ලංකාවේ ‘ග්‍රීක මොහොත’

ලංකාව තම පශ්චාත් යටත් විජිත අවධියේ මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට හසුව තිබේ. මේ වනවිට ණය ගෙවීම පැහැර හල බංකොලොත් රාජ්‍යයක් බවට ලංකාව පත්ව තිබෙන අතර, ඉන්ධන ආදී වූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම ඉන්දියාව මත යැපෙන තත්වයක් උද්ගතව තිබේ. ආර්ථික අර්බුදයට සමාජයේ අති බහුතර ජනතාවක් හසුව සිටිති. ආණ්ඩුව සමග කූට සම්බන්ධතා පවත්වමින්, වසංගත යුගයේ අධික ලෙස ලාභ උපයා ගැනීමට සමත් වූ ගජමිතුරු ව්‍යාපාරික පන්තිය හැර සමාජයේ අනෙක් සෑම ස්ථරයක්ම අඩු වැඩි වශයෙන් ආර්ථික අර්බුදයේ පීඩාවට ලක්ව සිටිති.

 

වැදගත්ම කරුණ නම් මෙම දුෂ්කරතා වඩාත් තීව්‍ර වනු විනා, ඒවා සමනය වන ලකුණක් හෝ පෙනෙන්ට නොවීමයි. රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු, ඔහුගේ රෝයල් පසුබිම හා බටහිර ගැතිකම නිසා අපට මහා පරිමාණ ආධාර ලැබේ යැයි පැවසුණත්, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ නොකරන්නේ නම්, හාමතින් මියැදෙන ලංකාවට ආධාර කිරීමේ අරමුණක් නැතැ’යි මේ වනවිට ලෝක බැංකුව ප්‍රකාශ කොට තිබේ. හැකි සෑම බිම් අගලකම වගා කරන ලෙසට, අගමැති වික්‍රමසිංහ ඉල්ලා සිටින තත්වයක් ඇතිව තිබෙන්නේ සාගතයක තර්ජනය සැබෑ ලෙසම මතුව ඇති බවට සංඥා කරමිනි.

 

IMF උන්නැහේ එනකම් …

 

මෙම අර්බුදයට විසඳුම ලෙස මේ මොහොතේ ඉදිරිපත්ව තිබෙන ක්‍රියාමාර්ගය කුමක්ද? මේ සම්බන්ධ වන අධිපති කතිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැලවුම්කරු ලෙස දැකීම බව පැහැදිලිය. අලි සබ්‍රිගේ සිට හර්ෂ ඩි සිල්වා දක්වා, නීතිඥ සංගමයේ සිට වික්ටර් අයිවන් දක්වා සියල්ලෝ එක හඩින් මෙසේ පවසති ; IMF මිස අපට විකල්පයක් නොමැත! මෙම ආණ්ඩුව මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම දැඩි ලෙස
ප්‍රතික්ෂේප කලත්, මේ වනවිට ඔවුන් එම ආයතනයේ වැඩසටහනක් වෙත අනුයුක්ත වීම සඳහා ක්‍රියාමාර්ගවලට එලැඹ සිටී. වෙරිටේ රිසර්ච් හා ඇඩ්වොකාටා බඳු දක්ෂිණාංශික බුද්ධි ආයතනවල දෘෂ්ටිවාදය ජයගෙන තිබේ. අර්බුදයට හේතුව අප නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයාම බවට මේ වනවිට දේශපාලන සංස්ථාපිතය තුල සම්මුතියක් නිර්මාණය වී තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ලෝක වෙලඳ සංවිධානය යනු ගෝලීය නව ලිබරල්වාදය පවත්වාගෙන ආයතනික රාමුවේ ප්‍රධානතම ආයතන ත්‍රිත්වය වේ. නිදහස් වෙලඳපොල යනු මෙම ආයතනවල දෘෂ්ටිවාදයයි. අධිපති කතිකාව අපට කියන්නේ මෙම ආයතන සතුව දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති බවයි. මේවා හුදු විශේෂඥයන්ගෙන් සමන්විත මධ්‍යස්ථ ආයතන බවයි. මෙම අදහස විසංයෝජනය
කෙරෙන විශාල විවේචක සාහිත්‍යයක් මේ වනවිට වර්ධනය වී තිබේ. තෙවන ලොව රටවලට අදාලව මෙම ආයතනවල; විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හැසිරීම මේ සාහිත්‍යය තුල ප්‍රශ්න කිරීමට ලක්ව ඇත. ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට අවශ්‍ය පහසුකම් සලසනු මිස ; එනම් රටවල් බුන්වත් වන නිසා බටහිර රටවල පොහොසත් අර්ථපතීන්ට පාඩු වන හෙයින් ඔවුන්ගේ ණය ආපසු ගෙවන බවට සහතික කිරීම මිස දුගී රටවල
ජනයා කෙරෙහි වූ සානුකම්පාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොමැත.

