ඩෝපා අංකල්ගේ ආර්ථික පාඩම් 1 – පෞද්ගලීකරණය

ඩෝපා අංකල්ගේ ආර්ථික පාඩම් යනු අප පාඨකයන් වෙනුවෙන් ප්‍රතිවාද වෙබ් අඩවිය ගෙන එන විශේෂාංගයකි. එදිනෙදා ජීවිතයේ ආර්ථිකය ගැන මතු වෙන ගැටලු ගැන ප්‍රශ්නෝත්තර වර්ගයේ සටහනක් අපි ඉදිරිපත් කරමු. අපගේ පලමු මාතෘකාව මේ දිනවල බෙහෙවින් කථාබහට ලක්වන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙනි. 

***

 

ඩෝපා අංකල්, ලංකාවේ රාජ්‍ය අංශය අකාර්යක්ෂමද? 

 

ඔව්. රාජ්ය අංශයේ අකාර්යක්ෂමතා තියෙනවා.

 

එහෙනම් ඇයි රජයේ ආයතන පෞද්ගලීකකරණය කරනවට විරුද්ධ?

 

ලංකාවේ අර්බුදයක් ඇති වුණේ රාජ්‍ය අංශයේ විතරක් නෙවෙයි. සමස්ත ආර්ථිකයම අර්බුදයකට ගියා. ආර්ථිකයේ ප්‍රධාන පංගුකාරයො දෙන්නයි.ඒ, රාජ්‍ය අංශයයි, පෞද්ගලික අංශයයි. ලංකාවෙ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ සමස්ත ආර්ථිකයක අකාර්යක්ෂම නිසා. ඒ කියන්නේ රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශයත් අකාර්යක්ෂමයි.

 

පෞද්ගලික අංශය අකාර්යක්ෂමයි කිව්වට අපි දකිනවනේ පෞද්ගලික අංශයේ සමාගම් ලාභ ලබනවා?

 

සමාගමක ලාභ අලාභ දිහා විතරක් බලලා මදි. ඒ සමාගම සමස්ත ආර්ථිකයට කරන දායකත්වය මොකක්ද කියන එකත් වැදගත්. උදාහරණයක් විදියට කැසිනෝ ව්‍යාපාරයක් ගන්න, අනෙකුත් කාරණා අමතක කරලා. ඒ කියන්නේ, කළු සල්ලි එළියට ගේන එක හෝ කැසිනෝ ව්‍යාපාරය ආශ්‍රිත අනෙකුත් ව්‍යාපාර ගැන කතාව අමතක කරල කැසිනෝ ව්‍යාපාරය ගැන විතරක් හිතන්න. යම් පිරිසකගෙන් තවත් පිරිසකට මුදල් හුවමාරුවක් විතරයි වෙන්නේ. ඒ ව්‍යාපාර ආයතනය ලාභ ලබන්න පුලුවන්. ඒ උනාට සමස්ත ආර්ථිකයට මොකක්ද වෙලා තියෙන බලපෑම? පාරිභෝජන භාණ්ඩ ආනයන ව්‍යාපාරයක් ගැන හිතුවොත්, ආයතනය ලාභ වෙන්න පුලුවන්. නමුත් අවසානයේ සමස්ත ආර්ථිකයට අයහපත් බලපෑමක් තමයි ඒකෙන් වෙලා තියෙන්නේ.

 

පෞද්ගලික අංශය ලාභ ලබනවා නම් ඇයි රාජ්‍ය අංශය ලාභ ලබන්නේ නැත්තේ?

 

රාජ්‍ය අංශය ලාභ ලබන්නෙ නෑ කියන කතාව වැරදියි. රාජ්‍ය අංශය කියල ගත්තම ගොඩක් ආයතන ලාභ පරමාර්ථයෙන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණ විදියට අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක අංශ ගන්න පුලුවන්. යම්කිසි වාණිජ අරමුණකින් ක්‍රියාත්මක වන අංශවලින් විශාල වශයෙන් අලාභ ලබන්නෙ බලශක්ති ක්ෂේත්‍රයයි, ගුවන් ගමන් අංශයයි. අනෙකුත් අංශ එක්කො ලාභ ලබනවා. නැත්තම් ලබන අලාභය සැලකිව යුතු මට්ටමක නෑ.

 

ඉතිං ඒකෙන් කියන්නෙ රජයට හරියට කරගන්න බෑ කියලනේ. එහෙව් එකේ ඔක්කොම රජයෙන් කරන්න ඕන කියල කියන්නෙ ඇයි?

 

අපි කොයිම වෙලාවකවත් හිතන්නෙ නෑ සියලු දේ රජය විසින් කරන්න ඕන කියලා. අපේ රටට ආර්ථික සමෘද්ධිය ළඟා කරගන්න නම්, රටේ නිෂ්පාදය කවුරුන් හෝ විසින් ඉහළ නංවන්න ඕනේ. ඒ දේ කවුරුත් කරන්නෙ නැත්තම් රජය ඒකට මැදිහත් වෙන්න ඕනේ. ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදිල යන්න ඕනේ. ප්‍රතිලාභ ජනතාව අතර බෙදිල යන්න ක්‍රමයක් නැත්තම් රජය ඒකට මැදිහත් වෙන්න ඕනේ. සියලු දේ පෞද්ගලීකරණය කළ යුතුයි කියන එකට විරුද්ධ වෙනවා කියන්නේ සියලු දේ රජය විසින් කරන්න ඕනෙ කියන එක නෙවෙයි.

 

ඒ කියන්නෙ දැං තියෙන රාජ්‍ය ආයතන එහෙමම තියාගෙන යන්න ඕන?

 

නෑ. දැං තියෙන ආයතනවල අකාර්යක්ෂමතා තියෙනවා. අඩුපාඩු තියෙනවා. සේවක අතිරික්තයන් තියෙනවා. දියුණු වෙන්න ඕන තැන් තියෙනවා. ඒ ඒ අඩුපාඩු හදාගන්න ඕන. සමහර අලුත් ආයතන ඇති කරන්න වෙන්න පුලුවන්. සමහර ආයතන අහෝසි කරන්න වෙන්න පුලුවන්. සමහර ආයතන කිහිපයක් එකතු කරල එක් ආයතනයක් බවට පත් කරන්න වෙන්න පුලුවන්. සමස්ත රාජ්‍ය අංශයම ප්‍රතිව්‍යුහගත කරන්න පුලුවන්. ප්‍රතිව්‍යුහගතකරනවා කියන්නෙ පෞද්ගලීකරණය කිරීම විතරක් නෙවේ. සියලු දේ පෞද්ගලීකරණය කළ යුතුයි කියන එකට විරුද්ධ වෙනවා කියන්නේ, දැං තියෙන රාජ්‍ය අංශය නියමයි කියන එක නෙවෙයි.  

 

ලෝකෙ රටවල් දියුණු වෙලා තියෙන්නේ නිදහස් වෙළෙඳාමෙන් නම්, අපිත් දියුණු වෙන්න නම් ඒ දේ කරන්න ඕන නේද? ඉතිං ඒකට පෞද්ගලීකරණය කරන්න ඕනෙ නේද?

 

ඔය කියන නිදහස් වෙළෙඳාමෙන් දියුණු වෙච්ච රටවල් නම් නෑ. දියුණු උනාට පස්සෙ නිදහස් වෙළෙඳාම කියන එකට යොමු වුණ රටවල් නම් ඉන්නවා. ඇමරිකාව, යුරෝපයේ රටවල් අවුරුදු සිය ගානක් ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, ආසියානු රටවල්වල සම්පත් කොල්ල කාලා දියුණු වෙලා අපිට කියනවා, එන්න එන්න නිදහස් වෙළෙඳාම තමා දියුණු වෙන්න තියෙන එකම මාර්ගය කියලා. නැගෙනහිර ආසියානු රටවල් වුණත් දියුණු වුණේ දැඩි රාජ්‍ය මැදිහත්වීමකින් ආර්ථිකය සැළසුම් කරල තමන්ගෙ නිෂ්පාදනය වැඩි කරගෙන. ඊට පස්සෙ තමා එයාලා ආර්ථිකයන් විවෘත කරන්නේ.

 

එහෙනම් මොකක්ද දැන් කරන්න ඕනේ?

 

ආයෙත් කියන්නේ, අපේ රටට ආර්ථික සමෘද්ධිය ළඟා කරගන්න නම් රටේ නිෂ්පාද ය කවුරුන් හෝ විසින් ඉහළ නංවන්න ඕනේ. ඒ දේ කවුරුත් කරන්නෙ නැත්තම් රජය ඒකට මැදිහත් වෙන්න ඕනේ. ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදිල යන්න ඕනේ. ප්‍රතිලාභ ජනතාව අතර බෙදිල යන්න ක්‍රමයක් නැත්තම් රජය ඒකට මැදිහත් වෙන්න ඕනේ. මොකද රජය තමයි ජනතාව වෙනුවෙන් තියෙන විශාලතම ආයතනය.

 

සටහන – ඩෝපා 

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *