බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?

ප්‍රතිවාද කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 24 වන දා පවත්වන ලද ‘බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?’ zoom සම්මන්ත්‍රණයේදී රාජිත පෙරේරා විසින් සිදු කල අදහස් දැක්වීම.

 

ලංකාවේ බදු ආදායම් මුලාශ්‍ර

 

               

https://www.facebook.com/Prathivada-109358198451729/photos/a.123941463660069/137205015667047

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2021/en/10_Chapter_06.pdf

 

මෙතන තියෙනවා දළ දේශීය නිෂ්පදතයට සාපේක්ෂව පසුගිය වසර 03ක ලංකාවේ බදු ආදායම. එය ඉතාම අඩු ප්‍රතිශතයක්. දකුණු ආසියානු කලාපයේ අඩුම බදු ආදායම් ප්‍රතිශතය හිමිවෙන්නේ ලංකාවට. 1970 කාලයේදී 20% පමණ වුන මේ අගය අද වන විට 8%ක් වගේ අගයකට පහත වැටිලා තියෙනවා. බ්‍රිතාන්‍ය වගේ රටක් සැලකුවොතින් මේ අගය 36%ක් පමණ වෙනවා.

මෙම දත්තවලින් පැහැදිලි වෙන තව දෙයක් තමයි ලංකාවේ බදු ආදායමෙන් 20% පමණ ඍජු බදු ලෙස අයකරගන්න අතර බදු ආදායමෙන් 80%ක් පමණ වක්‍ර බදු ලෙස අයකරගන්නා බව. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල තත්වය මීට වඩා වෙනස්. ඔවුන්ගේ බදු ආදායමෙන් 40% ඍජු බදු සහ 60% වක්‍ර බදුවලින් සමන්විත වෙනවා. බොහෝ රටවල් එම සීමාවට ලඟාවීමට උත්සාහ ගනිමින් ඉන්නවා.

 

බදු කියන්නේ ආදායමක් විතරක් නෙවෙයි

 

බදු කියන්නේ රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කියන එක හැමෝම දන්න කාරණාවක්. ඒත් බදු කියන්නේ ආදායමක් විතරක්ම නෙවෙයි. බදු මගින් රජයේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කෙරෙනවා. බදු කියන්නේ ආර්ථිකය සකස් කරන මෙවලමක්. උදාහරණයක් විදියට නිදහස් වෙළෙඳ කලාප ගැන හිතුවොත්, ආයෝජකයින් ආකර්ෂණය කර ගන්න, ආයෝජනය පහසු කරන්න ඒ කලාප බදුවලින් නිදහස් කරලා තියෙනවා. ඒවා ආණ්ඩුවක් විසින් තමන්ගේ රටේ ආර්ථිකය ගැන හිතලා ගන්න ප්‍රතිපත්තිමය තීරණ. VAT බදු වැඩිකිරීම් ගැන හිතුවොතින් රජය VAT බද්ද වැඩි කලාම භාණ්ඩ මිල ඉහළ ගිහින් පාරිභෝගික ප්‍රමාණය අඩුවෙලා සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කඩා වැටෙනවා. ඒ තීරණ ගන්නේ ආණ්ඩුව. ගෝඨාභයගේ ආණ්ඩුව VAT බදු එකවරම අඩු කරන්න ගත්තු තීරණය ඔබට මතක ඇති. ඒ තීරණය හින්දා ලාභ ලබපු ගෝඨාභය ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයින් ගැන මේ වෙනකොට කරුණු එළි වෙලා තියෙනවා. කෙටි කාලීන අරමුණු ගැන හිතලා රටක මුළු ආර්ථිකයම හකුළුවා දාන්න ආණ්ඩුවක බදු ප්‍රතිපත්තියට පුළුවන්. කුමන නිෂ්පාදන දිරි ගන්නනවද, අධෛර්යමත් කරනවද වගේම කුමන ආයෝජන දිරි ගන්නනවද, අධෛර්යමත් කරනවද කියන දේ ආණ්ඩුවකට තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන්න බදු ප්‍රතිපත්තිය උදව් කරනවා.

ඒ වගේම අයකරගන්නා බදු මුදල් රාජ්‍ය විවිධ සුබසාධන කටයුතු සඳහා යොදවනවා.

  • අධ්‍යාපනය
  • සෞඛ්‍ය
  • ප්‍රවාහනය
  • ගොවි සහ ධිවරයින්ට ලබා දෙන සහනාධාර
  • සුළු නිෂ්පාදකයින්ට ලබා දෙන සහනාධාර
  • ගැබිණි මවුවරුන්ට ලබාදෙන සහනාධාර

ආදී නොයෙකුත් සුබසාධන කටයුතු සඳහා බදු මුදල් යොදාගන්නවා.

 

බදු ගෙවන්නේ නැත්තේ කවුද?

 

රටේ බදු ආදායම් අඩුවීමට හේතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වලා දීලා තියෙනවා. එතැනදී මතු වෙන කාරණයක් තමයි බදු ගෙවිය යුතු විශාල පිරිසකගෙන් බදු අය කර ගැනීමට ආණ්ඩුව අසමත්වෙලා තියෙන බව. නියමිත පරිදි බදු අයකර ගැනීමට නොහැකිවීම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය පෙන්වන තැනක්. ඒ වගේම ඇතැම් ආයෝජකයින් බදුවලින් නිදහස් කරන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා. එතැනදී ආණ්ඩුව හිතන්නේ බදු අය කළොත් ආයෝජයකයින් තරහා වෙලා ආයෝජන නොකර ඉඳියි වගේ දෙයක්. ඒත් ඒ තීරණය නිසා වසර ගණනක් තිස්සෙම බොහෝ ආයෝජකයින් බදු නොගෙවා රජයේ ආදායම අහිමි කරලා තියෙනවා වගේම ඔවුන්ගේ ක්ෂේත්‍රවල නිෂ්පාදන වැඩිදියුණු කරන්නවත් ඔවුන් කටයුතු කරලා නෑ.

පෞද්ගලික සමාගම් තමන්ගේ ආදායම රට තුලට ගෙනෙන්නේ නැතුව වෙනත් රටවල අක්වෙරල ගිණුම්වල ඒ මුදල් තැන්පත් කිරීම ගැන මෑත කාලීනව විශාල වශයෙන් කතාබහට ලක්වුනා. මහබැංකු අධිපතිවරයත් මේ ගැන අවස්ථා කීපයකදීම පැහැදිලි කළා. ඒ මුදල් මෙරටට ගෙන්වාගන්න ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඒවා සාර්ථක උනේ නෑ. සාර්ථක කරගන්න ආණ්ඩුව මැදිහත් උනේ නෑ. පෞද්ගලික ව්‍යාපාර කරන තවදෙයක් තමයි තමන්ගේ ව්‍යාපාර ආදායම හංගලා අඩුවෙන් බදු ගෙවන එක, බදු ගෙවන එක පැහැර හරින එක. ඔවුන්ට පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරලා එම කටයුතු ඉවර වෙනකන් බදු නොගෙවා ඉන්න. හැබැයි ඒවගේ දෙයක් රාජ්‍ය ව්‍යාපාරවලට කරන්න බෑ. ඒවා ලාභ ලැබුවත් පාඩු ලැබුවත් නියමිත බදු ගෙවන්න ඕන.

බදු නොගෙවා ඒවා අඩුකරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කරන සමාගම්වලට නියමිත බදු මුදල් ගෙවීමෙන් පස්සේ ඒ ඉල්ලීම කරන්න කියන ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න ආණ්ඩුවකට පුළුවන්. ඒ වගේම ඒ ඒ සමාගම්වල ලාභාංශ මත බදු අයකරගන්න වැඩපිළිවෙල හදන්න ආණ්ඩුවකට පුළුවන්. නමුත් තමන්ගේ ව්‍යාපාරික හිතවතුන් සනසන්න, මේ තීරණ ගන්න ආණ්ඩුව මැලිකමක් දක්වනවා. ව්‍යාපාර කඩන් වැටෙන එක ගැන සෑම මොහොතකම වදවෙන ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සු ගැන ඒ තරම් වදවෙන බවක් පෙනෙන්න නෑ. මාසිකව පොඩි අදායමක් ලබලා ඒ අදායමෙන් හරිහමං විදියට ජීවත්වෙන්න බැරිවෙලා ඉන්න මිනිස්සු බහුතරයක් ගැන ආණ්ඩුව ඉන්නේ ඇස් කන් පියාගෙන.

මෙහෙම බදු නොගෙවන පිරිසෙන් කොටසක් ඒවා තමන්ගේ අක්වෙරල ගිණුම්වල සඟවලා තියනවා. තවත් අය තමන්ට හිතූ හිතූ පරිදි භාණ්ඩ ආනයනය කරන්න මේ නොගෙවා තියාගත්ත බදු මුදල් යොදාගන්නවා.

 

බදු ප්‍රතිපත්තියේ වෙනසක්?

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැප්තැම්බර් මාසයේ නිකුත් කරපු නිවේදනයක සඳහන් උනේ, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අය 2022 සැප්තැම්බර් 30 කලින් බදු ගෙවනු ලැබුවොත් ඔවුන්ගෙන් දඩ මුදල් අයකරන්නේ නැති බවයි. මෙම තීරණය, බදු මුදල් පැහැර හරින අයගෙන් බදු අය කර ගැනීමට දිරිගැන්වීමක් ලෙස බැලූ බැල්මට පෙනුනද එමගින් රජයට අහිමිවන බදු ආදායම ගැන ඔවුන්ගේ තක්සේරුව ගැන සඳහනක් නොමැත. මීට පෙර අවස්ථාවකදී එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සඳහන් කලේ උපයපු ආකාරය හෙළි කරන්න බැරි මුදල් ආයෝජනය කරනු ලබන අයට 1% ක් පමණක් දඩ මුදලක් අය කරන බවයි. එමගින් රජයට බදු ආදායම් අහිමි වනවා වගේම විවිධ අක්‍රමවත් විධි මගින් උපයා ගත් කලු සල්ලි රට තුලට පැමිණීමට ඉඩ ලබා දුන්නා.

ඒ වගේම ගෝඨාභය ආණ්ඩුව විසින් payee tax (උපයන විට බදු), ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම මෙන්ම VAT බදු අඩු කිරීම මගින් එතෙක් පැවති අසාධාරණ බදු ක්‍රමය තවදුරටත් විකෘති කරනු ලැබුවා. විවිධ ආණ්ඩු මගින් බදු ක්‍රමය තව තවත් සංකීර්ණ කරනු ලැබුවා. බදු ගෙවන්නාට වඩා අපහසු, අපැහැදිලි ක්‍රම හඳුන්වා දෙනු ලැබුවා. මෙම විකෘති තත්වය රාජ්‍ය බදු ප්‍රතිපත්ති සැකසීම මගින් යලි සකස් කල යුතුයි. පසුගාමී බදු වෙනුවට ප්‍රගතිශීලි බදු හඳුන්වා දිය යුතුයි.වැඩියෙන් උපයන පිරිසෙන් වැඩියෙන් බදු අය කර ගන්නා ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි.

රජය විසින් ලබා දෙන සියලුම සම්පත් පරිභෝජනය කරමින් ආදායම් උපදවමින් තමන්ගේ මඩිය පමණක් තර කරගෙන රජයට බදුත් නොගෙවන පුද්ගලයින් සහ සමාගම් රටකට, සමාජයකට බලවත් අසාධාරණයක් සිදුකරනවා. මහාමාර්ග වේවා, විදුලිය වේවා, සන්නිවේදනය වේවා සෑම පහසුකමක්ම රජයෙන් ලබාගනිමින් තමන් විසින් මහන්සි වී සියල්ලක්ම හම්බ කර ගත් බවත් එනිසා රජයට බදු නොගෙවිය යුතු බවත් වැනි විහිලු කතන්දර පවසන අයත් අපට හමුවෙනවා. ජාතික ආර්ථිකයට කිසිම දායකත්වයක් නොදෙන මෙවැනි ව්‍යාපාර කෙරෙහි රජයක් උනන්දු විය යුතු නෑ. ඔවුන්ගෙන් රටකට ඇති ප්‍රයෝජනයක් නෑ.

 

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *