පාකිස්තානය යනු පසුගිය කාලයේ පුවත් මැවූ රටකි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිටත සිට පැමිණි, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් අගමැති වීම ආදී වූ සුවිශේෂී සිදුවීම් ගණනාවක් එරට තුළ පසුගිය කාලයේ ඇති විය. මේ වනවිට, දැවැන්ත ආර්ථික අර්බුදයක් විසින් කැඳවනු ලබන බරපතල දේශපාලන අර්බුදයක් පිළිබඳ පෙරනිමිති පාකිස්තානය විසින් පෙන්නුම් කරමින් සිටියි. වර්තමාන පාකිස්තානය යනු, වේගයෙන් ඉහළ යන උද්ධමනයක් සහිත, මූල්‍ය සහ ජංගම ගිණුමේ හිඟය පාලනය කල නොහැකි තරම් ඉහළ යාම නිසා ඇති වී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදයක් නිසා ආර්ථික වශයෙන් බංකොලොත් වීමට නියමිත දකුණු ආසියාවේ දෙවන රටයි. මෙහි පළමු තැන හිමි ශ්‍රී ලංකාව පසු කල මං සලකුණු ඉතා වේගයෙන් පසු කරමින් එම අර්බුද මාර්ගයේම පාකිස්තානය ගමන් කරන බව අපට දැකිය හැකිය.
වත්මන් පාකිස්තානයේ දේශපාලන අර්බුදයට පසුබිම් වන්නේ පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් හේතුවෙන් ඉම්රාන් ඛාන්ට බලයෙන් ඉවත්ව යාමට සිදු වීමය. 1996 වර්ෂයේදී ඉම්රාන් ඛාන් ගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද PTI (පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්) පක්ෂය, යුක්තිය, මානුෂීයත්වය සහ ආත්ම අභිමානය පෙරදැරි කර ගත් වාමාංශික හෝ දක්ෂිණාංශික නොවන දේශපාලන සංවිධානයක් ලෙස තමාව හඳුන්වා ගනී. PTI හි මූලික ස්ථාවර ලෙස, යුක්තිය පසිඳලීමේ ක්‍රමය ස්වාධීන කිරීම සහ පාකිස්තාන ජනතාව සොරා කමින් අති විශාල ධනයක් ඉපැයූ දූෂිත නායකයින් පරාජය කිරීම තුලින් සමෘද්ධිමත් පාකිස්තානයක් ඇති කිරීම අරමුණු කර ගෙන ඇත. ඉම්රාන් ඛාන් විසින් 2002 වසරේ පැවති මැතිවරණයේදී මියන්වාලි ජාතික ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසීම PTI හි පළමු ආසන ජයග්‍රහණයයි. 2013 වසරේ පැවති මහමැතිවරණයෙන් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණි PTI එතෙක් පැවති රජයන්ගේ විවිධ ගැටලු නිසා පැන නගින ලද මහජන විරෝධතා සංවිධානය කර, ඒ මතින් 2018 වසරේ මැතිවරණය ජයග්‍රහණය කර රජයක් පිහිටවනු ලැබීය.
ඉම්රාන් ඛාන්ගේ ව්‍යාපාරය ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපෘතියක් සම්බන්ධව හොඳ නිදසුනකි. සාම්ප්‍රදායිකව එරට තුල බලවත්ව පැවැතියේ පාකිස්තාන මුස්ලිම් ලීගය හා පාකිස්තාන ජනතා පක්ෂය යන පක්ෂ දෙකය. බලය පවුල් කිහිපයක් අත සංකේන්ද්‍රනය වී තිබෙන බවත්, දේශපාලනය දූෂිත වීම පාකිස්තානයේ පරාභවයට හේතු වී තිබෙන බවත් පවසමින් PTI පක්ෂය තම දේශපාලනය දියත් කල අතර, අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර සදහා කරන වියදම වැඩි කිරීම බදු ප්‍රතිපත්තින් නිසා මධ්‍ය වාමාංශික පකිස්තාන ජනතා පක්ෂයට සාම්ප්‍රදායිකව ඡන්දය දුන් ජන කොටස් ද ; වංචා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා මාධ්‍යමික නැඹුරුවක් පෙන්වූ මධ්‍යම පන්තික කොටස් ද තමා වෙත දිනා ගැනීමට කාලයත් සමග PTI පක්ෂයට පුලුවන්කම ලැබුණි. බලයට පත්වූ ඉක්බිති, ඇමරිකාව හා බටහිර සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් ප්‍රකාශ කළ එම පක්ෂය චීනය සමග වඩා සමීප සම්බන්ධකම් ඇති කර ගැන්ම කෙරෙහි නැඹුරු විය.
කෙසේ වුවද, රට තුළ ක්‍රමයෙන් ගැඹුරු වූ ආර්ථික අර්බුදය විසින් ඉහළ දමන ලද උද්ධමනය නිසාම ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය ක්‍රමයෙන් වර්ධනය විය. මහජන විරෝධය ප්‍රයෝජනයට ගනිමින් පසුගිය අප්‍රේල් මස දී ඉම්රාන් ඛාන් ට විරුද්ධව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 174 දෙනෙකුගේ සහය හිමි වීම මගින් ඉම්රාන් ඛාන් බලයෙන් ඉවත් කර පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ශරීෆ් තේරී පත්විය. විශ්වාසභංගයට මුහුණ නොදී පාර්ලිමේන්තුව විසුරවීමට ඉම්රාන් ඛාන් දැරූ උත්සාහය පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැලැක්වූ අතර විශ්වාසභංගය පැවැත්වීමට නියෝග කරන ලදී.
ඉම්රාන් ඛාන්ගේ මෙම පරාජයට, විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ හමුදා ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඔහු විසින් පාකිස්තාන හමුදාව සමග ඇති කර ගත් විරසකයන්ද, ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල බලපෑමද හේතු වූ බව සඳහන් කළ යුතුය. ඉම්රාන් ඛාන් බලයෙන් ඉවත් කර පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාකිස්තාන් මුස්ලිම් ලීගය (නවාස් ) PML -N පක්ෂයේ ෂෙබාස් ශරීෆ් තේරී පත්විය. හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ සහෝදරයා වන ෂෙබාස් ශරීෆ්ගේ නායකත්වය යටතේ පිහිටුවන ලද නව රජය බලයට පැමිණි පසු පාකිස්තානු ආර්ථිකයට සුළු අස්වැසිල්ලක් ලබා දෙමින් ආර්ථික අංක මදක් ඉහළ ගියද ඉතා ඉක්මනින්ම ආර්ථික දුෂ්කරතා තවදුරටත් වර්ධනය වී රටට ඉතා දුෂ්කර කාලයක් පැමිණ ඇත. පාකිස්තාන කැබිනට් මණ්ඩලය විවිධ ප්‍රතිවාදී මත දරන පුද්ගලයින්ගෙන් පිරී ඇති නිසා ඒ තුළ නඩත්තු වන පසමිතුරුතා මගින් මෙම දේශපාලන අර්බුදය ඉදිරියේදී තවත් තීව්‍ර වනු ඇත. එය ආර්ථික අර්බුදය තවත් නරක අතට හරවනු ඇත.
මහජනතාව විසින් ආණ්ඩු පත්කරනු ලැබූවද පාකිස්තානු ආණ්ඩුවක බලය සෑම විටකම පාහේ රැඳී තිබුනේ හමුදා ප්‍රධානීන් මතයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මහජනතාව විසින් බල කෙරෙන විට, තමන්ට අවනත වන නායකයෙක් දිනවීම සඳහා හමුදාව විසින් සහයෝගය ලබාදේ. 2018 වසරේදී හමුදාවේ සහයෝගය සමග බලයට පැමිණි ඉම්රාන් ඛාන්, හමුදාවේ සහයෝගය ක්‍රමයෙන් අහිමි කර ගැනීමත් සමඟම පාර්ලිමේන්තු බහුතරයවත් දිනා ගත නොහැකිව බලයෙන් පහ කිරීම මෙහි වර්තමාන උදාහරණයයි. 1947 දී නිදහස දිනා ගැනීමත් සමග මෙතෙක් පත් වූ කිසිම අගමැතිවරයෙක් තම අවුරුදු 5ක ධූර කාලය සම්පුර්ණ කර නැත. හමුදා ජනරාල්වරුන් විසින් නොයෙක් විටදී පාකිස්තානය පාලනය කර ඇත.
පසුගිය අප්‍රේල් මස බලයට පත් වූ නව අගමැතිවරයා විසින් පාකිස්තානයේ සතියේ වැඩ කරන දින ගණන දින පහේ සිට හය දක්වා වැඩි කිරීමට තීරණය කළේ, රටේ ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් මෙම තීරණය මගින් රජයේ කාර්යාල සහ සේවකයින්ගේ විදුලිය හා ඉන්ධන පරිභෝජනය නොසිතූ පරිදි වැඩි විය. ඉල්ලුමට සරිලන විදුලි සැපයීමක් පවත්වා ගත නොහැකි නිසාම පාකිස්තානය තුල පැය ගණනක විදුලි ඇනහිටීම් හා විදුලි කප්පාදුවන් සුලබ විය. මේ නිසා වැඩි කල් නොයාම ඉහත තීරණය අකුලා ගත් ආණ්ඩුව සතියේ වැඩ කරන දින ගණන හයේ සිට නැවත පහ දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල සඳහා සිකුරාදා දිනවල නිවසේ සිට වැඩ කිරීමේ සැලැස්මක් සැකසීමට සහ වාණිජ වෙළෙඳපොළ කඩිනමින් වසා දැමීමට කැබිනට් මණ්ඩලය කමිටුවක් ද පිහිටුවා ඇත. ඉහළ යන බලශක්ති මිල හමුවේ පාකිස්තානයේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 10 ට වඩා පහත වැටී ඇති අතර ඉතිරි වී ඇති විදෙස් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 45ක ආනයන සඳහා පමණක් බව රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මීට පෙර 1999 වසරේ දී ණය ගෙවාගත නොහැකිව බංකොලොත් රටක් බවට පත්වීමට පාකිස්තානයට සිදුවිය. පාකිස්තානය සිය ඉතිහාසයේ දෙවන වරටත් ණය ගෙවාගත නොහැකි බංකොලොත් තත්ත්වයට පත්වීමට ආසන්න අවස්ථාවක දැන් සිටියි. එය මඟ හරවා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ඔවුන් අපේක්ෂා කරමින් සිටියි. මෙම සාකච්ඡා සිදුකරන අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල මෙතෙක් රටේ සිදු කළ විශාලතම මිල ඉහළ දැමීම වන රුපියල් 30 කින් ඉහළ දැමීමට පාකිස්තාන රජය කටයුතු කරන ලදී. ඉම්රාන් ඛාන් රජය ඉන්ධන සඳහා සහනාධාර ක්‍රමයක් ඇති කර තිබූ අතර එම සහනාධාරය ඉවත් කරන තුරු IMF මුදල් ලබා දීම ප්‍රමාද කරමින් තිබුණි. කෙසේ වුවද මෙම සහනාධාර ඉවත් කිරීම මගින් ඉන්ධන මිල ඉහල යාම මහජන කෝපය තවත් තීව්‍ර කර ඇත්තාක් මෙන්ම සැලසුම් කළ කාලයට වඩා වසරකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට දෙසට ද තල්ලු කර ඇත. ආර්ථික අර්බුදය විසින්ම ජනතා අප්‍රසාදය බලවත්ව, අගමැති ධූරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන් ආර්ථික අර්බුදය විසින්ම නැවත බලයට කැඳවන බව පෙනේ.
පාකිස්තානයේ පාලක පන්තිය කලාපයේ උපායමාර්ගික වාසි ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය සහ චීනය අතර තුලනය වෙමින් ප්‍රතිපත්ති තෝරනු ලබන බව දක්නට ලැබේ. ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට වෙනස්ව ෂෙබාස් ශරීෆ් ගේ රජය අර්බුදයෙන් මිදීම පිණිස ඇමෙරිකානු ආර්ථික සහයෝගය අපේක්ෂා කරන අතර එකම විසඳුම වන්නේ එය බව පවසයි. නමුත් එක් අන්තයක් බලවත්ව තුලනය වෙනස වූ සැණින් එය පාකිස්තාන අභ්‍යන්තරයේ ගැඹුරු ගැටුම්වලට ඉඩ සලසයි. වර්තමාන පාකිස්තානය මෙම අර්බුද වඩාත් ගැඹුරු වී ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකිව ශ්‍රී ලංකාව මෙන් බංකොලොත් රටක් බවට පත්වීමේ අනතුර අබියස සිටී.
සටහන – රාජිත අනුරාධ පෙරේරා
Comments (0)