බැංකු සාදය ව්‍යාපාරිකයින්ට පමණයි. අඩු අදායම් ලාභීන්ට (මර)ණය!

මහජන බැංකුව සතු අක්‍රීය ණය ප්‍රතිශතයෙන් බහුතරයකට වගකිව යුතු ව්‍යාපාර 10ක් පිලිබඳ පහු ගිය දා කෝප් කමිටුව අනාවරණය කළා. කතා බහට ලක්වූ කොම්පැනි හිමියන් අතර දයා ගමගේ වැනි දේශපාලඥ-ව්‍යාපාරිකයින්ද, අර්ජුන් ඇලෝසියස් වැනි බැඳුම්කර  හොරුන්ද, යසසිරි කස්තුරිආරච්චි වැනි බස්නායක නිලමෙලාද, ජෙහාන් අමරතුංග වැනි මහජන බැංකුවේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ද වේ. ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති සමුපාකාර සමිතිවලට අයත් තැම්පතු හරහා ගොඩනැඟුණු සමුපාකාර ෆෙඩරල් බැංකුව විසුරවාහරිමින්, එහි දේපල සහ වත්කම් මුලික ප්‍රාග්ධනය ලෙස භාවිතා කරමින් 1961 ආරම්භ වුනු මහජන බැංකුව ඉහත නම් සඳහන් කුප්‍රකට ව්‍යාපාරිකයින් වැන්නන්ගේ ‘කැටේ’ වුනේ කොහොමද?

 

මහජන බැංකු පනතේ සඳහන් වන ආකාරයට ග්‍රාමීය මූල්‍ය අවශ්‍යතා සැපිරීම මෙන්ම කෘෂිකර්මය, කර්මාන්ත සහ සමුපාකාර ව්‍යාපාරය දියුණු කිරීම මහජන බැංකුවේ මුලික අරමුණු අතර වේ. නමුත් ගමේ මිනිස්සුන්ට මහජන බැංකුවට ලඟා වීමටවත් නොහැකිය. ග්‍රාමීය මූල්‍ය අවශ්‍යතා සැපිරීම මහජන බැංකුව ක්‍රියාත්මක කරන්නේ ග්‍රාමීය අඩු අදායම් ලාභීන්ට ණය නිකුත් කිරීමෙන් නොව, ග්‍රාමීය අඩු අදායම් ලාභීන් හරහා ලාභය උපරිම කරගන්නට ණය දෙන ක්ෂූද්‍ර මූල්‍ය කොම්පැනි වලට ණය දීමෙන්. මහජන බැංකුව පමණක් නොව එහි අනුබද්ධ මහජන ලීසිං කොම්පැණිය (People’s Leasing) මෙන්ම අනිත් රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේත් වර්තමාන තත්වය මෙයයි. සංවර්ධන අරමුණු පෙරදැරි කරගෙන මහජනයා සඳහා ගොඩ නැඟුණු රාජ්‍ය බැංකු අද වන විට දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය වෙලාවට කඩන්නට පුළුවන් ‘කැට’ බවට පත්ව තිබේ. එපමණක් නොව දයා සමුහ ව්‍යාපාරය මෙන්ම MTD වෝකර්ස් සමුහ ව්‍යාපාරය වැනි ව්‍යාපාර වල කොටස් හිමියෙක් ලෙසද මහජන බැංකුව කටයුතු කරයි. ණය ගෙවන්නට බැරි කොම්පැනි වලට ණය දෙනවාට අමතරව ඒ කොම්පැනි වල කොටස් මිලඳී ගැනීම මොන වගේ ආයෝජනයක්ද?

 

කෝප් කමිටුව අනාවරණය කල කොම්පැනිවලට අමතරව මහජන බැංකු ඉතිහාසය තුල ගෝටාභය රාජපක්ෂ ආරම්භක සභාපති ලෙස කටයුතු කල මිහින් ලංකා මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අති විශාල පාඩුවක් සිදු කල හෙජින් ගනුදෙනුව ආදියද වේ. මෑත කාලයේ චීන පොහොර නැවත් ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ පොහොර වලට අදාල ගනුදෙනුවටත් මැදි වී තිබුනේ මහජන බැංකුවයි. මේ සියලු ගනුදෙනු මහා පරිමානයේ වංචා බවට තහවුරු වුනත්, ඒවාට සම්බන්ධ පුද්ගලයින් එළිදරවු වූවත් ඒ කිසිම කෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත්තේවත්, එම ගනුදෙනු හරහා සිදුවූ අලාභ පියවා ගැනීමට කටයුතු වුණේවත් නැත. මේ ලිහිල් ප්‍රතිපත්තියේ සහන කෝප් කමිටුවේ ලයිස්තුවේ සිටින ව්‍යාපාර වලටත් නොඅඩුව ලැබී ඇත. උදාහරණයක් ලෙස මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකව විටි ජෙහාන් අමරතුංග නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂක වන CML- MTD ගොඩනැඟීම සමගම අයත් MTD වෝකර්ස් සමුහ ව්යාපාරයට මහජන බැංකුව නිකුත් කල ණය කොතරම් ලිහිල් ලෙස සහ වැරදි ලෙස නිකුත් කර තිබෙනවාද යත් ඒවා බොහොමයක් ආපහු අය කරගැනීමට බැංකුවට නොහැකි වනු ඇති බව මේ ගනු දෙනු පිලිබඳ තතු දත්තෝ සඳහන් කරයි.

 

බැංකු සහ ඔවුන්ගේ ණය අයකරගන්නා ක්‍රියාදාමයන් ව්‍යාපාරිකයින්ට එසේ තිබියදී ක්ෂූද්‍ර මූල්‍ය ණය ගැතියන්ගේ අත්දැකීම් වෙනත්ම හැඩයක් ගනී. බැංකුවල ණය අය කරගන්නා ක්‍රමය ව්‍යාපාරිකයින්ට පහසුවෙන් ලිස්සා යෑමට හැකි ලෑල්ලක් නම් ක්ෂූද්‍ර මූල්‍ය ණය ගැතියන්ට මුහුණ දෙන්නට වී ඇති නීතිය මී කතුරක් වැනිය. නීතිය සහ අධිකරණය ඉතා දරදඬුව බැංකු සහ මූල්‍ය කොම්පැනි වෙනුවෙන් මුදල් අයකරගැනීමේ නීතිය ක්රියාත්මක කරනවා පමණක් නොව ක්ෂූද්‍ර මූල්‍ය වින්දිතයින් තමන් හට සාධාරණ නීතිමය නියෝජනයක් අපේක්ෂාවෙන් මුදල් ගෙවා ලබා ගන්නා සහය ලබා ගන්නා නීතිඥයින්ද මූල්‍ය කොම්පැනි ඒජන්තයින් ලෙස ක්‍රියාකරයි. තම සේවා දායකයාගේ සාධාරණ හේතුන් සලකා බලමින් ලබා ගත හැකි උපරිම සහනය ලබා ගැනීමට උත්සහ කරනවා වෙනුවට ඔවුන් කියන්නේ “කොම්පැනිය හමු වෙලා ගෙවන විදිහ කතා කරගන්න. ණය ගත්තා නම් ගෙවන්න වෙනවා”. නීතිඥ සහය තබා උසාවියට ඒමට බස් ගාස්තුවවත් සොයා ගැනීමට නොහැකි ජන කොට්ටාශයක් වන ක්ෂූද්‍ර මූල්‍ය ණය වින්දිතයින් බොහොමයකගේ නඩු ඔවුන්ගේ සහභාගීත්වය නොමැතිව ඒක පාර්ශවීය ලෙස තීන්දු වේ. කොම්පැනි වල ඒකමතිකත්වයට අනුව තීන්දු වෙන මේ නඩු කෙසේ ක්ෂූද්‍ර මූල්‍ය වින්දිතයින්ට බලපානවාද යන්න සොයා බැලිය යුතු දෙයක්. ක්ෂූද්‍ර මූල්‍ය ණය යනු දේපල හෝ පුද්ගල ඇප නොමැතිව ලබා දෙන ණය වුනත් බොහෝ ක්ෂූද්‍ර මූල්‍ය ණය ගැතියන් ක්ෂූද්‍ර මූල්‍ය ණය හරහා පුද්ගලික ණය වල හිරවී ඇත. ඉඩම් බලපත්‍ර සහ පුද්ගල ඇප සහිතව ලබා ඇති මේ ණය වලට අදාල නඩුත් අවසන් වන්නේ මූල්‍ය කොම්පැනි ජයග්‍රහණය කිරීමෙන්. පෙර ඉඩම් නීතියට අනුව ඉඩම් බලපත්ර බැංකු ණය සඳහා ඇපකර ලෙස භාවිතා කලත් ණය ගෙවීමට නොහැකි අවස්ථාවකදී අත්පත් කරගැනීමට නොහැකි තත්වය පසුගිය දා සම්මත වුනු නව ඉඩම් පනත යටතේ අහෝසි වී ඇත. මේ අනුව ක්ෂූද්‍ර මූල්‍ය යනු අඩු අදායම් ලාභීන්ගේ ඉඩම් මූල්‍ය කොම්පැනි සතු වන දොරටුවක් වනු ඇත.

 

74ක වසරක ආර්ථික සංවර්ධනය මෙයයි. මහජනයා වෙනුවෙන් ඇතිවූ බැංකු මහජනයා මඟ හැර ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික කැට වන විට යුක්තිය පසිඳලන අධිකරණය සහ නීතිය ව්‍යාපාරිකයින් රකින සාමාන්ය ජනතාව කොල්ලකන බැංකු සහ මූල්‍ය කොම්පැනි සඳහා ආරක්ෂක වළල්ලක් වී ඇත.

 

අතීතය, සහ වර්තමානය පිලිබඳ විචාරශීලිව නිරීක්ෂණය කරමින් අනාගතය ගොඩ නැඟිය යුත්තේ කෙසේද යන්න පරිකල්පනය කරන මොහොතක අපි ජීවත් වෙමු. අනාගතය නිර්මාණය කිරීමේදී එවැනි බැරෑරුම් කටයුත්තක් සඳහා ඉඩකඩ සාදන මූල්‍ය සහ බැංකු නිර්මාණය කිරීමත් ඉතාම වැදගත්. ණය දෙන මුවාවෙන් ජනතාව කොල්ලකන බැංකු සහ මූල්‍ය ආයතන අනාගතය සිහිනෙන්වත් දැකීමට ඇති ඉඩ අහුරයි. ණය ඇත්තෝ සැකවින් දන්නා සත්‍යයක් එය. අනාගතය සඳහා රාජ්‍ය බැංකු වන මහජන බැංකුව සහ ලංකා බැංකුව කෙසේ පරිණාමය විය යුතුද? 

 

සටහන – අමාලි වෙදගෙදර

Comments (0)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *