EPF කොල්ලය නොහොත් පන්ති යුද්ධය

මේ වනවිට ලංකාවේ දේශපාලනය තුල ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඇති වන සමාජ-ආර්ථික බලපෑමයි. ආණ්ඩුව මේ වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවය අත්සන් කරන අවස්ථාවේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කෙරුණේ නැත. මහ බැංකු අධිපතිවරයා අවස්ථා කීපයක දී කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය නොවන බවයි. එහෙත් විදේශීය ණය ප්‍රතිව්‍යහුගතකරණ ක්‍රියාවලියේ දී පෞද්ගලික විදේශ ණය හිමියන් ඉදිරිපත් කොට තිබෙන කොන්දේසියක් වන්නේ ඔවුන්ගේ ණය කපා හැරීමක් සිදු වේ නම්, රජයේ දේශීය ණය හිමියන්ගේ ණය ද කපා දැමිය යුතු බවයි. එම කොන්දේසිය අබියස කිසිදු කේවල් කිරීමකින් තොරව දණ ගසා ඇති ආණ්ඩුව පසුගිය දා දේශීය ණය ප්‍රතිව්‍යහුගතකරණයට අදාල සැලැස්ම ඉදිරිපත් කලේය.

 

මෙම සැලැස්මට අනුව, දේශීය ණය හිමියන් අතුරින් බැංකු සහ වෙනත් පෞද්ගලික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් නිදහස් කොට තිබේ. ඒ වෙනුවට, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බලපෑමට ලක්වන්නේ මූලික වශයෙන් සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු විශ්‍රාම අරමුදල්ය. සේවක අර්ථ සාධක අරමුදල විශාල වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කොට තිබේ. ආණ්ඩුව ක්‍රියාත්මක කරන සැලැස්මට අනුව, සේවක අර්ථ සාධක අරමුදලට ණය කපාහැරීම නිසා විශාල පාඩුවකට මුහුණ දෙන්ට සිදු වනු ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ, සේවක අර්ථ සාධක අරමුදලේ අර්ථලාභීන් වන පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබීමට නියමිත ප්‍රතිලාභ සැලකිය යුතු ප්‍රමාණයකින් කප්පාදුවට ලක්වීමයි.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බව ආණ්ඩුව කී විට, මෙරට විශාල වාණිජ බැංකු ඒ සම්බන්ධව සිය විරෝධය පල කොට සිටියේය. වාණිජ බැංකු යනු මෙරට ඉහලතම ලාභ ලබන සමාගම් අතර පවතින සමාගම් විශේෂයකි. කාර්මිකකරණයට ලක් නොවූ, නව ලිබරල්වාදයේ බලපෑමට හසු වූ ඌණ සංවර්ධිත රටක් වන ලංකාවේ ශක්තිමත් කාර්මික හෝ කෘෂිකාර්මික ධනපති පන්තියක් දක්නට නොමැත. ඒ වෙනුවට, මෙරට ධනපති පන්තිය සමන්විත වන්නේ වෙලඳ ධනපති පන්තියකින් හා මූල්‍ය ධනපති පන්තියකිනි. මෙරට විශාල වාණිජ බැංකුවල අයිතිය පවතින්නේ මෙම මූල්‍ය ධනපති පන්තිය අතය.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මෙම මූල්‍ය ධනපති කොටස් විරෝධය පල කල විට ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුව එම විරෝධය පිලි ගත්තේය. ඒ අනුව මූල්‍ය ධනපති පන්තියට කිසිදු අත තැබීමක් සිදු නොකොට, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත බර සේවක අර්ථ සාධක අරමුදල මත ; එනම් මෙරට වැඩ කරන ජනතාව මත පැටවීමට ආණ්ඩුව තීන්දු කලේය.

 

ආණ්ඩුවේ මේ තීරණය අප තේරුම් ගත යුත්තේ කෙසේද? මෙරට පෞද්ගලික අංශයේ සේවක පන්තිය සංවිධානය වූ එකක් නොවේ. ලංකාවේ වෘත්තීය සමිතිගත ජනගහණය සියයට දහයකට අඩුය. ඉනුදු බහුතරය සිටින්නේ රාජ්‍ය අංශයේ හා වතු අංශයේය. පෞද්ගලික අංශයේ අති විශාල කලාපයක සේවකයන් සංවිධානය වී නොමැත. ඔවුන්ගේ ඉල්ලීම් විධිමත් ලෙස ඉදිරිපත් කිරීමට මේ නිසා ඉඩක් නොමැත. සේවකයන් විසිරී සිටින නිසා, තම විරෝධය සංවිධානාත්මක ලෙස පල කිරීමේ හැකියාවක් ද ඔවුන් වෙත නැත. ඒ අනුව පෞද්ගලික අංශයේ ශ්‍රමික ජනයාගේ කේවල් කිරීමේ බලය සාපේක්ෂව දුර්වලය. මෙන්න මේ බව දැනගෙනය, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත බර මෙම ජනතාව මත පැටවීමට ආණ්ඩුව තීන්දු කොට තිබෙන්නේ.

 

ආණ්ඩුවේ මෙම තීරණය මේ වනවිට දියත් වී තිබෙන ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණවල ස්වභාවය සම්බන්ධ කදිම ආදර්ශ රූපයක් සපයයි. ආණ්ඩුවට අනුව ආර්ථික අර්බුදයේ බර අප ඉසිලිය යුතුය ; ආර්ථික අර්බුදයෙන් එතෙර වීමට ‘තිත්ත බෙහෙත්’ බොන්ට ලෑස්ති විය යුතුය. හැබැයි මේ තිත්ත බෙහෙත් පානය කල යුතු යැයි ආණ්ඩුව අපේක්ෂා කරන්නේ මෙරට පහල පාන්තික හා මැද පාන්තික ජනතාවය.

 

නිදසුන් ලෙස, මීට මාස කීපයකට පෙර, ආණ්ඩුව උපයන විට බද්ද ඉහල නැංවූ විට, මැද පන්තික වෘත්තීක ශ්‍රේණිවලට අයත් වෘත්තීය සමිති එය සමාලෝචනය කරන ලෙසට ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධ වැඩවර්ජනයක් ද දියත් විය. එහෙත් ආණ්ඩුව කිසිදු විටෙක තම පිලිවෙත වෙනස් නොකරන බවට අනම්‍ය ස්ථාවරයක සිටියේය. අවිධිමත් අංශයට අයත් පහල පාන්තික ජනයා සංවිධානගත වී නොමැති නිසා ඔවුන් සිටින්නේ එබඳු ඉල්ලීමක් හෝ ඉදිරිපත් කල හැකි තත්වයක නොවේ. සාපේක්ෂ කේවල් කිරීමේ බලය අඩු පිරිස්වල ඉල්ලීම් එලෙස අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරන ආණ්ඩුව, මූල්‍ය ධනපති පන්තිය කෙරෙහි පමණක් සානුකම්පිත වේ. ඔවුන්ගේ ඉල්ලීම් පමණක් ‘බැරෑරුම්’ ලෙස භාර ගනී.

 

මේ සම්බන්ධ අනෙක් නිදසුන වන්නේ, විදේශ විනිමය වංචනික ලෙස පිටමංගත කරන වෙලඳ ධනපති පන්තියේ කොටස් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියයි. වංචනික ලෙස මෙලෙස අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටමං කොට තිබෙන බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත්ව තිබිය දී පවා, ආණ්ඩුව ඒ සම්බන්ධව කිසිවක් සිදු කොට නැත. ඩොලර් හිගයක් පවතින අවස්ථාවක, ආණ්ඩුවට පහසුවෙන් කල හැකි දෙයක් නම්, සාවද්‍ය වෙලඳ ඉන්වොයිස්කරණය හරහා සිදුවන මෙම විදේශ විනිමය පිටමංගත කිරීම පාලනය කරන්ට කටයුතු කිරීමයි. මහබැංකු අධිපති ඒ සම්බන්ධව නිද්‍රාශීලී පිලිවෙතක් අනුගමනය කරනවා පමණක් නොව, පසුගිය දා විදේශ විනිමය නීති ලිහිල් කරන්ට කටයුතු කිරීම හරහා ඔවුන් තවත් දිරි ගැන්වීමට ක්‍රියාමාර්ග යොදා ඇත. වෙලඳ ධනපති පන්තියේ කොටස් වෙත මේ සහන ආණ්ඩුව ලබාදෙන්නේ ආර්ථිකය සංකෝචනය කරන ආණ්ඩුවේ අයිඑම්එෆ්-ගැති පිලිවෙත නිසා දස දහස් ගණන් කම්කරුවන්ට රැකියා අහිමි වී තිබෙන තත්වයක් තුලය ; රටේ ජනගහණයෙන් හතරෙන් එකක් දිලිඳුබවට ඇද වැටී තිබෙන පසුබිමකය ; කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් අන්තිම අසරණ අඩියකට වැටී ඇති මොහොතකය.

 

මේ දියත් වී තිබෙන්නේ ආර්ථික අර්බුදයේ බර මෙරට සාමාන්‍ය පන්තිය මත පටවන පන්ති යුද්ධයක් බව මේ අනුව පැහැදිලිය. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල පැහැදිලි පන්තිමය පැතිමානයකින් යුක්තය. මුදල් තිබෙන, බලය තිබෙන අය තමන්ට අවශ්‍ය විධිහට ආණ්ඩුවේ තීරණ කලමනාකරණය කරගනී. එවැනි බලයක් නොමැති පිරිස් මත කිසිදු අනුකම්පාවකින් තොරව බර පිට බර පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එම ජනයාට මත බර පටවනු පමණක් නොව, ඔවුන්ට විරෝධය දැක්විය හැකි එකම මාර්ගය වන උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම ද මේ වනවිට තහනම් කොට ඇත. ඉතිහාසයේ පලමු වතාවට පා ගමන් හා පෙලපාලි ලංකාවේ තහනම් තත්වයක් උද්ගතව ඇත. අර්ථ සාධක කප්පාදුවට එරෙහිව පසුගිය දවස්වල වෘත්තීය සමිති සංවිධානය කල විරෝධතාවලට එරෙහිව අධිකරණ නියෝග ගන්නා ආකාරය අපි දුටිමු. මෙහි අවසන් තේරුම, ආණ්ඩුව වැඩ කරන ජනතා කොටස්වල බඩට ගහනවා පමණක් නොව — බඩට ගසන විට කෑ ගැසීම ද තහනම් කරන අතිශය දුර්දාන්ත පිලිවෙතකට ගමන් කොට ඇති බවයි.

 

ආණ්ඩුව මෙරට අති බහුතර ජනයා බිත්තියට හේත්තු කරමින් සිටින බව පැහැදිලිය. ආපසු හැරී සටන් කිරීම හැර අන් විකල්පයක් මෙරට ජනයා අබියස නැත. එලෙස සටන් කරන්ට සූදානම් විවිධ සමාජ ස්ථර අතර වන ඓතිහාසික හවුල ගොඩනැගීම මේ මොහොතේ අප අබියස තිබෙන දේශපාලන අභියෝගය වේ.

 

සටහන – රමිඳු පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *