අපනයන-කේන්ද්‍රීය සංවර්ධනයේ බොරු වළවල්

ඉන්දීය ජාතික ආර්ථික විශ්ලේෂකයෙක් වන ආචාර්ය ප්‍රභාත් පට්නායික් විසින් සම්පාදිත පහත ලිපිය මේ යුගයේ අධිපතිව පවතින්නා වූ අපනයන-කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කරයි. අපනයන-කේන්ද්‍රීය ආර්ථික ලෙස හැදින්විය හැකි රටවල වර්ග දෙකක් හඳුනා ගන්නා හෙතෙම ලංකාව, බංගලාදේශය බඳු රටවල මොඩලය අසාර්ථක වන්නේ ඇයිදැයි පැහැදිලි කරයි. 

 

                                                                    ***                                                             

 

ශ්‍රී ලංකාවට සහ පකිස්ථානයට පසුව, බලවත් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින, අපගේ තුන්වන අසල්වාසී රට බවට බංගලාදේශය පත්ව තිබේ. මේ වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 4.5 ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යාචනය කොට තිබෙන එරට, තවදුරටත් ඩොලර් බිලියනයක මුදලක් ලෝක බැංකුවෙන් හා බිලියන 2.5-3 අතර වූ ප්‍රමාණයක් බහුපාර්ශවීය ආයතන හා ණය දෙන රටවලින් ඉල්ලා ඇත. නිර්භීත මුහුණක් මවා පෑමට ආණ්ඩුව උත්සාහ කලත්, බංගලාදේශය වැඩෙන වෙලඳ හිඟයකට මුහුණ දී සිටින අතර, මුදල් ඒකකය අවප්‍රමාණයට, දැඩි උද්ධමනයකට හා විශාල විදුලිය කැපීමකට හේතු වී තිබෙන බලශක්ති අර්බුදයකට ද මුහුණ දී සිටී.

 

උත්ප්‍රාසාත්මක ලෙස, මීට මාස කීපයකට කලින්, බංගලාදේශය සැලකුණේ ‘සංවර්ධනයේ’ සාර්ථක උදාහරණයක් වශයෙනි. බොහෝ සංවර්ධන දර්ශකවලට අනුව, සැබැවින්ම එය සිත්ගන්නා සුලු ප්‍රගතියක් පෙන්නුම් කොට ඇත. කාන්තා සාක්ෂරතාවය සියයට 73 දක්වා ඉහල නැග තිබෙන අතර, ලමා මරණ අනුපාතය පකිස්ථානයේ ප්‍රමාණයෙන් අඩක අගයට පහත වැටී තිබේ. එහි ‘මානව සංවර්ධන දර්ශකය’ ඉන්දියාව, පකිස්ථානය හා කලාපයේ වෙනත් රටවල් කීපයකට වඩා හොඳ අගයක පවතී. බොහෝ අය එය ‘ආර්ථික ආශ්චර්යයක්’ ලෙසට හැඳින්වූහ. ඊට හේතු සාධක නොතිබුණා ද නොවේ. නිදහස ලබන විට, බොහොම දුගී රටක් ලෙස සැලකුණු රටක්, සිය අසල්වැසි රටවල් පරයා යන ලෙසකට ඉදිරියට පැමිණ තිබෙන අතර එරට හදිසියේ මුහුණ දී සිටින ආර්ථික අපහසුතා බොහෝ දෙනාට මහත් පුදුමයක් ලෙසට දිස් වන්නේ එම නිසාය.  

 

ශ්‍රී ලංකාවේ අර්බුදය වාගේම, මෙම අර්බුදයටත් වගකිව යුත්තේ ‘දූෂණය’ ලෙසට හුවා දැක්වීමේ ප්‍රවණතාවයක් ඇත. දූෂණය යනු බෙහෙවින් නරක දෙයක් බවට සැක නැති නමුදු, මෙය බොහොම මතුපිට තලයේ පැහැදිලි කිරීමකි. යුක්‍රේන යුද්ධයේ බලපෑම නිසා භාණ්ඩ ගණනාවක ජාත්‍යන්තර මිල ගණන් ඉහල ගොස් තිබෙන බව හා මේ නිසා තවදුරටත් ආනයනවලට ගෙවිය නොහැකි තරමට බංගලාදේශයේ ආනයන වියදම ඉහල නැංග බව ; මේ තුල ආනයන මත යැපෙන රටක් ලෙස පාරිභෝගික භාණ්ඩ හිගයක් ඇති වූ බව සහ උද්ධමනය ඉහල ගියේ ඒ නිසා බවට වූ පැහැදිලි කිරීම වඩා තාර්කික එකකි. විදේශ විනිමය — මූලික වශයෙන් ඩොලර් හිගකම මුදල් ඒකකය අවප්‍රමාණය වීමෙහිලා හේතු වී තිබේ. මේ පැහැදිලි කිරීමේ තිබෙන ප්‍රශ්නය නම්, එය හුදෙක් ආනයන කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමය, බංගලාදේශයේ අපනයන ආදායමේ සියයට 83 ක් සංයුක්ත කල ඇගලුම් ආදායම පහත වැටීම කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමය.

 

ඇතැම් බංගලාදේශ ආර්ථික විද්‍යාඥයන් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මේ සදහා වගකිව යුතු බවට පවසති. පොලී අනුපාතිකය ඉහල නංවන්නේ නැතිව, එය ස්ථාවර අගයක තබාගැනීමට එරට කාලයක් තිස්සේ කටයුතු කලේය. පොලී අනුපාතිකය ඉහල නැංවූවා නම්, වෙලඳ හිඟය අඩු කරගැනීමට ප්‍රමාණවත් වෙන තරම් පෞද්ගලික මූල්‍ය ප්‍රවාහයක් ආකර්ෂණය කටගැන්මට තිබූ බවට ඔවුන් තර්ක කරති. එසේ කල විට, විනිමය අනුපාතිකය අවප්‍රමාණය නොවනු ඇත ; එබඳු අවප්‍රමාණයක් අපේක්ෂාවෙන් විදේශ සංක්‍රාම වියැලී යාම සිදු නොවනු ඇත. මෙය ද නැවත වතාවක් නොගැඹුරු පැහැදිලි කිරීමකි. ප්‍රශ්නය ඊට වඩා ගැඹුරු තලයක එකකි. වෙනත් බොහෝ රටවල් මෙන්ම, නව ලිබරල්වාදී යුගයේ ආරම්භයේ සිට බංගලාදේශය අනුගමනය කරමින් සිටින අපනයන-අභිමුඛ සංවර්ධන උපාය මාර්ගයේ ස්වභාවය තුල ප්‍රශ්නයේ සැබෑ හේතුව ගැබ්ව තිබේ.

 

අපනයන-අභිමුඛ සංවර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම මේ වනවිට සංවර්ධන ආර්ථික විද්‍යාඥයන් අඩුම තරමින් ශත වර්ස භාගයකට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් සිටිති. ලෝක බැංකුවේ වචනවලට අනුව, නැගෙනහිර ආසියානු රටවල ‘ආස්චර්යය’, ඉන්දියාව බඳු රටවල් අනුගමනය කල ‘අභ්‍යන්තර-අභිමුඛ’ ආර්ථික උපාය මාර්ගය සමග සංසන්දනය කෙරුණු අතර, පසුව කී රටවල දුබල ආර්ථික වර්ධන වේගය වෙත සැඳහුම් කෙරිණ. මෙම සමස්ත සාකච්ඡාවට අසුනොවන, සැබෑ ජීවිතය තුල වැදගත් වන වැදගත් සාධකයක් තිබේ.

 

ආර්ථිකයක සමහාර ඉල්ලුම සමන්විත වන්නා වූ විවිධ වියදම් වර්ග අතුරින් ඇතැම් සාධක ස්වායක්ත ඒවාය; අනෙක් ඒවා සමහාර ඉල්ලුම විසින් අනුබල ලබන සාධකයන්ය. අපනයන හා රාජ්‍ය වියදම සාමාන්‍යෙයන් ප්‍රධානතම ස්වායක්ත අයිතම ලෙස සැලකෙන අතර, පරිභෝජනය, මූලික වසයෙන් ආදායම් මට්ටම අනුව තීරණය වන්නකි. ආදායමින් ස්වායක්ත වන කොටසක් පරිභෝජනය තුලත් පවතින බව සැබෑ නමුත්, එය ප්‍රකාශිත වන්නේ ඇතැම් අවස්ථාවල පමණි. උදාහරණ ලෙස, මෙතෙක් කල් පාරිභෝගිකයන් වෙත නොපැවති භාණ්ඩයක් හදිසියේ අලෙවිය සඳහා ඉදිරිපත් වූ විට බඳු අවස්ථාවලය.

 

ඉල්ලුමේ වර්ධනය සහ ආර්ථිකයේ නිමැවුම ඉල්ලුමේ ස්වායක්ත සාධකයේ වර්ධනය මත රැඳී පවතී. දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ අය වැය හිඟය මත දේශසීමා අතර සිදුවන මූල්‍ය ප්‍රවාහ ගලනයන් සීමා පනවන නව ලිබරල් ආර්ථිකයක් තුල, එමෙන්ම, ධනවතුන් මත බදු අය කිරීමට ආණ්ඩුවට තිබෙන හැකියාව මත ප්‍රායෝගික සීමා ද පවතින — අය වැය හිඟය වැඩි නොකොට, ඉල්ලුම උත්තේජනය කිරීමට නොහැකි තත්වයක් තුල, වර්ධනයේ ප්‍රධාන උත්තේජකය ලෙස අපනයන ඉස්මතු වී තිබේ. කෙටියෙන් කියනවා නම්, නව ලිබරල් ආර්ථිකයක ලක්ෂණය අපනයන-අභිමුඛ වර්ධනය මත මූලික වශයෙන් යැපීමය.

 

කෙසේ වුවද, අපනයන-අභිමුඛ වර්ධන උපාය මාර්ගය නව ලිබරල් සැකැස්මකට පමණක් අනන්‍ය වූවක් නොවේ. ආණ්ඩුව ආර්ථික වර්ධනය සම්බන්ධව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතරේම — ආණ්ඩුවට ස්වකීය වියදම වැඩි කොට, දේශීය වෙලඳපොල වර්ධනය කරනු වෙනුවට, සචේතනිකව අපනයන වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කල හැක. එබඳු අවස්ථාවක ද අපට දැකගත හැකි වනු ඇත්තේ රාජ්‍ය වියදම්-මූලික වර්ධනයකට වඩා අපනයන-අභිමුඛ වර්ධනයකි. නැගෙනහිර ආසියානු රටවල සිදුවූයේ එය බව අවශ්‍ය නම් බොහෝ දෙනෙක්ට තර්ක කල හැක.

 

අපනයන-අභිමුඛ සංවර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල ප්‍රභේද දෙකක් සලකුණු කල යුතු වේ. පලමු රටවල් විශේෂය නම්, විධිමත් ලෙස විශාල ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වාගෙන යන, ඊට අනුරූපීව, ශක්තිමත් විදේශ සංචිත පවත්වා ගෙන යන රටවල්ය. චීනය මේ සම්බන්ධ හොඳ උදාහරණයකි. මෙබඳු ආර්ථිකයක් සම්බන්ධව ගත්කල, ලෝක ආර්ථික තත්වයේ සිදුවන ඕනෑම වෙනසක් බලපාන්නේ ජංගම ගිණුමේ ඇති පරිමාණයට පමණකි. මෙය, සංකේන්ද්‍රණය වී තිබෙන විදේශ විනිමය සංචිත කෙරෙහි කරන්නේ ආන්තික බලපෑමකි. අර්බුදයකට ලක් නොවී, මෙබඳු අවස්ථාවක් තරණය කරගැන්මේ හැකියාව මේ රටවල් සතුය.  

 

කෙසේ වුවද, බොහෝ රටවල් අයිති වන්නේ දෙවැනි ප්‍රවර්ගයටය. මේ රටවල් අඩු වැඩි වසයෙන් අඛණ්ඩ ලෙස ජංගම ගිණුම් හිගයකට මුහුණ දී සිටින රටවල් වෙති. ඔවුන් ගෙවුම් ශේෂ හිගය පියවා ගන්නේ විදේශ ණය වලිනි — පෞද්ගලික ණය හිමියන්ගෙන් ගන්නා ණය ද මීට ඇතුලත්ය. ඉන්දියාව අයිති වන්නේ මේ ගණයටය. දකුණු ආසියාවේ හා ගෝලීය දකුණේ බොහෝ රටවල් මේ වර්ගයට අයත්ය.

 

මෙම දෙවන වර්ගයට අයත් රටවල, සංචාරක ඉපැයුම් අඩු වීමට හේතුවන වසංගත තත්වයක් (ලංකාව) හෝ ආනයන වියදම් ඉහල යාමට හේතුවන යුක්‍රේන යුද්ධය හෝ ලෝක ආර්ථික අවපාතය නිසා අපනයන ආදායම්වල පහත වැටීමක් (බංගලාදේශය) ආදී වූ යම් බාහිර හේතුවක් නිසා ජංගම ගිණුමේ හිගය වැඩී වීමක් සිදු වී නම්, ආර්ථිකය මත එය කරන බලපෑම පෞද්ගලික පාර්ශව — විශේෂයෙන් පෞද්ගලික ප්‍රාග්ධන සම්පාදකයන් හැසිරෙන ආකාරය නිසා තවත් තීව්‍ර වේ. ජංගම ගිණුමේ හිගය වැඩි වන විට, ඒ නිසා පෞද්ගලික මූල්‍ය ප්‍රවාහ සඳහා වැඩි අවශ්‍යතාවයක් ඇති වූවද, ජංගම ගිණුමේ සිදුවන මෙම පලල් වීම වැඩි මූල්‍ය ප්‍රවාහ පිටගලනයක් සඳහා හේතු වේ.

 

මෙය සිදුවන්නේ මෙසේය. ජංගම ගිණුමේ පරතරය පලල් වීම සිදුවන රටේ මුදල් ඒකකය අවප්‍රමාණය වනු ඇති බවට පෞද්ගලික ප්‍රාග්ධන සම්පාදකයන් අපේක්ෂා කරති. තමන්ගේ ලාභය පිලිබඳ පමණක් සැලකිලිමත් වන ඔවුන්, රටින් පිටට අරමුදල් රැගෙන යති. මේ තුල විදේශ විනිමය ප්‍රශ්නය වඩාත් දරුණු තත්වයට පත්වේ. සියල්ල ‘වෙලඳපොලට’ බාර දී තිබෙන්නේ නම්, මෙවැනි තත්වයක් ඇති වූ විට විදේශ විනිමය වෙලඳපොලේ සමතුලිතයක් වෙත කවදාවත් රට ආපසු ඒ දැයි සහතිකයක් දිය නොහේ. රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වන්නේ මෙවිටදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලැබුණු විට, විදේශ විනිමය අවප්‍රමාණය පාලනය කරගත හැකි අතර, එවිට විදේශ විනිමය වෙලඳපොල යම් සමතුලිතයක් කරා ලගා කරගත හැකි වනු ඇත. කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීම සඳහා විශාල මිලක් අපේක්ෂා කරයි ; සුබසාධන වියදම් කැපීම, පොදු බෙදාහැරීමේ පද්ධතිය දුර්වල කිරීම හා ජාතිය සතු සම්පත් පිටරැටියන්ට පවරා දීම ආදී වූ ප්‍රතිපත්ති ඒ අනුව ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

 

විදේශ විනිමය තුල සිදුවන මුල් හිගය, පෞද්ගලික ප්‍රාග්ධනයේ හැසිරීම නිසා ඉතා කෙටි කලක් තුල  විශාල හිගයක් බවට පරිවර්තනය වීම හා ඒ තුල රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තල්ලු කිරීම තුල ‘ආශ්චර්යයන්’ ලෙස සැලකෙන රටවල්, එක්වරම බංකොලොත් වීමේ හේතුව ගැබ්ව තිබේ. අපනයන-අභිමුඛ වර්ධනයේ තිබෙන නිශ්චිත ප්‍රශ්නය මෙයයි ; එහි බැලූ බැල්මට පෙනෙන සාර්ථකත්වය එක් ක්ෂණයෙන් අතුරුදහන් විය හැක. මෙය සිදුවන්නේ අපනයන-කේන්ද්‍රීය සංවර්ධනය හඹා යාම තුලින් රටවල් ගෝලීයකරණය වූ ප්‍රාග්ධනයේ චලනය මත පරායක්ත වීම සිදුවන බැවිනි.

 

දීප්තිමත් මානව සංවර්ධන වාර්තා සහිත අපගේ අසල්වැසි ලංකාව හා බංගලාදේශය බඳු රටවල පවා මෙය සිදුවන ආකාරය අපි දුටිමු. ලෝක ආර්ථිකය එක තැන පල්වෙමින් පවතින පසුබිමක, එම පල්වීමෙන් තුන්වන ලෝකයේ රටවල අපනයනවලට පහර වැදී තිබෙන මොහොතක, බංකොලොත්භාවයට ලක්වන රටවල ලැයිස්තුව එන්න එන්න වැඩි වන්ට නියමිතය. එහි විශාල ආර්ථිකය හා විදේශ සංචිතවල විසාලත්වය තිබිය දී (මෙම සංචිත නිර්මාණය වී තිබෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තයෙන් නොව, මූල්‍ය ප්‍රවාහ ගලනයෙනි) ඉන්දියාව වුව මෙම තර්ජනයෙන් නිදහස් නැත. ඉන්දියාව සම්බන්ධයෙන් තිබෙන එකම සැනසිල්ලට කාරණාව ආහාර අතින් ස්වයංපෝෂී වීම හා අධිරාජ්‍යවාදය විසින් ‘තහංචි’ පැනවූ රටවලින් වුව තෙල් ආනයනය කිරීමට තරම් වූ විදේශ සම්බන්ධතා පැවැතීමය. මෝඩි ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූවා නම්, ආහාර ස්වයංපෝෂිතභාවය වුව නැති වීමට ඉඩ තිබුණි. එහෙත් ගොවිජන ව්‍යාපාරය රට ඒ ඉරණමින් ගලවා ගත්තේය.

 

අපනයන-අභිමුඛ සංවර්ධනය පිලිබඳ අදහස නව ලිබරල්වාදී යුගය තුල යලි පැන නැගීමට ප්‍රථම, අන්තර්-යුදකාලීන සමය තුල අපකීර්තියට ලක්ව තිබුණකි. ලෝක ධනවාදය නව අර්බුදයකට මුහුණ දෙමින් සිටින වත්මන් යුගය තුල, එයට විකල්ප මගක් ගැන සිතන ලකුණු යලිත් සිතිජය මත පහල වී ඇත.  

 

 

Comments (0)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *