21 වන සියවසේ සමාජවාදී ආර්ථික සංවර්ධනය

සංස්කාරක සටහන : ඇල්බර්ටෝ ගැබ්‍රියෙලි හා එලියාස් ජැබර් යන ශාස්ත්‍රඥයන් දෙපොල විසින් මෙම වසරේ එලි දැක්වූ 21 වන සියවසේ සමාජවාදී ආර්ථික සංවර්ධනය (Socialist Economic Development of the 21st century)   නම් කෘතිය පිලිබඳ මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් වන මයිකල් රොබට්ස් කල විචාරයක සිංහල පරිවර්තනය පහත පලවේ. ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත් මෙම විචාරය තුල රොබට්ස් චීනය ධනවාදයට වෙනස් ; එලෙසම සෝවියට් සංගමය බඳු රටවල වූ සාම්ප්‍රදායික සමාජවාදයට ද වෙනස් නව සමාජ ආර්ථික සැකැස්මක් නියෝජනය කරන බවට ගැබ්‍රියෙලි හා ජැබර් විසින් ඉදිරිපත් කරන ප්‍රවාදය විචාරයට හසු කරයි.

 

චීනය සහ පසුගිය කාලයේ වෙලඳපොල ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල වියට්නාමය බඳු, කොමියුනිස්ට් පක්ෂවල පාලනය යටතේ තිබෙන, නමුත් ධනවාදී ප්‍රතිසංස්කරණ සිදු කොට තිබෙන රටවල් කෙලෙස වර්ගීකරණය කල යුතුද යන්න ලංකාවේ වගේම ලෝකයේ ද විවාදයට තුඩු දී තිබෙන මාතෘකාවකි. දක්ෂිණාංශික මතධාරීන්ට අනුව මේ රටවල වෙලඳපොල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම යනු සමාජවාදයේ අසාර්ථකතාවය හා ධනවාදයේ සාර්ථකත්වය පිලිබඳ සංකේතයකි. ලංකාව තුලත් චීනයේ ස්වභාවය ගැන වූ විවාදය බෙහෙවින් තියුණුය. ඇතැම් අය චීනය ධනවාදී රටක් පමණක් නොව ; අධිරාජ්‍යවාදී රටක් ලෙස පවා වර්ගීකරණය කරනු දැකගත හැක.

 

මෙම විචාරය චීනය සම්බන්ධව ලංකාවේ පවතින සාකච්ඡාවට වැදගත් විය හැකි නිසා අප මෙය සිංහලයෙන් ඉදිරිපත් කරමු. කියවීමේ පහසුව පිණිස ලිපිය කොටස් දෙකකින් පල වේ. පලමු කොටස ගැබ්‍රියෙලි හා ජැබර්ගේ ප්‍රවාදය විස්තර කරයි. දෙවැනි කොටස, එම ප්‍රවාදය පිලිබඳ මයිකල් රොබට්ස්ගේ විවේචනය ඉදිරිපත් කරයි.

 

***

 

21 වන සියවසේ සමාජවාදී ආර්ථික සංවර්ධනය (Socialist Economic Development of the 21st century)  නමින් ඇල්බර්ටෝ ගැබ්‍රියෙලි හා එලියාස් ජැබර් විසින් රචනා කොට තිබෙන කෘතිය විමර්ශනය සඳහා වූ සූම් සාකච්ඡාවකට මා ලග දී සම්බන්ධ වූවා. ගැබ්‍රියෙලි ඉතාලියේ රෝම නගරය පාදක කරගත් ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් වන අතර, ජැබර් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පාසැලේ සහය මහාචාර්යවරයෙක්.

 

කෘතියේ පිටකවරයේ සඳහන් වන ලෙසට ගැබ්‍රියෙලි හා ජැබර් මෙම ‍පොත හරහා ‘පසුගිය සියවස තුල සමාජවාදී ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වූ සාර්ථක වීම් හා අසාර්ථක වීම් පිලිබඳ නැවුම්, සමබර හා ඓතිහාසික වශයෙන් පදනම් සහිත’ විශ්ලේෂණයක් ඉදිරිපත් කොට තිබෙනවා. ෆ්‍රැන්සෙස්කෝ ශෙටීනෝ ලියූ පෙරවදන මෙහෙම කියනවා :

 

‘…මේ ප්‍රශ්නය ගැනම ලියමින්, මීට වසරකට පෙර, ජාත්‍යන්තර කීර්තිධර ආර්ථික විද්‍යාඥයෙක් වන බ්‍රැන්කෝ මිලානොවික් තර්ක කලේ චීනයේ රාජ්‍ය අංශය සමස්ත ජාතික ආර්ථිකයේ පහෙන් පංගුවක් පමණක් සංයුක්ත කරන නිසා, මහජන චීන ජනරජය වෙනත් සාමාන්‍ය ධනපති රටවල්වලින් හරයාත්මක ලෙස වෙනස් බවට සැලකිය නොහෙන බවයි’.

 

මිලානොවික් විසින් රචිත ධනවාදය තනිවම (Capitalism alone) නම් කෘතිය තුල ඔහුගේ තර්කය විස්තරාත්මක ලෙස ඉදිරිපත් වෙනවා. ඔහු එහි දී ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’ (බටහිර ධනවාදය) හා ‘දේශපාලන ධනවාදය’ (ඒකාධිපති චීනය) අතර වෙනසක් යෝජනා කරනවා. මට අනුව මේ දෙබෙදුම ව්‍යාජ එකක්. එය පැන නගින්නේ මිලානොවික් පටන් ගන්නා තැන වන, නිෂ්පාදන මාදිලිය හා සමාජ ක්‍රමය වෙනස් ලෙසකට, එනම් සමාජවාදී ලෙසකට සංවිධානය කරන්ට නුපුලුවන් බව හා කම්කරු පන්තියට ඒ සඳහා සටන් කරන්ට හැකියාවක් හෝ උවමනාවක් තිබෙන බවට වූ පිලිගැනීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන අනුමානය තුලින්.

 

මිලානොවික්ගේ ගෝලයෙක් වන ඉසබෙල් වෙබර් ද මේ මාතෘකාව ගැන චීනය කම්පන ප්‍රතිකාරය මග හැරියේ කෙසේද? නමින් බොහෝ පිලිගැනීමට බඳුන් වූ කෘතියක් රචනා කලා. මිලානොවික් විසින් අගය කෙරුණු මේ කෘතිය, ශාස්ත්‍රාලීය වාමාංශික කව අතර බෙහෙවින් ප්‍රබල බලපෑමක් ඇති කලා. වෙබර්ගේ තර්කය තමයි චීනය ආර්ථිකය සෘජුව පාලනය කිරීමේ සිට වෙලඳපොලට කෙරෙන රජයේ මැදිහත්වීම හරහා වක්‍ර ලෙස පාලනය කිරීම වෙත මාරු වීම සිදුවූවත්, රජය ආර්ථිකයේ ‘අණ දෙන මුදුන්වල’ පාලනය තවමත් රඳවා ගෙන තිබෙන බව. මේ නිසා ‘…තම දේශීය ආර්ථිකය මත වූ පාලනය අහිමි කරගැනීමෙන් තොරව චීනය ගෝලීය ධනවාදය සමග සම්බන්ධ වී තිබේ’.

 

1978 ඩෙංග් ෂියා ඕ පෙන් චීනයේ නායකත්වයට පත්වීමත් සමග චීනය ධනවාදී වීම පටන් ගත් බවට වෙබර් තර්ක කරන බව පෙනෙන අතර, ඉක්බිති චීනය තුල පැවැති විවාදය වූයේ ධනවාදය තුල කෙතරම් දුරට ගමන් කරනවාද යන්න බව ඔහු කියනවා. නිදසුන් ලෙස ‘කම්පන ප්‍රතිකාරය’ වෙත යනවාද, එහෙම නැතිනම් ‘වැඩිපුර’ ධනවාදය වෙත මධ්‍යස්ථ ලෙස ගමන් කරනවාද ආදී ලෙස. එහෙත් චීන රාජ්‍යයේ ආර්ථික පදනම ගැන වෙබර් පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ.

 

චීන ආර්ථිකය හා රාජ්‍යයේ ස්වභාවය ගැන ගැබ්‍රියෙලි හා ජැබර් සිය කෘතිය තුල වඩා පැහැදිලි අදහස් ඉදිරිපත් කරනවා. චීනය පිලිබඳ ඔවුන්ගේ විශ්ලේෂණය සූක්ෂමයි. එය චීනය ධනවාදයේ වෙනස් රූපාකාරයක් බවට මිලොනොවික් ඉදිරිපත් කරන අදහසට පැහැදිලිවම ප්‍රතිවිරුද්ධයි. මිලානොවික්ගේ අදහස තමයි, බටහිර රටවල වගේ ධනපති පන්තිය වෙනුවට, දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලැබෙන ධනවාදයක් චීනය තුල පවතින බව. ඒ වෙනුවට ගැබ්‍රියෙලි හා ජැබර්ගේ තර්කය තමයි චීනය ‘සමාජවාදය වෙත නැඹුරු වූ’ ආර්ථිකයක් බව. රාජ්‍යය ඒකාධිපති හෝ ප්‍රජාතන්ත්‍රවාදී කවර හෝ වර්ගයක ධනපති රාජ්‍යයකට වඩා වෙනස් බව. ‘…චීනයේ ආර්ථික සාර්ථකත්වය යනු ධනවාදයේ ප්‍රතිඵලයක් නොව සමාජවාදය වෙත වන සංක්‍රාන්තිය නිසා ඇති වූ තත්වයකි. මෙය ධනවාදයට ඔබ්බේ පිහිටියා වූ නව සමාජ ආර්ථික සැකැස්මකි’.

 

‘සමාජවාදය වෙත නැඹුරු වූ’ යන යෙදුම ‘පහසුවෙන් වටහා ගත හැකි’ නිසා ප්‍රයෝජනවත් බව තමුන් සිතන බව කතුවරුන් කියනවා.

 

‘…දේශපාලන බලවේග තමුන් සමාජවාදී සමාජ ආර්ථික පද්ධතියක් පිහිටුවමින්, ශක්තිමත් කරමින් හෝ එය වැඩි දියුණු කරන ක්‍රියාවලියක සිටින බවට නිල වශයෙන් හා විශ්වසනීය ලෙසකට ප්‍රකාශ කරන; ප්‍රධාන ආර්ථික හා සමාජ ලක්ෂණවලින් සමන්විත බහු-ආංශික අවකාශයේ මැනිය හැකි මානයන්වලට සාපේක්ෂව සමාජවාදය දිශාවට නැඹුරු වූ සාධනීය ක්‍රියාාර්ග ගනු ලබන පසුබිමක් තුල සාධාරණ ලෙස සමාජවාදී යැයි කිව හැකි තත්වයක් පවතී’. ‘…ජාතික ආර්ථිකය මෙහෙයවීමෙහිලා රාජ්‍යය සෘජුව හෝ වක්‍රව තීරණාත්මක හෙජමොනික භූමිකාවක් ඉටු කරනවාද නැද්ද යන්න චීනයේ ආර්ථිකය සමාජවාදීමය යැයි නිර්ණය කිරීමෙහිලා යොදාගත හැකි තීරණාත්මක (නමුත් අවසානාත්මක නොවන) සාධකයකි’. රාජ්‍යය අධිකාරී බලය හෙබවිය යුතුය. එපමණක් නොව ‘සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමයක්’ වර්ධනය කිරීමේ කටයුත්තෙහි රාජ්‍යය විශ්වාසනීය ලෙස නියුක්ත වී සිටිය යුතුය’.

 

සාම්ප්‍රදායිකව සමාජවාදී ආර්ථික ක්‍රමය යන්නට වූ අර්ථයට වඩා මෙය සාපේක්ෂව ‘දුර්වල අර්ථයක්’ බව කතුවරුන් පිලිගන්නවා. සම්ප්‍රදායික අරුතින් සමාජවාදය යනුවෙන් අදහස් කලේ :

 

‘…පෞද්ගලික දේපොල නොමැති හෝ ශ්‍රම ඉපයීම් නොවන ලෙසකට කරනු ලබන ඉපැයුම් නොමැති, සෑම අයෙක්ටම ඇය කල වැඩ අනුව යන මූලධර්මය සාර්වත්‍රික ලෙසට ක්‍රියාත්මක වන ජාතික රාජ්‍යයකි. එය පූර්ණ ලෙස සමාජවාදී තත්වයක් ලෙසට සැලකිණ. එබඳු ශුද්ධ වූ සමාජවාදී ව්‍යාප්ති ව්‍යුහයක් සමකාලීන ලෝකයේ කිසිදු තැනක නොපවතින බව පැහැදිලිය’.

 

සමාජවාදය පිලිබඳ ‘යල්පැන ගිය’ සංකල්පගත කිරීම් තමුන් ප්‍රතික්ෂේප කරන බව කියන කතුවරුන්, ‘සමාජ ආර්ථික සැකැසුම්’ යනුවෙන් වූ අදහස වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් මෙහෙම කියනවා :

 

‘…ඇතැම් සංවර්ධනය වෙමින් තිබෙන රටවල ධනවාදය හා පූර්ව-ධනවාදී නිෂ්පාදන මාදිලිවලට සමාන්තරව, සමාජවාදයේ කලල රූපාකාරයන්වල පැවැත්ම දැකගත හැක. මෙබඳු ආකෘති අපි සමාජවාදී නැඹුරුව සහිත සමාජ ආර්ථික සැකසුම් ලෙස හඳුන්වමු. සමාන ලක්ෂණ ප්‍රකට කරන වෙලඳපොල සමාජවාදී මොඩල වටා සංවිධානය වූ මෙබඳු විවිධ සමාජ ආර්ථික සැකසුම් තුල නිෂ්පාදන බලවේගවල වර්ධනය බෙහෙවින් අසමාන විය හැක’.

 

කතුවරුන් දෙපොල තවදුරටත් මෙහෙම තර්ක කරනවා :

 

‘….සෝවියට් සංගමය හා බොහෝ යුරෝපීය සමාජවාදී රාජ්‍යයන් ආරම්භයේ දී අතිශය ඉහල ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තේය. එහෙත් ඔවුන්ගේ සංවර්ධන ගමන් පථය අවසානයේ දුර්වල විය. මුලදී ලෝක ආර්ථිකය මත ධනපති රටවලට වූ තනි බලයට අභියෝග කල සෝවියට්  සංගමය හා එහි මිත්‍ර රටවල් අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා, තාක්ෂණික වශයෙන් ලෝකයෙන් හුදෙකලා වීම හා දරුණු ලෙස පැවැති බාහිර බලපෑම් නිසා ස්වකීය අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සම්පූර්ණ ලෙස අතික්‍රමණය කල නොහැකිව, අවසානයේ බිඳ වැටුණි’.

 

අනෙක් අතට, ‘වෙලඳපොල හිතවාදී ප්‍රතිසංස්කරණ නිසා, චීනයේ සමාජ ආර්ථික ක්‍රමයේ වූ සමාජවාදී ස්වභාවයෙන් ආපසු ගමනක් අනුමිත වන බවට’ යමෙක් තර්ක කල හැකි වුවත්, ඇත්තටම එය ‘නිෂ්පාදන බලවේගවල අසමාන ගණයේ වර්ධනයකට හා මහජන චීන සමූහාණ්ඩුව නව සමාජ ආර්ථික සැකැස්මක තලයට ඔසවා තැබීමෙහිලා හේතු වී තිබේ’.

 

මෙන්න මෙතැනදී, තම තර්කය විසින් තමුන්ව රැගෙන යන දිශාව පිලිබඳ අපගේ කතුවරුන් තරමක් ප්‍රවේශම්සහගත වන බව දැකගත හැකියි. ඔවුන්ට අනුව :

 

‘…වෙලඳපොල සමාජවාදය යන යෙදුම පාවිච්චි කිරීම තුල චීනයේ වත්මන් සමාජ ආර්ථික ක්‍රමය අසම්පූර්ණතා සහිත වුවත්, සමාජවාදී ආකෘතියක් බවට අප විසින් හැගවුම් කරන බවට අදහසක් ඇති විය හැක. එහෙත් මෙහිලා අප තරමක් ප්‍රවේශම්සහගතය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් වගේම අපත් ‘වාද’ වල පැවැත්ම පිලිගැනීම හෝ නොපිලිගැනීම යන්නෙන් වැලැකී සිටීමට වඩා ප්‍රිය කරමු’.

 

කොහොම උනත්, චීනය ‘රාජ්‍ය ධනවාදී’ ලෙසට වර්ගීකරණය කිරීම කතුවරුන් දෙපොල ප්‍රතික්ෂේප කරනවා. ‘…නිෂ්පාදන මාධ්‍යන්වල සෘජු හෝ වක්‍ර රාජ්‍ය අයිතිය, වඩාත් පුලුල් ලෙස කියනවා නම්,  ආර්ථිකයේ අණ දෙන මුදුන් මත වන රාජ්‍ය පාලනයේ පරිමාණය හා ගැඹුර සලකා බලන විට, චීනයේ වත්මන් සමාජ ආර්ථික ක්‍රමයේ අධිපති රූපාකාරය රාජ්‍ය ධනවාදය බවට අපට නිගමනය කල නොහේ’. ඒ වෙනුවට චීනය සමාජවාදය වෙත නැඹුරු වූ ආර්ථිකයක් ලෙස සංවර්ධනය වී තිබේ. මෙම ක්‍රමය තුල රජයට :

 

‘…කෙටිකාලීනව හා මධ්‍යකාලීනව ආයෝජන අනුපාතිකය, ආයෝජනවල ආංශීය සංයුතිය, සමාජ වියදම්වල මට්ටම හා එහි සංයුතිය, සඵල ඉල්ලුම යනාදී වූ කරුණු නිර්ණය කල හැක. දීර්ඝකාලීනව, සමාජවාදය වෙත නැඹුරු වූ වෙලපොල ආර්ථිකයන්හි ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට ප්‍රාග්ධන සමුච්චනයේ වේගය හා (යම් දුරකට) එහි දිශානතිය, නවෝත්පාදනය හා තාක්ෂණික දියුණුව නියම කල හැක. වෙලඳපොල සමග අනුරූපී වූ කාර්මික හා වෙනත් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා සාපේක්ෂ මිල ගණන්වල ව්‍යුහය වෙත සැලකිය යුතු ලෙසකට බලපෑම් කල හැක. මේ හරහා රජය දැනුවත්ව හා ප්‍රවේශම්සහගත ලෙස සමාජ ආර්ථික වටිනාකම්වල නීතිය හුදෙක් වෙලඳපොල මිල සංඥා අනුගමනය කිරීම නිසා ස්වයංක්‍රීය ලෙස ඇති වන ප්‍රතිවිපාකවලට වෙනස් වූ ලෙසකට පිහිටන ලෙසකට, පාරිසරික ඉලක්ක සපුරා ගැන්ම වෙත දිශාගත කරයි’.

 

කෙටියෙන් කියනවා නම් තර්කය මෙබඳුය : චීනය හා වියට්නාමය සහ ලාඕසය බඳු රටවල් සෝවියට් සංගමය, කියුබාව, උතුරු කොරියාව හෝ පශ්චාත් යුදකාලීන නැගෙනහිර යුරෝපීය රටවල් බඳු සාම්ප්‍රදායික ‘සමාජවාදී’ රටවලින් වෙනස්. ‘වෙලඳපොල සමාජවාදය’ ලෙස නම් කල හැකි, නව සමාජ ආර්ථික සැකැස්මක් චීනය විසින් නිර්මාණය කොට තිබෙනවා. චීනයේ අති විශිෂ්ට ආර්ථික දියුණුවේ පදනම මෙම සැකැස්මයි. මෙය පෞද්ගලික දේපොලවල කිසිදු රූපාකාරයක් නොපැවැති සෝවියට් සංගමයේ වූ සැලසුම්සහගත ආර්ථිකයට වඩා වෙනස් තත්වයක්. මේ තුල අපිට දකින්ට ලැබෙන්නේ, සාර්ව තලයේ රාජ්‍ය සැලසුම්කරණය සහිත වූ; ක්ෂුද්‍ර තලයේ ධනවාදය හා වෙලඳපොල අධිපතීත්වය හොබවන — මෙම වෙනස් බලවේග මූලධාර්මික ලෙස සුසංගත ලෙසකට ක්‍රියාත්මක වන ආකෘතියක්. ධනවාදය පෙරලා දැමූ, සමාජවාදය වෙත වූ ගමන වෙත එලැඹ සිටින සමාජවලට අනාගතය සම්බන්ධ ආදර්ශ රූපයක් නව සමාජ ආර්ථික සැකැස්ම විසින් ඉදිරිපත් කරන බවයි කතුවරුන්ගේ තර්කය.

 

පරිවර්තනය – රමිඳු පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *