ලංකාවේ රජයට, මහ බැංකුව දේශීය බැංකු, රක්ෂණ සමාගම්, විශ්‍රාමික අරමුදල් විසින් ලබා දී ඇති ණය කපා දැමීමට (ප්‍රතිව්‍යහගතකරණය කිරීමට) සිදු වන බව ජනාධිපති ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඔහු එය කියන්නේ ඒ නිසා මූල්‍ය පද්ධතියට හා ජනතාවගේ ඉතුරුම්වලට වෙන බලපෑම සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් ලබා දෙමින් නෙවෙයි.
පුද්ගලික ණය හිමියන් (bondholders) විසින් 2023 පෙබරවාරි 3 වන දින මූල්‍ය ආයතනය වෙන යවන ලද ලිපියේ ලංකාවේ ණය කපා දැමීමට කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය දක්වා තිබෙන නිසා දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමට රජයට සිදු වන බව රනිල් වික්‍රමසිංහ පවසන්නේ, එහෙම නැතිනම් බැංකු මේ රට අරගෙන කරන්න වැනි උද්දච්ච කතාවක්ද කියමින්.
බැංකු දේශීය ණය ප්‍රතිව්‍යහගතකරණය කිරීමට එකඟතාවයක් නැත්තේ ආර්ථික අර්බුදය නිසාවෙන් මේ වෙන විටත් ඔවුන්ගේ ණය වල වටිනාකම අඩු වී ඇති නිසාත් තව දුරටත් ණය කපා දැම්මොත් බැංකු පද්ධතිය ද්‍රවශීලතා අර්බුදයකට ගමන් කළ හැකි බවට ඔවුන් සිතන නිසයි. මූල්‍ය අරමුදලට අනුව ආර්ථික අර්බුදය නිසාවෙන් ලංකාවේ බැංකු පද්ධතියට ඩොලර් බිලියන 6 ක පමණ අලුතෙන් ප්‍රාග්ධනය සොයා ගැනීමට සිදු වී තිබෙනවා. නමුත් දේශීය ණය ප්‍රතිව්‍යහගතකරණය සම්බන්ධයෙන් රජය තහවුරු කිරීමත් සමග බැංකු වල කොටස් මිල කඩා වැටෙමින් තියෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේදී බලපෑමට ලක් වෙන අනෙක් ප්‍රධාන අංශය විශ්‍රාමික අරමුදල්. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලයි. ලංකාවේ මහා බැංකු බැඳුම්කර ණය වලින් 42%ක් පමණ මූල්‍යනය කර ඇත්තේ මෙම විශ්‍රාමික අරමුදල්. ලංකා රජයේ ණය හිමියන් සලකා බැලුවොත් මෙම අරමුදල් දෙකට ඇති ණය චීනය ලබා දී ඇති ණයට වඩා විශාලයි. වෙනසකට ඇත්තේ මෙම ණය රුපියල් වලින් ලබා දී තිබීම නිසා ඒවා නැවත ගෙවීමේ දී විදේශ විනිමය අවශ්‍ය වෙන්නේ නැහැ.
විශ්‍රාමික අරමුදල් වලට නැවත ගෙවිය යුතු මුදල් කපා දැමීම විසින් අරමුදලේ වත්කම් වල අගය අඩු කරන අතර ප්‍රතිලාභීන් ට මුදල් ලැබීම අඩු වීම හා කල් යෑම සිදු වෙනවා.
ලංකාව මේ වන විට නැවත ගෙවීම නවත්වා ඇත්තේ ද්විපාර්ශවික ණය හිමියන් හා පුද්ගලික ණය හිමියන්ට ගෙවිය යුතු ණය පමණයි. මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට හා දේශීය ණය හිමියන්ට සිදු කරන ණය නැවත ගෙවීම රජය නවත්වා නැති අතර දේශීය ණය හිමියන් සතුව ඇති ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රුපියල්වලින් නැවත ණය ගෙවීමට රජය පසු ගිය කාලයේදි සිදු කළා. ලංකාවට ණය නැවත ගෙවීමට නොහැකි වූයේ විදේශීය ණය හිමියන්ට ගෙවීමට විදේශීය විනිමය හා වත්කම් නොමැති වීමෙන් මිසක රුපියල් වලින් ණය නැවත ගෙවීමට නොහැකි නිසා නොවෙයි. ඒ වගේම ඩොලර් වලින් පුද්ගලික ණය හිමියන්ගෙන් ලබා ගත් ණය සඳහා ලංකාවේ රජය සාපේක්ෂව ඉහළ පොලී අනුපාතයක් හා රජයේ ආදායමෙන් වැඩි කොටසක් ගෙවනවා. ඇත්තටම ණය බර වැඩි වීමට ප්‍රධානම හේතුව මේ ආකාරයෙන් ඉහළ පොලී අය කරන පුද්ගලික ණය හිමියන්. එහෙම තත්ත්වයක් යටතේ තමයි රජය දේශීය ණය ප්‍රතිව්‍යහගතකරණය කරමින් දේශීය ඉතුරුම්කරුවන්ට දඬුවම් දෙන ආකාරයෙන් කටයුතු කරන්නේ.
මෙතන දී අපි සලකා බැලිය යුතු තවත් කාරණයක් වෙන්නේ රජය විදේශීය හා දේශීය ණයහිමියන්ට සලකන ආකාරයේ වෙනස්කමයි. විදේශිය ණය හිමියන් සමග තමන්ට කේවල් කිරීමට ඇති බලය අඩු යැයි හිතන රජය කිසිදු විරෝධයක් නොමැතිව ඔවුන්ගේ හැම කොන්දේසියකට එකඟ වෙමින් සිටිනවා. නමුත් දේශීය නීතිය යටතේ ඇති දේශීය ණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ ආකල්පය එයට හාත්පසින්ම වෙනස් ආකාරයක් ගන්නවා. කරන්න දෙයක් නැහැ. ණය කපන්න වෙනවා වගේ උද්දච්ච කතා ඔහුට කියන්න පුළුවන් තමන්ගේ රජයේ බලය යටතේ ජීවත් වෙන විශ්‍රාමිකයින්ට හා ඉතුරුම්කරුවන්ටයි. පුද්ගලික ණය හිමියන් විසින් අසාධාරණය කොන්දේසි පනවද්දි ඒවාට එරෙහිව කේවල් කරන්න රනිල් වික්‍රමසිංහගේ කට ඇරෙන්නෙ නැහැ. එතකොට ඔහු කියන්නේ ණය නැවත ගෙවන්න ඕනේ. එයාගේ සීයත් එහෙම තමයි එයාට ඉගැන්නුවේ කියලයි.
මෙහි ඇති අවාසනාවන්ත ම තත්ත්වය නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 වර්ෂයේදී ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම සම්බන්ධයෙන් සම්මත කරන ලද මූලධර්ම පවා අමතක කරමින් තමයි රනිල් වික්‍රමසිංහ, පුද්ගලික ණය හිමියන් හා මූල්‍ය අරමුදල මේ මොහොතේ කටයුතු කරන්නේ. ලංකාවේ රජය ඒ අනුව නිල ණය හිමියන් වෙන විදේශීය ණය හිමියන් ඉදිරියේ නොනිල ණය හිමියන්ද වෙන කම්කරුවන්, විශ්‍රාමිකයන් හා ඉතුරුම්කරුවන් ට වෙනස් ආකාරයන් දෙකකින් සලකමින් ඉන්නවා. විදේශිය ණය හිමියන්ට වඩා වාසිදායක ලෙස කටයුතු කරන මේ රජයට ජනතාව විසින් ජනවරමක් ලබා නොදීම තවත් භයානක තත්ත්වයක්.
සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන අවශ්‍ය වෙනුවෙන් ණය කපා දැමීම සම්බන්ධයෙන් ගෝලීයව සාකච්ඡා වෙද්දී ලංකාවේ රජය විසින් ජනතාව ආරක්ෂා කිරීම හා ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කිරීම වෙනුවට ගෝලීය මූල්‍ය සමාගම් ඉදිරියේ දණින් වැටී ජනතාව මර්දනය කිරීම තෝරාගෙන තිබෙනවා.
ණය කපා දැමීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විදයාඥයා වන ඉන්දර්මිත් ගිල් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය කපා දැමීමක් අවශ්‍ය බවත් ද්විපාර්ශවික ණය හිමියන් එල්ල කර සකසා ඇති පොදු රාමුව ( common framework) මේ වන විට අසාර්ථක වී ඇති බවත් බොහෝ රටවල ප්‍රධානම ණය හිමියා වෙන්නේ පුද්ගලික ණය හිමියන් වෙන බවත් ප්‍රකාශ කරනවා. පුද්ගලික ණය හිමියන් විසින් ණය කපා දැමිය යුතු බවට වෙනත් ණය ගැති රටවල් මෙන්ම මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව පවා ප්‍රකාශ කර සිටින කාලයකදී තමයි පුද්ගලික ණය හිමියන් ආරක්ෂා කිරීම සඳහා දේශීය ඉතුරුම්කරුවන් කැප කිරීමට රජය කටයුතු කරමින් ඉන්නේ.
ජනතාව ලෙස අප රජය කරන සියලු දේ පිළිගන්නේ නැතිව රජය සමග පුරවැසියන් ලෙස විතරක් නෙවෙයි රජය මූල්‍ය ණය කරන ලද ණය හිමියන් ලෙස කේවල් කිරීමටත් කාලය පැමිණ තිබෙනවා. ලංකාවේ රජය උස තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී නොසිටින රජයක් නිසාවෙන් ජනතාවගේ අයිතිවාසිකම් දිගින දිගටම කප්පාදු වීම වැළකීමට නම් මෙවැනි රජයන්වලට යටපත් වීම වෙනුවට ඒවා අභියෝග කර ලෝකය ඉදිරියේ අපි වෙනුවෙන් පෙනී සිටින රජයක් වෙනුවෙන් සටන් කිරීමට අපිට සිදු වෙනවා.
සටහන – ලක්මාලි හේමචන්ද්‍ර
Comments (0)