IMF විසදුම කුමටද? කා සදහාද?

2022 වර්ෂයේ මුල භාගයේ සිටම ලංකාවේ ආර්ථික අර්බුදයට පිලිතුරු ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට මූල්‍ය ආධාර ලබා ගත යුතු බවට දක්ෂිණාංෂික ආර්ථික විද්‍යාඥයින් පැවසීමට පටන් ගත්තේය. හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න වැනි දේශපාලඥයින් මෙම අදහස වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටි අයයි. 2022 අප්‍රේල් මාසයේදී ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමග ගෝටා ගෝ හෝම් අරගලයට සම්බන්ධ වන ලද මධ්‍යම පාංතික ස්ථරයන් අතර ජනප්‍රිය වූ සටන් පාඨයක් වූයේ Call IMF යන්නයි.

 

මෙය කෙතරම් ප්‍රබල ලෙස සමාජගත වූවාද කිවහොත් ගෝඨාභය රාජපක්ෂ පවා IMF නොයාම තමන් අතින් වූ වරදක් ලෙස පසුව දැක්වීය. ඉක්මනින් අර්බුදය විසදා ගෙන නැවතත් පෙර පරිදි ජීවිතය සාමාන්‍ය කර ගැනීමේ අවශ්‍යතාවයක් මිසක Call IMF සටන් පාඨය තුල ලංකාවේ ආර්ථීක අර්බුදයේ මූලයන් හෝ විසදුම් සම්බන්ධයෙන් වූ අවබෝධයක් තිබුණේ නැත. එසේ වූවත් IMF විසදුමට පිටුපාන්නට ලංකාවේ වාමාංශයේ ඇතැම් කොටස් පවා යම් මැලිකමක් පෙන්වන්නේ වෙනත් විසදුමක් නොමැති බව ඔවුන් විසින්ද විශ්වාස කරන නිසා විය හැක.

 

IMF විසදුම කුමක්ද?

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජිත විසදුම ප්‍රතික්ෂේප කිරීමට හෝ පිලිගැනීමට පෙර එය කුමක්ද කියා වටහා ගැනීම ඉතාමත් වැදගත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දීමේදී එය බොහෝ විට ලබා දෙන්නේ ස්වෛරී රාජ්‍යයන් තමන්ගේ රටේ ආර්ථීකය යහපත් යැයි සලකා ඉදිරිපත් කරනා යෝජනා මත නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරනා ලබනු තක්සේරු මත සිටයි. මෑත කාලීනව ග්‍රීසිය හා ආජන්ටිනාව වැනි ණය අර්බුදයන්ගෙන් බැට කන ලද රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන ලද සාකච්ඡා තුල මෙය ඉතාමත් පැහැදිලි වේ. ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරුෆකිස් හා ආජන්ටිනාවේ මුදල් ඇමති මාර්ටින් ගුස්මාන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමදුල සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශ මගින් අපිට මෙම IMF යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ අදහසක් සකස් කර ගත හැකියි.

 

වරුෆකිස් හා ගුස්මාන් දෙපලම තමන්ගේ රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමදුල සමග සාකච්ඡා කරන ලද ඇමතිවරුන් වන අතර ඔවුන් දෙදෙනාම පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමදුල විසින් යෝජනා කරන ආර්ථිකය හැකිලවීමේ විසදුම ආර්ථික අර්බුදයකින් බැට කන ප්‍රජාත්නත්‍රවාදී රටක රජයන්වලට පිලි ගත නොහැකි විසදුම් වන බවයි. ආර්ථික හකුලවන ආර්ථික ප්‍රතිපත්ති විසින් මහජනයා ඉතාමත් බරපතල ලෙස පීඩාවට පත් කරනා අතර ඒ අනුව රටවල් තුල බරපතල ආර්ථික අර්බුද මෙන්ම දේශපාලනික අර්බුදද නිර්මාණය කරයි.

 

ආර්ථිකය හැකිලවීම යනු…

 

ග්‍රීසිය, ආජන්ටිනාව, ලංකාව වැනි රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය මූලික වශයෙන්ම හට ගන්නේ ණය අර්බුදයක් ලෙසයි. එනම් රටකට තමන් විසින් ලබාගෙන ඇති බාහිර ණය නැවත ගෙවා ගැනීමට නොහැකි වීම මගින් අප වැනි රටවල් ආර්ථික අර්බුදයන්වලට ඇද දමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ සදහා යෝජිත විසදුම වෙන්නේ රටේ ආර්ථිකය හකුලුවා ණය ගෙවීමේ හැකියාව ඇති කිරීමයි. උදාහරණයක් ලෙස 2015 වර්ෂයේදී බලයට පැමිණි යහපාලන රජයද ඒ වන විට ඇති වී තිබූ විනිමය අර්බුදය ( රුපියල කඩා වැටීමේ අර්බුදය) ට විසදුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමත් ඒ හරහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලදපලින් තව තවත් ණය ලබා ගැනීමත් සිදු කරන ලදි. 2017 – 2019 වර්ෂ දක්වා ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමේ වේගය පහල වැටෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත මෙන්ම යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථීක ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් හැටියටයි.

 

2018 ඔක්තෝබර් මාසය වන විට යහපාලන රජය ජනතා අප්‍රසාදයට පත් වෙමින් ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණෙන්නේද මෙම ආර්ථික අර්බුදයේ දේශපාලන ප්‍රකාශයක් ලෙසයි. ආර්ථිකය හැකිලවීමේ ඍජු ප්‍රතිඵලයක් වෙන්නේ විරැකියාවයි. 70%ක් පමණ වන ලංකාවේ අවිධිමත් ආර්ථීකයට සම්බන්ධ පිරිස් විසින් මෙම විරැකියාවට බරපතල ලෙස මුහුණ දෙන අතර රුපියල කඩා වැටීම නිසා උද්ධමනය ඉහල යාම මගින් ඔවුන්ගේ ජීවන මිල තව තවත් තීව්‍ර කරයි. ජනතාව තමන් අත්විදිනා මෙම ආර්ථික අර්බුදයට දේශපාලනික විසදුම් පවතින පාලනය වෙනස් කරමින් සොයන අතර පාලකයින් විසින් ආර්ථිකමය තලයේ ඇති අර්බුදය වෙනුවට ජාතිවාදය වැනි වහන්තරා මගින් ජනතාව සංවිධානය කරන්නේ ආර්ථිකයේ ඇති ව්‍යුහාත්මක ගැටලු ජනතාවගෙන් සගවා තැබීමටයි.

 

කෙසේ වෙතත් ආර්ථිකය හැකිලවීමේ ප්‍රතිපත්තිය ඉතාමත් සරලව වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින්ම විස්තර කර ඇත. රට තුල නිශ්පාදනය අඩු කිරීම හරහා ඉල්ලුම අඩු කිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම විසදුමේ පදනමයි. ඒ අනුව කර්මාන්තශාලා වසා දැමිම, රැකියා කප්පාදුව, ධීවරයින්ට, ගොවීන්ට හා කුඩා නිශ්පාදකයින්ව ආර්ථික ක්‍රියාවලියෙන් බැහැර කිරීම මෙම උපාය මාර්ගයයි. ජනතාවට වියදමී කිරීමට ඇති ආදායම බදු ඉහල දැමීම හා වැටුප් කප්පාදුව මගින් අඩු කිරීම මගින් ආර්ථිකය හැකිලවීම, ණය පොලී අනුපාත ඉහල දමමින් ණය සදහා ඇති ප්‍රවේශය අහිමි කිරිම ආදී ප්‍රතිපත්තිමය වෙනස් කම් මගින් ආර්ථිකය හැකිලවීමේ නිරත වෙන රජයක් තමන්ගෙ ණය ගෙවා ගැනීමේ හැකියාව ඉහල දැමීමට තැත් කරයි. අපගේ අතේ මුදල් නැතිනම් අපිට වියදම් කිරීමට නොහැකියි. එලෙස වියදම් කිරිමට නොහැකි නම් ආනයන වියදමී අඩු වෙයි. ආනයන වියදම් අඩු වුවහොත් රුපියල කඩා වැටීම නවතීයි. එලෙස රුපියල ස්ථාවර වූ වට නැවත ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලදපල තුල ලංකාව සම්බන්ධයෙන් ඇති විශ්වාසය වැඩි වී නැවතත් ණය ලබා ගැනීමට හැකි වේ යැයි යන්න තහවුරු කිරීම මේ වන විට ලංකාවේ රජයේ අරමුණයි.

 

ඒ අනුව පැහැදිලි වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකාවේ රජය නැවතත් ණය මත යැපෙන සහ නිශ්පාදන ආර්ථිකය විනාශ කර දමනා ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින් සිටිනා බවයි.

 

ජීවන වියදම හා IMF ප්‍රතිපත්ති

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති පිටු 95 ක වාර්තාවේ ලංකාවේ රජයට යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙන්නේ රුපියල පා කිරීම හා ඉන්ධන මිල ඉහල නැංවීමයි. මේ වත තෙල් ලංකාවේ රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර නිල එකගතාවයක් නොතිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට හා ඔවුන්ගේ හිත දිනා ගැනීම සදහා ලංකා රජය IMF පූර්ව කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටින බව ඉතාමත් පැහැදිලියි. ඒ අනුව 2020 ජනවාරි මාසයේ සිට පමණ රුපියල අවප්‍රමාණය කිරීමත් ඉන්ධන මිල ඉහල නැංවීමත් ලංකාවේ රජය විසින් සිදු කරමින් ඇත.

 

ලංකාවේ ආර්ථිකයේ ඇති ව්‍යුහාත්මක දුර්වලතාවයක් වෙන්නේ අපට ආහාර හා බලශක්ති ස්වෛරීතාවය නොමැති වීමයි. අපි ආහාර හා බලශක්තිය වෙනුවෙන් බරපතල ලෙස ආනයනිත භාණ්ඩ මත රදා පවතින රටක් නිසාවෙන් ලෝක වෙලදපල තුල ඉන්ධන හා ආහාර මිල ඉහල යන විටදී ලංකාව තුලද භාණ්ඩ මිල ස්ථාවර ලෙස පවත්වා ගැනීමට අපි සැම විටම අසමත් වෙමු. ගෝටාබය රජය විසින් අනුගමනය කරන ලද කෘෂි රසායන ප්‍රතිපත්තිය නිසාවෙන් ලංකාවේ ජනතාව මේ වන විට කබලෙන් ලිපට වැටී ඇති බවද මතක් කර ගත යුතුයි. ඒ අනුව රුපියල අවප්‍රමාණය කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් වෙන්නේ සියලුම භාණ්ඩ මිල ඉහල යෑමයි. මේ වත තෙක් ඉන්ධන මිල පාලනය මගින් රජය එම උද්ධමනය පාලනය කිරීමට උත්සය ගත්තද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිත දිනා ගැනීමට නම් ඔවුන් විසින් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. ඒ අනුව මිල පාලනයෙන් හා රුපියල පාලනය කිරීමෙන් රජය ඉවත් වීමත් සමග රට තුල භාණ්ඩ මිල අධික ලෙස ඉහල යමින් ඇත.

 

උද්ධමනය ( නැතිනම් භාණ්ඩවල මිල ඉහල යාමේ වේගය) වැඩ වීම ලංකාව තුල විතරක් සිදු වන්නක් නොවෙයි. රුසියානු – යුක්රේන යුද්ධය හා කෝවිඩ් වසංගතය නිසාවෙන් ගෝලීය ඉන්ධන හා ආහාර සැපයුම් දාමයන් සිදු ව ඇති හානි නිසාවෙන් ලෝකයේ සෑම රටකම පාහේ භාණ්ඩ මිල ඉහල යමින් ඇත. ගෝලීය වෙලදපල තුල ඇති මෙම අස්ථායීතාවයන් පිලිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ඉතාමත් හොදින් දැනුවත්ය. ඒ අනුව ගෝලීයව උද්ධමනය දරා ගත නොහැකි ලෙස ඉහල යන කාලයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකාවේ රජය මිල පාලනයෙන් හා විනිමය පාලනයෙන් ඉවත් වෙන්නේ සාමාන්‍ය ජනතාව මත ඇති වන දරා ගත නොහැකි ආර්ථික පීඩනය පිලිබදව ඉතාමත් දැනුවත්වයි.

 

ඉදිරියට ක්‍රියාත්මක කිරිමට නියමිත විදුලි මිල ඉහල දැමීම හා බදු වැඩි කිරීම වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නිර්දේශන ක්‍රියාත්මක කිරීම මගින් දැනටමත් හුස්ම ගැනිමට පවා අපහසු වී ඇති ලංකාව ඊටත් වඩා බරපතල ව්‍යසනයක් වෙතම තල්ලු කිරීමට නියමිතය.

 

නිෂ්පාදන ආර්ථීකය

 

අනෙක් අතට, පොදු ජනතාව මත ආර්ථික පීඩනය වැඩි කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජිත ප්‍රතිපත්ති මගින් ලංකාවේ නිශ්පාදන ආර්ථිකය නැත්තටම නැති කිරීමටත් නියමිතය. 2020 අප්‍රේල් මාසයේදී පත් වන ලද මහ බැංකු අධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ලද මුල්ම ප්‍රතිපත්තියක් වූයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ( එනම් මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබා දෙන පොලී අනුපාතය ) දෙගුණයකින් පමණ ඉහල නැංවීමය. මෙහි ප්‍රතිඵලයක් වෙන්නේ සුලු හා මධ්‍ය පරිමාණ නිශ්පාදකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනිම නොහැකි වීමයි. වැඩි වන ඉන්ධන මිල නිසාවෙන් මෙහෙයුම් මිල වැඩි වී ඇති සුලු නිශ්පාදකයින් මේ අනුව බංකොලොත් වීම අනිවාර්ය වේ. ශ්‍රී ලංකා එක්සත් සුලු හා මධ්‍ය පරිමාණ නිශ්පදකයින්ගේ සංගමයට අනුව 4500 ක් පමණ වන ඔවුන්ගේ කර්මාන්තවල නියැලී සිටින මිලියන 4.5 ක් පමණ වන සේවක පිරිසකට මේ අනුව රැකියා අහිමි වීමට නියමිතයි.

 

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ටැක්සි කර්මාන්තය, බේකරි කර්මාන්තය වැනි විවිධ කර්මාන්ත මෙහෙයුම් වියදම් ඉහල යාම සහ ණය සදහා ඇති ප්‍රවේශය අහිමි වීම නිසාවෙන් බරපතල අර්බදුයකට යාමට නියමිත අතර එහි ප්‍රතිඵලය වන්නේ විරැකියාවයි.

 

දේශීය නිශ්පාදනය මෙලෙස අඩාල වීම හරහා දීර්ඝ කාලීනව ලංකාවට සිදු වෙන්නේ කුමක්ද? තව දුරටත් ආනයනිත භාණ්ඩ මත යැපීම වර්ධනය වීම, රටින් පිටතට ශ්‍රම ගලනය නිසා මානව සම්පත් අහිමි වීම හා ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලුවක් වන වෙලද හිගය පියවා ගැනීම තව තවත් අසීරු වීමයි. විදේශ විනිමය ඉපැයීම සදහා රට තුල ක්‍රමවේදයක් සකසා ගැනීම වෙනුවට එයට අදාල ශ්‍රමය හා ප්‍රාග්ධනය රටින් පිට කරවන ආර්ථික ප්‍රතිපත්ති මගින් දීර්ඝ කාලීනව ලංකාව තව දුරටත් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලදපල රැදීම වර්ධන වෙන අතර අනාගතයේදීද නැවත නැවතත් ණය අර්බදුයන්ට මුහුණ දීමට ඇති අවදානම ඉහල නංවයි.

 

IMF විසදුමක්ද?

 

ජාත්‍යන්තර මූලය අරමුදලට අනුව ලංකාවේ ආර්ථික අර්බුදය ද්විත්ව හිගයක් මගින් හට ගෙන ඇත. එය අයවැය හිගය හා වෙලද හිගයයි. එම හිගයන් ද්විත්වයට විසදුම් ලෙස යෝජනා කර ඇත්තේ ආර්ථිකය හකුලවමින් රාජ්‍ය වියදම් කපා දැමීමයි. තවදුරටත් වෙලදපල ආර්ථික ප්‍රතිසංස්කරණයන් කිරිම ( පුද්ගලිකකරණය, නිර්බාධක වෙලදාම, මිල පාලනයන් ඉවත් කිරීම, විනිමය අවප්‍රමාණය) මෙම අර්බුදයට ඇති විසදුම් ලෙස ඉදිරිපත් කරන ආර්ථීක විද්‍යාඥයින් ජනතාවට සගවන කාරණය නම් 1977 සිට ලංකාව බොහෝ දුරට ක්‍රියාත්මක කර ඇත්තේ ඉහත ආර්ථික ප්‍රතිසංස්කරණ බවයි. නිර්බාධිත ජාත්‍යන්තර වෙලදාමට ඇතුලත් වෙමින් ඒ වන විට දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සදහා පැවති ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ඉවත් කිරීම හා විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් ඇගලුම් කර්මාන්තය වැනි අපනයනය මූලක කරගත් කර්මාන්ත ජේ ආර් ජයවර්ධනගේ රජය මගින් පටන් ගන්නේද නිදහස් වෙලදාම (Laissez Faire) නැතිනම් විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වෙමිනි.

 

වසර 40 කට පසුව එයින් සිදු වි ඇත්තේ කුමක්ද? පසුගිය දශක 4 ක කාලය තුල කිසිදු ආකාරයකින් විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීමටත් රුපියල ස්ථායී කර ගැනීමටත් ලංකාවට නොහැකී වී ඇති අතර අස්ථායී රුපියල විසින් නිරන්තරයෙන්ම ලංකාව ආර්ථික අර්බුදයන් වෙත ඇද දමා ඇති බව ඉතාමත් පැහැදිලි වේ.

 

අසීමිත ලෙස ආනයනය කිරිම හා අපනයන කර්මාන්තකරුවන් විසින් නිශ්පාදන ආර්ථිකයේ වර්ධනය වෙනුවට කෙටි කාලීන ලාභ උපයන වෙලද පංතියක් ලෙස හැසිරෙමින් රට තුලින් ප්‍රාග්ධනය පිටමං කිරීම නිසාවෙන්ද අපනයන කර්මාන්ත මගින් කිසිදු ආකාරයකින් අපේක්ෂිත ආකාරයේ විනිමය ඉපැයීමක් සිදු වන්නේ නැත. ලංකාවේ ඇගලුම් කර්මාන්තය දෙවන විශාලතම විනිමය උපයන්නා වුවද එම කර්මාන්තයට අදාල සියලුම අමුද්‍රව්‍ය ආනයනය කිරීම නිසාත්, ආනයන බිල්පත් වංචාකාරී ලෙස ඉහල නංවමින් රටින් විනිමය වංචා කිරීම නිසාවෙනුත් ඇගලුම් කාර්මාන්තය වැනි අපනයන කර්මාන්ත මගින් ආර්ථිකය ස්ථාවර කිරීමට ලබා දී ඇත්තේ අවම දායකත්වයති. මීට අමතරව ඇගලුම් වැනි වටිනාකම් එකතු කිරීම අවම වන භාණ්ඩයක් නිශ්පාදනය කිරීම නිසාවෙන් ලංකාවට ලබා ගත හැකි වෙලද වාසියද අවම වේ. තේ, මැණික් පමණක් නොව තොරතුරු තාක්ෂණ සේවා අපනයන කරුවන් පවා රට තුලට අපනයන ආදායම් ගෙන ඒම වෙනුවට ප්‍රාග්ධනය පිටමං කිරීමේ නියැලී සිටින බව මේ වන විට ලංකාවේ රජයද පිලි ගෙන ඇත. තවදුරටත් නිදහස් වෙලදාම ප්‍රවර්ධනය කිරීම මගින් හා ප්‍රාග්ධනය ගලනයන් පාලනය නොකිරීම මගින් ලංකාව තව තවත් සූරා කෑමට ලක් වීම හා දූගීකරණය වීම නැවැත්විය නොහැකි වේ.

 

රට තුල නිශ්පාදන ආර්ථිකයක් ස්ථාපිත නොවීමත්, ප්‍රාග්ධන අවශ්‍යතා රට තුල සපුරා ගැනීමට නොහැකි වීමත්, ආනයන වියදම සැම විටම අපනයන ආදායමට වැඩි වීමත් නිසාවෙන් ලංකාවේ රජයට සිදු වෙන්නේ නිරන්තරයෙන්ම අය වැය හා වෙලද හිගයන් පියවීම සදහා ජාත්‍යන්තර මුල්‍ය වෙලදපලින් ණය ලබා ගැනීමටයි. 2007 දක්වා ලංකා රජය බහුපාර්ශවික හා ද්විපාර්ශවික ණය මත යැපුනද ඉන් පසුව වැඩි වන මූල්‍ය හා ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙලදපල එනම් ජාත්‍යන්තර පෞද්ගලික ප්‍රාග්ධන හිමියන් මත යැපීමට පටන් ගන්නා අතර ඉන් පසුව ස්වෛරිත්ව බැදුම්කර වැන කිසිදු ආකාරයකින් නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොවන ණය උපකරණ මාර්ගයෙන් නොනවත්වා ණය ලබා ගැනීම අපට දැක ගන්නට පුලුවන.

 

2017 වර්ෂය වන විට ලංකාවේ රජය ලබා ගන්නා ලද ණය වල පොලී වාරික ගෙවීම සදහාද ණය ලබා ගන්නා තත්ත්වයට පත්වන අතර කිසිදු පරීක්ෂාවකින් තොරව ණය බරින් පීඩිත රටකට ණය ලබා දීමට පෞද්ගලික ප්‍රාග්ධන හිමියන්ද ඉදිරිපත් වී ඇත. එලෙස වර්ධනය වන වෙලද හිගය හා ණය සමබ්න්ධව වූ අර්බදුය තීව්‍ර වන්නේ 2020 ලෝකයේ පුරා පැතිරී යන කෝවිඩ් වසංගතය නිසාවෙන් ලංකාව විදේශ විනිමය අදායම් අහිමි කර ගැනීම හමුවේයි. මුදල් අච්චු ගැසීම, ණය කපා හැරීම, විදේශ සංචිත වැය කරමින් රුපියල ආරක්ෂා කිරීම ආදිය රජය විසින් අර්බුදය වලක්වා ගැනිමට ගන්නා ලද අසාර්ථක පියවරයන් මිසක අර්බුදයේ මූලයන් නොවේ.

 

වසංගතය විසින් තුන්වන ලෝකයේ ණය අර්බුදයක් ඇති කර ඇති බව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිලිගන්නා නමුත් තුන්වන ලෝකයේ රටවල් වසංගත වැනි බාහිර බලපෑම් හමුවේ නිරායුධ වෙන්නේ ඇයිද යන මූලික ප්‍රශ්නය මග හරිමින් ( වෙලද ශේෂය හා ණය මත යැපීම) මතු පිටින් සිදු කරන වෙලෙදපල හිතවාදී ප්‍රතිසංස්කරණ නිසාවෙන් ඇත්තටම සිදු වන්නේ ලංකාව වැනි රටවල ආර්ථීක අර්බුදය දීර්ඝ කාලීන ලෙස අපගේ අනාගතයේ කොටසක් බවට පත් වීම පමණයි.

 

IMF හි සැබෑ ප්‍රතිලාභීන්

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලිකම අරමුණ ශ්‍රී ලංකාව නැවතත් ගෝලීය ප්‍රාග්ධන වෙලදපලට සම්බන්ධ කිරීම සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරිමයි. ඒ අනුව ලංකාවේ ජනතාවට කෙතරම් පීඩා කාරී වුවද, ජනතාව ආහාර හා ඖෂධ නැතිව මිය ගියද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැත. ලංකාව නැවතත් ණය ගන්නා රටක් බවට පත් වීමත් දීර්ඝ කාලීනව ණය ගන්නා රටක් ලෙස පැවතීමත් ණයහිමියන් වෙනුවෙන් තහවුරු කිරීම ජාත්‍යන්තර මූලය අරමුදලේ අරමුණයි. ලෝක බැංකු වාර්තාවලට අනුව වසංගතය නිසාවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලා ඇති රටවල් ප්‍රමාණය 90 ක් පමණ වෙන අතර බොහෝ රටවලට ණය නැවත ගෙවා ගැනීමේ ගැටලුවක් මතු වී තිබේ. ඇත්තටම අපි වැනි ණයගැති රටවල් ණය නොගෙවන්නේ නම් ණය හිමියන්ට සිදු වන්නේ බරපතල පාඩුවක් වන අතර එය ණය හිමි රටවල ආර්ථික අර්බුදයක් ලෙසද වර්ධනය වේ. ඒ අනුව රටවල් අතර හා ණය ගැතියන් හා ණය හිමියන් අතර පවතින අසමාන සම්බන්ධතා තවදුරටත් පවත්වා ගැනීම සදහා වූ ආයතනික මැදිහත් වීම ජාත්‍යන්තර මූල්‍ය අරමදුල හා ලෝක බැංකුව වැනි ආයතන සිදු කරන්නේ දේශපාලනික තෝරා ගැනීමක් ලෙසයි.

 

ලංකාව වැනි ආර්ථික අර්බුදයන්ගෙන් පීඩා විදින, ආහාර පවා සපයා ගත නොහැකි ජනතාව තව දුරටත් පීඩාවත් පත් නොකිරීම වෙනුවෙන් ආයතනික මැදිහත්වීම් සිදු කිරීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව තිබෙන අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමදුල නිර්මාණය කරන්නේද ආර්ථික අර්බුදයන්ගෙන් පීඩා විදින රටවලට සහය වීමට මිසක ඒවායෙන් මස් රාත්තලම ඉල්ලා සිටීමට නොවෙයි.

 

ලංකාව මේ ලබා ගැනීමට යන්නේ 17 වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පහසුකමයි. 1977 සිට විශේෂයෙන්ම ලංකාව නිදහස් වෙලදාම හා ණය ආර්ථිකයක් වෙත තල්ලු කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහි වනවා වෙනුවට Call IMF ලෙස සටන් පාඨ එසවීම අර්බුදයට වගකිව යුතු ආයතනයකට නැවතත් රට තුලට ආරාධනා කිරීමක් මිසක වෙනත් කිසිවක් නොවෙයි. අර්බුදයේ දේශීය නිර්මාණකරුවන් මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලනඥයින් නම් එහි ජාත්‍යන්තර නිර්මාණකරුවන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතනයි. ඒ අනුව රට තුලදී රනිල් වික්‍රමසිංහ විසදුමක් වී, රටින් පිටතදී IMF විසදුමක් වීම රටක් ලෙස අප අද දවසේ වැටී ඇති අවාසනාවන්ත තත්ත්වයේ දර්ශකයක් මිස අන් කිසිවක් නොවෙයි.

 

සටහන – ලක්මාලි හේමචන්ද්‍ර

Comments (1)

සමීර says:

මේ මොහොතට ගැලපෙන විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *