චීන අත්දැකීම තේරුම් ගැනීම : වෙලඳපොල සමාජවාදය

සංස්කාරක සටහන – ලෝක බලවතෙක් ලෙස චීනය නැගීමත් සමග චීනයේ ස්වභාවය වටහා ගැනීම බෙහෙවින් අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්ව තිබේ. චීනය සම්බන්ධව ලංකාවේ දක්ෂිණාංශයේ මෙන්ම වාමාංශයේ ද ප්‍රචලිත අදහස එරට හා ධනවාදී සෙසු ලෝකය අතර වෙනසක් නැති බවය. එහෙත් චීනය තුල පවතින පද්ධතිය සරලමතික ලෙස ‘ධනවාදී’ ලෙස වර්ග කිරීම අපහසු වන්නේ ශක්තිමත් ධනවාදී-නොවන අංශයක පැවැත්ම ද දක්නට ලැබෙන නිසාය. චීන රජය අනුගමනය කරන ‘වෙලඳපොල සමාජවාදී’ රටාව පිලිබඳ පහත ලිපිය ශිමිං ලෝංග් (ෂිංහුවා විශ්ව විද්‍යාලය, චීනය), ටෝනි අන්ඩ්‍රියානි (දේශපාලන ආර්ථිකය සඳහා වූ ලෝක සංසදය) හා රෙමී හරේරා (පැන්තියන්-සෝබොන් විශ්ව විද්‍යාලය, ප්‍රංශය) යන අය විසින් රචිත එකකි. මෙය On the Nature of the Chinese Economic System යන හිසින් Monthly Review මාක්ස්වාදී වාර සංග්‍රහයේ පල විය. ලිපියේ සිංහල අනුවාදය අපි කොටස් වශයෙන් ප්‍රතිවාද වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරමු.

 

***

චීනය පිලිබඳ මාක්ස්වාදී විවාදය

 

තම රටේ ආර්ථිකය තුල ධනවාදී පෞද්ගලික අංශය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව චීන පාලක පන්තිය පිලිගනී. එහෙත් මෙම අංශය යනු මිශ්‍ර ආර්ථිකයක් තුල වන බහුවිධ අංග අතුරින් එක් අංශයක් පමණක් බවත්, රාජ්‍ය අංශය හා රාජ්‍යයේ බලය ආර්ථිකය තුල වැදගත් වැඩ කොටසක් ඉටු කරන බව ඔවුන් පවසති. චීන නායකයන් විසින් පවත්වා තිබෙන කථා විභාග කරන විට, චීනය මේ වනවිට ‘සමාජවාදයේ ප්‍රාථමික අවධියේ’ පසුවන බවත්, පූර්ණ සමාජවාදය සඳහා අවශ්‍ය වන නිෂ්පාදන බලවේග වර්ධනය කිරීම සඳහා මෙම අවධිය පසු කිරීම අවශ්‍ය බවට ඔවුන් අතර පොදු එකඟතාවයක් පවතින බවත් පෙනේ. මේ ප්‍රකාශ ගැන අපට කිව හැක්කේ කුමක්ද? ඒවා නිවැරදිද? මෙම ප්‍රකාශන බැරෑරුම් ලෙස සැලකිය හැකි ඒවාද?  වෙනත් වචනවලින් කියනවා නම්, චීනයේ සමාජවාදය අවසන්ද? අපගේ අදහස එය එසේ නොවන බවයි.

 

කෙසේ වුවද, මාක්ස්වාදී චින්තකයන්ගේ විවාද දෙස බලන විට, චීන ආර්ථිකය මේ වනවිට ධනවාදී ආර්ථිකයක් බවට පත්ව තිබෙන බවට බොහෝ අය සලකන බව පෙනේ. නිදසුන් ලෙස 1978 ආර්ථික ප්‍රතිසංස්කරණවලට පසුව, ‘චීන ලක්ෂණ සහිත නව ලිබරල්වාදයක්’ බිහි වී තිබෙන බවට ඩේවිඩ් හාර්වි සලකයි. ඔහුට අනුව දැඩි ලෙස අධිකාරිවාදී හා මධ්‍යගත වූ පාලනයක් තුල ක්‍රියාත්මක වන, නව ලිබරල් අංග අවශෝෂණය කරගනු ලැබූ නිශ්චිත ආකාරයක වෙලඳපොල ආර්ථිකයක් චීනය තුල ක්‍රියාත්මක වේ. ඇඩම් ස්මිත් පිලිබඳ ප්‍රගතිශීලී යලි කියැවීමක් කරන ජියෝවන්නි ඇරිගී චීනයේ ආර්ථික සාර්ථකත්වය පැහැදිලි කරන්නේ ‘වෙලඳපොල ආණ්ඩුවේ උපාංගයක් ලෙස’ යොදාගැන්මට චීන පාලක ප්‍රභූව ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙසය. චීනය ලෝක ආර්ථිකයේ චක්‍රය තුලට ඒකාබද්ධ වීම ගෝලීය ධනවාදයේ හැඩ ගැස්ම වෙනස් කල හැකි සාධකයක් ලෙස දැකීම ප්‍රතික්ෂේප කරන ලියෝ පැනිච් හා සෑම් ගිංඩින් කලින් ජපානය ඉටු කල ආකාරයේ අනුපූරක භූමිකාවක් පමණක් චීනය ඉටු කරන බවට සලකති. චීනය එක්සත් ජනපදයට තම ගෝලීය හෙජමොනිය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධන සංසරණයට උපකාරී වන රාජ්‍යයක් පමණකි. මේ තතු තුල, චීනයේ මූල්‍ය වෙලඳපොල ලිබරල්කරණය දිශාවට වූ ප්‍රවණතාවයක් පවතින බවත්, මේ තුල ප්‍රාග්ධනය මත වන පාලනය ලිහිල් කෙරෙමින් තිබෙන බවත්, එය චීන කොමියුනිස්ට් පක්ෂයේ බල ආධිපත්‍යය අනාගතයේ දුබල කිරීමට බලපානු ඇති බවටත් තර්ක කෙරේ.

 

කෙසේ වුවද, චීනය තුල දැනට පවතින ක්‍රමය රාජ්‍ය ධනවාදයේ යම් රූපාකාරයක් ලෙස වර්ධනය විය හැකි බව සේම ; එය අනාගතයේ විවිධ වූ විකල්ප මාවත් ඔස්සේ ගමන් කල හැකි බවට වූ අදහස වෙනුවෙන් පෙනී සිටින — ප්‍රමාණයෙන් සුලු නමුත්, වැදගත්කමින් අඩු නොවන — වෙනත් මාක්ස්වාදීන් ද සිටිති. මෙම ලිපිය යට කී අදහස තවත් වර්ධනය කරයි. චීනයේ දැනට පවතින ක්‍රමය සමාජවාදයේ ඇතැම් ප්‍රධාන ලක්ෂණ තවමත් අන්තර්ගත කරගත් එකක් බවත්, මෙකී ක්‍රමය ධනවාදයෙන් පැහැදිලි ලෙසම වෙනස් වන්නා වූ වෙලඳපොල හෝ වෙලඳපොල-පාදක සමාජවාදී ක්‍රමයක් සමග සම්පූර්ණ ලෙසම අනුකූල වන බවටත් අපි තර්ක කරමු.

 

චීන වෙලඳපොල සමාජවාදයේ ලක්ෂණ

 

මාක්ස්ට අනුව ධනවාදයේ අනුමිත ලක්ෂණයක් වන්නේ ශ්‍රමය තුලින් වටිනාකම් උත්පාදනය කිරීම හා නිෂ්පාදන මාධ්‍යවල අයිතිය අතර කරනු ලබන වෙන් කිරීමයි. මේ පැහැදිලි කිරීම තුල ප්‍රාග්ධන අයිතිකරුවන් නිෂ්පාදනයේ නොයෙදෙති. නූතන බටහිර මූල්‍ය ධනවාදය මෙම තතු විදහා දක්වන්නකි. ප්‍රාග්ධනය කලමණාකරනය කිරීම කලමණාකරුවන් වෙතට අභිනියෝජනය කොට තිබේ. සමායතනික ලාභය කොටස් හිමියන්ගේ ලාභයේ ස්වරූපය ගනී. මෙම සංකල්පීය රාමුව තුල සිට බලන්නේ නම්, චීනයේ අති මහත් විශාල සංඛ්‍යාවක් වූ කුඩා ව්‍යවසායන් වඩාත් සමීප වන්නේ දැඩි අරුතින් ගත්කල ධනවාදී නිෂ්පාදන මාදිලියට වඩා ගෘහස්ථ හෝ හස්ත කර්මාන්තවලටය. තවද, ධනවාදයේ මූලික නියාමය වන, අයිතිකරුවන්ගේ ලාභ උපරිම කිරීම සඳහා ව්‍යවසාය ක්‍රියාත්මක කිරීම නම් වූ ධර්මතාවය චීනයේ විශාල රාජ්‍ය සමාගම් සම්බන්ධයෙන් දක්නට නොලැබේ. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර බෙදීම බොහෝ විට බොහොම සාපේක්ෂ  ස්වරූපයක් ගනී. රාජ්‍ය ව්‍යවසායන් තුල රාජ්‍ය ධනවාදී ආකෘතීන් පැන නැගීම වලක්වන සාධකයක් ලෙස මෙය ක්‍රියා කරයි. ඊටත් වඩා ‘සාමූහික ආර්ථිකය’ තුල ; එනම් සමූපකාර හා ජනතා කොමියුනවලින් සමන්විත ආර්ථික ක්ෂේත්‍රය තුල කම්කරුවන් ප්‍රාග්ධනය පාලනය කිරීමට හා ඇතැම් විට තම වැඩපොලේ පුර්ණ හිමිකාරීත්වය අභ්‍යාස කිරීමට පවා සම්බන්ධ වන පසුබිම තුල යට කී බෙදීමේ සාපේක්ෂතාවය වඩා පැහැදිලි ස්වරූපයක් ගනී. මෙම සාමූහික නිෂ්පාදන ඒකකවල වුවත්, කම්කරුවන් කලමණාකරනයෙන් අඩු වැඩි වශයෙන් වෙන් කොට ඇති බව සැබැවි. එහෙත් මේ අති විශාල වූ රාජ්‍ය නොවන ආර්ථික ක්ෂේත්‍රය සරලව ‘ධනවාදය’ නම් ලේබලය පසුපස ගාල් කිරීම අපහසුය.

 

චීනය ක්‍රමය වෙලඳපොල සමාජවාදයක් ; එනම් වෙලඳපොලක් සහිත සමාජවාදයක් ලෙස අර්ථ දැක්වීම මූලික වශයෙන් ධනවාදයට ආගන්තුක වන කරුණු දහයක් මත පදනම් වූවකි.

 

පලමුව, බලගතු හා නූතන සැලසුම්කරණයක පැවැත්ම. මෙම සැලසුම්කරණය විවිධ ආකෘතීන් තුල ක්‍රියාත්මක වන අතර, අදාල ක්ෂේත්‍රයට අනුව විවිධ උපාංග භාවිතා කරයි.

 

දෙවනුව, මෙම සැලසුම්කරණයට පසුබිම් වන සාමූහික වරණ නිර්ණය කිරීම සඳහා ක්‍රියාත්මක වන දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ යම් රූපාකාරයක පැවැත්ම.

 

තෙවනුව, දේශපාලන, සමාජ හා ආර්ථික පුරවැසිභාවයේ තතු හැඩ ගස්වන අතිශය පෘථුල පොදු සේවාවල පැවැතීම. මේ සේවාවන් වෙලඳපොලින් බැහැර වූ ක්ෂේත්‍රය;නැතිනම් ඉතාම සීමිත ලෙස වෙලඳපොලකරණයට ලක් වූ ක්ෂේත්‍රයන්ය.

 

සිවුවනුව, ඉඩම් හා ස්වභාවික සම්පත්වල රාජ්‍ය අයිතිය. ජාතික මට්ටමින් රාජ්‍යය සතුව හා ප්‍රාදේශීය මට්ටමින් සාමූහික ලෙසට ඉඩම්වල අයිතිය පැවැතීම තුල ගොවීන්ට ඉඩම් සදහා වූ ප්‍රවේශය සහතික කොට තිබේ.

 

පස්වනුව, නිෂ්පාදන බලවේගවල සමාජයීයකරණයට ගැලපෙන ලෙස සකස් වූ හිමිකාරීත්වයේ බහුවිධ ආකෘතීන් පැවැතීම. මේ යටතේ (අ) රාජ්‍ය ව්‍යවසායන් – කලමණාකරනයට කම්කරුවන් සහභාගී වීම තුල මේවායේ ස්වරූපය ධනවාදී ව්‍යවසායන්ට වෙනස් ස්වරූපයක් ගනී ; (ආ) සුලු පරිමාණ පෞද්ගලික දේපොල; (ඇ) සමාජයීය දේපොල යන රූාපාකාර පවතී. මීට අමතරව ධනවාදී දේපොල පවතී. රජය විසින් එය පැවැතීමට ඉඩ දී ඇතිවා පමණක් නොව, අනෙක් ආකාරවල දේපොලවල ක්‍රියාකාරීත්වය උද්දීපනය කිරීමේ අරමුණින් සමාජවාදය වෙත වූ දීර්ඝ සංක්‍රාන්තිය තුල ධනවාදී දේපොල ඇතැම් අවස්ථාවල ධෛර්යයමත් කිරීම ද දක්නට ලැබේ.

 

සයවනුව, ආදායම් ජනනයේ අනෙක් මූලාශ්‍රවලට සාපේක්ෂව ශ්‍රම ඉපැයුම් ඉහල නැංවීම දෙස නැඹුරු වූ පොදු ප්‍රතිපත්තියක පැවැත්ම.

 

සත්වනුව, වඩා සමානාත්මතාවාදී පර්යාවලෝකනයක සිට, සමාජ සාධාරණත්වය පිලිබඳ අදහස ප්‍රවර්ධනය කිරීම.

 

අටවනුව, සමාජ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය ලෙසට සලකනු ලබන ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සඳහා දක්වන යොමුව.

 

නමවනුව, ‘සම-ජය’ (win-win) මූලධර්මය මත, විධිමත් ලෙස අන්‍යොන්‍ය ප්‍රතිලාභ සාක්ෂාත් කරගැන්ම දෙස නැඹුරු වූ, රාජ්‍යයන් අතර ආර්ථික සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රතිපත්තිය.

 

දසවනුව, සාමය හා වඩා සාධාරණ සම්බන්ධයක් දෙසට නැඹුරු වූ රාජ්‍යයන් අතර දේශපාලන සම්බන්ධතා වර්ධනය කිරීමේ යොමුව.

 

චීනය තුල වාගේම විදේශවලත් ඉහත කී කරුණු බරපතල විවාදවලට තුඩු දී තිබෙන බව සැබෑවකි. මේ සම්බන්ධ විශ්ලේෂණය අගතීන් හෝ පූර්ව-සංකල්පනයන්ගෙන් තොරව සිදු කල යුතු වේ. විවේචනවලට පාත්‍ර විය හැකි බව පිලිගන්නා අතරේම, ඉහත දැක්වූ කරුණු දහය චීනයේ ආර්ථික ක්‍රමය වෙලඳපොල සමාජවාදී ක්‍රමයක් ලෙසට සංකල්පගත කිරීම සඳහා සප්‍රාමාණික න්‍යායාත්මක රාමුවක් අපට සපයයි.

 

පරිවර්තනය – රමිඳු පෙරේරා

Comments (1)

පින්ග්කිරීම: Prathivada

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *