ආර්ථික අර්බුදය ජන ජීවිතය මත මහත් ව්‍යසනයක් ඇති කොට තිබෙන පසුබිම තුල ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නව අධිකාරිවාදී මාවතක් වෙත එලැඹ සිටින බව පෙනේ. උත්ප්‍රාසය නම්, මේ අධිකාරිවාදී හැරවුම ඇති වී තිබෙන්නේ එක්තරා යුගයක අපගේ නාගරික ලිබරල් කවවල සාමාජිකයන්ගේ දේශපාලන හුරතලා වූ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය යටතේ වීමය. තමුන් අගමැති ලෙස දිවුරුම් දෙන විට, ගෝල්ෆේස් විරෝධතාවලට අත නොතබන බවට දුන් ප්‍රතිඥාව හේ මේ වනවිට අමු අමුවේ කඩ කරමින් තිබේ. විරෝධතාවල ඉදිරි පෙල ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වූ වරෙන්තු පොලිසිය විසින් ලබාගෙන ඇත. මෙම පිරිස අතර සිටින රනිඳු සේනාරත්න (රැට්ටා) හැර අන් සියලු දෙනා වාමාංශික දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් හෝ ඒවාවල හිතවතුන් වෙති. සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර හා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ ඒ අතර සිටී.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරීන් මෙලෙස දඩයම් කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගය මැයි 9 වන දාට පසුව ආණ්ඩුව විසින් රට තුල මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කල අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් පෙලෙහි දිගුවකි. මැයි 9 වන දා සිදුවූ ආණ්ඩු පාක්ෂික දේශපාලනඥයන්ගේ නිවාසවලට පහර දීම් හා ගිනි තැබීම් ආදිය කිසිවෙක්ගේ පූර්ව සංවිධානයක් මත සැලසුම් සහගතව සිදුවූ සිදුවීම්වලට වඩා, සාංසිද්ධිකව ඇති වූ පැන නැගීම් බව අගති විරහිත ඕනෑම අයෙක් පිලිගන්නා කරුණකි. විදුලිය බිඳ වැටීම, ඉන්ධන ආදී වූ අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බරපතල හිගය බඳු දෛනික ප්‍රශ්න විසඳන්ට ආණ්ඩුව අසමත් වීම නිසා කාලයක් තිස්සේ මහත් අසහනයක් ජනයා අතර කැකෑරෙමින් පැවැතිණ. මැයි 9 දා ගෝල්ෆේස් පිටියේ විරෝධතා බිමට ආණ්ඩුවේ මැරයන් කල ප්‍රහාරය නිසා සිදුවූයේ මෙම අසහනය පුපුරා යාම සඳහා අවශ්‍ය වූ ප්‍රකෝප කිරීමකි.
ව්‍යතිරේඛී අවස්ථා කිහිපයක් හැරුණු කොට, මැයි 9 දා රාත්‍රියේ සිදුවූ බොහෝ පහරදීම් ආණ්ඩු පාක්ෂික දේශපාලනඥයන්ගේ දේපොල ඉලක්ක කොටගෙන සිදුවූ ඒවාය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හරි ද වැරදිද යන විවාදය ද්විතීකය. මූලික කරුණ වන්නේ, මෙබඳු ක්‍රියා ඇති වූ පසුබිම වටහා ගැන්මයි. තමුන් මහත් ආර්ථික පීඩනයක ගිලී සිටින විට, ඒ ගැන අසංවේදී ලෙස ක්‍රියා කල ආණ්ඩු පාක්ෂික දේශපාලනඥයන් පොදු ජනතාවගේ ඇසට තමුන්ට වග නොකියන ප්‍රභූ තන්ත්‍රයක සාමාජික පිරිසක් ලෙස පෙනී යාම පුදුමයක් නොවේ. මැයි 9 යනු එබඳු පිරිසකට එරෙහිව ජනයා අතරින් මතු වූ අසංවිධිත, සාංසිද්ධික ප්‍රතිචාරයකි. අප රටේ ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවූ විරූ මෙම සංසිද්ධිය යම් දේශපාලන පක්ෂයක් විසින් සැලසුම්සහගතව සංවිධානය කරන ලද්දක් යැයි කීම පට්ටපල් බොරුවකි.
වාමාංශික යක්ෂ මූණු
කෙසේ වුවද, මෙම සිදුවීම් පිලිබඳ නිල පැහැදිලි කිරීම තුල ආණ්ඩුව උත්සාහ කලේ සමස්ත සංසිද්ධීන්ගේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන වාමාංශික පක්ෂ වෙත පැටවීමය. මැයි 9 දා කලබල ඇති කලේ මෙම පක්ෂ විසින් බවට ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. මැයි 9 දාට පසුව පලමුව පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ එකාට පසු එකා ලෙස නැගී උන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රචණ්ඩත්වය සංවිධානය කිරීම සම්බන්ධව මෙම පක්ෂ හම ගසන්ට වූහ. 1971 හා 1988/89 යුගයේ ජනතා විමුක්ති පෙරමුණ දියත් කල කැරැල්ල පිලිබඳ ස්මරණය මෙම චෝදනාව සමග ඈඳන ලදී. මෙම චෝදනාවලට සමගාමීව, අදාල ප්‍රචණ්ඩ ක්‍රියා වලට දායක වූ බවට සැක මත රට පුරා සිය ගණනක පිරිසක් අත්අඩංගුවට ගනු ලැබිණ.
මේ බොහෝ අත්අඩංගුවට ගැනීම් අත්තනෝමතික හා ආන්දෝලනයට තුඩු දෙන වර්ගයේ ඒවාය. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මෙහෙයවීම මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැලකිය යුතු පිරිසක් ඊට පෙර තම පැතිවල පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට නායකත්වය දුන් ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ය. මේ අයව අත්අඩංගුවට ගත්තේ හුදෙක් ඔවුන් කලබලවලට සම්බන්ධ බවට ආණ්ඩුවේ දේශපාලනඥයන් සැපයූ තොරතුරු මතය. පලාතේ මන්ත්‍රීගේ කීමට දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමේ මෙම කුප්‍රකට භාවිතාව මෙලෙසම දේශපාලනඥයන් දුන් තොරතුරු මත විරුද්ධ කඳවුරේ පිරිස් පැහැර ගැන්මට ලක්වූ 1988/ 89 යුගයේ රාජ්‍ය ත්‍රස්තවාදය සිහි ගන්වයි.
අත්අඩංගුවට ගැනීමේ පටිපාටියේ වූ මෙම ප්‍රශ්නය පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද අවධානයට යොමු විය. මෙලෙස පිරිස් අත්අඩංගුවට ගන්නා විට, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් සැලසුම්සහගතව ඉලක්ක කිරීම තුලින් ආණ්ඩුව අපේක්ෂා කලේ මැයි 9 සිදුවීම් සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට වූ අදහස තහවුරු කිරීමය. පසුගිය දා නිකුත් කල වරෙන්තුවල මූලික ඉලක්කය වාමාංශික කණ්ඩායම්වල ක්‍රියාකාරීන් වීම විසින් නැවතත් තහවුරු වන්නේ ආණ්ඩුවෙ යට කී ආකාරයට කල්පනා කරන බවයි.
සංස්ථාපිතයේ භීතිය
වාමාංශික කණ්ඩායම් රාක්ෂසකරණයට ලක්කරමින් ආණ්ඩුව මෙබඳු ආඛ්‍යානයක් ඉදිරිපත් කරන්නේ මන්ද? මේ සම්බන්ධ නිරීක්ෂණ තුනක් අපට දැනට සටහන් කල හැක.
පලමුව, මහජන අවධානය වෙනත’කට යොමු කිරීමේ අදහසින් ආණ්ඩුව යම් ‘සතුරෙක්ගේ’ පැවැත්ම සාධනය කිරීමට උත්සාහ කරන බව පෙනෙන්ට තිබේ. පොදු ජනතාවගේ ඉතාම මූලික අවශ්‍යතා පවා ආණ්ඩුවට සපුරාලිය නොහැකිව තිබෙන පසුබිමක, ඒ සම්බන්ධ මහජන කෝපය බුර බුරා නැගෙමින් තිබෙන අවස්ථාවක, අවධානය පීලි පැන්නීම සඳහා යම් දුෂ්ට ‘අනෙකෙක්’ ඇවැසිය. පොදු යහපතට උපද්‍රව පමුණුවන්ට සිටින දුෂ්ට අනෙකාගේ මෙම භූමිකාව සඳහා පාලක ප්‍රභූ තන්ත්‍රය සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාවට යොදාගත්තේ රට තුල සිටින වාර්ගික හෝ ආගමික සුලුතර ජන කොටස්ය.
එහෙත් තවදුරටත් දෙමල හෝ මුස්ලිම් සුලුතරය නිසා අපට කෙල වී තිබෙන බවට කීම අසීරුය. සිංහල ජනතාව අතර මහත් කලකිරීමක් හා කෝපයක් පැතිරී තිබේ. ඉන්ධන නැති නිසා පාරවල් වසන්නේ අන් කවුරුත් නොව සිංහල ජනතාවමය. දෙමල හෝ මුස්ලිම් අය නිසා මෙම ව්‍යසනය ඇතිව තිබේ යැයි තවදුරටත් කිව නොහේ. මේ නිසා දෝෂසහගත හැසිරීම සඳහා වගකීම පැවැරීමට ‘අනෙකෙක්’ සිංහල සමාජය තුලින්ම සොයා ගැනීමට ආණ්ඩුවට බල කෙරී තිබේ. බහුතර සිංහල ජනයා අතර මුල් තිබෙන වාමාංශික පක්ෂ ඉලක්ක වී තිබෙන්නේ මෙම පසුබිම තුලය. ආණ්ඩුවට අනුව තැන තැන කලබල ඇති කරන්නේ වාමාංශික පක්ෂවලට සම්බන්ධ වූ අයය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කලබලකාරයන්ය. රට තුල දේශපාලන අස්ථාවරත්වයක් ඇතිව තිබෙන්නේ පාලක ප්‍රභූ තන්ත්‍රයේ අසමත්කමක් නිසා නොව කලබල ඇති කරන්ට බලා සිටින සුලුතරයකගේ අවකල් ක්‍රියා නිසාය.
දෙවනුව, මෙලෙස ‘සතුරෙක්’ නිර්මාණය කිරීම අධිකාරිවාදී පාලන විධික්‍රම සාධාරණීකරනය කොට, ඒ සඳහා මහජන අනුමැතිය දිනාගැනීම සඳහා යොදාගත හැක. මේ වනවිට ජනතාව මුහුණ දෙන බලවත් ආර්ථික පීඩාව නිසා සමස්ත ජන ජීවිතය විශාල වශයෙන් ඇණ හිට තිබේ. ජනතාව තැන තැන විරෝධය පාති. පෙට්‍රල් පෝලිම්වල රණ්ඩු සරුවල් කරති. පාරවල් හරස් කරති. පොලිසියට ජනතාව අවනත නොවන බවට වූ සලකුණු මේ වනවිට රට තුල පහල වෙමින් පවතී. මෙම වැඩෙන මහජන අසහනය නිසා ආණ්ඩුවේ සමස්ත පදනම් දෙදරුම් කෑ හැක. මේ නිසා මහජන අසහනය පාලනය කිරීමට ආණ්ඩුව මර්දනකාරී ක්‍රියාමාර්ග යොදාගැන්මට පෙලඹේ. සිවිල් රාජකාරි සඳහා හමුදාව යෙදවීම බඳු වූ මෙම අධිකාරිවාදී විධික්‍රම සාධාරණීකරනය කිරීම සඳහා හොඳ තර්කයකි යම් දුෂ්ට පිරිසක් රට තුල කලබල ඇති කිරීමට බලා සිටින බවට වූ අදහස ප්‍රචාරය කිරීම. මේ අනුව තර්කය සරලය ; ඔබ හමුදාවට සමාජ පාලනය බාර දෙන්නේ හෝ හදිසි නීතිය ආදිය බලාත්මක කොට තිබෙන්නේ ඇයි? පිලිතුර නම්, වාමාංශික කඩාකප්පල්කාරයන් ජනතාව කුපිත කරවීම වලක්වනු පිණිසය.
තෙවනුව, අපට පෙනී යන කරුණ වන්නේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවට අයත් නොවන දේශපාලන බලවේග නිසා ඇති විය හැකි තර්ජනය පිලිබඳ දේශපාලන සංස්ථාපිතය බෙහෙවින් දැනුවත්ව සිටින බවයි. මා මෙහිදී දේශපාලන සංස්ථාපිතය ලෙස අදහස් කරන්නේ පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය යන ප්‍රධාන පක්ෂ හා මූලධාරාවට අයත් දේශපාලනඥයන්ගේ සමස්තයයි. මෙම පක්ෂවල දේශපාලනඥයන් වර්තමානයේ මහජන පරිකල්පනය තුල චිත්‍රණය වී තිබෙන්නේ ආත්මාර්ථය ආත්ම කොටගත්, දූෂිත අහිනක් ලෙසටය. ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයන් ජනතාවට වග වීමෙන් ගැලවීම පිණිස එකිනෙකා ආරක්ෂා කරන බවට වූ අදහස (‘මුං සේරම හොරු මල්ලි’ මනෝභාවය) පොදුජන අවබෝධයේ කොටසක් බවට පත්ව තිබෙන පසුබිමක, සංස්ථාපිත-විරෝධී පක්ෂවලට අනාගතයේ වැඩි සාර්ථකත්වයක් අත්කරගැනීමේ සම්භාවිතාවය පහල වී තිබේ.
දේශපාලන සංස්ථාපිතය — පොදුජන පෙරමුණු හා සමගි ජන බලවේග භේදයකින් තොරව — ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලකට මේ වනවිට එකඟ වී තිබේ. එබඳු ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් විසින් සමාජයේ පහල පාන්තික ජනයා මත මහත් පීඩනයක් ඇති කෙරෙන පසුබිමක සංස්ථාපිත විරෝධී පක්ෂවලට තවත් වැඩි ඉඩක් ලැබෙනු ඇත. පසුගිය කාලයේ ඇති වූ සාර්ථක සාමූහික සටන් ක්‍රියාමාර්ග වන අප්‍රේල් 28 දා පැවැති මහා වැඩවර්ජනය හා මැයි 07 දා පැවැති හර්තාලය ආදියට නායකත්වය දුන්නේ සංස්ථාපිත විරෝධී වාමාංශික පිරිස් විසිනි.
මෙම අරගලවල සාපේක්ෂ සාර්ථකත්වය මහජන කෝපය සංවිධානය කිරීමට මෙම පක්ෂ සතුව තිබෙන විභවය හෙලිදරවු කරයි. ආර්ථික අර්බුදවල යුගය යනු බොහෝ විට කැපී පෙනෙන දේශපාලන විපර්යාසයන්ගේ ද යුගයයි. එබඳු විපර්යාසයකට නායකත්වය දිය හැකි වාමාංශික කොටස් රාක්ෂසකරණයට ලක් කිරීම හා හැකි නම් මර්දනය කිරීම මේ අනුව අහඹුවක් නොව මෙම අර්බුදකාරී සමයේ පාලක සංස්ථාපිතය විසින් මුහුණ දී සිටින අනාරක්ෂිත හැඟීම පිලිබිඹු කරන්නක් වේ.
සටහන – රමිඳු පෙරේරා
Comments (0)