කෝවිඩ්-19 වසංගතය සමග ලෝක ආර්ථිකය මත ඇති වූ බලපෑම නිසා ගෝලීය දකුණේ බොහෝ රටවල් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පෑවේ ය. පශ්චාත්-වසංගත ලෝකය තුල ණය අර්බුදයට ලක්ව තිබෙන එකම රට ලංකාව නොවේ. සැම්බියාව, ඝානා දේශය, ඊජිප්තුව, ලෙබනනය, පකිස්ථානය, ටියුනිසියාව, මලාවි හා එල් සැල්වදෝර් ආදී රටවල් ගණනාවක් ක්ෂණිකව බංකොලොත්භාවයට පත්වීමේ අවදානමට ලක් වූ අතර, තවත් රටවල් දුසිම් ගණනක් අර්බුදයට ලක්ව සිටියි . මේ සියලු රටවල් තුන් වෙනි ලෝකයේ රටවල්ය ; එනම් ඌන සංවර්ධිත රටවල් ය.
සංවර්ධනය පිලිබඳ කතිකාව අන්තර්ජාතික මට්ටමින් මතු වූයේ යටත් විජිත ලෙස පැවැති රටවල් නිදහස ලබන්ට වූ 1950 ගණන්වල සිටය. 1960 ගණන්වල දී නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ලෙස එක්සත් වූ ආසියාවේ හා අප්‍රිකාවේ අලුත නිදහස ලද රටවල් ගණනාවක් පැරණි යටත් විජිත අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යයට අභියෝග කරමින්, නව අන්තර්ජාතික ආර්ථික පර්යායක (new international economic order) අවශ්‍යතාවය මතු කළ හ. මීට සමගාමීව, ‘සංවර්ධනය සඳහා අයිතිය’ නමින් නව අදහසක් ද ඉදිරිපත් කළ හ. සංවර්ධිත රටවල් එම සෞභාග්‍යය උදා කරගත්තේ යටත් විජිත රටවල් සූරාකෑමෙන් බවත් ; ඊට වන්දි ලෙස නව නිදහස් රටවලට සංවර්ධනය වීම සඳහා ආධාර කිරීමේ වගකීම එම රටවල් සතු බවත් මෙම සංකල්පයෙන් අවධාරණය කෙරිණ.
කෙසේ වුවද, 1980 ගණන් වන විට, නව අන්තර්ජාතික ආර්ථික පර්යාය ව්‍යාපෘතිය යට කරමින් නව ලිබරල් ගෝලීයකරණය ඉදිරියට ආවේය. සංවර්ධනය සඳහා අරමුදල් හා න්‍යාය සපයන ආයතනය ලෙස ලෝක බැංකුව ඉස්මතු විය. කෙසේ වුව ද, ගෝලීය දකුණේ රටවල් මුහුණ දී සිටින වර්තමාන ඛේදවාචකය විසින් පෙන්නුම් කරන්නේ, නව ලිබරල් ගෝලීයකරණය විසින් ලබා දුන් සංවර්ධනය පිලිබඳ ප්‍රතිඥාව පුස්සක් බවට පත්වී තිබෙන බව ය.
මෙම ලිපියේ අරමුණ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ මෙතෙක් කල් පැවැති කතිකාවන්ගේ ස්වභාවය විමර්ශනය කරමින්, සංවර්ධනය සඳහා නව සුසුමාදර්ශයක අවශ්‍යතාවය ජාත්‍යන්තර මට්ටමින් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කිරීමය. 1980 ගණන්වල බලවත් වූ නව ලිබරල් ගෝලීයකරණ සුසුමාදර්ශය අසමත් වී ඇත. තව ද මේ වනවිට ලෝකය තුල ඇති වෙමින් තිබෙන බහුධ්‍රැවීයකරණයේ පසුබිම තුල, නව සංවර්ධන න්‍යායක අවශ්‍යතාවය දැඩි ලෙස මතු වෙමින් තිබේ. මෙම නව සුසුමාදර්ශය 1970-1979 යුගයේ පැවැති නව අන්තර්ජාතික ආර්ථික පර්යාය පිළිබඳ අදහස වත්මන් යුගයේ කොන්දේසි තුළ යළි පුනරුදයට ලක්කිරීමක් මත පදනම් විය යුත්තකි. එසේම, 1970 ගණන්වල ජනප්‍රිය වූ විකල්ප සංවර්ධන මාදිලියේ පැවැති සීමා අබිබවනය කිරීමෙහි ලා සමත් විය යුත්තකි.
තුන්වෙනි ලෝකයේ රටවල සංවර්ධනය පිලිබඳ මෙතෙක් කල් පැවැති සාකච්ඡාවල ඉතිහාසය අපට අවධි හතරක් අනුව හඳුනාගත හැක ; එනම්, (A) නූතනකරණ න්‍යාය (1944-1970); (B) නව අන්තර්ජාතික ආර්ථික පර්යාය (1970-1979); (C) නව ලිබරල්වාදය හා ගෝලීයකරණයේ යුගය (1979-2008) සහ (D) වත්මන් සංක්‍රමණීය අවධිය ලෙසටය. වත්මන් මොහොත ගැන කථා කිරීමට පෙර, මෙම ඓතිහාසික අවධීන් ගැන යම් ආවර්ජනයක් සිදු කරගැනීම ඇවැසි ය.
නූතනකරණ න්‍යාය (1944-1970)
දෙවන ලෝක යුද්ධයට පසු ලෝක ආර්ථික රටාව ගොඩනැගුණේ බ්‍රෙටන්වුඩ්ස් සම්මුතිය (1944) මගින් ඇති කල ආයතන පද්ධතිය මත ය. දෙවැනි ලෝක යුද්ධයට තුඩු දුන් ආකාරයේ ආර්ථික අර්බුදයක් බටහිර රටවල ඇති නොවීමට වග බලා ගැනීම බ්‍රෙටන්වුඩ්ස් ආයතනවල මූලික අරමුණ විය. පැරණි යටත් විජිත රටවල සංවර්ධනය මුල්කාලීනව මෙම ආයතනවල න්‍යාය පත්‍රයේ කොටසක් නොවී ය. එහෙත් මේ රටවල ජාතික විමුක්ති අරගල පැන නැගීම, ඒවාට සෝවියට් සංගමය ආධාර කිරීම, කොමියුනිස්ට්වාදය පෙරදිග රටවල පැතිර යාමේ ‘භීතිය’ ආදී වූ සාධක මත පසුකාලීනව සංවර්ධනය පිලිබඳ ප්‍රශ්න දෙස අවධානය යොමු කරන්ට මෙම පද්ධතියට සිදු විය.
මුල්කාලීනව, තුන්වන ලෝකයේ සංවර්ධනය පිලිබඳ න්‍යාය ගොඩනැගුණේ ඩබ්ලිව්. රොස්ටොව් The Stages of Economic Growth: A Non-Communist Manifesto කෘතියේ ඉදිරිපත් කල ‘නූතනකරණ න්‍යායට’ අනුකූල වන ලෙසට ය. රොස්ටොව් ඇමරිකානු ජනාධිපති ලින්ඩන් බී ජොන්සන්ගේ උපදේශකයෙක් විය. ඔහුට අනුව සංවර්ධනය අවධි තුනකින් යුක්තය ; ඒ අනුව ‘සාම්ප්‍රදායික සමාජ’ කාර්මිකකරණය හා ආර්ථික වර්ධනය හරහා ‘පරිණත සමාජ’ බවට පත් වේ ; පරිණත සමාජවල ජනිත වන ජාතික ප්‍රභූ පන්තිය මෙම සාම්ප්‍රදායික සමාජ ඉහළ මට්ටමේ සමූහ පරිභෝජනයක් සහිත නවීන සමාජයක් දක්වා වර්ධනය කිරීමට උපකාරී වෙයි.
මෙම න්‍යාය අනුව සංවර්ධනයට තිබුණු බාධක ඒ ඒ රටවල අභ්‍යන්තර සාධකයන් ය. ගෝලීය ආර්ථිකය තුල වූ අසමාන ශ්‍රම විභජනය බඳු යටත්විජිතවාදය විසින් ඇති කළ ප්‍රශ්න නොතකා හැරුණි. ලොව සියලු සමාජ සංවර්ධනය දක්වා වූ රේඛීය ගමනක යෙදී සිටී. තෙවන ලොව රටවල්වලට දියුණු වීමට නොහැකි වී තිබෙන්නේ එම රටවල තිබෙන සාම්ප්‍රදායික, සංස්කෘතික ලක්ෂණ නිසා ය. මෙම රටවල් සමාජවාදී කඳවුර වෙත ඇදී යාම වැලැක්වීම සඳහා බටහිර රටවල් සංවර්ධන ආධාර ලබාදිය යුතු බවට රොස්ටොව් අවවාද කළේ ය. බටහිර බහුජාතික සමාගම්වල අභිලාෂ සමග සෘජුව නොගැටෙන ක්ෂේත්‍ර වෙත මෙම රටවල ආර්ථිකයන් යොමු කිරීම සඳහා ඒ අනුව ආධාර සැපයුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු සංවර්ධන දශකය (1960-1970) ප්‍රධාන වශයෙන් ආභාෂය ලැබුවේ මෙන්න මේ නූතනකරණ මොඩලයෙනි. ලෝක ආර්ථිකයේ නව යටත්විජිත ව්‍යුහයන් පිලිබඳ කිසිවක් නොකී එම සංවර්ධන දැක්ම, අලුත නිදහස් වූ තෙවන ලොව රටවල් බහුපාර්ශවීය සංවර්ධන ඒජන්සි හා පෞද්ගලික ප්‍රාග්ධන වෙලදපොලෙන් ණය ලබාගෙන තම ආර්ථිකයන් නවීකරණය කරගත යුතු බවට පැවසී ය. එලෙස ඇති කරනු ලබන කර්මාන්තවලින් හා අපනයනවලින් එන ආදායමින් මෙම ණය ගෙවිය හැකි වනු ඇත. සාම්ප්‍රදායික සමාජවල සිට, නවීන සමාජය දක්වා අවශ්‍ය පිම්ම පැනීමට ඒ තුළින් හැකිවනු ඇති බවට යෝජනා කෙරුණි.
කෙසේ වුව ද, මෙම නූතනකරණ දැක්ම වැඩි කල් නොගොස් විවේචනයට ලක්විය. ලතින් ඇමරිකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ ලේකම් ලෙස කටයුතු කළ රාවුල් ප්‍රෙබිච් පෙන්වා දුන්නේ තුන්වන ලෝකයේ රටවල් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික භාණ්ඩ අපනයනය කරන බවත්, කාර්මික රටවලින් කාර්මික භාණ්ඩ ආනයනය කරන බවත් – මෙම වෙළෙඳාමේ කොන්දේසි තෙවන ලොව රටවලට එන්න එන්නම අවාසිදායක ලෙස පහත වැටෙමින් තිබෙන බවත් ය. ජාත්‍යන්තර වෙළෙඳාමේ මෙම අවාසිදායක ආකෘතිය පවතින තාක් දුරට නවීකාරක න්‍යාය විසින් අපේක්ෂා කල පිම්ම ඇති නොවන බවට ප්‍රෙබිච් තර්ක කළේ ය.
නූතනකරණ න්‍යාය ගැන මෙම විවේචනය විසින් 1964 දී එක්සත් ජාතීන්ගේ වෙලඳාම හා සංවර්ධනය පිළිබඳ සංවිධානය පිහිටුවීම සඳහා මග පෑදිණ. මෙම සංවිධානයේ ලේඛන සහ ඊට පිටින් නව යටත්විජිතකරණය පිළිබඳ රැඩිකල් න්‍යායවේදීන් හා දේශපාලනඥයන් කළ පැහැදිලි කිරීම් නිසා 1960 දශකය වන විට නූතනකරණ න්‍යායේ සීමාව පිලිබඳ බලවත් සංවාදයක් තුන්වන ලෝකයේ රටවල් තුළ ඇති විය.
මෙහි ප්‍රතිඵල ලෙස, බුද්ධිමය ක්ෂේත්‍රය තුළ ‘පරාධීනතා න්‍යාය’ (dependency theory) නම් නව සුසුමාදර්ශය ඉදිරිපත් විය. පරාධීනතා න්‍යායෙන් කියැවුණේ දේශපාලන වශයෙන් නිදහස් වූවත්, ආර්ථිකමය වශයෙන් තුන්වන ලෝකයේ රටවල් හා අධිරාජ්‍යවාදී රටවල් අතර පරාධීන සම්බන්ධයක් තිබෙන බව යි. ලෝක ආර්ථිකයේ ව්‍යුහාත්මක ලක්ෂණයක් ලෙස මෙම පරාධීනත්වය ආයතනගතව තිබෙන බව යි. මෙම පරාධීනතාවය ඉවත් නොකොට, තෙවන ලොව රටවලට සංවර්ධනය විය නොහැකි බවට ඒ අනුව තර්ක කෙරුණි. පරාධීනතා න්‍යාය යනු පලල් ගුරුකුලයකි – මාක්ස්වාදී නැඹුරුව සහිත බුද්ධිමතුන් මෙන්ම, සංවර්ධනවාදී අදහස් සහිත ශාස්ත්‍රඥයන් ද මෙම මතවාදය දැරූ අය අතර වූ හ.
(ඊලග කොටස පසුවට)
Comments (0)