ඉතිහාසයේ ප්‍රථම වරට කියුබාවේ මැයි දින රැළි නොපැවැත්වීමට කියුබානු රජය මෙවර තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරනු ලැබුවේ මේ වන විට කියුබාවේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදයයි. අර්බුදයත් සමඟ ම කියුබානු රජය මේ වන විට ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන අතර ඒ නිසාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බව අපට දැකගත හැකිය. මෙයට හේතුව සමාජවාදය බව මෙරට ඊනියා නව ලිබරල්වාදීන් පෝලිම් දෙස බලමින් උදම් අනමින් සිටිති.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කේනල්(Miguel Diaz-Canel) සිය රටවැසියන් අමතා ප්‍රකාශ කරනු ලැබුවේ කියුබාව විසින් ඉන්ධන ආනයන කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන ආනයනයකරුවන් විසින් නිසි පරිදි ඉන්ධන සැපයුම ලබා දීමට අපොහොසත් වී ඇති බව ය. ප්‍රධාන වශයෙන් ම කියුබාවට තෙල් ආනයනය කරනු ලබන්නේ වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගමක් වන PDVSA සමාගම මගිනි. ඇමරිකා එක්සත් ජනපදය විසින් 2017 වර්ෂයේ දී වෙනිසියුලාව වෙත සම්බාධක දැමීමේ ආරම්භක පියවරක් ලෙස PDVSA හට මූල්‍යකරණයට ප්‍රවේශ වීම සීමා කිරීම සිදු කරනු ලැබූ අතර ඉන් නිෂ්පාදන පහළ වැටීම උග්‍ර වීම මෙන්ම ආයෝජන සීමා වීම ද සිදු විය. ඉන් නොනැවතුණු ඇමරිකා එක්සත් ජනපදය ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී එකසත් ජනපදයට අනුබද්ධ දේශීය සමාගම් හෝ විදේශීය සමාගම්වලට PDVSA හට ඉන්ධන විකිණීම,වෙනිසියුලාවේ ඉන්ධන කියුබාව වෙත ලඟා වීම ද අහුරමින් විවිධ සම්බාධක පනවා තිබේ. මෙම සම්බාධක හමුවේ වෙනිසියුලාවේ ඉන්ධන නිෂ්පාදන පිරිවැය ද ඉහළ දැමීමට ද සිදු වී තිබේ. වෙනිසියුලාවට සහ කියුබාවට පනවා ඇති මෙම සම්බාධක නිසා එම රටවල් දෙක හට විවිධ දුෂ්කරතා රැසකට ද මුහුණදීමට සිදුව ඇත.
මේ සියළුම දුෂ්කරතා මධ්‍යයේ වුව ද ඇමරිකානු බලාධිකාරයට නොබියව වෙනිසියුලාව විසින් කියුබාව වෙත ඉන්ධන ලබා දීම සිදු කරයි. වර්තමානය වන විට කියුබාවට දෛනිකව අවශ්‍ය තෙල් මෙට්‍රික් ටොන් 500-600 සඳහා වෙනිසියුලාවව නිකුත් කළ හැකිව පවතින්නේ තෙල් ටොන් 400 පමණ ප්‍රමාණයකි. මෙය කිසිසේත් ම ප්‍රමාණවත් ධාරිතාවයක් නොවෙන අතර කියුබාව තුළ මෙලෙස දිගු තෙල් පෝලිම් සහ අර්බුද ඇතිවීමට බලපා තිබෙන්නේ මෙම සම්බාධක නිසා නිසිපරිදි අඛණ්ඩව තෙල් සැපයීම් සිදු කිරීමට වෙනිසියුලාව අසමත් වීම හේතු කරගෙනය. මෙම ඉන්ධන හිඟය නිසා මැයි දින රැලි නැවැතීම සඳහා කටයුතු කිරීමට ද කියුබානු රජයට සිදු විය. මෙම අර්බුධය හමුවේ සිය පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් තෙල් භාවිත කිරීමට ඔවුන් කටයුතු කරමින් පවතින අතර විදුලිය ඉතිරි කිරීම සඳහා එහි රාජ්‍ය නිළධාරීන් සිය වැසියන්ව ධෛර්යමත් කරනු ලබන්නේ ස්වභාවික දිවා ආලෝකය උපරිම ලෙස භාවිත කිරීමටය. තව ද ඔවුන් ඩීසල් භාවිතය අවම කිරීම සඳහා සත්ත්ව ශක්තිය මඟින් යොදා ගනිමින් කටයුතු කිරීම ද දිරිමත් කරනු ලබයි. කියුබානු රජය විසින් කාර්මික නිෂ්පාදන කප්පාදු කිරීම සිදු කළ අතර එමඟින් රෝහල්වල අඛණ්ඩව සේවා සැපයීම සහ ආහාර බෙදා හැරීම නියමිත පරිදි සිදු කිරීම කරනු ලබයි. මේ වන තුරු කියුබාව තුළ දීර්ඝ විදුලි විසන්ධි කිරීම් සිදු නොවූ අතර සම්බාධක මධ්‍යයේ වුවද සිය පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට රජය කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකාව දෙස බලනා විට පසුගිය වසරේ සිට මේ දක්වා අප හට ද අපගේ කාලය ගෙවා දැමීමට සිදු වූයේ විවිධ ආකාරයේ පෝලීම්වලය. කියුබානු පෝලිම් සහ ලංකාවේ පෝලිම්වල වෙනස මනාව හඳුනා ගැනීමට අපට සිදු වූ මහජන අරගලය ප්‍රමාණවත් ය. ඊනියා නව ලිබරල්වාදීන් කියුබානු අර්බුදය ධනේශ්වර ඇමරිකාවේ සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස දැකීමට වඩා සමාජවාදී රාජ්‍යක අසමත්භාවයක් ලෙස දැකීම කෙතරම් විහිළුසහගත ද?තෙල් පෝලිම් නිසා කියුබානු නායකයා ගෙදර යැවීම මේ වන තෙක් මහජනතාව සිදු නොකළ අතර තෙල් පෝලිම් සහ විවිධ ආකාරයේ පෝලිම් නිසා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට නම් සිය ධූරය හැරයාමට මෙහි පුරවැසියන් කටයුතු කළහ.
ශ්‍රී ලංකාව තුළ දිගු ඉන්ධන පෝලිම් ඇතිවීමට හේතුව වූයේ ඉන්ධන සැපයුම්කරුවන්ට නිසි ලෙස අප හට ඉන්ධන ලබා දීමට තිබූ නොහැකියාව නොව රජය හට ඉන්ධන මිළ දී ගැනීම සඳහා ඩොලර් නොමැති වීම අතර ඩොලර් නොමැති වීමට හේතු වූයේ අපගේ විදේශ විනිමය සංචිතය හමරා වීමයි. විදේශ විනිමය සංචිතය ශේෂ වීමට කරුණු කිහිපයක් බලපෑ බව අපට සඳහන් කිරීමට හැකිය. කෙටිකාලීන ම හේතු සාධකය වූයේ ගෝලීය කොවිඩ් වසංගතය යි. එමෙන් ම එය තීව්‍ර කිරීමට බලපෑ සමීපතම කාරණාවක් ලෙස ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ගත් මුග්ධ ක්‍රියමාර්ගයක් ලෙස ධනපතියන් හට විශාල ලෙස බදු සහන ලබා දීම බව නොරහසක් වන අතර ප්‍රමුඛ කාරණාවට බවට පත් වූයේ අනීතිකව සිදු වූ ප්‍රාග්ධන ගලනයයි. එනම් ලංකාවේ ප්‍රධාන ධනපති සමාගම් ලංකාවට ගෙනා යුතු ඩොලර් නොගෙන ඒමයි. එමෙන් ම ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණ දුර්වලතා,1978 සිට පැවතගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති නිසා සිදු වූ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම ද සඳහන් කළ හැක. තවද අපගේ විදේශ ප්‍රතිපත්ති වල තිබූ ඝට්ටනයන් ද මීට හේතු කාරණා විය. නිදසුනක් ලෙස රුසියාවෙන් අතරමැදියන් නොමැතිම සෘජුවම පොලී රහිත ණය පහසුකම් යටතේ තෙල් ලබා ගැනීමට හැකියාව පවතිද්දීත් ඊට කිසිදු උත්සහයක් නොදරා, රුසියාවෙන් සහන මිළ ගණන් යටතේ තෙල් මිල දී ගන්නා ඉන්දියාවේ තෙල් සමාගම් වලට ඉතා ඉහළ මිළ ගණන් යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට තෙල් විකිණීමට අවස්ථාව ලබා දීම සඳහන් කළ හැක. මෙහි දී ඉන්දියානු සමාගම් සහ ලංකාවේ දේශපාලඥයන් මෙමඟින් අධිකව ලාබ උපයද්දී එහි වැඩිවන මිළ බර දැරීමට සිදු වූයේ ද සාමාන්‍ය ජනතාවටය.
ණය ගෙවා දැමීමට ද නොහැකිව බංකොලොත් රාජ්‍යක්ව පැවති ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට සිදු කරනු ලැබුවේ තෙල්වල මිළ ඉතාමත් අසාධාරණ ලෙස ඉහළ දමා තෙල් සමාගම් ඒකාධිකාරයට නතු වී තෙල් මිළ දී ගෙන බෙදා දීමය. කියුබාව සහ ශ්‍රී ලංකාව දෙස බලන විට පැහැදිලි ලෙස අපට අර්බුදයන්ට තුඩු දුන් කරුණු කාරණා සමාජවාදයේ ප්‍රතිඵලයක් නොවන බව ගම්‍ය වේ. නමුත් මේ ඊනියා නව ලිබරල්වාදීන් ශ්‍රී ලංකාවේ අර්බුදය චෞර අදූරදර්ශී පාලකයන්ගේ නොමනා පාලනයේ ප්‍රතිඵලයක් ලෙසත් කියුබානු අර්බුදය සමාජවාදයේ ප්‍රතිඵලයක් ලෙස දැකීමටත් ප්‍රියතාවයක් දක්වයි. කියුබානු ජනාධිපති තෙල් අර්බුදය හේතුකොට ගෙන ඒ සමාජවාදී රාජ්‍යයේ මැයි දිනය අවලංගු කළ ද බංකොලොත් වී ණය ගෙවා ගැනීමටවත් නොහැකි වී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති සිදු කළේ මිලියන ගණන් වියදම් කර නිදහස් උත්සවය සැමරීමයි. කියුබාවට පමණක් ම ඉන්ධන අර්බුදය සීමා වී නොමැත. ගෝලීය වශෙන් සලකා බැලුව ද මේ කාලවකවානුව වන විට ඉන්ධන අර්බුදය සුලබ බව අපට දැක ගත හැකිය. එය සමාජවාදී හෝ ධනේශ්වර රාජ්‍යන් ලෙස වෙන් කර ගත නොහැකි පොදු අර්බුදයක් බවට පත්ව හමාරය. ධනේශ්වර රාජ්‍යන් ඊට විසඳුම් සොයන්නේ තෙල් මිල ඉහළ දමමින් ජනතාවගේ කර මත එම බර ද පැටවීමෙනි. අවසාන ලෙස පැවසීමට ඇත්තේ මේ ලෝකයේ කොහේ හෝ පරිපූර්ණ ලෙස අතහදා බැලූ සමාජවාදයක් නොමැති අතර සමාජවාදය ලෙස රටක් පෙන්වමින් උදාහරණයට ගැනීම විහිළුසහගත බවයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින සාකච්ඡාව සමාජවාදය පිළිබඳව හෝ ධනවාදය පිළිබඳව හෝ නොවේ. සංවර්ධනය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකත්වය දෙන සංවර්ධන මොඩලයක් අනුගමනය කරනවාද එහෙමත් නැතිනම් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ තීව්‍ර කරනවාද යන්න පිළිබඳවයි. කියුබාව සාමාජවාදී මූලධර්ම මත පිහිටා කටයුතු කරන රාජ්‍යක් හෙයින් කියුබාව අසමත් වී ඇති බව පවසන ඊනියා නවලිබරල්වාදීන් ශ්‍රී ලංකාව,ඝානාව,සැම්බියාව වැනි රටවල බංකොලොත්භාවය කියනම් දේශපාලන දර්ශනයක් ඔස්සේ විග්‍රහ කිරීමට සමත් වේද?සමාජවාදය නිසාවෙන් කියුබාව අසාර්ථක බව පවසන්නන් ධනවාදය නිසාවෙන් ශ්‍රී ලංකාව අසාර්ථක වී හෝ සාර්ථක වී ඇති බව පැවසීමට මැලිකමක් දක්වන්නේ ඇයි?
සටහන – කුෂානි පෙරේරා
Comments (0)