සමපේක්ෂණය නිසා බඩු මිල ඉහල යන හැටි

ලංකාවේ ජනතාව මේ වන විට මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නයක් වෙන්නේ උද්ධමනයයි. ලංකාවේ ජනතාව විතරක් නෙවෙයි ගෝලීයවත් දැවෙන ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ උද්ධමනය. එනම් භාණ්ඩවල මිල ඉහල යාමේ වේගය සීඝ්‍ර ලෙස වැඩි වීම. ගෝලීයව භාණ්ඩ මිල ඉහල යාම නිසාවෙන් සංවර්ධනය වෙමින් පවතින හා විදේශ විනිමය අස්ථායීභාවයන්ගෙන් බැට කන ලංකාව වැනි රටවල් වලට සංවර්ධිත රටවලට සාපේක්ෂව වඩා විශාල වන්දියක් ගෙවීමට සිදු වෙලා තිබෙනවා. ගෝලීය වෙලෙදපලින් මිලදී ගැනීමට අප සතුව ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැති වීම නිසාවෙන්ම අපට ඉතා අධික මිලක් ගෙවමින් භාණ්ඩ මිලදී ගන්නටත් සිදු වෙනවා.

 

ඇත්තටම ගෝලීය වෙලඳපොල තුල ඉන්ධන, ආහාර හා වෙනත් භාණ්ඩ මිල ඉහල යමින් පවතින්නේ ඇයි? රුසියාව හා යුක්රේනය අතර ඇති යුද්ධය හා වසංගතය නිසාවෙන්, භාණ්ඩ සැපයුම් දාමයන් කඩා වැටීම නිසාවෙන් සැපයුම් පැත්තෙන්ද ; ලෝකයේ මහ බැංකු විශේෂයෙන්ම ඇමරිකානු මහ බැංකුව විසින් මුදල් අච්චු ගසමින් මූල්‍ය සැපයුම වැඩි කිරීම නිසා ඉල්ලුම පැත්තෙන්ද ලබා දෙන තල්ලුව නිසාවෙන් ගෝලීය වෙලඳපොල තුල භාණ්ඩ මිල ඉහල යමින් පවතින බව කියවෙනවා.

 

සැපයුම් දාම කඩා වැටීම නිසාවෙන් මිල ඉහල යන බව යම් ප්‍රමාණයකට ඇත්ත වුනත්, මේ සඳහා බලපාන තවත් වැදගත් සාධකයක් තිබෙනවා. ඒ තමයි මිල සමපේක්ෂණය (price speculation) නම් සංසිද්ධිය. බොහෝ විට භාණ්ඩ මිල ඉහල යන්නේ මිල සමපෙක්ෂණය කිරීම නිසාවෙන් බව ඉන්දියානු ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ඝෝෂ් පෙන්වා දෙනවා.

 

මිල සමපේක්ෂණය යනු?

 

මිල සමපේක්ෂණය යනු භාණ්ඩවල අනාගත මිල ගණන් පිලිබදව වර්තමානයේදී කරනු ලබන ගණන් බැලීම්. රුසියාව හා යුක්රේනය අතර යුද්ධය නිසාවෙන් සැප්තැම්බර් මාසය වන විට තිරිගු පිටි හිඟ විය හැකි බවට තිරිගු පිටි මිලදී ගන්නා පිරිස් ගණන් බලනවා. ඒ අනුව ඔවුන් අත මුදල් පවතිනවා නම් සැප්තැම්බර් මාසය වන විට ඉහල මිලක් ගෙවා තිරිගු පිටි මිලදී ගැනීමට ඔවුන් ඉදිරිපත් වෙනවා. එමෙන්ම දැනට වෙලඳපාල තුල තිබෙන තිරිගු පිටි ගොඩ ගසා ගැනීමටත් ඔවුන් කටයුතු කරනවා. ඒ හරහා හිඟකම තවත් වර්ධනය කරනවා.

 

මේ විදිහට මිල සමපේක්ෂණය කරන්නේ කවුද?

 

එදිනෙදා වැටුපකින් ජීවත් වෙන කම්කරුවෙක්ට මාසකයකට සරිලන බඩු ගන්නා බැහැ වගේම තමයි විදේශ විනිමය සංචිත හීන හා විනිමය අස්ථායීතාවයන්ට මුහුණ දී සිටින ලංකාව වගේ රටවලටත් මේ ආකාරයෙන් අනාගත වෙලෙදපොල තුල මිලදී ගැනීමට ඇති හැකියාව අඩුයි. ධනවත් රටවල ධනපතීන් සමග මිල නියම කරමින් තරග කිරිම සල්ලි නැති රටවලට කිසිසේත්ම කල හැකි දෙයක් නෙවෙයි. ඒ අනුව මිල සමපෙක්ෂණය කරන්නේ ගෝලීය ධනවතුන්. ඔවුන් මෙලෙස මිල සමපෙක්ෂණය කිරීම නිසා මේ වන විට බහුජාතික කෘෂි ව්‍යාපාර හා ඉන්ධන සමාගම් අති විශාල ලාභයක් ලබමින් සිටිනවා.

 

ගෝලීය වෙලඳපොල තුල විතරක් නෙවෙයි ලංකාව ඇතුලේ නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ලංකාව තුලත් මෙලෙසම මිල සමපේක්ෂණය කල හැකියි. අගමැති රනිල් වික්‍රමසිංහ අගෝස්තු මාසයේ ආහාර හිඟයක් එන බව කී විට වි මෝල් හිමියන් හාල් වෙලඳපොලට නිකුත් කිරිම සීමා කිරීමටත්, ලංකාවේ සාපෙක්ෂව ධනවත් පිරිස් ගම්වලටම ගොස් හාල් අනාගතය සදහා මිලදී ගැනීමට ඉදිරිපත් වීමත් පෙන්නුම් කරන්නේ මේ සංසිද්ධියයි.

 

අනාගතය සදහා මිලදී ගැනීම වර්තමානයේ මිල ඉහල නංවනවා. ආහාර නිෂ්පාදකයෙක් දන්නවා නම් සැප්තැම්බර් මාසයේදී හාල් කිලෝවක් රුපියක් 1000කට විකිනිය හැකි බවට, අද එම හාල් තොගය එයට අඩු මිලකට විකිණීමට එම නිෂ්පාදකයා කටයුතු කරන්නේ නැහැ.

 

වෙලඳපොල ක්‍රමයේ සීමාව

 

සමපේක්ෂණය නිසාවෙන් සිදු වන ප්‍රධානම හානිය නම් ධනවතුන්ට භාණ්ඩ හිඟයක් නොමැත වී, දුප්පතුන්ට භාණ්ඩ හිඟයක් ඇති වීමයි. අනාගතයේදී භාණ්ඩ හිගයක් ඇති විය හැකි යැයි පෙනෙනවා නම් භාණ්ඩ බෙදාහැරීම සමානාත්මතාවයේ හා සාධාරණත්වයේ පදනමින් සිදු කල යුත්තේ ඒ නිසයි.

 

ඒ සඳහා සිදු කල යුත්තේ භාණ්ඩ බෙදාහැරීම වෙලඳපොල යාන්ත්‍රණය හරහා නොව රජය මැදිහත් වී සැලසුම්කරන ලද යාන්ත්‍රණයක් හරහා සිදු කිරීමයි. විශේෂයෙන්ම ආහාර වැනි දෙයක් මුදල් ඇති ධනවතුන්ට ගොඩ ගසා ගැනීමට ඉඩ ලබා දී දුප්පත් ජනතාව සාගතය වෙත තල්ලු වෙන තුරු සිටීම ජනතාවට එරෙහිව කරනා අපරාධයක්. ආහාර බෙදා හැරීම සාධාරණ කිරීම යනු සියලු පුරවැසියන්ට ආහාර ලබා ගත හැකි ආකාරයෙන් මිල සමපේක්ෂණය හා ආහාර ගොඩ ගසා ගැනීම නවතා දැමීමයි. ඉන් පසුව රජය මැදිහත් වී ආහාර සලාක කරමින් දුප්පත් හා ධනවත් සියලු දෙනාට පෝෂණ මට්ටම් සපුරා ගැනීම සදහා ආහාර බෙදා හැරීමයි.

 

ඉන්ධන හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන්ද සිදු කල යුත්තේ අත්‍යවශයතාවය මත පදනම් වූ සලාකකරණයක් මිසක අතේ සල්ලි ඇති පුද්ගලයින්ට තෙල් වැඩි මිලට ලබා ගැනීමට ඉඩ ලබා දීම නෙවෙයි. මේ කාර්යය සරලවම සලාක කාඩ් පතක් හරහා සිදු කල හැකියි. එක් පුද්ගලයෙක් පරිභෝජනය කරන භාණ්ඩ ප්‍රමාණය රජය විසින් සොයා බලන්නේ නැතිව වැඩිම ලන්සුවට භාණ්ඩ විකිණීමට ඉඩ ලබා දීම දුගී ජන කොටස් තවත් අසරණ කිරීම කෙරෙහි හේතු වෙනවා.

 

සටහන – ලක්මාලි හේමචන්ද්‍ර

 

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *