ලිබරල් ‘මැදක්’ පිළිබඳ උද්ඝෝෂණයක් මෙරට දේශපාලනය පිළිබඳ අදහස් දක්වන ඇතැම් ශ්‍රේණීන් අතර මතුවන ආකාරය පසුගිය කාලය තුළ අපට නිරීක්ෂණය කිරීමට හැකි විය. මේ සම්බන්ධයෙන් ප්‍රකට ව පෙනෙන මැදිහත්වීම් දෙකක් සලකුණු කළ හැක. පළමුවැන්න, සිහල උරුමය පක්ෂයේ නිර්මාතෘ, පසුව යහපාලන රජය යටතේ බස්නාහිර පළාත් සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක විසින් ප්‍රකාශයට පත් කළ ‘එක්සත් ජනරජ පෙරමුණ’ නම් වූ දේශපාලන පක්ෂය යි. දෙවනුව, සමගි ජන බලවේගයේ උපදේශකයෙක් වන දයාන් ජයතිලක විසින් කරනු ලබන අදහස් දැක්වීම්වල ද මෙම ඊනියා ‘මැදක’ අවශ්‍යතාවය මතු කරනු දක්නට ලැබේ. මෙම ප්‍රචාරයේ ස්වභාවය වටහා ගනු පිණිස, ඉහත කී පාර්ශවවල අදහස් තරමක් විස්තරාත්මකව විමසා බැලීම අවශ්‍ය කෙරේ.
එක්සත් ජනරජ පෙරමුණ [ ඉංග්‍රීසියට පෙරළූ කළ මෙය Republican Front නම් වේ. ඇමෙරිකාවේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂය සිහියට ඒම වැලැක්විය නොහේ ] පිහිටුවීම වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන එම පෙරමුණේ න්‍යායාචාර්යවරයෙක් වන ශිරාල් ලක්තිලක දක්වන අදහස් මෙබඳු ය ; ලංකාවේ දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය හමුවේ ජාතික ජන බලවේගය හැර සියලු දේශපාලන පක්ෂ අර්බුදයට ගොස් තිබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නාගරික මැද පන්තික තීරු ආකර්ෂණය කරගත නොහැක. ජාතික ජන බලවේගයේ ප්‍රශ්නය එය වාමාංශික ජනතාවාදය නියෝජනය කරන බලවේගයක් වීමයි. ලක්තිලකට අනුව, ‘සමාජවාදී’ රාමුවක් තුල ක්‍රියාත්මක ජාතික ජන බලවේගයේ වාමාංශික ජනප්‍රියවාදයට රටට විකල්පයක් විය නොහේ. මේ නිසා ලිබරල් දේශපාලන හා ආර්ථික ඇගයුම්වලින් සමන්විත ‘මැදක්’ මෙරටට ඇවැසි ය. ඒ මැද පාඨලී චම්පිකගේ නව පක්ෂය යි.
දයාන් ජයතිලක මීට වඩා සවිස්තර ලෙස වත්මන් දේශපාලන සිතියම විශ්ලේෂණය කරයි. පසුගිය දා ඉංග්‍රීසි ඩේලි එෆ්ටී පුවත්පතට ලියමින් හේ මෙසේ තර්ක කරයි ; සමකාලීන දේශපාලනය රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ දියත් කොට තිබෙන දක්ෂිණාංශික ආර්ථික වැඩපිලිවෙල හා ජාතික ජන බලවේගය විසින් නියෝජිත වාමාංශික කදවුර ලෙස ධ්‍රැවීකරණය වී තිබේ. දේශපාලනය මෙලෙස ධ්‍රැවීකරණය වීම හේ සලකන්නේ නරක දෙයක් ලෙසට ය. මෙම ධ්‍රැවීකරණය ඉක්මවනු පිණිස, මාධ්‍යමික දේශපාලනයක අවශ්‍යතාවය ඔහු මතු කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට විරෝධය දක්වන්ට සමගි ජන බලවේගය අසමත් වීම එබඳු මාධ්‍යමික බලවේගයක් නිර්මාණය කිරීම පැත්තෙන් විශාල පාඩුවක් ලෙස ඔහු දකී. නව ලිබරල් ආර්ථික යුද්ධය ගැන විවේචනාත්මක ; සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව ආදී වූ කණ්ඩායම්වල ඒකාබද්ධතාවයකින් යුක්ත මාධ්‍යමික කඳවුරක් ඇති කිරීම යුගයේ අවශ්‍යතාවය ලෙස හෙතෙම සලකයි.
වාමාංශික ජනප්‍රියවාදයේ නැගීම
මෙලෙස ‘මැදක්’ ගැන කථා කිරීමට මේ පාර්ශවවලට සිදු ව තිබෙන දේශපාලන සන්දර්භය කවරේ ද? දේශපාලන සිතියමේ සිදුවන ධ්‍රැවීකරණය පිළිබඳ දයාන් ජයතිලකගේ නිරීක්ෂණය සදොස් නැත. මේ වනවිට රටේ දේශපාලන භූමිය හැඩගස්වන මූලික ප්‍රතිවිරෝධතාවය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මතුව තිබේ. මෙය 1983 දී නිව්ටන් ගුණසිංහ විසින් සූත්‍රගත කළ, ජනවාර්ගික ප්‍රශ්නය පන්ති ප්‍රශ්නය අබිබවා අධිනිශ්චය වීම නම් වූ සංසිද්ධිය නිශේධයට ලක් කොට ඇති සංසිද්ධියකි. 2022 වසරේ පුපුරා ගිය ආර්ථික අර්බුදයට පිළිතුර ලෙස යැයි කියමින්, ලංකාව නම් වූ ජාතික රාජ්‍යයේ සමස්ත සමාජ-ආර්ථික සැකැස්ම උඩු යටිකුරු කරන මෙහෙයුමක් මේ වනවිට දියත් වී තිබේ. ගෝලීය ධනවාදයේ ප්‍රබල බලකණු වන ජා.මූ. අරමුදල බඳු ආයතන, මෙරට පරාධීන දේශපාලන පන්තිය හා පරපුටු ව්‍යාපාරික තන්ත්‍රය මෙම මෙහෙයුම වෙනුවෙන් සැදී පැහැදී සිටිති.
ආණ්ඩුව කරන පොහොට්ටුව පක්ෂය වගේම, ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ද මෙම ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හැර අන් මගක් නොමැති යයි සලකති. මෙය අපට ‘අයිඑම්එෆ් සම්මුතිය’ (IMF consensus) ලෙස හැඳින්විය හැක. පසුගිය දා පාර්ලිමේන්තුවේ අයිඑම්එෆ් ගිවිසුම සම්බන්ධව පැවැති ඡන්ද විමසුමේ දී සමගි ජන බලවේගය නැගිට ගියේ අහම්බයෙන් නොවේ. ඊට විරෝධය පළ කිරීමේ විෂයමූලික තත්ත්වයක් සමගි ජන බලවේගය වෙත නොමැත. එම වැඩපිළිවෙළ විවේචනය කරනු වෙනුවට, එම පක්ෂය කියන්නේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවට මුලින්ම කී පක්ෂය තමුන් බව යි. එහි ආර්ථික අංශයේ ප්‍රකාශකයන් වන හර්ෂ ඩි සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් බඳු අය ජා. මූ. අරමුදලේ වැඩසටහනේ උද්යෝගීමත් ආධාරකරුවන් වෙති. ඔවුන් ජනාධිපති රනිල්ට කියන්නේ පොහොට්ටුව සමඟ නොව, සමගි ජන බලවේගය සමග එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට ය.
මෙලෙස ප්‍රධාන පක්ෂ දෙකම ; එනම් පොහොට්ටුව පක්ෂය හා සමගි ජන බලවේගය ප්‍රශ්න කිරීමකින් තොරව අයිඑම්එෆ් සම්මුතිය පිලිගෙන තිබෙන තතු තුළ, එම වැඩසටහන මගින් නිර්මාණය කෙරෙන අසහනය නියෝජනය කරන්නේ කවු ද? දේශපාලන මූලධාරාව තුල මෙම විරෝධය සංවිධිතව ප්‍රකාශයට පත් වන්නේ ජාතික ජන බලවේගය හරහා ය. ආර්ථික අර්බුදයේ බලපෑමට සමගාමීව ජාතික ජන බලවේගයේ ආමන්ත්‍රණය එන්න එන්න වමට තල්ලු වී තිබෙන බව ; වඩා රැඩිකල් වේශයක් ගෙන තිබෙන බව ප්‍රතික්ෂේප කළ හැක්කේ ආත්ම වංචනිකයෙක්ට පමණකි. පසුගිය දා මහරගම තරුණ සේවා සභා සම්මන්ත්‍රණ ශාලාවේ අයිඑම්එෆ් වැඩපිළිවෙළ ගැන පැවැති සම්මන්ත්‍රණයක දී ජාජබ නායක අනුර දිසානායක පසුගිය වසරේ අප්‍රේල් මස ලංකාව බංකොලොත් වීමට ගත් තීන්දුව විවෘතව හෙලා දුටුවේ ය. අයිඑම්එෆ් වට්ටෝරුව නිසා සිදු ව තිබෙන ආර්ථිකය හැකිලීම, මේ නිසා පොදු ජනයාට මුහුණ දෙන්ට සිදුව තිබෙන අනේක විධ දුක්ඛ දෝමනස්සයන්, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය බඳු වූ කාරණා සම්බන්ධව ජාතික ජන බලවේගය පමණි ප්‍රධාන පක්ෂ අතරින් පැහැදිලි විරෝධයක් දක්වනු ලබන්නේ. දේශපාලනික වශයෙන් ඔවුන් මෙම මොහොත ප්‍රභූ දේශපාලන සංස්ථාපිතය හා තමුන් නියෝජනය කරන නිර්ප්‍රභූ බලවේගය අතර ගැටුමක් ලෙසට සංඛේතනය කර යි.
ලක්තිලක නිවැරදි ය ; වාමාංශික ඇගයුම් සමග සන්ධිකරණය වූ ජාතික ජන බලවේගයේ ‘ප්‍රභූ සංස්ථාපිතයට එරෙහි නිර්ප්‍රභූ දේශපාලනය’ නම් වූ කතිකාව පැහැදිලිව වාමාංශික ජනතාවාදී ලක්ෂණ දරන්නකි. [ජනතාවාදී දේශපාලනය ගැන මුලින්ම සිංහලයෙන් කතා කළ, මෙරට ඇතැම් වාම බුද්ධිමතුන්ට වඩා නම් ලක්තිලක මෙහි දී අවංක බව කිව යුතු ය.] සංස්ථාපිත පක්ෂ අර්බුදයට යන විට, මෙම වාම ජනතාවාදී ව්‍යාපෘතිය ඉදිරියට එමින් තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහෙන සත්‍යයක් ලෙස පෙනෙන්ට තිබෙන්නකි.
දේශපාලන බමුණු කුලය
කෙසේ වුවද, චම්පිකවාදී ලක්තිලක මෙම නැගී ඒම දකින්නේ අයහපත් වර්ධනයක් ලෙසට ය. ඔහුගේ එම ආස්ථානය විවේචනය කරන්ට නම්, මෙරට තුළ වාමාංශික ජනතාවාදී ව්‍යාපෘතියක් බලවත් වීමේ දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක මොනවාදැ’යි මුලින්ම සලකුණු කරගත යුතු ය.
වාම ජනතාවාදයේ නැගීම සමග දේශපාලනික වශයෙන් සිදුවිය හැකි ප්‍රබලතම විපර්යාසය වන්නේ 1977 ට පසුව මෙරට දේශපාලනය තුළ ආධිපත්‍යය හෙබ වූ සමස්ත දේශපාලන තන්ත්‍රය කඩා වැටීම ය. මොකක්ද මේ දේශපාලන තන්ත්‍රය? එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩු වේවා කවර ආණ්ඩුවක් බලය හෙබවූව ද — 1977 ට පසුව මෙරට දේශපාලන ආධිපත්‍යය හෙබවූයේ යම් කිසි දේශපාලන තන්ත්‍රයක් විසිනි. මෙම දේශපාලන තන්ත්‍රය තුළ බලය උසුන ස්ථර තුනකි ; විවෘත ආර්ථිකයෙන් පසුව බලවත් වූ පරපුටු ව්‍යාපාරික පන්තිය [ගුණදාස අමරසේකර අනුව යමින් අපට මෙය වසල වෙළෙඳ පන්තිය ලෙස නම් කළ හැක], ස්වාර්ථකාමී අරමුණු අනුව කටයුතු කරන දේශපාලඥයන්ගෙන් සමන්විත දූෂිත පැලැන්තිය හා මේ දෙපාර්ශවය සමග සහයෝගීව කටයුතු කරන ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය.
මෙම තන්ත්‍රය බිම් මට්ටමේ දේශපාලන බලය පවත්වාගෙන යන්නේ අරටුව දක්වා කුණු වූ, දූෂිත ගනුදෙනුවලින් යුක්ත අනුග්‍රාහක-සේවාදායක ජාලයක් ධන බලය, මැර බලය හා නේක විධ ජාවාරම්කාර විධික්‍රම තුලින් නඩත්තු කරමිනි. 1980 ගණන්වල එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගය ද, 2010 ට පසු යුගයේ පොහොට්ටුව පක්ෂයේ ස්වර්ණමය යුගය ද මෙම තන්ත්‍රය එහි උපරිම සෙයියාවෙන් ආධිපත්‍යය අභ්‍යාස කළ වකවානු ලෙස සැලකිය හැක. වාමාංශික ජනතාවාදී ව්‍යාපෘතිය බලගතු වෙමින් තිබෙන්නේ මෙන්න මේ දේශපාලන බමුණු කුලයට සම්පූර්ණයෙන් පිටස්තරව ය. විශේෂයෙන්, පොහොට්ටුව පක්ෂය අධිකාරිය හෙබ වූ ගම්බද හා අර්ධ-ගම්බද බිම් මට්ටමට යන විට, මෙම වෙනස පැහැදිලිව කැපී පෙනෙයි. වාමාංශික ජනතාවාදී ව්‍යාපෘතිය තුළ තිබෙන එක් විභවයක් වන්නේ, 1977 ට පසුව මෙරට පාලනය කල දේශපාලන තන්ත්‍රය අර්බුදයට යැවීමෙහිලා ඒ සතුව තිබෙන ශක්‍යතාවය යි.
ආර්ථිකමය වශයෙන් ගත්කල, 1977 සිට ලංකාව අනුගමනය කළ ආර්ථික සංවර්ධන මොඩලය පිළිබඳ විවේචනයක් වාම ජනතාවාදී කඳවුර පාර්ශවයෙන් ඉදිරිපත් වේ. රජයේ ආර්ථික කාර්යභාරය හුදු නියාමනයට සීමා කරන නිර්බාධවාදයට එරෙහිව, රාජ්‍යය නියමු කාර්යයක් ඉටු කරන ආර්ථිකයක් පිළිබඳ සංවර්ධනවාදී (developmentalist) අදහස සමඟ, සමාජ සාධාරණත්වය ශක්තිමත් කිරීමෙහලා ඉවහල් වන ධනය ප්‍රතිව්‍යාප්තිය, නිදහස් අධ්‍යාපනය, සුව සේවාව ආදී වූ සුබසාධන සේවා ශක්තිමත් කිරීම බඳු වූ ප්‍රතිපත්තීන් වෙනුවෙන් එය පෙනී සිටී. ලක්තිලක ‘සමාජවාදී’ රාමුවක් ලෙසට හෙලා දකින්නේ මෙම නැඹුරුව යි.
ලක්තිලකට අනුව, සමාජවාදී රාමුව අසමත් වන්නේ එය ධනය නිර්මාණය කිරීමට අසමත් වන නිසා ය. කෙසේ වුව ද, 1977 සිට අනුගමනය කළ සංවර්ධන මොඩලය වර්තමානයේ පැහැදිලිව පෙන්වා දෙන්නේ නිර්බාධවාදය විසින් කෙතරම් පහසුකම් සැලසුවත්, මෙරට මහා පරිමාණ පෞද්ගලික ප්‍රාග්ධනය විසින් කල ධනය උත්පාදනයක් නොමැති බව ය. මෙරට පෞද්ගලික ප්‍රාග්ධනය මූලික වශයෙන් වෙළෙඳාම හා නිෂ්පාදනීය නොවන සමපේක්ෂණ අංශ වටා කේන්ද්‍රගත වී ඇත.ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සකස් වීම (capital formation) මෙරටෙහි සිදුව තිබෙන්නේ අතිශය දුර්වල ලෙසකට ය. අවදානම් ගැන්මට සිදුවන ස්ථාවර ප්‍රාග්ධන සැකසුමට අදාළ අංශ වෙනුවට, මෙරට පෞද්ගලික ප්‍රාග්ධනය රුචි කරන්නේ නව වටිනාකම් උත්පාදනය නොකරන, වෙළෙඳ හා මූල්‍ය අංශවලට ප්‍රාග්ධනය යොමු කිරීමටය.
මෙය නිවැරදි කිරීමට නම්, ප්‍රබල රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය කෙරේ. මෙම රාජ්‍ය මැදිහත්වීම ආර්ථිකයේ පංගුවක් අත්පත් කරගැනීමේ සිට ; ජාතික සැලසුම්කරණය, නියාමනය හා රෙගුලාසි සකස් කිරීම දක්වා වූ පළල් පරාසයක විහිදිය යුත්තකි. ඒ සඳහා අදාල සමාජ සහයෝගය ලබාගැන්මට නම්, එම සංවර්ධනවාදී ප්‍රතිපත්තිය සමාජ සාධාරණත්ව ප්‍රතිපත්තීන් සමග බද්ධ විය යුතු වේ.
වත්මන් ආර්ථික අර්බුදයේ තීව්‍රතාවය විසින් අපට එතරම් විශාල තෝරාගැනීම් ප්‍රමාණයක් ඉතිරි කොට නොමැත ; එක්කෝ අප වත්මන් අර්බුදයට පසුබිම් වූ ඊනියා නිර්බාධවාදී අදහස තවදුරටත් තීව්‍ර කරමින්, ආර්ථිකමය වශයෙන් විෂම චක්‍රයක සිරගත විය යුතු වෙමු. නැතිනම්, නව ලිබරල් සංවර්ධන මොඩලය අසාර්ථක බව පිලිගෙන, පෞද්ගලික ප්‍රාග්ධනයේ සීමාව ද වටහා ගෙන — එම සීමාව අතික්‍රමණය කළ හැකි නව නිර්මාණශීලී ආකෘතියක් පිලිබඳ කල්පනා කල යුතු වෙමු. වාමාංශික ජනාතාවාදයේ නැගීම එබඳු විකල්පයක් පිලිබඳ සිතීම සඳහා අපට අගනා අවකාශයක් විවෘත කොට දී තිබේ.
රිපබ්ලිකන් පිම්ම
වාමාංශික ජනතාවාදය පරාජය කළ යුතු බව කියන විට, චම්පක රණවකගේ නව ජනරජ පෙරමුණ තමුන්ව ස්ථානගත කරගන්නේ වාමාංශික ජනතාවාදය විසින් සිදුකළ හැකි මෙන්න මේ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පටහැණි වූ ආස්ථානයක ය. ලක්තිලක මෙන් නොව, නව ලිබරල්වාදය ගැන විවේචනාත්මක අදහස් දැක්වූව ද, අවසානයේ නව ලිබරල් රාමුව තුල ක්‍රියාත්මක සමගි ජන බලවේගයෙන් කැඩීමට අසමත් ව සිටින — වාමාංශික ජනතාවාදී කදවුර නිසා සිදුවන ධ්‍රැවීකරණය අසුබ නිමිත්තක් ලෙස දකින දයාන් ජයතිලක වුව අවසාන විග්‍රහයේ දී ස්ථානගත වන්නේ ලක්තිලකට එතරම් වෙනස් ආස්ථානයක නොවේ.
වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයේ ප්‍රභාව විසින් අර්බුදයට යවන ලද සංස්ථාපිත දේශපාලනය — ඒ කියන්නේ පරපුටු ව්‍යාපාරික පන්තිය, දේශපාලන පැලැන්තිය හා රාජ්‍ය නිලධාරී තන්ත්‍රයෙන් යුක්ත රෙජිමය මේ වනවිට පැවැත්ම පිලිබඳ අර්බුදයකට මුහුණ දී සිටී. අර්බුදයන් යනු නොසිතූ විරූ පෙරලි සිදුවිය හැකි අවස්ථාවන් ය. දේශපාලන ධ්‍රැවීකරණයන්, පැරණි පසමිතුරුතා වෙනුවට නව පසමිතුරුකම් කරලියට ඒම, පැරණි කණ්ඩායම් බෙදීම් අබිබවා නව කණ්ඩායම්ගත වීම් මතු වීම මෙබඳු යුගවල සිදු වේ. සමාජ විපර්යාසයක අභියෝගය මතු වූ කල, දේශපාලන සංස්ථාපිතයන් විසින් එම අභියෝගය තුළ තිබෙන යම් යම් ගති ලක්ෂණ අවස්ථාවාදී ලෙස උකහා ගෙන ‘ප්‍රතිසංස්කරණය වූ විලාශයෙන්’ පෙනී සිටීම හරහා විරෝධය සමථ කිරීමට උත්සාහ කිරීම ද දේශපාලන ඉතිහාසය තුල දක්නට ලැබෙන්නකි.
වර්තමාන ලංකාවේ සංස්ථාපිත දේශපාලනයට දේශපාලන තලයේ මුහුණ දෙන්ට සිදුව තිබෙන විශාලතම අභියෝගය වන්නේ ජාතික ජන බලවේගය සතුව තිබෙන දේශපාලන අව්‍යාජත්වය පිළිබඳ ප්‍රතිරූපය යි — එනම් ජාවාරම් නොකරන, සොරකම් නොකරන, අවංකව මහජන සේවයේ නියැලෙස ආදී වූ හැගවුම්වලින් යුක්ත ප්‍රතිරූපය යි. පොහොට්ටුව පක්ෂයට මෙම ලක්ෂණ සහිත බලවේගයක් ලෙස මතු වීමේ ඉඩක් නැත. අනෙක් සංස්ථාපිත දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ද මේ අතින් දුර්වල ය. තාර්කික හැකියාවෙන් යුක්ත ප්‍රබුද්ධ නායකයෙක් ලෙසට ජාතික ජන බලවේගයේ නායකයා විසින් පොදුජන අඩවිය තුළ අත්කරගෙන තිබෙන ඉමේජය සමග තරග කිරීමේ හැකියාවක් ද මෙම පක්ෂවල ඉහළ පෙලේ නායකයන් සතුව නොමැත.
චම්පික රණවක ආදේශ වන්ට උත්සාහ කරන්නේ සංස්ථාපිත දේශපාලනය තුළ මතුව තිබෙන මෙන්න මේ හිඩැසට ය. පරිසර සමාජවාදයේ සිට, අන්ත සිංහල ජාතිවාදය හා ලිබරල්වාදය දක්වා වෙස් මාරු කරගැන්මේ පුදුම උපදවන සුලු තරම් වූ ඉතිහාසයක් තිබෙන උන්නතිකාමී අවස්ථාවාදියෙක් වුව, බුද්ධිමත් ලෙස අදහස් දක්වන්නෙක් ලෙස චම්පික රණවක වෙත යම් ප්‍රතිරූපයක් ඇත. තමාගේම බලවේගයක් හෝ සමාජ පදනමක් නොමැති පුද්ගල චරිතයක් වන ඔහුව තම නියෝජිතයා ලෙසට සංස්ථාපිත දේශපාලන තන්ත්‍රය කෙතරම් දුරට සලකනු ඇද්දැ’යි තවමත් පැහැදිලි නැත. වාමාංශික ජනතාවාදයට එරෙහිව තමුන් ඉදිරියට එන බවට කියමින්, එක්සත් ජනරජ පෙරමුණ පිහිටුවීම හරහා රණවක තමුන්ව එම තන්ත්‍රයේ නියෝජිතයා ලෙස පිලිගන්නා ලෙසට දේශපාලන සංස්ථාපිතය වෙත ඉල්ලුම් කොට ඇත. දේශපාලන සංස්ථාපිතය ඔහුව පිලිගත්තත් නොගත්තත් — රණවකගේ නව පක්ෂය යනු ගරා වැටෙමින් තිබෙන දේශපාලන සංස්ථාපිතය අණ්ඩ දමා හෝ ආරක්ෂා කරගැන්ම වෙනුවෙන් නිර්මාණය වූ, වාමාංශික ජනතාවාදය විසින් සිදුකල හැකි ප්‍රගතිශීලී දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණවලට අඩ තැබීමේ අරමුණින් අටවා ගත් සැකැස්මක් බව පැහැදිලි ය.
ඊනියා ‘මැදක්’ පිළිබඳ සංවාදය ව්‍යාජයකි — එක්කෝ පවතින දේශපාලන සංස්ථාපිතය බිඳ වැටී නව දේශපාලන පර්යායක් ඇති විය යුතු ය ; ඒ සමග පොදු ජනයාට හිතැති ලෙස ආර්ථික තලය ප්‍රතිසංවිධානය විය යුතු ය. නැතිනම්, පවතින තත්ත්වය (status quo) ආරක්ෂා වී ගත යුතු ය. මැද පිළිබඳ සංවාදය යනු පවතින පර්යාය ආරක්ෂා කිරීමේ දිශාවට නැඹුරු වූ තත්වාරක්ෂකවාදී තැතකි.
සටහන : රමිඳු පෙරේරා
Comments (0)