ජර්මනියේ දක්ෂිණාංශික ජාතිකවාදය හෙවත් නව ෆැසිස්ට්වාදයේ නැගීම

ජර්මනිය සඳහා විකල්පය හෙවත් AfD (Alternative für Deutschland) නම් අන්ත දක්ෂිණාංශික පක්ෂයේ රැඩිකල් අදහස් වඩාත් පැහැදිලිව පෙනීමට පටන් ගැනීමත් සමග, බොහෝ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් කල්පනා කිරීමට පටන් ගෙන ඇත්තේ, එහි නැගීම නැවැත්වීමට හොඳම උපාය මාර්ගය පක්ෂය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ගැන සලකා බැලීම බවයි.

ජර්මනිය සඳහා අන්ත දක්ෂිනාංශික විකල්පය (AfD) තහනම් කිරීම පිළිබඳ සාකච්ඡාව ඉක්මන් වූයේ පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) සම-නායක සස්කියා ඉස්කෙන් එලෙස තහනමක් සලකා බැලීම සඳහා සහය පළ කිරීමෙන් පසුවය. මෙය නීත්‍යානුකූලව තහනම් කිරීමට උත්සාහ කිරීම බුද්ධිමත් උපාය මාර්ගයක් වේද යන්න පිළිබඳව විවිධ දේශපාලන අදහස් දරන විවිධ දේශපාලනඥයන් තම අදහස් ප්‍රකාශ කර ඇත. එවැනි ප්‍රයත්නයක් උපාය මාර්ගික වේද, නැතහොත් එය එම පක්ෂයේ වර්ධනයට හෙවත් ජනප්‍රියත්වයට සැබවින්ම දායක විය හැකිද යන්න වටා මෙම විවාදය භ්‍රමණය වෙමින් ඇත.

ජර්මානු දේශපාලනයේ AfD තහනම් කිරීම පිළිබඳ සාකච්ඡාව, රටේ ඉතිහාසය, විශේෂයෙන්ම එහි නාසි අතීතය මත වැටී ඇත. එනම් පාලනය අතට ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් මැතිවරණ හරහා ජනතාවගේ සහාය ලබාගත් මතකය මිනිසුන්ගේ මනසෙහි තවමත් පවතී. බොහෝ දේශපාලන නායකයෝ, විශේෂයෙන් වමේ නායකයින්, ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ලෙස ඔවුහු දකින පක්ෂයක් වන AfD තහනම් කිරීම ඉතිහාසයේ පාඩම් මත පදනම්වන තීරණාත්මක තීන්දුවක් බව විශ්වාස කරති.

AfD තහනම් කිරීමට උත්සාහ කිරීම ඍණාත්මක ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට සමහරු තර්ක කරති. Afd හි ප්‍රධාන ධාරාවේ විරුද්ධවාදීන් ජර්මානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තේරීම් යටපත් කිරීමට උත්සාහ කරන බව පෙන්වීමට මේ හරහා හැකියාව ඇතිවන බවත් එය Afd හට වාසියක් ඇතිවනු ඇති බව ඔවුහු තවදුරටත් කියති. එනම් ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලින් පරාජය කළ නොහැකි පක්ෂයක් තහනම් කිරීමේ උත්සාහයක් ලෙස එය සැලකිය හැකිය.

AfD පක්ෂය තහනම් කිරීම පිලිබඳ පෙර කියන ලද සාකච්ඡාව තම වාසියට යොදා ගන්නා බව පෙනී යයි. AfD හි නායකයෙකු වන ඇලිස් වීඩෙල්, තහනමක් සඳහා වන ඉල්ලීම් “සම්පූර්ණයෙන්ම විකාරසහගත” දෙයක් ලෙස හැඳින්වූ අතර, එවැනි ඉල්ලීම් කරන අයට ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකල්පයක් ඇති බවට චෝදනා කළාය. එහිදී ඇය තවදුරටත් ප්‍රකාශ කලේ “තහනම් කිරීම සඳහා නැවත නැවතත් කරන ලද ඉල්ලීම් තුළින් පෙන්නුම් කරන්නේ අනෙකුත් පාර්ශවයන්ට අපගේ දේශපාලන යෝජනාවලට එරෙහිව ඇති තර්කානුකූල තර්ක අවසන් වීම බවයි”.

ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයේදී සහ සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණ තුනේදී AfD හොඳින් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට, ජාතික ඡන්ද විමසීම්වලදී පක්ෂය සියයට 23ක සහයෝගයක් ලබාගනිමින් දෙවන ස්ථානයේ සිටින අතර, පැරණි නැගෙනහිර ජර්මනියේ ප්‍රාන්තවල (බර්ලින් හැර) AfD ඡන්ද විමසීම් වලින් ඉදිරියෙන් සිටී. මෙය විවාදය වඩාත් තීව්‍ර කරයි.

පක්ෂයේ සාමාජිකයින් දක්ෂිණාංශික අන්තවාදීන්ගේ රහසිගත රැස්වීමකට සහභාගී වූ බව හෙළිවීමෙන් පසු AfD තහනම් කිරීමේ ඉල්ලීම මේ සතියේ තීව්‍ර විය. මෙම රැස්වීමේදී, සංක්‍රමණිකයන් සහ “නොගැලපෙන පුරවැසියන්” ලෙස සැලකෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් පිටුවහල් කිරීමේ “ප්‍රධාන සැලැස්මක්” ගැන සාකච්ඡා වී ඇත. මෙම හෙළිදරව්ව රට පුරා සැලකිය යුතු ප්‍රතිචාරයක් ඇති කළ අතර බොහෝ අය නාසීන් විසින් කරන ලද සමාන සැලසුම් සමඟ සැසඳීම් කළහ. රැස්වීමට පැමිණ සිටි එක් පුද්ගලයෙක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රෝලන්ඩ් හාට්විග් වන අතර ඔහු දැන් AfD හි සම-නායිකාව වන ඇලිස් වීඩෙල්ගේ සමීප පුද්ගලික සහායකයෙකි.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් යෝජනා කළේ එය ජර්මානු අධිකරණයට අදාළ කාරණයක් බවයි. ඔහු පවසන්නේ “ඉතිහාසයෙන් ඉගෙනීම ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්; එයට සැබෑ ක්‍රියාමාර්ගයක් තිබිය යුතු බවත් ය. එමෙන්ම “ප්‍රජාතන්ත්‍රවාදීන් එක්සත් වී එකට නැගී සිටීම සිදුවිය යුතු බවයි”.

AfD හි වඩාත්ම රැඩිකල් නායකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් නැගෙනහිර ජර්මනියේ ක්‍රියාකාරී වන අතර එය පක්ෂයට වැඩිම සහයෝගයක් ලැබෙන කලාපය ද වේ. ලබන වසරේ ප්‍රාන්ත මැතිවරනයට AfD සහභාගී වන ප්‍රාන්ත තුනෙන් දෙකක – Thuringia සහ Saxony – පක්ෂයේ ප්‍රාදේශීය ශාඛා රාජ්‍ය මට්ටමේ බුද්ධි බලධාරීන් විසින් “සුරක්ෂිත අන්තවාදී” ලෙස වර්ග කර ඇත. මෙම ලේබලය තහනමක් සලකා බැලීම සඳහා නීතිමය සාධාරණීකරණයන් ශක්තිමත් කරයි.

කෙසේ වෙතත්, තහනමක් පැනවීම සඳහා නීතිමය සීමාව ඉතා ඉහළ ය. ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඉතිහාසයේ පක්ෂ තහනම් කර ඇත්තේ දෙවරක් පමණි: ඒ නාසි පක්ෂයේ උරුමක්කාරයෙකු වන සමාජවාදී රෛෂ් පක්ෂය 1952 දී සහ ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂය 1956 දී ය.

වඩාත් මෑතක දී, 2017 දී, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NPD) නම් නව-නාසි පක්ෂයක් තහනම් කිරීම සඳහා වූ මතවාදී නිර්ණායක සපුරාලන අතරම, ප්‍රමාණවත් මහජන සහයෝගයක් නොමැති බැවින්, ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදයට සැලකිය යුතු තර්ජනයක් නොවීම නිසා, තහනම් කළ නොහැකි තරම් ආන්තික බවක් ඇති බව අධිකරණය තීන්දු කළේය.

ඡන්ද විමසීම්වලදී AfD හි සැලකිය යුතු සහයෝගය සැලකිල්ලට ගනිමින්, පක්ෂය තහනම් කිරීමට උත්සාහ කිරීම අද්විතීය අභියෝගයක් ඉදිරිපත් කරයි: එහි බොහෝ ආධාරකරුවන්ගෙන් ඇති වන ප්‍රතික්‍රියාව සමඟ කටයුතු කරන්නේ කෙසේද? මෙය ජර්මනියේ පශ්චාත් යුධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රධාන පරීක්ෂණයක් ඉදිරිපත් කරයි, දේශපාලඥයින් සහ මහජනතාව යන දෙඅංශයෙන්ම බෙදී ගිය ප්‍රතිචාරයකට තුඩු දෙයි. මධ්‍ය-දක්ෂිණාංශික ගතානුගතිකයින්, දැනට ජාතික ඡන්ද විමසීම්වල ඉදිරියෙන් සිටින අතර, සාමාන්‍යයෙන් AfD තහනම් කිරීමට උත්සාහ කිරීම ගැන ඔවුන්ට අවාසි සහගත අදහසක් ඇත. උභතෝකෝටික ප්‍රශ්නය පවතින්නේ එහි සැලකිය යුතු ඡන්ද පදනමක් අන්සතු නොකර පක්ෂයේ මතවාදයන් පිළිබඳ උත්සුකයන් ආමන්ත්‍රණය කරන සමබර හා ඵලදායී ප්‍රවේශයක් සොයා ගැනීම තුළය.

 

නව ෆැසිස්ට්වාදයේ නැගීම

මෙහිදී මාක්ස්වාදියෙක් ලෙස මා මේ ප්‍රශ්නය දකින්නේ පවතින නවලිබරල්වාදයේ පද්ධතිමය අර්බුදයේ දිගුවක් ලෙසයි.  මක්නිසාද යත් ෆැසිස්ට්වාදය හා නවලිබරල්වාදය අතර ගැඹුරු සම්බන්දතාවයක් පවතින හෙයිනි.

අප දන්නා පරිදි, 1930 ගණන්වල ඇති වූ මහා ආර්ථික පරිහානිය තුළ ප්‍රභල ආර්ථිකයන්ව පැවති බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඔස්ට්‍රේලියාව වැනි රටවල් බරපතල මානව ඛේදවාචකයන්ට මුහුණ පෑවේය. එක්සත් ජනපදයේ දළ දේශිය නිෂ්පාදනය 40%ක් දක්වා පහත වැටිණි. විරැකියාව 25%කින් වැඩි විය. දේශපාලන මතවාදයක් හැටියට සම්භාව්‍ය ෆැසිස්ට්වාදය මතුවෙන්නේ එම ලෝක සංදර්භය තුලයි.

ෆැසිස්ට්වාදය ජනප්‍රියවීමට හේතුවුනේ, රැකියා විරහිතව ජීවත්වීමට සිදුවීම නිසා, බොහෝ දෙනෙකුට ඇතිවූ කළකිරීම හා කෝපයයි. හිට්ලර් බලයට පත්වන්නේ මේ කලකිරීම හා කෝපය ප්‍රයෝජනයට ගෙනය. 1920 ගණන්වල මැදභාගයේ දී ඉතාලියේ මුසෝලිනීගේ ජාතික ෆැසිස්ට් පක්ෂය බලයට පත්වෙන්නේ ද මීට සමාන සන්දර්භයක් තුළය.

මෙවැනි අර්බුදකාරි අවස්ථාවල දී ධනවාදයට ආවේනික දෝශ ආමන්ත්‍රණය කරනවා වෙනුවට, දක්ෂිණාංශක ෆැසිස්ට්වාදී ව්‍යාපාර කරන්නේ, සාමාන්‍ය මිනිස්සුන්ගේ කළකිරීම් වලට මුවාවී සංක්‍රමණිකයින්ට හා සුළුජන කොටස්වලට දොස් පැවරීමයි.

සමාජ ආර්ථික ක්‍රමයක් වන නව ලිබරල්වාදය අද වනවිට පෙර සඳහන් කළ ආකාරයේ අභියෝගයකට මුහුණදී ඇත. එයට හේතුව වන්නේ, ඔවුන් ජනතාවගේ පරිභොජනය සීමා කිරීමකට හා මූල්‍ය ප්‍රාග්ධනයට ප්‍රමුඛත්වය ලබාදීමට ක්‍රියා කිරීමයි.

අනික් අතට උද්ධමනය පාලනය කරන අතරම ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත්කර ගැනීමේ ඉලක්කය ඇතිව කටයුතු කිරීමේ දී, ජනතාවගේ ආදායම අඩු කිරීම සහ රජයේ වියදම් කප්පාදු කිරීම මෙයට අයත්වේ.

නව ලිබරල්වාදය යනු රජයේ මැදිහත්වීම සීමා කිරීම හා නිදහස් වෙළඳපොල ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරණ ආර්ථික ප්‍රවේශයකි. ඩොට් කොම් බුබුල මෙන්ම, 2008 ආර්ථික අර්බුදය වැනි ආර්ථික බුබුලු නිසා අද මේ අභියෝගවලට ඔවුන් මුහුණදී තිබේ. මේ බුබුළු පුපුරාගිය විට ඒ තුළින් විශාල ආර්ථික ගැටළු මතුවේ.

මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට ආණ්ඩුව ජනතාවගේ ආදායම අඩුකරන්නට තීරණය කරන්නට පුළුවන. මෙයින් අදහස් කරන්නේ, මිනිසුන් උපයන මුදලේ වටිනාකම අඩුවෙන බවය. මෙහි ඉලක්කය වන්නේ, මුදල්වල වටිනාකම පවත්වාගෙන යෑම සහ ගෝලීය ආර්ථිකය තුළ එක්සත් ජනපද ඩොලරයේ ශක්තිමත්කම සහ එහි වැදගත්කම සහතික කිරීම හැර වෙන දෙයක් නොවේ.

 

AFD පක්ෂය නැගී ඒමට හේතුව කුමක්ද?

2022 දී, ජාතික මැතිවරණවලදී දුර්වල ලෙස ක්‍රියා කිරීමෙන් පසු, බොහෝ දෙනා විශ්වාස කළේ AfD හි බලපෑම අඩුවෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා ඇති වූ අවිනිශ්චිතතාවයේ සහ AfD ජීවන වියදම් අර්බුදයකදී සාමාන්‍ය මිනිසුන්ගේ ආරක්ෂකයෙකු ලෙස ස්ථානගත වීම නිසා ඇති වූ අවිනිශ්චිතතාවයේ එකතුවක් පක්ෂය පුනර්ජීවනය කර ඇත. ඊට සමගාමීව, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ නායකත්වයෙන් යුත් පාලක සභාගය බොහෝ අභියෝගවලට මුහුණ දී ඇති අතර, වසංගත හදිසි පියවර සඳහා ගන්නා ලද අරමුදල් නැවත වෙන් කිරීම මගින් දේශගුණ වියදම් ඉලක්ක සපුරාලීමේ සැලැස්ම ව්‍යවස්ථාපිත අධිකරණය ප්‍රතික්ෂේප කිරීම සැලකිය යුතු පසුබෑමකි. මෙම තීරණය යුරෝ බිලියන 60ක අරමුදල් පරතරයක් නිර්මානය කල අතර, සභාගය තුල කැලඹීමක් ද ඇති විය. මේ අතර ඩීසල් සහනාධාර අඩු කිරීමට සහ ගොවි වාහන සඳහා බදු සහන ලබාදීම අඩු කිරීමට එරෙහිව ජර්මානු ගොවීහු ද මේ වනවිටත් වැඩ වර්ජන මෙහෙයවති.

බර්ලිනයේ, ගොවීන්ගේ රැලි සහ දුම්රිය කම්කරුවන්ගේ වැඩ වර්ජන ද ඇතුලුව අඛණ්ඩ විරෝධතා සහ රැලි පවතී, එහි කැපී පෙනෙන අංගයක් වන්නේ අන්ත දක්ෂිනාංශයට එරෙහි පෙලපාලි ය. වැදගත් වන්නේ, මෙහිදී සංක්‍රමණ විවාදය ප්‍රමුඛව පැවතීමයි. අභ්‍යන්තර අභියෝගවලට මුහුණ දෙන ආන්ඩුව, සංක්‍රමණ සම්බන්ධයෙන් වඩාත් ගතානුගතික ආස්ථානයක් අනුගමනය කරන බව පෙනී යයි. මෙම මාරුව මහජනයා අතර දීර්ඝ කාලීන නොසතුට ප්‍රයෝජනයට ගන්නා AfDපක්ෂය ඊට අනුගතව ක්‍රියා කරන බව පෙනී යයි.

 

මිගාර රත්නායක

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *