පහත පලවන්නේ ශ්‍රී ලංකාවේ “රිසර්ච් ඉන්ටලිජන්ස් යුනිට්” (Research Intelligence Unit) හි ආරාධනයෙන් පැවතී මාර්ගගත සාකච්ඡාවක දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයෙක් වන ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරුෆාකිස් දැක්වූ අදහස්වල සිංහල අනුවාදයයි.
නිවේදිකාව : යානිස් මෙහි පැමිණ සිටින්නේ ගෝලීය දේශපාලන පර්යාය සහ ණය අර්බුදය අතර සම්බන්ධය සාකච්ඡා කිරීමට ය. ගෝලීය පද්ධතියේ සහ භූ දේශපාලනයේ අසාධාරණ ස්වභාවය ඉස්මතු කරන වත්මන් යුගය, ගෝලීය ආර්ථිකයට සහ දේශපාලනයට මෙය කැළඹිලි සහිත කාලයකි. යානිස්, කරුණාකර මැද පෙරදිග සහ සමහරවිට යුරෝපයේ ද විකාශනය වන භූ දේශපාලනික තත්ත්වය පිළිබඳ ඔබේ අවබෝධය බෙදා ගත හැකිද? ගෝලීය දකුණේ ශ්‍රී ලංකාව වැනි කුඩා නැගී එන ජාතීන්ට මෙය කෙසේ බලපෑ හැකිද?
යානිස් වරවුෆාකිස් : භූ දේශපාලනය පැත්තෙන් ප්රශ්නය පිළිබඳව අවධානය යොමු කරනවිට, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද සහ ජෝ බයිඩන් විසින් තීව්ර කරන ලද, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර හටගෙන ඇති නව සීතල යුද්ධයද, ගාසා තීරයේ සිදුවන ජනඝාතනය හා යුක්රේනයේ සිදුවන යුද්ධයට යුරෝපා සංගමය මැදිහත්වෙමින් පවතින පසුබිමක් තුළ, ශ්‍රී ලංකාව වැනි රටවලට මෙම භූ දේශපාලන මඩගොහොරුව තුළ තරඟකාරී බලවේග අතර ගමන් කිරීම වඩාත් දුෂ්කර බව පෙනෙයි.
බොහෝ ප්රගතිශීලී චින්තකයෝ BRICS සන්ධානයේ සංකීර්ණතා, විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය අතර ගතිකත්වය නොසලකා හරිති. ශ්‍රී ලංකාවේ කෙනෙකු වශයෙන්, ඔබ තත්ත්වය සියැසින්ම වටහා ගන්නේ රට ඉන්දියාව සහ චීනය අතර සීතල යුද්ධයක පැටලී සිටින බැවිනි. උදාහරණයක් ලෙස කොළඹ වරාය මෙම එදිරිවාදිකමේ සටන් බිමකි. බටහිර ආඛ්‍යානයට අනුව එක්සත් ජනපදයට එදිරිව බ්‍රික්ස් (BRICS) කෙරෙහි අවධානය යොමු කරන්නේ චීනය සහ එක්සත් ජනපදය අතර නැගී එන සීතල යුද්ධය සරල කළු-සුදු දර්ශනයක් වෙනුවට අළු වර්ණ රාශියක් නිර්මාණය කරන ආකාරය නොසලකා හරිමිනි. වෙනත් වචනවලින් කියන්නේ නම් මෙය ඉතා සංකීර්ණ කාරණයකි.
සාමාන්‍යයෙන් භූ දේශපාලනය ගැන සාකච්ඡා කරනවාට වඩා ශ්‍රී ලංකාව පිළිබඳව හා එහි වැදගත්කම අවධාරණය කිරීමට මට ඉඩ දෙන්න, මන්දයත් එම කාරණය සම්බන්ධයෙන් වඩා හොද කරුණු සැපයීමට මා හොඳින් සූදානම් බව මම විශ්වාස කරමි. මක්නිසාද යත්, 2010 දී පැවති ග්‍රීසිය මෙන්ම අද ශ්‍රී ලංකාව ද විදේශ මුදල් වලින් දැක්වෙන විදේශ ණය සහ විදේශ ණය අර්බුදයකට මුහුණ නොදිය යුත්තේ කෙසේද ඒ පිළිබඳව කදිම නිදසුනකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද යෝජිත විසඳුමක් තිබේ, එනම් එය ඔවුන් සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ගිවිසුමකි. කෙසේ වෙතත්, ගිවිසුමට අනුව ඇති මෙම විසඳුම ප්‍රමාණවත් වන්නේ නැත; එමෙන්ම එය ඇත්ත වශයෙන්ම එකී ගිවිසුම මුල් ගැටලුව වඩාත් නරක අතට හරවනු ලබයි. මට සෘජුව කියන්න ඉඩ දෙන්න: මෙම අර්බුදයට මූලික හේතුව කුමක්ද? ග්‍රීසියේ මෙන්ම, ශ්‍රී ලංකාවේ ද ජනගහනයෙන් බහුතරයකගේ සුබසාධනය නොසලකා හරිමින්, වසර ගණනාවක් තිස්සේ, තමන් පොහොසත් කර ගැනීම සඳහා විදේශ ණය රැස්කරගත් දේශීය කතිපයාධිකාරයක් පවතී. නිදසුනක් වශයෙන්, ඔබේ රටේ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සීග්‍රයෙන් පෞද්ගලීකරණය කිරීමෙන් ජනගහනය අතර ණය වැඩි වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සමාජ ප්‍රතිපාදන සඳහා වන්දි ගෙවීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට ක්ෂුද්‍ර ණය ලබා ගැනීම වැනි අවදානම් ගැනීමට මෙය මිනිසුන්ට බල කරයි. ශ්‍රී ලංකාවේ මූල්‍යකරණය විසින් කතිපයාධිකාරයේ පාඩු සමාජගත කරන අතර ලාභ පෞද්ගලීකරණය කරයි. නොවැළැක්විය හැකි ලෙස, ප්‍රශ්න ඇති වූ විට, සමස්ත සමාජය මත බර පැටවුණි. ලාභ පෞද්ගලීකරණය කිරීමේ සහ පාඩු සමාජගත කිරීමේ මෙම රටාව විශාල ප්‍රශ්නයක් ලෙස පවතී.
ඇත්ත වශයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම විකාර සහගත ය. එය මෙසේ පැහැදිලි කළ හැකිය. බිලියන තුනක ණයක් සඳහා, ඔබ ගෙවන මිල බෙහෙවින් වියදම්කාරී, නොවෙයි ද? SDR වල මෙම ණය සඳහා ඔබ ගෙවන පොලී අනුපාත සාමාන්‍යයය, නමුත්, එය ශ්‍රී ලංකාවේ වාර්ෂික විදේශ ඉපැයීම්වලින් හයෙන් එකක් පමණ වේ. එම මිල අධික සහ නොවැදගත් ණය වෙනුවට, ඔබ රටක් ලෙස ලබා දෙන්නේ කුමක්ද? ග්‍රීසිය හා සමානව, තනිකර ම බාහිර ණය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් අරමුදල් මත කප්පාදුවක් පැනවීය. විශ්‍රාම වැටුප් අරමුදල් විසින් දරනු ලබන ණය, පවතින්නේ දේශීය මුදල් වලින් බැවින් මෙය සැලකිල්ලට ගත යුතු කාරණයකි. එය හිතාමතා කළ දෙයක් බව මට නොතේරෙන්නේ නම් මම මෙම පියවර මෝඩ පියවරක් ලෙස ලේබල් කරමි. මෙය සිදු කිරීමට ප්‍රධානතම හේතුව වූයේ විදේශ ණයකරුවන්ට අයත් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අඩු කිරීමට එකඟ වීමට තරම් පීඩනයක් ඇති නොවන බවට වග බලා ගැනීමටය. ලංකාව වෙනත් රටවලට ගෙවිය යුතු මුදල් පමණක් නොව, සියලු වර්ගවල ණය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කළ නිසා, බහුතර ජනතාව වෙතින් කිහිප දෙනෙකු වෙත වත්කම් මාරු කිරීමක් සිදුවී ඇත.
මේ මුදල් චලනය වන්නේ මුලින්ම ප්රශ්නය ඇති කළ කිහිප දෙනෙකු අතටය. උදාහරණයක් ලෙස, එකතු කළ අගය මත බද්ද (VAT) ආසන්න වශයෙන් 15% දක්වා දෙගුණයකින් වැඩි වී ඇති අතර, ධන බද්දක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ප්‍රමාද වී හෝ නොසලකා හැර ඇත. මෙය රට තුල අඩු දළ දේශීය නිෂ්පාදිතයක් සඳහා තුඩු දෙනු ඇති අතර, ඒ හරහා පැරණි සහ නව ණය දෙකම එකවර ගෙවීමට අපහසු වනු ඇත. ග්‍රීසියට සමානව, ශ්‍රී ලංකාව ද දේශපාලන මර්දනයක් පවතින අතර පසුගිය වසර පුරා විරෝධතා ව්‍යාපාරය දුර්වල කිරීමේ උත්සාහයක් දැකගත හැක. මෙ මගින් අර්බුදයට වගකිව යුතු කතිපයාධිකාරීන්ගේ දේශපාලන බලය තවත් ශක්තිමත් ව පැවතීමට ඉඩ සැලසී ඇත. රටත් එහි ජනතාවත් කතිපයාධිකාරය සහ විදේශ ණය දෙන්නන් යන දෙකෙන්ම තව තවත් යැපෙන තත්ත්වයට පත් කරමින් අර්බුදය ඇති කළ කතිපයාධිකාරය බලයේ තබා ගැනීමට, ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ගනුදෙනුවක් කර ඇති බව මා විශ්වාස කරන්නේ එබැවිනි.
ඒ වෙනුවට සිදු විය යුත්තේ කුමක්ද? ඔබ අභ්‍යන්තර ණය නොව බාහිර ණය කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම භූ දේශපාලන ක්ෂේත්රය තුළ පැල්මක් ඇති කිරීමට ඔබේ ආණ්ඩුව ඉලක්ක කළ යුතුයි. එය ප්‍රධාන රාජ්‍ය ණය දෙන්නා වන ඉන්දියාව සහ චීනය අතර එදිරිවාදිකම ණය සම්බන්දයෙන් යොදාගත යුතුය. මෙම භූ දේශපාලන තරඟය තුළ ණය, බලය දරන බව ඔබ සැමවිටම මතක තබා ගතයුතු කරුණකි. එමෙන්ම එය ණය දෙන්නන් බලපෑම් කිරීමට උත්සාහ කරන උපාය මාර්ගික කාරකයන් බවද මතක තබා ගැනීම වැදගත්ය. ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය ජාතීන් සතුව තිබෙන වටිනා වත්කම් අත්පත් කර ගැනීමට තරඟ කරයි. ඒ වගේම මම කොළඹ වරාය ගැන කීවෙමි. ඔබේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරනවා නම් මෙය හොදින් භාවිතා කළ යුතුයි. ඔබ විශාල කාරකයන්ට විශාල මුදලක් ණය වූ විට ඔබත් බලවත් බව මතක තබා ගත යුතුය. ඔබ ණයවී ඇත්තේ කුඩා මුදල් ප්‍රමාණයක් නම්, ඔබට ඇත්තේ අඩු බලයකි. දිළිඳුකමට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම කෙරෙහි ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය.
ආයෝජන පිළිබඳව අවධානය යොමු කරන විට ලංකාවේ ජනතාව ගැන සිතනා ආණ්ඩුවක් නම් එය චීනය හා ඉන්දියාව සමඟ ණය ගැන සාකච්ඡා කරනවිට, එය ආපසු ගෙවීමට කැපවීම සඳහා ඉහළ ගුණාත්මක රැකියා උත්පාදනය කරන හවුල් ව්‍යාපාර ඉල්ලා සිටිනු ඇත. සියල්ලට පසු, චීනය 1990 ගනන්වල ජර්මානු සමාගම් සහ ඇමරිකානු සමාගම් සමඟ කාර්මිකකරණය කිරීම සහ රටේ සහ එහි ජනතාවගේ තත්වය වෙනස් කරන ගතිකයක් ගෙන ඒම සඳහා එහි සාකච්ඡාවල දී සිදුකළේ මෙයයි. එය කිරීමට නම්, වත්මන් ආණ්ඩුව සමඟ මෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස තහනම් කර ඇති දෙයක් වන ප්රජාතන්ත්රවාදය තිබීම අවශ්‍ය වෙයි. කිසිදු ප්‍රධාන බලවතෙකුට නොනැමෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැමති ආණ්ඩුවක් පමණක් නොව, සමස්ත දේශපාලන පන්තියක් නිර්මාණය කළ හැකි ප්රජාතන්ත්රවාදයක් ඔබට අවශ්‍ය වේ. ප්‍රධාන බලවතුන් අතර වර්ධනය වන මෙම ගැටුම මධ්‍යයේ ආණ්ඩුව නොබැදි විදේශ ප්රතිපත්තියක සිටීමට උත්සාහ කරන්නේ නම් මිස ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර වන ආකාරයෙන් සිදු නොවනු ඇත.
පරිවර්තනය මිගාර රත්නායක
Comments (0)