 

රටක් සමග ගනුදෙනු කරන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන ණය කොන්දේසි පදනම් වන්නේ නිදහස් වෙලඳපොල දෘෂ්ටිවාදය මතය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිතන හැටි වෙනස් වී තිබේ යැයි ඇතැමුන් නිදහසට කරුණු කියනු අතරින් පතර දක්නට ලැබුණත් ; කාලයක් තිස්සේ තෙවන ලොව රටවල් හා සමාජ ව්‍යාපාර කල හඩ නැගීම්වල ප්‍රතිඵල ලෙස ඇතැම් පිලිවෙත්වල යම් වෙනසක් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණත්, හරයාත්මක ලෙස ඔවුන්ගේ ප්‍රවේශය වෙනස් වී නොමැත. නිදහස් වෙලඳපොලට තිබෙන බාධා ඉවත් කිරීම හා සුබසාධන කප්පාදු පිලිවෙත් (austerity measures) ක්‍රියාත්මක කිරීම ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රවල මූලික වශයෙන් දක්නට ලැබෙන කරුණු වේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත එල්ල වන ප්‍රධාන විවේචනයක් වන්නේ, දෘෂ්ටිවාදීමය ලෙස මිස විද්‍යාත්මක ලෙස දත්ත අනුව කටයුතු නොකරන බවයි. නිදසුන් ලෙස, ලංකාව සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත්කල වාර්තාව විශ්ලේෂණය කරමින්, කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයෙක් වන හොවාඩ් නිකලස් සඳහන් කොට තිබුණේ පිටු 120 ක් පමණ වන එම වාර්තාව වෙලඳ ශේෂයේ හිගය වෙත සැඳහුම් කරන්නේ පුදුම සහගත ලෙස එක් වතාවක පමණක් බවයි. ලංකාවේ වත්මන් අර්බුදයේ මුල ආනයන හා අපනයන අතර වන බලවත් වෙනසයි. අවම වශයෙන් යම් කාලයකට හෝ ආනයන ප්‍රමුඛතාකරණයට ලක් නොකොට, මෙම අර්බුදය ජය ගත නොහැක. එහෙත් ආනයන සීමා කිරීම නිදහස් වෙලඳ ක්‍රමය පිලිබඳ දෘෂ්ටිවාදයට පටහැණි නිසා, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන අතර, ප්‍රශ්නය රාජ්‍ය අයවැය ප්‍රශ්නයක් ලෙස වරනැගීමට උත්සාහ කෙරේ. මෙය කරුණු හා ‘දත්ත’ වෙනුවට දෘෂ්ටිවාදය ප්‍රමුඛ වී තිබෙන ආකාරය සම්බන්ධ කා වදින සුලු නිදසුනකි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවේශය ගැන වන අනෙක් වැදගත් විවේචනයක් නම්, ආර්ථික අවපාත තත්වයක් තිබිය දී රජයට වියදම් අවම කරගැන්මට නියම කිරීම ආර්ථිකය සංකෝචනය වීම සඳහා හේතු වන බවය. ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරුෆාකිස් ස්වකීය අත්දැකීම් ඇසුරින් මේ පිලිබඳ විශිෂ්ට විශ්ලේෂණයන් ඉදිරිපත් කොට ඇත. අවපාත අවස්ථාවක පෞද්ගලික ආයෝජකයන් ආර්ථිකයක ආයෝජනයට යොමු වන්නේ නැත. මේ තතු තුල, රජය විසින් පෙරටත් වඩා වැඩි කාර්යයක් ඉටු කරමින්, ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා මුල පිරිය යුතුය. වරුෆාකිස් පෙන්වා දෙන ලෙස, අර්බුද අවස්ථාවක කල යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විධිහට රජය හැකිලීම නොව රාජ්‍යය සතු භූමිකාව පුලුල් කිරීමයි.

 

මේ වනවිට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ඇතුලු වී නොතිබුණත්, ආණ්ඩුව මේ වනවිට ක්‍රියා කරන්නේ එම ආයතනය විසින් අනුදත් ප්‍රතිපත්තිමය රාමුව අනුවය. ලෝක බැංකුව අප ‘සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ’ සම්පූර්ණ කරන තෙක් ණය නොදෙන බවට කියන විට, ඔවුන් ද සැඳහුම් කරන්නේ මෙම ප්‍රතිපත්ති රාමුව වෙතය. මේ අනුව ඉන්ධනවලට රජය දෙන සහනාධාරය කප්පාදු කෙරී තිබේ ; දරාගත නොහැකි ලෙස තෙල් මිල වැඩි වී තිබේ. විදේශ විනිමය අනුපාතිකය නිදහස් කොට තිබේ ; රුපියල අවප්‍රමාණය වීම භාණ්ඩ මිල වැඩි වීම කෙරෙහි බරපතල ලෙස හේතු වී තිබේ. පොලී අනුපාතිකය ඉහල නැංවීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අතිශය දුෂ්කර තත්වයක් ඇති වී තිබේ. රාජ්‍ය සේවය කප්පාදු කිරීම, සුබසාධන සේවාවලට කරන වියදම් සීමා කිරීම ආදිය වෙනත් රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ක්‍රියාත්මක වූ විට අත්දකින්ට ලැබුණු දේවල්ය. ආර්ථිකය සංකෝචනය වීමේ ප්‍රතිඵල ලෙස විරැකියාව බරපතල ලෙස වැඩි වීමට ඉඩ තිබේ.

 

මේ අනුව වැඩි සම්භාවිතාවය තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුලු වන ලංකාවක් යනු, සමහරුන් හිතන විධිහට සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක වන නිසා කාටවත් අසාධාරණයක් නොවන, අම්මටසිරි ලංකාවක් වනවාට වඩා; IMF ප්‍රතිසංස්කරණ නිසා කබලෙන් ලිපට වැටෙන පොදු ජනයා විරෝධය පාන, කැරලි ගසන ලංකාවක් බවට මෙරට පත්වන්ට වැඩි ඉඩක් පැවැතීමය.

 

‘ග්‍රීක මොහොත’

 

රූපකාර්ථමය ලෙස මෙය ලංකාවේ ‘ග්‍රීක මොහොත’ ලෙස නම් කරන්ට අපි කැමැත්තෙමු. 2008 ට පසුව බටහිර රටවල ඇති වූ ආර්ථික අර්බුදය නිසා අන්තිමටම බැට කෑ රටක් වූයේ ග්‍රීසියයි. ස්වෛරීත්ව ණය අර්බුදයකට ගොදුරු වීමේ ප්‍රතිඵල ලෙසට, ග්‍රීසියේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා මධ්‍යම බැංකුව හා යුරෝපා කොමිසම යන ආයතන ත්‍රිත්වය (ට්‍රොයිකාව) සමග ඇති කරගත් එකඟතාවයන්ට අනුව තම රට තුල ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කලේය. රජය සතුව තිබෙන ව්‍යවසායන් සංඛ්‍යාව 6000 සිට 2000 දක්වා අඩු කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව, රජයේ සේවක වැටුප් කප්පාදුව, වැට් බදු වැඩි කිරීම ආදී වූ ප්‍රතිසංස්කරණ මේ අතර විය. මෙම කප්පාදු පිලිවෙත්වල ප්‍රතිඵල ලෙස බලවත් සමාජ අසහනයක් නිර්මාණය වූ අතර අධික බදු දරාගත නොහැකිව කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා කරන ආය ආදීන් බුන්වත් වූහ. කප්පාදු පිලිවෙත්වල විවේචකයන් ග්‍රීසිය තුල ඇති වූ තත්වය හැඳින්වූයේ ‘මානුෂවාදී ඛේදවාචකයක්’ ලෙසය.

 

මෙම ඛේදවාචකයේ දේශපාලන ප්‍රතිවිපාක කෙසේ වීද? ග්‍රීසිය තුල 1970 ගණන්වල එරට වූ මිලිටරි පාලනය බිඳ වැටීමෙන් ඉක්බිති ක්‍රියාත්මක වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදය නම් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයක් හා පෑන් හෙලනික් සෝෂලිස්ට් මූව්මන්ට් (පැසොක්) නම් මධ්‍ය වාමාංශික පක්ෂයක් සහිත ද්වි පක්ෂ ක්‍රමයකි. පැසොක් පක්ෂය අතීතයේ යම් සුබසාධන නැඹුරුවක් පෙන්වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විය. කෙසේ වුවද, ට්‍රොයිකාව සමග කප්පාදු පිලිවෙත්වලට 2010 දී පලමුව අත්සන් කලේ පැසොක් පක්ෂයයි. බලවත් කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට යාම නිසා ඇති වූ මහජන විරෝධතා හමුවේ 2011 වර්ෂයේ පැසොක් පක්ෂයේ අගමැති ඉල්ලා අස්වූ අතර සර්ව පාක්ෂික එකගතාවයක් ඇති කරගැනීමේ අදහසින් දේශපාලනඥයෙක් නොවූ, ‘ආර්ථික විශේෂඥයෙක්’ වන එරට මහ බැංකුවේ හිටපු අධිපතියෙක් වූ ලූකාස් පැපෙඩෙමොස් පත් කෙරුණි.

 

මේ කිසිවක් ඵල දැරුවේ නැත. මේ කාලයේ 2000 ගණන්වල පිහිටවූ වාමාංශික පක්ෂවල සන්ධානයක් වූ සිරීසා ව්‍යාපාරය විශාල මහජන සහයෝගයක් සමග වර්ධනය වන්ට ගත්තේය. ඔවුන්ගේ ප්‍රතිඥාව වූයේ කප්පාදු පිලිවෙත් ආපසු හරවන බව හා ට්‍රොයිකාව සමග ග්‍රීසියට වඩා යහපත් නව ගිවිසුමක් ඇති කරගැන්ම සඳහා තමුන් සටන් කරන බවයි. 2009 වර්ෂයේ, එනම් කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කරන්ට පෙර පැවැති මැතිවරණයේ දී ඡන්ද හුදු සියයට 4 ක් පමණක් ලබාගත් කුඩා පක්ෂයක් වූ සිරීසා ව්‍යාපාරය, 2012 මැයිවල පැවැති මැතිවරණය වනවිට ; එනම් වසර තුනක් තුල ඡන්ද සියයට 17 ක් ලබා ප්‍රධාන විපක්ෂය බවට පත්විය. කප්පාදු පිලිවෙත්වලට සහයෝගය දීම නිසා පැසොක් පක්ෂය කෙරෙහි කලකිරුණු, සාම්ප්‍රදායිකව සුබසාධනවාදයට හිතෛශී අදහස්වල සිටි ඡන්දදායකයන් විශාල වශයෙන් සිරීසා ව්‍යාපාරය වෙත ආකර්ෂණය වූහ. මෙහි ප්‍රතිඵල ලෙස 2012 ජූනිවල පැවැති මැතිවරණයේ දී සිරිසාවේ ඡන්ද ප්‍රතිශතය සියයට 26 දක්වා වැඩුණි. ආණ්ඩු බලය ගත් නව ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයට ලැබුණේ ඡන්ද සියයට 29 කි. ඉක්බිති 2015 ජනවාරියේ පැවැති මැතිවරණයේ දී සියයට 36 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිරීසාව ආණ්ඩු බලය අල්වා ගත්තේය.

 

සටහන : ග්‍රීක පාර්ලිමේන්තු මැතිවරණවල දී (2009-2015) ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශත.
(ප්‍රතිශත ආසන්න අගයෙනි)

 

 

ආණ්ඩු බලය ගැනීමෙන් පසුව සිරීසාවට මුහුණ දෙන්ට වූ අත්දැකීම මෙම ලිපියේ වපසරිය තුල සාකච්ඡා කල නොහැක. නමුත් මෙම කථාවේ වැදගත්කම නම්, ආර්ථික අර්බුදය හා ඊට ප්‍රතිචාරී ලෙස ජා.මූ. අරමුදල ඇතුලු නව ලිබරල් ආයතන විසින් පැනැවූ කප්පාදු පිලිවෙත් විසින් ග්‍රීසියේ වූ දේශපාලන සිතියම මුලුමනින්ම වෙනස් කල ආකාරයයි. දේශපාලන සංස්ථාපිතයේ පැවැති ප්‍රධාන පක්ෂ දෙක කප්පාදු පිලිවෙත්වලට සහය දීම නිසා ජන අප්‍රසාදයට ලක්විය. සාම්ප්‍රදායික සුබසාධනවාදී නැඹුරුවක් පෙන්නුම් කල, 2009 දී ආණ්ඩු බලය ගත් පක්ෂය වූ පැසොක් පක්ෂය 2015 ජනවාරි වන විට ලබාගත්තේ යම්තම් සියයට 4 ක ඡන්ද ප්‍රමාණයකි. ඔවුන් දේශපාලන සිතියමෙන් අතු ගෑ වී ගියේය. අර්බුදය තුල මධ්‍යයට අයත් සංස්ථාපිත පක්ෂ අර්බුදයට යන විට, ජයග්‍රාහී ලෙස නැගී සිටියේ සංස්ථාපිත පක්ෂවලට මෙන්ම කප්පාදු පිලිවෙත්වලට එරෙහිව ප්‍රබල මතයක් සමාජගත කල සිරීසා ව්‍යාපාරයයි. මීට සමාන්තරව, වර්ගවාදී පදනමක් මත කප්පාදු විරෝධය සංවිධානය කරන්ට වෑයම් කල ගෝල්ඩන් ඩෝව්න් (Golden Dawn) නමින් අන්ත දක්ෂාණාංශික ව්‍යාපාරයක් ද වූ නමුදු, සිරීසාවේ නැගීම විසින් මහජනයා අන්ත දක්ෂිනාංශය වෙත තල්ලු වීම වැලැකිණ.

 

අරාජකත්වයද? ප්‍රගතිශීලීත්වයද?

 

අප ඉදිරිපත් කරන ප්‍රවාදය මෙසේය ; ග්‍රීසිය මුහුණ දුන් තරම්ම වූ ආර්ථික අර්බුදයකට ලංකාව දැන් ඇතුලු වී සිටී. තවදුරටත් කිසි දෙයක් ‘සාමාන්‍ය’ නැත. මෙය සාමාන්‍ය යුගයක් නොව අසමාන දෑ සිදුවිය හැකි, අසාමාන්‍ය යුගයකි. අර්බුදය අභියස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය යන පක්ෂවලින් සමන්විත දේශපාලන සංස්ථාපිතය ඉදිරිපත් කරන්නේ නිදහස් වෙලඳපොල දෘෂ්ටිවාදයට අනුව සැකැසුණු කප්පාදු පිලිවෙත් අනුමත කරන ප්‍රතිපත්තියයි. මෙම ප්‍රතිපත්තිය නුදුරු අනාගතයේ දී අති විශාල ජනතාවක් මත බලවත් පීඩාවක් ඇති කිරීමට නියමිතය. අර්බුදයේ බර පහල පන්තිය මත අසමානුපාතික ලෙස පටවන්නේ ඇයි? ඉහල පෙලේ බිස්නස්කාරයන් ඇතුලු ව්‍යාපාරික පන්තියට වැඩි බරක් පැටවිය යුතු නොවේද? ආදී ප්‍රශ්න අනාගතයේ දී ජනතාව අතරින්ම මතු වීමට ඉඩ තිබේ.

 

ආර්ථික අර්බුදයක් නිසා දේශපාලන අර්බුද ඇති විය හැකි නමුත්, අවශ්‍යයෙන්ම ප්‍රගතිශීලී ව්‍යාපාරයක නැගීමට අර්බුදය පසුබිම් වන්නේ යැයි කිව නොහැක. සංස්ථාපිත දේශපාලන පක්ෂ අසාර්ථක වන විට සිදුවිය හැකි දෑ දෙකකි. එකක් සමාජය පූර්ණ අරාජිකත්වය වෙත තල්ලු වී යා හැක. මෙබඳු සිනාරියෝවක පෙර ලකුණු දැනටත් පහල වෙමින් තිබේ. අනෙක් විය හැකියාව නම්, දේශපාලන සංස්ථාපිතයට මෙන්ම ඔවුන් අනුගමනය කරන පිලිවෙත්වලට අභියෝග කරන ප්‍රගතිශීලී දේශපාලනයක නැගීමය.

 

ගෝඨාභය රාජපක්ෂ පසුව දේශපාලනයෙන් අතු ගෑවි ගිය පැසොක් නායක ජෝර්ජි පැපෙන්ඩෘගේ චරිතයටද, සමගි ජන බලවේගය මධ්‍ය-දක්ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයේ භූමිකාවට අප රූපකාර්ථවත් ලෙස ආදේශ කරමු.

 

එවිට නැගිය යුතු ප්‍රශ්නය මෙයයි ; සිරීසා භූමිකාව තමා වෙත පවරා ගැනීමට ලංකාවේ වාමාංශය හා ප්‍රගතිශීලී කණ්ඩායම් සූදානම්ද?

 

සටහන – රමිඳු පෙරේරා

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *