ගෝලීය අධිරාජ්යවාදී පද්ධතියේ අෂ්ට විධ ප්රතිවිරෝධතා

ට්‍රයිකොන්ටිනෙන්ටල් (Tricontinental) වාර ප්‍රකාශනයේ පල වූ Eight Contradictions of the Imperialist ‘Rules-Based Order’ ලිපියේ සිංහල පරිවර්තනය. ප්‍රතිවිරෝධතාවය විශ්ලේෂණය කිරීම මාක්ස්වාදී විශ්ලේෂණයේ මූලික ශික්ෂාවකි. මෙම සටහනෙහි වත්මන් ගෝලීය ධනවාදය තුළ ගැබ්වන ප්‍රතිවිරෝධතා කවරේදැ‘යි විමසීමේ මුලපිරීමක් අන්තර්ගත වේ.

 

ලෝක ඉතිහාසයේ ගුණාත්මක වශයෙන් නව අදියරක් වෙත අපි පිවිසෙමින් සිටිමු. 2008 ගෝලීය මූල්‍ය අර්බුදය අවස්ථාවේ සිට ගත වූ වසර කිහිපයෙහි තීරණාත්මක ගෝලීය වෙනස්කම් ඇති වෙමින් තිබේ. මෙය අධිරාජ්‍යවාදයේ නව අදියරක් ලෙස දැකිය හැකි අතර, ප්‍රතිවිරෝධතා අටක ස්වරූපයෙන් මෙම අවදියේ සුවිශේෂීතාවය ප්‍රකාශමාන වේ.

මෙම ප්‍රතිවිරෝධතාවන් අට පහත පරිදි ය.

 

දුබල වෙමින් තිබෙන අධිරාජ්‍යවාදය හා චීනය විසින් නායකත්වය දෙනු ලබන සාර්ථක සමාජවාදී මොඩලය අතර ප්‍රතිවිරෝධතාවය.

 

චීන ලක්ෂණ සහිත සමාජවාදයේ සාමකාමී නැගීමේ ප්‍රතිඵල ලෙස මෙම ප්‍රතිවිරෝධතාවය තීව්‍ර වී තිබේ. පසුගිය වසර 500 ක ඉතිහාසයේ පළමු වතාව, අත්ලාන්තික අධිරාජ්‍යවාදී බලවේග සුදු ජාතික නොවන, විශාල ආර්ථික බලයක අභියෝගයට මුහුණ දී සිටී. 2013 වර්ෂයේ දී ක්‍රය ශක්ති සාම්‍යය අනුව ගැලපූ චීනයේ දළ ජාතික නිෂ්පාදිතය, ඇමරිකාවේ නිෂ්පාදිතය ඉක්මවීම නිසා මෙය වඩාත් පැහැදිලි විය. මෙම සංවර්ධනය චීනය අත්පත් කරගත්තේ බටහිර රටවලට වඩා සාපේක්ෂව අඩු කාලයක් තුළ ය ; ඒ අති විශාල ජනගහනයක් සහිතව, එනමුදු යටත්විජිතකරණයෙන් තොරව, වෙනත් ජනතාවන් වහල්භාවයට පත් කිරීමෙන් තොරව හා හමුදාමය ආක්‍රමණවල යෙදීමෙන් තොරව ය. චීනය සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ උනන්දු වන නමුත්, එක්සත් ජනපදය එන්න එන්නම ආක්‍රමණශීලී ස්ථාවරයක් ගනු දක්නට ලැබේ.

දෙවැනි ලෝක යුද්ධයට පසු කාලය තුළදී අධිරාජ්‍යවාදී කඳවුර මෙහෙයවනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි. පශ්චාත් ඇන්ජලා මර්කල් යුගයේ දී, විශේෂයෙන් යුක්‍රේන යුද්ධය සමඟ, එක්සත් ජනපදය යුරෝපයේ හා ජපානයේ ධනපති කොටස් උපාය මාර්ගික වශයෙන් යටපත් කරමින් ඉදිරියට පැමිණ ඇත. මේ නිසාවෙන් අන්තර්-අධිරාජ්‍ය ප්‍රතිවිරෝධතා දුබල වී තිබේ. ජපානය හා ජර්මනිය සිය මිලිටරි වැය ඉහළ නැංවිය යුතු බවට එක්සත් ජනපදය ඉල්ලා සිටී. මෙහි ප්‍රතිඵලය ලෙස රුසියාව සමග යුරෝපයට වූ සම්බන්ධතාවය අවසන් වී තිබෙන අතර, මෙය යුරෝපීය ආර්ථිකයට හානිකර වී තිබේ. කෙසේ වුව ද, එක්සත් ජනපදයට මේ නිසා ආර්ථික හා දේශපාලන ප්‍රතිලාභ ලැබෙමින් පවතී. යුරෝපීය දේශපාලන ප්‍රභූ තන්ත්‍රය එක්සත් ජනපද ආධිපත්‍යයට යටත් වී තිබීම පැවැතිය දී, ජර්මානු ප්‍රාග්ධනයේ විශාල කොටසක් චීනය සමග වෙළෙඳ කටයුතු මත යැපේ. චීනය සමග සම්බන්ධතා අත් හිටුවන ලසට එක්සත් ජනපදය යුරෝපයට බල කරමින් සිටී.

චීනය මේ වනවිට වඩාත් භයානක ප්‍රපංචයකට මුහුණ දී සිටී ; ඒ ‘ත්‍රිත්වයේ′ (එක්සත් ජනපද-යුරෝපා- ජපාන හවුල) රටවල ව්‍යුහය ශක්තිමත් වෙමින් තිබීම යි. එක්සත් ජනපදයේ අභ්‍යන්තර සමාජය පිරිහෙමින් පැවැතීම එරට ප්‍රභූ තන්ත්‍රය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව අනුගමනය කරන එක්සත්භාවය කෙරෙහි බලපෑමක් සිදු කොට නොමැත. කෙටිකාලීන ආර්ථික ප්‍රතිලාභවලට ඉහළින්, එක්සත් ජනපදයේ ධනේශ්වරය සිය දේශපාලන හා මිලිටරිමය අවශ්‍යතා තබා ඇත.

රුසියාව සහ චීනය ඇතුලු ගෝලීය දකුණේ රටවල නිෂ්පාදිතය මේ වනවිට ලෝකයේ (ක්‍රය ශක්ති සාම්‍යයට සාපේක්ෂ) දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 65 ක් සංයුක්ත කරයි. මේ තුළ ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය වෙනස් වෙමින් තිබේ. එක්සත් ජනපදයේ පංගුව සියයට 27 සිට සියයට 15 දක්වා පහත වැටී ඇත. දශක පහක කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මන්දගාමී වී තිබෙන අතර, වාර්ෂිකව සියයට 2 ක අගයක පිහිටා තිබේ. ව්‍යාප්ත වීම සඳහා නව වෙළෙඳපොළවල් තවදුරටත් ඒ වෙත නැත. ධනවාදයේ පොදු අර්බුදයෙන් මෙන්ම, ලාභ රේට්ටුව පහත වැටීමේ දීර්ඝකාලීන ප්‍රවණතාවයේ ප්‍රතිවිපාකවලින් බටහිර රටවල් බැට කමින් සිටී.

 

අධිරාජ්‍යවාදී G-7 රටවල පාලක පන්තීන් සහ ගෝලීය දකුණේ ධනවාදී රටවල දේශපාලන-ආර්ථික ප්‍රභූ තන්ත්‍රය අතර ප්‍රතිවිරෝධතාවය.

 

එක්සත් ජනපදයේ ඒකපාර්ශවීය බලය එහි උපරිම තලයේ පැවැති 1990 ගණන්වලට සාපේක්ෂ ව මෙම දෙපාර්ශවය අතර සම්බන්ධතාවය විශාල වශයෙන් වෙනස් වී තිබේ. G-7 රටවල් හා ගෝලීය දකුණේ රටවල දේශපාලන ප්‍රභූ පිරිස් අතර සන්ධානය තුල ඉරි තැලීම් වර්ධනය වෙමින් ඇත. නිදසුන් ලෙස, ඉන්දියාවේ විශාලතම කෝටිපතියන් වන මුකේශ් අම්බානි හා ගෞතම් අදානිට රුසියාවෙන් තෙල් හා ගල් අඟුරු ඇවැසි ය. අන්ත-දක්ෂිණාංශික මෝඩි ආණ්ඩුව ඉන්දියාවේ ඒකාධිකාරී ධනපති පන්තිය නියෝජනය කරයි. ඉන්දීය විදේශ ඇමැති මූල්‍ය, තහංචි පැනවීම් හා අනෙක් ක්ෂේත්‍රවල එක්සත් ජනපදයේ හෙජමොනියට එරෙහිව විවිධ නිවේදන ඉඳ හිට නිකුත් කරනු මේ වනවිට දක්නට ලැබේ. ඉන්දියාව, සෞදි අරාබිය, තුර්කිය බඳු රටවල දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට අවශ්‍ය දෑ සැපයීමට අදාළ ආර්ථික හා දේශපාලන ස්ථායිතාවය බටහිර රටවල් වෙත නොමැත. කෙසේ වුව ද, චීනය හා එක්සත් ජනපදය විසින් මෙහෙයවෙන G-7 රටවල් අතර වූ ප්‍රතිවිරෝධතාවය තරමට අනෙක් ප්‍රතිවිරෝධතා සඳහා අදාළ මෙහෙයුම් දර්ශකය ලෙස ක්‍රියාත්මක වෙන තරමට මෙම ප්‍රතිවිරෝධතාවය උග්‍ර වී නොමැත.

 

ගෝලීය දකුණේ රටවල නාගරික, ගම්බද වැඩ කරන ජනතාව, සුලු ධනේශ්වරයේ පහළ ස්ථරවල ජනතාව [ජනප්‍රිය පන්තීන්] සහ එක්සත් ජනපදය විසින් මෙහෙයවෙන අධිරාජ්‍යවාදී බල තන්ත්‍රය අතර ප්‍රතිවිරෝධතාවය.

 

මෙම ප්‍රතිවිරෝධතාවය හෙමි හෙමින් වර්ධනය වෙමින් ඇත. ගෝලීය දකුණේ සියලුම පන්තීන් මත මෘදු බලය අභ්‍යාස කිරීමේ වාසිය බටහිර රටවල් වෙත පවතී. එහෙත් දශක ගණනාවක ඉතිහාසයේ පළමු වතාවට, මාලි රටේ හා බුර්කිනා ෆාසෝ හි ප්‍රංශ හමුදා ඉවත් කිරීම සඳහා වූ අරගලයට සහය පළ කරමින්, තරුණ අප්‍රිකානු ජනයා සටනට පිවිස සිටී. ඉතිහාසයේ පළමු වතාව, කොලොම්බියාවේ ජනප්‍රිය පන්තීන් එක්සත් ජනපදයේ රූකඩයක් බවට එරට පත් කිරීමට එරෙහි වූ ආණ්ඩුවක් බලයට පත්කළ හ. කම්කරු පන්තියට අදාළ හා සමාජයට බලපාන අරගලවල පුරෝගාමී භූමිකාවක් කම්කරු පාන්තික ස්ත්‍රීන් ඉටු කරති. තරුණ ජනයා ධනවාදයේ පාරිසරික විනාශයට එරෙහිව සටන් වදිමින් සිටී. කම්කරු පන්තියේ වැඩි පිරිසක් එන්න එන්නම සාමය, සංවර්ධනය හා යුක්තිය සඳහා වූ තම අරගලය අධිරාජ්‍ය-විරෝධී අර්ථයෙන් වටහා ගැන්මට පටන් ගෙන සිටිති. එක්සත් ජනපදයේ මානව හිමිකම් දෘෂ්ටිවාදයේ තිබෙන මුලාව ඔවුන් තේරුම් ගනිමින් සිටින අතර, බටහිර රටවල බලශක්ති හා කැණීම් සමාගම් විසින් කරන පාරිසරික විනාශය, එක්සත් ජනපදය අනුග්‍රහය දක්වන හයිබ්‍රිඩ් යුද්ධ හා සම්බාධකවල බලපෑම වටහා ගනිමින් සිටිති.

 

කුලිය හඹා යන සංවර්ධිත මූල්‍ය ප්‍රාග්ධනය සහ සමාජවාදී නොවන රටවල ජනප්‍රිය පන්තීන්, ඇතැම් විට ධනපති පන්තියේම සමහර කොටස්වල අවශ්‍යතා ‒ කර්මාන්ත සඳහා වූ ආයෝජන, පාරිසරික වශයෙන් තිරසාර කෘෂිකර්මාන්තය, සේවා නියුක්තිය හා සංවර්ධනය බඳු වූ අවශ්‍යතා අතර ප්‍රතිවිරෝධය.

 

මෙම ප්‍රතිවිරෝධතාවය පැන නගින්නේ ලාභ රේට්ටුවේ පහත වැටීම සහ ආයෝජන අවශ්‍යතා සඳහා අදාළ අරමුදල් සම්පාදනය කොට, තරඟකාරීත්වය පවත්වා ගැන්මට අවශ්‍ය ප්‍රමාණයට ධනය සපයා ගැනීම සඳහා අදාළ වන තරමට කම්කරු පන්තිය සූරාකෑමට නොහැකි වීම තුළිනි. දියුණු ධනවාදී රටවල හා ආසියාවේ හුදෙකලා ව්‍යතිරේඛ කිහිපයක් හැර, ගෝලීය දකුණේ අනෙක් සියලු රටවල පාහේ ආයෝජනය සම්බන්ධ අර්බුදයක් මතු වී තිබේ. බ්‍රිජ්වෝටර් ඇසෝසියේශන්ස් බඳු හෙජ් අරමුදල් හා බ්ලැක් රොක් බඳු පෞද්ගලික මූල්‍ය ආයතන නව පන්නයේ ආයතන ලෙස මතු වී ඇත. 2022 වර්ෂයේ ඩොලර් ට්‍රිලියන 9.8 ක් පමණ වන වත්කම් මෙම පෞද්ගලික වෙළෙඳපොළ විසින් පාලනය කරයි. අතත්‍ය හා සමපේක්ෂී ප්‍රාග්ධනයේ ආකාරයක් වන ඩෙරිවේටිව් වල වත්මන් ‘වෙලඳපොල′ අගය ඩොලර් ට්‍රිලියන 18.3 ක් වන අතර එහි සම්මත අගය ඩොලර් ට්‍රිලියන 632 කි. එය ලෝකයේ සැබෑ දල දේශීය නිෂ්පාදිතයේ අගය තරම් පස් ගුණයක් තරම් වූ විශාල අගයකි.

ගූගල්, ෆේස්බුක් / මෙටා, ඇමසන් බඳු වූ තාක්ෂණ-පාදක, ජාලමය ස්වරූපයේ නව ඒකාධිකාරයන් පන්තියක පැන නැගීම සිදුව ඇති අතර, ඒකාධිකාරී කුලිය උද්ධරණය කිරීම මේ සමාගම් විසින් සිදු කරයි. එක්සත් ජනපද චර පුරුෂ සේවාවල සෘජු අධීක්ෂණයට යටත් මෙම ඩිජිටල් ඒකාධිකාර සමස්ත ලෝකයේ තොරතුරු යටිතල ව්‍යුහය පාලනය කරයි. පසුගිය වසර විස්සක කාලය තුල එක්සත් ජනපදයේ මෘදු බලය ව්‍යාප්ත කිරීම සඳහා මෙම ඒකාධිකාර විශාල වැඩ කොටසක් ඉටු කර තිබේ.

ප්‍රාග්ධනයේ මෙම සමපේක්ෂි හා ඒකාධිකාරී කුලී සමුච්චකරණ යුගය සමාජ ආයෝජන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය වැලැක්වීම සඳහා හේතු වී ඇත. නව ලිබරල්වාදය යටතේ දකුණු අප්‍රිකාව හා බ්‍රසීලය දැඩි ලෙස කාර්මිකහරණයට ලක්ව තිබේ. සංවර්ධිත අධිරාජ්‍යවාදී රටවල් පවා  විද්‍යුත් යටිතල පහසුකම්, පාලම් හා දුම්රිය මාර්ග බඳු වූ තම යටිතල පාදක ව්‍යුහ නොතකා හැර ඇත. විශාල වශයෙන් බදු සහන සැපයීම හා බදු මුක්ත ප්‍රදේශ නීත්‍යනුකූල ලෙසම ඇති කරමින්, ගෝලීය ප්‍රභූ තන්ත්‍රය බදු වර්ජනයක් දියත් කොට තිබෙන අතර, මේ තුළ තනි තනි ධනපතීන් මෙන්ම සමාගම් සිය අතිරික්ත වටිනාකමේ පංගුව වැඩි කරගෙන තිබේ.

ප්‍රාග්ධනය විසින් සිදුකරන බදු පැහැර හැරීම් හා රාජ්‍ය අංශයේ විශාල කොටසක් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිඵල ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව හා ප්‍රවාහනය බඳු වූ පොදු භාණ්ඩවල සම්පාදනය දුර්වල වී ඇත. මෙම පසුබිම තුළ, ගෝලීය දකුණ තුළ ඇති වී තිබෙන ණය අර්බුදයේ වාසිය සමග ඉහළ පොලී ආදායම් ලබා ගනිමින්, බටහිර රටවල ප්‍රාග්ධනය අධිලාභ ලබමින් සිටී. එහි උපරිම මට්ටමේ දී, හෙජ් අරමුදල් ප්‍රධානීන් වන ජෝර්ජ් සොරෝස් බඳු අය අති විශාල රටවල් ප්‍රමාණයක මූල්‍ය පද්ධතිය විනාශ කරමින් සිටිති.

කම්කරු පන්තියේ ශ්‍රමය එන්න එන්නම අනාරක්ෂිත වෙමින් තිබෙන අතර, ලෝකයේ තරුණ ජනයාගේ අති විශාල පිරිසක් විරක්ෂාවෙන් පීඩා විඳිති. ජනගහනයේ විශාල පිරිසක් ධනවාදය යටතේ ‘අනවශ්‍ය′ ජනතාවක් බවට පත්වී සිටිති. සමාජ අසමානතාවය, දුක්ඛිතභාවය හා අසරණකම වැඩි වෙමින් තිබේ.

 

 ගෝලීය දකුණේ ජනප්‍රිය පන්තීන් හා ඔවුන්ගේ දේශීය දේශපාලන හා ආර්ථිකමය ප්‍රභූ පන්තීන් අතර ප්‍රතිවිරෝධතාවය.

 

මෙය විවිධ රටවල හා ප්‍රදේශවල විවිධාකාර වූ ලෙස ප්‍රකාශයට පත් වන්නකි. සමාජවාදී හා ප්‍රගතිශීලී රටවල, ජනතාව අතර ප්‍රතිවිරෝධතා සාමකාමී හා බහුවිධ වූ විධි අනුව විසඳයි. ධනේශ්වර ප්‍රභූ තන්ත්‍රය බටහිර ප්‍රාග්ධනය සමඟ මුලුමනින් සහයෝගීතාවයෙන් සිටින ඇතැම් ගෝලීය දකුණේ රටවල ධනය ජනගහනයේ සුලුතරයක් අත සංකේන්ද්‍රණය වී ඇත. වඩාත්ම දුගී ජනයා අතර දුක්ඛදායකත්වය බහුල වශයෙන් පැතිරී පවත්නා අතර, බහුතරයේ අවශ්‍යතා ඉටු කිරීමට ධනවාදී සංවර්ධන මොඩලය අසමත් ව තිබේ. නව යටත්විජිතවාදයේ හා බටහිර රටවල මෘදු බලයේ දීර්ඝකාලීන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසට, ගෝලීය දකුණේ ප්‍රමාණාත්මකව විශාල බොහෝ රටවල මධ්‍යම පන්තිය අතර බටහිර හිතවාදී පොදු මනෝභාවයක් ගොඩනැගී පවතී. දේශීය ධනපති පන්තියේ හා සුලු ධනේශ්වර පන්තියේ ඉහළ ස්ථරවල පන්තිමය හෙජමොනිය ජනගහනයේ බහුතරය සංයුක්ත කරන ජනප්‍රිය පන්තීන්ගේ බලපෑම අවහිර කිරීම සඳහා භාවිතා වේ.

 

එක්සත් ජනපදය මූලික අධිරාජ්‍යවාදය හා ජාතික ස්වාධිපත්‍යය තදබල ලෙස ආරක්ෂා කරන ජාතීන් අතර ප්‍රතිවිරෝධතාවය.

 

මෙම ජාතීන් වර්ග හතරකට අයත් ය ; සමාජවාදී රටවල්, ප්‍රගතිශීලී රටවල්, එක්සත් ජනපද අධිකාරිය ප්‍රතික්ෂේප කරන අනිත් රටවල් හා රුසියාව නම් වූ සුවිශේෂී සංසිද්ධිය. ඝාතන, ආක්‍රමණ, නේටෝ මූලික හමුදා මෙහෙයුම්, සම්බාධක, නඩු මගින් කරන වට කිරීම්, වෙළෙඳ යුද්ධ හා පට්ටපල් බොරු මත පදනම් වූ ප්‍රචාරක මෙහෙයුම් මාර්ගයෙන් කෙරෙන හයිබ්‍රිඩ් යුද්ධයක් ඔස්සේ එක්සත් ජනපදය මෙම සතුරු ප්‍රතිවිරෝධය නිර්මාණය කොට තිබේ. රුසියාව යනු සුවිශේෂී සිද්ධියකි. එය සමාජවාදී රටක් ලෙස පැවැති යුගයේ දී යුරෝපීය ෆැසිස්ට් ආක්‍රමණයේ ප්‍රතිඵල ලෙස ජීවිත මිලියන 25 ක් අහිමි වූ රටකි. දැවැන්ත ලෙස ස්වභාවික සම්පත්වලින් යුක්ත රුසියාව යළිත් වතාවක් නේටෝව විසින් මෙහෙයවන සම්පූර්ණ වටලෑමකට මුහුණ දී සිටී. එරට සමාජවාදී ඉතිහාසයේ ඇතැම් සංඝටක තවමත් මහජන මතකයේ පවතින අතර, දේශප්‍රේමී අදහස්වල බලපෑම ද ප්‍රබල ය. 1992 දී පටන් ගත් දෙය අවසාන කිරීමට එක්සත් ජනපදයට වුවමනා ය. එනම් අවම වශයෙන් රුසියාවේ න්‍යෂ්ටික යුද බලය ස්ථිර ලෙස විනාශ කිරීම හා මොස්කව් නුවර රූකඩ ආණ්ඩුවක් පිහිටුවීම මගින් රුසියාව කුඩා කැබැලි වලට බෙදීම – ඒ තුළින් බටහිර වටා භ්‍රමණය වන කුඩා රාජ්‍ය කැබලි කීපයක් ඇටවීම.

 

ගෝලීය උතුරේ රටවල මිලියන සංඛ්‍යාත වැඩකරන පන්තියේ දුගී ජනයා හා එම රටවල අධිකාරිය හොබවන ධනවත් පන්තීන් අතර ප්‍රතිවිරෝධය.

 

 මෙම වැඩකරන ජනතාව තමන් මුහුණ දෙන ආර්ථික හා සමාජ කොන්දේසිවලට විරෝධය පෑමේ ලක්ෂණ පහළ වෙමින් පවතී. එහෙත් මේ රටවල වැඩ කරන ජනතාවගේ බලවත් සමගියක් ඇති වීම වැලැක්වීම සඳහා සුදු ස්වෝත්තමවාදයේ තුරුම්පුව යොදා ගනිති. දැනට පවතින තත්ත්වය නම්, ජාතිවාදී යුද ප්‍රචාරයේ උගුලට වැටීමෙන් වැලකී සිටීමට තවමත් කම්කරුවන් අසමත් වී ඇති බව යි. අධිරාජ්‍යවාදයට එරෙහි මහජන උද්ඝෝෂණවලට සහභාගි වන ජන කොටස්වල යම් හීන වීමක් පසුගිය වසර තිහ තුල දක්නට ලැබේ.

 

බටහිර ධනවාදය හා පෘථිවි තලය හා මානව ජීවය අතර ප්‍රතිවිරෝධය

 

දැනට පවතින ක්‍රමයේ ප්‍රතිවිපාකය ලෙස පෘථිවි තලය හා මනුශ්‍ය ජීවය න්‍යෂ්ටික විනාශයේ, වාතය, ජලය, ඉඩම් ඇතුලු පාරිසරික සම්පත් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටී. ධනවාදය සැලසුම්කරණය හා සාමය ප්‍රතික්ෂේප කරයි. ගෝලීය දකුණ හා චීනයට ‘සාමයේ අවකාශය’ පුලුල් කරමින් පරිසරය සමග සහයෝගී වූ ලෙස ජීවත් වන ලෝකයක් නිර්මාණය කිරීමේ විභවය පවතී.

 

සටහන රමිඳු පෙරේරා

 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *