රුසියානු – යුක්‍රේන අර්බුදය : යුරේසියානු ව්‍යාපෘතිය හා අධිරාජ්‍යවාදී ‘ත්‍රිත්වයේ’ ප්‍රතිපත්තිය අතර ගැටුමේ ප්‍රකාශනයක් ලෙස

පහත සටහන රුසියාව හා යුක්‍රේනය අතර 2014 වර්ෂයේ ක්‍රිමියාව අරභයා ගැටුම් ඇති වූ අවස්ථාවේ සමීර් අමීන් විසින් ලියන ලද්දක සිංහල අනුවාදයයි. වසර කීපයකට පෙර අප අතරින් සමුගත් සමීර් අමීන් යනු ඊජිප්තු ජාතික මාක්ස්වාදියෙකි. කීර්තිමත් විශ්ලේෂකයෙකි. මාක්ස්වාදය සම්බන්ධ ගෝලීය දකුණේ ආඛ්‍යානයක් වර්ධනය කිරීම සම්බන්ධව ඔහු අති මහත් සම්ප්‍රදානයක් සිදු කොට තිබේ. යුක්‍රේන රුසියානු ගැටුමේ භූ දේශපාලන පසුබිම හා රුසියාවේ දේශපාලන සැකැස්ම පිලිබඳ ඔහු මෙහිදී පල කරන අදහස්, මෙම ගැටුම තීව්‍ර වී තිබෙන වර්තමානය කියවා ගැනීම සඳහා වැදගත් වනු ඇත.

 

***

 

1. වත්මන් ලෝක දේශපාලන වේදිකාව සමන්විත වන්නේ අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රයේ පවතින රටවල් (එක්සත් ජනපදය, බටහිර හා මධ්‍යම යුරෝපය සහ ජපානය ; අධිරාජ්‍යවාදී ‘ත්‍රිත්වය’ නමින් මේ රටවල් මම හඳුන්වමි) ලෝකය මත තම තනි ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා පහත දැක්වෙන ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙනි:

 

A) ත්‍රිත්වයට අයත් රටවල පාරජාතික මූල්‍ය ප්‍රාග්ධනයට තමාගේ නිරවශේෂ අරමුණුවලට වාසිදායක ලෙස තීරණ ගත හැකි ලෙසට, ඊනියා නව ලිබරල් ගෝලීයකරණය ප්‍රතිපත්තිය පවත්වා ගෙන යාම.

 

B) එක්සත් ජනපදය සහ එහි සහචරයන් (නේටෝව හා ජපානය) විසින් ලෝකය මත පවත්වාගෙන යන මිලිටරි ආධිපත්‍යය. ත්‍රිත්වයට අයත් නැති කවර රටක් වුවත්, එම ආධිපත්‍යයෙන් නිදහස් වීමට දරන සියලු උත්සාහයන් විනාශ කොට දැමීම මෙම මිලිටරි ප්‍රතිපත්තියේ අරමුණයි.

 

මේ අනුව ගත්කල ත්‍රිත්වයට අයත් නැති කවර රටක් වුව, එක්කෝ සතුරන්ය, නැතිනම් සතුරන් වීමේ විභවය සහිත රටවල්ය. මේ ගණයට අයත් නොවන එකම රටවල් විශේෂය වන්නේ සෞදි අරාබිය හා කටාර් රාජ්‍යය බඳු ත්‍රිත්වයේ ආර්ථික හා දේශපාලන උපායාමාර්ගයට කොන්දේසි විරහිත ලෙස යටත් වන්නා වූ රටවල් පමණකි. බටහිර මාධ්‍ය ‘ජාත්‍යන්තර ප්‍රජාව’ ගැන කථා කරන විට, ඉන් අදහස් වන්නේ G 7 රටවල් හා සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යයයි. අන් කවර රටක් වුව, මේ මොහොතේ ඒ රටවල තිබෙන ආණ්ඩුව ත්‍රිත්වයේ ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියා කලා වුවත්, විභවාත්මක සතුරෙකි. මන්ද මේ රටවල ජනයා එම යටත් වීම ප්‍රතික්ෂේප කිරීමේ ඉඩක් පවතින නිසාය.

 

මේ අරුතින් ගත්කල රුසියාව යනු ‘සතුරෙකි’.

 

2. සෝවියට් සංගමය සමාජවාදීද, නැද්ද යන්න ගැන අපට තිබෙන තක්සේරුව කවරක් වුවත්, ත්‍රිත්වය සෝවියට් සංගමයට එරෙහිව සටන් කලේ, අධිපති ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව ස්වාධීනව සංවර්ධනය වීමට එරට උත්සාහ කල නිසාය.

 

සෝවියට් ක්‍රමය බිඳ වැටීමෙන් පසුව, රුසියාවේ සමහර ජනතාව කල්පනා කලේ ජර්මනිය හා ජපානය යුද්ධය තුල පරාජය වූවත් පසුව සාමය සාක්ෂාත් කරගත් ලෙසට, ‘බටහිර’ රටවල් ‘ධනවාදී රුසියාවකට’ සතුරුකම් නොපා සිටිනු ඇති බවයි. ඔවුන්ට අමතක වූ කාරණාව වූයේ බටහිර රටවල් මේ පැරණි ෆැසිස්ට් රටවලට එකල ආධාර කලේ සෝවියට් සංගමයේ ස්වාධීන ප්‍රතිපත්ති නිසා ඇති වූ අභියෝගයට මුහුණ දීම සඳහා වන බවයි. මේ අභියෝගය තවදුරටත් නැත. මේ තුල ත්‍රිත්වයේ අරමුණ සම්පූර්ණ යටත්භාවය ඉල්ලා සිටීමය. ප්‍රතිවිරෝධය පෑමට රුසියාව වෙත තිබෙන ශක්‍යතාවය විනාශ කොට දැමීමය.

 

3. යුක්‍රේන ඛේදවාචකය මේ වනවිට දිග හැරෙමින් තිබෙන ආකාරය බලන විට, ත්‍රිත්වයේ උපාය මාර්ගික ඉලක්කය මනා ලෙස පැහැදිලි වේ.

 

ත්‍රිත්වයේ රටවල මැදිහත්වීමෙන් කීයෙව් නුවර තුල ‘යුරෝ-නාසි’ කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකි සංසිද්ධියක් සංවිධානය කෙරුණි. ඓතිහාසික වශයෙන් සහෝදර ජාතීන් වූ රුසියානුවන් හා යුක්‍රේන ජාතිකයන් භේද කිරීමේ මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන්ට යුක්‍රේන නාසින්ගේ ආධාරය අවශ්‍ය කෙරුණි.

 

ත්‍රිත්වයට අයත් රටවල අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම බවට බටහිර මාධ්‍ය මවන අලංකාරෝක්තිය පට්ටපල් බොරුවකි. ත්‍රිත්වය ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවූ කිසිදු රටක් නැත. ඊට පටහැණි ලෙස, සමහර රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ඇතැම් විට ෆැසිස්ට්වාදී ලෙස හැඳින්විය හැකි බලවේගවලට ආධාර කලහ. පැරණි යුගොස්ලාවියාවේ රටවල් වූ කොයේෂියාව හා කොසෝවෝවල අර්ධ ෆැසිසිට්වාදීන්ට මෙන්ම හංගේරියාව බඳු නැගෙනහිර යුරෝපා රටක ෆැසිස්ට්වාදීන්ට කල ආධාර මීට නිදසුන්ය. නැගෙනහිර යුරෝපය යුරෝපා සංගමයට ‘ස්වීකරණය’ කොට ගෙන තිබෙන්නේ සමාන පාර්ශවකරුවන් ලෙස නොව, බටහිර හා මධ්‍යම යුරෝපීය ධනපති / අධිරාජ්‍යවාදී බලවේගවල ‘අර්ධ යටත්විජිත’ ලෙසටය. යුරෝපීය පර්යාය තුල බටහිර හා නැගෙනහිර රටවල් අතර සම්බන්ධතාවය, එක්සත් ජනපදය හා ලතින් ඇමරිකාව අතර සම්බන්ධතාවය සිහි ගන්වයි. ගෝලීය දකුණේ රටවලට අදාලව ගත්කල, ත්‍රිත්ව හවුල ඉරාකය, සිරියාව, ඊජිප්තුව හා ලිබියාව බඳු රටවල මහා විනාශයකට හේතු පාදක වූ ප්‍රතිගාමී ඉස්ලාම් මූලධර්මවාදය ආදී වූ සීමාන්තික ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායම්වලට වරින් වර සහයෝගය දැක්වූහ.

 

4. මේ අනුව ගත්කල පුටින්ගේ පාලනය විසින් වර්ධනය කල රුසියාවේ ප්‍රතිපත්තිය ; එනම් යුක්‍රේනය තම කොලනියක් බවට පත්කිරීමට දරනු ලබන උත්සාහය වැලැක්වීමට ක්‍රියා කිරීම අප සහයෝගීතාමය ලෙස දැකිය යුතුය ( යුක්‍රේනය පමණක් නොව පැරණි සෝවියට් සංගමයේ අනෙක් රටවල් වන කොකේසියානු රටවල් හා මධ්‍යම ආසියානු රටවල් ද ග්‍රහණයට ගැන්මේ උත්සාහයක් පවතී). බෝල්ටික් රටවල වූ දේ යුක්‍රේනය තුලද සිදුවන්ට ඉඩ දිය නොහේ. ත්‍රිත්වයට හා ඊට ගැති අනෙක් බටහිර රටවලින් ස්වාධීන වූ නිදහස් ‘යුරේෂියානු’ ප්‍රජාවක් නිර්මාණය කිරීමට වෙත ද අප සහයෝගය දැක්විය යුුතු වෙමු.

 

එහෙත් රුසියානු ජනතාවගේ සහයෝගය නොලැබේ නම් මෙම සාධනීය රුසියානු ‘ජාත්‍යන්තර ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කල නොහැක. එපමණක් නොව, මහජන සහය නොවී නම්, එය අසාර්ථක වීමට නියමිතය. මෙම මහජන සහයෝගය නිරවශේෂ වශයෙන් ‘ජාතිකවාදය’ නම් පදනම මත දිනාගත නොහේ. ධනාත්මක හා ප්‍රගතිශීලී, එනම් වර්ගවාදී නොවන ජාතිකවාදයකට වුව මෙය අසීරුය. ‘ස්වෝත්තමවාදී’ රුසියානු පිලිවෙතකට කිසිවක් කල නොහැකි බව පැහැදිලිය. යුක්‍රේනය තුල වන ෆැසිස්ට්වාදය පරාජය කිරීමට රුසියානු ෆැසිස්ට්වාදයට නොහැක. මෙම මහජන සහයෝගය ලබාගත හැක්කේ බහුතරයක් වූ වැඩ කරන ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කෙරෙන අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තියක් හා සමාජ පිලිවෙතක් ඇති කරගන්නේ නම්ය.

 

වැඩ කරන පන්තීන්ට ප්‍රතිලාභසහගත වන ‘ජනතා-කේන්ද්‍රීය’ ප්‍රතිපත්තියක් යනුවෙන් මා අදහස් කරන්නේ කුමක්ද?

 

එහි අදහස ‘සමාජවාදයද’? එහෙමත් නැතිනම්, සෝවියට් ක්‍රමය පිලිබඳ වූ යම් අතීතකාමයක්ද? සෝවියට් අත්දැකීම පේලි කිහිපයකින් යලි විමර්ශනය කිරීමට මෙහි ඉඩකඩ නැත. රුසියාවේ සමාජවාදී විප්ලවය විසින් රාජ්‍ය සමාජවාදයක් නිර්මාණය කල අතර මෙය සමාජවාදය වෙත වූ පලමු ප්‍රායෝගික පියවර විය. එහෙත් ස්ටාලින්ගේ යුගයේ රාජ්‍ය සමාජවාදය රාජ්‍ය ධනවාදයක් වෙත තල්ලු වී යාම ආරම්භ විය. ( මෙම සංකල්ප අතර වෙනස පැහැදිලි කිරීම වැදගත් වන නමුත්, මේ කෙටි ලිපිය තුල ඊට ඉඩ නැත). 1991 දී සිදුවූයේ රාජ්‍ය ධනවාදය වෙනුවට පෞද්ගලික දේපල මත පදනම් වූ ‘සාමාන්‍ය’ ධනවාදය ආදේශ වීමය. සියලු සමකාලීන ධනවාදී රටවල මෙන්ම රුසියාව තුල ද පෞද්ගලික දේපල යනු මූලික වශයෙන් කතිපයාධිකාරී තන්ත්‍රයක් විසින් අයත් කරගෙන තිබෙන මූල්‍ය ඒකාධිකාරයන්ගේ දේපොල වේ. රුසියාවේ ඇති වූ මෙම කතිපයාධිකාරී පන්තියේ සමහරුන් පෙර යුගයේ ඉහල මට්ටමේ නිලධාරීන් ලෙස සිටි අයය. තවත් අය අලුත් උදවියය.

 

රුසියානු විප්ලවය විසින් මුදාහල නිර්මාණශීලී හා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පසු යුගයක සමාජය කලමණාකරනය කිරීමේ ඒකාධිපති ශෛලියක් මගින් දමනය කොට විස්ථාපනය කෙරුණි. කෙසේ වුවද, කම්කරු පන්තීන්ට සමාජ අයිතිවාසිකම් තහවුරු වීමක් සිදුවිය. මෙම ක්‍රමය තුල දැවැන්ත නිර්-දේශපාලනිකකරණයක් ඇති වූ අතර, එම තතු තුල ඒකාධිපති හා සාපරාධී භාවිතාවන්ට පවා ඉඩ හසර විවර විය. වනචර ධනවාදයේ නව රූපාකාරය පදනම්ව තිබෙන්නේ මෙන්න මේ නිර්දේශපාලනිකකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු නොකිරීම යන කරුණු මතය.

 

රුසියාවේ පමණක් නොව අනෙක් පරණ සෝවියට් සමූහාණ්ඩුවල ද වර්තමානයේ දක්නට ලැබෙන්නේ මෙම ක්‍රමයයි. එකම වෙනස නම්, ඊනියා ‘බටහිර’ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය රුසියාවට වඩා යුක්‍රේනය බඳු ඇතැම් රටවල තරමක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමය. මෙම පාලන ආකෘතිය ‘ප්‍රජාතන්ත්‍රවාදයක්’ නොවේ ; ධනවාදී සංවර්ධනයේ පූර්ව අවධිවල පැවැති බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදය සමග සංසන්දනය කරන විට, මෙය හුදු ව්‍යාජයකි. වර්තමානයේ සැබෑ බලය අභ්‍යාස කරන්නේ තමන්ගේ නිරවශේෂ ප්‍රතිලාභය පිණිස ඒකාධිකාරයන් විසිනි.

 

ජනතා-කේන්ද්‍රීය ප්‍රතිපත්තියක් යන්නෙන් අනුමිත වන්නේ ප්‍රතිගාමී සමාජ පිලිවෙත්වලට සුජාකරණය සපයන ‘ලිබරල්’ වට්ටෝරුවෙන් පුලුවන් තරම් දුරට ඉවතකට ගමන් කිරීමකි. මාගේ යෝජනාව නම්, සමාජ පැතිමානයක් සහිත (සමාජවාදී නොව, ‘සමාජ’) නව පන්නයේ රාජ්‍ය ධනවාදයක් ස්ථාපිත කල යුතු බවයි.එබඳු ක්‍රමයක් තුල පසුකාලීනව ආර්ථිකය කලමණාකරනය කිරීම සමාජයීයකරණය සඳහා මාවත විවෘත වනු ඇත. නූතන ආර්ථිකය විසින් මතු කරන අභියෝගවලට මුහුණ දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කිරීමට අවශ්‍ය අව්‍යාජ වූ නව ප්‍රගමනයක් පරිකල්පනය කල හැක්කේ එබඳු ප්‍රවාහයක් තුලය.

 

මොස්කව් නුවර විසින් අනුගමනය කරන ස්වාධීන ජාත්‍යන්තර ප්‍රතිපත්තිය, හා රට තුල ක්‍රියාත්මක කොට තිබෙන ප්‍රතිගාමී සමාජ ප්‍රතිපත්තිය අතර වර්තමානයේ තිබෙන ගැටුම යහපත් අතකට පරිවර්තනය කරගත හැක්කේ රුසියාව එබඳු මාවතක් ගන්නේ නම් පමණි. එබඳු මාවත් අවශ්‍ය වී තිබේ ; එය සාක්ෂාත් කරගත හැක්කකි. එම දිශාවට මහජන පෙලගැස්මක් සිදුවේ නම්, දේශපාලන පාලක පන්තියේ ඇත්ම් කොටස් එවන් ව්‍යාපෘතියක් සමග සම්බන්ධ වීමේ සම්භාවිතාවයක් පවතී. යුක්‍රෙනය, ට්‍රාන්ස්කොකේසියාව හා මධ්‍යම ආසියාව යන කලාපවලත් මේ හා සමාන වූ ප්‍රගමනයක් ඇති වේ නම්, යුරේසියානු ජාතීන්ගේ සැබෑ පොදු රාජ්‍ය මණ්ඩලයක් ස්ථාපිත කල හැක. එබඳු රාජ්‍ය මණ්ඩලයකට ජාත්‍යන්තර පර්යාය යලි ගොඩනැගීමේ ක්‍රියාවලිය තුල ප්‍රබල භූමිකාවක් ඉටු කල හැකි වේ.

 

5. නව ලිබරල් න්‍යාය පත්‍රයේ පටු සීමාව තුල රුසියාවේ රාජ්‍ය බලය සිරගතව තිබෙන තෙක් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සාර්ථක වීම සිදු නොවන අතර, මේ නිසා රුසියාව වැදගත් ජාත්‍යන්තර සාධකයක් ලෙස ක්‍රියාත්මක, නැගී එන රටක් වීමෙන් වලකනු ලබයි.

 

නව ලිබරල්වාදයට හැක්කේ රුසියාව තුල ඛේදජනක ආර්ථික හා සමාජ ප්‍රතිගමනයක් නිර්මාණය කිරිම පමණි. ‘ලුම්පන්’ සංවර්ධනයක ලක්ෂණ දරන මෙම සන්තතිය තුල ගෝලීය අධිරාජ්‍යවාදී පර්යාය තුල රුසියාව දිගටම යටහත් රාජ්‍යයක් ලෙස පවතිනු ඇත. මෙහි අදහස තෙල්, ගෑස් හා වෙනත් ස්වභාවික සම්පත් රුසියාව දිගටම ත්‍රිත්වයේ රටවල් වෙත සපයනු ඇති බව හා එහි කර්මාන්ත බටහිර මූල්‍ය ඒකාධිකාරවල වාසිය පිණිස කටයුතු කරන උප-ගිවිසුම්කාර තත්වයකට ඌනනය වී පවතිනු ඇති බවය.

 

මෙබඳු තත්වයක් තුල, ජාත්‍යන්තර තලය තුල ස්වාධීන ලෙස කටයුතු කරන්ට දරන උත්සාහය බෙහෙවින් දුබල වීම වැලැක්විය නොහේ. රුසියාව දැනට මුහුණ දෙන ප්‍රශ්නය මෙයයි. මේ පසුබිම තුල පනවන ‘සම්බාධක’ විසින් රුසියාව තුල වන පාලක කතිපයාධිකාරී තන්ත්‍රයට ත්‍රිත්වයේ රටවල බලවත් ඒකාධිකාර සමාගම්වල ඉල්ලීම් සමග විනාශකාරී ලෙස සම්බන්ධ වීම සඳහා තෙරපුමක් ඇති කරනු ඇත. යුක්‍රේන අර්බුදය සමග මේ වනවිට හටගෙන තිබෙන, ‘රුසියානු ප්‍රාග්ධනය’ පිටගලනය මෙම අවදානම පිලිබඳ නිදර්ශනයකි. මෙම අවදානමට තිබෙන එකම පිලිතුර ප්‍රාග්ධනයේ චලනය මත වූ රාජ්‍ය පාලනය යලි ස්ථාපිත කිරීම පමණි.

 

– 2014, මොස්කව්
( මුල් ලිපිය Monthly Review Online වෙබ් අඩවියෙනි).

පරිවර්තනය – රමිඳු පෙරේරා

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *