කාන්තාවන්ගේ රැකියා නියුක්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ අන්වීක්ෂයක් ලෙස

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ සංගණනවලට අනුව, ආර්ථික වශයෙන් ක්‍රියාශීලි, එහෙම නැත්නම් ශ්‍රම බලකායේ නියැලෙන, එහෙමත් නැත්නම් රැකියා කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 35% ක් . රැකියාවල නියැලෙන පිරිමින් 56% ට සාපේක්ෂව එය ඉතාම පහළ අගයක්. සමස්ත රැකියා සඳහා සුදුසුකම් ලබන අවුරුදු 15ට වැඩි කාන්තා ප්‍රජාවෙන්, ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන්  ප්‍රමාණය 73% ක්.

 

2014 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ විශේෂ සඳහනක් තිබ්බා, කාන්තාවන් රැකියා වල නොයෙදීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ කාන්තාවන් ඉතා විශාල පිරිසක්, බහුතරයකට ආසන්නව  නියැලිලා සිටියත්, එය ශ්‍රම වෙළෙඳපොලේ නිරූපණය නොවන බව ඔවුන් මතු කරලා තිබුණා. කාන්තාවන් රැකියා නොකිරීම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වන ප්‍රතිපාදන ඵලදායි ලෙස නැවත ලබා ගැනීමේ නොහැකියාව පිළිබඳ ව මහ බැංකුව එම විශේෂ සටහනේ මතු කළා.

 

මහ බැංකුව වගේම, අප බොහෝ දෙනාද සංඛ්‍යාලේඛන දිහා බලලා නිගමනය කරන්නේ ලංකාවේ කාන්තාවන් රැකියා කරන්නේ නැහැ කියලා. ඒක එහෙමද?

 

ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන අංශ වන ඇඟලුම් කර්මාන්තය, මැදපෙරදිග ගෘහ සේවිකා කර්මාන්තය, තේ කර්මාන්තය දිහා බැලුවොත්, ඒවා ප්‍රධාන වශයෙන් නඩත්තු වෙන්නේ කාන්තා ශ්‍රමය තුළින්. කෘෂිකර්මාන්තය, ගුරු වෘත්තිය සහ සෞඛ්‍ය සේවයේ බොහෝ වෘත්තීන් ගත්තොත් ඒවායෙන් කාන්තාවන් ඉතා ඉහළ ප්‍රමාණයෙන් නිරූපණය වෙනවා. කාන්තා ශ්‍රමය ආර්ථික වටිනාකම් නිර්මාණය කිරීමත්, දළ දේශීය නිෂ්පාදනයට කාන්තාවන් සිදු කරන දායකත්වයත් බැලුවොත් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ස්ත්‍රීකරණය (feminized) වූවක් ලෙස හඳුන්වන්නටත් පුළුවන්.

 

දත්ත පවසන දේවල් මෙන්ම නොපවසන දේවල් පිළිබඳව  තත්ත්වය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ රැකියා නියුක්තිය පිළිබඳවත් එසේමයි. රාජ්‍යය විසින් සම්පාදනය කරන දත්ත බොහෝ විට ආණ්ඩුකරණය සඳහා ඉවහල් වන මෙවලම්. රාජ්‍යයට තම ආධිපත්‍යයට යටත් ජන කොට්ඨාසය කියවීමට, ජනයා තමන්ට අවනත කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යෑමට පහසු කරවීමේ උපාංගයක් ලෙස සංගණන ආරම්භ වූ බව ජේම්ස්  සි. ස්කොට් පවසනවා. ජනගහන දත්ත බදු අය කරගැනීමට, වතු-පතල්-සේවා අංශය-කෘෂිකර්මය ආදී ආර්ථිකයන් පවත්වා ගෙන යෑමට, රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට යෝග්‍ය ජනයා හඳුනා ගැනීමටත් යොදා ගැනෙනවා.

 

ශ්‍රම බලකායේ දත්ත දෙස බැලුවොත්, විධිමත් අංශයේ සේවා නියුක්තිකයන් සහ අවිධිමත් අංශයේ සේවා නියුක්තිකයන් ලෙස ඛාණ්ඩ දෙකක් තිබෙනවා. ක්‍රමවත් වැටුප්, නිවාඩු, රැකියා සුරක්ෂිතභාවය, මාතෘ නිවාඩු, විශ්‍රාම වැටුප් ආදියෙන් සමන්විත විධිමත් අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ගේ ප්‍රමාණය 37.9% ක්. පිරිමින්ගේ ප්‍රතිශතය 50.1% ක්. විධිමත් වැඩ මුර නොමැති, සේවා සුරක්ෂිතභාවය, සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාම වැටුප් තියා වැටුප් ක්‍රමානුකුලව ලැබෙන බවට සහතිකයක් නොමැති අවිධිමත් අංශයේ රැකියාවල නියැලි කාන්තාවන්ගේ ප්‍රතිශතය 49.9% ක්. පිරිමින්ගේ ප්‍රතිශතය 62.1%. සමස්ත වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ අවිධිමත් රැකියා වෙළෙඳපල වේගයෙන් වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. IMF, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව ආදීන්ගේ උපදෙස් වලට අනුව ශ්‍රී ලංකාව යා යුතු දිශානතිය එයයි. රාජ්‍යය අංශයේ රැකියා කළමනාකරණය, පුද්ගලීකරණය ආදී නම්වලින් මෙන්ම ශ්‍රම නීති සංශෝධන යෝජනා මුවාවෙන් ඉදිරිපත් වෙන යෝජනා අඟවන්නේ අවිනිශ්චිත, අවදානම් රැකියා පිරි ආර්ථිකයක් පිළිබඳ අනාවැකියි. අවිනිශ්චිත/ අවදානම් රැකියා කියන්නේ මොකක්ද කියන එක කෝවිඩ් වසංගතයෙන් බැට කෑ අපි හොදින් දන්නා දෙයක්.

 

ශ්‍රම නීති සංශෝධනය කිරීමේ යෝජනා ඉදිරියට තල්ලු කිරීමට පහළ මට්ටමක තිබෙන කාන්තා ශ්‍රම නියුක්තිය පිලිබඳ දත්ත ඉමහත් දායකත්වයක් සපයනවා. මෑන් පවර් සේවා ඇතුළු ස්ථාවර වැඩ මුර නැති, සේවා ගිවිසුම් නැති රැකියා වැනි නම්‍යශීලි රැකියා ඇති කිරීම සඳහා පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ඉදිරිපත් කරමින් සිටින යෝජනා සඳහා ශ්‍රී ලංකාවේ ලිබරල් ස්ත්‍රීවාදීන්ගේ සහයෝගය ලැබුණා. කාන්තාවන්ට වයාපාරවල නියැලීම සඳහා උදව් කිරීමට ක්‍ෂුද්‍ර  මුල්‍ය වැනි ණය ක්‍රම කාන්තාවන් අතර ප්‍රචලිත කිරීමටත් ලිබරල් ස්ත්‍රීවාදීන් විශාල දායකත්වයක් දක්වලා තිබෙනවා. නම්‍යශීලි ශ්‍රම කොන්දේසි, මුල්‍ය අන්තර්ග්‍රහණය මෙන්ම ඉඩම් මිලදී ගැනීමේ හැකියාව තහවුරු කිරීම තුළින් ඉඩම් අයිතිය ලබා දීම ආදී ලෙස කාන්තාවන්ට ක්‍රියාශීලි ලෙස ආර්ථික ප්‍රවාහයන්ට දායක වන්නට අවශ්‍ය පරිසරය සකස් කරන බවයි මේ සඳහා මුල් වන්නන්ගේ මතය. සිය දිවි නසා ගැනීම්, අධික ණයගැති භාවයෙන් පීඩා විඳීම වැනි කාරණා තුළින් පසු ගිය අවුරුදු පහ තිස්සේ උද්ඝෝෂණය කරමින් සිටින ක්‍ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයින් අපට කියන යථාර්තය මෙන්ම, මෙම මතය වෙළෙඳ කලාප සේවයේ නියතු කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න, අවදානම් රැකියාවල නියැලී කාන්තාවන් දීර්ඝ කාලීනව මුහුණ පාන අනාරක්ෂිතභාවය දෙස ආපසු හැරී බැලීමක් සිදු කිරීමට දිරිගන්වා ඇති බවක් පෙනෙන්නට නැහැ.

 

අඩු වැටුප් ආර්ථිකය

 

මැදපෙරදිග රැකියා සඳහා කාන්තාවන් වැඩි පිරිසක් සුදුසුකම් ලැබීම සඳහා රැකියා වයස් සීමා පහළ දැමීම, පාසල් දරුවන්ට රැකියා කිරීම සඳහා අවශ්‍ය නීති සැකසීම, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය ආදී ක්‍රියාමාර්ග හරහා රැකියා ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථික සංවර්ධනය ළඟා වේ යැයි ප්‍රතිපත්ති සම්පාදකයන් සිතනවා.

 

පහුගිය අවුරුදු 50කට ආසන්න කාලයේ ලංකාවේ ශ්‍රම වෙළෙඳපල විකාශනය වෙලා තියෙන හැටි බැලුවොත් පෙනෙන දෙයක් තමයි, අඩු වැටුප් රැකියාවල වර්ධනය. මැද පෙරදිග රැකියා, අපනයන කලාපයේ රැකියා, මෑන් පවර් කම්කරුවන්, ඉදි කිරීම් අංශයේ කම්කරුවන්, හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ කම්කරුවන්, උබර්-ටැක්සි-ඩිලිවරි ක්‍ෂේත්‍රයේ කම්කරුවන් … ආදී මේ සියල්ලන්ම පොදු වශයෙන් අඩු වැටුප්ලාභීන්. ලංකාවේ ආර්ථික වර්ධනයට අනුපාතව ගුණාත්මක රැකියාවල වර්ධනය ඉතාම අවමයි. වැටුප් අවම මට්ටමේ තබා ගනිමින් ලාභය උපරිම කිරීම මිසක් වෙනත් සංවර්ධන උපාය මාර්ගයක් ලංකාවේ ධනපතියෝ හිතලා නැහැ.

 

 

කලාපීය මට්ටමෙන් බැලුවත් ශ්‍රී ලංකාව ඇත්තේ ඉතාම අඩු වැටුප් සහිත ආර්ථිකයක්. විදේශ ආයෝජකයින් දිරිගන්වන්නට නම්‍යශීලි ශ්‍රම කොන්දේසි අවශ්‍ය යැයි කියන ආර්ථික විද්‍යාඥයින් සහ හාම්පුතුන්ගේ සංගම් පවසන්නේ වැටුප් තවත් පහළ දැමිය යුතු බවයි. කාන්තා ශ්‍රමිකයින්ගේ දත්ත ඔවුන්ගේ අවශ්‍යතාවලට කදිමට ගැලපෙනවා. 

 

හැංගිච්ච ශ්‍රමිකයෝ

 

දත්ත සහ අපි දන්නා ආර්ථික පරිසරය සංසන්දනය කර බැලුවොත්, තවත් කතාවක් පෙනෙන්න පටන් ගන්නවා. ඒ තමයි, කාන්තා ශ්‍රමිකයෝ අති බහුතරයක් මේ සංඛ්‍යාලේඛනවලට අහු වෙලා නැති බව. විශේෂයෙන්ම අවිධිමත් අංශයේ අඩු ආදායම්, දැඩි අවදානම් රැකියාවල නියැලිලා සිටින කාන්තාවන් මේ දත්තවලට අහු වෙලා නැහැ.

 

රැකියා නියුක්තිය පිළිබඳව 2020 දී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවට අනුව ගෘහ සේවයේ නියැලීමට සිදු වීම, එහෙමත් නැත්නම් නිවස තුළ/ පවුල සඳහා වැඩපල කිරීමට සිදු වීම ප්‍රධාන වශයෙන් කාන්තාවන් රැකියාවලින් ඈත් කර තිබීමට හේතුවක් වී තිබෙනවා. කාන්තාවන් 60.3% ක් නිවසේ රාජකාරි නිසා රැකියාවලින් බැහැරව සිටිද්දී, පිරිමින් 39.2% ක් අධ්‍යාපනය පිණිස රැකියාවලින් බැහැරව සිටී. අධ්‍යාපනය නිසා රැකියාවලින් ඇත් වී සිටින කාන්තාවන්ගේ ප්‍රතිශතය 15.8% ක් වන අතර, ගෘහයේ වැඩ නිසා රැකියාවලින් ඇත් වී සිටින පිරිමින්ගේ ප්‍රතිශතය වන්නේ 3.7% ක්.

 

 

රැකියා නියුක්තිය පිළිබඳ වාර්තා කිට්ටුවෙන් බැලුවොත් මිසක් අපිට මෙම දත්ත පෙනෙන්නේ නැහැ.

 

ආහාර පිසීම, දරුවන් හදා වඩා ගැනීම, ඔවුන්ට අධ්‍යාපනය දීම, වැඩිහිටි දෙමව්පියන් රැක බලා ගැනීම, ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සැපිරීම මෙන්ම ස්වාමි පුරුෂයින් නඩත්තුව ගෙදර වැඩපල අතරට අයත් වෙනවා. මේ වැඩ සඳහා මිලක් ගෙවා සේවා සපයා ගැනීම සිදු වුණත් ඒ ඉතාම අල්ප වශයෙන්. ගෙදර වැඩපල සඳහා කාන්තාවන් වැය කරන ශ්‍රමයට ගෙවීමක් ලැබෙන්නේ නැහැ. රැකියාවේ නියැලෙන ස්වාමි පුරුෂයා ගෙදර වියදම් සඳහා අවශ්‍ය වියදම් දරනවා යැයි පොදු වශයෙන් උපකල්පනය වූවත්, එය එසේ නොවෙන අවස්ථා බොහෝයි. ප්‍රධාන වශයෙන් අඩු අදායම්ලාභී පවුල් අතර පවුල් නඩත්තු කිරීමේ බර සම්පුර්ණයෙන්ම කාන්තාවන්ගේ කර මත පැටවී ඇති තත්වයක් පවතින්නේ.

 

කාන්තා ශ්‍රමිකයන් ගැන විශේෂයෙන් මතු වෙන මේ සංඛ්‍යාලේඛනවල අපිට පෙනෙන්නට නැති පවුල් නඩත්තු කරන කාන්තාවන් ඒක කරන්නේ කොහොමද?

 

ඔවුන් අපිට හිතා ගන්න බැරි දේවල් කරනවා මොකක් හරි ආදායමක් ලබා ගන්න. සමහරු ඉලුක් කපනවා. සමහරු පාසි ගොඩ දානවා. මේ ඔක්කොම කරලත් වියදමට සාපේක්ෂව ආදායම මදි නිසා සියල්ලන්ම වගේ ණය අරගෙනත් තියෙනවා. ණය ගත්තට පස්සේ දවසේ ඉදන් ණයත් වියදමක් වෙන නිසා තව ආදායම් මාර්ග හොයා ගන්න වෙලා තියෙනවා. දවසේ පැය 20ක් විතර, සමහරු ඊටත් වඩා වැඩ. මේ වැඩ ඔක්කොම සංඛ්‍යාලේඛනවලට මග ඇරිලා. ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ටත් මග ඇරිලා.

 

සංඛ්‍යාලේඛනවලට මග ඇරුනට මේවා රහස් නොවෙයි. අවදානම් රැකියා සහිත, ණය දීමෙන් අධික ලාභ ලබන ව්‍යාපාරවලින් පිරිච්ච ආර්ථිකය හරහා සුඛිත මුදිත වූ ප්‍රජාවක්  ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවනවා. ආදායම් විෂමතා පිළිබඳ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ධනයෙන් 31.5% ක් ඉහළම ආදායම් ලබන ජන සංඛ්‍යාවෙන් 1% ක් අතර බෙදී ගොස් අතර, ඉහළම ආදායම් ලබන ජන සංඛ්‍යාවෙන් 10% ක් අතර ධනය බෙදී යෑම 64.6% ක්. පහළම ආදායම් ලබන 50% ක් ජන සංඛ්‍යාව සතු වී ඇත්තේ සමස්ත ධනයෙන් 3.7%ක් පමණයි. ඉහළම ආදායම්ලාභීන් අතර ආදායම් බෙදී යාමේ විෂමතාවය අනුව බැලුවොත් ශ්‍රී ලංකාව ගෝලීය දර්ශකවල ඉහළම ස්ථානයක් ගන්නවා. ගෝලීය ආදායම් විෂමතා පිළිබඳව දත්තවලට අනුව (World Inequality Database)  ධනවත්ම 1% ක් අත්පත් කර ගන්නා ආදායම් අනුව, 2021දී 20.6% ක් සනිටුහන් කරමින් ඇමරිකාවටත් වඩා ඉහළ ස්ථානයක් ලබා ගෙන තිබෙනවා.

 

 

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක් කරා ආ ගමන් මඟ මෙසේ ආදායම් සහ ධනය බෙදී යාමේ විෂමතා තීව්‍ර වීමේ ගමන් මඟ හා සමපාත වනවා පමණක් නොවෙයි, ආර්ථිකයෙන් ගොඩ ඒමට ඉරිදිපත් වෙන යෝජනා අතරත් නිරූපණය වෙනවා. IMF පිහිටෙන් ගොඩ යන්නට බලා සිටින අනාගතයේ හැඩරුව වටහා ගැනීමට ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අතීතය දෙස බැලීම පමණයි.

 

ස්ත්‍රීකරණය වූ අඩු වැටුප් රැකියා

 

ප්‍රධාන විදේශ විනිමය උපයන අංශ ප්‍රධාන වශයෙන් ස්ත්‍රී ශ්‍රමය හරහා නඩත්තු වෙනවා සේම, ශ්‍රමය සඳහා අනාගතයේ ඇති ඉල්ලුම දෙස බැලු විට ස්ත්‍රී ශ්‍රමිකයින් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. කම්කරු අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබෙන 2022 වර්ෂය සඳහා පුද්ගලික අංශයේ ශ්‍රම අවශ්‍යතා පිළිබඳ වාර්තාවට අනුව වතු අංශයේ රැකියා සඳහා ස්ත්‍රී ශ්‍රමිකයින් සඳහා ඇති ඉල්ලුම 68%ක් වන අතර, ආහාර සහ දුම්කොළ නිෂ්පාදන අංශයේ එය 89%ක්. නිමි ඇඳුම්, ලෙදර් නිෂ්පාදන අංශයේ එය 75.3%ක්. සාත්තු සේවය තුළ එය 94.2%ක්. වෘත්තියමය සුදුසුකම් අනුව වැටුප් පිළිබඳව කියවෙන දත්තවලට අනුව බහුල වශයෙන් ස්ත්‍රීන් සඳහා රැකියා ඇත්තේ මැෂින් ක්‍රියාකරුවන් ලෙසයි. මේ දත්ත කියා පාන්නේ විදේශ විනිමය ගෙනෙන රැකියා මෙන්ම, කාන්තාවන්ට අනාගතයේ  ලැබෙන රැකියා බොහෝ විට අඩු වැටුප් සහිත අවදානම් රැකියා වන බවයි.

 

ඉහළ ආදායම් ආර්ථිකයක් සඳහා ශ්‍රම කොන්දේසි සංශෝධනය අත්‍යවශ්‍ය බව ප්‍රතිපත්ති සම්පාදකයින් පුන පුනා කීවත්, ඒ ඉහළ ආදායම් ආර්ථිකය සමස්ත වැඩ කරන ජනතාවගේ ආදායම ඉහළ නංවන ආර්ථිකයක් නොවේ. ණය ගෙවමින් ජීවත් වීම සඳහා මොකක් හෝ රැකියාවක් කරන ආර්ථිකයක්.

 

 

ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ වඩාත් සංවේදී අපි ස්ත්‍රීන් සඳහා වඩාත් යෝග්‍ය ආර්ථික ක්‍රමය කුමක්ද යන්න පිළිබඳවත් අවදානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. දිගු සේවා මුර, රාත්‍රී කාලයේ සේවා ආදිය කාන්තාවන් සේවයේ නියැලීමට බාධාවන්. යහපත් කාන්තාවක් ලෙස විවාහ වී දරුවන් ඇති දැඩි කරමින්, ස්වාමි පුරුෂයා සහ වැඩිහිටි දෙමව්පියන් රැක බලා ගන්නා කාන්තාවන් සමාජය බලාපොරොත්තු වෙනවා. ඉතින් යහපත් කාන්තාවක් වීමේ බර කාන්තාවන් මත පමණක් පැටවීම සමාජ සාධාරණත්වය පිළිබඳ පමණක් නොව ශ්‍රම බලකාය පිළිබඳ කාරණයක් බව පහළ යන දරු උපත් සංඛ්‍යාලේඛන අපට පෙන්වා දෙනවා. කාන්තාවන් ක්‍රියාශීලිව ආර්ථිකයේ නියැලීමට ප්‍රසුත නිවාඩු, කිරි පැය, සම වැටුප්, දරුවන් රැකබලා ගන්නා සේවා (Day Care) මෙන්ම විශ්‍රාම වැටුප් සේවා ප්‍රධාන  වෙනවා. විවාහ වීම, දරුවන් ලැබීම සඳහා සේවය අතහැර යන කාන්තාවන්ට නැවත සේවයට පැමිණීමට හැකි වන සේ පරිසරය සකස් කිරීමත් වැදගත්. මේවා සඳහා නීති සකස් කිරීම මෙන්ම ආකල්ප වෙනස් වීමත් වැදගත්. පුද්ගලික අංශයේ සේවයේ නියැලෙන කාන්තාවන් සඳහා ප්‍රසුත නිවාඩු සැපයීම දිරිගැන්වීමට ඒ සඳහා රජයෙන් සහන ලබා දීම පිළිබඳ යෝජනා පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අහන්නට ලැබුණා. තම ව්‍යාපාර සහ සේවාවල නියැලී සිටින කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට, තම සේවකයින්ගේ සුභ සාධනය තහවුරු කිරීමට රාජ්‍යය මත පටවන ධනවාදී ආර්ථික න්‍යාය කුමක්ද?  පුද්ගලික අංශයේ හාම්පුතුන් ලාභය පමණක් තමන්ගේ යැයි සලකන පිරිසකට වඩා, තමන්ගේ ආර්ථික දායකත්වය සහ තම සේවකයින්ගේ වගකීම පිළිබඳ සැලකිලිමත් පිරිසක් බවට ඔප්පු කිරීමට අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ රැකියාවල නියුක්ත කාන්තාවන්ගේ දත්ත අපිට මතක් කර දෙනවා.

 

සටහන – අමාලි වෙදගෙදර 

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *