙනුවට නීති කඩ කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කරන ලදි. ඒ අනුව නීතිගත නොකලද නම්‍යශීලි ශ්‍රමය සාමාන්‍ය භාවිතය බවට පසුගිය වසර 40 තුලදී පත් වී ඇත. සාම්ප්‍රදායික කම්කරු පංතිය අතුරුදහන්ව යෑමත් සමගම ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සංවිධානය කිරීමට හා තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අසමත් විය. මේ වන විට පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම වද වී යන සමාජ භාවිතයක් බවට පත් වී ඇත. ශ්‍රමය අවිධිමත්කරණය රජයේ නිල ප්‍රතිපත්තිය බවට පත් වූ අතර රජය කර්මාන්කරණයෙන් ඉවත් වී හා නීති පිලිපැදීමට කිසිදු බලපෑමක් සිදු නොකිරීම සිය ප්‍රතිපත්තිය බවට පත් කර ගත්තේය.

 

රජයේ කර්මාන්ත පෞද්ගලීකරණය කිරිම, නිදහස් වෙලද කලාප තුල අසංවිධිත කම්කරු පංතියක් බිහි වීම හා රජය ආර්ථිකය දිශාගත කිරීමෙන් ඉවත් වීම මගින් සිදු වූයේ ශ්‍රමය නියාමනහරණය වී සම්පූර්ණයෙන්ම අවිධිමත්කරණය හා නම්‍යශීලි වීමයි. රජය කාර්මිකරණයෙන් ඉවත් වීමේ අවසාන අර්ථය වූයේ රට තුල කාර්මිකරණය සම්පූර්ණයෙන්ම අඩාල වීමයි. පෞද්ගලික අංශය රැකියා ඇති කිරීම හා තිරසාර ආර්ථීක වර්ධනයක් ඇති කර ගැනීම සදහා කර්මාන්ත ඇති කිරීමට කිසිදු ආකාරයකින් උනන්දු නොවූ අතර මූල්‍ය හා වාණිජ ක්‍රියාකාරකම් මගින් ඉක්මන් ලාභ ලැබීමට ඔවුන්ට වඩා ආකර්ෂණීය විය. ලංකාවේ ආර්ථිකය තුල කර්මාන්ත අංශය මග හැර සේවා අංශය වර්ධනය වීම පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවලියයි. පසුගිය වර්ෂ කිහිපය තුල ලංකාවේ ඉහල ලාභ ලබන ලද ආයතනය පිරික්සා බැලුවහොත් අපට දක්නට හැකිවෙන්නේ ඒවායෙන් බොහෝමයක් මූල්‍ය සේවා හෝ වෙනත් සේවා සපයන ආයතන (LOLC, Vallibel, Expo Lanka) වන බවයි. කිසිදු ආකාරයක නිශ්පාදන ආර්ථීකයක් ගොඩ නගා ගැනීමකින් තොරව මතුපිටින් පමණක් ආර්ථික වර්ධනයක් ඇති කිරිම හා ශ්‍රමය අවිධිමත්කරණය මෙහි අවසාන ප්‍රතිඵලය විය.

 

ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් පමණ අවිධිමත් ශ්‍රමිකයින් වන අතර කෘෂිකර්මාන්තය, ස්වයං රැකියා හා කුඩා පරිමාණයේ ව්‍යාපාරවල බොහෝ විට ඔවුන් නිරත වී සිටී. කර්මාන්තකරණය සිදු නොවීම ඉතාමත් පැහැදිලිව පෙනෙන්ට ඇත්තේ ලංකාවේ ආර්ථිකයේ වඩාත් විශාල කාර්යභාරයක් කරනා ගෘහස්ථ කර්මාන්ත ක්ෂේත්‍රය තුලය. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ දල දේශීය නිශ්පාදිතයෙන් 49%කට පමණ දායක වෙන්නේ ගෘහස්ථ කර්මාන්ත විසිනි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ලංකාවේ මධ්‍ය හා සුලු පරිමාණ කර්මාන්තයන්ගෙන් 45% අවිධිමත් ඒකක වන අතර ඉන් 98% ඉතා කුඩා ගෘහස්ථ කර්මාන්ත ලෙස පවතී. මේ අනුව පැහැදිලි වන්නේ කර්මන්ත අතුරුදහන් වී විධිමත් රැකියා කිරීමට ඇති අවස්ථා අඩු වීමත් සමග ලංකාවේ තරුණ ජනතාව ස්වයං රැකියා සදහා යොමු වෙමින් පවතින බවයි. මේ සදහා අපිට නිරන්තරයෙන් දක්නට ඇති හොදම උදාහරණය මිලියනයකටත් අධික ලංකාවේ ත්‍රී වීලර් රියදුරු ප්‍රජාවයි.

 

අවිධිමත් ශ්‍රමිකයින් : නව ‘භයානක’ පන්තිය

 

ශ්‍රම අධ්‍යයනයන්හි විශේෂඥයකු වන ගයි ස්ටෑන්ඩින්ග් විසින් 2011 දී රචනය කරන ලද අවදානම් ශ්‍රමිකයින් : නව භයානක පංතිය (Precariat: the new dangerous class) නමැති කෘතිය තුල ඔහු අලුතෙන් ඇති වෙමින් ඇති පංතියක් හදුනා ගනී. ඔවුන් නම් අවදානම් ශ්‍රමිකයින්ය. තවමත් තමන් වෙනුවෙන් වූ පංතියක් ලෙස වර්ධනය නොවුනද ( පංති සවිඥාණයෙන් යුක්තව) අවදානම් ශ්‍රමිකයින්ගේ චලනය විසින් භයානක දේශපාලන ප්‍රතිඵල අත්පත් කර දිය හැකි බව ස්ටෑන්ඩින් හදුනා ගනී.

 

පැරණි නිර්ධන පංතියෙන් වෙනස් වූ නව නිර්ධනීන් ලෙස ස්ටෑන්ඩින්ග් අවදානම් ශ්‍රමිකයින්ව හදුන්වයි. ඔහු තර්ක කරන්නේ පැරණි නිර්ධන පංතිය යනු කාර්මික ධනවාදයේ නිශ්පාදිතයක් වන ලද බවයි. ඔවුන්ව නියෝජනය වන්නේ වෘත්තීය සමිතිවලින් සැදුම් ලත් සාම්ප්‍රදායික කම්කරු ව්‍යාපාරය තුලයි. නව නිර්ධනීන් නවලිබරල් ධනවාදය විසින් සිදු කරන ලද කාර්මිකහරණය හා නියාමනහරණය විසින් ඇති කරන ලද නව පංතියකි. ගයි ස්ටෑන්ඩින් මෙම නව පංතිය හදුනා ගන්නේ අස්ථාවර ජීවත් වීමේ රටාවකට හා අස්ථාවර රැකියාවට හුරු වී ඇති, රැකියාව විසින් ගොඩ නගන ලද ආඛ්‍යානයක් නොමැති, මුදල් ලෙස හිමි වන වැටුප් මත පමණක් යැපෙන, සැම විටම දරා ගත නොහැකි ණය නිසාවෙන් පීඩා විදින හා වඩාත් වැදගත් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ගේ අභිලාෂ හා සිහින නියෝජනය නොකරන්නේ යැයි සිතනා ප්‍රජාවක් ලෙසයි.

 

විරැකියාවෙන් පීඩා විදින, අවදානම් රැකියා සිදු කරනා හා අවිධිමත් රැකියා සිදු කරනා පිරිස් ඇතුලත් වෙන්නේ මෙම නව භයානක පංතියටයි. ස්ටෑන්ඩින්ග් හදුනා ගන්නේ ලෝකයේ සිදු වන බොහෝ දේශපාලන පරිවර්තනයන් පිටුපස සිටින්නේ මෙම ජනතාව බවත්, බොහෝ විට අන්ත දක්ෂිණාංශික නව දේශපාලන පක්ෂවලට සහය ලබා දෙන්නේ මෙම ජනතාව බවත්ය. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙම නව නිර්ධනීන් පවතින ආර්ථික ක්‍රමය විසින්ම නිර්මාණය කරන ලද පංතියක් වීමයි. කාර්මිකහරණය හා නියාමනහරණය මුල් කරගත නවලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති විසින්ම කලකට පෙර කාර්මික ධනවාදය විසින් මාක්ස් හදුනා ගත් නිර්ධනීන් නිර්මාණය කරන ලද ආකාරයෙන්ම නව නිර්ධනීන් නිර්මාණය කර ඇත. මෙම පංතිය අඩු වැටුප් ලබන, වැඩිපුර වැඩ කරනා, ණය ගැති බවින් පෙලෙනා අතර අනාගතය පිලිබදව බරපතල ලෙස අවිනිශ්ත වේ. ස්ටෑන්ඩින්ග් ප්‍රකාශ කරනා ආකාරයට එක් අත්වැරැද්දක්, එක් නරක තීරණයක නැතිනම් එක් අනතුරක් ඔවුන්ව පාරට ඇද දමනු ඇත.

 

පාස්කු ප්‍රහාරය, වසංගතය හා ආර්ථික අර්බුදය

 

එක් අත්වැරැද්දක් විසින් නව නිර්ධනීන් පාරට ඇද දැමිය හැකි නම් වැරදි, අනතුරු හා මෙම පංතියට එරෙහිව ගනු ලබන තීරණ මාලාවක් විසින් ඔවුන්ට කල හැකි හානිය කොතරම්ද? 2016 වර්ෂයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශවලට අනුව ආර්ථිකය හකුලවිමින් විරැකියාව වර්ධනය කිරීම නිසාවෙන් නව නිර්ධන පංතිය බාහිරින් එන කම්පනයන් හමුවේ වඩාත් අසරණ බවට පත් වී ඇත.

 

මෙයින් අදහස් වෙන්නේ 2006 සිට 2015 දක්වා වු රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති මෙම ජනතාවට යහපත් වූ බව නොවේ. ඇත්ත වශයෙන්ම විධිමත් ආර්ථිකයේ පවා මෑන් පවර් ශ්‍රමය යොදා ගනිමින් නීතියෙන් බාහිරව ශ්‍රමය නම්‍යශීලිකරණය හා අවිධිමත්කරණය තීව්‍ර වූයේ රාජපක්ෂ යුගයේදීය. තිරසාර රැකියා වෙනුවට රාජපක්ෂ රජය ප්‍රවර්ධනය කරන ලද්දේ නියාමනහරණයයි. මූල්‍ය පහසුකම් බහුල විම නිසාවෙන් ත්‍රී වීලර් රියදුරන් ප්‍රමාණය ඉහල ගිය අතර, රාජපක්ෂ රජය විසින් ප්‍රවර්ධනය කරන ලද ඉදි කිරීම් කර්මාන්තයට බහුලව භාවිතා කරන ලද්දේ දෛනික ශ්‍රමයයි. මේ වන විට මේ සියලු ජනතාවට තම රැකියා අහිමි වී ඇති අතර ඒ අනුව ඔවුන් විසින්ම ඔවුන්ව බලයෙන් පන්නා දමන දේශපාලන බලවේගය නිර්මාණය කරන ලදී.

 

පාස්කු බෝම්බ ප්‍රහාරය විසින් සංචාරක කර්මාන්තය මත ඇති කරන ලද බලපෑම, වසංගතය ආශ්‍රිතව පනවන ලද ලොක්ඩවුන් නිසාවෙන් අවිධිමත් අංශය මත ඇති කරන ලද බලපෑම හා පසුව ආර්ථීක අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහල දැමීම, බදු ඉහල දැමීම හා පොලී අනුපාත ඉහල දැමීම වැනි ආර්ථීකය හකුලවන ප්‍රතිපත්ති නිසාවෙන් අවිධිමත් ශ්‍රමිකයින්ට තමන් මෙතෙක් කර සිටිමින් රැකියා කිරීම ඉතාමත් අපහසු වී ඇත. මේ වන විට අවම බස් ගාස්තුව පවා රුපියල් 40 ක් වී ඇති තත්ත්වයක් ගෘහස්ථ කම්කරුවන්ට තමන් පෙර ලැබූ වැටුප් මත රැකියා කල නොහැකි වී ඇත. ඉන්ධන මිල ඉහල යාම නිසාවෙන් ප්‍රවාහන පහසුකම් සපයමින් ආදායම් උපයන ලද ත්‍රී වීලර් රියදුරා, පාසල් රථ රියදුරා හා ලොරි රියදුරන්ට පවා ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇත. මෙම ප්‍රවාහන පහසුකම් සපයන බොහෝ දෙනා තමන්ගේ වාහන මිලදී ගෙන ඇත්තේ ලීසිං පහසුකම් මත නිසාවෙන් ඔවුන්ට තම ණය වාරික ගෙවා ගැනීමට පවා නොහැක වී ඇත. ණය මත සුලු පරිමාණයේ ව්‍යාපාර කරන ලද කුඩා කර්මාන්තකරුවන්, ගෙවතු වගාවේ නිරත සුලු නිශ්පාදකයින්, ඉදි කිරීම් ආශ්‍රිත රැකියා සිදු කරන ලද ශ්‍රමිකයින් ආදී වශයෙන් අවිධිමත් ශ්‍රමිකයින් බොහෝ දෙනෙක් මේ වන විට රැකියා අහිමි වීම නිසාවෙන් අර්බුදයට ගොස් සිටි. ආර්ථිකය හැකිලවීම, පාස්කු ප්‍රහාරය, වසංගතය හා ණය අර්බුදය විසින් අවිධිමත් ශ්‍රමිකයින්ව පාරට ඇද දමා ඇත.

 

විදුලි බිල්, ජල බිල්, ණය වාරික ගෙවීමට නොහැකිව, දරුවන්ට හා වැඩිහිටියන් රැක බලා ගැනීමට නෙහැකිව 70% ක් වන ලංකාවේ අවිධිමත් කම්කරු පංතිය — නැතිනම් ගයි ස්ටෑන්ඩින්ග් හදුනා ගන්නා නව නිර්ධන පංතිය අනාගතය ගැන කිසිදු පැහැදිලි බවකින් තොරව අවිනිශ්චිතබවින් ජීවත් වෙමින් ඇත. එකකට පසුව එකක් පැමිණෙන බාහිර කම්පනයන් කොහොමටත් අස්ථාවර වූ ඔවුන්ගේ ජීවිත තව තවත් අස්ථාවර කරමින් ඇත. සංස්ථාපිතයට එරෙහි ඔවුන්ගේ කෝපය ඒ නිසාම පුපුරනා සුලු වේ. රැකියා හා අනාගතයක් නොමැතිව අහිමි වන්නට තමන් බැද ඇති යදම් හැර කිසිවක් නොමැති මෙම නව නිර්ධනීන් සටන් කරන්නේ තමන්ගේ පැවැත්ම සදහායි.

 

තුවක්කු ඉදිරියේ පපුව දික් කරමින්, මාර්ගය දෙපස කෑ ගසමින් අරගල කරන මෙම නමක් නොමැති විප්ලවවාදීන්ට තම ජීවිත මුහුණ දී ඇති අර්බුදයනට ඉක්මන් විසදුම් අවශ්‍යව ඇත. මධ්‍යම පංතිය විසින් අරගලය සාමකාමී වැදගත් බව ආරක්ෂා කිරීමට තැත් කලද ඇත්ත වශයෙන්ම මෙම අරගලය ඉදිරියට තල්ලු කරනා බලවේගයට ගාන්ධියානු ක්‍රියාමාර්ග ගනිමින් කල් මැරීමට තරම් ඉස්පාසුවක් නොමැත.

 

නව නිර්ධනීන් සදහා දේශපාලන වැඩපිලිවෙලක්

 

දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා ගාලු මුවදොර අරගලකරුවන්ට මෙම විරැකියාවෙන් හා ණයගැතිබවෙන් පෙලන මහජනතාවගේ කෝපය ඵලදයී ලෙස දේශපාලන අරමුණ වෙත යොමු කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ භාශාව කතා කිරීමට ඔවුන්ට සිදු වේ. ඔවුන්ට අවශ්‍ය මොනවාද? රැකියා, තම දරුවන් හා පවුල්වලට කන්නට දීමට ආදායම්. දිනපතා කතා කරමින් ණය වාරිකය මතක් කරනා බැංකුව හා ලීසිං සමාගමට දීමට පිලිතුරක්. ඔවුන්ට අවශ්‍ය ඔවුන් ජීවිතයේ කිසිදාක අත් නොවිදි ආර්ථීක ස්ථායීබවයි. ඔවුන්ව පාරට ඇද නොදමන ආර්ථිකයකි.

 

ආර්ථීක අර්බුදයට ඉදිරිපත් වී ඇති විසදුම් විසින් ඇත්ත වශයෙන්ම කරන්නේ මෙම නව නිර්ධනීන් තවත් අසරණ කිරීම හා එම පංතිය ප්‍රතිනිශ්පාදනය කිරීමයි. ඒ අනුව ඇත්ත වශයෙන්ම වීමට නියමිත ජනතා අරගලය තව තවත් තීව්‍ර වීම හා බොහෝ දුරට තව තවත් සටන් කාමී වීමයි. ජනතාවගේ ආර්ථීක අස්ථාවර කරමින් දේශපාලන ස්ථාවරත්වය බලාපොරෙත්තු වීම නිශ්පල ක්‍රියාවකි. දේශපාලන ස්ථාවරත්වය ඇති කල හැක්කේ ඇත්ත වශයෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පමණි. ජනතාව මුහුණ දෙන දෛනික ජීවන අරගලය, එනම් රැකියා හා ආහාර සදහා වූ අරගලය වෙත ප්‍රවේශ වීමට දේශපාලන බලවේග අසමත් වුවහොත් අපට ඔවුන් වෛර කරනා සතුරාගෙන් එහා ඇති ඔවුන්ට ආර්ථීක ආරක්ෂාව සපයන ලෝකය නිර්මාණය කිරිමට නොහැකි වනු ඇත. ඒ අනුව අපට දැන් අවශ්‍ය වෙන්නේ නව නිර්ධනීන් සදහා වූ ආර්ථික සැලැස්මකි.

 

ජනතාවට අවශ්‍ය ජීවත් වීමටයි, ආහාර සපයා ගැනිමටයි, තමන්ගේ දරුවන්ට ඉගැන්වීමටයි. නමුත් අරගලයේ න්‍යය පත්‍රය සකස් කිරීමට ඇත්ත වශයෙන්ම අරගලය දිනවන මෙම නමක් නොමැති විප්ලවවාදීන් සම්බන්ධ වෙන්නේද? ඔවුන්ව දේශපාලනිකව දැනුවත් කිරීමට හා සංවිධානය කිරීමට අරගලය සමත්ද? ප්‍රගතිශීලි දේශපාලනික සම්ප්‍රදාය හා මෙම නව නිර්ධනීන් අතර සම්බන්ධයක් ගොඩ නංවා ගැනීම අද දවසේ අත්‍යාවශ්‍යතාවයක් වී ඇත්තේ අරගලය ඉදිරියට ගෙන යන දේශපාලන බලවේගය හා ඔවුන්ගේ දේශපාලන ධෛර්යය අපතේ නොයනු පිණිසයි. නව නිර්ධනීන්ට නියෝජිතත්වය ලබා දිය හැකි දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම ඒ අනුව අද දවසේ ප්‍රගතිශීලි දේශපාලනයේ මූලික කාර්යභාරය වේ.

 

සම්මුති සැකසීම් හා න්‍යාය පත්‍ර සැකසීම් සිදු කිරීමේ දී අසංවිධිත මෙම ජනතාව ඒවාට සම්බන්ධ කර ගන්නේ කෙසේද? ඔවුන්ගේ නියෝජිතත්වයක් නොමැතිව ඔවුන්ගේ අරගලය වෙනුවෙන් සම්මුතීන් සකස් කල හැකිද? සංස්ථාපිත වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති විසින් සකස් කරනා අරගල සම්මුතීන් මෙම ජනතාව නියෝජනය කරන්නේද? විරැකියාවෙන් හා ණයගැතිබවෙන් පෙලෙනා තරුණ තරුණියන්ට එක් විය හැකි දේශපාලනය අනාගතවාදී දේශපාලනයක් වනු ඇත. අද දිනයේදී සෝවියට් වලට බලය යන රැඩිකල් සටන් පාඨය අර්ථවත් වනු ඇත්තේ මෙම නව නිර්ධනීන්ට බලය ලබා ගත ව්‍යාපාර හරහායි. ඔවුන්ට එක් විය හැකි දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරන්නේ කවුද කෙසේද යන්න අප ඉදිරියේ ඇති දේශපාලනික අභියෝගයයි.

 

ලක්මාලි හේමචන්ද්‍ර

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *