මෙය “රැඩිකල් දේශපාලනය සහ බහුජන ව්‍යාපාර ගොඩනැඟීම” යනුවෙන් ස්පාඤ්ඤයේ ‘පොදෙමෝස්’ සංවිධානයේ නායක පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් සිදුකරන ලද කථාවකි.
මෙය ස්පාඤ්ඤයේ නවතම දේශපාලන පක්ෂය එහි වඩාත් ජනප්‍රියත දේශපාලන පක්ෂයයි. එහි මුල් 2011 දී ඇතිවූ ‘ඉන්ඩිග්නඩෝස් ව්‍යාපාරය’(15M ව්‍යාපාරය ලෙස හැඳින්වූයේත් මෙයයි.) දක්වා දිවයන අතර, පොදෙමෝස් බිහිවූයේ සිවිල් බුද්ධිමතුන් කිහිපදෙනෙක් විසින් ජනවාරි මාසයේදී ඉදිරිපත්කළ පෙත්සමක් සමඟ ඇතිවූ ක්‍රියාවලියක් තුළිනි. එම වසරේම මැයි මාසයේදී, එනම් එම සංවිධානය බිහිවීමෙන් ස්වල්ප කාලයකට පසු, යුරෝපියානු පාර්ලිමේන්තුව සඳහා වූ මැතිවරණයේදී මෙම වාමාංශික පක්ෂය සියයට අටක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා ලදී. එය දැන් සාමාජිකත්වය අතින් මෙන්ම ඡන්ද ප්‍රමාණය අතින්ද ස්පාඤ්ඤයේ දෙවැනි ස්ථානයේ පවතින පක්ෂයයි. එහි බලපෑම කෙතරම්ද යත් ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පතට පවා “නව පක්ෂය ස්පාඤ්ඤයේ මෙතෙක් ස්ථාපිතව තිබූ ද්විපක්ෂ ක්‍රමය සොලොවා දමන මාවතක ගමන් කරමින් තිබේ.” යනුවෙන් ප්‍රකාශ කිරීමට සිදුව තිබේ.
2016 වසර මුලදී ස්පාඤ්ඤයේ වයියදොලිද් හිදී පැවති රැස්වීමකදී පොදෙමෝස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් වම දිනවිය හැකි ආකාරය පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී. පහතින් දැක්වෙන්නේ ඒ කතාවේ සාරාංශයකි. මෙය ජැකොබින්(Jacobin) වෙබ් අඩවිය සඳහා රචනා කරන ලද්දේ එනරිකේ දියාස්-අල්වරේස් විසිනි.
***
මම හොඳින්ම දන්නා කරුණක් තියෙනවා. ඒ තමයි අපි පහුගිය අවුරුදු පන්සීයක කාලය තේරුම්ගන්න උත්සාහ කරනවානම්, ඒකට අත්‍යාවශ්‍ය යතුර තමයි ‘පන්ති’ යනුවෙන් හැඳින්වෙන විශේෂ සමාජ වර්ගීකරණයේ බිහිවීම. මම ඔබට ලස්සන කතාවක් කියන්නම්. අපි ‘පුඑර්ටා දෙල් සොල්’ වලදි 15M ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළ කාලේ විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යන අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් මා සමඟ අපූරු කතාවක් කිව්වා. මුලින්ම කියන්න ඕනේ ඔවුන් සියළු දෙනාම මගේ අධ්‍යන අංශය වන දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ඉතාමත් දේශපාලනික ශිෂ්‍ය පිරිසක්. ඔවුන් මාක්ස් කියවලා තියෙනවා. ලෙනින් කියවලා තියෙනවා. නමුත් ඔවුන්ගේ ජීවිතේ පළමුවැනි වතාවට තමයි ඔවුන් ඒ සාමාන්‍ය මිනිස්සු සමඟ මෙවැනි කතාවකට සම්බන්ද වෙන්නේ.
ඔවුන් සිටියේ සියළු බලාපොරොත්තු බිඳවැටුණ විදියට. “එයාලට මොන මඟුලක්වත් තේරෙන්නේ නෑ! අපි එයාලට කියලා දුන්නා එයාල දන්නේ නැතිවුණත් එයාලත් කම්කරුවෝ කියලා.” ඒ ඔවුන්ගේ වචන. එහෙම කිව්වම මිනිස්සු එයාල දිහා බලලා තිබුණේ වෙන ග්‍රහලෝකෙකින් ආව උන් ටිකක් දිහා බලන විදියට. අන්තිමට ඒ ශිෂ්‍යයෝ මානසිකව කඩාවැටිලා, “එයාලට මොනවත් තේරෙන්නේ නෑ” කියමින් තමයි නැවත ගෙවල්වලට ගියේ.
මම ඔවුන්ට මෙහෙම පිළිතුරු දුන්නා. “ඔයාලට තේරෙන්නේ නැද්ද ප්‍රශ්නේ එයාලගේ නෙමෙයි, ඔයාලගේ කියලා?” දේශපාලනයෙදි ‘නිවැරදිවීම’ ට වඩා ‘සාර්ථකවීම’ කියනදේ බරපතලයි. උදාහරණයකට ඔයාලා කාටහරි තියෙන්න පුළුවන් හොඳම දේශපාලන විශ්ලේෂණයක්. දහසයවැනි සියවසේ සිට ඇතිවුණ සියළු දේශපාලන වර්ධනයන්ගේ පදනම් සහ සමාජ ප්‍රගමනය පිළිබඳව ඓතිහාසික භෞතිකවාදය ඇතුළත් පරිපූර්ණ විශ්ලේෂණයක්. ඒක අතේ තියාගෙන ඔයාල මොකද්ද ඊළඟට කරන්න ඕනේ? “තමුසෙලා කම්කරුවෝ, ඒත් තමුසෙලා අඩුම තරමේ ඒක දන්නෙවත් නෑ” කියල මිනිස්සුන්ට කෑ ගහන එකද?
ඔබේ සතුරා ඔබ දිහා බලාගෙන හිනාවෙයි. ඔබට එතනට දෑකැත්ත සහ මිටිය පපුවේ ගහල තියෙන ටීෂර්ට් එකක් ඇඳගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබට ලොකුම ලොකු කොඩියක් උස්සගෙන එතනට යන්නත් පුළුවන්. ගිහින් ආපහු ඒ කොඩිය කරේ තියාගෙනම ගෙදර යන්නත් පුළුවන්. ඒත් හතුරා කරන්නේ ඔබට හිනාවෙන එක විතරයි. හේතුව තමයි ජනතාව, කම්කරුවන් ඔබට වඩා තමන්ගෙ සතුරාව පිළිගැනීම. ඔවුන් සතුරාව විශ්වාස කරනවා. සතුරා කතා කරනකොට ඒ කියන ඒවා ඔවුන්ට තේරෙනවා. නමුත් ඔබව ඒ විදියට ඔවුන්ට තේරෙන්නේ නැහැ. නමුත් නිවැරදි කෙනා ඔබ වෙන්න පුළුවන්. ඕන්නම් ඔබට පස්සේ කාලෙක ඔබේ ළමයින්ට කියන්න පුළුවන් ඔබ මැරුණාම ඔබේ සොහොන් කොතේ මෙහෙම කොටන්න කියලා.
‘ඔහු සෑම විටකම නිවැරදි වූයේය. නමුත් කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැත!’
ඉතිහාසයේ සාර්ථකත්වයට පත්වුණු සමාජය වෙනස්කළ ව්‍යාපාර දිහා බැලුවොත්, ඔබට දැකගන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි ඔවුන් තමන්ගේ විශ්ලේෂණය සහ බහුතරයක් ජනතාවගේ හැඟීම්, එකිනෙක යා කරන නිශ්චිත ක්‍රමවේදයක් ගොඩනඟාගෙන තිබීම. ඒක පුදුම තරම් අමාරු වැඩක්. ඒක ප්‍රතිවිරෝධතා දහස් ගණනක් සාර්ථකව අතික්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක්.
ඔබ සිතන්නේ දවස් දෙකක් හෝ තුනක් තිස්සේ සිදුකරන වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැන මට මතවාදී ප්‍රශ්නයක් තියෙනවා කියලද? කිසිසේත්ම නෑ. නමුත් තියෙන ගැටළුව තමයි, වැඩවර්ජනයක් සංවිධානය කිරීම කියන කාරණාව සැලකුවහොත් ඔබට හෝ මට ඒක කරන්න කොයිතරම් ඕනෙ වුනත් ඒ කාරණාව එතනදි අදාළ වෙන්නෙම නැහැ. අන්න එතනදි ඔබත් මමත් වැදගත් වෙන්නේ නෑ, වෘත්තීය සමිතියේ ශක්තිමත්බව අනුව තමයි ඒක තීරණය වෙන්නේ.
මේ ලෝකය සියළුම මනුෂ්‍යන්ට පාරාදීසයක් වියයුතු බවට ඔබත් මමත් ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්. අපිට ඒ වගේ ඕනෑම දෙයක් ප්‍රාර්ථනා කරන්නත්, ඒක ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්නත් පුළුවන්. නමුත් දේශපාලනය කියන්නේ ශක්තිමත්භාවය, හයිය අනුව තීරණය වන දෙයක්. අපේ ප්‍රාර්ථනා හෝ රැස්වීම්වලදී අපි කියන කතාවලට එතනදි ලොකු ඉඩක් නැහැ. අපේ රටේ සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවිය හැකි මට්ටමේ වෘත්තීය සමිති දෙකක් පමණයි තියෙන්නේ. ඒ CCOO සහ UGT. අපි ඒකට කැමතිද? නැහැ. නමුත් ඒක තමයි යතාර්ථය. ඒ වගේම සමස්ත මහා වැඩවර්ජනයක් සිදුකිරීම අතිශයින්ම අමාරු කාරණයක්.
මම මැඩ්රිඩ් නඟරයේ බස් ඩිපෝව ඉදිරිපිට උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියා. නමුත් යන්තම් එළිය වැටීගෙන එද්දිම එතන සිටිය ජනතාව එකිනෙකා යන්න පටන් ගත්තා. ඔබ දන්නවද ඔවුන් කොහෙද කඩිමුඩියේ ගියේ කියලා? රස්සාවට! ඔවුන් හොරිකඩයන් නෙමෙයි. නමුත් රස්සාවට ගියේ නැත්නම් ඔවුන් රස්සාවලින් දොට්ට දානවා. මොකද ඔවුන්ව ආරක්ෂා කරන්න ඔවුන්ට වෘත්තීය සමිති නැහැ. වරාය සේවකයන්ට, පතල් සේවකයන්ට තමන්ව ආරක්ෂා කළහැකි මට්ටමේ ශක්තිමත් වෘත්තීය සමිති තිබෙනවා. නමුත් පීසා කඩවල, කුඩා සාප්පුවල වැඩ කරන දරුවන්ට, ඇඳුම් කඩවල සේවය කරන ගෑණුළමයින්ට, තමන්ව ආරක්ෂා කරගන්න එවැනි ක්‍රමවේදයක් නැහැ.
වැඩවර්ජනයට පස්සේ දවසෙම ඔවුන්ව ආයතන විසින් හිරකරනවා. අන්න ඒ වෙලාවට ඔබ එතනට යන්නෙ නැහැ, මම එතනට යන්නෙ නැහැ, ඒ වගේම කිසිම වෘත්තීය සමිතියක් නැහැ එතනට යන්න. ගිහින් තමනුත් ඔවුන් සමඟම ඔවුන්ගේ හාම්පුතුන් ඉදිරිපිට එකට වාඩිවෙන බවටත්, වාඩිවෙලා “තමන්ට වැඩවර්ජනය කරන්න තියෙන අයිතියට අනුව කටයුතු කළා කියලා මේ පුද්ගලයව රස්සාවෙන් අස් කරන්න ලෑස්ති වෙන්න එපා, එහෙම කරනවනන් ඔයාලා ඒකට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න!” කියලා කියන්න කිසිම වෘත්තීය සමිතියක් ඔවුන්ට නැහැ. අපි කොච්චර ආස උනත් ඒක තමයි යතාර්ථය.
දේශපාලනය කියන්නේ දේශපාලනය විදියට ඔබයි මමයි හිතන්න ආස දේ නෙමෙයි. දේශපාලනය කියන්නේ මේ දැන් අපි ඉදිරිපිට තිබෙන, අපි දකින දේශපාලනය. ඒ වගේම ඒක හරිම නරක එකක්. භයානක එකක්. අන්න ඒ නිසයි අපි අපිට අවංක වෙලා, ජනප්‍රිය එක්සත්භාවයක් පිළිබඳ කතාකළ යුත්තේ. ඔබට සමහර වෙලාවට ඔබේ භාෂාවට කැමති නැති මිනිස්සුන්ට කතා කරන්න වෙනවා. ඒ වගේම ඔබ පැහැදිලි කරන සංකල්ප ගෝචර වෙන්නේ නැති මිනිස්සුත් එක්ක කතා කරන්න වෙනවා. ඒකෙන් මොකද්ද අපි තේරුම් ගත යුත්තේ? ඒකෙ තේරුම තමයි අවුරුදු ගාණක් තිස්සේ අපිව පරාජයට ලක්කරලා තියෙනවා කියන එක. සෑම වතාවකම පැරදුනායින් පස්සේ කියන්න සිද්ධවෙන්නේ ඒක තමයි, ‘ජනතාවගේ මනෝභාවය වෙනස්’ කියන එක. නමුත් ඒක අමුතු ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක විප්ලවවාදීන් එදා ඉඳන් දැනන් හිටිය ඇත්තක්. “සාර්ථකත්වයේ යතුර” තියෙන්නේ අන්න ඒ ‘මනෝභාවය’ අපි අපේක්ෂා කරන වෙනසේ දිශාවට හරවාගැනීම මත.
සීසර් රෙන්ඩුවෙලේස් කියන්නේ බුද්ධිමත් කෙනෙක් කියලා ධනවාදයට විරුද්ධවෙන බොහෝ දෙනෙක් කියනවා. නමුත් ඔවුන් ඒක හරියටම දන්නේ නැහැ. ස්ත්‍රීවාදය ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී ඉන්න බොහෝ දෙනා ජුඩිත් බට්ලර් හෝ සිමොන් දි බෝවා ගේ කෘති කියවලා නැහැ. ඔබ කොතැනක හෝ පියෙක් කුස්සියේ භාජන හෝදනවා දකිද්දි හෝ තමන්ගේ දියණියත් සමඟ සෙල්ලම් කරනවා දකිද්දි, නැත්නම් සීයා කෙනෙක් තමන්ගේ මුණුපුරාට තමන්ගේ සෙල්ලම් බඩු අනිත් දරුවන් සමඟ බෙදාගන්න උගන්වනවා දකිද්දි මතක තියාගන්න, විරෝධතාවයකට රතු කොඩිවලින් ගේනවට වඩා සමාජ පරිවර්තනයකට අදාළ ලොකු දැනුමක් ඒ අවස්ථාවල හුවමාරු වෙනවා. අන්න ඒ පොඩි දේවල් ‘එකමුතුව ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග’ විදියට හඳුනාගන්න නොහැකි වුණොත්, ඔවුන් තවදුරටත් අපි හිනාවෙමින්ම ඉඳීවි.
අන්න ඒක තමයි සතුරාට අපිව අවශ්‍ය ආකාරය. ඔවුන් හරිම කැමතියි, අපි කුඩා කණ්ඩායම් විදියටම, කාටවත් තේරෙන්නේ නැති භාෂාවක් කතා කරමින්, සුළුතර කොටසක් වෙලා, සාම්ප්‍රදායික සංකේත අස්සට වෙලා හැංගිලා ඉන්නවනම්. අපි එහෙම ඉන්නවා දැකීමෙන් අපේ සතුරා ප්‍රීතියෙන් පිනා යාවි. මොකද ඔවුන් දන්නවා අපි ඒ ආකාරයට ඉන්නකන් අපෙන් ඔවුන්ට කිසිම අනතුරක් නැහැ කියලා.
අපිට ඉතාමත් රැඩිකල් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් වෘත්තීය සමිති කඩාබිඳගෙන යන සමස්ත මහා වැඩවර්ජන ගැන, ආයුධ සන්නද්ධ වුණු මහජනතාවක් ගැන, ඓතිහාසික සංකේත ගැන. අපිට පුළුවන් ඉතිහාසයේ හිටිය ශ්‍රේෂ්ඨතම විප්ලවවාදීන්ගේ ඡායාරූප අපේ විරෝධතා උද්ඝෝෂණ වලට අරගෙන යන්න. නමුත් සතුරා ඒවා දැකලා ප්‍රීතියෙන් පිනා යාවි. ඔවුන් අපිට හිනාවේවි. නමුත් ඔබ ක්‍රමානුකූලව සියගණනක්, දහස්ගණනක් මිනිස්සු එකතු කරගන්න පටන් ගත්තොත්, ක්‍රමානුකූලව ඔබේ හතුරාට ඡන්දය ලබාදුන් අය ඇතුළු බහුතරය වෙනස් කරන්න පටන් ගත්තොත් – එතකොට ඔවුන් බයවෙන්න පටන් ගන්නවා. අන්න ඒකට තමයි “දේශපාලනය” කියලා කියන්නේ. ඒක තමයි අපි ඉගෙන ගත යුත්තේ.
1905 කාලයේදී සෝවියට් සභා ගැන කතා කරමින් හිටිය කෙනෙක් හිටියා. තට්ට හිසක් තිබුණ මේ මනුස්සයා අති දක්ෂයෙක්. ඒ අවස්ථාවේ තිබුණු සංයුක්ත තත්වය ලස්සනට, සංයුක්තව විශ්ලේෂණය කරගන්න මේ මනුස්සයට හැකිවුණා. ඔහොම ගිහින් 1917 යුද්ධ කාලයේදී රුසියාව පාලනය කළ රෙජීමය කඩාවැටෙමින් තිබුණ වෙලාවේ ඔහු රුසියානුවන්ට හරි සරල දේවල් කීපයක් කිව්වා. සියළුම සොල්දාදුවන්ට, ගොවියන්ට හා කම්කරුවන්ට ඔහු කිව්වා “පාන් සහ සාමය!” කියලා.
ඔහු එසේ ‘පාන් සහ සාමය’ යනුවෙන් කියන අවස්ථාවේ ඒවා තමයි හැමෝටම ඕනෑ වෙලා තිබුණේ. යුද්ධය අවසන් කිරීම සහ බඩ පිරෙන්න කෑම. ගොඩක් රුසියානුවන් තමන් වමේද දකුණෙද කියලවත් අදහසක් තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔවුන් සියළු දෙනාම දැනගෙන හිටියා තමන්ට බඩගිනියි කියලා. ඔවුන් කිව්වා “මේ තට්ට මනුස්සයා කියන්නේ ඇත්ත!” කියලා. ඒ වගේම ඒ ‘තට්ට මනුස්සයා’ හොඳටම ඒ දේ කළා. ඔහු රුසියානුවන්ට ‘දයලෙක්තික භෞතිකවාදය’ ගැන කතා කරන්න ගියේ නැහැ. ඔහු ඔවුන් එක්ක කතා කළේ ‘පාන් සහ සාමය’ ගැන. අන්න ඒක විසිවෙනි සියවසේ අපට ඉගැන්වූ ප්‍රධානතම පාඩමක් වුණේ එහෙමයි.
ඉතිහාසය පුනරුච්ඡාරණය කරමින්, සංකේත පුනරුච්ඡාරණය කරමින් සමාජයක් වෙනස් කරන්න හිතනව නම් ඒක අමු විහිළුවක්. අනෙක් රටවල් වල අත්දැකීම් හෝ අතීත ඓතිහාසික සිදුවීම් නැවත නැවත ඒ විදියට සිද්ධවෙන්නේ නැහැ. ඒ සඳහා අපි ඉදිරිපිට තියෙන යතුර තමයි, ඉතිහාසයෙන් ඉගෙන ගනිමින් තත්වය විශ්ලේෂණය කරගැනීම. ඒක සෑම මොහොතකම යළි යළිත් වටහාගන්න පුළුවන් ක්‍රමය තමයි, ‘පාන් සහ සාමය’ යන වචන කිහිපය ඒ මොහොතේ රුසියානු ජනතාව හිතමින් සහ හඟිමින් සිටිය දේට සම්බන්ද නොවී, නිකන්ම නිකන් පුනරුච්ඡාරණයක් වුණානම්, අපි හැමෝම දන්නා ඒ ජයග්‍රහණය කොයි තරම් ඛේදවාචකයක් වෙන්න තිබුණද කියල හිතලා බැලුවනම්!
පරිවර්තක – නජිත් ඉන්දික
Comments (0)